Friday, July 14, 2017

සිලි පොලිතින් බායි ඉතින්

හැමදාමත් කඩේ මුදලාලි ලෝබ නැතිව දෙන එකම දේ සිලි සිලි බෑග් ය.ඒක නිසා ඉන්නේ ලංකාවේ නම් අනිවාර්‍යෙන් ගෙදර කුස්සියේ  හතරට පහට නවාපු සිලිසිලි කොළ ඔබාපු තවත් ලොකු සිලි සිලි මල්ලක් තිබිය යුතු මය.

මූණු පොතේ දැක්ක විදි හට ආණ්ඩුවෙන් සැප්තැම්බර් මාසේ හිටන් සිලිසිලි බෑග් ද ඇතුලු පොලිතින් භාවිතයට තිත තියන්නට තීරණය කර ඇත. එක අතකින් බැලුවාම නම් ඒක ඉතා වටිනා තීරණයකි.මන් ද යත් සිරි ලක් වාසීන් දැන් පවත්වාගෙන යන ආකාරයටම ඉතා කාර්‍යක්ශමව දිගින් දිගටම තමන්ගේ කුණු කළමනාකරණය කළ හොත් ලංකාවම පොලිතින් වලින් යටවී ඉන්දියන් සාගරයත් ගොඩ වෙන්නට වැඩි කලක් නොයන්නට ඉඩ ඇති නිසා ය.
නොදිරනා පොලිතින් වලින් පරිසරයට වෙන හානිය සුළු පටු නැත.ඉතින් එහෙම බලද්දී පොලිතින් තහනම හේතු සහගත ය.

ඊළඟ ප්‍රශ්නේ පොලිතින් තහනම කොච්චර ප්‍රැක්ටිකල් ද කියාය.පොලිතින් ජාතිත් හැට හුටහමාරක් වුණාට අපිට ලෙන්ගතුම ලන්ච් ශීට් එකත් සිලි මල්ලත් ය.මේ ජෝඩුවටට යන්න කියා ඊළඟට කැන්දන් එන්නෙ කවුද කියනා එකත් ගැටලුවකි.

ලන්ච් ශීට් එක එන්නට කලියෙන් මෙන්ම දැනටත් ඉඳ හිට කොලපතේ,කෙසෙල් කොලේ වගේම පොශ් කඩවල ගමේ විදිහට නෙලුම් කොලේත් බත් ඔතනවාය. ගෙදරින් කෑම ගේනා උදවිය ට නම් ස්ටේන්ලස් ස්ටීල් හෝ වීදුරු පෙට්ට් පුන්චක බත් ගෙඩිය ඔතා සර්වියට් එකකින් ගැට ගසා ගත හැක. කඩෙන් ලන උදවියටත් කෑම විකුණන උදවියටත් මේ ඔප්ශන් එකට යාම අමාරුය. කෙසෙල් කොල ,නෙලුම් කොල නැවත පාවිච්චියත් අමාරු නිසා කෙටි කාලයකින් ම කෙසෙල් කොල නෙලුම් කොල සුපෝකභෝගී භාන්ඩ ඝනයට වැටෙන්නට ඉඩ තියෙනවාය.

සිලි මල්ල වෙනුවට ඉස්සරහ ගම්ගොඩේ බවලත් උදවිය වගේ පන් මල්ලට මාරු වෙන්නට පුලුවන.නැත්නම් කාගිල්ස් ,කීල්ස් වාගේ රෙදි බෑග් එකකට හෝ වඩාත් පොශ් වර්ශන් එකක් වන කැන්වස් හෝ ඩෙනිම් බෑග් එකකට හැරෙන්නට අපහසු නැත.නමුත් මාලු මස් ජාති ඔය බෑග් වල දාන්නට අපහසු ය.එකම දවසේ කඩ තුන හතරකට යනවානම් මලු තුන හතරක් ගෙනියන්නට වෙනවා ය.ඔය වගේ පොඩි පොඩි ප්‍ර්‍රැක්ටිකල් අවුලක් දෙකක් තිබ්බත් ටික.දවසක් යනවිට අපේ උදවිය ඒ වෙනුවට ගැලපෙන ආදේශක හොයාගන්නට ඉඩ ඇත.ඕනෑකම ලොකුම නෑ කමයි කියනවනේ.

ඉස්සරහට පාවිච්චිය තහනම් කරනවා වාගේම    දැනට ගෙවල් වල තියෙන පොලිතින් වලටත් උත්තරයක් ඕනෑය.
ඒ වගේම අවසර ඇතුව පොලිතින් ගෙන්නන්නට ඉඩ දෙන වගන්තියකුත් දුටු වෙලාවේ හිතුනේ පොලිතින් තහනම ඇති අයට එක හැන්දකනුත් නැති අයට කන් හැන්දකිනුත් බෙදන තවත් එක් තහනමක් නොවෙනවා නම් හොඳ බවය.

  අපි හුඟ දෙනෙක් දන්නා පොලිතින් දිරන්නේ නැත.නමුත් ලෝකයේ ඇතැම් රටවල bio degradable හෙවත් දිරා යන ප්ලාස්ටික් වර්ගත් තිබෙනවා ය.ඒත් ඉතින් අවතැන් වෙච්චි උන් ට කඳවුරුවල අවුරුදු ගනන් ඉන්ට වෙන අපි වගේ දුප්පත් රටකට බයෝඩිග්‍රේඩබල් පොලිතින් ගැන හිතන්නට අමාරු ය.

කොහොම හරි,හිතුවොත් කරන්නට බැරි දෙයක් නැත.ඉතින් පොලිතින් නැතුව ජීවත් වෙන්නටත් බැරි කමක් නැත.

පොලිතින් වලට තැබූ අත සිගරට් මත් පැන් වලටත් සයිටම් වලටත් තැබීමට අපේ ජනතා නියෝජිතයන්ට යෝධ බල  යෝද වීරිය ලැබේවායි පතමින් මම නවතිමි .
අග්ගිස්සටම එනකන් ආවාට ඉස්තූතියි.

No comments:

Post a Comment