Wednesday, April 4, 2018

නර්සරි අවුරුදු -1

ඉස්සෙල්ලාම නර්සරියේ අවුරුදු පොළ ය.බට්ටි නර්සරියේ ලේට් ඇඩ්මිශන් එකක් නිසා අම්මාට පේර්න්ට් මීටිං මිස් වෙලා ය.ඉතින් අවුරුදු පොළට රෙද්ද හැට්ට අන්දන්න ඕනෑ බව දැන ගන්නේ කලින් දා ය.උදේ වරුවම මහරගම කරක් ගැහුවත් රෙඩිමේඩ් අවුරුදු ඇඳුම් ඇත්තේ කොලු පුංචන් ට විතරක් බව සොයාගෙන හෙම්බත් වුනා විතරය.මොන්ටිසෝරි ඇරෙන වෙලේ අම්මෙක්ගේ ඔත්තුවකට බට්ටිත් කැටුව මිත්සලාවට යන්නේ රෙදි හැට්ට ගන්න ය.රෙදි හැට්ටත් ගැලපෙන්න මාල වලලුත් ඔලුවේ ගහන්නට බට්ටිගෙන් අවසර නොලැබෙනා බව සහතික වුණත් කොන්ඩා මලකුත් මිලට ගත් කල අම්මාගේ ඉහේ මල් නොපිපුණා විතරය.

අවුරුදු පොලේ විකුණන්නට ඇත්තේ බී ලූණු ය.ග්‍රෑම් පන්සීයේ බී ලූණු මලු දහයක්  අම්මා කිරා ගන්නේ ආර්පිකෝ එකේ එලවලු කිරන ගෑනු දරුවාට පින් සිද්ද වෙන්නය.

අවුරුදු පොළ දවසේ බට්ටීට නෑ යකුන් ආරූඪ වෙනවාය.රෙදි හැට්ට ඇඳිල්ලත් නර්සරි යෑමත් එකහෙළාම පිලිකෙව් කරන බට්ටීව අන්තිම තප්පරේ විදුලි පුටුවට ගෙනියන්නා සේ අන්දාගෙන බීලූනූ මල්ලත් එල්ලාගෙන අම්මා නර්සරියට සැපත් වෙනවා ය.

බී ළූනුවලට බට්ටිගේ කිසිම මනාපයක් නැත.ඊට වඩා නර්සරියේ ලිස්සන බෝට්ටුවට ඈ මනාප ය.බීළූණු ගොඩ පැත්තක දමා ලිස්සන බෝට්ටුවට ඇලුණු බට්ටි ගලවාගන්නට අම්මාට කොහොමටවත් බැරි ය.බට්ටි තියා අම්මාවත් බී ලූණුවලට මනාප නැත. ලිස්සන බෝට්ටුවේ බට්ටි ළඟ ඉන්නවා මිසක අම්මාට බීළූණු විකුණන්නට බැරි ය.ඒත් බී ළූනු කිලෝ පහක් ආයෙත් ගෙදර ගෙනියන්නත් බැරි ය.

ලූණූ ඕනෑ ඇත්තන් මුදලාලි නෝනා හොයාගෙන විත් ලූණු මලු දෙක තුනක් මිලට ගත්තෝය.
ඒ අතරේ කප් කේක් ,රොටී සහ අයිස් කෝපිවල ආගමනයත් සමග ලිස්සන බෝට්ටුවට පොඩි විවේකයකුත් අම්මාගේත් බට්ටිගේත් බඩවල්වලට නිවන් දැක්කා වගේ තත්වයකුත්  උදා  වෙනවාය.ඒ ටික අහවර වෙද්දී අයිස්ක්‍රීම් හා ඔරේන්ජ් ජූස් ද ඇවිත් ය.අම්මාට ඉස්මුරුත්තාවට ඇවිදින් ය.

බීළූණු කිලෝ තුනක් විතර තව ඉතුරු ය.වට්ටක්කා මුදලාලිට වට්ටකා විකුණගන්නට ලේසි වෙන්නට අම්මා උපදෙස් දෙන්නේ වට්ටක්කා ගත්තොත් බීළූනු නොමිලේ දෙන බව කියන්නට ය.ඒත් බී ළූනු ඉතුරු ය.අන්තිමේදී හුවමාරු ක්‍රමයට වට්ටකා බෑයකට  බීළූණු මල්ලක් හුවමාරු කරගෙනත් තව බී ළූනු මලු පහක් ම ඉතුරු ය.

ලිස්සන බෝට්ටුවේ  අවුරුදු පොළ පැවැත්වූ බට්ටි අද නර්සරියේ මොකදැයි කලේ කියා අප්පච්චිට  ලාබයි ලාබයි කිව්වා  කියා උත්තර දුන්නේ බොහෝම අහිංසක ලෙස ය.ලිස්සන බෝට්ටුවේ හිටියේ වෙන ළමයෙක් වෙන්නට ඕනෑ ය.

අවුරුදු උත්සවේ කතා පස්සේ දවසක ...

       

No comments:

Post a Comment