Sunday, April 8, 2018

ඉස්කෝලේ හොකී

දහයේ පන්තියට එනකන් ම හොකී කියලා සෙල්ලමක් තිබුනාද කියලා මම දන්නේ නැති ය.එක දවසක් හිටි අඩියේම අපේ ඉස්කෝලේ හොකී ගහන්න ලැහැස්ති වෙනවා ය.ඒ කාලේ අපි දුප්පත් පොඩි ඉස්කෝලයක් ය.හොකී පිති මගෙ හිතේ කාලෙකට කලින් ඉස්කෝලෙම සෙල්ලම් කරපුවා ය.ඒත් අපිට ඒවා මැජික් වගේ ය.
නෙල්කා මිස් ඉස්කෝලේ හොකී බාර මිස් වෙච්චි අතර මාතර ඉස්කෝල ඔක්කොගෙම හොකී කෝච් වීමේ (අ)වාසනාව හිමි වන්නේ ලාල් සර් ට ය.

සතියට දවස් දෙකක් අපි ඉස්කෝලෙන් පස්සේ ප්‍රැක්ටිස්ය.ඉස්කෝලේ ප්‍රැක්ටිස් දවසට නම් වස කම්මැලි ය.උයන්වත්තේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් දවස නම් කදිම ය.කලිසම් කකුල් එහෙමත් ප්‍රැක්ටිස් කරන්නට එන හන්දා නම් නෙවෙයි මය.

හොකී ගැහිල්ල ෆුට් බෝල් ගැහිල්ලට බොහොම සමාන ය.දිවිල්ලේ ඉවරයක් නැත. ටීම් එකේ දුවන්නේ නැතුව එක තැන ඉන්න ඉඩ තියෙන එකම සත්වයා ගෝල්  කීපර් ය.ඉතින් මම ගෝල් කීපර් ය.

කම්මැලි කමට බදා ගත්තාට ඒකත් ලේසි නැති ය.දෑත බදලා පාර දුන්නාම ගල් බෝලය වීසි වී ඇවිදින් මූණ කට සමතලා වෙනවාට හිසේ සිට දෙපතුල දක්වාම පරිස්සම් කරන්න ට ඕනෑ ය.ඉස්කෝලේ ගෝල් කීපිං සෙට් එක හොයාගන්නට ඇත්තේ සුද්දා හොකී හොයාගෙන සති දෙකකට විතර පස්සේ ය.ඇතුලේ කොහු ය.තෙමුණ දාට අම්බානක බර ය.ගාංචු කැඩිලාය.ඉතින් ඕක කකුල් දෙකේ දමා ගෙන අපේ එවුන් වෙර වීරිය ගෙන තද කරලා ගැට ගහන්නට ඕනෑ ය.හෙල්මට් එක මූණ ට දැම්මාම මෙලෝ ඉටි ගෙඩියක් පේන්නේ නැත.
වතුර ටිකක් වත් බොන්නට විදිහක් නැත.

ඔක්කෝමත් හරි ඔය ඔක්කොම අස්සට බැස්සාම නීල් ආම්ස්ට්‍රෝංගේ නංගිගේ දූ වාගේ පෙනෙන එක හිතට හරිම නැත.(ඒ කාලේ කුමාරයා මුකුත් නොකීවාට ඒකට මනාප වෙන්නට නම් නැත)

මුල්ම දවස් වල සෙල්ලං කරද්දී අපි තනියෙන් ය.අපිට චියර් කරන්නට කලිසම් කකුල් ටීම් එකක් නැති ය.කලිසම් කකුල් ටීම් එක්ක අපි මර තරහය.උන්ටත් අපි නයාට  අඳුකොළ වගේ ය.ඒත් පස්සෙන් පහු එක බත් එක බෙදාගෙන කන්නට තරම් ඔක්කොම යාලුවෝ වෙන කාලයක් එනවා ය.ශින් ගාඩ්,සපත්තු,මේස්,කීපර් පෑඩ් වලට අමතරව එකෙක් පරාද වුන වෙලාවට අනිකා දුකත් බෙදා ගත් ඒ කාලේ ඇත්තටම සුන්දර ය.

හොකී යුනිෆෝම් එක ටීශර්ට් එකත් කොට සායත් ය.කොට කියන්නේ කොට එකෙත් කොටය. සුදු ගවුමත් දනිස්සෙන් පහළට ඇන්ද මට මේ ලේන්සු ස්කර්ට් එක මළම ඇනයක් ය.ගෝල් කීපර් කමේ එක වාසියක් වෙන්නේ සෙල්ලම් කරද්දී ඔය ලේන්සුව වෙනුවට බොටම අඳින්ට පුලුවන් වෙච්චි එක ය.

ඒ කාලේ මාතර හොකී ෆේමස් නැත.ඉතින් අපිට කුඩම්මාගේ සැලකිලි ය.උයන්වත්තේ එලියෙ ග්‍රවුන්ඩ් එක  ඒ කාලේ වලගොඩැලි පිරුණු තණ පිටියක් ය.ඇතුලෙ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච්, අර මැච් මේ මැච් තියෙන හැම විටකම අපි විසි වෙන්නේ ඔය පිට්ටැන්නට ය.තදින් වැස්සක් වැහැලා ග්‍රවුන්ඩ් එක වතුර වලක් වුණු දවසට ප්‍රැක්ටිස් කරන්නට වෙන්නේ අයිස් හොකී ය.කලිසම් කකුල්වල ප්‍රියතම සෙල්ලම බෝලය වතුර වලකට දමා උදුරාගන්නට  එන එකා නෑවී යන්නට පිත්තෙන් මඩවලට තඩි බෑම ය.

ඉඳ හිට අපිට මාතරින් පිට ටූනමන්ට්වලට ඉන්විටේශන් ලැබෙනවා ය.එක වතාවක් එහෙම ටූනමන්ට් එකක් තිබුනේ ගාල්ලේ ය.අපි යද්දී සංවිදායක කමිටුව තියා මැස්සෙක් වත් නැත.ග්‍රවුන්ඩ් එකේ පැත්තකින් කුණු ඇලක් ය.අනික් පැත්තෙන් රේල් පාර ය.සිමෙන්ති රෝල් දෙක තුනකුත් කණාටු කොට්ටං ගහකුත් ඇර පිට්ටැන්නේ බිල්ඩිඔ මුකුත් නැත.පිට්ටැන්න හරහා හරක් යන විට,පිට්ටැන්න ළඟින් කෝච්චියක් යන විට,බෝලය කුණු ඇලේ නතර වූ විට මැච් එක නවත්තන්නට වෙනවා ය.අපිට සෙල්ලං කරන්නට ලැබුනේ ක්‍රයිස්ට් චර්ච් ඉස්කෝලෙ ගිහිනුත් අවුට් වූ ටීම් එකක් එක්ක ය.සහායට ගිය කලිසං කකුල් උන් ට චියර් කරන්න ගත්තේ "කමෝන් පුංචි අම්මලා" කියලා ය.
එක පුංචි අම්මෙක් ගොම ගොඩක් උඩ ලෑන්ඩ් කර හූ තියන්න ගත්තේ ජොනි බට්ටෙක් පෑගුන ගානට ය.

රුහුණු කැම්පස් පිරිමි ටීම් එක එනවා කීවත් ආවේ නැත.කෝච් සරුත් චියර් එකට ආ කලිසම් කකුලුත් රුහුණු කැම්පස් චරිතයට කොතරම් තාත්විකව පණ පෙව්වත් චියර් කරද්දී අමතක වී "ගෝ රාහුල  ගෝ"කියන්නට ගොස් ගිල ගත් වාර ගාන එමට ය.
කලිසං කකුල් වලටත් අපිටත් කන්න හොයන්නට ලේන්සු සායවල් පිටින් බත් කඩ හොයා සවාරි ගැසූ හැටි තාත්තා දන්නවානම් හොකී එතනින් ම ඉවරය.

එකොලහට එද්දී ගෙදරින් බරබරේ ය.විද්‍යාව පන්ති එන්නේ ප්‍රැක්ටිස් ඉවර වීය.තණකොල නා ගෙන ඇවිදින් නිදි මතේ ජයසිරි සර්ගේ පන්තියේ හීන බලන්නේ බදාදා ට ය.කොහොමත් තාත්තාට කලිසම් කකුල් ඇලජික් ය.එනිසා හොකීත් ඇලජික් ය.ප්‍රැක්ටිස් යන්නට ගෙදර ලෝක යුද්ධ ය.

අන්තිමේදී නුවර  සමස්ත ලංකා තරඟයකින් පස්සෙන් පහු හොකී නවත්තන්නට පිඹුරු පත් සැකසෙනවා ය.හිතට දුක ය.කරන්නට දෙයක් නැති ය.
ජරමර මදිවාට බර කරත්ත කියා නුවර ගමනට තාත්තාත් එක් වෙනවා ය.මූණු කජු ලෙලි කර ගත් අපේ කෙල්ලන් මට ඔරවමින් නියවමින් නලියමින් බාලාංශ පන්තිවල උගත් සංවර ගීත පමණක් ගයමින් නුවර ගිය හ.
යාන්තම් තාත්තාව පැක් කර ගෙදර එවන්න ට පුලුවන් වුනේ පෙර පිනකට ය.

නුවර ගමනේ මතක බොහෝම ය.කලිසම් කකුල් හා අපේ ඈයන් අතර හාද කතා බහ ඇති නූ නා ම නොවේ ය.ඒත් ඊට වඩා සහෝදර බැමි සුන්දර ය.හොකී බාලාංශ යේ හිටි අපේ එවුන් ටූනමන්ට් එක බඩ කට පුරා අනුභව කළ බව මතක ය.
එවකට හොඳම කණ්ඩායම හැටියට හිටි සීතාදේවියට අහු වුනු අපි ගෝල හතක් කා බේරුනේ ඒ ටීම් එකේ හතක් විතරක් හිටි නිසා ද කොහේ ද ය.

එතනින් ඉස්කෝලේ කාලේ හොකී ගැහිල්ල ඉවර ය.

No comments:

Post a Comment