Tuesday, January 16, 2018

ගේම් ගැහිලි

හතේ පන්තියේ විතර ඉන්නා කාලේ ඉස්කෝලේට් කොම්පියුටර් මාමලා ටිකක් ඇවිදින් කොම්පියුටර් කියනා අරුම පුදුම භාන්ඩය අපිට හඳුන්වා දුන්නෝ ය.අපේ සෙට් එකට අල්ලලාම ගියේ ඒකෙ දමා දුන් පැක් මෑන් ගේම් එකය.දඩ පෝලිමක් තිබ්බ හන්දා වැඩි වේලාවක් සෙල්ලං කරන්නට බැරි වුනත් ඒ දවස්වල හීනෙනුත් පෙවුනේ තඩි කටක් ඇති පැක් මෑන් කොම්පියුටර් තිරේ පුරා දුවමින් හින්නික්කිතර බෝල ගිල දාන හැටි ය.

හාහා පුරා කියා කොම්පියුටර් රාජයෙක් අපේ ගෙදරට වඩම්මන විට මම ඕලෙවල් පන්තිවලය. ඒ දවස්වල හුරු පුරුදු සුපර් මාරියෝ,හෝකස් පෝකස් වගේ සිඟිති සෙල්ලං ය.කොහෙන්දා ගෙනා ගේම් සීඩී එකක තිබුණු shining force ඒ දවස්වල මල්ලි ගේත් මගේත් කැමතිම සෙල්ලමය.නඩයක් එක්කාසු කරගෙන ගිහින් කුමරියෙක් බේර ගන්නද කොහෙද තිබුණු සෙල්ලම පස්සෙ කාලෙක ආසාවට ගහන්ටවත් හමු වුනේ නැත.

කැම්පස් යන කාලේ නැඟලාම ගිය සෙල්ලම වුනේ farmville වැවිල්ල ය.දෙයියනේ කියා තක්කාලි පාත්තියක් වවාගෙන හරක් බානක් ඇති දැඩි කරගෙන අපි දැහැමෙන් සෙමෙන් වගා කරද්දී තවත් කට්ටිය barnbuddy සෙල්ලම් කරේ අනුන්ගේ වතු වලට පැන චන්ඩි පාට් දමමින් කොයි වෙලේ තමන්ගේ වත්තට හොරු පනියි දැයි විචිකිච්චාවෙන් ය.

වැවිල්ල කාලයක් යද්දී කම්මැලි වෙද්දී හිත හැරෙන්නේ මකරු හැදිල්ලටය.dragon world  සෙල්ලම තනිකරම මකරු හදන්ට ය.දිය ගොඩ හැමතැන ඉන්නා මකරු ලව්වා එකඑක ඉරියව්වෙන් බිත්තර දම්මවා බිත්තර රක්කවා,පැටවු කවා පොවා ලොකු මහත් කර යුද්ධෙට යවන එක ලෙහෙසි පහසු තොවිලයක් නෙවෙයි ය.ඒත් අතාරින්නේ මම නෙවෙයි ය.2D dragonworld එක අත ඇර 3D එකකට පස්සෙන් පහු මාරු වෙන්නේ සෝයි මකර රූප වලට ලෝභ කමේ ය.මේ වෙද්දී පෙට්ටගම තරං කොම්පියුටර් රාජයා එතනින් ලැප් එහෙකටත්,මගේ නොකියා ගඩොල් භාග ෆෝන් එකෙන් ගේම් ගහන්නට පුලුවන්(වරිගය මට ශුවර් නැත)ෆෝන් එහෙකටත් මාරු වුන නිසා ගේම් ගැහිල්ල ගේමක් ම නැත.නොකා නොබී ගේම් ගහන්නටත් මට බැරි නැති නිසා ඔය ගේම් එල ගැහුවේ සතිඅන්තයේ ගෙදර එන හබියානන් ගේ ෆෝන් එකේ ය.සතිය මැද්දේ  බිත්තර රැක්කවිලි,මැනික් එකතු කිරිලි වැනි දූත මෙහෙවරවල් අහවර වුනේ එතුමානෝද  බැහැලාම මකරු හදන්නට ගත් විට ය. මගේ මකර දූපත  ඉරිදා පොල වගේ ය.උන්දෑගේ එක ඔඩෙල් එක වගේ ය.එතනින් මගේ මකරු හැදිල්ල අහවර ය.

ගේම් ගැහිල්ල එකට අත් පොත් කළ මලයා නතර වෙන්නේ මරාගෙන මැරෙන් ගැහිලි වලින් ය.උන්දෑගේ ගේම් මට බරසාර වැඩි ය.හැමදාමත් හවස ඌ ගෙදර ආවාට පසු ගෙදර එකම යුද පිටියක් ය.
"එහෙන් පලයන්,මෙහෙන් පලයන්,ඔය බෝම්බෙ තියහන්"ආදී සුමදුර වදනින් සගයන් අමතමින් ඌ ගේම් ගහන්නේ හෙඩ් සෙට් එකේ කන් ගිල්ලාගෙන ය.
"මූණක් කටක් හෝදන්නේ නෑ.වැඩකට ඇති වැඩක් කරන්නෙ නෑ.පටන් ගත්තා පවු කාර වෙඩි තිවිල්ල"කියා අම්මා නගන දෝස්මුරයට ගොඩ වෙන්නේ උගේ නොව අපේ කන් දෙක ය.
ඒ සෙල්ලම නම් මහාම වේදනාවකි.එකම රවුමක දුව දුවා වෙඩි තියනවා ය.වෙඩි කා මැරෙනවා ය.
මෙච්චර ටම නැහීගෙන මූ මේ සෙල්ලමම කරන්නේ මොකදැයි බලන්නට මාත් එක සැරයක් ඕක ගහලා බැලුවා ය.
පනස් හතර පාරක් වෙඩි කා මැරුණාට පස්සේ ජයග්‍රාහී පනස් පස් වෙනි වතාවේ මාත් ඉතින් එකෙක් ට ගිනි බින්ඳා ය.

සෙල්ලමේ පනස් හතර පාරක් වෙඩි කා මැරෙන්නට පුලුවන් ය.රීලෝඩ් කරාම හෝ new game තේරුවාම ආයෙත් සුලු තුවාලවත් නැතුවම සටනට එන්නට පුලුවන් ය. ඒත් හැබෑ ජීවිතේ එහෙම බැරිය.පළවෙනි වෙඩිල්ලෙන් පස්සේ නැගිටින්නේ එහෙමත් එකෙක් ය.

හැම වෙඩිල්ලක් කඩුල්ලක් ම පෙරළා ගෙන  රිදුම් ඉවසාගෙන දත කාගෙන දිනුම් කනුව හොයන මිනිස්සු ඇත්‍තම heroes ලා ය.

Friday, January 12, 2018

එව බලව

ඔව් ප්‍රිය ක්‍රීඩා ලෝලී අසන්නනි
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේ සිදු වූ සුවිශාලම මූල්‍ය වංචාව සිදු කළ
ප්‍රවීන ගායක හෙක්ටර් දසනායක මහතාගේ බිරිඳ අද දිනයේ රක්ශිත බන්ධනාගාර ගත කෙරුණා.

හෙක්ටර් මහතාගේ නිවසේ  සිට බන්ධනාගාරය දක්වා ගමන පියවරෙන් පියවර නරඹන්න පහළ ලින්ක් එකෙන් පිවිසෙන්න.
http://hiragedarataadiyenadiya.lk

"අපේ තාත්තා අපිට නැති කළ එක තමයි ඔය පල දුන්නෙ"
ගායක හෙක්ටර් මහතාගේ පළමු විවාහයේ ළදරුවන් තමන්ට සිදු වූ අසාධාරණය ගැන හැඬූ කඳුලින් කරනා හෙළිදරව්ව මෙන්න
සම්පූර්ණ වීඩියෝව මෙතනින්.
http://kiratahandanakiridaruwo.lk

සැ.යු. සංවේදී අය නැරඹීමට පෙර ළූණු ගෙඩියක් කපා පැමිණෙන්න.

හෙක්ටර් මහතාගේ බිරිඳ සොරාගත් රත්‍රන් පිටුපස සැඟවුනු කතාව.
රන් භාන්ඩ හිමි සවුදියෙන් ආ දිරිය දියනියගේ පැල්පතේ  සිට සජීවීව
http://livebalnnaonemakunugodaktv.lk

සිරගත වුණු බිරිඳ වෙනුවෙන් හෙක්ටර් මහතා ගැයූ මුල්ම(හා අවසාන ????) ගීතය.
"මගේ ළඳ ඔබ"
දැන්මම නරඹන්න.මෙතනින් පිවිසෙන්න
http://dukatakiyapukawi.lk

" ඕක තමයි අපි කිව්වේ"
ගායන ශිල්පී  ගරාජ් මහතා ගේ ආන්දෝලනාත්මක ගීතයෙන් කියවෙන්නේ හෙක්ටර් මහතාගේ ජීවිත කතාව ද?
අයින් කරන්න කලින් සිංදුව බලන්න මෙතනින් එන්න.
http://hektorwagedayakoviews.lk

"හෙක්ටර් මහතා ට මෙහෙම දෙයක් වෙන බව මම දැනං හිට්යා .නමුත් බයට කිව්වෙ නෑ"හෙක්ටර් මහතාගේ ජන්ම පත්‍රය ඇසුරෙන් ප්‍රවීන ජ්‍යෝතිර්වේදී බමණ දාස මහතාගේ කරටි කැඩෙන විග්‍රහය පහත ලිංකුවෙන්
http://handahanyiobayi.lk

"මේ සිද්ධිය මම කියෙව්වෙ පත්තරෙන්.මේ ගැන හොයලා බලන්න මම වහාම කමිටුවක් පත් කරලා බැංකුවල උකස් පොලී අනුපාතය ඉහළ දානවා."
ජනපති තුමා සිටගෙන ලබා දුන් කාලෝචිත විසඳුම.වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක බලන්න.
http://yahapalanatheenduby kingkakille

පේජ් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ෆෙන්ස්

බොන්න දෙනවනං අපිට

ජනාධිපති තුමා වෙත,

දෙයියෝ බුදුවන්න උතුමෝ මේ ලියමන ලියන්නේ  අගුණකොලපැළස්සේ හතරේ කනුවේ සෝමාවතී.මහත්තෙයා ට අපි මහ චන්දෙට කතිරෙ ගැහැව්වා.මෙහේ රැස්වීමට ආවම ළමා සාරියෙන් පිළි ගත්තෙ මයෙ කෙළී තමා.මයෙ හිතේ ඔය මහත්තැන්ට නම් අපි මතකෙ නැතුව ඇති.
කාරි නෑ.
මහත්තැන් රටේ පොරදානියා වෙච්චි අපි මේ පොඩි මිනිස්සු වෙච්චි.

මහත්තයෝ මහත්තයාට කියන්න අපේ ලොකු කෙලී ,දීග ගොහින් කෙල්ලෝම තුන් දෙනයි ඉතින් . මිනිහා අලියා ගහලා අන්තරා වුණාට පස්සෙ ළමයිත් එක්කම අපේ ගෙදරට වෙච්චි.පවුලම නඩත්තු කොරන්ට හරි හමන් රස්සාවක් නැති හින්දයි ,පැල් කොටේ උකසට තියලා පිට දීපංකරේක වැඩට ගියේ.අවුරුදු දෙකක් කඹුරලා  පඩිත් නැතිව ගෙදර උන් තඩි බාලා කොන්දත් කැඩිලා යාන්තම පණ කෙන්ද බේරං ඇවිත් දැන් අවුරුද්දක් විතර.
කාරි නෑ.
අපේ එකී රට ගියේ ඒකිගෙ හිතු මතේ ට නෙවැ.

හිච්චි කෙලී ලොකු කෙලී ආදුරුසෙට නොගෙන  පාඩම් වැඩ එහෙම හොඳට කෙරුවා නෙව.ගමේ ඉස්කෝලෙ න් මහ විභාගෙ පාස් වුනේ අපේ කෙල්ල විතරමයි. ඒත් ඉතින් ඒ ලකුණුවලට විස්ස විද්‍යාලෙට යන්න බැහැයිලු නෙව.
අවුරුද්දක් විතර එකේක රස්සාවලට ඉල්ලුම් පත්තර දාලා ඉන්ටැවීව්නුත් ගිහිල්ලා ඕන් දැන් ටවුමෙ ගාමන්ට් එකට යනවා.කසාදයක් කෙරෙන වයසත් දැන් පහුවේගෙනයි එන්නෙ.
කාරි නෑ.
අපේ එකී ඉගෙන ගත්තෙ ඒකිගෙ කැමැත්තට නෙව.

ආ.......චූටික්කි.ඒකිට තාම දහයයි.ඒකි හම්බුනේ මට හතලිහත් පැන්නට පස්සෙ නෙව.මාසෙ රුදාව නැති කොට මම හිතුවෙ වයසට නැවතිලා කියලා නෙවැ.කෙල්ල මොංගල් වෙලා තියෙන්නෙ  මට වයස  ගිහින්  ඒකි හම්බුණ නිසා වෙන්න පුලුවන් කියලා ඉස්පිරිතාලෙ දොස්තර මහත්තුරු කතා වෙනවත් මම අහගෙන.කෙල්ල බඩට ආ එකට මිඩ්වයිෆ් මිසීලා එහෙමත් සෑහෙන නෝක්කාඩු කිව්වා ඒ කාලේ.උපත් පාලනේ කොරන්න අපේ මිනිහා කැමති නැති වෙච්චි ,කෙල්ල හම්බෙන්න හිටි කාලෙ මයෙ ඇඟටත් හරි හමන් කෑමක් බීමක් නැති වෙච්චි ඒ අහිංසකී ඉතින් මොලෙන් බාලයි.
කාරි නෑ.
ළමයි වැදුවෙ අපෙ මිනිහගෙ උවමනා එපා කං ඉටු කරන්ට ගිහින් නොවැ.

මේ ලියමන ලියන්න ගත්තෙ හවස පාන් බාගයක් ගේන්නෙ ගිය වෙලේ කඩ පොලේ වෙච්චි කතාවක් කනේ වැටිලා.
ඔය උතුමා තීරණේ කරලලු තැබෑරුම් රෑ දහය වෙන කම් ම ඇරලා තියන්ට.තව ගෑනු අපිටත්  බොන්න පුලුවන් වෙන නීති ගේනවලු.අනේ හොඳා.
අපේ මිනිහා කුලී වැඩ කරලා හැමදාම ගෙදර එන්නෙ හතර ගාතෙන් තමා.ඇහුවාම කියන්නෙ ඇඟේ පතේ මහන්සි යන්ට ගිනි වතුර තරං දිවිය අවුසදයක් වෙන නැහැල්ලු.කුලී වැඩ නොකරාට ගෙදර දොරේ සුමේ කරලා ලොක්කිගෙයි ඒකිගෙ පොඩි එවුන්ගෙයි  චූටික්කිගෙයි රාජකාරිත් කරලා අපේ මිනිහාට ආවතේවත් කොරලා ම මගේ හතර හන්දි ගෙවෙන්ට කෙඩෙත්තුයි රෑ වෙද්දී .මේ මිනිහා නෙවෙයි මට බෝතල් කාලක් වත් ගේන්නෙ.දැන් ඉතින් මටත් හංගාගෙන බොන්ට බෝතල් කාලක් ගත හැකි දෙයියනේ කියලා.එක්තැන් වෙච්චි ලොකු එකී ගැන ,අප්පොච්චි නැති පොඩි උන් ගැන,ගෙදරට නාකි වෙන හිච්චි කෙලී ගැන, බරක් පතළක් නොතේරෙන චූටික්කි ගැන හිත හිතා එලිය වැටෙනකනුත් නිදි නැතුව මම පැදුරේ නෙව. දැන් ඉතින් පදමට ගසලා අපේ මිනිහා වගේ ගොරොද්දේ ඇද ඇද නිදාගන්න බැරිය මටත්.

අපි වගේ ගෑනුන්ගේ දුක තේරුං අරන් මෙහෙව් සහන සලසන ඔබතුමාලා වගේ උත්තමයෝ තමයි මේ රටට වැඩි වැඩියෙන් ඕනැ වෙන්නෙ.අපිට ගල් අරක්කුත් ඔබ තුමාලාට රට බීමත් වැඩි වැඩියෙන් ලැබේවා කියා උඩ ඉන්න දෙවි දෙවිතාවුන් වහන්සේලාට කන්නලවු කරමින් මම නවතිමි.

නොදැන වැරදි යමක් ලියවිලා තියෙනවා නම් තරහ අවසර.මට අකුරු සෑස්තරේ බැරි හන්දා ලියමන ලීවේ ලොක්කිගේ ලොකු කෙලී තමා ය.

ඔබ තුමන්ලාට රත්නත්තරේ පිහිට ආරස්සාවයි.

මීට,
 අඟුණකොළපැලැස්සේ සෝමාවතී 

Wednesday, January 3, 2018

හවුසින් දෝස මඟ හරිමු

බට්ටි බලාගන්නට කලින්ම රිටයර් වූ අත්තම්මා ඇස් ඔපරේශන් කිරීම හා ගලගණ්ඩය වැලඳුනු මෙලෝ වැඩකට නැති බලු පර්වතයක් බලා ගැනීමට තිබීම නිසා දරු සුරැකුම් සේවාවෙන් ඉවත් වූ පසු බට්ටි බලාගන්නට ඉදිරිපත් වන්නේ සීයා ය.

තුන් අවුරුද්ද පිරෙන්නට කිට්ටු බට්ටි බලා ගැනිල්ලට මනාප වුණත් ගෙදර හිටිනා විසි අටකට කිට්ටු ළදරු මලයා බලාගැනිල්ලේ වගකීමෙන් හිත නිදහස් කරගන්න බැරි නිසා දවසක් ඇර දවසක් තාත්තා ගෙදර දුවන්නට පුරුදු වෙලා ය.

තාත්තා නැති කාන්සියටද මන්දා පෙන්ශන් ගත් කුරුල්ලෙකු සේ රවුම් ගසන අම්මාගේ මෙවර ගමනාන්තය හඳහන් බලන කාන්තාවක්‍ ය.
අපේ ගෙදර ඔක්කොටම හඳහන් ඇතත් මම දන්නා පරිදි ගෙට හඳහනක් නැත.ඒත් මේ උන්දෑ බලලා තියෙන්නේ ගෙට තියෙන අපල ය.
"නිරිත දිසාවේ තියෙන වතුර වල වහා වහපන්"යැයි ඒ කාන්තාව බෙරිහන් දුන් විට කාටවත් සෙකන්ඩ් නොවෙනා අම්මා බැගෑපත්ව කියා ඇත්තේ එය කොන්ක්‍රීට් ලෑල්ලකින් මනා කොට වසා ඇති බව ය. කොන්ක්‍රීට් දමා වැහිලි නොව වල ගොඩ කළ යුතු බව ඉනික්බිති ඒ කාන්තා තොමෝ මගේ මවුතුමියට ආදරයෙන් කියාදී ඇත.

ඉනික්බිත්තෙන් අම්මා දිවා රෑ තිස්සේ ඉමහත් ආදරයෙන් නිරිත දිසාවේ වතුර වල ගොඩ කරන්නැයි කරන කන්නලව්වෙන් තාත්තාට බේරෙන්නට වෙන්නේම නැත.

කාරිය කරන්නට හොඳයැයි වටපිටාවෙන් හොඳ රෙකමදාරු ලැබෙන බාසුන්නැහේ වල ගොඩ කිරීම වැනි පොඩිවැඩ වලට අත තබන්නේ නැත.
එනිසා බලු මාලිගය මග හැර අලුත් වලක් වෙනත් දිසාවක හාරන්නට ,ඒ පස් දමා පරණ වල වසන්නට,අලුත් වල බඳින්නට  යනාදී වැඩ ලයිස්තුවකට බාසුන්නැහේ ගේ ගාස්තුව රුපියල් තිස්දාහකි.

 හා හා පුරා කියා වැඩේ පටන් ගන්නට උපදෙස් දී පිටුපස මිදුලේ නිදන් වදුලක් ද ඇඳ දී මට හවස වැඩට යන්නට කරවනැල්ලේ එන්නට තාත්තා බසයට නගින්නේ ය.
කරවනැල්ලට කිට්ටු කරද්දී අම්මා දුරබනුවෙන් දන්වන්නේ බාසුන්නැහේ විසින් දෙකඩ කරන ලද පයිප්පයකින් අලුත් වල සුවඳ වතුරකින් පිරෙන බවය.එදා වලේ වැඩ එතනින් අහවර ය.
පසුදා ගලිබවුසරයකුත් කැන්දාගෙන ගෙදර යන තාත්තා ට දෙවරක් ගලි බවුසරය පුරවා වල ඉහින්නට වන්නේ ය.

කොහොමින් කොහොම හරි අලුත් වල කපන බාසුන්නැහේ ළඟ පාත කොන්ක්‍රීට් වැඩපලක් හා හාද වී වල බඳිනවා වෙනුවට නවීන පන්නයට කොන්ක්‍රීට් රවුම් බැස්සීම ප්‍රමෝට් කරන්නේ ඒ අස්සේය. කොන්ක්‍රීට් රෝද හරඹයට වෙනම ම දහසය දාස් ගානක වියදමක් ය.
වල කපා අහවර වෙන දා බට්ටිත් අම්මාත් ගෙදර එන්නේ පහුවදා අම්මාට විභාග අභාගයක් හින්දාය.

එන මඟදීම ආරංචි වෙන්නේ බාසුන්නැහේ තුමා වල හෑරිමට විතරක් පොරොන්දු වුණු මුලු මුදලම ඉල්ලා කලහ කරන බව යි.ගෙදර ගොඩ වී කතා බහ කරන්නට හැදුවත් බාසුන්නැහේ තුමා එන්නේම ඇඟට ය.අන්තිමේ දී ඩෝං ගිය එතුමානෝ පොලීසි යන බව පවසා වාශ්ප වන්නේ ය.

කිව්වා වගේම හවස් වරුවේ මේ හාදයා බෝල ගෙඩියක් බඳු පොලිස් මාමෙක්වත් රෝල් කරගෙන ඇවිදින් අපේ මිදුලේ ය.තාත්තා ටවුමට ගිය නිසා අම්මා අසුන් පනවා පොලිස් මාමාට අවනඩුව කියනවා ය.බාසුන්නැහේ මාමාටත් අපේ අම්මාටත් මැද්දට අසු වුනු පොලෝසි මාමාට සාක්කුවේ තිබුණා නම් තිස් දාහම බාසුන්නැහේට අතින් දී ගෙදර යන එක සෞඛ්‍යාරක්ෂිත බව නොතේරුණා වෙන්නට බැරිය.
තාත්තා පැමිණි පසු කරුනු කාරණා බේරා ගෙන පොලිස් පොතේ නම් ගම් ලියා ශේක් හෑන්ඩ් කරගෙන සභා තොමෝ සතුටින් විසිර යද්දී පහලොස්දාහක් බාසුන්නැහේ ගේ සාක්කුවේ ය.මගේ විභාගෙට කලින් ඇලවිල්ලේ වියායාමය එහෙම පිටින් ම වතුරේ ය.

විභාගෙ අහවරව කරවනැල්ලේ යන අපි ආයෙත් එන්නේ සති දෙකකින් ය.මළල සේකරගේ මෑනියන් ය.
කුස්සිය අතුරු දහන්‍ ය.හොයලා බලද්දී වළවල් මාරු කරද්දී කුස්සියේ පොසිශන් එකත් මාරු වෙලා ය.
ෆ්‍රිජ් එක සරණාගත බාවයට පත් ව සාලය මැද ය.කුස්සිය කලින් නිදන කාමරයක ය.
කලින් මොලේ වයරින් වෙච්ච පුරුද්දට පිඟාන ගෙනිහින් අත අරින තැන සින්ක් එක නොතිබීම් නිසා මේ වෙනවිට ගෙදර ඉතුරු ඇලුමිනියම් පිඟන් විතරම ය.ෆ්‍රිජ් එක සහ වොශින් මැශින් එකේ ස්ථාන මාරුව නිසා හොඳින් සේදූ එළවලු සහ ශීත කළ හඩු ඩෙනිම්වලින් අපිට නව වසරේ අඩුවක් නැත්තේ මය.
දවසට දෙතුන් වතාවක් පරණ පුරුද්දට වැරදි තැනකට ගොස් නතර වී කොයිල් වී කල්පනා කරන්නට සිදු නොවෙන්නේ බට්ටීටත් බලු තඩියාටත් විතර ය.

නිරිත දිසාවේ වල වැසීමෙන් ඇත්තෙන්ම අපේ ගෙදර ඇත්තන්ට  2018  කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නේ ඔන්න ඔහොමලු ය.