Monday, April 9, 2018

හොරා පොලිස්

හිත හොඳටම හෙලවුනේ මිතුරෙකුගේ වෝල් එකේ පෝස්ට් එකක් රෑ දෙගොඩ හරියේ දුටුවාම ය.උන්දෑට යකා තද වී තිබුනේ තවත් උගත් බුද්ධිමත් මහතෙකු ගේ පෝස්ටුවකට ය.මාර්ග තද බදය හා මාර්ග නීති ආශ්‍රිත ඇප් එකක් ප්‍රමෝට් කරමින් ඒ මහතා කියන්නේ මේ ඇප් එක මගින් පාරේ ඉන්න පොලෝසි මාමලා ඉන්න තැන්,හැංගිලාද නැද්ද යන වග  හෙඩ්ලයිට් සන්කිරිල්ලට වඩා හොඳින් සිදු කළ හැකි බවයි.පොලීසියත් සමඟ හොරා පොලිස් කරන්න හැකි යැයි එතුමා ප්‍රසිද්ධියේ උදම් අනයි.

ලංකාවේ පොලීසිය ලොව සාධාරණ ම නීති ගරුක ම පොලීසිය යයි කීම ගං කෙබරයකි.වෙලාවකට මාර්ග නීති කැඩිල්ල  සාමාන්‍ය මිනිස්සුන්ට එහාය.ඒත් උන් එහෙම කරන නිසා අපි මෙහෙම කරනවායැයි පාරේ හරි හැටි නොයා රිංගා යන්නට හිල් හෙවීම බාලාංශ පන්තියට ඔබින වැඩකි.

කරවනැල්ල එතරම් ජනාකීර්ණ ටවුමක් නොවේ.ඒත් කරවනැල්ලේ ගත කල අවුරුදු කීපයට හිත හිරිවැට්ටූ ඇඩ්මිශන් වැඩි හරියක් ම රිය අනතුරු ය.සියයට අනූ නමයක් ම අපේ උදවිය ගේ නොසැලකිල්ල ය.

බට්ටි ඉපදෙන්නටත් පෙර සිඟරට් කොම්පැනියක වෑන් එකක් හා ලොරියක් ගැටී වෑන් රිය පාරෙන් ඉවතට පෙරලෙන්නේ වෑන් රියේ හිටි ආරක්ශක නිලදරුවන් දෙදෙනා එතැනම මරා දමමිනි. ලොරියේ සිටි කාන්තාව ජාතික රෝහලේදී මිය ගිය අතර වෑන් රියේ රියදුරු තරුණයා එක්තැන්ව ජීවිතයම අඳුරු වී අදටත් දුක් විඳින්නේ ය.ලොරි රියදුරා බීමත් අතර වෑන් රියදුරා මාර්ග නීති කඩ කිරීමත් දෙදෙනාගේම අධික වේගයත් කෙලවර වූයේ ජීව්ත තුනකිනි.රෝහලට පැමිණි මාධ්‍යවේදී මහතුන් ගේ අභිප්‍රාය වූයේ කොටස් වූ මළ සිරුරු මගේ විරෝධය මැද හෝ වීඩියෝ කර මාකට් කරගන්නට ය. ඒ මගේ මතකය සසල කරවන මුල්ම රිය අනතුර ය.

යාබද කුඩා රෝහලකින්  දැඩි ලෙස ගිලන් ව ගෙනෙන ඉලන්දාරියා පවුලේ එකම පිරිමි දරුවාය.රෝහල පෙනෙන මානයේ සිටින ඔහුගේ සිරිත වී තිබුනේ යතුරුපැදියෙන් සෙල්ලම් දැමීමය.සෙල්ලම ලෙල්ලම වී ඔහු අවසන් ගමන් යද්දී පියා පොලවේ හැපුණේ දරුවාට යතුරුපැදිය ගෙනැවිත් දුන්නේ ඔහු නිසා ය.

රිය අනතුරකින් පසු හැකි ඉක්මනින් රෝහලට ගෙන ඒමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට  වැඩි ඉඩක් ඇතත් ඉන් ජීවිතය බේරා ගැනීම සහතික කළ නොහැක.

යතුරු පැදි දෙකක් ගැටී මිය ගිය දාහත් හැවිරිදි තරුණයාගේ මුහුණ කොතරම් විරූප වී තිබුනාද යත් ඔහුගේ මරණ දැන්වීමේ තිබූ රුව ඔහුගේ යයි  විශ්වාස කිරීමට මට අපහසු විය. කිසි දින මත් පැන් නොගන්නා පුත්‍රයාගේ ගමන් මල්ල බදාගෙන ඇඩ්මිශන් එක ළඟ ඇඬූ තාත්තාට අනෙක් යතුරු පැදියේ වුන් බීමතින් සිටි වග කියා පලක් නැත.ඒ තාත්තාගේ පුතා ආයෙ එන්නේ නැත.

තමන්ගේ එකම පුතා රිය අනතුරකට ලක්ව වෙලුම් පටි බට තොගයක් මැද  සිහිසුන් ව දැක අම්මාත් තාත්තාත් සිහිසුන්ව වැටුණු අවස්තාවක හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරිය කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වනු  දැක ඇත්තෙමි.
 
ත්‍රී රෝද රථයක ගෙන යද්දී ලොරියක හිස හැපුණු බිළිදිය මට මුණ නොගැසුනේ වාසනාව ට ය. එහෙත්ඇය දෝතින් ගෙන එවෙලේම ශල්‍යාගාරයට දිව ගියත් ඇය බේරා ගත නොහුණු කළ දරුවන් තිදෙනෙකුගේ මව් වූ වෛද්‍යවරියක විස්සෝප වූ හැටි තවමත් සිත කළඹන්නට සමත් ය.

එකම මලයා මාස ගානක් වරින් වර ජාතික රෝහලේ සාමාජිකයෙකු වී හිටියේ මහ පාන්දර බයිසිකලය පැදගෙන එද්දී නින්ද ගොස් අත කැඩීමෙනි.උන්දෑ ගේ අල්ලපු ඇඳේ හිටි සීදේවී කොලු පුංචා ගේ කකුල කපන්නට වෙන්නේ පදිකයකු වූ ඔහු යට කරගෙන ගිය රියදුරකුට පවු සිදු වන්නට ය.

මේ මරණ, මේ තුවාල , මේවා සුන්දර නැත සිනහ උපදවන්නේ නැත.වෙනදාට මගේ ලියමන් මෙන් මේ ලියමන ඔබේ හිත නොගන්නට පුලුවන

ඒත් මේ ඇත්ත ය.ලංකාවේ අපේ මාර්ග නීති පිළිපැඳීම අන්තිමය.කහ ඉර දැක දැක අපි වෙන තැන් වලින් පාර පනිමු.රතුලයිට්  දැක දැක වාහන පදවමු.ඉරි කපමු.ස්පීඩ් ලිමිට් ඉක්මවා ඉගිල්ලෙමු.
මේ මැරෙන්නේ කාගේ හෝ දරුවන් ය.පවුලේ උන් ය.
ඒකට කමක් නැත.

එන්න.
අපි හොරා පොලිස් කරමු!

No comments:

Post a Comment