Saturday, September 15, 2018

ටී ඉස්ටෝරීස්

පොඩි වුන් තේ බොන්නේ බෝතලෙන්‍ ය.ඊට පස්සේ ෆීඩිං කප් එකටත් එතනින් කෝප්පෙටත් මාරු වෙන්නේ පියවරෙන්  පියවර ය.මොකද්දෝ හේතුවකට ඔය  පියවර තැබිල්ල මට ඇල්ලුවේම නැතිය.ඒ හින්දා සෑහෙන කාලයක් තේක අනුමත වුනේ බෝතලෙන් ය.වීදුරු බෝතලය පොඩි වැඩි නිසාවෙන් වතුර බෝතලයකට සූප්පුවක් ගසා පින්නවල අලි අනාථාගාරයේ මෙන් තේ පොවන ගමන් කන් ගොඩ වෙන්නට දෙස් දෙවොල් තියන්නත් අම්මා අමතක නොකළාය.

අම්මාගේ තේක එක රහක් ය.අප්පොච්චිගේ තේක වෙනමම රහක් ය.අප්පොච්චිගේ දෝනියන්දෑ හින්දාවෙන් මගේ වැඩිම මනාපය අප්පොච්චි මාර්ක් ටී එකට ය.
ඊටත් වඩා මනාපය සීනි බෝතලෙනුත් මයිලෝ බෝතලෙනුත් සම සමව අල්ලට වඩම්මා කලවම් කර ආමාශගත කිරිල්ල ය.

සීනි ,පිටි ,මයිලෝ එක්ක කහට පදමට වැටුනු ගෙදර තේකෙන් ෆැකල්ටි කැන්ටිමේ තේකට මාරු වුනාම හරියටම ඇමරිකාවේ මැක්ඩොනල්ඩ් එකක කකා හිටි එකෙක්ව සහරා කාන්තාරේ හරි මැදින් ගෙනත් අතෑරියා වගේ ය.අපරාදේ කියන්නට බැරිය තේකේ මදි නොකියන්නට උණු වතුර තියෙනවා ය.පිටි සීනි වැටෙන්නේ තේ දුසිමකට එකක් වාගේ ගානකට ය.ඒත් කාලයක් යද්දී එහෙව් තේකටත් හිත පුරුදු වෙනවා ය.
ඉඳ හිට ගෙදර ගිය දවසක තේකේ අම්මාගේ තේකේ  සීනි වැඩි ගතියක්  දැනී දැනෙන්නට ගන්නවා ය.

හොස්ටල් කාමරේ උන්නේ ලංකාවේ හතර අතින් ආ රූමියෝ ය.උන්ගේ තේ හැදිල්ලත් ඉතින් එහෙම ය.එකෙක් හදන තේ දිවිය ලෝකේ රහය.හැබැයි හදන්නේ කන් හැන්දෙන් දෙක ගානේ විතර පරිමාවක්‍ ය.තේක බොන්නට ඉනිමඟක් තියා කෝප්පෙට බහින්නට ඕනෑ ය.එකෙක්ට කියා අද තේකක් හදා ගන්නට ඕනේ නම් ගිය බදාදාවත් ඒ ගැන දන්වා ඉන් පසු නිතර සිහි කැඳවීම් කරන්නට ඕනෑය.මට කොහොමත් රොත්තකට එක සැරේ තේ හදන්නට බැරි ය.ඉතින් එක එකා ට තේ හදන්නේ වෙන වෙනමය.ඉතින්  ඒ ඒ තේ එක ඒ ඒ රහ ය.

බඩට ගියාම කොහොමත් කලවං වෙනවා නේදැයි කියා ඔය මහන්සි මුකුත් නැතුව පිටිත් සීනිත් කටට දමාගෙන වතුර කෝප්පයක් බිවු බැචෙක් ගැනත් ඒ කාලේ කතාවක් තිවුනත් ඒක මඩක් ද ඇත්තක්දැයි අදටත් නිච්චි නැත.

ජේ පී,මිත්තා හොස්ටල් එන කාලේ වෙත්දී දෙන්න දෙමාල්ලෝ වෙච්චි බැචියන් තමන් බලන්නට එන සහෘදයානෝ පිළිගන්නට ගියේ ආදරයේ සංකේතය වශයෙන් තඩි තේ කෝප්ප දෙකකුත් එක්ක ය.සහෘදයා එන්නට පෙර තේ කෝප්පය එළියට වැඩමවීමෙන් සහෘදයාට  වෙනුවට රිලවුන්ට තේ පෙවීමට සිදු වුන බැචියන් ද නැතුවා නොවේ ම ය.
අපි ඉතින් ඒ තේ පිලිගැන්නීමේ කලාව හරියටම ප්‍රගුණ කලේ ෆැකල්ටියෙන් අවුට් වුනාටත් පස්සේ හිල්ඩා හිටි කාලේ ය.හයවෙනි වින්ග් එකේ හිට ඉහිරවා ගන්නේ නැතිව තේ දෙහෙකුත් අරං සීරුවෙන් කැන්ටිං ගිය නිසාම මාව සෑහෙන පිරිසකට නෝට් වූ බව දන්නේ කාලෙකට පස්සේ ය.
හැමදාම රෑ වෙද්දී රූම් එකේ දොර ළඟ භක්තී ගීත පුහුණුව පටන් ගත් කකුල් තුනේ බල්ලාට පිරිටන් දිය කර තේ පෙවූ බව නං ඔය කවුරුත්ම දන්නේ නැති ලු ය.

ඉන්ටර්න් කාලේ තේ තියා වතුරවත් හොයා ගන්නට අමාරු ය.කැන්ටිමේ තේක ෆැකල්ටි කැන්ටිමට වඩා ඩිංගක් උඩින් ය.නෙස්ටී ආවේ ඔය කාලේ ය.තේ කොල තම්බගෙන සීනි පිටි දිය කරගෙන නටන්නට ඕනේම නැත.
ඔන්කෝල් නයිට් එකට පහුදා උදේ වෝඩ් එකේ බොයිලේරුවෙන් ගත් උනු වතුර එකට නෙස්ටී පැකට්ටුව දිය කර ගත්තාම උදේ තේක ශේප් ය.හැන්දක් වෙනුවට පෑනෙන් තේ දිය කරන්න පුලුවන් බව වැනි යහපත් සෞඛ්‍ය පුරුදු කරලියට එන්නේත් ඔය කාලේ ම ය.

අපේ උන්දැගේ ගෙදර තේ හැදිල්ල අමුතුම තාලෙට ය.තේ නං තේය .කෝපි නං කෝපි ය.තේ කට කෝපි දැමිල්ලක් ජීවිතේටම දැක්කේ අපේ උන්දෑ තේ හදද්දී ය.මුලදි මුලදී පොඩ්ඩක් රස නහර ශෝට් සර්කිට් වුනත් දැන් අපේ උන්දැට වඩා කෝපි තේ ලෝලියා වෙන්නේ මම ය.

කරවනැල්ලේ සුබසාදකේ කැන්‍ටිමේ තේ නැත.ඇත්තේ උණු සීනී පානයක් විතර ය.
ඩොක්ටර්ස් කැන්ටිමේ අංකල්ගේ සීනි හැමදාම තුන්සිය ගනන්වලය.ඇන්ටි අපේ තේකටත් සීනි දාන්නේ එහෙම්මය.ඒ නං ආදරේ ට ය.ඉතින් බොන්න පුලුවන් ගානට සීනි ඕනේ නිසා අපි ඇන්ටි සීනි නොදා ටී එකක් දෙන්නැයි ඉල්ලමු.
ඉඳ හිට ඇන්ටි නැති වෙලාවට තේ හදන්නේ අංකල්‍ ය.තේකෙන් බාගයක් ගෙනෙද්දී පීරිසියේ ය.බලන්නකො මැඩම් ආයෙ ගලදාරියේ ටී වගේ ඇති  කියා පාරම් බාමින් අංකල් සුපුරුදු අසුන වෙත රෝල් වෙනවා ය.ගලදාරි යේ ටී නම් මරු වෙන්න ඇති  ය.

අපේ හාදයාඉන්දියා ගිහින් ආ වෙලේ හිට චායි ටී එහෙක වරුනෙන්  කන් ගොඩ වෙනවා ය.ඊයෙ පෙරේදා ග්‍රීන් පාත් එකේ කෑම තොගයක් මැද්දේ ඉංදියන් පෙනුමක් තියෙනා කොලුවෙක් "මැඩම් ට්‍රයි අ තන්දුරි මසාලා ටී"කියා යෝජනා කරනවා ය. නොදන්නා මසාලාවල් දැක්ක තැන පස්ස නොබලා දුවන්න පුරුදු වී හිටියත් ගෙදර උන්දෑ ගේ තග දැමිල්ලට තන්දුරී මසාලාව බොන්න වෙනවා ය.චොකල්ට් තැවරූ සිනමන් රෝලක් එක්ක පොල් කටු කෝප්පෙන් දුම් දමන තන්දුරි මසාලා තේ බොද්දී ඒකෙත් අමුතු ගතියක් තියෙනවා ය.ගොඩයා කොළඹ ගෙනිච්ච ප්‍රීතියෙන්  මුලු හවස් වරුවම අපේ උන්දෑගේ කට කනේ වැදි වැදී  තියෙනවා ය.

බට්ට පොඩි කාලේ රටේ තියෙනා ඔක්කොම කිරි පිටි ජාති ගෙනව්ත් පුරුදු කරන්නට හදන්නේ අම්මා නයිට් කරන්න ගිය දාට එලිවෙනතුරු කෙල්ල බඩගින්නේත් අම්මාත් ආච්චිත් අප්පොච්චිත් පපුවෙ ගින්දරේ හින්දාත් ය.ගාන ඇහුවාම කලන්තේ දාන තණකොල රහ පිටි එකක් වත් නින්දෙන් වත් පිලිගන්නට බට්ටි එකඟ වෙන්නේ නැත.එතනින් රජ මගුල් වෙන්නේ ගෙදර්  හිටි බලු තඩියාට ය.පීඩියා ප්ලං, නෑන් අරවා මෙව්වා බී ඌට ලබන අවුරුද්දේ සිස්සත්තේ ලියන්නත් බැරි කමක් නැහැලු  ය.

බට්ටී අම්මාගේ ම දෝනියන්දෑය.සීයා මට ටී දෙන්න කියා සීයා හදන තේක උගුරට දෙකට ඉවර කරන්නේ ඒකය.
සීයාගේ තේක තරම් රස තේකක් උන්දෑටත් නැති පාට ය.
බට්ටිට තව සෑහෙන කල් සීයාගේ තේ බොන්නට ලැබේවා කියන එක අම්මා ගේ එකම පැතුම ය.

Wednesday, September 5, 2018

ගෝනි රැග

ෆැකල්ටි කාලේ රැග් වෙන්නට වැඩි පුරම හේතු වුනේ කාන්තා පරාණ දෙකක් හින්දා ය.එක්කෙනෙක් එතකොට තර්ස් ඉයර් හිටි අක්කෙක් ය.අනිත් උන්දෑ වෙන කවුරුවත් නොව අපේ අම්මාය.

ඒ කෙසේ ද යත්.......
මතක ඇති කාලෙක හිටංම මගේ ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමේ  රාජකාරිය බලහත්කාරයෙන්ම පවරා ගෙන උන්නේ අම්මාය.ඒ හින්දාම ද කොහේදෝ මගේ විලාසිතා දැනුම තිබුනේ රින පැත්තේ සෑහෙන ඈතක ය.ගවුම් සාය වාගේ කාන්තා අංශයට පවරා දුන් ඇඳුම් මගේ පා පැදි රාජයානන් එක්ක පෑහුනේ ම නැත.ඉතින් ඕලෙවල් ඒලෙවල් කාලවල  යුනිෆෝම් එක වුනේම ඩෙනිමත් ටී  ශර්ට් එකත් රබර් ජෝඩුවත් ය.

එලකියුශන් හරි මියුසික් හරි විභාගයක් දවසට තත්වේ ඉතාම භයානක වෙනවා ය.අම්මාගේ හිතේ තියෙන අමුතු අමුතු මෝස්තරවලට මහන ඇඳුම් මහජන ප්‍රදර්ශනයට යොමු වෙන්නේ එදා ට ය.එහෙම දවසක වැරදිලා වත් පියාඹන පීරිසියක්  පැත්තෙන් ගියා නං එක්කෝ උන් මාත් අඟහරු ලෝකේ එකෙක් කියා හිතං කුදලං යනවා ය.නැත්නං අඟහරු ලෝකේ ගැටිස්සියන් ට මැහුම් පන්ති පවත්තන්නට අම්මාව කිඩ්නැප් කරනවා ය.

ආහ් ,රැග් එක ගැනනෙ කියන්න ගියේ.ඉතින් කැම්පස් සිලෙක්ට් වුන ගමන් මට කලියෙන් කැම්පස් ගිය අම්මා වහාම මගේ ඇඳුම් මෝස්තර වෙනස් විය යුතු බව තීරණය කරනවා ය.මේ කතා කරන්නේ ප්‍රිෆෙට්ලාගේ ගෙට්ටුවට මට සාරියක් අඳින්නට බල කරන්නැයි විනය බාර මිස්ට දුරබනුවෙන් තග දැමූ අපේ මෑනියන්දෑ ගැන ය.ඉතින් උන්දෑ කියනා විදිහට අඳින්නැයි ඩීන්ගෙන් කෝල් එකක් එනකං බලා ඉන්නට ඕනෙ නැති නිසා මාත් ඕනෑ මගුලක් කරගන්නට දී ඉන්නවා ය.

මගේ යහපත් ප්‍රතිචාරයෙන් කුල්මත් වූ මෑනියන්දෑ දුරබනුවෙන් ම අම්මාගේ යාලු මිතුරු ගුරුතුමියකගේ දෝනියණ්දෑ වන ඉහත කී අක්කා අමතා ඒ දවස්වල ෆැකල්ටියේ ට්‍රෙන්ඩින් ෆැශන් ගැන ඩිස්කශන් එකක් දානවාය.අම්මා කී හැටියට ඒ අක්කාගේ අදහස වී ඇත්තේ ලා පැහැති සැහැල්ලු ඇඳුම් විලාසිතාවක් මේ සඳහා වඩාත් උචිත බව ය.
හැබැයි අම්මාගේ තරම දන්නා නිසා අදටත් ඒ අක්කා එහෙම දෙයක් කිව්වා දැයි කියන එක මට සැක ය.සැකය තහවුරු වෙන අනිත් කාරනේ නම් මගේ ඇඳුම් මෝස්තර ටික අම්මා කැම්පස් ගිය කාලේ කැම්පස් ළමෝ ඇඳපු එව්වාට වඩා වෙනස් වන්නේ කෙස් ගස් දෙක තුනකින් වෙන එකය.

ඉතින් ඔය කුමන්ත්‍රණයේ අවසාන  ප්‍රතිඵලේ වෙන්නේ විළුබට දිග ගෝනි සායවල් දුසිමක් හා ගැලපෙන  මලානිකා වර්ණයෙන්  බාච්චු හැඩැති ආච්චි ලකුණ හැට්ට ද අම්මාගේම දෑතින් නිමවුනු හැටේ දශකයේ සිනමාව ට ගැලපෙන ඒත් අර සායවල් ගානටම දිග ගවුං තුනකුත් එක්ක මම කැම්පස් යන එක ය.

කැම්පස් යනකම්ම කොන්ඩේ කැපූ ගුණසේන එක කිට්ටුව රොබර්ට් අංකල් මගේ කොන්ඩේ කපන්නේ අර මැසිමෙන්ම අල්ලා ය.ඉතින් ඒ ගානට කොටට කැපූ කේස කල්‍යානියත් ඔය ඇඳුම් මෝස්තරවලට නියමෙටම ගැලපෙනවා ය.වෙලාවට ඇග්‍රි එවුන් කුඹුරු කෙටුවේ මහඉලුප්පල්ලම ගිහින් ය.නැත්නම් උන් පඹයාට ගන්නේ ආයෙ දෙකක් නෑ මාව ය.

අලි මදිවාට හරක් කියා මේ ගෝනියට බැහැ ගත්තාට පස්සේ මගේ අස්ප කුලප්පු ගමන නොසෑහෙන්න ස්ලෝ වෙනවාය.වෙන මොනවා කළත් හෙමින් යන්නට නං මට බෑම බෑ මය.ඉතින් මගේ වේගරිද්මයට මැච් වෙන හැටියට සාය දෙපැත්තෙන් උස්සාගන්නට පුරුදු වුනේ ඉබේමය.ටික දවසක් යනකං වැඩේ හරි ය.ඒත් කඩ්ඩ පන්තිය ගාව පඩි තුනේ අමතක වී ගෝනි සායකින් පැන පැන යන්නට ගොස් දණිහ ලෙලි යවා ගන්නේ ඊළඟ සතියේ ය.
ඉස්සිසෙල්ලාම හෙල්ත් සෙන්ටර් ගෑටීමේ චාන්ස් එකත් පිටගැස්ම ඉන්ජෙක්සන් එකත් අමාරුවෙන් හරි විඳගන්නට පුලුවන.
කොරන්නට බැරි  වැඩේ වුනේමෙච්චර පඩි පෙලවල් තියෙන ෆැකල්ටියේ පඩි තුනක පඩි පෙලකින් පිණුම් ගැහූ විදිහ ගැන අපේ සින්නන්ට පහදා දෙන එක ය.

ඉතින් මුල් දෙක තුනම මම ෆැකල්ටි ගියේ ඔහොම ය.අපේ ජූනියර් බැච් එකේ නගෙක් ලෙක්චර්ස්වලටත් කලිසම් අඳින්නට ඕනෑ බව කිව්වාය.ඔය වගේ නරක ආරංචි කනේ තිබ්බොත් අම්මාට ප්‍රෙශර් බෙහෙත් පටං ගන්නට වෙන්න ඉඩ තියෙන නිසා ඒ ඕපය අම්මාගේ කණට ගියේ නැත.

ගෝනි ඇඳුම් වෙනුවට සාය කෑලි අඳිනා බවට ඉඳහිට චෝදනා ය.ඒවාට අපි නෑසූ කන් ය.

ගෙදර යැවූ ගෝනි ඇඳුම්ටික ටක්කෙටම අම්මා වෙන කාට හරි පවරන්නට ඇත.
කවුරු වුනත් ඒ ඇත්තී ඒවායින් කොට්ට උර මසාගෙන සැපෙන් සනීපෙන් ඉන්නවා නම් ඒ ඇතිය.

පලි:අර අක්කා එෆ් බී ඉන්නා නිසා උන්දෑගේ ජිවිතාරස්සාව ගැන හිතා ටැග් කොරන්නේ නැත.

Monday, September 3, 2018

කෑ මතක-කඩචෝරු

අම්මා එක්ක කළමැටියේ හිටි කාලේ කොලොම්පුරේ රස්සා කළ තාත්තා ගෙදර එන්නේ ඉඳ හිටය.ඇවිදින් ආ පයින් ආපහු දුවන තාත්තාව මතකේ ඇඳෙන්නේ බොහොම ලා පාටටය.ඒත් ඊට වැඩිය තද පාටින් ඇඳෙන්නේ තාත්තා අරන් එන දිව අගිස්සේ දිය වෙවී පැනි රස නාවන සුදු පාට බෝල කිසස් පැකට් එක ය.

ඉස්කෝල නිවාඩුවේ දවස් දෙක තුනක් මාතර ඉඳන් කොළඹ එන්නේ නෑ ගමන් යන්න ය.මාමාගේ ගෙදර ට පාරෙන් එහා පුංචිඅම්මාගේ ගේ පැත්තක පොඩි කඩ පොඩ්ඩක් ය.අල්මාරි ලාච්චු පීරා එක්කාසු කරගත් කාසි කඩේ ලාච්චුවේ හිර වෙද්දී රුපියලේ හකුරු අඩ, කිරිම කිරි රහ කිරි ටොපි, දැක්කාම හිත පිස්සු වැටෙන පාට පාට ලොසින්ජර පෙති අත්වල මිටමෙලවී ලොකු අයට හොරෙන් ම අපේ බඩ ගෙඩි දිහෑ නෑ ගම් යන්න ලෑස්ති ය.

මොන්ටිසෝරි කාලෙත් ඉස්කෝලෙ යන කාලෙත් ඉඳ හිට අම්මා එක්ක අම්මාගේ ඉස්කෝලේ යන්න චාන්ස් ලැබෙනවාය.ටක් ශොප් එක අරින්නේ ඉන්ටර්වල් එක වෙලාව අල්ලලා විතර ය.ටක් එක අරින්නත් කලියෙන් ලෑලි ජනෙල් පලු අස්සෙන් ඇවිදින් නහයට තට්ටු දාන්නේ පරිප්පු වඩේ වල සුවඳ ය.රුපියලක් හෝ දෙකක් වුනු වඩේ, සැරම සැර රෝල්ස් , පොල් පැණි ඇඳුමටත් බේරෙන පෑන් කේක් කන්නනං අම්මාට කලින් ම කන්කෙඳිරි ගා කීයක් හරි ඉල්ලා ගන්න වෙනවා ය.

තාත්තාගේ බැංකුවට පාරෙන් එහා පැත්තේ  ජී.ඕ.බී.එක ය.හවස පන්ති තිබුන සමහර දවසක ගෙදර යනගමන් ඔතන දී බයිසිකලය නවතිනවාය.අපි දෙන්නාටත් ගෙදර ඉන්නා දෙන්නාටත්  ගෙනියන්නට ගන්නේ  මොනවාදැයි තීරණය කරන්නට වෙන්නේ හෝ දහය විස්ස තිහ ගැනලාය.ඉඟුරු රස ඉඟුරු විස්කෝතු ගන්නට විඩක් හිත ය.ඒත් මිරිස් රහ දඟර විස්කෝත්වටත් හිත මනාපය.ඒ කොනේ හිට මේ කොනට වීදුරු පෙට්ටිවල රස බිස්කට් මාලිගාවක් ය.

ඒ ලෙවල් කාලේ ගුණසිංහ සර්ගේ පන්‍ති යද්දී ඉන්ටර්වල් එකට අප බඩගෙඩි වල සාගතේට අහු නොවන කඩයක් වට පිටාවේ නැති ගානය.පට්ට සැර හඳ පලු බිස්කට් වලට දයියා කිවු නිසාවෙන් ජයියා නාමයෙන් අපේ උන් මාව බෞතීස්ම කලෙත් ඔය කාලේ ම ය.

ෆැකල්ටි  ගිය මුල් කාලේ සිකුරාදා හවස හිට ඉරිදා වෙනකන් මගේ රාජ්ජේ මං විතර ය.සිකුරාදා හවසට පේරාදෙනිය හන්දියේ ෆාමසියෙන් පුහුල් දෝසි ,ජුජුබ්ස් මල්ල ගානේ ගෙනාවාම බ්‍රිට්ශ් කවුන්සිල් එකෙන් උස්සන් ආ  පොතුත්  එක්කහු වුනාම සති අන්තේ ගෙවෙන්නේ එහෙ බලලා මෙහෙ බලද්දි ය.

පේරාදෙනියෙන් උදේ කෝච්චියේ ගෙදර යද්දී ආප්ප ආච්චි නැග්ගේ කොහෙන්දැයි හරියට මතක නැත.කැන්ද කොලයේ ඔතාපු ආප්පවල ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගෑවිලාවත් නැත.කිරි රහේ ඉවරයක් නැත.කැන්ද කොලේම එතූ ලුණු මිරිසත් එක්ක ආප්ප දෙකතුනක් කෑවාම මහ පාන්දර නැගිටගෙන හීතලේ ආ අපිට නිවන් දැක්කා ගාන ය.

කරවනැල්ලේ ආපු අලුතම අපිටම කියා කැන්ටිමක් තිබ්බේ නැත.සුනිල් අංකලුත් ඇන්ටිත් කැන්ටිමට ආ දා ඉඳන් බඩේ බඩ පනුවන්ට දන්සැල් ය.එකක් කෑවාම දුසිමක් කන්න හිතෙන ගංජා පැටිස්, ගම්මිරිස් රහ තඩි අග්ගලා ගෙඩි, පැණිරහට මත් වෙන පැණි වලලු හින්දා බට්ටි හම්බෙන්න හිට් කාලේ නොකා ඉන්නට ලැබුනේ  නම් නැත.ඒ කාපුවා තාමත් යන්න බෑ කියා ගෙන ඇඟ බදාගත් ගමන් ය.

ඉන්දියාවේ ගිහින් ආ අපේ උන්දෑ මසාලා ටීවල වරුණාව  ගෙදර දිග අරිනවා ය.සුපර්මාර්කැට්ටුවෙන් මසාලා ටී උස්සං ආවත් අපේ උන්දෑට ඒකෙ රහ ඔරිජිනල් මදි ය. eat street food festival එකේදී හම්බෙන්නේ තන්දුරි මසාලා ටී විකුණන අමුතු ඉලන්දාරියෙකි.අපේ උන්දෑගේ  තගට යටවී එතන නැවතුනත් උඩින් චොක්ලට් හැලූ සිනමන් රෝලක් එක්ක ටිකක් සැර ටිකක් උණු අපූරු තේකක් පොල් කටු කෝප්පෙන් බොද්දී තේරුනේ අපේ උන්දෑගේ වරුණනාව ඇත්තටම ඇත්ත වග ය.
බට්ටී රෝසපුලුන් රෝලක් කටේ උලාගෙන අතේ අලෝ ගෙන දඟලද්දී මම තන්දුරි ටී රස බලනවා ය.

PnS ගිය වෙලාවේ සීනී දවටපු අනෝදා මල් මට අත වනවනා අඬගහනවා ය.සරීර කූඩූවෙ එන්න එන්නට වැඩි වෙන පරිමාවත් තුන්සිය හැටපස් දවසේම එකක් හරි නරක් වී රිදෙනා දත් ඇන්දත් ගැන හිතෙන කොට නොදැක්කා සේ අහක බලන්නට වෙනවා ය.
ඒත් අවුරුදු තිස් ගානක් කඩචෝරුවලට සෙන්සිටයිස් වූ හිතට ඔව්වා කියා බේරෙන්නට බැරි ය.
ඉතින් මිත්‍රවරුනි කියන්නට ඇත්තේ මෙච්චරය.........
..................................
අනෝදා මලුත් පට්ටම පට්ට රහලු ය.

Sunday, September 2, 2018

සෙල්ලමට ඉඩ

කරවනැල්ලේ ඉඳිද්දී බට්ටිට යන්නට කියා සෙල්ලම් පිට්ටනි තිබ්බේ දෙකක් විතරය.අඟුරුවැල්ලේ පිට්ටැන්න කවුරු හරි පඬිතුමෙක්ගේ උපදෙස් පිට බිමටත් සිමෙන්ති අල්ලා පිළිසකර කලාට පස්සේ ඒ පැත්තපලාතේ යෑම නවතිනවා ය.
මාරක ළිඳට නොදෙවනි ලිස්සන බෝට්ටුවකුත් බාගෙට බාගයක් කඩා වැටුනු රුවන්වැල්ලේ පිට්ටැන්න යාන්තම් ළමා දිනේ හින්දා පිලිසකර වුනායින් කරවනැල්ලේ ඉන්නා තෙක්ම වෙන  සෙල්ලං පිට්ටනි ඕනෑ වුන්නැතිය .

කොළඹ සෙල්ලං පිට්ටනි ආකරයක් ය.ඉන්ඩෝ නං ඉන්ඩෝ ය .ගාන ටිකක් සැර වුනත් ඒවායේ කොලිටි සාපේක්ෂව හොඳ ය.

එළියේ තියෙන පිට්ටනි බොහොමයක කරවනැල්ලට වඩා වෙනසක් නැති ගානය.ඒත්  සල්ලි ගෙවන්නට ඕනෑ නෑ ය.

විහාරමහාදේවි එකට ගියේ එක දවසය.කානිවල් දුසිමක සෙනඟ ය.සෙල්ලම් මාලිගාවල කෑලි හැලී  එල්ලෙනවා ය.එනිසා ආයෙත් යන්නැති වග හිතා ගෙනය ආවේ.
ඒත් හවස හතරට විතර ඇරෙන වතුර මල් තිබ්බේ එහේ විතරය.කලින් දන්නේ නැති නිසාවෙන් වැඩිපුර ඇඳුමක් තුවායක් ගෙනිච්චේත් නැති ය.ඇඳන් ගිය ඇඳුම ගලවා යට කලිසම පිටින් වතුරට පැනගත් එක එක සයිස් වල පොඩි වුන් වතුර මල් අල්ලන්නට පොර කද්දී වතුරේ නටද්දී ඒකත් හරිම අපූරු ය.
විහාරමහාදේවි පාක් එක පුද්ගලික අංශයට පවරා දී මොඩිෆයි කර පොඩ්ඩෙක්ට  පැයට හාරසීය ගානේ  ටිකට් කඩන්නට යන කතාවකුත් ආරංචිය.
නගර සභාවේ පුටු එකක් ලක්ස ගානක් වෙද්දී  පොඩි මිනිහාට යන්න තියෙන පාක් එක හදන්නට සල්ලි නැතිලු ය.

ජයවර්ධන පුර ඉස්පිරිතාලෙ හරියේ නිතර යන එන පොඩි පොඩ්ඩකුත් තියේ ය.ඒක අර තරමටම අබලං නෑ ය.එතරම් ම සෙනඟකුත් නෑ ය.වට පිටාව ටිකක් පාලු ගතියක් පෙනෙනා නිසා සතියේ දවස්වල යැවෙනවා අඩුය.

හෙන්රි ප්‍රෙදිස් ග්‍රවුන්ඩ් එකේ පිට්ටැන්න අබලං වී තිබී හැදුවේ ත් ළඟ දීය.සෑහෙන්න ඉඩත් තියේය.
ඩයිනසෝරයෙක් ගේ පිට දිගේ බහිනා අමුතු ලිස්සන බෝට්ටුව හින්දා බට්ටි එහේ යන්නේ ඩයිනසෝර් පාර්ක් යනවා කියමින් ය.
එකම කරදරේ තියෙන්නේ උඩ ඉගිලෙන කාක්කන්ගෙන් ය.කොයි වෙලේ ඔලුවට ඔම්ලට් අතාරීදැයි ශුවර් නෑය.

නුගේගොඩ සෙන්සාල් එකේ සෙල්ලං කාමරේ ගැන ඔත්තුව දුන්නේ  එහේ අම්මෙක් ය.සෙන්සාල් එකත් හොයා ගත්තේ අමාරුවෙන්‍ ය.එතන සෙල්ලං කරන්නට ඉඩක් තියෙන බව පිටින් බලද්දී හිතන්නටත් බැරිය. හාරසීයේ පන්සීයේ ඉන්ඩෝ තරං කොලිටි නැතත් ලොකු වරදක් නෑ ය.අත ළඟම කන්නත් ඇති හින්දා අම්මාට දෙයියන්ගේ පිහිට ම ය.

බට්ටී කැමති ම අලුතෙන් හැදූ බොරලැස්ගමුවේ කෙළිමඩලටය.ගෙවල් පාර දිගේ අම්මාගේ අතේ එල්ලී සෙල්ලං කරන්නට යද්දී වටපිටාවේ සරුංගල් බලන්නට නතර වෙන්නත් ඕනෑ ය.පැය ගානක් කුරුමානම් අල්ලා බට්ටිත් වඩා ගෙන අම්මා පාර පැනගත් විට "ගුඩ් ජොබ් අම්මා.." කියන්නත් ඕනෑ ය. ඊට පස්සේ ඉතින් සෙල්ලං ය.ටිකක් කම්මැලි හිතුනාම ලොකු මාමලා දුවන පාරේ වැලි අවුස්සන්නට ,වතුරට ගල් ගහන්නටත් තියේ ය.සෙල්ලං අහවර වෙලා අයිස් ක්‍රීම් කන්නත් ලැබෙන හින්දා තවත් සනීප ය.

ඉතින් ඉඩ ලැබෙන හැන්දෑවලත් සෙනසුරාදා ඉරිදාටත් අපි සෙල්ලමේ ය.

හුඟක් වෙලාවට පොදු පරිහරණයට හැදෙනා සෙල්ලං පිට්ටනි හදනා තැන ඉඳන්ම ලෙඩය.හදනා උදවිය තමන්ගේ ළමයි ගැනත් හිත හිත හැදුවා නං සති ය දෙක යද්දී කෑලි ගැලවී එල්ලෙන්නට විදිහක් නැත.මොකද ඒවායේ සෙල්ලං කරන්නේ හින්නික්කිතර පොඩි වුන් මිස අලි ඇත්තු නොවෙන හින්දා ය.

නඩත්තුවත් ඒ වගේමය.උපකරණ නඩත්තුව කොහොම වෙතත් පිට්ටැන්නේ තණකොළ ටික කැපෙන්නේත් වැරදිලා ඈතට සිංහරාජේ වගේ පේන්න ගත්තා ම ය.

ඒත් වැරැද්ද ඒ පැත්තේ විතරක් ම කියන්නටත් බැරිය.හෙන්රි පේද්‍රිස් ග්‍රවුන්ඩ් එකේ අඟලෙන් අඟලට කෑ බී ඒවායේ මතක සටහන් ය.
අඩියෙන් අඩියට කුණු දාන්නට භාජන තිබ්බත් අපේ උදවියට ඒවා ගාණක් නෑ ය.

ආබාධිත දරුවන්ට ක්‍රීඩා කරන්නට ඉඩක් හදා දෙනවා මුලින්ම දැක්කේ  කෙළි මඬලේ ය.ඒ සංකල්පය අලුත් නිසාදෝ රෝද පුටුවෙන් යන පොඩ්ඩෙක් නං එහෙදී දැක්කේම නැත.
ඒත් ආබාධිත දරුවන්ට බව පැහැදිලිව සටහන් කර තියෙද්දිත් අපේ දරුවන් දුසිම් පිටින් ලෝඩ් කර න නිසාවෙන් ඒ දරුවන්ගේ සීසෝව කැඩුනු ගමන්‍ ය.ඕක ආබාධිත ළමයින්ට යැයි සෙකුටිරි ඇන්ටිගේ කීමට ඈට ඔරවමින් ආබාධිත ළමුන්ගේ ඔංචිල්ලාව අපේ ළමයින්ට කතුරු ඔංචිල්ලාවක් කරගෙන ය.

ළමා කාලේදීම  තරබාරුවන දරුවන්ගෙන් සියයට පණහක්ම වාර්තා වෙන්නේ ආසියාවෙන් ය.ඉස්සර වාගේ එළියට පැන නටන්නට දැන් පොඩි එවුන්ගේ ගෙවල්වල ගෙවතු මිදුල් නැත.
හරිහමන් සෙල්ලම් පිටියක් උන්ට හදා දෙන එක රට කරන ඇත්තන්ගේ වගකීමය.
හදා දුන් තැන තව පොඩි එකෙක්ටත් එන්න පුලුවන් හැටියට පරිස්සං කර ගැනිල්ල පොඩි උන්ගේ අම්මලා අප්පලා ගේ වගකීම ය.