Friday, March 30, 2018

ඔන්න දෙනවෝ

එක්තරා බුකි පිටුවක ඇත්තන් දිගට හරහට දොස්තරලා ට නිකන් කාර් දෙනවා ය.බලං ගියාම ඒ ගොඩක් ඇත්‍තං ගේ ප්‍රොෆයිල් පින්තූරු වල පස්ස පැත්තේ පේන්නට තියෙන්නේ හිම කඳු ,අයිෆල් කුළුණු වාගේ විසූක දස්සන ය.
ලංකාව ගැන ලංකාවේ නිදහස් අද්‍යාපනයෙන් ඉගෙන ගත් දොස්තරලා අහිංසක පොදු මහජනතාව මෙහෙව් ලෙස තලා පෙලන එක ගැන විස්සෝප වෙන මේ දේශප්‍රේමී ජනතාවනම් පිට රටක ඉන්නවා වෙන්නට බැරිය.එකත් එකටම  සකර්බර්ග්   කාරයා බැක්ග්‍රවුන්ඩ් එක ෆොටෝශොප් කරලා ය.

අපරාදේ අර පර්මිට් එක ට ලෝන් ගහලා වාහනයක් ගත්තේ.
මෙහෙම නිකං කාර් දෙනවා කිව්වනම් අපි ගනියි ලෝන්

ලන්තෑරුමයි පුන්සඳයි දෙකම ලිඳේ.

Monday, March 26, 2018

දිස් ලේඩීස් ඩ්‍රයිවින්

අවුඩියක් ගෙනාවාට මට සුභ පතමින් මැසේජ් එවන මිත්‍ර වරුනි.කරුණාකර රථයේ මිල කීයද?එන්ජින් ධාරිතාව කොපමණද ? තෙල් කොමපණ වැඩ කරනවාද වැනි සීනිබෝල ප්‍රශ්න අසා මගේ සිත නොතලන්න.එවන් සරළ ප්‍රශ්න වලට උත්තර දීමට මගේ මාතලී වූත් සුවාමි පුරුසයා වූත් ගිහාන් චාමර මැතිතුමාට පවා පිළිතුරු දිය හැකිය.

මගෙන් විමසන්නේ නම් මා කෙලින් කිරීමට බලාපොරොත්තු වන ලයිට් කණු ගණන, පරලොව යැවීමට බලාපොරොත්තු වන අපා දෙපා සීපා සතුන් ගණන , පැත්ත පළාතකින් නොයාමෙන් පමණක් ඔබේ දිවි ගලවා ගැනීමට හැකිවන  පිටු දැකිය  යුතු මගේ ගමන් වාර සටහන වැනි සංකීර්ණ ගැටලු පමණක් මට යොමු කරන්න.

කලින් දවසක කියූ පරිද්දෙන් මට කාර් ,බස්,වෑන් ආදී  එයා කන්ඩිසන් වාහන ඔක්කොම වහකදුරු වාගේ වෙන්නේ පොඩි කාලේ හිටං ය. එව්වායේ යනවානං බලු තඩියෙක් ගෙන යන්නාහේ හොඳින් නැචුරල් හුළං වැදෙන්නට ජනේලය සම්පූර්ණයෙන්ම ඇරගෙන ඔලු ගෙඩිය එලියට දමාගෙන ම යා යුතුය.බට්ටි යන්නේ ද අම්මාගේ අඩි පාරේය.ඒ හන්දා ඔය වාහන පැදවිල්ල ගැන මගේ මෙලෝක ආසාවක් නැත.

නවයේ දහයේ විතර ඉන්දැද්දී තාත්තා ගේ මොටෝ බයිසිකලය පදවන්න පුරුදු කිරීමේ වෑයමක් ගත් තාත්තා බ්‍රේක් නැතිව පේර ගහක් දිගේ ගිය මා පසුපස් අ හඹා විත් නතර කර ගත්තේ,වත්තේ තිබූ එකම පේර ගහ විනාස කර ගත නොහැකි යැයි පාඩම නවතා දැමී ය.

කැම්පස් අන්තිම විභාගේට සති දෙක තුනක් තියා කඩිමුඩියේ ලයිසං ගන්නට හිත පහළ වෙනවා ය.ලර්නර්ස් අයියා ගලහ ඉඩම් හිමි වැවිලි කරු වන අපේ සතා මහතා ගේ දුරින් නෑයෙක් හෝ ළඟින් යාලුවෙක් ය.සතියෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නට හදන අපට යාලුවා/ නෑයා නිසා බැන ගන්නට බැරි හිතේ අමාරුවට ලර්නර්ස් අයියා අනිත් එවුන් හුස්මක් ගත්තත් උන් මරන් කන්නට හදනවාය.එනිසා  කට්ටියම වෑන් තඩියට නැග ගනිද්දී අල්ලා තද කරගත් හුස්ම අල්විස් පොන්ඩ් එක හරියේදී වෑන් එකෙන් බැහැලා පිට කරද්දී  වටපිටාවේ සුලිසුලං ,ටෝනෙඩෝ තත්ව මතු වෙනවා ය.
උදේ දවල් හවස  පුරුදු වීගෙන අන්තිමේ මම පාරේ මැද ඉරට සමාන්තරව  වාහනේ පැදගන්නට පුරුදු වෙනවාය.
හත් වලාමයි හැට හතරයි ය.ට්‍රෑල් දෙන්න ගිය පාරෙ මැද ඉර කවුදෝ කුපාඩියෙක් උස්සලාය.පාරේ අඟලෙන් අඟලට හරක් ය(කකුල් හතරේ උන්).ඔය අට අනූවක් වියාදි අතරේ මම ට්‍රෑල් පාස් ය.  වාහන නැතත් ලයිසොං හිමි ය.

කොහොමටත් කාර්වල් ජාතිය ජන්මය  යනාදී  රිය බස මට ග්‍රීක  හෝඩියට කිට්ටුය .අපේ උන්දෑ මා බලන්නට එන කාලේ කාර් එක වෙන් කර ගත්තේ කාර් එකේ දිගෙන් යැයි හොස්ටල් එකේ උන් මාව ඩෙවල් දදා බයිට් කලෝ ය.පස්සෙන් පහු  ඉස්සරහ රෝද දෙකේ කප් කවුදෝ පින්වතෙක් ගල් කර තිබුනායින් මගේ හඳුනාගැනීමේ හැකියාව තවත් වර්ධනය විය.
හදිස්සියකදී වාහනය පැදවීමට මා පුරුදු කළ යුතු යැයි අපේ උන්දෑට හිතක් පහළ වෙන්නේ ඔය කාලයේ මය.අමාරුවෙන්  පණ ගන්නාගෙන වාහනේ ගෙනියනවාට වඩා අමාරු අපේ උන්දෑගේ ඕඩර්ස් පිළි පැදීම ය.
"වමට සිග්නල් දාන්න"හිටි අඩියේ අපේ හාදයා එහෙම කිව්වත් මට හිතුනේ සිග්නල් දකුණට දාන්න ඕනෑ බවට ය.
ඒ ගැන හිත හිතා ඉන්දැද්දී වමට සිග්නල් දාන්න කිව්වා ඇහුන්නැද්දැයි  අපේ උන්දෑගේ දෙවනි බෙල් එකත් වැදුනේ ය.
"මොනවා කරනවද මන්දා .නවත්තන්න නවත්තන්න." ඒ පාර තර්ඩ් බෙල් එකත් හරි ය.

ලර්නර්ස් එකේ අයියා පළමු දවසේම උගත් පාඩම මොනවා කළත් මට එක පාර සැරෙන් දෙන ඕඩර්ස් සෑහෙන බයානක බවයි.බ්‍රේක් එකත් ක්ලච් එකත් එකවර අතැර දමා මම විබීතව උන්දෑ දිහා බැලුවාට පස්සෙන් පහු උන්දෑ උදේ දවල් හවස ලර්නර්ස් එන්න කිව්වත් සැරෙන් නම් මුකුත් කිව්වේම නැත.
ට්‍රෑල් ගත් හාදයා ඒ පාඩම ඉගෙන ගත්තේ නවත්තන්න නවත්තන්න කිවු වහාම මම වාහනයේ පස්ස පාරේත් ඉස්සරහ පාර අයිනේ තණ කොලගොල්ලකත් හිට්න්නට නවත්තා එතුමාගේ මූණ තණකොල පඳුරක එබුවාට පසු ය.අපේ උන්දෑත් ඒ පාඩම හොඳින් ඉගෙන ගත්තේ  ඉද්ද ගැහුවා සේ පාර මැද නතර කළ කාරයේ පශ්චාත් භාගය සිප ගන්නට ඔන්න මෙන්න වූ බේරුණු බයිසිකල් හාදයෙක් අපේ පරම්පරා හතකට මෙත් වඩමින් යන්න ගිය කළ ය.ඒ කාර් රාජයා විකුණන තුරුත් ආයෙත් අපේ උන්දෑට ඒ වාගේ නපුරු හීන පෙණුනේ ම නැත.

ඒ මිහිරි මතකයන් කාලයේ වැලි තලාවෙන් වැසී යද්දී උන්දෑව ඩ්‍රොප් කරගෙන මට ඩ්‍රයිව් කරගෙන වැඩට යා හැකි බව අපේ උන්දෑ නැවතත් කීවේ පෙරේදා දිහා ය.
බොරලැස්ගමුවේ සිට සෞඛ්‍යය අමාත්‍යාංශය දක්වා මාර්ගයේ වාසය කරන තව දුරටත් ජීවත් ව සිටීමට කැමති සියලු ජීවීන් මේ නොනගත කාලය තුල නිවෙස් වල කුස්සිය හෝ පිටුපස මිදුල ආශ්‍රිත පුණ්‍ය කටයුතු වල නියැලීමෙන් මාරක අපලවලින් දිවි ගලවා ගැනීමේ සුලු සම්භාවිතාවක් ඇති බව ප්‍රවීන ජ්‍යෝතීර්වේදයින් ගේ මතය යි.

Sunday, March 25, 2018

සාරි -ප්‍රී සූට්

සාරිය ඇඳිල්ලට වඩා මට අමාරු වැඩක් තියෙනවානම් ඒ සාරි පොට හදා ගැනිල්ලය.
මුලින්ම සාරිය හිතින් දහ අට වතාවක් කරකවා පොට උඩට එන අත හොයා ගන්නට ඕනෑ ය.හිතින් කැරකිල්ල බැරි මං වගේ උදවිය ඇඳන් හිටිනා ඇඳුම උඩින්ම සාරිය කරකවාගෙන ඊජිප්තු මමියක් ඉමිටේට් කරමින් මේ පියවර සම්පූර්ණ කර ගත යුතු ය .

ඉන් පසුව දිව හපාගෙන අතේ ඇඟිලි මදි වේ නම් කකුලේ ඇඟිලිත් ගෙන සාරි පොට සමඟ ඒ අතට මේ අතට ඔට්ටු වෙමින් සාරි පොටේ කෙලවර සකසා ගත යුතුය.කිව්වාට ලේසි නැත.පොටවල් එක ගානට වෙන්ටත් ඕනෑ ය.උඩ පොට පිටටත් යටම පොට ඇතුලටත් එන්නට නවන්ටත් ඕනෑ ය.ඔය ඔක්කොම සංගෙදි හරියට ගැලපිලා පොට හදාගන්නට එක වතාවෙන් පුළුවන් වනිතාවන් ජාතික වීරවරියන් ලෙස සැමරුවාට මගේ කිසි අමනාපයක් නැත.

කන්දක් විලිලා පොට අග්ගිස්ස සාදා ගත් පසු...ජනෙල් රෙද්දක්,මදුරු දැලක් ආදී නිවසේ උසම තැනක ඔය සාරි පොට අග්ගිස්ස රඳවා ගත යුතුය.අනතුරුව මුල් නැටුමම නැවතත් රඟ දක්වමින් අඟලෙන් අඟලට හැට්ට කටු(ආය කටු/යතුරු කටු ආදී තම තමන්ගේ දිහාවේ විවිධ නම් වලින් කියවෙන  ඇඟේ සියලු බර දැරුවත් සාරි පොට හරහා නොයන මොට්ට කටු) ගසා පිලිවෙතින් සකසා ගත යුතුය.
මේ අතරතුර විනාඩියකට වරක් පොට ගෙන වම් උරහිස මතින් දමා උස ගානට ඇත්දැයි බලා ගත යුතු ය.කොච්චර බැලුවත් අන්තිමේ සාරිය පටලවා ගත් පසු  එක්කෝ පොටට ගං වතුර ය.නැත්නම් පාර අතුගාන්නට කදිම ය.

අනතුරුව ඉස්තිරික්කය පමණට රත් කර ගෙන සාරිය මත සියලු බර යොදා හැදූ රැලි එලෙසම තියෙන්නට අයන් කර ගත යුතුය.
උරහිස මත කටුව හැර සෙසු කටු ගලවා යුතු බව කොච්චර මතක තියා ගත්තත් බස් එකේ ,ඔපීසියේ, පාරේ තොටේදී
" මෙන්න මෙයා ඔයාට අමතක වෙලා " කියමින් වෙනත් බවලතෙකුට ගැලවීමට එක කට්ටක් අනිවාර්යයෙන් ඉතුරු කළ යුතු ය.

සමහර සාරිවල  පොටේ නැවුම් පාර ඊළග වතාවේ අඳිද්දිත් ඉතුරු ය.විඩක ඒක හරිම පහවුවක් ය.
ඒත් හදිසියේ පටලවාගෙන් ගිය එපා වාහෙට හොදි බෙදන්නාසේ තියා ගත් රැලි එහෙම හිටියාම මළම කරදරයක් ය.කොයි තරම් තැටමුවත්  රැලි නැවෙන්නේ කලින් නැවූ ගොබ්බ තාලයට මය. බැරිම තැන කරන්නට වෙන්නේ නැවුම් පාරවල් යන්නට සියලු වෙර යොදා මුලින් ම සාරිය මැද ගැනී මය. සාරියේ නැවුම් පාර ගියත් හිතේ නැවුම් පාරවල් එහෙම්ම ය.කොයි තරම් වෙර වීරිය ගත්තත් සාරි පොට නැවෙන්නේම කලින් පුරුදු සැම්පලේ ට මය.

මේ වාගේ වෙලාවට,
1.සුපුරුදු  විකාර පන්නයට නැවතත් පොට සාදා එය අලුත්ම ෆැශන් එක බවට පත් කිරීම
2.වෙනත් සාරියක් සොයා ගෙන ඉහත ක්‍රියාවලිය මුල සිට ඇරඹීම
3.සාරිය පැත්තකට දමා සාරියේ සොයා ගත් එකාගේ දෙමාපියන්ට මෙත් වැඩීම
හෝ
4.සාරි පොට ගැන බ්ලොග් ලිවීම

කොයි කාටත් අනුගමනය කළ හැකි සරළ ක්‍රියා මාර්ගයන් වේ ය.

Saturday, March 24, 2018

මම බය සත්තු

වැඩියෙන්ම බය මොන සතාටදැයි අහපු පෝස්ට් එකක් දැක්කේ ඊයේ පෙරේදා ය.කල්පනා කර බැලුවාම හැමෝගෙම අක්කා වාගේ හිටියාට මම බය නැත්තේ මගේ හෙවනැල්ලට විතරද කොහේද ය .

කැරපොත්තන්ගෙන් පටන් ගන්නා ඉගිලෙන කැත  කුරුමිණි වර්ගයා ඔක්කෝටම මම බය ය.ආච්චි අම්මාගේ කනේ කුරුමිණියෙක් රිංගා ගත් කතාවක් පොඩි කාලේ කණට වැටීමත් කන් බෙරය කාගෙන කාගෙන යන තඩි කුරුමිණියෙකු හිතේ ඇඳීමත් නිසා ඔය බය ඇතිවන්නට ඇති ය.ඒ කොහොම වුනත් ඉගිලෙන කැරපොත්තන් ,මී මැස්සන් හා පලා පෙත්තන් මගේ ලොකුම තරහ කාරයන් ය.කරවනැල්ලේ ඉඳිඳ්දී රෑට රෑට ගෙට රිංගන තඩි පලා පෙත්තා අල්ලා ඉවතට දාගන්නේ අල්ලපු ගෙදර ඇන්ටීට කණිපින්දම් කියා උන්දෑ අතට කොස්සක් දී කෙල්ලත් අරන් මම මිදුලට පැනැගෙන ය.දැන් නම් උත්තුංග දේහධාරී ඉගිලෙන කෘමි නාශක සුවාමි පුරුශයා ගෙදර ම ඉන්නා නිසා ඉගිලෙන කුරුමිනියන් මට කොකම් පානවා අඩු ය.

ගෙම්බනුත් මට පෙන්නන්නට බැරි ය.උදේ පාන්දර තාත්තාගේ වදෙන් බේරෙන්න්ට බාත්‍ රූම් එකට රිංගාගෙන දෙයියනේ කියා එතන පොඩි නින්දක් දාද්දී තඩි ඇස් ගෙඩි පුම්බාගෙන මගේ නිදිමත කුඩුපට්ටම් කරනවාය.එක්කෝ දොර  අස්සේ  රිංගා ගෙන දොරට අහු වෙනවා ය.ඔක්කෝටම හපන් ඇඟට පනිනා ගස් ගෙම්බන් ය.උන් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවාය.කරවනැල්ලේ හිටියදී  දවසක් මේ මල සමයමක් නිසා මටත් බට්ටීටත් මුලු රැයක් ම කාමර අඩස්සියේ ගත කරන්නට වුනා මතකය.

අපේ ගෙදර හිටි හැම බල්ලාටම මම බය ය.ගෘහ මූලික ලැයිස්තුවේ කෙල්ලට ඉහලින් බල්ලාගේ නම සටහන් බව දන්නා නිසා උන් මට හැමදාමත් දාන්නේ පල්පාට්ම ය.ජලභීතිකා එන්නත් විදගන්නට ආසාවකුත් නැති නිසා මම ඒ බලු රාලලාට ද බය පක්ශපාතීව ජීවත් වුනා මතක ය.දැන් ඉන්න බලු නාම්බා නම් සැරපාටක් නැත.ඒත් මොලේ කළඳක්වත් නැත.ඉතින් නීලමහායෝදයා සයිස් මේ හාදයා සෙල්ලමට ඇඟට පැන්නොත් අමතර කොටස් හොයන්න ට යන්න වෙන්නේ පංචිකාවත්තට ය.ඉතින් මෝඩයා නිසා ඌටත් මම බය ය.

සර්පයන්ට ඉස්සර බයක් තිබුණත් කරවනැල්ලේදී උදේ හවා හායි බායි කියූ නයි හාමිලා නිසා ඒ බය ඩිංගක් අඩු වෙලාය.ඒත් කෝකටත් කියා ඒ හාමිලා ආස්‍රය අට්ගේ දුරින් ය.බයකටම නෙවෙයි ගෞරවේට වගේ.

කොටිවලස්සු අලි වගේ සත්තු උන්ගේ ලෝකවලදී දැක් තියෙන්නේ රූප පෙට්ටියේ විතර ය.ඒ නිසා උන් ගැන තාමත් හිතේ එහෙමට කියා බයක් ඇත්තේ නැත.


ඔය ඔක්කොටම වඩා මම දෙපාසත්තුන්ට බය ය.උන් තරම් ලස්සන සත්තු ජාතියක් මිහිපිට නැතුවා වන්නට ඇත.ඒත් උන් තරම් ශුවර් නැති ජාතියක් ද නැති බවත් සීයට දෙසීයක් ශුවර් ය.කතරගම දෙයියන්ට මූණු හයක් විතරය .සමහර මිනිස් සතුන්ට මූනු දුසිම් හයකටත් වඩාය. කතාව පණ වුනත් දෙන්නට ය.ආපස්සට හැරුනොත් පිටට පිහි පාරක් සහතික ය.මෙහෙම මිනිස්සු එක්ක වසනවාට වඩා වනේ වනසතුන් එක්ක වාසය පණකෙන්දට යහපත්දැයි වෙලාවකට හිතෙනවා ය.
ඒත් වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ද ඉන්නා බව චන්ද්‍රලේඛා මහත්මිය ගයනවා ය.කතාව ඇත්තය.ඉඳහිට  එහෙව් වටිනා මිනිසුන් ද  මුණගැහෙනවා ය.එක අතකට ඒ ජීවිතයේ වටිනාකම හොඳටම දැනෙන්නේ නොමිනිසුන් අතරින් මතු වෙන නිසාවෙන් වෙන්නට ඇත


අපේ වෙද පිටුවට ලියපුවා

මෙහෙම කළොත් බෙහෙත්
වෙන්න හැකිය විපත් -1

කතා අංක එක:

කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේසෙ ඉන්න කමල් මෙහෙම උපදෙස් දෙනවා.

"හාෆ් ඩේ එකක් නාස්ති කරං බෙහෙත් ගන්න  යන්න ඕන නෑ.ගිය සතියෙ මටත් ඔය විදිහෙම තද බඩේ කැක්කුමක් හැදුනා .වමනෙත් ගිහින් උණත් ගැණුනා.අපේ ෆැමිලි ඩොක්ටර් දීපු බෙත්තට ටක් ගාලා අඩු වුනා.හිටහන් මගේ බෑග් එකේ ඇති මම දෙන්නං .ඕක අඩු වෙලා යයි."
.........................

බෙහෙත්.
කැමැත්තෙන් බොන කෙනෙක් නම් හොයාගන්න බොහොම අපහසුයි.නමුත් ඉතින් සමහර අසනීප සුවවෙන්නට බෙහෙත් ඕනෑම වෙනවා.

මේ කතා කරන්න ට යන්නෙ බෙහෙත් අවභාවිතයෙන් ඔබට විය හැකි අනතුරු ගැනයි.

ඇතැම් විට ඔබත් කවදාක හෝ නිමල් වගේම තමන්ගේ අසනීපයකට වෙන කෙනෙක් වෙනුවෙන් නිකුත් වුණු බෙහෙත් පෙත්තක් බීලා ඇති.නැත්නම් කමල් වගේ තමන්ට වෛද්‍යවරයෙකු නියම කළ බෙහෙතක් වෙන කෙනෙක් හා බෙදා හදා ගෙන ඇති.ඇතැම් විට ඉන් අසනීපය සුව වූවා වගේම වෙන කිසිදු අතුරු ආන්තරාවක් නොවෙන්නත් ඇති.

        ඉතින් එහෙනම් ඇයි ඒ ගැන අපි මෙහෙම කතා වෙන්නෙ?

කාරණා බොහෝමයක් නිසායි.

අසනීපයකට ඔබට ලබා දෙන මුඛ මාර්ගයෙන් හෝ ආලේපන හෝ වෙනයම් ඖෂධයක් ඔබට ලබා දීමේ දී වෛද්‍යවරයෙකු සැලකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා.

ප්‍රධාන ම කාරණා වන්නේ
  ලබා දෙන ඖෂධ ය කුමක්ද?
 කුමන මාත්‍රාවකින් ,කොපමණ කාල පරාසයක් තුළ ,දින කීයක් මෙම ප්‍රතිකාර ලබා දිය යුතුද? යනාදියයි.

එකම රෝග ලක්ශනය විවිධ රෝග සඳහා ඇති වන්නට පුලුවන් .උදාහරණයක් වශයෙන් නිමල් ගේ බඩේ කැක්කුම ආහාර අජීරණයක්, මුත්‍රා මාර්ගයේ ගල් , ඇපෙන්ඩිසයිටිස් හෝ වෙනත් හදිසි ශල්‍ය කර්මයකට යොමු විය යුතු අසනීපයක් වෙන්නත් පුලුවන්.මේ එක් එක් අසනීපයට කරන ප්‍රතිකාර එකිනෙකට වෙනස්. එකම රෝග ලක්ෂණ තියෙන නිසා වෙන කෙනෙකුගේ බෙහෙත් පාවිච්චියෙන් ඇතැම් විට ඔබේ රෝගය සුව වෙන්නට පුලුවන් .නමුත් ඔබට ඇත්තේ වෙනත් රෝගයක් නම් නුසුදුසු ඖෂධ භාවිතයෙන් ඔබේ රෝගය උත්සන්න වීමටත් හැකියි.සිදු විය හැකි තවත් ගැටලුවක් වන්නේ  වෙනත් ඖෂධ භාවිතයෙන් රෝග ලක්ෂණ යටපත් වුනත්  රෝගය සුව නොවීමයි.මෙහිදී ඔබ පසුව වෛද්‍යවරයෙකු වෙත යොමු වුනත් ඔහුට රෝග විනිශ්චයකට පැමිණීම අසීරු වෙනවා.

බොහෝ විට පෙති වර්ග හා දියර වර්ග මාත්‍රාව නියම වන්නේ රෝගියා ගේ බර අනුවයි.වැඩිහිටි පුද්ගලයෙක් හට ලබා දෙන ඖෂධ මාත්‍රාවක් කුඩා දරුවකුට සුදුසු වන්නේ නැහැ.එමෙන්ම මේ ඖෂධ ශරීරය තුළ නියමිත කාර්‍යය සිදු කළ පසු සිරුරෙන් බැහැර කිරීම සඳහා අක්මාවේත් වකුගඩුවලත් ක්‍රියාකාරීත්වය අවශ්‍යයි .මෙම අවයවවල රෝගී තත්ව පවතින රෝගීන්ට ඇතැම් විට අඩු මාත්‍රාවකින් ඖෂධ ලබා දෙන අතර ඇතැම් ඖෂධ එසේවත් ලබා දිය නොයුතුයි.එවැනි රෝගියෙකු සාමාන්‍ය පුද්ගලයෙක් වෙනුවෙන් නිකුත් කළ ඖෂධ මාත්‍රාව ගැනීමෙන්  ශරීරයෙන් ඖෂධ බැහැර කර ගැනීමට අපොහොසත් වීම වැලැක්වීමට නොහැකියි.

ඇතැම් ඖෂධ වර්ග සිරුරට හුරු කරවන්නේ කුඩා මාත්‍රාවකින් පටන් ගෙන ක්‍රමයෙන් මාත්‍රාව ඉහළ දැමීම මගින් ය.එසේ  සිරුර ඊට හුරු වීමෙන් පසු ඉහළ මාත්‍රාවක ඖෂධ ලබාගනිමින් සිටින අයකුගේ ඖෂධ මාත්‍රාව වෙනත් පුද්ගලයෙක් එක් වරම භාවිතා කිරීම නිසා සිරුරට හානිදායක වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි.

මේ ආකාරයටම විවිධ රෝග පවතින රෝගීන්ට එම රෝගී තත්වය අනුව  සාමාන්‍ය ඖෂධ වර්ග භාවිතා කිරීම නුසුදුසු යි.එවන් අවස්තාවක දී වෙන අයකුගේ ඖෂධ භාවිතා කිරීම නිසා
1.  මෙතෙක්  ප්‍රතිකාර ගනිමින් සිටි දිගුකාලීන රෝගවල ප්‍රතිකර්මවලට වන අහිතකර බලපෑමෙන් ඒවා උත්සන්න වීම

2.දිගුකාලීන රෝගය හෝ එහි ප්‍රතිකාර මඟින්  ඔබ අවභාවිතා කල ඖෂධ ය මත සිදු කෙරෙන බලපෑම් නිසාවෙන්  අලුතෙන්ම රෝගය උත්සන්න වීම හෝ සුව නොවීම

 3.නව ඖෂධ ය  දිගුකාලීනව පැවති රෝගී තත්වය හෝ එහි ප්‍රතිකාර  සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් විවිධ අතුරු ආබාධ ඇති වීම යනාදිය  සිදු විය හැකියි.

වෛද්‍යවරයෙකු ඖෂධ නිර්දේශ කරන්නේ අදාල රෝගියාගේ අසාත්මිකතා ඉතිහාසය පිළිබඳව සලකා බලායි.එසේ නොමැතිව වෙන අයෙකුගේ ඖෂධ භාවිතයේ දී ඔබට අසාත්මික විය හැකි ඖෂධ ශරීරගත වීමට ඉඩක් තිබෙනවා
 ආසාත්මිකතා ඇති වීමේ ප්‍රවණතා ඇති අයට  වෙන අයකුගේ ඖෂධ භාවිතා කිරීමෙන් ආසාත්මිකතාවන්ට ගොදුරු වීමේ ඉතා ඉහළ අවදානමක් පවතින අතර ඇතැම් විට මෙවන් ආසාත්මිකතා මරණයෙන් කෙළවර වෙන්නටත් පුලුවන් .

සාමාන්‍ය පුද්ගලයෙක් සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ ගර්භනී හෝ කිරිදෙන මවු වරුන් භාවිතා කිරීම කිසි සේත් නොකළ යුතු වෙනවා.
ඒ ඇතැම් ඖෂධ වර්ග මගින්
1. කුසේ වැඩෙන කළලයට අහිතකර බලපෑම් ඇති කිරීමත්
2. මවු කිරි හරහා එම ඖෂධ කුඩා දරුවන්ගේ ශරීරගත වීමෙන් වර්ධනයට අහිතකර බලපෑම් කිරීමේ අවදානමක් තිබීමත් නිසාය.

මෙලෙස ම ඇතැම් ඖෂධ වර්ග යම් වයස් සීමාවකට අඩු දරුවන් සඳහා නිර්දේශ වන්නේ නැහැ. දරුවන් කිහිප දෙනෙක් සිටිනා නිවසක එකම අසනීපය සඳහා වුවත් එක් දරුවෙකුට ලබා ගත් ඖෂධ වෛද්‍ය උපදෙස්වලින් තොරව අනිත් දරුවන්ට ලබා දීම නුසුදුසු බව මින් පැහැදිලි වනවා ඇති.

ඇතැම් ඖෂධ වෙනත්  ඖෂධ සමඟ පමණක් නොව විවිධ ආහාර සමඟත් ශරීරය ට හානිකර ප්‍රතිකියා කිරීමේ අවදානමක් පවතිනවා.එවන් ඖෂධ ලබා දීමේදි වෛද්‍යවරයා ඒ පිළිබඳව රෝගියා දැනුවත් කරනවා.නමුත් වෙනත් අයකු වෙනුවෙන් නිර්දේශ වූ ඖෂධ  ගැනීමේදී ඔබට ඒ තොරතුරු නොලැබී යාමට ඉඩ තිබෙනවා.එලෙසම ආහාර ගැනීමට පෙර හෝ පසු යනාදී ලෙස සහ ඖෂධත් ආහාරත් අතර තිබිය යුතු විශේෂ පිළිවෙත් පිළිබඳව උපදෙස් නොලැබී යාමෙන් නව රෝගය ට නියමිත ප්‍රතිකාර  නොලැබීම ,හෝ රෝග උත්සන්න වීමට හැකියාවක් තිබෙනවා.

යම් ඖෂධ භාවිතා කරන වේලාව තීරණය කිරීමත් තීරණාත්මකයි.උදාහරණයක් වශයෙන් ඖෂධ ය භාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නිදිමත ගතිය ඇති වන ඖෂධයක් උදෑසන භාවිතය දීම කෙරෙන්නේ නැහැ.එමෙන්ම  රිය පදවන  තැනැත්තෙකු එවන් නිදිමත ගති වැඩිවන ඖෂධ භාවිතය අවදානම් සහගතයි.වෛද්‍යවරයෙකු ඖෂධ ලබා දීමේදි රෝගියාගේ තොරතුරු විමසා මෙවන් අවදානම් අවම වන පරිදි ඖෂධ ලබාදුන්නත් හුවමාරු කරගත් ඖෂධ වලින් මෙවන් අතුරු ප්‍රතිඵල ඇති වන බව ඔබ නොදැනීමෙන් අනතුරු ඉහළ යාමට  ඉඩ තිබෙනවා.

මීට අමතරව වෙනත් ඖෂධයක් ගෙන ආ බඳුනක ඖෂධ ගබඩා කිරීම,එක හා සමාන නම් හෝ බාහිර පෙනුම නිසා ලබා දෙන තැනැත්තාට සිදු වන අත් වැරදීම් ආදී හේතු නිසා ඔබගේ ජීවිතය ට විය හැක්කේ විශාල හානියක්.

ඒ වගේමයි ඇතැම් ඖෂධ විශේෂයෙන් ම ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ නියමිත කාලයක් නොමැතිව වරක් දෙවරක් භාවිතයෙන් ප්‍රතිජීවක සඳහා සංවේදීතා ඇති වීමෙන් මතු රෝගී අවස්ථාවක එම ඖෂධ ඔබට සාර්ථක ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව නැති වෙන්නට පුලුවන් .

රෝහලට හෝ වෛද්‍යවරයෙකු මුණගැසී ඖෂධ ලබා ගන්නවාට වඩා හදිසියකට පෙත්තක් ඉල්ලා ගැනීම එතරම් දෙයක් නොවෙයි වාගේ පෙණුනත් ලෙඩ එක දෙක වෙන්නටත් නැති ලෙඩ හැදෙන්නටත් පාර කැපෙන්නට බැරි නැති බව දැන් ඔබට පැහැදිලි යි.

රෝගයක් වැළදීමට පෙර  ඉන් මිදෙන්නට ප්‍රවේශම් වීමත් රෝගී වූ විට වෛද්‍ය උපදෙස් පරිදි නිසි ලෙස ඖෂධ භාවිතා කිරීමත් මගින් ලෙඩදුක් වලින් ඔබ දුක් වීම වලක්වා ගන්නට පුලුවන් වෙනවා සහතිකයි.

Saturday, March 3, 2018

සත්තු කරුණාව

අම්මාගේ තාත්තා ගැන මට තියෙන ජීවමාන එකම මතකය අඹ ගස් වනසන රිළවුන් ට කැටපෝලෙන් විදින එක ය.ආච්චිලාගේ ගෙදර වල්ටේශන් බලු රැලක් ම ජීවිතය ගෙන ගිය තැනකි.අහළ ගෙදරකින් පැමිණ ගෙදර බල්ලන්ගේ බත් පිඟාන ඔසවාගෙන කැලෑ වදින  නිසාවෙන් හැන්දෑවේ බුදුන් වැද අහවර වූ විට "සැලීලාගේ බල්ලා හැර අනිත් සියලුම බල්ලෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා "යනුවෙන් සීයා මෙත් වැඩූ බව කියන්නේ අම්මාය.

අම්මාගේ එකම අයියා වුණු මාමාත් සෑහෙන සත්ව කරුණාව ඇත්තේ මය.ගෙදර හිටි බලුතඩියෙක් නාවන්නට වැවට ගෙන ගොස් වැව මැද ඉන්නක ගැට ගසා ගිය මාමා හත් අවුරුද්දකින් පසු දෙලෝ රත්වී ගොස් බලද්දී බලු තොමෝ නා පිහිනා බැරිම තැන දියබත් වී මිය පරලොව ගොස් ය.

ගමේ ගිය දවසට අත්තම්මා බල්ලන් නාවන රාජකාරිය අපි හැමෝම කැමැත්තෙන් අත ගහන පුණ්‍යකර්මය ක් ය.නාන්නට ඇති කැමත්ත කොතරම් දැයි කියනවා නම් නාවන්න යන්නට ගැටගහගත් බලු තඩියන් දම්වැල කෙළවරේ එල්ලුනු අත්තම්මා ද ඇදගෙන වත්ත පහළ බෑවුම දිගේ රූටා යන්නේ එහෙමවත් බේරෙන්නට  හිතාය.ඒත් බෑවුමේ රූටා පශ්චාත් භාගය ලෙලි ගියත් බලු නෑවිල්ල අත අරින්නේ අත්තම්මා නම් නොවේ.

අත්තම්මා ගේ සත්ව කරුණාව අම්මාටද අඩු නැතුව පිහිටලා තියෙනවා ය.යන යන හැම ඉස්කෝලයකම නඩත්තු කල කොලු හා බලු පරපුරට අමතරව ගෙදර හදාගත් බලු නඩේ අතේ ඇඟිලි ගානටත් අඩු ය.හැබැයි උන්ගෙන් අපිට සිදු වූ තාඩන පීඩන හිමාලයටත් වඩා උස ට අදටත් පපු කඳේ ය.දැනට ගෙදර විරාජමානව සිටිනා ගලගණ්ඩයෙන් හා මන්ද මානසිකත්වයෙන් පෙලෙන බලු තඩියා නිසා ඇති කරදර විතරක් වෙන ම පොතක් ලියන්නට බැරි කමක් නැත.

බලු තඩියන් මදිවාට කොහෙන්දෝ පැමිණි පූසියෙක්ට දැක්වූ කරුණාව නිසාවෙන් මාතර ගෙදර පූස් හොස්ටල් එකක් වුණේ ඉබේට ම ය.අත්තම්මලා අම්මලා දූලා මිණිපිරීලා එකවරම බඩ වීමෙන් වතාවක් අප්‍රේල් දාහතර වෙනිදා අපේ ගෙදර පූස් පැටවු විතරක් දා හතරක් ය. ඒ ගානට ඇස් වහ කටවහ වැදේ යැයි හිතූ අපේ මලයා පොඩි රාහුලේ හිටි පූස් නාම්බෙකුත් බෑග් එකේ දමා ගෙන ගෙදර ගෙනැවිත් පූසන්ගේ වස් දොස් ඇරියේ ය.
පොඩි පැටවු නැලවීම ,ලොකු එවුන්ගෙන් කෑම පරක්කු වී බැණුම් ඇසීම, වටපිටාවේ වුන්ට පාට් දාන්නට ගොස් තුවාල වූ විට අල්ලාගෙන කහ,මිරිස් ගැල්වීම,හොර තක්කඩි බළලුන්ගෙන් අපේ අහිංසක පූසියන් පරිස්සම් කිරීම,අපේ පූසියන් සරණ පතා පැමිණ ළිඳේ වැටුනු බළල් තඩියන් ගොඩ ගැනීම ඒ කාලේ අපේ වැදගත් ම රාජකාරි කීපයක් ය.
ඊට අමතරව අපේ මළයා ට වෙන්වූ විශේෂිත කාර්‍යයක් වූයේ පිටුපස මිදුලේ වැලලූ කොට්ටම්බා වෙනුවට බළල් ටොයිලට් හාරා තාත්තාගෙන් ගුටි කෑමය.

ගෙවල් මාරු කිරිල්ලත් එක්ක පූස් පරම්පරාවට සමු දුන් අපේ ඇත්තෝ ඊළඟට පෙම් බැන්දේ කුකුළන් ටය.හුණුකොටුව හන්දියේ මරන්නට හිටි කුකුළ් ජෝඩුවක් අපේ මලයා ගේ පෙරැත්තය නිසාවෙන් ගෙදර  ගෙනැවිත් උන් ඉඩම පුරා උමං හාරාගෙන චිකන් රන් සිනමා පටිය රඟපාද්දී   අපි කුලී ගෙදරින් එළියට විසි නොවුනු එක පුදුමය. ඒ කුකුල් ජෝඩුව වෙනුවට පොඩි බට් කුකුල් ජෝඩුවක් කැන්දාගෙන ආ පසු අපේ ගෙදර උන්දැලා මුහුණ පෑවේ තවත් අවුලකට ය.කිකිළි බිත්තර දමා තවත් කුකුල් ජෝඩුවක් නිවසේ පදිංචියට ආ අතර තාත්තලා පුතාලා පොර කා ගද්දී අනවසර කුකුල් පොර පිටියක් පවත්වා ගෙන යාම නිසාවෙන් පොලිස් කූඩුවේ ලගින්නට වේ යයි බියෙන් ඒ කුකුල් සමාගමට ද තිත තබන්නට සිදු වේය.

අම්මාගේ සත්ව කරුණාව වැඩි හැන්දකින් බෙදී ඇත්තේ මල්ලීටය.පොඩි රාහුලේ ඉඳිද්දි ඉස්කෝලේ කලින් ඇරුණාම උන්දෑ ඉමහත් වූ දයාවෙන් මන්තින්දේ කානුවේ උන් මාලු රංචු  අල්ලා ගෙන විත් රාහුලේ වතුර නැති කාණුවල ඇති දැඩි කළේ ය.බෑග් එකේ දමා ගෙන ආ බළලාට අමතරව සාක්කුවේ දමාගෙන ඉබ්බෙක් ගෙනාවේද ඒ සත්ව කරුණාවෙන් ම ය.තුනේ පන්තියේදී විතර මනමාලියෙක් ඉල්ලමින් සැලූන් ඩමියක් පතා ඇඬූ මේ කොලුවා ලොකු වුනු පසුත් තව සෑහෙන සතුන් නඩත්තු කරන්නට උත්සාහ නොගත්තේ ම නැත.
කොහොමින් කොහොම හරි සකල ලෝවැසි සත්වයාට කරුණා මෛත්‍රිය පෑ පින් බෙලෙන් ඒ සත්වයා හදා වඩා ගැනීමට ද ස්ත්‍රී රත්නයක් ඉදිරිපත් වී ඇත්තේ පෙර කළ කුසල් අකුසල් බලයෙන් ය.
ඒ සුභ දිනය ළඟදීම උදා වී එතෙක් කල ඒ නොදරුවා හදා වඩා ගත් පියාණන්දෑට ඉසිඹුවක් ලැබේවා (ඉන් පසු උන්දෑ මගේ කෙල්ල බලා කියා ගන්නටම කැප වෙත්වා)යන්න මේ දිනවල මගේ ඒකායන පැතුම යි.

ප.ලි: කතාව වෙන ම පැත්තකට ගියා ද මන්දා..