Wednesday, January 3, 2018

හවුසින් දෝස මඟ හරිමු

බට්ටි බලාගන්නට කලින්ම රිටයර් වූ අත්තම්මා ඇස් ඔපරේශන් කිරීම හා ගලගණ්ඩය වැලඳුනු මෙලෝ වැඩකට නැති බලු පර්වතයක් බලා ගැනීමට තිබීම නිසා දරු සුරැකුම් සේවාවෙන් ඉවත් වූ පසු බට්ටි බලාගන්නට ඉදිරිපත් වන්නේ සීයා ය.

තුන් අවුරුද්ද පිරෙන්නට කිට්ටු බට්ටි බලා ගැනිල්ලට මනාප වුණත් ගෙදර හිටිනා විසි අටකට කිට්ටු ළදරු මලයා බලාගැනිල්ලේ වගකීමෙන් හිත නිදහස් කරගන්න බැරි නිසා දවසක් ඇර දවසක් තාත්තා ගෙදර දුවන්නට පුරුදු වෙලා ය.

තාත්තා නැති කාන්සියටද මන්දා පෙන්ශන් ගත් කුරුල්ලෙකු සේ රවුම් ගසන අම්මාගේ මෙවර ගමනාන්තය හඳහන් බලන කාන්තාවක්‍ ය.
අපේ ගෙදර ඔක්කොටම හඳහන් ඇතත් මම දන්නා පරිදි ගෙට හඳහනක් නැත.ඒත් මේ උන්දෑ බලලා තියෙන්නේ ගෙට තියෙන අපල ය.
"නිරිත දිසාවේ තියෙන වතුර වල වහා වහපන්"යැයි ඒ කාන්තාව බෙරිහන් දුන් විට කාටවත් සෙකන්ඩ් නොවෙනා අම්මා බැගෑපත්ව කියා ඇත්තේ එය කොන්ක්‍රීට් ලෑල්ලකින් මනා කොට වසා ඇති බව ය. කොන්ක්‍රීට් දමා වැහිලි නොව වල ගොඩ කළ යුතු බව ඉනික්බිති ඒ කාන්තා තොමෝ මගේ මවුතුමියට ආදරයෙන් කියාදී ඇත.

ඉනික්බිත්තෙන් අම්මා දිවා රෑ තිස්සේ ඉමහත් ආදරයෙන් නිරිත දිසාවේ වතුර වල ගොඩ කරන්නැයි කරන කන්නලව්වෙන් තාත්තාට බේරෙන්නට වෙන්නේම නැත.

කාරිය කරන්නට හොඳයැයි වටපිටාවෙන් හොඳ රෙකමදාරු ලැබෙන බාසුන්නැහේ වල ගොඩ කිරීම වැනි පොඩිවැඩ වලට අත තබන්නේ නැත.
එනිසා බලු මාලිගය මග හැර අලුත් වලක් වෙනත් දිසාවක හාරන්නට ,ඒ පස් දමා පරණ වල වසන්නට,අලුත් වල බඳින්නට  යනාදී වැඩ ලයිස්තුවකට බාසුන්නැහේ ගේ ගාස්තුව රුපියල් තිස්දාහකි.

 හා හා පුරා කියා වැඩේ පටන් ගන්නට උපදෙස් දී පිටුපස මිදුලේ නිදන් වදුලක් ද ඇඳ දී මට හවස වැඩට යන්නට කරවනැල්ලේ එන්නට තාත්තා බසයට නගින්නේ ය.
කරවනැල්ලට කිට්ටු කරද්දී අම්මා දුරබනුවෙන් දන්වන්නේ බාසුන්නැහේ විසින් දෙකඩ කරන ලද පයිප්පයකින් අලුත් වල සුවඳ වතුරකින් පිරෙන බවය.එදා වලේ වැඩ එතනින් අහවර ය.
පසුදා ගලිබවුසරයකුත් කැන්දාගෙන ගෙදර යන තාත්තා ට දෙවරක් ගලි බවුසරය පුරවා වල ඉහින්නට වන්නේ ය.

කොහොමින් කොහොම හරි අලුත් වල කපන බාසුන්නැහේ ළඟ පාත කොන්ක්‍රීට් වැඩපලක් හා හාද වී වල බඳිනවා වෙනුවට නවීන පන්නයට කොන්ක්‍රීට් රවුම් බැස්සීම ප්‍රමෝට් කරන්නේ ඒ අස්සේය. කොන්ක්‍රීට් රෝද හරඹයට වෙනම ම දහසය දාස් ගානක වියදමක් ය.
වල කපා අහවර වෙන දා බට්ටිත් අම්මාත් ගෙදර එන්නේ පහුවදා අම්මාට විභාග අභාගයක් හින්දාය.

එන මඟදීම ආරංචි වෙන්නේ බාසුන්නැහේ තුමා වල හෑරිමට විතරක් පොරොන්දු වුණු මුලු මුදලම ඉල්ලා කලහ කරන බව යි.ගෙදර ගොඩ වී කතා බහ කරන්නට හැදුවත් බාසුන්නැහේ තුමා එන්නේම ඇඟට ය.අන්තිමේ දී ඩෝං ගිය එතුමානෝ පොලීසි යන බව පවසා වාශ්ප වන්නේ ය.

කිව්වා වගේම හවස් වරුවේ මේ හාදයා බෝල ගෙඩියක් බඳු පොලිස් මාමෙක්වත් රෝල් කරගෙන ඇවිදින් අපේ මිදුලේ ය.තාත්තා ටවුමට ගිය නිසා අම්මා අසුන් පනවා පොලිස් මාමාට අවනඩුව කියනවා ය.බාසුන්නැහේ මාමාටත් අපේ අම්මාටත් මැද්දට අසු වුනු පොලෝසි මාමාට සාක්කුවේ තිබුණා නම් තිස් දාහම බාසුන්නැහේට අතින් දී ගෙදර යන එක සෞඛ්‍යාරක්ෂිත බව නොතේරුණා වෙන්නට බැරිය.
තාත්තා පැමිණි පසු කරුනු කාරණා බේරා ගෙන පොලිස් පොතේ නම් ගම් ලියා ශේක් හෑන්ඩ් කරගෙන සභා තොමෝ සතුටින් විසිර යද්දී පහලොස්දාහක් බාසුන්නැහේ ගේ සාක්කුවේ ය.මගේ විභාගෙට කලින් ඇලවිල්ලේ වියායාමය එහෙම පිටින් ම වතුරේ ය.

විභාගෙ අහවරව කරවනැල්ලේ යන අපි ආයෙත් එන්නේ සති දෙකකින් ය.මළල සේකරගේ මෑනියන් ය.
කුස්සිය අතුරු දහන්‍ ය.හොයලා බලද්දී වළවල් මාරු කරද්දී කුස්සියේ පොසිශන් එකත් මාරු වෙලා ය.
ෆ්‍රිජ් එක සරණාගත බාවයට පත් ව සාලය මැද ය.කුස්සිය කලින් නිදන කාමරයක ය.
කලින් මොලේ වයරින් වෙච්ච පුරුද්දට පිඟාන ගෙනිහින් අත අරින තැන සින්ක් එක නොතිබීම් නිසා මේ වෙනවිට ගෙදර ඉතුරු ඇලුමිනියම් පිඟන් විතරම ය.ෆ්‍රිජ් එක සහ වොශින් මැශින් එකේ ස්ථාන මාරුව නිසා හොඳින් සේදූ එළවලු සහ ශීත කළ හඩු ඩෙනිම්වලින් අපිට නව වසරේ අඩුවක් නැත්තේ මය.
දවසට දෙතුන් වතාවක් පරණ පුරුද්දට වැරදි තැනකට ගොස් නතර වී කොයිල් වී කල්පනා කරන්නට සිදු නොවෙන්නේ බට්ටීටත් බලු තඩියාටත් විතර ය.

නිරිත දිසාවේ වල වැසීමෙන් ඇත්තෙන්ම අපේ ගෙදර ඇත්තන්ට  2018  කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නේ ඔන්න ඔහොමලු ය.

3 comments:

  1. nice post.
    අපි හිනා උනාට මිනිස්සු මේවා කරන එක නවත්තන්න්නේ නෑ .ඇයි ඔය කියන ඒවා කට්ටටියෝ කරගෙන එයාල දියුණු වෙන්නේ නැත්තේ කියල හිතුවනම් හරි.

    ReplyDelete
  2. Hilarious writing as always, yet there are many matters to think deeply. Can you please add a 'followers' gadget? I almost missed this if not for your FB post. Happy New Year doctor! :)

    ReplyDelete