Sunday, April 26, 2020

දෙන්නා දෙපැත්තේ

#ඉගිලෙනකතා

බස් එකෙන් බහින තැන මට අමතක වුනා.
මං හිටියේ වෙනමම ලෝකෙක.
"ඔය රබර් කඩේ ළඟ බහිනවා කිව්වා නේද?
ඉක්මණට බහින්න"
කොන්දොස්තර බෙරිහන් දුන්න හැටියට ඊට කලින් දෙතුන්වතාවක් ම ඉස්සරහ හෝල්ට් එක මතක් කරන්න ඇති.
උන්දැගෙ ගෝරණාඩුව එක්ක මං ආයෙ මේ ලෝකෙට කඩා වැටුණා.
"බහිමු."
මගේ එහා පැත්තෙ එයා ඉන්න ඇත්තෙත් වෙන කොහේ හරි ලෝකෙක.
තිගැස්සිලා මේලෝකෙට ආපු හැටි දැකලා මට එහෙම හිතුනා.
රබර් කඩේ ගාවින්ගුරු පාර දිගේ ටික දුරක් යන්න තියෙනවා අපේ ගෙදරට.
බිම් කරුවල වැටීගෙන එන වෙලාවෙ ‍රබර් කඩේ ඉස්සරහ කන්පට ගගහ උන්නු නාටු බල්ලෙක් ඇරුණම පාරෙ වෙන කවුරුත් හිටියෙ නෑ.
ඒත් මං ඉක්මන් අඩියට පෑහෙන එයාට බෑ.
එයා ආවෙ මට අඩි තුන හතරක් පිටිපස්සෙට.
පාරෙ කවුරු හරි හිටියත් සමහරවිට හිතයි අපි දෙන්නා එක්කෙනෙක්ට එක්කෙනෙක් අඳුරන්නෙ නැති දෙන්නෙක් කියලා.
ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් මං ආපහු හැරිලා එයා එනකන් බලන් හිටියා.
මං බලන් ඉන්න බව දැක්ක හින්දා එයා ඇවිදිල්ලකුත් නොවෙන දිවිල්ලකුත් නොවෙන අතරමැද්දකට අඩිය ඉක්මන් කළා.
එයාගෙ අතින් අල්ලගෙන මං ගේට්ටුව අරිනවා.
ඉස්සරහට අඩියක් තියනවද එහෙමත් නැතිනම් ආපහු හැරිලා යන්න ඊළඟ බස් එක අල්ලන්න යනවද කියලා මගේ හිත ඇතුලේ මහා යුද්ධයක් වෙන බව නොදැන මං අඩියක් තියෙන කං එයා බලන් උන්නා.
.....................
ගේට්ටුව ළඟින් පටන් ගත්තු වැලි පාර කෙළවර වෙන්නේ අඹ ගස් අස්සෙන් යාන්තමට පේන ගෙදර ළඟින්.ඒ ගෙදර උන්නේ අපේ අම්මා තරමටම මට ආදරේ කරපු ඇත්ති.
අවුරුදු ගාණක් තිස්සේ මගෙන් එක වචන මාත්‍රයක ආදරේක සැලකිල්ලක බලාපොරොත්තුවක් ලැබුණේ නැතත් වචනෙකින් තියා හීනෙකින්වත් ඒ ගැන ආඩපාලි නොකියාම මට ආදරේ කරපු ඇත්ති.
මං කොයිතරම් නං බල කෙරුවත් මගෙන් තොර ජීවිතයක්, මගෙන් තොර ලෝකයක් ගැන හිතන්නටවත් අකමැති ඇත්ති.
මං තරම් හොඳ පිරිමි පරාණයක් මේ සක්වල ගලේ කොහේවත්ම නෑය කියලා තුන්හිතින්ම හිතා ගෙන උන්න ඇත්ති.
ඔවු.ඒ ගෙදර උන්නෙ උන්දැ.
................
එතකොට මගෙ අතේ එල්ලිලා උන්නෙ.
ඒ උන්දෑ තරමටම මට ආදරේ කරපු තවත් ඇත්තියෙක්.
උන්දැත් හිතන් උන්නේ මං උන්දැගේ විතරමය කියලා.
මං තමාය උන්දැගේ නළලේ මහබඹා කොටාපු එකා කියලා.
මං ලෝකේ ඉන්න හොඳම මිනිහා නොවෙන විත්තිය නම් උන්දැ දැනං හිටියා.
මොකද උන්දැගේ ආදරේ ඔට්ටුවට තියලා මං කරපු සෙල්ලම ඉවර වුනේ ඒ ආදරේ හරි සෙල්ලම හරි කවදාවත් අමතක නොවෙන විදිහේ පණ ගැහෙන මතක සටහනක් උන්දැගේ සරීරේ ඇතුලක හංගලා.
මේ වෙද්දි හැංගිමුත්තං කරකර හිටිය මතක සටහන උන්දැගෙ සරීර කූඩුව එළියට පේන්න වෙනස් කරන්න පටන් අරං අහවරයි.
ඔව් මං ලෝකේ ඉන්න හොඳම මිනිහා නෙවෙයි.
ආදර සෙල්ලං කරලා සමරු සටහන් තියලා ගියාට මේ ඇත්ති මට ආදරේ කරන තරමින් දහයෙන් එකකවත් මං උන්දැට ආදරේද කියලාවත් මම දන්නෙ නෑ.
ඒත් මං මේ ලෝකෙ ඉන්න නරකම මිනිහා නෙවෙයි කියලා මට විශ්වාසයි.ඉතින් මට සමහරු සටහන කකුළට පාගලා පොඩි කරලා අමතක කරන්නවත් මේ ඇත්තිව සමහරු සටහන එක්කම හිතෙන් දොට්ට වීසි කරන්නවත් හිත දෙන්නෙම නෑ.
ඒත් අඩුම තරමේ මේ ඇත්තිට ඉහට හෙවණක් හදන්න ගෙන්දගම් පොළවේ මගේය කියලා බිම් අඟලක්වත් තිබුන මිනිහෙක් නෙවෙයි මම.එදා දවසෙ හම්බුන අතේ ඉතුරුවුණ ගානක් මිසක පවුලක් නඩත්තු කරන්න හයියක් තිබිලත් නෙවෙයි මං මගුල් නටන්න ගියේ.
වැලි පාර පටන්ගන්න තැන ගේට්ටුව ළඟට මං ආවෙ ඔන්න ඔය ගිනි විජ්ජුම්බරවල අවසාන ප්‍රතිඵලේ විදිහට.
.................
ඔව්.මම මහා ආත්මාර්ථකාමී මිනිහෙක් තමයි.
ගෙදර දොරට තට්ටු කරන ගමන් මං කල්පනා කරනවා.
මේ උන්දෑ ඇස් ලොකු කරගෙන මගේ පිටිපස්සෙ හැංගෙනවා.
"කවුදෝ................................"
කුස්සිය දිහාවෙන් ඇහෙන්නේ ඒ ඇත්තිගේ කටහඬ.
"මේ මම...."
දඩිබිඩියේ කඩිමුඩියේ උන්දැ දුවගෙන එන සද්දෙ මට ඇහෙනවා.
දොර අරින්න කලියෙන් උන්දැගෙ ආදරේ පිරිච්ච මූණ මට මැවිලා පේනවා.
ඔවු .තව තප්පර දෙකතුනක් යද්දි ඒ මූනෙ හිනාව කඩා වැටිලා නැත්තටම නැති වෙලා යයි.
දොර ඇරිලා ඒ ඇත්ති අර කිවු ආදර මූණෙන්ම එබෙනවා.
"හත් දෙයියනේ...මේ හැබෑටමද?"
කපාපු නැති රැවුල් කොට ඇනෙන මගේ මූණ අත් දෙකෙන්ම අල්ලාගෙන උන්දැ කඳුළු කැට වගුරනවා.
..............
මගේ පිටිපස්සෙ ඉඳලා අරුන්දෑ එබෙන්නේ ඔය වෙලාවට.
අර ඇත්තිගේ මූණ වෙනස් වෙන හැටි මට හොඳහැටි පේනවා.
පුදුමෙන් ලොකු වෙච්ච ඇස් ගෙඩි මගේ පිටිපස්සෙ ඉන්නා බවලතීගේ හිස්මුදුනේ ඉඳන් රූටාගෙන පහළට ගිහින් බෝල ගැහුණ බඩගෙඩිය ළඟ නැවතිලා පීරිසි කෝප්ප සයිස් වෙන හැටි.
"මේ ....?"
"මේ නාලනී.."
"මේ....."
" නාලනීගේ බඩේ ළමයෙක්.මගේ ළමයෙක්"
මං කොච්චර ආත්මාර්ථකාමී මනුස්සයෙක් ද කියලා මට ආයෙමත් හිතෙන්නේ පොල්ලෙන් ගහන්නා වගේ ඒ ටික කියලා දාද්දි.
මං එතන නොඉන්න ගානට ඒ ඇත්තියි මේ ඇත්තියි දෙන්නට දෙන්නා දිහා බලාගෙන ඇස් දෙකෙන් යුද්ධ කරනවා.
මගේ පිටිපස්සෙ එන්න උන්දෑගෙ ඇහේ කඳුළු කැට පොරකනවා.
ඉස්සරහ ඉන්න උන්දැගෙ පීරිසි සයිස් ඇස් ආයෙම පොඩි වෙලා ඒවත් යන්තමට දිලිහෙන ගන්නවා.
"අනේ මන්දා උඹට නම් හොඳටම පිස්සු.අවුරුදු ගාණක් අතුරුදහන් වුණා.අඩුම ගානේ උන්නද මලාද කියලා ආරංචියක් වත් නෑ මට.දැන් මේ ගොම්මනේ කඩා පාත් වෙනවා බඩදරු අම්මෙකුත් එක්ක."
"අඩුම ගානේ මේ ළමයා වාහනේක එක්කගෙන එන්න තිබ්බෙ නැද්ද ?පේන්නැද්ද මේ ළමයගෙ හොඳ පණ ගිහින්."
ආදර සටහන උස්සාගෙන ආ ඇත්තීගේ ගමන් මල්ල අතට ගන්න ලොකු අක්කා ගෙට යන්න හැරෙන්නෙ උන්දැවත් එක්කගෙනමයි.
"යං නංගියෙ ගෙට.මේ යෝධයා ඔහොම්මම තමයි.හිත හොඳ උනාට කළදක්වත් මොළේ නෑ."
අවුරුදු පහකට කලියෙන් ගෙදරින් තරහ වෙලා ගිය ඉලන්දාරියා මිදුලේ ම ඉන්දැද්දී මමත් ඒ දෙන්නා පිටිපස්සෙන් මහගෙදරට ගොඩ වෙනවා.
ඉගිලෙන ලියමන්
2020.04.22
මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් එහෙම කිව්වම මගේ හිත දෙකට මැද්දෙන් තනි අකුණක් කෙටුවා.
ඊට ටික වෙලාවකට කලියෙන් මගේ අතේ ඇඟිලි පහේම පාර හිටපු කම්මුලත් අල්ලගෙන අනුත්තරා මගේ දිහා බලන් හිටියා.
අනුත්තරා ඇඬුවෙ නෑ....
........................
කමල්ව දැක්ක දවසෙමයි මං හිතුවෙ කවදාහරි කසාද බඳිනවනම් බඳින්නෙ කමල්ව විතරමයි කියලා.
කමල් ඇරපු අතක් නෑ අමිතාබ් බච්චන් තරුණ කාලෙ වගේ.
අමිතාබ් බච්චන්ට මං පිස්සු වැටිලා උන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්මයි.
ඒ කාලේ ටීවි එකේ ඉඳහිට යනවා අර අභිමාන් ෆිල්ම් එකේ තෙරේ මේරේ සින්දුව.ජයා බහදූරිව වත්තන් කරගෙන අමිතාබ් සින්දුව කියද්දි මං ජයා බහදූරිව සීන් එකෙන් කපලා අයින් කරලා එතනින් මනේකා ගජනායකව අලවගන්නවා.
මං තමයි මනේකා ගජනායක.ගජනායක වලව්වේ එකම දරුවා නිසා මට මේ වෙනකන් කිසිම දෙයකින් අඩුපාඩුවක් වෙන්න අප්පච්චිලා ඉඩ තිබ්බෙ නෑ.
මට උරුම වෙලා තිබුනෙ අපේ අම්මගේ හැඩරුව.අපේ අම්මා ඉතින් අඹාපු ඉටිරූපයක් වගේ කියලා තමා අප්පච්චි විහිලු කළේ.
ඉස්කෝලෙ යනකාලෙ ඉඳලම මගේ ලස්සනට වහවැටිලා පස්සෙන් වැටුන කොල්ලො ගාන මට මතකත් නෑ.
ඒත් පරම්පරාවෙ නම්බුව ගැන අප්පච්චියි අම්මයි නිතරෝම මතුරපුවා මොළේ කොයිතරම් තදින් ඇලිලා තිබුනද කියනවනම් මට ඒ එක හාදයෙක් ගැන වත් විශේෂ මොකවත් හිතුනෙ නෑ.
සමහර විට ඒ එක හාදයෙකුටවත් අමිතාබ් බච්චන් පාටක් පැත්තකින්වත් නොතිබ්බ නිසා වෙන්නත් බැරි නෑ.
උසස් පෙළ කරනවට අප්පච්චිගෙ අකමැත්තක් නොතිබ්බත් කැම්පස් යනවට නං කොහොමටවත් කැමැත්තක් තිබුනෙ නෑ.ඒත් ඉතින් අඬලා වැලපිලා මං නතර වුනේ කැම්පස් ගිහින්.
කැම්පස් එකේදිත් ඔය සෙතේමයි.අපේ ෆැකල්ටි එකේ විතරක් නෙවෙයි අනිත් ෆැකල්ටිවලත් අනේකවිධ කුමාරයන්ට මං ගැන පිළිබඳ සිත් පහළ වුනාට ඒ එක හිතකවත් මට නවතින්න ඉඩක් මං දැක්කෙ නෑ.
ගෙදර ළඟම ඉස්කෝලෙ සිංහල ගුරුතුමී වෙලා එන්න ලැබුනේ උපාධිය නිසා වගේම අප්පච්චිගේ ඇඳුණුම්කම් නිසාත් තමයි.
කළවයස හරි හින්දා කපු මහත්තයා ගෙවල් පැත්තෙ කැරකෙන්න අරන් අවුරුද්දකටත් වැඩි වුනත් මේ වෙද්දි උන්දැගෙ නම් හොඳ පණගිහින් වෙන්න ඇති.මොකද උන්දැ හොයන් එන හැම මනමාලයගෙම මට පෙනුනෙ එක එක ඇදකුද.
"ඔයාගෙ මොකක් හරි පලහිලව්වක් තියෙනවනං කියන්න දෝණි."මාසෙකට විතර උඩදි අම්මා එහෙම කිව්වෙ මං ගෙදරම නවතීවි කියන බයටද මන්දා.
.....................
කමල් හා හා පුරා කියලා ඉස්කෝලෙට පය තිබ්බේ හරියටම ඒ කතාවට දවස් තුනකට පස්සෙන් පහු.
දණ්ඩක් වගේ උස, පැත්තට පීරපු කොණ්ඩෙ, හමේ පාර විතරක් නෙවෙයි බරසාර කටහඬ ඔය ඔක්කොටම සටසට ගාලා මගේ අමිතාබ් මීටරේ ලකුණු වැටුණා.
කමල්ගෙයි මගෙයි ජීවිත සෑහෙන ගැලපෙන බව මං වටින් ගොඩින් හොයාගත්තෙ අලුත්ම කාර් එකකින් ඇවිදින් ඉස්කෝලෙ මිදුලෙ බැහැපු අමිතාබ් ජීට වහ වැටිලා දවසක් දෙකක් යද්දි.
මං වගේම කමල් පවුලේ එකම දරුවා.කුරුණෑගල පැත්තෙ වලවුකාර නොවුනත් හොඳ වැදගත් පවුලක පිරිමි දරුවා.
මට වගේම කමල්ටත් රස්සාවක් කරලා කන්න අඳින්න හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් මං වගේම කමල්ටත් රස්සාවක් කරන්න තිබුන උවමනාව හින්දා තමා අපි එක ඉස්කෝලෙක මුණ ගැහෙන්නේ.
කමල් ආවෙ සංගීතෙ උගන්නන්න.කොහොමත් සිංහලයි සංගීතෙයිත් එකට ගැලපෙනවනේ.
පොඩි පරහකට තිබුනේ කමල් කතාවට අල්ලගන්න සෑහෙන අමාරු එක.මොනවා කරන්නද පිරිමි බහුතරයක් උපන්ගෙයි බිම් බස්සෝ නෙව.
අම්මා ලව්වා අප්පච්චිට කතා කරලා කපු මහත්තයා කුරුනෑගල යවන්න ඕනෙ.ගුරු කාමරේ පැත්තට යද්දි මං හිත හිතා උන්නෙ එහෙම.
ගුරු කාමරේ ඒ වෙලාවෙ උන්නෙ අනුත්තරායි කමලුයි.කමල් අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියද අනුත්තරා කමල්ගෙ අත අල්ලන් හිටියද මන්දා.කොහොමහරි ඒ දෙන්නාගෙ අත් ගුරු කාමරේ මේසෙ උඩ බොහොම හුරුපුරුදු ලතාවට පැටළිලා තිබුණා.
උන් හිටි තැන් අමතක වෙලා මම බෙරිහන් දුන්නු හැටියට ලොකු සර්ටත් ඇහෙන්න ඇති.
"දෙයිහාමුදුරුවනේ මේක ඉස්කෝලයක් නේද?
ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ගෑනියේ මේ මහ දවාලෙ මෙතන ජවුසං නටන්නේ."
කමල්ගෙ අතින් ගලවලා ඇදලා ගත්ත අනුත්තරාගෙ කම්මුල හරහා මහා සද්දෙට මගේ අත අතෑරලාත් තව මොනවාහරි කුඩුපට්ටම් කරන්නයි මගේ හිත කිව්වෙ.
........................
අනුත්තරා එකේ පන්තියෙ ඉඳලා අවුරුදු දහතුනක්ම හිටියෙ මගේ පන්තියේ.
අනුත්තරාගෙ අම්මත් අපේ අම්මා වගේම හැඩකාරයි.ඒත් අනුත්තරාට ඇවිත් තිබුනෙ එයාගෙ තාත්තගෙ පරම්පරාවෙ හැඩරුව.
එකේ පන්තියෙදි මට මතක කළු කොට මහත කිසිම හුරතලයක් නොපෙනෙන කෙල්ලෙක්ව.
ඒ මදිවට ඉස්සරහ දත් බොල්ලෑව අනුත්තරාගෙ පෙනුම තවත් අජූව කළා.
අනුත්තරා කියන නම වෙනුවට "බතලි" කියන නම අනුත්තරාට පට බැන්දෙත් එකේ දෙකේ පන්තියෙදි මමද මන්දා.
ඒ කොහොම හරි එදා හිටන් ඉස්කෝලෙන් පිට වෙනකන්ම අනුත්තරාගෙ අංගපුලාව ලස්සන ඉස්කෝල මතකවල කැතට ඇලිලා හිටියා.නැටුම් පීරියඩ් එකේදි ඇරුණම අනිත් හැම වෙලාවකම අනුත්තරා පන්තියේ මුල්ලකට වෙලා මුලුගැන්නිලා ඔහේ හිටිය බව මතකයි.
හැමදාම පන්තියේ කොලු රෑනට වගේම කෙල්ලන්ටත් බයිට් එකට අහු වුනේ අනුත්තරාව.බතලි, කොතල බටේ වගේ එක එක නම් පට බැඳෙද්දි අනුත්තරා හැමදාම කළේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ඉවසගෙන හිටපු එක.පන්ති ටීචරුත් නිකං එපා වාහෙට හොදි බෙදන්නැහේ කොල්ලෙක්ට පිටට පාරක් දුන්නට උන්දැගේ හිතෙත් අනුත්තරා ගැන මහ ලොකු ආදරයක් උනන්න නැතුව ඇති.
මට අනුත්තරාව පෙන්නන්න බැරි වුනේ උන්දැගෙ පෙනුම හින්දද හැම දේම දරාගෙන ඔහේ ගහක් ගලක් වගේ ඉවසගෙන හිටි නිසාද මන්දා.
ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ අනුත්තරා මගේ මතකෙන් එළියට වීසි වෙනවා.කැම්පස් යන්න ලකුණු මදි වුනාට අනුත්තරා ගුරු විද්‍යාලෙට ගිය විත්තිය මගෙ කනේ තියන්නෙ අම්මද මන්දා.
කොහොමින් කොහොමහරි මං එන්න ටික කාලෙකට කලියෙන් අනුත්තරා ආයෙ ඉස්කෝලෙට එන්නෙ නැටුම් උගන්නන්න.
ඉස්සර වගේම තාමත් අනුත්තරා වස කැතයි.එකම වෙනස සුදු ගවුම වෙනුවට අනුත්තරා සාරියක් ඇඳපු එක.
ළමයි වගේම ස්ටාෆ් එකේ උදවියත් තමන් අනිත් පැත්ත හැරෙනකන් ඉඳලා හිනාවෙන විත්තිය අනුත්තරා දන්න හින්දා වෙන්න ඇති ෆ්‍රී පීරියඩ්වලත් නැටුම් කාමරේම වැඩි හරියක් හිටියේ.
ඉස්සර හාවා හඳ ගුරු කාමරේට ආපු අනුත්තරා පහු ගිය කාලෙ ඒ සිරිත වෙනස් කළා නේද කියලා මට කල්පනා වෙන්නෙ දැන්.
අනෙක සංගීත කාමරේ නැටුම් කාමරේට එහා පැත්තේ.
පහු ගිය සති දෙක තුනේම කමල් වෙනදා තරම් ගුරු කාමරේ පේන්න නොහිටිය විත්තියත් මතක් වෙන්නෙ ඔය අස්සේ.
අම්මපා මේකිට වෙන අල්ලගන්න මිනිහෙක් හිටියෙම නැද්ද?
මං තරහේ පුපුරණවා.
කමල් එක්ක මං කසාදයක් ගැන කතා කරලා නෑ තමයි.ඒත් කමල්ට මට අකමැති වෙන්න හේතුවක් නෑනේ.

............
කල්ප කාලාන්තරයක් ගතවුණා වගේ මට දැනුනට තාම තත්පර දෙක තුනකට වඩා ගෙවෙන්න නැතුව ඇති.
"මොකද මනේකා මේ?"
කමල් අහන්නේ කලබලයක් නැතුවම.
"මොකද අහන්නේ කමල්?
මේ මහ දවාලෙ ගුරු කාමරේ අත් අල්ලගෙන.මේ මොන විගඩමක්ද කියලා මමයි අහන්න ඕනේ"
මගේ ඇස්වලින් අනුත්තරා ගිනි තියන්න පුළුවන් නම් මේ වෙද්දි ඒක වෙලා.
"මනුස්සයෙක් තව මනුස්සයෙක්හෙ අතින් අල්ලගෙන ඉන්නවා කියන එකේ මොකද්ද මනේකා තියෙන ගැටලුව?
අපි දෙන්නා මෙතන වෙන මුකුත් කළේ නෑ නේද?
ඉතින් ඇයි මනේකා කලබල වෙන්නෙ?"
"කලබල වෙන්නෙ?
කමල් බැඳලද?
මේ ගෑණිට මිනිහෙක් ඉන්නවද?
මේ අත් අල්ලගෙන කිරිකිරි බෝල නැටිලි කොහෙන් කෙළවර වෙයිද? ඉස්කෝලෙ නමත් නරක් කරලයි මේවා නවතින්නේ."
මගේ ඇස් වලින් දුම් පිටවෙනවා ඇති ඇත්තටම.
"අහ් මනේකා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ.අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියට එහා දෙයක් මම කළේ නෑ.
කොහොමත් මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් මගෙ ඔලුව උඩට ඒ ගිණිගෙඩිය අත ඇරියෙ ඒ වෙලාවෙ.
"කසාද බඳින්න?
මේ අනුත්තරා ව?
ඔයාටත් සදහටම මේක වගේ ලෝකෙට විහිළුවක් වෙන්නද ඕනෙ ?"
කමල් සාමාන්‍යයෙන් විහිළු කරන හාදයෙක් නෙවෙයි.ඒත් මේ මොන විකාරයක් ද?
"ඔව්,ඔයා වගේ පිටින් බලලා මිනිස්සු මනින උදවියට අනුත්තරා හැමදාම විහිලුවක් වෙයි.
අපි දෙන්නා කසාද බඳින එක ඊටත් වඩා විහිළුවක් වෙයි.අනුත්තරාටවත් මටවත් ඒ විහිලු නුපුරුදු දේවලුත් නෙවෙයි.
හැබැයි ඒක මටවත් අනුත්තරාටවත් කොහොමටවත් ගැටලුවක් වෙන්නෙ නෑ මනේකා.
ඉතින් අහක ඉන්න ඔයා ඒක ගැටලුවක් කරගන්නත් එපා."
කමල් පුටුවෙන් නැගිටලා තුනට නවලා තිබුන එයාගෙ සුදු සැරයටිය දිග ඇර ගත්තා.
"අපි යමු අනුත්තරා"
මගේ අමිතාබ් එක්ක අනුත්තරා යන්න යද්දි ගුරු කාමරේ තනි වෙච්ච මගේ ගින්දර උඩින් ඇස් දෙකේ කඳුළු පිටාර ගැලුවා.
ඉගිලෙන ලියමන්
2020.04.25

කොරෝනා

කොරෝනාව නිසා ගෙදරට හිර වී මාසයක් හිටි නිසාවෙන් අපේ ගෙදර උන්දැලාගේ මානසික සෞඛ්‍යය මේ දවස්වල තියෙන්නේ සෘණ දිහාවේත් අගිස්සේය.කොයි වෙලාවේත් හැම එකාටම හොස්ස ළඟින් මැස්සා යන්නට බෑය.
ළඟින් ගියොත් ඇහැක් නෑ ය.ශත වර්ෂ ගානක් පැරණි යට ගිය හූනු බිජ්ජක් තරමේ කෝන්තර ගොඩ දමාගෙන කර තියාගෙන ය.
එක්ස්පයරි ඩේට් එක හොයාගන්නටත් බැරි තරම් පරණ කොත්තු මී එකක් කෑ අයියාට බඩේ ගායක් හැදෙන්නේ මේ අවු අස්සේය.
පශ්චාත් බාගයට අත තියාගෙන උන්දෑ නාන කාමරයට දුවද්දී අක්කා ඒක ඇතුලේ ය.කොරෝනා නෙවෙයි ලෝක විනාශය ආවත් අක්කා නාන කාමරයට වැදුනානම් වරුවකට එළියට ගන්නවා බොරු ය.ඉතින් මේ දැන් වාන් දාන්නට වලිකන දොරටුව පශ්චාත් භාගයෙන්ම තෙරපාගෙන අයියා දුවන්නේ ගෙයින් එළියේ පිහිටි ඉඳහිට ආච්චිඅම්මාත් මමත් විතරක් පාවිච්චි කරනා වැසිකිළියට ය.
පළාතම සුගන්ධවත් කරමින් අදාල කර්තව්‍යය සාර්ථකව නිමකළ අයියාට ඊළඟට මුහුණ දෙන්නට වෙන්නේ ඊට හපන් අකරතැබ්බයකටය.
පශ්චාත් භාගය පිරිසුදු කරගන්නට වතුර ගන්නට භාජනයක් වැසිකිළියේ නෑ ය.
භාජනයක් ඉල්ලා උන්දෑ කිහිපවතාවක් මොර දුන්නත් වොයිස් ඔෆ් ටීන් අහමින් ඒ තාලයට කුස්සියේ උයමින් හිටි අම්මාට ඒක ඇහෙන්නේ නෑ ය..ආච්චි අම්මා කොහොමත් බීරි ය.තාත්තාගේ කන් ඇහෙන්නේ වාසියට විතරය කියා මේ දවස්වල රේඩියෝවෙත් කියනා බව අම්මා ගේ මතය ය.
කොරෝනා නිසා මොකෙක්වත් ගෙදරට නාවත් අල්ලපු ගෙදර කුස්සිය පැත්තෙන් කරුමෙට වත් අයියාගේ බැල්මට් එකට අහුවෙන නඟා එළියට ආවොතින් කියනා අවදානම නිසාවෙන් හෝදා නොගත් පශ්චාත් භාගය සමඟ අයියාට එළියට බහින්නත් බැරි ය.
"අම්මේ ......තාත්තේ.. කවුරුත් නැද්දෝ....කන් බීරි වෙලාද මන්දා මේ ගෙදර එවුන්ගේ...යකුනේ...බාල්දියක් ගෙනත් දියවු කවුරුහරි ...."
දොර කැඩෙන්නට තරම් හයියෙන් දොරට තඩිබාමින් අයියා පැය කාලක් පමණ බෙරිහන් දෙද්දී එළවලු ලොරියක් පාරෙ යනවාදැයි බලන්නට එළියට බහින අම්මාට යාන්තම් මේ සද්දේ කන වැටෙනවා ය.
දැන් අම්මාත් තාත්තාත් වෙනින් වැඩක් නැති ආච්චීත් නහයවල් මිරිකාගෙන වැසිකිළිය ඉස්සරහ මිදුලේ ය.
"ඕක අස්සෙ රිංගද්දි වතුර ගන්න භාජනයක් තියෙද බලලා යන්න දන්නෙ නැද්ද?"
වතුර නැතුව ඉන්න මිනිහාට තාත්තා අනින්න යනවා ය.
"අපොයි ඔව්.මං මේ ඇතුලට යන්න කලින් නැකතකුත් බලලා යන්න හිටියේ.ඇයි යකෝ වෙනදට මේක ඇතුලේ බාල්දියක් තිබ්බෙ.මං දන්නවද බාල්දිය මොකෙක් හරි උස්සලා විත්තිය?"
වහපු දොරක් පිටිපස්සේ ඉන්න වෙලාවට අපේ අයියාත් හරිම චන්ඩියෙක් ය.
"අම්මේ....කෝ මේකෙ තිබ්බ බාල්දිය?"
කන් ඇහෙනවා හොර ආච්චිගෙන් අම්මා ඇහුව සද්දෙට එහා ගෙදර විමලාවතී නැන්දාත් වැටෙන් එබෙනවා ය.
"මොකෝ නංගි...?"
" නෑ මේ බාල්දියක් නැති වෙලා"
"මං දැක්කා සුවිනීතා කෙලී ඊයෙ තැඹිලිපාට බාල්දියකට පස් පුරවන් මේ පැත්තට ගේනවා.."
බීබීසී එකේ දිගු දුර මෙහෙයුම් අංශේ වැඩ කරන ඒ නැන්දාට පින්සිද්ධ වෙන්න බාල්දියට වෙච්ච දේ හොයා ගනිද්දි නහය කඩාගෙන යන ශැම්පු, පවුඩර් සෙන්ට් කුණාටුවක් මැද්දෙන් නාන කාමරයේ සිටි අක්කාත් සභාවට සැපත් වෙනවා ය.
"හා හා...ඒ බාල්දියට අත තියන්නෙ එහෙම නෑ.මම ඒකෙ අප්‍රිකානු බෝංචි ඇට වගයක් හිටෙව්වා."
උන්දෑ ගස්සාගෙන ආයෙමත් ගෙට යනවා ය.
ඇඳිරිනීතිය අස්සේ සූර ගෙවිලිය තරඟෙට යන්න හිතාගෙන ඉන්නා අක්කා මේ වෙද්දී කන්න ගෙනා කරවල කූරියාත් මිදුල මැද හිටවලා හමාර ය.මිදුලේ ඉඩකඩ අහවර නිසාවෙන් අහුවෙන හැම හට්ටියකම මුට්ටියකම බාල්දියකම උන්දෑ ඇට හිටවන්නට අරගෙන දැන් දවස් තුන හතරක් ය.
"මෙතන උඩ බලාගෙන ඉන්නෙ.අර කොලුවට බාල්දියක් ගෙනත් දෙනවකෝ."
තාත්තාගේ ගෝරනාඩුව අම්මාටය.
"හුහ්...ඒ මොකටද මං ගෙනත් දෙන්නේ?
ඇයි මතක නැද්ද ඊයෙ හැන්දෑවෙ ඔහේ කිව්වෙ ඔහේ තමයිය මේ ගෙදර වැඩිම හරියක් කරන්නෙ.ඔහේ නොහිටියනං කොරයි ඇඳිරිනීතිය අස්සෙ කියලා."
ඊයෙ හැන්දෑවේ නොව මීට අවුරුදු විසි අටකට කලියෙන් අඟහරුවාදා හවසක තාත්තා ගෙනා සීනි කුරක්කමක සීනි දියවී තිබිල්ලත් හොඳහැටි මතක අම්මාට ඊයෙ හවස තාත්තා කළ අරියාදුවට වාඩුව ගන්නට මේ කදිම වෙලාවය.
"ඔව් කිව්වා තමයි.මං කිව්වෙ කඩේ යන, බඩු ගේන, ගෑස් ගෙන වැඩ වගේ අත්‍යාවශ්‍ය වැඩ.මේ ලැට් එකට වතුර බාල්දියක් තියන එක වගේ පොඩි වැඩ නෙවෙයි.මං නොහිටියනං කොරයි මේං කියලා."
විමලාවතී නැන්දා තාමත් වැට ළඟ නිසාවෙන් තාත්තාගේ පුරුෂ දහිරියත් අතාරින්නේ නෑ ය.
"කොරයි මගෙ කට.අනේ මේ ඔහේ ගෙදර නොහිටිය දවස්වල අපි කඩේ ගිහින් බඩු ගෙනත් නැද්ද?හරි අමාරු වැඩක් නෙ කරලා තියෙන්නෙ.අනික මේ පාරවල්වල බලු බල්ලෙක් නැති කාලෙ ගෙදර ගාවට ගෙනත් දෙන බඩු ටික ගෙට ගන්න එක මහ දෙයක් යැ"
අම්මා පසු බහින්නේ නැති ය.
"මහ දෙයක් නේන්නං.මොනවා හරි එක බඩුවක් නැතිනං මෙතන හැච හැච ගාන්න ගන්න හැටි අපි දන්නෙ නැද්ද?
මහ දෙයක් නෙවෙයිනං ඉතින් ඔහේට තිබ්බනේ ඒවත් කරන්න ?"
තාත්තාද අතාරින්නේම නෑ ය.
"මං මොකටද කරන්නේ ඇයි ඔහේ මද්දුම බන්ඩාර වෙලා පැනලා බාරගත්තේ කොරන්න?
අනික මොකෝ මං මේ ගෙදර නිකං බලාගෙන හිටියද පහු ගිය දවස්වල?"
"දෙයියනේ ඕක නවත්තලා බාල්දියක් ගේන්න බැරිද කාටහරි?"
අයියා තාම සිහිසුන් වෙලා නැති පාට ය.
"උඹ වහගනින් කට.බොලාගෙත් කටවල් පණගහන්නේ මේ වෙලාවට තමා. එක දවසක් බාල්දියක් නැති වුනා කියලා දැන් උඹ මැරෙයිද?
දැන් උඹ පහු ගිය මාසෙම අර කාමරේට වෙලා කොම්පියුටරේට විරිත්තගෙන ඉන්දැද්දි කන්න බත් තම්බල දුන්නෙ වෙන කවුරුහරි ද?
මේ කොරෝනාවෙක් ගහලා මැරෙයි කියලා බයේ ඉන්දැද්දි කොත්තමල්ලි තම්බලා දුන්නෙ, එතකොට වත්ත වටේම ගස්කොලංවල කොළ කඩලා දාලා දුංහට්ටි අල්ලන්න දුන්නේ වෙන කවුරුහරි ද?
උඹලාවගේ ගුණමකු ජාතියකට නැහීගෙන කරලා මෙව්වා අහගන මදි මට."
ඒ පාර අම්මා මිදුලට මැද හොටු හූර හූරා අඬනවාය.
"කන්න බොන්න හදන එක ඇඳිරි නීතිය නැති කාලෙත් අමුතුවෙන් කරපු රාජකාරියක් යැ.කන්න බොන්න තම්බන්නෙත් ඉතින් ගෙදර වවපුවා නෙවෙයිනේ.මං කඩෙන් ගෙනාපුවා නේ."
තාත්තා කෝකටත් විසී වී එන ගඩොල් කැට මල් පෝච්චි පතිත වෙන්නට පුළුවන් අවදානම් කලාපයෙන් එහාට වෙලා ය.
"මේ මගුල් කෑමක් නෙවෙයි මං ඉල්ලන්නෙ වතුර බාල්දියක්."
අයියාට තවත් වරක් මල පනින්නට යන හැඩ ය.
"ඇයි යකෝ මගෙ කන් ඇහෙන්නෙ නෑ කියලා හිතුවද?
බොටත් ඔය වතුර බාල්දියම තමා ප්‍රශ්නෙ.ඇයි වදේ මේ ගෙදරට පාරෙන්
වතුර ගන්න හැම තැනම ඔෆීසි ගානෙ බඩගෑවේ කවුද?
එකෙක්වත් නිකමට තනියට ආවද?
අර නාන කාමරේ උණු වතුර මල් හයි කරන්න සල්ලි කාගෙද?
නිකමටවත් මතකද ඒවා?
නෑ නෑ.එකක් මතක නෑ.කෙලෙහිගුණයක් නෑ.
ඇයි අප්පා මං මෙහෙම තැන්වල ඉන්නේ ..."චීත්ත පොටෙන් නහය පිසදමමින් අම්මා අඬනවා ය.
"යකෝ.බාල්දියක් ඉල්ලන්නේ පස්ස හෝදගන්න..මිසක් වවන් කන්න නෙවෙයි."
අයියා බෙරිහන් දෙනවා ය.
"සබං නැතුව බැරි මොකද කොලුවෝ.මැතිනිගෙ කාලේ අපිට සබං තිබුණයැ.ඔය පඳුරක් අස්සෙ එලි බැහැලා දොල පාරෙන් හෝදගෙන ආවෙ අපි.මොන සබං ද?"
ආච්චි අම්මාට මොනවාහරි වැරදියට ඇහිලාද එහෙමත් නැතිනම් සීනි අඩු වැඩි වෙලාද කියන එක වෙනමම හිතන්න වෙනවා ය.
"හපොයි දෙයියනේ..බාල්දි ඕනැත් නෑ.වතුර ඕනෙත් නෑ.සබං ඕනේම නෑ. කවුරුහරි මට පත්තරයක් ගෙනත් දෙනවද?"
අයියා ඒපාර බොහොම බැගෑපත් වෙලා ය.
"පත්තර අහවල් එකක් කරන්නද?ඕක අස්සෙ පත්තර කියවන්න යන්නෙ උඹට විකාරද?"
ඒ පාර අම්මාගේ රැස් විහිදෙන්නේ අයියා දිහාට ය.
"නෑ එලාගෙන නිදාගන්න.ඔහෙලාගෙ ඔය වාද පිටිය ඉවර වෙලා මට බාල්දියක් ගෙනත් දෙන්න හිතුනොත් ඇවිත් මාව ඇහැරවන්න බැරියැ."
හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ලියා තැබුවේ -පිලේ නිදා උන් ටොමියා විසිනි