Sunday, April 26, 2020

මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් එහෙම කිව්වම මගේ හිත දෙකට මැද්දෙන් තනි අකුණක් කෙටුවා.
ඊට ටික වෙලාවකට කලියෙන් මගේ අතේ ඇඟිලි පහේම පාර හිටපු කම්මුලත් අල්ලගෙන අනුත්තරා මගේ දිහා බලන් හිටියා.
අනුත්තරා ඇඬුවෙ නෑ....
........................
කමල්ව දැක්ක දවසෙමයි මං හිතුවෙ කවදාහරි කසාද බඳිනවනම් බඳින්නෙ කමල්ව විතරමයි කියලා.
කමල් ඇරපු අතක් නෑ අමිතාබ් බච්චන් තරුණ කාලෙ වගේ.
අමිතාබ් බච්චන්ට මං පිස්සු වැටිලා උන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්මයි.
ඒ කාලේ ටීවි එකේ ඉඳහිට යනවා අර අභිමාන් ෆිල්ම් එකේ තෙරේ මේරේ සින්දුව.ජයා බහදූරිව වත්තන් කරගෙන අමිතාබ් සින්දුව කියද්දි මං ජයා බහදූරිව සීන් එකෙන් කපලා අයින් කරලා එතනින් මනේකා ගජනායකව අලවගන්නවා.
මං තමයි මනේකා ගජනායක.ගජනායක වලව්වේ එකම දරුවා නිසා මට මේ වෙනකන් කිසිම දෙයකින් අඩුපාඩුවක් වෙන්න අප්පච්චිලා ඉඩ තිබ්බෙ නෑ.
මට උරුම වෙලා තිබුනෙ අපේ අම්මගේ හැඩරුව.අපේ අම්මා ඉතින් අඹාපු ඉටිරූපයක් වගේ කියලා තමා අප්පච්චි විහිලු කළේ.
ඉස්කෝලෙ යනකාලෙ ඉඳලම මගේ ලස්සනට වහවැටිලා පස්සෙන් වැටුන කොල්ලො ගාන මට මතකත් නෑ.
ඒත් පරම්පරාවෙ නම්බුව ගැන අප්පච්චියි අම්මයි නිතරෝම මතුරපුවා මොළේ කොයිතරම් තදින් ඇලිලා තිබුනද කියනවනම් මට ඒ එක හාදයෙක් ගැන වත් විශේෂ මොකවත් හිතුනෙ නෑ.
සමහර විට ඒ එක හාදයෙකුටවත් අමිතාබ් බච්චන් පාටක් පැත්තකින්වත් නොතිබ්බ නිසා වෙන්නත් බැරි නෑ.
උසස් පෙළ කරනවට අප්පච්චිගෙ අකමැත්තක් නොතිබ්බත් කැම්පස් යනවට නං කොහොමටවත් කැමැත්තක් තිබුනෙ නෑ.ඒත් ඉතින් අඬලා වැලපිලා මං නතර වුනේ කැම්පස් ගිහින්.
කැම්පස් එකේදිත් ඔය සෙතේමයි.අපේ ෆැකල්ටි එකේ විතරක් නෙවෙයි අනිත් ෆැකල්ටිවලත් අනේකවිධ කුමාරයන්ට මං ගැන පිළිබඳ සිත් පහළ වුනාට ඒ එක හිතකවත් මට නවතින්න ඉඩක් මං දැක්කෙ නෑ.
ගෙදර ළඟම ඉස්කෝලෙ සිංහල ගුරුතුමී වෙලා එන්න ලැබුනේ උපාධිය නිසා වගේම අප්පච්චිගේ ඇඳුණුම්කම් නිසාත් තමයි.
කළවයස හරි හින්දා කපු මහත්තයා ගෙවල් පැත්තෙ කැරකෙන්න අරන් අවුරුද්දකටත් වැඩි වුනත් මේ වෙද්දි උන්දැගෙ නම් හොඳ පණගිහින් වෙන්න ඇති.මොකද උන්දැ හොයන් එන හැම මනමාලයගෙම මට පෙනුනෙ එක එක ඇදකුද.
"ඔයාගෙ මොකක් හරි පලහිලව්වක් තියෙනවනං කියන්න දෝණි."මාසෙකට විතර උඩදි අම්මා එහෙම කිව්වෙ මං ගෙදරම නවතීවි කියන බයටද මන්දා.
.....................
කමල් හා හා පුරා කියලා ඉස්කෝලෙට පය තිබ්බේ හරියටම ඒ කතාවට දවස් තුනකට පස්සෙන් පහු.
දණ්ඩක් වගේ උස, පැත්තට පීරපු කොණ්ඩෙ, හමේ පාර විතරක් නෙවෙයි බරසාර කටහඬ ඔය ඔක්කොටම සටසට ගාලා මගේ අමිතාබ් මීටරේ ලකුණු වැටුණා.
කමල්ගෙයි මගෙයි ජීවිත සෑහෙන ගැලපෙන බව මං වටින් ගොඩින් හොයාගත්තෙ අලුත්ම කාර් එකකින් ඇවිදින් ඉස්කෝලෙ මිදුලෙ බැහැපු අමිතාබ් ජීට වහ වැටිලා දවසක් දෙකක් යද්දි.
මං වගේම කමල් පවුලේ එකම දරුවා.කුරුණෑගල පැත්තෙ වලවුකාර නොවුනත් හොඳ වැදගත් පවුලක පිරිමි දරුවා.
මට වගේම කමල්ටත් රස්සාවක් කරලා කන්න අඳින්න හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් මං වගේම කමල්ටත් රස්සාවක් කරන්න තිබුන උවමනාව හින්දා තමා අපි එක ඉස්කෝලෙක මුණ ගැහෙන්නේ.
කමල් ආවෙ සංගීතෙ උගන්නන්න.කොහොමත් සිංහලයි සංගීතෙයිත් එකට ගැලපෙනවනේ.
පොඩි පරහකට තිබුනේ කමල් කතාවට අල්ලගන්න සෑහෙන අමාරු එක.මොනවා කරන්නද පිරිමි බහුතරයක් උපන්ගෙයි බිම් බස්සෝ නෙව.
අම්මා ලව්වා අප්පච්චිට කතා කරලා කපු මහත්තයා කුරුනෑගල යවන්න ඕනෙ.ගුරු කාමරේ පැත්තට යද්දි මං හිත හිතා උන්නෙ එහෙම.
ගුරු කාමරේ ඒ වෙලාවෙ උන්නෙ අනුත්තරායි කමලුයි.කමල් අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියද අනුත්තරා කමල්ගෙ අත අල්ලන් හිටියද මන්දා.කොහොමහරි ඒ දෙන්නාගෙ අත් ගුරු කාමරේ මේසෙ උඩ බොහොම හුරුපුරුදු ලතාවට පැටළිලා තිබුණා.
උන් හිටි තැන් අමතක වෙලා මම බෙරිහන් දුන්නු හැටියට ලොකු සර්ටත් ඇහෙන්න ඇති.
"දෙයිහාමුදුරුවනේ මේක ඉස්කෝලයක් නේද?
ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ගෑනියේ මේ මහ දවාලෙ මෙතන ජවුසං නටන්නේ."
කමල්ගෙ අතින් ගලවලා ඇදලා ගත්ත අනුත්තරාගෙ කම්මුල හරහා මහා සද්දෙට මගේ අත අතෑරලාත් තව මොනවාහරි කුඩුපට්ටම් කරන්නයි මගේ හිත කිව්වෙ.
........................
අනුත්තරා එකේ පන්තියෙ ඉඳලා අවුරුදු දහතුනක්ම හිටියෙ මගේ පන්තියේ.
අනුත්තරාගෙ අම්මත් අපේ අම්මා වගේම හැඩකාරයි.ඒත් අනුත්තරාට ඇවිත් තිබුනෙ එයාගෙ තාත්තගෙ පරම්පරාවෙ හැඩරුව.
එකේ පන්තියෙදි මට මතක කළු කොට මහත කිසිම හුරතලයක් නොපෙනෙන කෙල්ලෙක්ව.
ඒ මදිවට ඉස්සරහ දත් බොල්ලෑව අනුත්තරාගෙ පෙනුම තවත් අජූව කළා.
අනුත්තරා කියන නම වෙනුවට "බතලි" කියන නම අනුත්තරාට පට බැන්දෙත් එකේ දෙකේ පන්තියෙදි මමද මන්දා.
ඒ කොහොම හරි එදා හිටන් ඉස්කෝලෙන් පිට වෙනකන්ම අනුත්තරාගෙ අංගපුලාව ලස්සන ඉස්කෝල මතකවල කැතට ඇලිලා හිටියා.නැටුම් පීරියඩ් එකේදි ඇරුණම අනිත් හැම වෙලාවකම අනුත්තරා පන්තියේ මුල්ලකට වෙලා මුලුගැන්නිලා ඔහේ හිටිය බව මතකයි.
හැමදාම පන්තියේ කොලු රෑනට වගේම කෙල්ලන්ටත් බයිට් එකට අහු වුනේ අනුත්තරාව.බතලි, කොතල බටේ වගේ එක එක නම් පට බැඳෙද්දි අනුත්තරා හැමදාම කළේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ඉවසගෙන හිටපු එක.පන්ති ටීචරුත් නිකං එපා වාහෙට හොදි බෙදන්නැහේ කොල්ලෙක්ට පිටට පාරක් දුන්නට උන්දැගේ හිතෙත් අනුත්තරා ගැන මහ ලොකු ආදරයක් උනන්න නැතුව ඇති.
මට අනුත්තරාව පෙන්නන්න බැරි වුනේ උන්දැගෙ පෙනුම හින්දද හැම දේම දරාගෙන ඔහේ ගහක් ගලක් වගේ ඉවසගෙන හිටි නිසාද මන්දා.
ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ අනුත්තරා මගේ මතකෙන් එළියට වීසි වෙනවා.කැම්පස් යන්න ලකුණු මදි වුනාට අනුත්තරා ගුරු විද්‍යාලෙට ගිය විත්තිය මගෙ කනේ තියන්නෙ අම්මද මන්දා.
කොහොමින් කොහොමහරි මං එන්න ටික කාලෙකට කලියෙන් අනුත්තරා ආයෙ ඉස්කෝලෙට එන්නෙ නැටුම් උගන්නන්න.
ඉස්සර වගේම තාමත් අනුත්තරා වස කැතයි.එකම වෙනස සුදු ගවුම වෙනුවට අනුත්තරා සාරියක් ඇඳපු එක.
ළමයි වගේම ස්ටාෆ් එකේ උදවියත් තමන් අනිත් පැත්ත හැරෙනකන් ඉඳලා හිනාවෙන විත්තිය අනුත්තරා දන්න හින්දා වෙන්න ඇති ෆ්‍රී පීරියඩ්වලත් නැටුම් කාමරේම වැඩි හරියක් හිටියේ.
ඉස්සර හාවා හඳ ගුරු කාමරේට ආපු අනුත්තරා පහු ගිය කාලෙ ඒ සිරිත වෙනස් කළා නේද කියලා මට කල්පනා වෙන්නෙ දැන්.
අනෙක සංගීත කාමරේ නැටුම් කාමරේට එහා පැත්තේ.
පහු ගිය සති දෙක තුනේම කමල් වෙනදා තරම් ගුරු කාමරේ පේන්න නොහිටිය විත්තියත් මතක් වෙන්නෙ ඔය අස්සේ.
අම්මපා මේකිට වෙන අල්ලගන්න මිනිහෙක් හිටියෙම නැද්ද?
මං තරහේ පුපුරණවා.
කමල් එක්ක මං කසාදයක් ගැන කතා කරලා නෑ තමයි.ඒත් කමල්ට මට අකමැති වෙන්න හේතුවක් නෑනේ.

............
කල්ප කාලාන්තරයක් ගතවුණා වගේ මට දැනුනට තාම තත්පර දෙක තුනකට වඩා ගෙවෙන්න නැතුව ඇති.
"මොකද මනේකා මේ?"
කමල් අහන්නේ කලබලයක් නැතුවම.
"මොකද අහන්නේ කමල්?
මේ මහ දවාලෙ ගුරු කාමරේ අත් අල්ලගෙන.මේ මොන විගඩමක්ද කියලා මමයි අහන්න ඕනේ"
මගේ ඇස්වලින් අනුත්තරා ගිනි තියන්න පුළුවන් නම් මේ වෙද්දි ඒක වෙලා.
"මනුස්සයෙක් තව මනුස්සයෙක්හෙ අතින් අල්ලගෙන ඉන්නවා කියන එකේ මොකද්ද මනේකා තියෙන ගැටලුව?
අපි දෙන්නා මෙතන වෙන මුකුත් කළේ නෑ නේද?
ඉතින් ඇයි මනේකා කලබල වෙන්නෙ?"
"කලබල වෙන්නෙ?
කමල් බැඳලද?
මේ ගෑණිට මිනිහෙක් ඉන්නවද?
මේ අත් අල්ලගෙන කිරිකිරි බෝල නැටිලි කොහෙන් කෙළවර වෙයිද? ඉස්කෝලෙ නමත් නරක් කරලයි මේවා නවතින්නේ."
මගේ ඇස් වලින් දුම් පිටවෙනවා ඇති ඇත්තටම.
"අහ් මනේකා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ.අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියට එහා දෙයක් මම කළේ නෑ.
කොහොමත් මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් මගෙ ඔලුව උඩට ඒ ගිණිගෙඩිය අත ඇරියෙ ඒ වෙලාවෙ.
"කසාද බඳින්න?
මේ අනුත්තරා ව?
ඔයාටත් සදහටම මේක වගේ ලෝකෙට විහිළුවක් වෙන්නද ඕනෙ ?"
කමල් සාමාන්‍යයෙන් විහිළු කරන හාදයෙක් නෙවෙයි.ඒත් මේ මොන විකාරයක් ද?
"ඔව්,ඔයා වගේ පිටින් බලලා මිනිස්සු මනින උදවියට අනුත්තරා හැමදාම විහිලුවක් වෙයි.
අපි දෙන්නා කසාද බඳින එක ඊටත් වඩා විහිළුවක් වෙයි.අනුත්තරාටවත් මටවත් ඒ විහිලු නුපුරුදු දේවලුත් නෙවෙයි.
හැබැයි ඒක මටවත් අනුත්තරාටවත් කොහොමටවත් ගැටලුවක් වෙන්නෙ නෑ මනේකා.
ඉතින් අහක ඉන්න ඔයා ඒක ගැටලුවක් කරගන්නත් එපා."
කමල් පුටුවෙන් නැගිටලා තුනට නවලා තිබුන එයාගෙ සුදු සැරයටිය දිග ඇර ගත්තා.
"අපි යමු අනුත්තරා"
මගේ අමිතාබ් එක්ක අනුත්තරා යන්න යද්දි ගුරු කාමරේ තනි වෙච්ච මගේ ගින්දර උඩින් ඇස් දෙකේ කඳුළු පිටාර ගැලුවා.
ඉගිලෙන ලියමන්
2020.04.25

No comments:

Post a Comment