Saturday, August 15, 2015

මටත් පිස්සුද මන්දා

දර්ශීය ප්‍රජාවක් ගත්තොත් ඒකෙ බහුතරයක් ඉන්නෙ මධ්‍යන්‍යය දෙපැත්තේ SD දෙකක අගය ඇතුලේ කියලා පොතෙන් ඉගෙන ගත්තේ ඉස්කෝලෙ ලොකු පන්තිවලදි නේ.
හැබැයි ඒ බර වචන නැති වුනාට ඒ තියරිය පොඩි පන්ති වල ඉඳලාම අපේ ඔලුවට හීන් සැරේ රින්ගවල තිබුන මගෙ හිතේ
.සමහර වෙලාවට පන්තියෙදි ටීචර් අහන ප්‍රශ්නෙකට අපිට එන්නෙ ටීචර්ට සහ අනිත් ලමයින්ට නොහිතෙන උත්තරයක්.සමහර වෙලාවට ටීචත් ඇතුලු බහුතරේගෙ උත්තරේ වගේම අපේ උත්තරෙත් හරි වෙන්න පුලුවන්.ප්‍රශ්නෙකට එක උත්තරේකට වඩා තියෙන්න බැහැ කියලා කවුරුත් කියල නැහැනේ. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ බහුතරය නැතිවෙච්ච වැරැද්ද නිසා අපේ උත්තරේ වැරදි වෙනවා.
එහෙමත් නැත්නම් මෙහෙම හිතමු අපි පැස්ටල් පෙට්ටියත් ඇරගෙන දිව හපාගෙන චිත්‍රයක් අඳිනවා.ඔන්න ඉතින් අම්මා හරි තාත්තා හරි නැන්දා,මාමා ,ආච්චි ,සීයා ඔය කෞරු හරි අවිත් බලනව.බලනකොට අපි දුඹුරු පාට පැස්ටෙල් පදාසයක් කොලේ උලල
"මොකද්ද පුතේ ඔය?"
"මම ගඟක් අඳිනව"
"ගඟ ඔය පාට නෙවෙයි නිල් පාටයි."එහෙම කියලා සමහරවිට වැඩි හොඳට නිල් පාට පැස්ටල් කෑල්ල හොයලත් දෙනව දුඹුරු පාට උඩින් ගාන්න.බහුතරයකට නිල් පාටට පේන හින්දා මටත් එහෙම වෙන්න ඕනෙ කියල බහුත්‍රය තීරනය කරල ඉවරයි.
ඔන්න මන් වගේ ඇට්ටර ඩයල් එකක් නම් අහින්සක මගේ බහුතරයට අයිති නැති උත්තරයටත් මනාපයක් ඉල්ලල ෆයිට් කරනවා.එතකොට කියන දේ නාහන ඇට්ටර ලමයෙක් කියල ලේබල් වදිනව. ගෙදරින් බැනුම් කෝටියයි.ඉතින් වෙනස් උත්තර තියෙන ගොඩක් පොඩි එවුන් ඒව හිතට එන එක බලෙන්ම හිර කරන් බහුතර උත්තරේ වමාරල හොන්ද ලමයි වෙනව.
හොන්ද ලමයි ලොකුඇත්තෝ වෙනව.තමුන්ට වෙනස් උත්තර තිබ්බ බව ගොඩදෙනෙක්ට අමතක වෙනවා.ඔය රවුම ආයෙ කැරකෙනවා.
ඉඳලා හිටලා ඇට්ටර මුරන්ඩුවෙක් ලොකු වෙලත් එහෙම්මම හිතනව.බහුතරයට අයිති නෙතත් වැරදි නැති තමන්ගේ විදිහට ජීවත් වෙනව.බහුතරයට අනුව උන් වෙනස්.එහෙමත් නැත්නම් උන්ට පිස්සු.
අනේ මන්දා, ගොඩක් වෙලවට මගේ ජීවිතෙත් බහුතරේට යටවෙලා.ඒත් ඉන්දල හිටල කවුරුහරි කියනව ඇහෙනවා
"ඉස්සර වගේමයි පිස්සුව අඩු වෙලා නෑ"
අම්මෝ! දැනෙන සනීපේ!

Friday, March 13, 2015

ආදරයක වටිනාකම

සාලේ පොකුරු ලාම්පුවේ කොන්ඩ කුරුලු ජෝඩුවක් කූඩුවක් හදාගෙන.මේ දවස්වල බිත්තර දාල රකිනවා.පොකුරු ලාම්පුව වැඩිය පාවිච්චි වෙන්නෙත් නැති නිසා මේ දවස්වල අවුලක් නෑ.හැබැයි පැටවු එලියට ආවම තමයි සෙල්ලම.ලොකු කුරුලු ජෝඩුව ගෙනත් දෙන කෑම කාලා ලොකු වෙන කුරුලු පැටවුන්ට යාන්තම් පියාඹගන්න පුලුවන් වෙන තරමට පිහාටු එකතු වුන ගමන් කූඩුවෙන් දොරට වැඩුම තමයි.බැරි මරගාතෙ තුන්හතර පාරක් බිමටත් වැටිලා පැටවු ටික පියාඹන්න පුරුදු වෙනවා.අම්මලා ගෙනත් දෙන දේ කාලා ලොකු මහත් වෙනවා. ඊට පස්සේ උන් උන්ට කූඩු හදාගෙන ආයෙමත් ඒ ජීවන ගමන වෙනම පටන් ගන්නවා.
මිනිස් සත්තුන්ගේ එහෙම නැහැනෙ.පොඩි එකෙක් මේ ලෝකේ එලිය දකින එක බිත්තරෙන් කුරුලු පැටියා එළියට එනවට වැඩිය කල් යන සහ සංකීර්න ක්‍රියාවලියක්. එහෙම එළියට එන පොඩි එකා ව අම්මා තාත්තා විතරක් නෙවේ නැන්දලා මාමලා, ආත්තම්මලා, සීයලා ඔක්කොම එකතු වෙලා බලා ගන්නව.කොන්ඩ කුරුල්ලන්ට වගේ නෙවේ පොඩි එවුන් ඉස්කෝලේ යවන්නත් එපාය. දහසකුත් එකක් වැඩ අස්සෙ පොඩි එවුන් අරන් ඉස්කෝලෙ දුවනවා, පන්ති දුවනවා,ලෙඩට දුකට ලඟට වෙලා සාත්තු සප්පායම් කරනවා,කන්න හොයල දෙනව,ඔන්න ඔය විදිහට මිනිස් අම්මලා තාත්තලා තුන් තිස් පැයම තමුන්ගේ ළමයි ගැන හිතේ ගින්දරෙන් ඉන්නවා. එහෙම තම්යි මිනිස් අම්මලා තාත්තලගේ ආදරේ.කොන්ඩකුරුල්ලෝ ලමයින්ට ආදරේ නැතුවා නෙවේ.ඒත් හදිස්සියකට, ලෙඩකට දුකකට, සතුටකට මේ හැම එකටම අම්මලා තාත්තල අපිත් එක්ක ඉන්න එක හැබෑටම කොච්චර වටිනවද?
හැබැයි ඕකෙ තව පැත්තකුත් තියෙනව. ඕනෑම දේක සීමාවක් තියෙන කොටයි වටින්නේ. සමහර අම්මලතාත්තලාගේ ආදරේ ලමයට හිරිහැරයක් වෙනව. වැඩිහිටියෙක් හැටියට තමන්ගේ ජීවිතේ ගැන තීරන ගන්න දෙපයින් නැගිටින්න ඕන කාලෙත් සමහර වැඩිහිටි "ළමයින්ට" තමන්ගේ දෙමාපියන්ට ඕනෙ විදිහට ජීවත් වෙන්න වෙනව.පෙලවහක් කරගත්තත් තවදුරටත් තමන්ගේ ළමයා ජීවිතාන්තය දක්වාම ලමයෙක් හැටියටම තියගන්න හදන සමහර දෙමව්පියෝ නිසා පවුල් ජීවිත දෙකඩ වෙන අවස්තා ඕන තරම්.තමන්ටවත් රටටවත් වැඩක් නැති හරි හැටියට කෙලින් තීරනයක් ගන්න බැරි වැඩිහිටි ළමයි සමාජෙට එකතු වෙන්නෙත් ඔන්න ඔය නිසා.
තවත් සමහර අම්මලා තාත්තල ඒකෙ අනිත් පැත්ත. ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් ලමයව ඔහේ සමාජෙට අතාරිනව උන්ට කැමති විදිහට හැදෙන්න.හරි වැරැද්දක් කියල දෙන්න ඒ අම්මලා තාත්තලට වෙලාවක් නැහැ. ඉතින් ලමයි හිතුමතේ ඔහේ හැරෙන හැරෙන පැත්තට හරවාගත්තු ජීවිතත් එක්ක වැඩිහිටියෝ වෙනවා.ඒ කොට්ටාශෙනුත් සමාජෙට වැඩක් වෙනවා අඩුයි.
බුදු හාමුදුරුවොත් අනුමත කලේ මධ්යම ප්‍රතිපදාවනේ.මෙතන්ටත් ඒක වලංගුයි මගේ හිතේ.ළමයින්ට ඉස්සර අපෙ අම්මලා තාත්තලගේ වගේ සුන්දර ළමා කාලයක් හදලා දෙන්න ඕනෙ,විභාගවලින් අල්ලපු ගෙදර ළමයව පරද්දන්න හැල්මේ දුවවන්නේ නැතුව.පොඩි එකාට හොඳ දේ නරක දේ තේරුම් ගන්න,සමාජයේ එක එක වෙස් මූනු අස්සෙන් එන කරදරවලින් බේරෙන්න දැනුමක් ලබාදීල ඒ වගේම ආරක්ෂාවත් දෙන්න ඕනේ. හැබැයි ඒ ළමයි සීනිබෝල චරිත නොකරන්නත් වග බලාගන්න ඕනෙ. පොඩි කාලෙම ලමයින්ට තීරන ගන්න ඉඩ දුන්නම වැරදුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ. එහෙම කරලා, වැඩිහිටියෙක් විදිහට ලෝකෙට යන්න කාලෙ හරි ගියාම සතුටින් නිදහසේ, තමන්ට ඕනෙ විදිහට ඒ ජීවිතේ පටන් ගන්න නිදහස දෙන්න ඕනෙ.
එහෙම ආදරයක වටිනාකම කියල නිම කරන්න බැරි තරම්

අතීත කාමය

හා හා පුරාම ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් බැලුවේ මහාචර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ, එහෙමත් නැත්නම් වලේ. බලන්න ගියේ " හොරු සමඟ හෙලුවෙන්" කියන නාට්‍යය. බලන්න ගියාමයි දන්නේ ඒක "හොරු " සමඟ " හෙලුවෙන්" කියලා නාට්‍ය දෙකක්."හොරු" කතාවේ හැටියට හොරා වෙච්ච ජයලත් මනෝරත්න මහත්තයා නාට්‍යයේ වැඩි හරියක් ඉන්නේ ලොකු ඔරලෝසුවක් ඇතුලේ හැංගිලා.අනේ ඉතින් වලේ නාට්‍ය බැලිල්ලට කෝඩු අපි ඉඳගත්තු තැනට ඔරලෝසුව පෙනුනෙම නෑයි කියමුකො. අපායට ගියත් කලින් පල කිව්වලු.
එදා ඉඳන් ඉතින් වල සතියද , එහෙමත් නැත්නම් ෆැකල්ටියක ෆන්ශන් එකකට ආධාර පිණිසද, නිමිත්ත මොක වුනත්, විභාගේ හෙට උනත් අපි ඕන් වලේ.
මනමේ, සිංහබාහු,ජන කරලියේ චරන්දාස්, මැටි කරත්තය, සෙක්කුව එතකොට සුද්දෙක් ඔබ අමතයි, අන්දරේලා,බල්ලොත් එක්ක බෑ, තාරාවෝ ඉගිලෙති, නරි බුරති,බකමූනා වීදි බසී,සුදු රෙදි හොරු, මකරට, මකරාක්ශයා, කලම්බු කලම්බු ජනේලෙන් පනින්නද මේ වගේ එක එක විදිහේ නාට්‍ය රස විඳපු හැටි කොච්චර සුන්දරද?
නාට්‍ය පටන් ගන්නේ 7.30 ට වුනත් සුපුරුදු පරිදි උණ වැඩි වෙච්චවුන් 5හේ ඉඳන්ම වලේ, හොඳ තැනක් අල්ලගෙන හරි බරි ගැහිලා ඇති.කැශුවල් තැනක් උනාට මම දන්න තරමින් නාට්‍ය බලන්න ආපු උන් එතන හොඳ සංයමයකින් හැසිරුනා. ඇත්තටම රංගනය කියන්නේ මොකද්ද කියන එක මේ නාට්‍ය වලින් හොඳටම ඇඟට දැනුනා.
මට මතකයි චරන්දාස් බලන්න වලේ ඉඩ මදි වෙලා, ලඟ තිබුන ගස් උඩත් නැගපු ප්‍රේක්ෂකයෝ හිටියා.ජයලත් මනෝරත්න මහත්තය නාට්‍යයක් ඉවරවෙලා වලේ බිම සිප ගන්නවා දකින්න ලැබුනු එකත් හරි අපූරු මතකයක්.පරාක්‍රම නිරිඇල්ල මහත්තයාගේ ජන කරලියේ නාට්‍ය ඉවර වෙලා නලුනිලියන් තම තමන්ව අඳුන්වල දෙනව. එතකොට තමයි මෙච්චරවෙලා හොඳට සිංහල කතා කරපු සමහරු දමිල ජාතිකයො කියල තේරෙන්නෙ.අමාරුවෙන් දිව උලුක්කු කරගෙන කඩ්ඩ පොලිශ් කරගන්න අපිට පුලුවන්නම් මේ පුංචි රටේ සිංහල අයට දෙමල, දෙමල අයට සිංහල ඉගෙනගන්න බැරි ඇයි කියලා ඒ වෙලාවේ හිතුනා.
වේදිකා නාට්‍ය නලුනිලියෝ කරන කැප කිරීම් අනන්තයි අප්‍රමානයි. ඔවුන් තමන්ගේ පුද්ගලික ජීවිතවල ආවේගයන් සංවේගයන් ඔය ඔක්කොම හංගාගෙන බොහොම ලස්සනට තමන් රඟපාන් චරිතෙට සාධාරනයක් ඉටු කරාවි. රොඩ්නි වර්නකුල මහත්තයගේ අම්මාගේ මළගම් තියෙද්දිත් සුදු රෙදි හොරු දර්ශනයට පෙනී හිටින්න ආපු හැටි එක උදාහරනයක් විතරයි.
ගල් පඩි උඩ වාඩි වෙලා හීතල තණකොල කකුල් දෙකේ දවට ගෙන රුපියල් තිහකට නැත්නම් පනහකට ඒ වගේ ජීවිතේ විඳින්න වලේ මිසක් වෙන තැනක බැහැ කියලයි මට හිතෙන්නේ. ඒක හින්ඳද මන්දා කොලඹ ආවට පස්සෙ අතේ දුරින් කොච්චර රංගශාලා තිබුනත් නාට්‍යයක් බැලිල්ල මගේ අතින් මග ඇරෙන්නේ