Tuesday, January 16, 2018

ගේම් ගැහිලි

හතේ පන්තියේ විතර ඉන්නා කාලේ ඉස්කෝලේට් කොම්පියුටර් මාමලා ටිකක් ඇවිදින් කොම්පියුටර් කියනා අරුම පුදුම භාන්ඩය අපිට හඳුන්වා දුන්නෝ ය.අපේ සෙට් එකට අල්ලලාම ගියේ ඒකෙ දමා දුන් පැක් මෑන් ගේම් එකය.දඩ පෝලිමක් තිබ්බ හන්දා වැඩි වේලාවක් සෙල්ලං කරන්නට බැරි වුනත් ඒ දවස්වල හීනෙනුත් පෙවුනේ තඩි කටක් ඇති පැක් මෑන් කොම්පියුටර් තිරේ පුරා දුවමින් හින්නික්කිතර බෝල ගිල දාන හැටි ය.

හාහා පුරා කියා කොම්පියුටර් රාජයෙක් අපේ ගෙදරට වඩම්මන විට මම ඕලෙවල් පන්තිවලය. ඒ දවස්වල හුරු පුරුදු සුපර් මාරියෝ,හෝකස් පෝකස් වගේ සිඟිති සෙල්ලං ය.කොහෙන්දා ගෙනා ගේම් සීඩී එකක තිබුණු shining force ඒ දවස්වල මල්ලි ගේත් මගේත් කැමතිම සෙල්ලමය.නඩයක් එක්කාසු කරගෙන ගිහින් කුමරියෙක් බේර ගන්නද කොහෙද තිබුණු සෙල්ලම පස්සෙ කාලෙක ආසාවට ගහන්ටවත් හමු වුනේ නැත.

කැම්පස් යන කාලේ නැඟලාම ගිය සෙල්ලම වුනේ farmville වැවිල්ල ය.දෙයියනේ කියා තක්කාලි පාත්තියක් වවාගෙන හරක් බානක් ඇති දැඩි කරගෙන අපි දැහැමෙන් සෙමෙන් වගා කරද්දී තවත් කට්ටිය barnbuddy සෙල්ලම් කරේ අනුන්ගේ වතු වලට පැන චන්ඩි පාට් දමමින් කොයි වෙලේ තමන්ගේ වත්තට හොරු පනියි දැයි විචිකිච්චාවෙන් ය.

වැවිල්ල කාලයක් යද්දී කම්මැලි වෙද්දී හිත හැරෙන්නේ මකරු හැදිල්ලටය.dragon world  සෙල්ලම තනිකරම මකරු හදන්ට ය.දිය ගොඩ හැමතැන ඉන්නා මකරු ලව්වා එකඑක ඉරියව්වෙන් බිත්තර දම්මවා බිත්තර රක්කවා,පැටවු කවා පොවා ලොකු මහත් කර යුද්ධෙට යවන එක ලෙහෙසි පහසු තොවිලයක් නෙවෙයි ය.ඒත් අතාරින්නේ මම නෙවෙයි ය.2D dragonworld එක අත ඇර 3D එකකට පස්සෙන් පහු මාරු වෙන්නේ සෝයි මකර රූප වලට ලෝභ කමේ ය.මේ වෙද්දී පෙට්ටගම තරං කොම්පියුටර් රාජයා එතනින් ලැප් එහෙකටත්,මගේ නොකියා ගඩොල් භාග ෆෝන් එකෙන් ගේම් ගහන්නට පුලුවන්(වරිගය මට ශුවර් නැත)ෆෝන් එහෙකටත් මාරු වුන නිසා ගේම් ගැහිල්ල ගේමක් ම නැත.නොකා නොබී ගේම් ගහන්නටත් මට බැරි නැති නිසා ඔය ගේම් එල ගැහුවේ සතිඅන්තයේ ගෙදර එන හබියානන් ගේ ෆෝන් එකේ ය.සතිය මැද්දේ  බිත්තර රැක්කවිලි,මැනික් එකතු කිරිලි වැනි දූත මෙහෙවරවල් අහවර වුනේ එතුමානෝද  බැහැලාම මකරු හදන්නට ගත් විට ය. මගේ මකර දූපත  ඉරිදා පොල වගේ ය.උන්දෑගේ එක ඔඩෙල් එක වගේ ය.එතනින් මගේ මකරු හැදිල්ල අහවර ය.

ගේම් ගැහිල්ල එකට අත් පොත් කළ මලයා නතර වෙන්නේ මරාගෙන මැරෙන් ගැහිලි වලින් ය.උන්දෑගේ ගේම් මට බරසාර වැඩි ය.හැමදාමත් හවස ඌ ගෙදර ආවාට පසු ගෙදර එකම යුද පිටියක් ය.
"එහෙන් පලයන්,මෙහෙන් පලයන්,ඔය බෝම්බෙ තියහන්"ආදී සුමදුර වදනින් සගයන් අමතමින් ඌ ගේම් ගහන්නේ හෙඩ් සෙට් එකේ කන් ගිල්ලාගෙන ය.
"මූණක් කටක් හෝදන්නේ නෑ.වැඩකට ඇති වැඩක් කරන්නෙ නෑ.පටන් ගත්තා පවු කාර වෙඩි තිවිල්ල"කියා අම්මා නගන දෝස්මුරයට ගොඩ වෙන්නේ උගේ නොව අපේ කන් දෙක ය.
ඒ සෙල්ලම නම් මහාම වේදනාවකි.එකම රවුමක දුව දුවා වෙඩි තියනවා ය.වෙඩි කා මැරෙනවා ය.
මෙච්චර ටම නැහීගෙන මූ මේ සෙල්ලමම කරන්නේ මොකදැයි බලන්නට මාත් එක සැරයක් ඕක ගහලා බැලුවා ය.
පනස් හතර පාරක් වෙඩි කා මැරුණාට පස්සේ ජයග්‍රාහී පනස් පස් වෙනි වතාවේ මාත් ඉතින් එකෙක් ට ගිනි බින්ඳා ය.

සෙල්ලමේ පනස් හතර පාරක් වෙඩි කා මැරෙන්නට පුලුවන් ය.රීලෝඩ් කරාම හෝ new game තේරුවාම ආයෙත් සුලු තුවාලවත් නැතුවම සටනට එන්නට පුලුවන් ය. ඒත් හැබෑ ජීවිතේ එහෙම බැරිය.පළවෙනි වෙඩිල්ලෙන් පස්සේ නැගිටින්නේ එහෙමත් එකෙක් ය.

හැම වෙඩිල්ලක් කඩුල්ලක් ම පෙරළා ගෙන  රිදුම් ඉවසාගෙන දත කාගෙන දිනුම් කනුව හොයන මිනිස්සු ඇත්‍තම heroes ලා ය.

3 comments:

  1. මගේ ඉල්ලීම ඉස්ට කළාට තැන්කිව්ව්ව්! :D

    ReplyDelete
  2. අහම්බෙන් හම්බුනේ ඔන්න අද ඉදන් එනවා

    ReplyDelete