Saturday, July 22, 2017

ඉඟ සුග මිටින් ගත හැකි-කාලෙ නම් දැන් ඉවරැති

සාමාන්‍යයෙන් ලංකාවේ ඉපදෙන ළමයෙක්ගේ උපත් බර කිලෝ දෙකහමාරක් විතරය.ඒ වුණාට මගේ බර කාඩ් එකේ හැටියට උපත් බර කිලෝ හතරහමාරකි.ඉතින් හරිනම් මම බර වැඩි වෙච්චි එකට වග කියන්ටෝනේ අපේ මෑනියන්දෑ ය.
ඒ වුණත් කැම්පස් යන කාලේ පහු වෙනකනුත් දෙයියනේ කියා ජිම්පප්පා කන තරමටම කෑවත් වෙද පප්පාගේ ගානට ඇඟ මේන්ටේන් කරගන්නට බැරි කමක් තිබ්බේ නැත.
ඉන්ටර්න් කරන කාලේ ඉබේම ඩයට් වෙන හින්දාත් කෑම වේල බඩට වැටෙන්නත් කලින් දහනය වෙලා යන්නට තරම් ස්ට්‍රෙස් එක වැඩි නිසාත් ඒ අවුරුද්දේ නම් කිසිම බර ප්‍රශ්නයක් ආවේ නැත.
ඉන්ටර්න්වලට පස්සෙන් පහු ගන්දබ්බ අවදියේ හිටපු මාස නවයේ නම් කන බොන තරමට ඇඟ ආරා නොඑන්නට ග්‍රවුන්ඩ් යන කණ්ඩායමට එක්කාසු වෙන්නට විය.කණ්ඩායමක් කිව්වාට මමයි පල්ලෙහා කාමරේ කොලූයි විතරය.හතරට වැඩ ඇරී එන අපි කාටූන් බලන සෙට් එකට සෙට් වෙන්නෙමු.සිරසේ ගාෆීල්ඩ් හා ගිරිපුර ඇත්තෝ බලන්නට හැමදාම පාහේ සෙට් වෙන පිරිසක් ක්වාටර්ස් එකේ උන්නෝ ය.ඒත් කාටුන් බලන්නට සෙටියේ පත බෑවුණු තැනින් නැගිට දුවන්න යන්නට අමාරුවෙන් හරි හිත හදා ගත්තේ අපි දෙන්නා විතරය.මම යාන්තම් රවුම් දෙකක් දුවා ශේප් වුනත් අර ඉලන්දාරියා නම් වට පහක්ද කොහෙදො දිව්වා මතක ය.දුවලා ඇවිදින් ආයෙමත් පහළ කාමරේට සෙට් වෙන කාටුන් කණ්ඩායම දුකසේ උයා ගත් රෑ කෑම වේල බඩ පැලෙන්න කන්නට අපි අමතක කරන්නේ ද නැත.
ගන්ධබ්බ කාලෙන් පසු කරවනැල්ලට එන්න ගත්තාම ආයෙමත් ඉන්ටර්න් වගේම ය .ඉස්පිරිතාල ලිස්ට් එකේ ගෙදරට ළඟම ඉස්පිරිතාලෙ වුණාට කරවනැල්ලට එන්න ගෙදර ඉඳන් බස් තුනක ගමනක් ය.කුකුළාටත් කලින් ඇහැරගෙන මහරගමට ඇවිදින් බස්ගත වී අවිස්සාවේල්ලේ දී ජනේලෙන් බැහැගෙන ටවුම හරහා මීටර් සීය දුවලා නුවර ඉන්ටර්සිටියේ එල්ලෙන්න ඕනෑ ය.හවහට හැමදාම සෑහෙන දුරක් බස් එකේ එන්නේ වවුල් මෝඩ් ය.ඉතින් එතකොටත් මම  හුඹහෙන් ඇදලා ගත් නයා වගේ මය.
පෙලවහක් වී බට්ටි බඩට ආ ගමන් යසට මේන්ටේන් වුනු ෆිගර් එකට කණකොකා හඬන්න්ට විය.සමහරු මුල් මාස තුනේ ම කෑමක් බීමක් දුටු තැන හෝටල් දැම්මාට ඒ මාස නවයම මම කළේ දෙයියනේ කියලා කෑ බිව් එක ය.ගෙදර ඉන්නා විට නොකෑවොත් සීයාගෙන් දෝස්මුරේ ය.ඉස්පිරිතාලෙට ආවම කැන්ටිමේ ඇන්ටිගේ අරුමෝසම් කෑම දැක්කාම නොකා ඉන්නට බැරි ය.ගිලලා මදිවට තව පැනිවලලු ඔතා ගෙනත් යනවා දැක වීඕජී සර් විස්සෝප වුනේ මගේ සීනී මට්ටම කොහේ ඇත්දැයි හිතා ගන්නට බැරුවය.කලින් ෆ්‍රෙශ් මිල්ක් දිහා ඇහැක් ඇර නොබැලූ මම දවසට කිරි ලීටරයක් අහවර කරන එක පුරුද්දක් විය.බට්ටි හම්බෙන්නට කිට්ටුව අපේ මනුස්සයා කොන්ඩෙ කපන සැලුන් එකට ගියාම සැලුන් එකේ අය්යා නළන රැලි කරන් ඇහුවේ "මල්ලි නංගි හිටියා වගේ දෙකක් විතර සයිස් නේ ද "කියා ය.අපේ පිය පාර්ශවේ නැන්දලා ඔක්කොම පාහේ බොහොම පුශ්ටිමත් සරීරවලට හිමිකම් කියන නිසා මම  එන පොට හොඳ නැති බව අම්මාද මතුරන්න ගත්තේ ඔය කාලේ මය. බට්ටි  ලැබුණාට පස්සේ ඩයට් කර එක්සයිස් කර පුරුදු ෆිගර් එකට බැසීමේ සැලසුම් සහගත වැඩපිලිවෙලක් ඔලුවේ වැඩ කල නිසා ඔවැනි අවලාද ඔක්කොම විසිවුනේ මගේ ඔලුවට උඩින් අහකට ය

බට්ටි ඉපදුනත් බට්ටිගේ පෝෂන අමාත්‍යාංශය දිගටම අම්මාගේ බාරයේ ය.මුල් මාස හයම බට්ටිට මවු කිරි විතර ය.ඉතින් කිරි දෙන මවු පදවිය එක්ක ඩයට් කිරිලි තහනම් ය.එක්සයිස් කියා වෙනමම මුකුත් කරන්නටනම් බටිටි ආවායින් පස්සේ උවමනා වක් ම  නැත.දවස අහවර වෙනකොට දවස තිස්සේ නොනැවතී ඔලිම්පික් මීටර් සීය දිව්වා වගේ මය.ඒත් ඉතින් බෝල ඇඟනම් වෙනස් වෙන පාටක් නැත.
මාස හයෙන් පස්සේ පටන් ගත්තේ බට්ටිට කවන යුද්ධේ ය.බට්ටිගේ කෑම වේල පෝෂන ආකරයකි.ඒත්  කොයි මෝස්තරෙන් හැදුවත් බට්ටි ගේ කට ඇරෙන්නෙ ඒකෙන් බොහෝම ඩිංගිත්තට ය.පැය ගානක පෙරැත්තයෙන් ඒ ටික බඩට දා ගත්තාට පස්සේ හදාපු මහන්සියට හා හිතේ අමාරුවට ඉතුරු ටික යන්නේ අම්මාගේ බඩට ය. ඒ මදිවාට යක්කු ගස් නගින ජාමෙටත් නිදා ගන්නට හිතේ වත් නැතිව හක්කලං කරනා බට්ටිත් එක්ක ඔට්ටු වෙන කොට ෆ්‍රිජ් එකේ වැඩ වසන අයිස් ක්‍රීම්,චොකලට්,බිස්කට් එහෙමත් ඉබේම අතුරුදහන් වෙලා ය.අයිස්ක්‍රීම් කෝප්පයක් විතර අනුමත වී හිතේ අමාරුවට අම්මා එක්සයිස් කරන්න ගන්නවාය.එතකන් අම්මා ට බ්‍රහ්ම දන්ඩනය දිදී හිටි බට්ටිට ඕන් ඔය වෙලේ ම අම්මාගේ ඇඟේ එතෙන්නට ,ආදරේ ප්‍රකාශ කරන්නට ,බිම පත බෑවුනු අම්මාගේ ඇඟ උඩ සීසෝ පදින්නට හිතෙනවාය.එක්සයිස් එතනම කොට උඩ ය.

හිත හදාගෙන ඩයට් කරන්න ගත්තාම ඒකටත් පටන් ගත් තැන ඉඳන් උදලු ය.බඩගිනි නොඑන්නට බොන්නට ගෙනා මෙලෝ රහක් නැති පිටි එක හදනකොට කොච්චර කීවත් තාත්තා ආදරේට සීනි හැන්දක් දානවා මය.කෑම ඩිංගක් අඩු කලොත් ඔහොම කාලා මේ ළමයා එක්ක ඔට්ටු වෙතහැකිද,ලෙඩක් හදා ගන්නකො පුලුවන්නම් කියා තරවටු කරන්නට අමතක කරන්නේ ද නැත.කැන්ටිමේ ඇන්ටිද අඩු සීනි කිව්වාට තේකට හැන්ද පුරවා මිසක් සීනි දාන්නේම නැත.රාජකාරිය එපා වී කැන්ටිමට ගෑටුවාම එතන තියන ජාති දෙක තුනක් ගිල දමන තුරු ඩයට් කිරිල්ල මතක් වෙන්නේම නැත.

ඩයට් කිරිල්ල පටන් ගද්දී බඩු ගන්නා කඩේ තඩි තරාදියෙන් බර මනින්න ගත්තා ට තව මාස දෙක තුනක් දිගට බර කිරුවොත් අලුත් තරාදියක් ගන්නට වෙන බව කඩේ කොලූටත් තේරෙන්නට පටන් ගෙන ඇත.අලුත් තරාදියක් නොගෙනාවොත් වෙන කඩේ කින් බඩු ගන්නා බවට අනතුරු ඇඟවීමට කාලේ හරි වගේ ය.
ඉතින් මේ විශම කෑම චක්කරේ දවසින් දවස ඔහොම කැරකෙනවා ය.තව ටික දවසක් යද්දී නම් බඩ ගෙඩිය දැක්කාම බබාඅම්මෙක් කියා හිතා බස් එකේ සීට් එකක් හම්බෙන්නත් ඉඩ තියේ ය.කොයි දේ ත් වෙන්නේ හොඳට ය.ඒ නිසා මම කෙට්ටු වීමේ අදහස හිතින් අත ඇර දෙයියනේ කියා පුරුදු පරිදි කා බී වෙසෙන්නට තීරණය කළ බව අපේ ගෙදර උන්දෑ,මෑනියන්දෑ ඇතුලු සකල ලෝක වාසි ජනතාවට ඉමහත් චිත්තප්‍රීතියෙන් යුතුව මෙසේ දැනුම් දී සිටිමි .

Friday, July 21, 2017

සුරංගනා කතා

පුංචි කාලෙ කියවපු සුරංගනා කතා හැම එකකම වගේ සුදු ගෑනු චරිතේ එකම මොඩල් එක.
ලස්සන හුරුබුහුටි චූටි ගෑනු ළමයි.
හිම කුමාරි,ලස්සන වසිලිස්සා,නිදි කුමාරි,සින්ඩරෙල්ලා  ඔය ඔක්කොම බයක් නැතිව මිස් වර්ල්ඩ් තරඟෙට යවන්න පුලුවන් දැරිවියෝ.අනික රූපෙන් විතරක් නෙමෙයි කතාබහ ,ගෙදර දොරේ වැඩ,දැනමුතුමක් අතිනුත් කතාවේ එන කලු චරිතවලට (බොහෝ වෙලාවට අජූත පෙනුමක් තියෙන)මේ අය එක්ක හැරෙන්නවත් අමාරුයි.
ඇයි එතකොට මේ අයගෙ අත ගන්න එන ඉලන්දාරි.ඒ වගේ පැහැපත් කඩවසම් කුමාරවරු ඉන්නේ තවත් සුරංගනා කතාවකම විතරයි ඉතින්.ගති  ගුණ අතින් මේ ඉලන්දාරී අර ඉස්සෙල්ලා දැරිවියොන්ගේ කරට කර.ඉතින්  ඒ ජෝඩුව කසාද බැන්දම ?මයෙ අප්පේ ලොකේ දැවෙන ප්‍රශ්නෙ හතරෙන් තුනක් විතරම එතනම අහවර වෙනවා.
  එව්වා නම් ඉතින් හිච්චි කාලෙ කියවන සුරංගනා කතානේ.කතා කරන සතා සීපාවා, අයිස්ක්‍රීම් මාළිගා වගේ එව්වත් සීනීබෝල තමයි කියලා හිතා ගත්තැහැකි.හිච්චි කාලෙන් පස්සෙ ගැටවු ගැටිස්සියො කාලෙට ආවා කියමු කො.තාමත් ඉඳලා හිටලා සුරංගනා කතා කියවනවා තමයි එකෙක් දෙන්නෙක්.ඒත් වැඩි හරියක් කියවන්නෙ මල් පත්තර,පැණි බේරෙන ප්‍රේම කතන්දර.අනේ ඉතින් සුරංගනා කතාවේ හිටපු කුමාරයො කුමාරියොමලු මෙව්වයෙත් ඉන්නෙ.ටීවී බැලුවත් ටෙලි නාට්ටිත් ඔහොම්මමයි.හින්දි ද සිංහලද බොලිවුඩ් ද හොලිවුඩ් ද කොලිවුඩ් ද ජපන් කොරියන් ද ෆිල්ම් එකක් ගත්තත් ඔය සෙතේ මයි.සමහර වෙලාවට වීරයා පැටලෙන තරමට ලස්සන නලුවෝ නිලියෝ බුරුතු පිටින් දුශ්ට චරිතෙත් රඟපෑවාට, කතාවේ කුමාරි සාම්ප්‍රදායික කුමාරිගෙන් හරි කුමාරයා සම්ප්‍රදායික කුමාරයාගෙන වෙනස් වෙන්නට නම් කිසිම ඉඩක් නැත්තේ මයි.
ඉදින් මේ කපේට මූනත්තහඩුව සවුත්තු එකෙක්ට කුමාරයා කුමාරි චරිතේ අකැප ය.බතල ඇඟක් හරි පාන්කඩ ඇඟක් හරි තියේ නම් සහායක විකට චරිතයක් විතරක් රඟපාන්නට වාසනාව ඇත.වාහන එන්ජිමකට ලවු කරන කෙල්ලෙක්ට ,බියුටිකචල් ඉවුම් පිහුම් ඈ කාන්තා සබ්ජෙක්ට් වලට ඉන්ටරෙස්ටඩ් කොල්ලෙක්ට කුමාරිගේ හෝ කුමාරයාගේ චරිතය රඟපාන්නට තියා හිතන්නටත් තහනම් ය.ලස්සන කෙල්ලෙක් නිකන් ප්ලේන් කොල්ලෙක් එක්ක යාලු වෙන එක හෙනම ඇබ්නෝමල් ය.වෙන මොන නොගැලපිලි අල්ලලා.දැම්මත් රූපේ ගැලපිල්ල නම් කෙරෙන්ටම ඕනෑ ය.
මේ ඔක්කොම මගුල් හිතෙන්න ගත්තේ Rainbow Rowellගේ Elanor and Park පොත කියෙව්වාට පස්සේය. සුරංගනා කතාවක් වගේම රහ වුනාට සුරංගනා කතාවක් නම් නෙමේය. කුමාරි ටිපිකල් මොඩ්ලයෙන් පිට තඩි ඇඟක් තියෙන,රතු පාට බූසි කොන්ඩයක් තියෙන විකාර ඇඳුම් අඳින කාටත් විකාරයක් වුන කෙල්ලෙක් ය. කොල්ලා සංගීතය,විකට කතා පොත් වාගේ විපරීත ඇල්මන් තියෙන හීන්දෑරි ඉලන්දාරියෙකි.කතාව ඇතුලේ මට නම් හිතන්නට බොහෝ දේ ය.කියවලා ඉවර වුණාම සුරංගනා කතාවකට වඩා හිත පිරිලා ය.
එත් ඉතින් හැබෑ ලෝකේ උන්  අදටත් හොය හොයා යන්නේ සුදු චූටි නංගිලාත්,හැන්ඩි සික්ස්පැක් අයියලාත් නම්  එහෙම නොවෙනා හැටහුටහමාරක් එවුන්ට රඟපාන්න වෙන්නේ  හැබෑටම කාගෙ චරිතෙ ද?

Thursday, July 20, 2017

සාය - මම - ඇන්දාම

සාය ගෑනු ළමයින්ගේ  ඇඳුම් අල්මාරියේ  අනිවාර්ය කොටසකි. පොඩි කාලේ ඉඳන් ම මගේ ඇඳුම් අල්මාරිය පිරෙන්නේ අම්මාගේ හිතේ හැටියට ය.මට ඇඳුම් ගලපන කලාව නොතේරෙන නිසා උන්දෑ එහෙම කළා ද නැතිනම් පොඩි කාලේ හිටන් එහෙම වුණ නිසා ඒ ශිල්පය මට අත ඇරුණාද කියන එක නම් ශුවර් නැත.මම දන්නා එකම දේ නම් රෙදි කඩේක සායවල් තියෙන හරියෙන් මාව අත ඇරියොත් ඔටුවෙක් ඇන්ටාක්ටිකාවට ගෙනිහින් දැම්මා වගේ ගතියක් එන වගය.දණට ඉහලින් නවතින සායවල්,වළලුකර බදාගෙන පොළව පිහිදාන සායවල්,තට්ටු සායවල්,බම්බු සායවල් අතරින් රවුම් දෙකක් ඇවිදින කොට ඇතිවන තෝන්තුවා ගතිය නවතින්නේ රෙදි කඩෙන් එළියට බැස්සාම ය.
පොඩි කාලේ වැඩි හරියක් මට තිබ්බේ දිග කලිසන් ය.ඔහොම ඉඳිද්දී පහේ පන්තියේදී අම්මා රතු පාට සායකුයි හැට්ටෙකුයි ගෙනාවාය.දුටු දා ඉඳලා පෙම් බැන්ඳ කිට් එක ඇඳන් මම ගියේ සිස්සත්ත පන්තියට ය.පන්තියේ කොලු ගැටවු ටික අමුතු සතෙක් දිහා බලන්නා සේ බැලූ හැටි තාමත් මතක ය.පන්තියේ ටීචගේ මහත්තයා අපේ අම්මාගේ ඉස්කෝලෙට එන ගුරු උපදේශක මහත්තයෙකි.ඊට ටික දොහකට පසු ඉස්කෝලෙදී මුනගැහී උන්දෑ අම්මාට කියා තිබුනේ  එදා ඇන්ද කිට එක නොවෙන්නට උන්දෑගෙ හිතේ තිබුනේම  මම කොලු ගැටයෙක් බව ය.

ඉස්කෝලේ යනකොට සුදු ගවුම ඇන්දාට මගේ ඇඳුම් අල්මාරියේ වැඩිහරියක් තිබුනේ ඩෙනිම් කලිසම් ය.කොට කොන්ඩෙට ගවුම් සාය ගැලපෙන් නැති බවක් අම්මා හිතුවාදැයි දන්නේ නැත.කොහොමින් කොහොම හරි නවයේ පන්තියේ විතර ඉන්දැද්දී දිගම දිග රැලි සායක් අඳින්නට ට හදිසි ආසාවක් ඇති වෙනවා ය.තාත්තා එක්ක ගිහින් සමන් මල් එකෙන් ටිකක් බර ගානක් දීලා අලු පාට සායකුත් අරන් ඇවිදින් ඒක ඇඳන් යන්නේ ජයසිරි පෙරේරා සර් ගේ විද්‍යාව පන්තිය ට ය. ඒත් දිග සාය මගේ පදින බයිසිකලේ එක්ක පෑහෙන්නේ නැති බව තේරෙන්නේ ගෙදර ඉඳන් බස් හෝල්ට් දෙකක විතර පහු වෙද්දීම අලුත් සාය බයිසිකල් රෝදයත් එක්ක ඔට්ටු වුණා මය.වෙලාව හොඳ නිසා පාර මැද පිනුමක් නොගසා බයිසිකලය නවත්තගත්තත් බිමට බැහැගන්නට පුලුවන් වුනේ රෝදේ අස්සෙන් යට හරියත් ඉරාගෙන සාය එළියට ඇදගත්තාම ය.ගෙදර ගිහින් සුපුරුදු ඩෙනිමට බහින කොට සාය පිස්සුව දිග කාලෙකට හොඳ වෙලා ය.

පේරාදෙනියේ කැම්පස් යන්න කලින් කැම්පස් අඳින්න සුදුසු ඇඳුම් ගැන අම්මා ඒ වෙනවිටත් කැම්පස් හිටි අඳුරන අක්කෙක්ගෙන් උපදෙස් ගත්තාය.අක්කා අම්මාව ඇන්දුවාද අම්මා මාව ඇන්දුවාද කියන එක ශුවර් නැතත් අවසාන ප්‍රති පලය වුනේ ජ්‍යෙශ්ට උතුමන්ගේ උදහසට ලක් නොවීමටය කියා දිගම දිග මෙලෝ හැඩයක් නැති ගෝනි සායවල් තොගයක් මාත් එක්ක පේරාදෙනි යාමය.මගේ තියෙන පස්ස ගිනිගත් කඩියා ස්පීඩ් ගමනට සායෙන් හරිම කරදර ය.එනිසා කොයි වෙලේත් ඉබේම මගෙ අතින් සාය මදක් ඉහලට එසවෙන්නේ ය. එහෙම ආරක්ශක උපක්‍රම භාවිතා කර තියෙද්දිත් එක උදේක අපේ ඉංග්‍රීසි පන්තියට නගින සිමෙන්ති පඩි දෙක තුනේ පිම්මේ දුවන්නට ගිය මම හොම්බෙන් ලෑන්ඩ් කරන්නේ දණිස්සත් පතුරු යවාගෙන ය.අත්තනායක සර්ගේ අණට මගේ රූමී මාවත් දක්කාගෙන හෙල්ත් සෙන්ටර් ගොස් මට පිටගැස්මට බෙහෙත් විදින තුරු කන් වසා ගෙන හිටියා ය.බැච් එකේ ඉස්සිස්සෙල්ලාම හෙල්ත් සෙන්ටර් ගිය ලෙඩා වීමේ ගෞරවේ මට ලැබුනේ එහෙමය. එපාම වෙන වැඩේ දවල් කැන්ටින් යන වෙලාව වෙනකොට අපේ එකෙක් පඩි පෙලේ වැටී හෙල්ත් සෙන්ටර් ගිය කතාව සින්නන්ට ආරංචි වෙලාය.උන්ගේ හිතේ මම වැටුනේ හැම බිල්ඩිමකම වගේ තියෙන දාර පත පඩිපෙලකින් කියාය.ඉංග්‍රීසි පන්තිය ගාව පඩි දෙකේ තුවාල වෙන තරමට මම වැටුනේ කොහොමද කියලා හිතා මයෙ හිතේ එදා දවසේ බහුතරයක් හිසේ ඇම්ම හදා ගත් බව ශුවර් ය.

යාන්තම් ෆස්ට් ඉයර් එක ඉවර වෙද්දී ගෝනි සායවල් ටිකද ගෙදර පටවන්නට පුලුවන් විය.පස්සෙන් පහු අම්මා මට දිග සායවල් නොගෙනාවේ සාමාන්‍ය ගෑනු දරුවෙක් අඳින දිග සාය මගේ උසත් එක්ක එහාටත් මෙහාටත් නැති මලවිකාරයක් වෙන බව අම්මාටම තේරුන නිසා වෙන්ට පුළුවන.
ඉන්ටර්න් කරන කාලේ නෝලිමිට් එකේ තිබී හදිස්සියකට දුවාගන්නට ඉඩ තියෙන සාය කෑල්ලක් දැක්කාම මම කලේ හැම පාටින් ම ඒ සායවක් ගත්ත එකය.ඉන්ටර්න් ඉවරවෙන  විට ඒ සායවල් දුසිමකටත් වඩා අල්මාරියේ ය.තාමත් ඒ දෙක තුනක් ඉතුරු ය.

ඩෙංගු වසංගතේ එක්ක ඉස්පිරිතාලේ යද්දී දිග ඇදුමක් අඳින වුවමනාව ඇති වෙනවා ය.යුනිෆෝම් එක් වගේ ඩෙනිම තිබුනත් ප්‍රශ්නෙ වෙන්නෙ ඒක ඇඳගත් ගමන් මම ගෙයින් පිට කොහේ හරි යන්න යන බව දැන ගත් බට්ටි පරල වෙන්න ගන්නවා ය.ඒ ගැන හිතලා කොහෙදෝ අම්මා කලු පාට අපූරු දිග රේන්ද සායක් එවලා ය.සාය හරි අපූරු ය.මදුරු වදේටත් කදිම ය.ඇඟටත් පහසු ය.එකම ප්‍රශ්නේ රේන්ද සාය වට පිටාවේ තියෙන දේ වල් බදා ගන්නට යාම ය.හවස වැඩ තියෙන දවසක වැඩට යන්නට කලින් ගෙදරට ඕන අඩුම කුඩුම ටික ගන්නට කඩේට දිව්වේ අටට වැඩ ඉවර වී බඩු ගන්න යාම කරදර නිසා ය.කඩේ රවුම් ඇවිදිද්දී සාය බර ගතියක් දැන්නෙන්න ගත්තාය. "හපොයි මෙන්න දොස්තර නෝනා කරවල හොරකම් කරනවා "කඩේ කොලූ ඔලොක්කුවට කියද්දී මම සායේ එල්ලුණු කරවල කූරියා ආයෙම උගේ වාස භවනට අතෑරලුවේ ආයේනම් දිග සාය කඩේ නොඅඳින්නට හිතා ගෙනය.

හොඳ වෙලාවට අපේ ගෙදර් කරවල කන්නෙ නෑලු ඉතින්.

Tuesday, July 18, 2017

දත් කැකුළු පාලා

බට්ටිගේ කටේ ඇත්තේ කිරි දත් ය.දත් එන්නට කලින් ඉඳන් ම අම්මා ඊ බේ එකෙන් ඇඟිල්ලට දාන දත් බුරුසුවකුත් ගෙනාවේ බට්ටිගේ දත් මද්දන්න ට ය.ඒත් බට්ටිගෙ කැමැත්ත ලොක්කන්ගේ බුරුසු වලටය.ඉතින් කාගිල්ස් යන  යන සැරේට බට්ටිට දත් බුරුසු ඕනෑ වේ.එක එක පාට බුරුසු,බම්බු වල දැමූ බුරුසු,කොකු වලින් එල්ලන බුරුසු මදිවාට කකුල් දෙකෙන් හිට ගන්නා ද බුරුසු ද ගෙදර පිරී ඉතිරෙන්නට ය.ඒත් වැඩේ තියෙන්නේ බට්ටිට දත් මදින්නට හිතෙන්නේ අමුතු වෙලාවල් වලය.කෑම කාලා අහවර වුණාම නිදා ගන්නට කලින් වගේ අම්මාගේ කාලසටහනේ වෙලාවල් වලට දත් මැදිල්ල බට්ටිට අරහං ය.ඒ වෙලාවට ඔක්කොම මනෝ විද්‍යාවල් පැත්තක දමා අම්මා බලෙන් දත් මද්දද්දී බට්ටිගේ විලාපයට ළඟදීම ළමා රක්ශන අදිකාරියෙන් අම්මාව කුදලන් යන්ට ඉඩ තියේ ය.බට්ටිගේ අප්පුච්චා සති අන්තෙට ඇවිත් දත් වල අවපැහැය ගැන කරන විශ්ලේශනේ අහනවාට වඩා එකාතකට ඒක හොඳ යි කියා බට්ටිගේ අම්මාට හිතෙනවාය.
බට්ටිගේ අම්මා පොඩි කාලේද ඔහොමය.උදේට අවුලක් නැතත් රෑට දත් මැදිල්ල නම් හොර ම හොර ය.දත් නොමැදිල්ල ගැන අත්තම්මාගේ කුරුකුරුව පටන් ගත් විට ඇට්ටර කමට ම දත් මැදිල්ල කෙරෙන්නේ නැත.දැන් වගේ නොව ඒ කාලේ වැඩි හරියක් බට්ටිගේ අම්මාගේ රෑ පාන ගෙවුනේ කතා පොතකට ඔලුව ඔබාගෙනය.එක හුස්මටම පොත කියවලා අහවර කරනවා මිසක් දත් මදිනවා වාගේ සුලු රාජකාරි වලට එතකොට වෙලාවක් නැත.පස්සෙන් පහු කතා පොත් වෙනුවට වස කම්මැලි තඩි පාඩම් පොත් වල ඔලුව ඔබා ගෙන ඉන්නට උන්දෑ ට සිද්ධ වෙනවා ය.කතා පොත් වගේ නෙවේ ය තඩි පාඩම් පොතේ පිටුවක් දෙකක් කියවන කොට පොඩි කාලේ අම්මා උකුලේ තියලා කවි කියනකොටත් වඩා හොඳට  නිදිමත හැදෙනවා ය. ඒ නිදිමතට ආයෙ දත් මදින්න හිතන්නවත් අමාරු ය.අනේ ඉතින් ඔහොම ගිහින් කැම්පස් යන කාලේ බට්ටිගේ අම්මාගේ දත් ඌයියා වෙනවා ය. මෙඩිකල් ෆැකල්ටිය අල්ලපු වත්තේ ඩෙන්ටල් එකත් තියෙන නිසා ඉතින් දත් එක දෙක පිරවෙනවා ය.ඩෙන්ටල් එකෙන් පෙලවහක් කර නොගෙන වැඩිම කාලයක් ඩෙන්ටල් එකේ ගත කල මෙඩ්ඩා  සම්මානය ඉන්තේරුවෙන්ම බට්ටිගේ අම්මා ට හිමි වෙන්ට ඕනෑය.
නිවාඩුවට ගෙදර ගිය දවසක දත්ක් ඌයියා වී ටවුමේ දත් දොස්තර නෝනා ගාවට බට්ටිගේ අම්මාව ඇදගෙන යන්නේ සීයා ය. පොතක් උඩ නිදා ගන්න නිසා රාත්තිරියට දත් නොමදින බව අවංකවම පාපොච්චාරණය කළ නිසා දෝ  ටික දිනකින් දත් දොස්තර නෝනාගේ දත් දොස්තර පුත්‍ර රත්නය ගැන මංගල යෝජනාවක් ඉදිරිපත් වීමෙන් බිය වූ බට්ටිගේ අම්මා මාසයක් විතර රෑටත් දත් මදින්නට පෙළඹුනා ය.
දත් ඌයියා වෙනවා මදිවාට පස්සෙන් පහු බට්ටිගේ අම්මාගේ දත් වහල්ල අව පැහැ වෙන්ටත් ගන්නවාය.දත් දොස්තර මහත්තුරුන්ටත් වැඩිය කරුණු කාරණා දන්නා අත්තම්මා දෙස් දෙවොල් තියන්නේ තම අදහස් පිළි නොගත් නිසා එහෙම වුණු වගයි.වයසට ගියත් ඇට්ටර කම අඩු නොවුණු බට්ටිගේ අම්මා ඔය කතන්දර තඹේකට මායිම් කරන්නේ නැත.පේරාදෙනියේ ඩෙන්ටල් ඇත්තන් කිව්වේ බට්ටිගේ අම්මාගේ දත් වහල්ල ඒ ඇත්තන්ගේ ලෙඩ කෞතුකාගාරයක් බවය.කරවනැල්ලේ ඩෙන්ටල් උදවිය නම් එහෙම කියන්නේ නැත.ඒ උදවියගේ එකම අභිප්‍රාය මෙහෙන් යන්නට කලින් බට්ටිගේ අම්මාගේ දත් සියල්ලටම පාහේ මොකක් හෝ සුලු ප්‍රතිකර්මයක් කර දීමයි.
අම්මාගේ දතේ පාටේ පුරස්නේ බට්ටිගේ අප්පුච්චා ටත් තියෙනවා ය.ඒ කොච්චරද කියනවා නම් මඟුල් පොටෝ ඇල්බම් එක එඩිට් කරන්ට ගිය වෙලේ උන්දෑගේ මුල්ම ඕඩරේ මනමාලිගේ කහ දත් සුදු කරන්ට කියා ය.ඉතින් පොටෝශොප් පිහිටෙන් මනමාලිගේ සාරියේ පාටත් දත්වහල්ලේ පාටත් මඟුල් පොටෝ ඇල්බමයේ වෙන්වෙන්ව අඳුනා ගන්ට පුළුවන් ය.උගත් පාඩම්වලට අනුව බට්ටිගේ අම්මාගේ දත්වල පාට ගැන සංවාදය ලෝක සාමයට බාදාවක් වෙන බව තැත් වරද ක්‍රමයට අඳුනා ගත් බට්ටිගේ අප්පුච්චා දැන් නම් ඒ ගැන හ්ම්ම් සද්දයක් නැත.ඒත් මහරගම ඩෙන්ටල් එකෙන් අම්මා දත් ගලවන තෙක් බට්ටි බලා ගැනීම,ඉඳ හිට හේමාස් එකට ගොස් දත් පෙන්නන්නට යෝජනා කිරීම,දත් ඌයියා වුනා ම පැනඩෝල් දීම වැනි උපකාරක සේවා නොපිරිහෙලා ඉටු කරයි.
බට්ටිගේ අම්මාගේ හොඳ වෙලාවට අප්පුච්චා මුණ ගැහුනා ට ඔය ජාතියේ උදවිය හොයා ගන්නා එක කලුනික හොයනවාටත් අමාරුය.විසි එක් වෙනි නොවෙයි තිස් එක්වෙනි සියවසට ගියත් අපේ ඇත්තන් ගොඩ දෙනෙක් පෙළවහට හොයන්නේ බිම ගෑවෙන කොන්ඩ,මුතු කැට වගේ දත් පේලි තියන දැරිවියන් ය. ඉතින් බට්ටි ඒ කාලෙට ආවාම උන්දෑට ඕනෑ මගුළක් කරගන්නට බට්ටිගේ දත් වහල්ල පරිස්සම් කරගන්ට ඕනෑය.ඉතින් බට්ටිගේ අම්මාත් අත්තම්මාගේ අඩි පාරේ යමින් දත් මදින යුද්දේ ප්‍රදාන දුශ්ටයා ගේ භූමිකාවේ දිගටම රඟපානවා ය.
දත් මදින නොමදින කාගෙත් සිනා බෝ වේවා

Sunday, July 16, 2017

පිටින් ඔපේ

Beauty is in the eye of the beholder කියලා කියමනක් තියෙනවනේ. ඔයි කියන විදිහට කෙනෙක්ගේ ලස්සන තීරණය වෙන්නෙ තවකෙනෙක්ට එයා පෙනෙන විදිහට.මට ලස්සනට පෙනෙන කෙනා ඔයාට කැත වෙන්න පුලුවන්.
ඒත් කෙනෙක්ට සාපේක්ශව තව කෙනෙක් ගේ ලස්සන කැත,උස මහත වගේ එකඑක හැඩහුරුකම් මනින එක කොච්චර සුදුසුද මන්දා.

උස,මහත,හමේ පාට,කොන්ඩෙ පාට ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට අපි අම්මගේ බඩේ ඉඳලා එළියට එනකොට තීන්දු වෙලා අහවර වුණු ජාති.දැන් නම් ඉතින් ගෑනු පිරිමි ගතිය පවා වෙනස් කරන්න තාක්ශනේ දියුණු වුණාට ඉස්සර කාලෙනම් ඉපදුණු හැටි වෙනස් කරන්න බැහැනේ.ඉපදිච්ච ගමන් පොඩි එවුන්ට ඔය කියන හමේ පාට කොන්ඩෙ පාට මහතද කෙට්ටුද ඔය කියන මළවිකාර එකක් වත් ගානක් නෑ.ඒත් ඒ පොඩි එවුන් කර දඩු උස් මහත් වෙනකොට බහුතරයක් තමන් ලබා උපන් හැටිය ගැන ඉන්නෙ හීනමානෙකින්.කොහේ හරි තියෙන පලුද්දක් ගැන හරි නැති පලුද්දක් මවාගෙන හරි අපේ එවුන් හූල්ලනවා.

හිස් කරදහි වගේ තියෙන පොඩි හිත් වල අජූත පාටින් බලි අඳින්නෙ ගොඩක් වෙලාවට වැඩිහිටියොමයි.
"මේ ළමයා කොහෙන් කලු පාට වුණා ද මන්දා,අපේ පවුලෙ කවුරුත් ඔය පාට නෑනෙ."
"නංගි නම් ඔයා වගේ නෑ සුදුයි"
"බත් කෑවෙ නැත්නම් හැමදාම ඔහොම ඉරට්ට වගේ කෙට්ටුවට ඉඳියි"
හොඳ හිතින් හරි නැතා හරි ඔය වගේ වචන වලින් පොඩි එවුන් ට තමන් ගැන ඇතිවෙන්නෙ හීන මානයක්.හමේ අඳුරු පාට පොඩි එකෙක් ට ඌ කැතයි කියලා හිත කඩන එකත් වැරදියි,සුදුයි කියලා බොරු කියලා රවට්ටන එකත් වැරදියි මගෙ හිතේ.හොඳම දේ තමන්ගේ අවපැහැය පිලි ගන්නත් ඒක ගැන හිතලා වද නොවෙන්නත්,කට පියා ගෙන ඉන්නම බැරි එවුන් පොඩි එකාගෙ හිත කඩන්න හදනවනම් ඒකට මුහුණ දෙන හැටියි පොඩි කාලෙ ඉඳලම පුරුදු කරවන එක.

තරුණ වයසට එනකොට වැඩි හරියක් ගෑනු දරුවොන්ට ඕන වෙන්නෙ ඉඟ සුඟ මිටින් ගන්ට පුලුවන් ෆෙයාර් ඇන් ලව්ලි ඇඩ් එකේ වගේ ඇගක් හදා ගන්න.උන් නොකා නොබී ඒකට දත කද්දි ඉලන්දාරි ටික සික්ස් පැක් මේන්ටේන් කරගන්න ජිම් බඩගගා යකඩ කනවා.මොකද ට්වී එකේ,ෆිල්ම් වල,කතා පොත් වල ,වෙන එකක් තියා ඇඩ් එකක් ගත්තත් අයිඩියල් බොඩි ෆිගර් එක විදිහට පෙන්නන්නේ එහෙම ඇඟවල්. ඒත් ඇත්ත කාරනේ හැමෝටම අයිශ්චර්යා රායිලා වත් බ්‍රැඩ් පිට් ලා වත් වෙන්න බෑ.අමාරුවෙන් එහෙම වෙන්න දගලන එකටත් වැඩිය ගැටලුව එහෙම නොවෙන හැමෝම අසාර්තකයි කියලා හිතන උසුලු විසුලු කරන සමාජෙක අපි ඉන්න එක.ඉස්කෝලෙ පන්ති වල  තමන් මහත හින්දා විහිලුවට ලක්වෙච්චි නැත්නම් අනිත් අයට වඩා අසාමාන්‍ය විදිහට උස් වුනු හෝ මිටි වුනු නිසා බයිට් වෙච්චි ළමයි කොච්චර ඉන්න ඇත් ද? ඒ ළමයි වැඩිහිටියො වෙන්නෙත් ඒ තැලිච්ච හිත් එක්ක.උන් ගේ හිත් කෙලවරවල් වල සමාජෙත් එක්ක තරහවල් කැකෑරෙන එක අහන්න දෙයක් ද?
ගේ දොර ඉඩකඩම් හොඳ රස්සාවක් ඔය ඔක්කොම තිබිලත් තාමත් මංගල යෝජනාවේ මනමාලි සුදුද නැත් ද කොන්ඩෙ දිගද කියලා හොයන අපේ රටේ ,අයිඩියල් අච්චුවෙන් පිට පැනපු එවුන්ගේ හිත් කැඩෙන එක නවත්තන්න තව සෑහෙන කාලයක් යයි.උඩින් ඔපේ යටින් හපේ නොවී පිට පෙනුම කෙසේ වෙතත් ඇතුලාන්තෙ ලස්සන මිනිස්සු ටිකක් එතකොට දකින්න  ලැබෙයි කියලයි මට හිතෙන්නෙ.

Saturday, July 15, 2017

පේරා-එහෙත් බල්ලො හිටියා

මොරටු කැම්පස් බල්ලොන් ගේ කතාව අස්සෙ අපේ  ෆැකල්ටි එකේ බල්ලො ටික මතක් වුනෙ.

ෆැකල්ටි එකේ එක එක ඒරියා එක බෙදා ගෙන වාසභවන කරගත්තු බල්ලො සෙට් එකක් ම හිටියා.කැන්ටින් එකේ ,පිලඩ් එකේ, බීච් එකේ බලු ගැන්සි හිටියා. ඔක්කොම මගේ හිතේ සත්ගුනවත් ජනතාව ගෙනත් අතෑරපු අය. බල්ලො ගැන හොයා බලපු ELTU එකේ හෙඩ් උන්ට බෙහෙත් විදලා බෙල්ලෙ රතු පටියක් එහෙමත් දාලා හිටියා.ඒත් ඉතින් හුඟක් අයගෙ ඇගේ හොරි දද එහෙමත් තිබුනා.උදේට අපි වාඩි වෙච්ච් කැන්ටිමේ පුටුවල රෑට බල්ලො දොයි කිව්වා.කුණු බාල්දි පෙරලුවා.එහෙම සූටි සූටි කරදර තිබ්බා.

එක එක බැච් එකට වෙන් වෙච්චි බල්ලොත් හිටියා.බැචාලාගේ නම් තමයි එයාලටත් වැටුනෙ.කැන්ටිමේ හිටපු "මාරිස්" දුඹුරු පාට තඩි බල්ලෙක්.හුගක් වෙලාවට වෙස්ට් ලෙක්චර් තියටර් එකේ ලෙක්චර්ස්වල මාරිස් ඉදිරි පෙල සාමාජිකයෙක්.අපි ඔක්කොම පස්සෙ පේලි වල නිදි කිරන කොට මාරිස්නම් ඕනකමින් උගන්නපුවා අහන් හිටියා මගෙ හිතේ.එක සැරයක් ගවරම්මාන සර් dear students and dogs කියලා ලෙක්චර් එක පටන් ගත්තා මතකයි.

සිරිබිරිස් අයියාගේ නම කොට කරගත්තු "සිරි "කලුයි සුදුයි පොඩි බව්වෙක්.එයත් හිටියෙ කැන්ටිමේ.සිරීට කැම්පස් නොවෙන මිනිස්සු පෙන්නන්න බෑ.පාට ඇඳුමෙන් ආවත් කැම්පස් ළමයින්ට කරදරයක් නොකරට පිට මනුස්සයෙක් කැන්ටිමට ආවොත් එළියට යනකන් ම සිරී නෙවෙයි බිරිල්ල නවත්තන්නෙ.සෙකුරිටි අංකලා සිරීට අරහං තවත් කොට්ටාශයක්.ෆැකල්ටිය පරිස්සම් කළාට සිරී ඉඳිද්දී එයාලටත් කැන්ටිම තහනම් කලාපයක්.

"වයිට්" ,මුල් කාලෙ පියෝවයිට් ඉඳලා පස්සෙ ඕෆ් වයිට් වෙච්චි බවලත් ඇත්තියක්.අපේ වටේ කැරකි කැරකි කොමල පාන්න උපන් හපන් වුනාට වරිගෙ පිරිමි පරාණ වලට නම් බොහොම දරුණුවට සැලකුවෙ මට මතක හැටියට.

"රූනි"  පිලඩ් එකේ හිටපු පිස්සු කේස් එකක්.ඔක්කොමත් හරි රූනිගෙන් තියෙන කරදරේ කොහේ හරි මඩ ගොඩක ඉඳන්ඇවිල්ලා ඇඟට පනින එක තමයි.
සතියෙ දවස් පහම මේ බලු නඩේට කෑමෙන් අඩුවක් වුනේ නෑ.සති අන්තෙටත් ගොඩක් වෙලාවට ගෙදර නොගිහින් නතර වුණු අපි කන බත් එකකින් මෙයාලා බඩගිනි නිවා ගත්තා.

ෆයිනල් කාලෙ  හිටපු විජේවර්දනේ කැන්ටිමෙත් බල්ලො හිටියා."බ්ලැකී "ගෙ වැඩේ වාඩි වෙලා කෑම කන කපල් එකක් පිටිපස්සෙන් හරි බරි ගැහිලා වාඩිවෙලා බැන බැන කන්න ඉල්ලන එකෙ. හොඳ ඇහැට කනට පේන ළමිස්සි වෙච්චි බ්ලැකී බෝයිස් හොස්ටල් එකේ ඉඳලා අපේ හොස්ටල් එකට ආව ගිය කඩාවැටෙන කන් තියෙන හැන්ඩි බව්වෙක් නිසා අම්මෙක් වෙච්වි.නිකන් නෙවෙයි පැටවු පහක්.ලස්සන කිරි බෝල ටිකත් එක්ක ෆස්ට් වින්ග් එකේ කොහු ඉදල් දාන පොඩි කාමරේක නතර වෙච්ච් බ්ලැකී නිකමටවත් පිරිමි පරානෙකට ඒ පැත්ත පලාතෙ එන්න දුන්නෙ නෑ.මේන්ටනන්ස් වලට  ඒ වින්ග් එකට මිනිස්සු එන්න බෑ කියන කොට සබ්වෝඩ්න් තර්ජනාංගුලිය ඉස්සුවා අම්මයි පැටවුයි ඔක්කොම එලියට දානවා කියලා.අනේ ඉතින් අපි හැමදාම උදේට ෆැකල්ටි යන්න කලින් ෆස්ට් වින්ග් එකයි තර්ඩ් වින්ග් එකයි මැද්දෙ තිබ්බ ගහක් යට පෙට්ටියක ට පැටවු ටික ගෙනියනවා.හවසට ආයෙත් ඇතුළට ගන්නවා.අතින් කටින් පැටවු එල්ලන් අපි යනකොට බ්ලැකී පාඩුවෙ ළමාතැනී වගේ පස්සෙන් එනවා. ඒ පැටවු ඔක්කොම (ගෑනු දරුවො පවා) ළමයින්ගේ ගෙවල් වලට භාර ගත්තා.

ෆැකල්ටි අවුට් වෙලා ඩිමෝ ඉන්න කාලෙ  හිල්ඩා එකේ හිටියා අපූරු බව්වෙක්.කට්ටිය එයාට එක එක නම් කිව්වා.මම මොකක් කිව්වද කියලා මතක් වෙන්නෙම නෑ.ඇක්සිඩන්ට් වෙලා බලූගෙ කකුලක් කැඩුණම කලින් හිටපු වෝඩ්න් මැඩම් වෙට් එකට ගෙනිහින් බෙහෙත් කරලා සනීප කරලා.ඒත් ඒ කකුල නවන්න බෑ.ත්‍රී විල් ගමනක් තිබ්බෙ.හත්වලාමේ මම පෙනුමෙන් ඒ වෝඩ්න් මැඩම් වගේ ලු.ඉතින් හැමදාම හොස්ටල් ගේට් එක ළඟ ඉඳන් සික්ස්ත් වින්ග් එකේ මගේ කාමරේ ගාවට මාව ෆලෝ කරන හාදයා රෑ එලි වෙනකන් උඩු බුරනවා දොර ගාව ඉඳගෙන.බැරිම තැන මම පිරිටන් එක්ක කිරි වීදූරුව ගානෙ හැමදාම දීලා තමා ඒ යෝදයා දොයි බබා කියෙව්වෙ.

ආනන්ද ජයසිංහ සර් ෆැකල්ටි එකේ බල්ලො අයින් කරන ප්‍රොජෙක්ට් එකක් ගෙනාවෙ ඔය අස්සෙ.සර්ගෙ අදහස නම් වුනේ බල්ලන්ට කෑම නොදා ඉමු එතකොට උන් කෑම තියන තැනකට යනවනේ කියලා.ප්‍රජා වයිද්‍ය ඒකකයෙ වැඩ නිසා මම බෙල්ල මුලින්ම වැඩෙට අහුවෙලා හිටියෙ.ඉතින් බල්ලන්ට කන්න දෙන්න එපා කියලා පෝස්ටර් බැනර් එල්ලන්න සර් පස්සෙන් මායි අනිත් සගයො දෙන්නයි යද්දි අපේ එවුන්ට කොහෙන් හිනා ගියාද කියලා දෙයියෝ දනී.ඔහොම ගෙහුන අපේ ෆැකල්ටියෙ බල්ලො ටිකත් අල්ලන් යන්න එනවා කියලා කතාවක් ගියා .සෙකුරිට් අය පවා හදා ගන්න බල්ලො ගෙදර අරන් ගියා.මට වගේම පිස්සු ජුඩිත් දැරිවි රූනිවයි තවත් බල්ලෙක් වයි ගෙනිච්චා.රූනි මගෙ හිතේ තාමත් එහේ ඉන්නවා.
අපි ආවට පස්සෙ ඒ වැඩේට මොකද වුනේ කියලා මම දන්නෙ නෑ.හැබැයි සර් කියපු එකේ ඇත්තක් තියෙනවා.ජලභීතිකාව නැතත් බල්ලොන්ගෙන් හැදෙන ලෙඩ රෝගවලින් වලකින්න පුළුවන් විදිහට පොදු තැන්වල ඉන්න බලු නඩ නඩත්තු කරන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි.ඒත් කැම්පස් ඉඳිද්දි නෙවෙයි අදත් සතෙක්.බඩගින්නෙ බලාගෙන ඉඳිද්දි බත් කටක් නොදී ඉන්න හිත හදා ගන්න අපිට අමාරුයි.

කරන්න ඕනෙ කාටත් හොරෙන් මල්ලක දාලා මේ අහිංසක සත්තු අහිංසක තැන්වල අතඇරලා යන මිනිස්සුන්ට හොඳ දඩුවමක් දෙන එක  මිසක් පොදු ආයතනවල මේ සත්තු නඩත්තු කරන්න කියන එක නෙවෙයි.