Sunday, April 1, 2018

සැරද උතුමාණෙනි

                           සැරද !
අපේ අතිගරු හිටං උතුමාණන්ට ලියා සිටිම්

ඔබ තුමා සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි සිතමි.අපි වාගේ වුන්ට වැලේ වැල් නැති වුනාට ලොකු ඇත්තන් හැමදාමත් සැපෙන් සනීපෙන් නිසා ඕකෙ අමුතුවෙන් අහන්න දෙයක් නැතැයි තාත්තා කිව්වේ ය.
ඒ වුනත් තුවායයි සබන් කැටෙයි අතේ තියෙද්දිත් නාන්න යනවාදැයි අහන සගිස්කුරුතියක් ඇති රටක  සැපසනීප අහන්නේ නැතිව ලියමනක් පටන් ගන්නා එක හොඳ නැති බව අම්මා මතක් කර සිටියාය.

රටේ ලෝකේ වෙන දේවල් ඔබතුමා දැනගන්නේ පත්තරේ කියවලා බව ගෙදර උදවිය පහුගිය දවසක කතා වෙනවා මම අහගෙන ය.ඒත්  ඔයිට කලින් දවසක තාත්තා විල්බට් මාමා එක්ක අඩියක් ගසා හිටි දවසක කියෙව්වේ අපේ පත්තරවල එවුන් ලියන්නේ ගල් පැලෙන කෙප්ප බවයි.අපේ ගෙදර වෙන  දේවල් පත්තරේට ලියන්නට ගෙදර කවුරුත් පත්තර කන්තෝරුවේ වැඩ නැත.ලොකු අයියා බඳින්න ඉන්න අක්කා දුර එද්දී  "ආන් රොයිටර් පුවත් සේවය එනවා " යැයි තාත්තා කියන්නේ වෙනමම හේතුවකට ය.
ඉතින් මේ ලියමන ලියන්නේ ඔබතුමාගේ යටහත් රටවැසියන් වෙසෙන අපේ ගෙදර විත්ති පත්තරේ නොතිබීමෙන් ඔබ තුමා අපහසුතාවට පත් වන එක වලක්වන්නට ය.

ලොක්කයියා ආයෙම වතාවක් ගෙදර ය.කලින් අවුරුද්දක් විතර අයියලාගේ මෙඩිකල් ෆැකල්ටියේ එවුන් ස්ට්‍රයික් කලෝය.අයියා කිව්වේ ස්ට්‍රයික් කලේ නිදහස් අද්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් බේරා ගන්නට බව ය.එහා ගෙදර මැටිල්ඩා ඇන්ටිනම් කියා තිබුනේ දොස්තරලා ත් දොස්තර පැටවුනුත් තරම් කුහක ජාතියක් නැති නිසා ස්ට්‍රයික් කළ බවය.(අපි දැන් එයාලා එක්ක ඇයි හොඳයි නැත)

ඒ ස්ට්‍රයික් එක ඉවර වුන හැටියේම වාගේ කැම්පස් එකේ වැඩ කරන මාමලා ස්ට්‍රයික් ය.අයියා ආයෙමත් ගෙදර ය.
මෙහෙම ගියෝතින් කෙල්ල ගෙදරට නාකි වෙන්නට ඉඩ තියෙන නිසා අයියාගේ කසාදේ දැන්මම කරන එක හොඳ නැද්දැයි නැත්තන් එයාලට වෙන අතක් බලාගන්නට වෙනවා නේදැයි අයියාගේ වෙන්න නැන්දම්මා දුරකතනෙන් අසා තිබුනේ ඊයේ පෙරේදා ය.ස්ට්‍රයික් නෙවෙයි මූද ගොඩ ගලලා හරි ඒ කසාදේ නොවෙනවානම් කොල්ලා බේරිලා යයි ආච්චි හීල්ලුවේ  ඒක අහලා ය.

මැයි දිනේ කල් දාන්නට හේතුව විග්‍රහ කරන්නට තාත්තාත් විල්බට් මාමාත් විද්වත් කතිකාවතක් පැවැත්තුවේ පෙරේදා හැන්දෑවේ ය.ඊට කලින් දා සිල් ගත්තු ආච්චිලා සීයලා මැයි දිනේ ට සහභාගි කරවා ගැනීමට බැරි වෙන නිසා එහෙම කරන්නට ඇති බව විල්බට් මාමා කීවත් තාත්තා කිව්වේ බාර් වහලා මැයි දිනේ තියා කිසිම දිනයක්  ලංකාවේ කොරන්නට අමාරු නිසා ඒක එහෙම කරන්නට ඇති බව ය. කොහොමත් සාදුකින් පෙලෙන වුන් සිංදුව වෙනුවට කන්න දෙනවනං අපිට බොන්න දෙනවනං අපිට සිංදුව ලංකාවේ මැයි දිනේ ට ගැලපෙන බව බයිට් එකට කඩල බදිමින් හිටි අම්මා කෑ ගහනවා ඇසුනි.

වෙසක් පෝයට තොරං තහනං කරන්නට තීරණය ක් ගෙන ඇති බව තාත්තා කිව්වේ ඊට කලින්දා ය.
"අනේ සාදු ,තොරං බලන්න එන ඇවිදින තොරං බලන්න වෙන්නෙ නෑ එතකොට"ආච්චි අම්මා සාදුකාරයක් දුන්නාය.

කුරුලු තොරං තහනං කරලා නෑ නේදැයි එවේලේ ගෙදර පාත් වී හිටි ලොකු අයියාගේ ලලනාව අයියාගේ කණට කොඳුරනවා ඇහුනේ මට විතරද කොහේ ද ය.

ලොකුම නත්තල් ගහ හදන්නයි බලුප් පත්තු කරන්නයි පුලුවන්නම් තොරන් තහනං කරන්නේ මොන රෙද්දකට දැයි සුපුරුදු පරිදි මඳක් අනුමත වී හිටි තාත්තා ට ප්‍රශ්නයකි.

"ඇයි මනුස්සයෝ,එක නත්තල් ගහ වගේ ද ලංකාව පුරා ම තොරං කීයක් ද කොච්චර නං නාස්තියක්ද.කරන්ට් බිල කොච්චර ද කියලා දන්නවනම් ඒ කාලෙම තොරං එපා කියලා දේශනා කරනවා බුදු හාමුදුරුවෝ "අම්මාගේ උත්තරේට තාත්තාගේ කට වැහුනේ එක වරම ය.

ලබන සතියේ ද කොහෙද ඉඳන්  අලුතෙන් බදු ගෙවන්නට වෙන බව මූණු පොතේ තිබුනා යැයි කීවේ ලොකු අයියා ය.තාත්තාගේ පඩිය ලක්සෙකට වැඩි නිසා හාරදාහක් ගෙවන්නට වෙනවාලුය.
පඩි කොලේ එහෙම තිබ්බාට ලක්සයක් ගෙදර ගෙනා දවසක් තිබ්බා දැයි තාත්තාටත් අම්මාටත් නිනව්වක් නැත.ලෝන් ගෙවා ගෙවක් කුලී,වතුර බිල් ලයිට් බිල්,පන්ති පීස් ඔය ඔක්කොමත් අහවර කර මාසයක් ගෙදරට කන්න බොන්නත් ගේන්න  අම්මා ගහන ගේම දන්නවානම් කූඹියෝ සීසන් 2 වල මේන් කැරැට්ටර් එක දෙන්නේ අපේ අම්මාට ය.

හරිනම් තව කීයක් හරි දෙනවා මිසක් දෙන එකත් තව උදුරාගන්න වටිනවා දැයි අම්මා කුණු කුණු ගෑ වාය.
පහු ගිය කාලයේ ලොකු ලොකු බැංකු සුද්ද පවිත්තර කරපුවා පියවන්නේ ,පුංචි චන්දෙන් අලුතෙන් ඩබල් කර පත් කළ ජනතා නියෝජිත උන්දැලා  නඩත්තු කරන්නේ බදු අරං මිස වෙන මොන මගුලක් කරලා දැයි ආච්චි අම්මා අවදාරනයෙන් අසා සිටියා ය.රට කරවන ඇත්තන් සතුටින් තියන්නට නම් මොන දුක් ගෙවාගෙන හෝ බදු ගෙවන්න ඕනෑම බව තීන්දු කර ආච්චි අම්මා සභාව විසුරුවා හැරියා ය.

ඉතින් අපේ ගෙදර විත්ති ඔහොමය.ඔබතුමා සැපෙන සනීපයෙන් අපේ බදුත් අරං චිරාත් කාලයක්‍ රට පාලනය කරන සේක්වා.

මීට
පොඩි කොලූ

1 comment: