Saturday, March 24, 2018

මම බය සත්තු

වැඩියෙන්ම බය මොන සතාටදැයි අහපු පෝස්ට් එකක් දැක්කේ ඊයේ පෙරේදා ය.කල්පනා කර බැලුවාම හැමෝගෙම අක්කා වාගේ හිටියාට මම බය නැත්තේ මගේ හෙවනැල්ලට විතරද කොහේද ය .

කැරපොත්තන්ගෙන් පටන් ගන්නා ඉගිලෙන කැත  කුරුමිණි වර්ගයා ඔක්කෝටම මම බය ය.ආච්චි අම්මාගේ කනේ කුරුමිණියෙක් රිංගා ගත් කතාවක් පොඩි කාලේ කණට වැටීමත් කන් බෙරය කාගෙන කාගෙන යන තඩි කුරුමිණියෙකු හිතේ ඇඳීමත් නිසා ඔය බය ඇතිවන්නට ඇති ය.ඒ කොහොම වුනත් ඉගිලෙන කැරපොත්තන් ,මී මැස්සන් හා පලා පෙත්තන් මගේ ලොකුම තරහ කාරයන් ය.කරවනැල්ලේ ඉඳිඳ්දී රෑට රෑට ගෙට රිංගන තඩි පලා පෙත්තා අල්ලා ඉවතට දාගන්නේ අල්ලපු ගෙදර ඇන්ටීට කණිපින්දම් කියා උන්දෑ අතට කොස්සක් දී කෙල්ලත් අරන් මම මිදුලට පැනැගෙන ය.දැන් නම් උත්තුංග දේහධාරී ඉගිලෙන කෘමි නාශක සුවාමි පුරුශයා ගෙදර ම ඉන්නා නිසා ඉගිලෙන කුරුමිනියන් මට කොකම් පානවා අඩු ය.

ගෙම්බනුත් මට පෙන්නන්නට බැරි ය.උදේ පාන්දර තාත්තාගේ වදෙන් බේරෙන්න්ට බාත්‍ රූම් එකට රිංගාගෙන දෙයියනේ කියා එතන පොඩි නින්දක් දාද්දී තඩි ඇස් ගෙඩි පුම්බාගෙන මගේ නිදිමත කුඩුපට්ටම් කරනවාය.එක්කෝ දොර  අස්සේ  රිංගා ගෙන දොරට අහු වෙනවා ය.ඔක්කෝටම හපන් ඇඟට පනිනා ගස් ගෙම්බන් ය.උන් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවාය.කරවනැල්ලේ හිටියදී  දවසක් මේ මල සමයමක් නිසා මටත් බට්ටීටත් මුලු රැයක් ම කාමර අඩස්සියේ ගත කරන්නට වුනා මතකය.

අපේ ගෙදර හිටි හැම බල්ලාටම මම බය ය.ගෘහ මූලික ලැයිස්තුවේ කෙල්ලට ඉහලින් බල්ලාගේ නම සටහන් බව දන්නා නිසා උන් මට හැමදාමත් දාන්නේ පල්පාට්ම ය.ජලභීතිකා එන්නත් විදගන්නට ආසාවකුත් නැති නිසා මම ඒ බලු රාලලාට ද බය පක්ශපාතීව ජීවත් වුනා මතක ය.දැන් ඉන්න බලු නාම්බා නම් සැරපාටක් නැත.ඒත් මොලේ කළඳක්වත් නැත.ඉතින් නීලමහායෝදයා සයිස් මේ හාදයා සෙල්ලමට ඇඟට පැන්නොත් අමතර කොටස් හොයන්න ට යන්න වෙන්නේ පංචිකාවත්තට ය.ඉතින් මෝඩයා නිසා ඌටත් මම බය ය.

සර්පයන්ට ඉස්සර බයක් තිබුණත් කරවනැල්ලේදී උදේ හවා හායි බායි කියූ නයි හාමිලා නිසා ඒ බය ඩිංගක් අඩු වෙලාය.ඒත් කෝකටත් කියා ඒ හාමිලා ආස්‍රය අට්ගේ දුරින් ය.බයකටම නෙවෙයි ගෞරවේට වගේ.

කොටිවලස්සු අලි වගේ සත්තු උන්ගේ ලෝකවලදී දැක් තියෙන්නේ රූප පෙට්ටියේ විතර ය.ඒ නිසා උන් ගැන තාමත් හිතේ එහෙමට කියා බයක් ඇත්තේ නැත.


ඔය ඔක්කොටම වඩා මම දෙපාසත්තුන්ට බය ය.උන් තරම් ලස්සන සත්තු ජාතියක් මිහිපිට නැතුවා වන්නට ඇත.ඒත් උන් තරම් ශුවර් නැති ජාතියක් ද නැති බවත් සීයට දෙසීයක් ශුවර් ය.කතරගම දෙයියන්ට මූණු හයක් විතරය .සමහර මිනිස් සතුන්ට මූනු දුසිම් හයකටත් වඩාය. කතාව පණ වුනත් දෙන්නට ය.ආපස්සට හැරුනොත් පිටට පිහි පාරක් සහතික ය.මෙහෙම මිනිස්සු එක්ක වසනවාට වඩා වනේ වනසතුන් එක්ක වාසය පණකෙන්දට යහපත්දැයි වෙලාවකට හිතෙනවා ය.
ඒත් වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ද ඉන්නා බව චන්ද්‍රලේඛා මහත්මිය ගයනවා ය.කතාව ඇත්තය.ඉඳහිට  එහෙව් වටිනා මිනිසුන් ද  මුණගැහෙනවා ය.එක අතකට ඒ ජීවිතයේ වටිනාකම හොඳටම දැනෙන්නේ නොමිනිසුන් අතරින් මතු වෙන නිසාවෙන් වෙන්නට ඇත


No comments:

Post a Comment