අවුරුදු පහලොවක බඩ දරු අම්මෙක් වමනෙ යන එක වැඩි වෙලා වාට්ටුවෙ නවතින්න ආවෙ මේ ළඟදි දවසක.මේ අවුරුද්දෙ විභාගෙ කරන්න හිටපු ගෑනු දරුවෙක් ඒ.කොහේ හරි ගිහින් ළමයා නැති කරගන්න හදලා ජීවිතේ නැති කරගන්නවාට වැඩිය ළමයා හදා ගන්න හිතපු එක හොඳයි කියලා හිතුනත් ළමයෙක් බලාගන්න මේ ළමයට පුලුවන් වෙයිද කියලත් හිතුණා.
ටික කාලෙකට කලින් ඒත් නොබැඳපු දරුවෙක් අම්මත් එක්ක ඇවිත් තිබුනෙ ඕපීඩී එකට.මුත්‍රා සාම්පලෙන් බබෙක් ඉන්නවා කියලා තේරුණාම වාට්ටුවට ඇඩ්මිට් කරලා ස්කෑන් කරලා බඩේ ඉන්න බබාවත් පෙන්නලා කොහොමද මේක වුනේ කියලා ඇහුවෙ දැරිවිට කාගෙන් හරි කරදරයක් වෙලාද කියලා.කෙල්ල කිව්වෙගෙදර මල්ලියි එයයි එක සාලුව පාවිච්චි කරන නිසා වෙන්ටැති කියලා.ඒක අහලා හිනා ගියාට මොකද අපේ තරුණ පරම්පරාවේ ලිංගික සෞක්‍ය ගැන දැනුම කොච්චර දුර්වලද කියලා හිතෙනකොට හිනාවෙන්න නෙවෙයි අඬන්නයි වෙන්නෙ.
අපි ඉස්කෝලෙ යන කාලෙ නවයෙදි ද කොහෙද සෞක්‍යය පොතේ ප්‍රජනනය ගැන පාඩමක් තිබුණා.භූගෝල විද්‍යාව වගේ බොහෝම නීරස පාඩමක් ඒක.හුඟක් ඉස්කෝලවල මගෙ හිතේ ඒ පාඩම මිස්ලාට මිස් වුනා ඉබේම.පාඩම් පොතට එන්න කලින් තිබ්බාටත් වැඩිය ඒක අමුතු සෙල්ලමක් කියලා හිතෙන්න ඇත්තෙ ඒ පාඩම උඩින් පැනලා යන්න ගුරුවරුන්ට තිබ්බ උනන්දුවට.
හතරේ පහේ පන්තිවලදි විරුද්ධ වරිගෙ ඈයෝ නයාට අඳු කොළ වගේ වුනාට දහය එකොළහ පන්ති
දිහාට එනකොට ඇස් කොනින් අනිත් පාර්ශවය දිහා බලන්න හිතෙන්න ඉඩ තියෙනවා.තරුණ වයසෙදි හෝර්මෝන වෙනස් වීම් එක්ක විරුද්ධ පාර්ශවේ ඇත්තන් ගැන ඇල්මක් බැල්මක් ඇති වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.ගෙදරින් ආදරේ ලැබුණත් නැතත් ඉස්කෝලෙ හරි පන්තියෙ හරි ළඟ පාත හරි ඉන්න එයාට ආදරේ හිතෙන්න ගන්නවා.ගෙදරින් ආදරේ නොලැබෙන අය විතරක් ආදරේ හොයනවානම් ආදරෙ කරන්නෙ බොහොම සුලු පිරිසක් වෙන්ට එපෑ පොතේ හැටියට.
ගොඩක් වෙලාවට ඔය ආදර අන්දර පොතක් අස්සෙ හුවමාරු වෙන මාගලක් විතර දිග ලියුම් කරදහිවලට,බස් එකේ නැත්නම් පන්තියක විනාඩි දෙක තුනක කතා බහකට එහා යන්නෙ නැති වෙයි. හැබැයි ප්‍රශ්නෙ වෙන්නෙ මේ වයසෙ දරුවො නාකි අපි වගේ නෙවෙයි බොහොම කුතුහලයෙන් හැම දේම විපරම් කරන උදවිය.ඉතින් ගමනේ දුර නොදැන අඳුරේ අත පත ගාන්න ගොහින් පොඩි එකෙක් බඩට ඇවිදින් නතර උනොත් තව පොඩි එකෙක් බලාගන්න තරම් මෝරපු වයසක් නෙවෙයි මේ.අපි පොඩි කාලෙටත් වැඩිය දැන් තත්වෙ බරපතල වෙන්නෙ තාක්ශනේ දියුණුවත් එක්ක ඉන්ටර්නෙට් ,වට්සැප් ,වයිබර් මෙකී නොකී ඇප් හරහා දරුවන් අමාරුවේ වැටෙන්නට තියෙන ඉඩ කඩ තවත් වැඩි නිසා. ඒ වගේම තරුණ වයසේ ආදරේ හොයන දරුවෝ බිලී බාගන්න කුරුමානම් අල්ලන මිනිස්සු ත් පඳුරකට පයින් ගැහුවොත් දුසිමක් විතර විසි වෙයි.
එහෙමයි කියලා වයසට ඇතිවෙන හැඟීම් යටපත් කරලා දරුවෝ හදන්නද ? තාක්ශනේ අතට නොදී ළිඳේ ඉන්න ගෙම්බො වගේ ළමයි හදන එක හොඳද? කියන දේ අහන්නැත්නම් දඩු කඳේ ගහන්නද?
මට හිතෙන්නෙ හොඳම දේ මගේ යාලුවෙක් ළඟදි කියලා තිබ්බා වගේ අම්මා තාත්තා ළමයගේ හොඳ යාලුවො වෙන එක.පුංචි කාලෙ ඉඳන් ටික ටික වයසට ගැලපෙන විදිහට ලිංගික අද්‍යාපනයක් දරුවට දෙන එක.මොකද අද කාලෙ ප්‍රේම සම්බන්දයක් ගැන හිතන්නත් කලින් පොඩි දරුවො පවා වෙන කාගෙහරි අතින් අමාරුවෙ වැටෙන්න තියන ඉඩ වැඩි නිසා.
තාක්ශනයට දරුවා හුරු කළත් නිතරම ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එකත් වැදගත්.වයසට නොගැලපෙන දේ විශේශෙන්ම අන්තර්ජාලෙ හරහා දරුවාට නොලැබෙන්නට අපි වග බලා ගන්න ඕන. ළමයින්ට නිදහස දුන්නත් නිතරම ළමයි ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනෑ.ඒ සෙවිල්ලෙන් ඉන්නෙ තමන් ගැන සැකයකින් අවිශ්වාසෙකින් නොවෙන බවත් ළමයින්ට හොඳින් ඒත්තු ගන්වන්න ඕනෙ.
ඉස්කෝලෙ පොතේ අර කියපු පාඩම වෙනස් වෙලාද කියලා මම දන්නෙ නැහැ.ඒක අනිවාර්‍යයෙන්ම වෙනස් වෙන්න ඕනෙ.තරුණ වයසේ සිද්ධ වෙනස් කම් ගැන වගේ ම, ගැබ් ගැනීමක් වෙන්න පුළුවන් විදි,වලක්වා ගන්න විදි, ගැබ් නොගත්තත් අනාරක්ශිත ලිංගික හැසිරීමක් නිසා වෙන්න පුලුවන් අනතුරු ගැන ඉගෙන ගන්න හිතෙන විදිහට උගන්වන පාඩමක් පොතට එකතු වෙන්න ඕනෙ.
තරුණ වයසේ ළමයෙක් ප්‍රේම සම්බන්දයක් පටන් ගත්තොත් අම්මා තාත්තා දුම්මල වරම අතට ගන්නවා.හඳපානේ ගිය ගුරුවරුත් ලෝකේ ලොකුම වැරැද්ද කරලා අහු වුනා වගේ ඒ ළමයට පන්තිය ඉස්සරහා නැත්නම් ඉස්කෝලෙම ඉස්සරහා තරවටු කරනවා.නැත්නම් ඉස්කෝලෙන් දොට්ට දානවා.සමහර වෙලාවට මේ බැනිලි,තරවටු කිරිලි එක්ක මේ ළමයි වෙනමම පැත්තකට තල්ලු වෙන්නත් බැරි නෑ.තරුණ වයසේ ඇතිවෙන ආවේග එක්ක එහෙම වෙලාවක ගෙදරින් පිටවෙලා ගිහින් කරදරේ වැටුනු,ජීවිත හානි කර ගත්තු අවස්තා ඕන තරම් අපි දැකලා තියෙනවනෙ.
ඒත් දෙමව්පියො,ගුරුවරු ඒ ගැන තරවටු නොකර, ආදරෙන් කතා බහ කරලා,ඒ සම්බන්දෙ නතර කරන්න නෙවෙයි අනවශ්‍ය තැන්වලට ඇදෙන එක නතර කලොත් ගොඩක් වෙලාවට කාලයත් එක්ක ඔය බොහොම ප්‍රේම පුරාණ ඉබේම නතර වෙයි.එහෙම නැති සම්බන්දයක් දිගට තිබුනොත් දෙපයින් හිට ගත් දවසක් ඒ ළමයි එක වහලක් යටට වෙයි.
කියන එක ලේසියි කරන එක අමාරුයි බව හැබෑව.ඒත් අපි මෙහෙම කළොත් වරදින්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි මගෙ හිතේ.
පුරුදු වෙමුද මෙහෙම ළමයි හදන්න.
ඒක පට්ටම පට්ට.....
No comments:
Post a Comment