Thursday, April 5, 2018

නර්සරි අවුරුදු -2


අවුරුදු උත්සවේ අසිරිය මේන් මෙහෙම ය.

කලින් ම රෙද්ද හැට්ටය සොයා ගත් නිසා මෙදා පාර සැනසිල්ලේ ඉන්නට පුලුවන් කියා අම්මාගේ සිතුව්ල්ල සම්පූර්ණයෙන්ම වැරදි ය.කලින් දා ලියමනක් එන්නේ විකට ඇඳුම් තරඟයටත් ලෑස්ති වී එන්ට කියා ය.මේ වයසේ ළමයෙක් ඉන්නා ගෙදරක කොයි වේලේත් ස්ටෑන්ඩ් බයි වේලාපු පොල්කුඩු,වට්ටක්කා ඇට,මල් වර්ග,විකට ඇඳුම් (වේලන්නට අවශ්‍ය නැත)තිබිය යුතු බවට අම්මාට දැනමුතු කම් ලැබෙන්නේ පෙරහැර ගියාට පසුය.

පොඩි කාලේ මලයා විකටයාට අන්දවා අම්මාට ලොකු පලපුරුද්දක් ඇත.බෙඩ්ශීට් එකකින් කිමෝනාවක් අන්දවා මල් පොකුරක් අතට දී කටේ ලිප්ස්ටික් ටිකක් ඉලුවාම  ජපන් ලඳක් හරිය.ලිප්ස්ටික් බඩට ගියහොත් මරණය නියත බව ඇදහූ අපේ හාදයා විරිත්තාගෙන ඉන්නා හැටි බලන්න ලස්සනය.ඉස්කෝලේ විකට ඇඳුම් තරඟයට ගොස් ඒකා මගේ සායම යැව්වේ ය.කපු මහත්තයෙකුට අන්දා වයසක නැන්දෙක්ගේ ෆොටෝ එකක් දී යැව්වේ මේ ගෑනු දැරිවිට ගොඩින් අක්කර දහයයි මඩින් අක්කර දහයයි කියා වැඩේ තීන්දු කරන්නට ය.අපේ ගෙදර ෆොටෝ ලැමිනේට් කර ඇත්තේ දෙකක් එකට ය.හවස් වී බලද්දී මේ බූතයා කටයුත්තක් කතා කර ඇත්තේ අහිංසක මට ය. මගේ හැටි හොඳින් දන්නා ඒ පාසලේ ඇත්තෝ පන්දුව නිදැල්ලේ යන්නට ඇරි නිසා හොඳ ය.නැත්නම් ඉඩං හොයන්නට යවන්න වෙන්නේ කපුවා ව ය.

බට්ටි මොකාට අන්දන්නදැයි සෑහෙන ප්‍රශ්නයක් ය.කොහොමත් ඇඳුම් අඳින්නට ඇගේ වැඩි මනාපයක් නැති නිසා හා,කොටි,වලස්,බලු සූට් අන්දන්න බැරි බව අම්මාට ශුවර් ය.සාරි ඇන්ඳිල්ලටත් ඒ සෙතේ මය.අප්පච්චි කියන්නේ ඉන්දියා වෙන් ගෙනා රාජ්ස්තාන් කිට් එක අන්දවන්නට ය.ඒක ඇන්දාම මේ මොකෙක්දැයි විනිසුරු මඬුල්ල විභීත වන්නට පුලුවන.
උත්සවේට අන්දන රෙද්දයි හැට්ටෙන්ම ශේප් වෙන්නට අම්මා කළ ගෙඩියක් ගෙනැවිත් අහසට පිඹිනා කවියට නටා පෙන්නුවාට කෙල්ලට කළ ගෙඩිය අරහං ය.හැබැයි  අතුරු ප්‍රතිඵල හැටියට එතැන් සිට විනාඩි පහෙන් පහට අම්මාට අහසට පිඹිනා නටන්නට වෙනවා ය.

කලින්.අන්දාපු හන්දා මේ පාර රෙද්ද හැට්ටයට ලොකු එදිරියක් නැත.කොණ්ඩ මල ගියපාර දමා ආ ගමන් නර්සරි යේ ය.බටර් කේක් කිලෝවක් සමඟ ටිකක් කල් වේලා ඇතුව අපි නර්සරි යේ ය.

පොඩි වුන් තිහ හතලිහක් එක්ක අවුරුදු කිරිල්ල ලේසි ම නැත.අවුරුදු මේසය වටා කට්ටියක් හොරා පොලිස් ය.බට්ටි ඉස්සරහින් මය.ඔංචිල්ලාවේ මල් සැරසිලි පරිස්සම් කරනවා බොරු ය.තමන්ගේ බයිසිකල්.තියෙද්දී කට්ටිය අනිත් අයගේ බයිසිකල් ඉල්ලා කඳුලු යුද්ධ ය.සමහරු යුනිටියට අඬනවා ය.අඩි දෙකක් තියද්දී දාර කලබලේකින් එහේ මෙහේ දුවන බටිත්තන් දුසිමක් විතර ඇඟේ හැපෙනවා ය.
ගෙදරදී කන්න දුන් මුකුත් නොකෑ අපේ ලලනාව කොකිස් පිඟානක් දුටු තැන සිට මතුරන්නේ අපිට බඩගිනියි.අපි කන්න ඕනෑ කියා ය.අම්මා ඉන්නේ ඒ වා නෑහුනු ගානට ය.
ඉතින් අවුරුදු උත්සවේ පටන් ගත්තා ය.අලුත් අවුරුදු සිරිත් විරිත් හරිම අපූරුවට සංකේතාත්මකව දැකබලාගන්නට පොඩිත්තන්ට පුළුවන් වුණා ය.
ඊළග ට ජන ක්‍රීඩා ය.බට්ටි ඔය එකක්වත් අතාරින්නේ නැත.කොට්ට පොර,අලියාට ඇහැ තැබිලි,ලිස්සන ගස් ඔක්කොම තරඟ හරි අපූරු ය.එකම ප්‍රශ්නය දින්නම ලැබෙන තෑගිය.බට්ටි ට ලැබෙන්නේ හුරුබුහුටි පර්ස් පොඩි,හෙයා බෑන්ඩ්‍ ය.බට්ටී කැමති කොලු පැංචන්ට ලැබුනු කාර්,වතුර තුවක්කු වලට ය.

කොහොමින් කොහොම හරි ජනතාව පුලපුලා බලා සිටි ආහාර අනුභවය ට ද කල් හරිය.සෙම ගතිය නොබලා අමුර්තය සේ ගිල දැමූ කිරිබත් වැඩ කරන්නේ අද ය.ගේ දෙක වෙන්න කැස්ස ය.

ආහාර අනුභවයට පසු බනිස් අනුභවය ය.බනිස් කා සැටිෆිකට් ද දිනාගත් මාමෙක් ඉන්නා බට්ටිට බනිස් කෑම මහ දෙයක් නොවේ ය.බනිස් හය හතක් කන බට්ටි දිනුම් කනුව වෙත දුවන්නට ගොස් නැවතත් හැරී එන්නේ දිනුම ට වඩා තව බනිසක් දෙකක් කෑම වඩා වටිනා බව තීරණය කර ය.

ඊළඟට අවුරුදු කුමාරි කුමාරයා තෝරනවා ය.අනිත් බටිත්තන් නටද්දී ලොලිපොප් තඩියක් කටේ ගසා ගෙන තග දමමින් ඒ මැදින් යන බට්ටිත් අවුරුදු කුමාරිට තේරෙන්නේ හැම පොඩ්ඩාම කුමාරයෙක් කුමාරියෙක් වෙන නිසා ය.

අම්මලා තාත්තලා ගේ සංගීත පුටු තරඟය ඊළඟට ය .මුලින්ම අනවුන්ස් කරන්නේ පුටුවටේ යන්නට ඕනෑ කැන්ඩියන් ඩාන්ස් එකෙන් බවත් අන්තිම දෙන්නාට ආ විට පුටුව උස්සාගෙන දිවීම තහනම් බවත් ය.කැන්ඩියන් ඩාන්ස් එක ගැන හිතහිතා යන අම්මාට  සංගීත පුටුව අමතක වෙනවා ය.පළවෙනි රවුමෙන්ම අම්මා එළියේ ය.

අන්තිම විකට ඇඳුම් තරඟය එද්දී බට්ටී ට ඇති වෙලා ය.රාජස්ථාන ගෑනු ලමයා බිම නිදා ගනිද්දී සුදුම සුදු ඇඳ ගත් ක්‍රිකට් හාදයෙකුත් සහායට දොයි ය.හාවෝ,වලස්සු ,ගිරවු හැම තැනම ය.වලහාගේ යාලු වහු පැටියාගේ කතා බහත් වලස් ගෙරවිල්ලෙන් මය.සුපර් මෑන් ලා බැට් මෑන් ලා කඩු ෆයිට් ය.මැජික් මාමාගේ යශ්ටිය ටීචර් කෙනෙක් උදුරන් ය.ක්‍රිකටර් කෙනෙක් ගේ බැට් එක බට්ටි ළඟ ය.අම්මාට තෝන්තුවා ව වගේ ය.

අවුරුදු උත්සවේ ඔහොම අහවරය.මාසයක් බට්ටි ට නිවාඩු ය.අම්මා මාසයක් නර්සරි යනවා වගේ ය.බලන්න එනවා නම් සන්දි සුඳා එකක් ගෙනාවාට වරදක් නැත.

No comments:

Post a Comment