Thursday, May 23, 2013

මනාලිය



වසා උවනත ළප කැළැල්
රෝස පැහැ ගන්වා දෙකොපුල්
මවා නිල් පැහැයට හීනි දිගැස්
පින්තාරු කර දුන් මනාලිය
නුඹ
ජය මඟුල් ගී හඬ මැද
පිපෙයි මඳහස් නෙතු අඟ
සායම් බිඳකුත් නැතත්
නුඹයි සිත්තම මා වසඟ කළ
සදහටම

Wednesday, May 15, 2013

Dreams

දඩි බිඩි දඩි බිඩි
ගෙදර ඉන්න කාලෙ 
හැමදාම උදේට අම්මා පිටි කොටන සද්දෙට කලවම් වෙලා තමයි මගේ හීන ඇස් අරින්නෙ.
ඒත් මේ වෙලාවෙ?
මම අඟල් දෙක තුනක් ඈත් වෙලා බලනවා
එතකොටයි මට තේරෙන්නෙ
පිටි කොටන්නෙ මගෙ පපුව ඇතුලෙ කියලා
"ඇයි ?"
එහෙම අහන්නෙ ඔයාගෙ ඇස්
" ඔයා හොඳින් ද? "
ඒ ඔයාගෙ හිත.
කියන්න දේවල් කොච්චරද කියනවනම් ඒව එක්කහු වෙලා වෙලා මගේ හිතේ දොර ජනෙල් ඔක්කොම හිර වෙලා.
"මුකුත් නෑ"
පිපිරෙන්න මාන බලන ගිනි කන්දක් උඩ පිපිච්ච මලක් වගේ මගේ හිතට උඩින් මගේ ඇස් හිනා වෙනවා.
පිපෙන්න වතුර වක්කරපු අත් ගිනි රස්නෙට කිට්ටු කරන්නෙ මොන එහෙකටද?
"මුකුත් නෑ"
මගේ ඇස් ඒ බොරුව ඇත්ත කරද්දි අඟල් දෙක තුනේ පරතරේ ආයෙමත් අඩු වෙනවා.
මම පිපිරෙන ගිනි කන්දට උඩින් පැලැස්තරයක් අලවලා ඔය පපුවෙ දඩි බිඩි සද්දෙත් එක්ක
එළි නොවෙන හීනෙක පාට ගානවා