Friday, November 30, 2018

ළං වී මට දැන් කියන්න ආදරේ දෝ

ඩිංගිරි අම්මා උන්නෙ ලොකු පුතාලෑ දිහෑ නැවතිලා.හරමානිස් අප්පු පණ පිටින් ඉන්න කාලෙත් ලොකු පුතා නිතරම කිව්වෙ එහෙ ඇවිදින් නතර වෙන්න කියලා.ඒත් හරමානිස්ගෙ කැමැත්තක් තිවුනේ නෑ මහගෙදර දාලා යන්න.
හරමානිස් යන්න ගොහින් දැන් තුන්මාසෙකුත් ගෙවිලා.මහගෙදර අත අරින්න ඩිංගිරි අම්මාටත් හිත දෙන්නෙ නෑ.ඒත් ඊට වැඩිය අම්මා මහ ගෙදර තනිපංගලමේ හින්දා ලොකු පුතා හිතේ ගින්දරෙන් ඉන්න එක ඉහළ මතු වුන එකයි සිද්ද උනේ.
ඉතින්  ඇවටිලි අහලා අහලා බැරිම තැන ඕං ඊයෙ ඩිංගිරිඅම්මා කොළඹ ආවා.අනේ වාසනාවන් ලොකු කොලූයි පොඩි කොලූයි දෙන්නම කසාද බැන්ද ගෑනු දරුවො ඩිංගිරි අම්මට කිසිම වෙනස් කමක් කළේ නෑ.
ඒත් කිසිවැඩක් පළක් නොකර මේ ගෙදර ඉන්න එක නං කී දවසක් කරන්න පුලුවන් වෙයිද මන්දා.හිත තිස්සේම දිව්වේ ගමට.හරමානිස් අප්පු ඉතිරි කරලා ගියපු මතක කතන්දරවලට .
ලොකු පුතා ගෙනත් දීපු රේඩියෝ පොඩ්ඩෙ උදේ පිරිත් ඉවර වෙලා සෙත් කවි පටන් ගත්තා.ඩිංගිරිහාමි කාමරෙන් එළියට ආවෙ පුතාලා මේ වෙලාවට වැඩට යන්න පිටත් වෙන බව දන්න හින්දා.ලොකුපුතයි ලේලියි ඩිංගිරිඅම්මයි හිටියෙ පල්ලෙහා තට්ටුවෙ.උඩ තට්ටුවෙ පදිංචිය ලොකු පුතාගේ එකම දෝනියන්දෑ එහෙම නැත්නං ඩිංගිරි අම්මගෙ ලොකුම මිණිපිරී නුශාලියි ඒ දැරිවිගෙ මහත්තැනුයි.ඒ ජෝඩුව කසාද බැඳලා තාම අවුරුද්දක්වත් ගියෙ නෑ මගෙ හිතේ.
"අම්මෙ මම ගිහින් එන්නම්" සාලෙට ආපු ඩිංගිරිඅම්මාට ලොකු පුතා වඳිද්දි ලේලි කුස්සියෙ ඉඳන් දුවගෙන ආවෙ පුතාගෙයි බෑණගෙයි දවල් කෑම දෙක අරගෙන.
"මම ගිහින් එන්නං සාගරිකා"කෑම එකත් අරං ලොකු පුතා එලියට බැස්සෙ ලේලිගෙ ඔලුවත් අත ගාගෙන
මිණිපිරී බෑනත් එක්ක පඩිපෙලෙන් පහළට බැස්සෙ ඒත් එක්කමයි.
"ගිහින් එන්නං අම්මා.ගිහින් එන්නං අත්තම්මා"දවල් කෑම එක සාගරිකගෙ අතින් ගත්තු බෑණා ලේලිටයි ඩිංගිරිඅම්මටයි වැඳලා ඉක්මණට එළියට බැස්සෙ "සී යූ නුශාලී "කියා ගෙන
"රවීන්, ආර්න්ට් යූ ෆොර්ගෙටිං සම්තිං?"
රෝසමල වගේ පිපිලා තිබ්බ මිණිපිරීගෙ මූණ උඩින් කළු වළාකුළක් පාත් වුනේ එක ඇහිල්ලට
"වට් නුශාලි?අයිම් ගෙටිං ලේට් බබා"බෑනා ආපහු හැරුණෙ උන්දැගෙත් මූණ කළු කරං
"අහ්, අනේ සොරි බබා , අයි ෆොර්ගොට්"
අඩියට දෙකට ආයෙ ගෙට පැනපු බෑණා කොලූ මිණිපිරී බදාගෙන නළල මැද්දට හාද්දක් දීපි.
"අයි ලවු යූ ඩාර්ලිං ,ටේක් කෙයාර්"
බෑනයි මාමයි අරං කාර් එක ගේට්ටුවෙන් එළියට යනකනුත් ඩිංගිරිඅම්මා ඇරගත් කට වහන්න අමතක වුනාලු.
ඇයි දෙයියනේ මේ වැඩිහිටියො දෙන්නෙක්ම ඉස්සරහ මෙහෙම හැසිරෙනවද?
ලොකු ලේලි මෙහෙමද ළමයි හදන්නෙ?ඩිංගිරිඅම්මගෙ හිතේ නුරුස්නා ගතියක් හක්කලං කරන්න ගත්තා.
ආයෙත් පණ ගහලා ආපු මිණිපිරී ඩිංගිරිඅම්මගෙ පැත්තට හැරුණෙ ඒ පාර.
"බලන්න ආච්චම්මා, වැඩට දුවන්න තියෙන තදියම මට කිස් එකක් දෙන්නත් අමතක වෙනවා.දැන්ම ඔහොම නං තව කල් ගියාම මාව අමතක ම වෙලා යයි"
මොනවා කියන්නද හිතාගන්න බැරුව ඩිංගිරිඅම්මගෙ හිත තෙපර බාන්න ගත්තා.
ආත්තම්මා සද්දයක් නැත්තෙ ඇයි කියලා නුශාලි කල්පනා කළා.මෝඩයා වගේ කියවපුවයින් සීයව මතක් වුනාද දන්නෙ නෑ.ශිහ්.
"අනේ සොරි අච්ච්ම්මා.අච්චම්මට සීය මතක් වුනාද මං එහෙම කිව්වම" නුශාලි  ඩිංගිරිඅම්මා ගාවින් වාඩි වුණා.
හරමානිස් මතක් වෙලා ඩිංගිරි අම්මගෙ මූණට හීන් හිනාවක් ආවා.
"නෑ අච්චම්මා මගේ සයිකොලොජි කෝස් එකේ එක ලෙක්චර් එකකදි ඉගැන්නුවා මැරේජ් එකකදි තමන්ගෙ හිතේ තියෙන ඉමෝශන්ස් හැමතිස්සෙම අනිත් කෙනාට දැනෙන්න දෙන්න ඕනෙ කියලා.අඩුම ගානෙ දවසට එක වතාවක් හරි මම එයාට ආදරෙයි කියන එක වචනෙන් මතක් කරන්න ඕනෙ.එතකොට තමා හොඳ රිලේශන්ශිප් එකක් හැදෙන්නෙ"
මිණිපිරී පහුගිය අවුරුදු දෙක තුනම රට හිටි හින්දද මන්දා ඒ කෙල්ල වැඩි හරියක් කතා බහ කළේ සිංගිරිස් වලින්.ඉතින් ඔය කතාවේ වැඩි හරියක් ඩිංගිරි අම්මට තේරුනේ නෑ.
තේරුනේ එක කෑල්ලයි.
"ආදරෙයි කියලා වචනෙන් මතක් කරන්නෙයි කිව්වා?"ඩිංගිරි අම්මගෙ ඇස් නැවතුනේ නළල ඉහත්තාවෙ.
"ආහ්, ඇයි අච්චම්මට  සීයා ආදරෙයි කියලා නැද්ද කවදාවත්"මිනිපිරීගෙ ඇසුත් ඩිංගිරි අම්මගෙ ඇස් පස්සෙන්ම කඳු නැග්ගා.
ආදරෙයි කියන්න හරමානිස් අප්පු ඩිංගිරි අම්මට?
මගෙ අප්පේ මොන විලිසංගෙ නැති වැඩක් ද?
දීග යද්දි ඩිංගිරිඅම්මට පහලොහ ලැබුවා විතරයි.හරමානිස් අප්පු අප්පොච්චා එක්ක කතා බහ කර ගත්තා මිසක ඩිංගිරිඅම්මගෙ කැමැත්ත කවුරුත් ඇහුවෙ බැලුවෙ නෑ.
ඩිංගිරි අම්මට උන්දැට අකමැති වෙන්න  කාරණයක් තිබ්බෙත් නෑ.
මගුල් දා පෝරුවෙදි ඩිංගිරි අම්මගෙ අතින් ඇල්ලුවට පස්සෙ හරමානිස් අප්පු ආයෙ පිට මිනිස්සු ඉස්සරහ උන්දැගෙ අතින් ඇල්ලුවෙ සහලෝලා උණ අරං වෙද ගෙදර ගියපු දාක විතරයි.
ලොකු කොලුයි පොඩි කොලුයි, අකාලෙම මියැදිච්ච තව පොඩි එවුන් තුන් දෙනෙකුයි හැදුවෙ වැඩුවෙ එකට උණාට කවදාවත් මිණිපිරී කියන්නැහේ ආදරේ කතන්දර කියන්න නං උන්දෑ කටක් ඇරියෙ නෑ.
ඩිංගිරි අම්මගෙ මූණ උඩිනුත් කළු වලාවක් පාවී ගෙන එන්න ගත්තා.
ඒත්,
ඒ එක්කම
ඩිංගිරි අම්මට මතක් වුනා හරමානිස් අප්පු රෑට බත් හට්ටියකට වගකියලා අහවර වෙලා
"ඔහෙගෙ කෑම ටික නං පංකාදු පහයි" කියලා හීනියට හිනා වෙන අපූරුව.
ඩිංගිරි අම්මට මතක් වුනා  හරමානිස් අප්පු ඉඳ හිට දවසක පාන්දර කොළඹ එන්න පිටත් වෙලා ලොකු කොලූගෙ ඔලුව අතගාලා කියනවා
" ලොකු කොලූ, හවස් වෙන්න කලින් ගෙදර එනවා හොඳයි බොලෑ අම්මව තනි නොකර, මං එද්දි රෑ බෝවෙයි. "
ඇයි  එතකොට ලොකු කොලූ හම්බෙන්න හිටි සන්දියේ හරමානිස් අප්පු මහ ලිඳෙන් වතුර ඇදලා ඩිංගිරිඅම්මව නාවපු හැටි.එපා කියලා පෙරැත්ත කරද්දි වතුර කළගෙඩියත් ගෙදරට එනකං උස්සන් ආවෙ ඒ  උන්දැම තමා.
ගෙදර ඉන්දැද්දි කෑම පිඟාන බෙදලා අතට දුන්නම පළවෙනි බත් කට අනන්න කලින් "ඔහේ කාලයි ඉන්නෙ?"කියලා අහන්න මතක තිබ්බ හැටිත් ඩිංගිරි මැණිකෙට මතක් වෙනවා.
මහ ගෙදර මිදුලේ සාර සුභාවට එක එක පාටට මල් පිපුණම උදේට හවසට කට්ටිය එන්නෙ මල් කඩන්න අහගෙන
ගෙදර ඉන්න වෙලාවක එහෙම ආවොත්
"කඩා ගනිල්ලා ඇති තරම්, අපේ උන්දැගෙ අත් ගුනේ තමා ඔය"කියලා හරමානිස් අප්පු කියන්නෙ ආඩම්බරෙන් ඇස් නටව නටව
හරමානිස් අප්පුගෙ පණ යන්නෙ විල්බට් කොලූගෙ කාර් එකෙන් හරමානිස්ව අරන් ඉස්පිරිතාලෙට ඉගිල්ලෙද්දි.
හරමානිස් අප්පුගෙ ඔලුව ඔඩොක්කුවෙ තියන් උන්න ඩිංගිරිඅම්මාට
"ඔහේ පරිස්සමෙන්" කියලා කියලයි උන්දැ යන්න ම  යන්නෙ.
කළු වළාකුළු ගහගෙන ගිහින් ඩිංගිරි අම්මගෙ මූණේ ආයිත් හිනාමල් පිපෙනවා.
"ආව් ආව්,මේං ඒක ඇහුවම අච්චම්මට තියෙන සංතෝසෙ"
නුශාලි උඩ පැන පැන හිනාවෙන්නෙ පොඩි කෙල්ලෙක් වගේ.
ඩිංගිරි අම්මා පුටුවෙන් නැගිටලා කුස්සියට යන්නෙ ලේලිට උදව්වක් පදව්වක් කරන්න.
ආදරෙයි කියලා වචනවලින් කියන්න ඕනෙ තමයි.ආදරෙයි නොකියා ආදරෙයි කියන්න වචන ඕනෑ තරම් තියෙනවා.

1 comment: