Monday, June 19, 2017

අංජනම්

අපේ අක්කා හුරතලේට ඇති කළ බළල් තඩියා ආගිය අතක් නැති ය.ඌ නිසා ගෘහ මූලික ලයිස්තුවේත් යටටම වැටුණු මට ඇති යාන්තම් කියා හිතුනත් අක්කා නොකා නොබී වැලහින්නක් සේ අඬන්නට වීම ඊටත් හපන් මළ වදයක් නිසා පූසා වෙනුවට අක්කා මිසිං වුනානම් කියා හිතෙන්ටත් වුනේ ය.

චීස්  බටර් හැම් බේකන් ආදී දොල පිදේනි ගේ වටේ තිබ්බත් පූස් නගුටක්වත් නොදුටු නිසා අගතියට පත් අක්කා සාදාරනයක් නොවුනහොත් මුදට පනින බවට තර්ජනය කරන්නට වූවා ය.අපේ අක්කා හදා වඩා ගත්තා මිසක ඔය බළල් තඩියා මසට මිස හොරෙන් ගෙනියන්නට තරම් මොලේ අමාරුවක් කාටවත් ඇති යි හිතන්ටත් අමාරුය.

කරන්නට තියෙන්නේ අංජනමක් බලන එකය කියා ආච්චි දුන් දැනමුතුකමත් එක්ක අපිත් එහෙම කරන්නට කඩි මුඩියේම ගියෝය.
අංජනම් දේවි විනාඩි දෙකෙන් නැති වු පවුලේ සගයා ට්‍රැක් කර කීවේ ඒ ඇත්තා නිස්කලංක ඉස්තානයක සැපෙන් සනීපෙන් ඉන්නා වග ය.ගෙන්නා ගන්ට බන්දනයක් කළ හැකි බවත් ගාස්තුව තිස් දහසක් බවත් කීවිට කළන්තේ දැමූ තාත්තාට නූල් බැඳීම ට තව තුන් දහසකි.

අනේ උන්නැහේ ගාන වැඩි නැද්දැයි විමසූ විට කපු රාල අම්මාගේ ඇඟට ගොඩ වූයේ
"එහෙම අඩුවට කොරන්න පුලුවන් වැඩ ද මේවා.ඇයි ඔහේලා රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නැද්ද?.දැන් රටේ ජනාධිපති තුමාට ඇයි ඔහොම නිකන් හිටන් ඉන්ට වෙලා තියෙන්නෙ.හූනියම් කරපු නිසා නෙවැ .අපේ සෑස්තරේ ආන් එහෙම මුලු රටම හොල්ලන්න පුලුවන් බලගතු එකක්.ඉතින් ඔහේ මට කියන්නෙ හංදියේ දොස්තර වගේ දෙසිය පනහක් අරන් ඇති කියන්ට ද කියා ය."
හොඳ වෙලාවට තාත්තගෙ පඩි පැකැට්ටුව අම්මා ළඟ වූ බැවින් අපි ගාන ගෙවා ගෙදර ආවෝය.අක්කා බිලාලයා එනතුරු ගේ ඉස්සරහ මුල් ගල් ඇල්ලුවා ය.

ඔහොම්ම තවත් දවසක් විතර යනකොට ෆෝමලින් සුවඳට ළඟින් යන සුවඳක් නහය කඩා ගෙන යන්නට වුණා ය.විපරම් කර බලන විට අල්ලපු වත්තේ පාලු ළිදේ පාවී පාවී එලොව ගොස් සිටි බිලාලයා හමු විය.

අක්කාගෙන් බේරීමට කපු මහත්තයා සහ අංජනම් දේවිය සැඟවී සිටිනා බව ආරංචි ය.

අපි පූස් තඩියා වලළන්ට හාරන වල කෝකටත් ටිකක් ලොකුවට කපනවෝ ය.

Saturday, June 17, 2017

ඇක්ශන්.........කට්

දවල්ට  පිගානකම බත් ගිලදාලා බුදි මතේ ඇහැ පියවෙන කොට එහා ගෙදර පැත්තෙන්  වැලහින්නක් වගේ වැලපෙන ගෑනු අඳෝනාවක් ඇහුණා.සුවර් එකටම වල පයයි ගොඩ පයයි හිටපු සීයා අන්තරා වෙලා තමයි කියලා හිතාගෙන මම දුවපි එහාට.
කසාදෙ අත ඇරිලා ගෙදර ආපු ලලනාවක් මිදුල මැද්දෙ පස් කකා අඬනවා.
"මොකද මොකද අක්කෙ?"
"කෑවා කෑවා.කට් කට්"
ගේ ඇතුලෙන් පුරු දු නැති කටහඬක් එක්ක බුවෙක් එලියට පැන්නෙ කැමරාවක් මානා ගෙන .හත් වලාමයි මෙහෙ නාට්ටියක් සූටින් කරනවද? මම බීත වෙලා ගියා.කොහේදෝ ඉඳන් ගෙදර මහ මනුස්සයා කඩා පාත් වෙලා විබීත වෙච්චි මාව ගෙයි පිලිකන්න පැත්තට එක්කං ගියා.ආයෙ මත් අර ලලනාව විලාප තියන සද්දෙ ඇහෙන්න ගත්තා.
"මොකද මාමෙ වෙන්නෙ?"
"ඔය අපේ දැරිවි කසාදයක් බැන්දනෙ ළමයො"මාමා රැල් බුරුල් ඇරියා.
"ඔවි ඔවි අපිත් මගුලට ආවනෙ"
"කසාදයක් බන්ඳලා දුන්නට මොකද ළමයො ඔය දැරිවිට ඉවුම් පිහුම් ,ගේ දොර වැඩ කටයුතු මොනවාවත් හරියට කරගන්න බෑ.ඕකිට පුලුවන් ඉතින් සබන් කැටයක් ඉවර වෙනකන් නාලා තියෙන තරමක් සැන්ට් පවුඩර් උලාගෙන වෑර්ලස් එකේ සිංදු අහ අහ ඉන්න විතරයි.අකුරක් ඉගෙන ගත්තෙත් නෑනෙ."
"හ්ම්.හ්ම්" මාත් හූ මිටි තියෙනවා
"ඉතින් කසාද බැඳලා ගිහින් සති දෙකක් ගියේ නෑ ඒ පැත්තෙන් ආයෙ ගෙදර ගෙනත් දැම්මනෙ මේකි හොඳ කසාද බඳින්නෙ නෙවේය ,කුඹුරක් හාන්න ගන්ටය කියලා"
"නෑහ්?"
"අපිට කොහෙන්ද  බං කුඹුරු .මායි අපේ හාමිනෙයි කීප වතාවක්ම ගිහින් නොවඳිනා වැදුම් වැන්දා මේ කසාදෙ කොහොම හරි ගොඩ දා ගන්න.කොහෙද කිසිම ප්‍රයෝජනයක් නෑ නේ."මාමා මූණ එල්ල ගත්තා.
"ඒතකොට මාමෙ මේ.ටෙලි.නාටිටිය?"
"නාට්ටියක් නෙවෙයි බං මේක ඇඩ් එකක්."
"මොකක්?"
"දැන්වීමක් බං.දැන් අපේ කෙල්ල ඔහොම පොළොවේ පස් කකා අඬනවා දීගේ අතඇරුනු නිසා ඒකි දුකට පත් වෙලා කියලා.ඊට පස්සෙ වෙස්සන්තර ජාතකේ මියුසික් එකත් එක්ක ඔය විලාපේ දාලා.මේ කඳුලු වලට සාධාරණයක් කරන්ට කියලා ඇඩ් එකක් දානවා.ඊට පස්සෙ ඔය ඇඩ් එක ටෙලිවිසොන් එකේ පැයෙන් පැයට ප්‍රචාරය කොරනවා.එතකොට මිනිස්සුන්ට දුක හිතිලා අපේ කෙල්ලගෙ දීගෙ බේරගන්න මිනිස්සු උදව්වට එනවා."
මේ ටෙලිවිසොන් ඌරො ටික මාමා ගොනාට අන්දලා ගානක් කඩාගන්න යන්නෙ කියලයි මට හිතෙන්නෙ.
"අනේ මන්දා මාමෙ මට හිතෙන්නෙ ඕක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලා"
"මොන පිස්සුද ළමයො අර සයිටම් ගුහාව බේරගන්න ඔය ජාතියෙ දැන්වීම් කියක් දානවද ආන්ඩුවේ වියදමින් ම? ආන්ඩුවත් එහෙම කොරනවා නම් මං එහෙම කළාම මක් වෙනවද?"
"බුදු අම්මෝ "
ඒ පාර ඩිරෙක්ටර් බුවා ළතෝනි තියන්න ගත්ත පාර අපි ඒ දිහාට දිව්වා.
"මොකද මොකද මහත්තයා .කෝ අපේ කෙලී?"
"ඒ නම් රට එළදෙනක්.මම කිව්වා බොරුවට රඟපානවා වගේ පේන්නැතුව තාත්වික විදිහට අඬන්න කියලා.තාත්වික ගතිය වැඩි වෙන්න කියලා ගඟට පනිනවා කියලා දිව්වා."
"අනේ මගෙ කෙලී"පපුවත් අල්ලාගෙන මාමා බිමට පාත් වුනා

Monday, June 5, 2017

ඉන්න කියමු ද?

Do not judge another person until you walk a mile in their shoes.

කිසිම මනුස්සයෙක් සිය දිවි හානි කර ගත යුතු නැහැ.සිය දිවි හානි කර ගැනීම කිසි සේත් ම ජීවිතේදි අපි ට මූන දෙන්න වෙන දාහකුත් එකක් ප්‍රශ්න වලට හරි උත්තරේ නෙවෙයි.

ඒත් ඇයි මිනිස්සු ජීවිතේ නැති කර ගන්නෙ?ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල කතාවකුත් තියෙනවනේ.හැම මනුස්සයෙක් ම තමන්ගෙ ජීවිතේට ආදරෙයි.මේ ලෝකේ හැම දේකටම වැඩිය අපිට වටින්නෙ අපේ ජීවිතේ.මේ ලෝකෙ හැම සතෙක්ටම වගේ මනුසතාටත් මරණ බය දැනෙනවා .
ඉතින් එහෙනම් ඇයි තමන් ආදරේ කරන ජීවිතේ අත ඇරලා යන්න තරම් කෙනෙක් හිත හදා ගන්නෙ.

සිය දිවි හානි කර ගන්න බොහෝ කෙනෙක්ගේ තීරන පිටිපස්සෙ හොල්මන් කරන්නෙ මානසික ගැටලු.හැබැයි මට හිතෙන්නෙ අඬන්න ඉන්න ඒ මිනිස්සුන්ට ඇහැට ඇඟිල්ලෙන් අනින්නෙත් ජීවිතේ නැති කර ගත්ත මනුස්සයාට බණ කියන අපිමයි කියලා.
මනුස්සයා දාලා ගිහින් ළමයි හදා ගන්න බැරුව දහ අතේ කල්පනා කරලා උත්තර යක් නැති වුන අම්මලා ළමයි උස්සන් ගඟේ මූදේ පනිනවා.අනේ අපොයි කියලා ඒ මනුස්සයාට දෙස් දෙවොල් තියන අපි ඒ මනුස්සයාට ගඟේ මූදේ පනින්න හිතෙන්න කලින් උදව්වට එන්න බැරි වුනේ ඇයි?
       තමන් විස්වාසෙ තියන් හිටපු පිරිමි පරාණෙ හන්දා අලුත් පරාණයක් බඩට ඇවිත් කියලා දැන ගෙන කර කියා ගන්න දෙයක් හිතාගන්න බැරුව ගෑනු ළමෝ වහ බොනවා.කෝච්චි වලට බෙල්ල තියනවා. මොකද යකෝ මේ කරගත්තේ කියලා බනින අපි ඒ කෙල්ල  එහෙම නොකර   ඒ අලුත් පරාණෙට තනියම හෙට දවසක් හදලා දෙන්න හිතුවොත් ඒකට උදව් කරයි ද?
අපි කීදෙනෙක් ඒ කෙල්ල දිහා වපර ඇහින් බලයි ද? මුකුත් නොදන්නා පොඩි එකාට හොඳ කලදවසක් යයි ද?
  ඕ ලෙවල්,ඒ ලෙවල් රිසල්ට්ස් ආපු දවසට පහු වදා අනිවාර්යයෙන්ම විභාගෙ ලියපු පොඩි එකෙක් දෙන්නෙක් අනිවාර්යයෙන්ම මේ ලෝකෙ අත ඇරලා නොඑන්නම යන්න යනවා.
ජීවිතේ කියන්නෙව් ඔය කියන විභාග විතරක් නෙවෙයි කියලා ඇයි අපිට ඒ පොඩි වුන්ගේ ඔලුව අතගාලා කියලා දෙන්න බැරි වුනේ.ඕ ලෙවල් ඒ ලෙවල් අසමත් උනුත් සමත් දෙයක් කරලා ජීවිතේ දින්නන පුලුවන් රටක් උන් ට හදලා දෙන්න අපිට බැරි වුනේ ඇයි?

හිතලා බැලුවොත් යන්න හිතන හුඟ දෙනෙක්ට ඉන්න හිතන්න පාර කපන්න අපිට පුලුවන්. ගියපු එකාට දෙහි කපන වෙලේ යන්න ඉන්න එවුන් ට ඉන්න කියමු ද?

Saturday, June 3, 2017

කඩා වැටෙන තරු

ලෝක පූජිත ගත් කතුවරයෙක් වූ අර්නස්ට් හෙම්ංවේ මිය යන්නේ ස්වභාවික හේතුවකින් නොවේ.එසේම ඔස්කාර් සම්මාන ලාභී ප්‍රවීන නලු රොබින් විලියම්ස් ගේ ජීවිතය අවසාන වන්නේත් ස්වභාව ධර්මය ට අනුව නොවේ.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්ත වලට අනුව වසරකට ලොව සිය දිවි හානි කර ගැනීම් නිසා සිදු වන මරණ ගනන ලක්ශ අටකි.එය අවු.19-25 අතර වයස් කාන්ඩයේ සිදු වන මරණ වලට දෙවනි තැන ගන්නා හේතුවයි. සිය දිවි හානි කර ගැනීම් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ දියුණු වෙමින් පවතින රටවලිනි.

බොහෝ සිය දිවි හානි කර ගැනීම් පසු පස විශාදය වැනි මානසික ආකූල බවක් දැකිය හැකියි. එක් එක් පුද්ගලයන් තම ජීව්තයේ තීරණාත්මක අවස්තා ගැන දක්වන ප්‍රතිචාර විවිධාකාර විය හැකියි.විශාදය හෝ වෙනත් මානසික රෝගී තත්වයක් නොමැති අයෙක් ගැටලුවකට ප්‍රතිචාර දක්වන ආකාරය හා එවන් රෝගී තැනැත්තෙක් ගේ ප්‍රතිචාරය සහමුලින්ම වෙනස් විය හැකියි.

මිතුරක් මිතුරියක ලෙස ඔබගේ සමීපතමයන්හට උපදෙස් ලබා දීමේ කිසිදු වරදක් මා දකින්නේ නැත.නමුත් විශාදය වැනි මානසික රෝගී තත්වය කට පත් වූ අයෙකුට නිසැකවම සුදුසුකම් ලත් මානසික වයිද්‍යවරයෙක් ගේ ප්‍රතිකාර අවැසි ය. එනිසා පූර්ව අනතුරු ඇඟවීම් ගැන සැලකිලිමත් වී වහා ප්‍රතිකාර වලට යොමු කිරීම යි වඩා සුදුසු .

සිය දිවි හානි කර ගැනීමෙන් මිය යන සැම එක් මරණයකට හා සමානවම
විසි දෙනෙකුටත් වඩා එම මොහොතේ ද දිවි තොර කර ගැන්මට යත්න දරමින් සිටියි.

Thursday, June 1, 2017

ගං වතුර

ඇයි ගංවතුර මිනිස්සුන්ට කරදර කරන්නෙ?
ඇයි හැමදාම එක වගේ උදේට සනීපෙට හීනියට ඉර පායලා දවල් වෙනකොට රෙද්දක් වේලාගන්න පුලුවන් අවු රැල්ලක් වැටිලා ,හවස් වෙනකොට රස්නෙ මැකෙන්න හීන් පොදයක් වැටිලා ඕනෙනම් රෑට ගුලි වෙලා එක පොදියට නිදාගන්න පුලුවන් වැස්සක් වැටුන නම් මොකද වෙන්නෙ?
එහෙම වුනා නම් හොඳයි කියලා හිතුවට එහෙම වුනා නම් ඒකත් එපා වෙන්න ඉඩ තියෙනවා.හැමදාම එකම අහස ,එකම වෙලාවට එකම වැස්ස,එකම වෙලාවට එකම අව්ව

ඒක හින්දාමද කොහෙද කවදාවත් එහෙම වෙන්නෙ නෑ.හුඟක් දවස් එක වගේ අව්ව වැස්ස මාරු වෙවී යනවා.ඒත් හිටි ගමන් මුලු අහසම කලු කරන් හෙන පුපුර පුපුර වහිනවා.සමහර වෙලාවට අර එකම රාමුවෙන් ජීවිතේ ටිකක් එළියට ඇදලා දාලා පොඩි අමුත්තක් ජීවිතේට එකතු කරලා වැහි බීරම තුරල් වෙලා යනවා.

ඒත් සමහර වෙලාවට වැහි වතුර විඳින්න ඉඩක් නොතියා තව තවත් වැහි වතුර දෝරෙ ගලන්න ගන්නවා.ගංගා ඇල දොළ පිටාර ගලලා ඇඳිවත විතරක් ජීවිතේ ඉතුරු කරලා යනවා.
ජීවිත කාලෙම එකතු කරගත්ත කිසිම දෙයක් අතේ මිට මොලවා ගන්න බැරි වෙච්ච් මිනිස්සු දැක්කෙ නෑ වගේ ගංවතුර බැහැලා යනවා.මොකුත්ම නොවුනු ගානට ආයෙ ඉර පායනවා.
වතුර බැහැල ගියාට හැංගිච්ච් යාලු මිත්‍රයෝ ආයේ මේ ජීවිතේදි මුණ ගැහෙන්න වෙන්නෙ නෑ.හුඟක් අයට මුල ඉඳලාම ජීවිතේ ගොඩ ගන්න වෙනවා

ගංවතුරට නොතෙමුණ බොහෝ දෙනෙක්ගෙ හිත් තෙමුණු උන්ගේ කදුළු වතුරට තෙමෙනවා.තමන්ට තියා ගත්ත දේ පවා පොදි බැද ගෙන උන් වැටුණ උන් නැගිට්ටවන්න නෑගම් යනවා.පුලු පුලුවන් විදිහට දිවා රෑ නොබලා  ජාති ආගම් නොබලා පපුවේ ගින්දරෙන් අඳුනන නාඳුනන අපේම එවුන් වෙනුවෙන් මහන්සි වෙනවා.අතරින් පතර බොරදියේ මාලු බාන එකෙක් දෙන්නෙකුත් ඔය අස්සෙ  නොඉන්නවා නෙවෙයි ඉතින්.

මිනිහා කියන්නෙ අරුම පුදුම සතෙක්.කී පාරක් වැටුනත් නැගිටින්න ආයෙ ජීවිතේ හදාගන්න හිතේ හයිය තියෙනවා.අද වැටුන ජීවිතේ  යන්තම් දෙපයින් නැගිට්ට ගමන් හෙටත් ආයෙ සුනාමියකින් ගංවතුරකින් ගින්නකින් අනිත් පැත්ත පෙරළෙයිද නැද්ද කියන්න කිසිම සහතිකයක් නැහැ.
හැබැයි මොනවා වුනත් අපි ආයෙ නැගිටිනවා.කවුරු නැතත් රටේ මිනිස්සු තව මිනිහෙක්ගෙ දුකට උදව්වට නැගිටිනවා .ඒක සහතිකයි.