Wednesday, July 12, 2017

අපිත් යක්කු බොලව්

බාබායාගා යකින්න ඉස්සිස්සරෝම මුණ ගැහෙන්නෙ රුසියානු සුරංගනා කතා පොත් වලින් . පෙනුමේ හැටියට සෑහෙන වයසක මේ නාකි උන්දෑ අනිත් මායාකාරියන්ට වඩා වෙනස්.
මායාකාරියන්ගේ නිල නොලත් අයිඩෙන්ටිය වෙච්චි උල් තොප්පිය එයා පලඳින්නෙ නැහැ.අනිත් මායාකාරියන් කොස්සක නැගලා යද්දි බාබායාගා වංගෙඩියක නැගලා මෝල් ගහකුත් අතේ අරං වනන්තරේ හක්කලං කරන්නෙ.කුකුල් පාද උඩ ගෙදර තනිවම ඉන්නවා ඇහැ ගැටෙනවා මිසක් මේ වයසක උන්දැ උදව්වට කවුරුවත් තියා ගත් පාටකුත් නැහැ.
සාමාන්‍යයෙන් සමාජ සම්මතේ තියෙන්නෙ වයසට ගියාම දරු මුණුපුරන් ළඟට වෙලා මලක් පූජාකරන් පිනක් දහමක් කරන් යන තැනකට වැඩක් කරගෙන ඉන්න කියලයි.හැබැයි බාබායගා ආච්චි නම් එහෙම තැන්පත් වෙන්න හිතලත් නැහැ.
තෙරෙස් ක්ලාක් ආච්චි ට දැන් සෑහෙන්න වයසයි අවුරුදු අසූ හය ලැබුවෙ.මේ ආච්චි ඉන්නෙ රුසියාවෙ නෙවෙයි ප්‍රංශෙ.ඒත් මේ ආච්ච්ත් බාබායාගා පරපුරේ යකින්නක්.වයසක මිනිස්සු ගැන තියෙන සමාජ සම්මත බිඳ දාන මායාකාරියක්.
ඇය කියන විදිහට බොහෝ කල් ජීවත් වීම හොඳ දෙයක් වුනත් වඩාත් හොඳ වෙන්නෙ ඵලදායී ව බොහෝ කාලයක් ජීවත් වෙන එකයි.ලංකාවට ලෝකේ බොහෝ රටවලටත් වගේම ප්‍රංශෙටත් එන්න එන්න වැඩි වෙන වයෝවෘද්ධ ජනගහනය ගැටලුවක්.වයසක් උදවියට හැදෙන ලෙඩ රෝග ,ආර්ථික සමාජයී ය ගැටලු වගේම ඔවුන්ගේ මානසික සුභ සිද්ධිය ගැනත් අවධානය යොමු විය යුතුයි.බොහෝ විට බටහිර රටවල වියපත් උදවිය වැඩිහිට නිවාසෙකට ගාල් වෙන එක සාමාන්‍ය දෙයක්.
තෙරේස් ක්ලාක් පැරීසියේදී මේ ක්‍රමයේ වෙනසක් කරන්න උත්සාහ කරනවා.
අවුරුදු පහළොවක මහන්සියේ ප්‍රතිපලය හැටියට මහල් පහකින් යුතු බාබායාගා නිවහන පටන් ගන්නට ඇය ඇතුලු පැරීසියේ බාබායාගා පරපුරට හැකි වෙනවා.
ඒකත් ඉතින් තවත් වැඩිහිටි නිවාසයක් නේද?මම හිතන්නෙ නැහැ. බාබායාගා නිවාසය පවත්වාගෙන යන්නේ එහි ජීවත් වෙන වයසක උන්දැලා ගේ එකතුවෙන්මයි. හැබැයි බාබායාගා නිවහන ට එන අත්තම්මලාට මරණය ඇවිත් අතවනන තුරු ඔහේ  බකන් නිලාන ඉන්නට නම් ඉඩ ලැබෙන්නෙ නැහැ.නිවාසය නඩත්තු කරන කටයුතු වලට අමතරව සමාජය හා ගැටෙන්න සමාජ සත්කාරවල නියැලෙන්න,අලුත් දේ ඉගෙන ගන්නට වගේම තමන් ගේ දැනුම බෙදාගන්නට කැමති අයට තමයි බාබායාගා නිවහනේ දොර ඇරෙන්නේ.බිම් මහලේ  නිවැසියන් ට විතරක් නෙවෙයි අසල්වාසීන්ටත් දැනුම බෙදාගන්නට හැකි විශ්ව විද්‍යාලයකුත් ආරම්භ කර තිබෙනවා. මේ බරසාර වැඩේට තෙරේස්ට අතදෙන්නෙත් ආන්ඩුවේ මුදල්වලින්.මොකද ක්‍රියාකාර්‍රි නීරෝගී බාබායාගාවන් නඩත්තුව දිගු කාලීනව වාසිදායක බව ආන්ඩුව තේරුම් ගත් නිසා.
ලංකාවටත් වියපත් ජනගහනයේ බර දැනෙමින් පවතින කාලයක් මේ. හේතු මොනවා වුනත් වැඩිහිටි නිවාසවලට කොටු වෙන අම්මලා තාත්තලා එන්න එන්නම වැඩි වෙන හැඩයි.
කැම්පස් කාලෙ ප්‍රජා සෞඛ්‍යය විද්‍යාවට වැඩිහිටි නිවාසෙකට යන්න තිබුණා.ඒ අම්මලතාත්තලා දිහා අපි බැලුවෙ බොහොම  අනුකම්පාවෙන් ,දුකෙන්.ගොඩක් වෙලාවට ඒ අම්මලාගෙන් අපි ඇහුවෙ බැඳලද,ළමයි නැද්ද ,ළමයි මොකද කරන්නෙ වගේ දුල හිතෙන ප්‍රශ්න ද මන්දා.වැඩිහිටි නිවාසෙ ජීවිතේ හර්‍රිම නීරස එකක් වගෙයි මට නම් තේරුනේ.
පැරිස් අත්තම්මලාට වඩා අපේ අත්තම්මලා සීයලා අත්දැකීම අතින් පොහොසත් ඇති.ඒ වගේම හේනට කුඹුරට ඔට්ටු වුනු ඒ ඇඟවල්වල තව සෑහෙන හයිය ඇති. මාසෙකට අවුරුද්දලට සැරයක් දාන වේලක් නිසාවෙන් ගිහින් බලලා එන වැඩිහිටි නිවාස වෙනුවට අපිටත් බැරි වෙයි ද ඒ අම්මලා තාත්තලා සමාජෙට එකතු කරගන්න.අපි හැමෝටම   බොහෝමයක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි.ඒ වගේම ඒ මිනිස්සුන්ට  හිතට ලොකු සැනසීමකුත් දැනෙයි.වැඩිහිට් නිවාසෙ ඉන්නෙ කියන එක ලැජ්ජාවෙන් බිම බලන් කියනවා වෙනුවට හිනාවෙලා ආඩම්බරෙන් කියන දවසක් එහෙම වුනොත් තියෙයි නේද?
නහින දෙහින කාලේ කියලා හිත් ලෙඩ කරගන්නෙ නැති ජීවිතේ විඳින වයසක පරම්පරාවක් ලංකාවටත් අවශ්‍යයි.

No comments:

Post a Comment