Monday, November 5, 2018

හීනෙන් පේන හැබැහින් හීන

හුඟාරියක් හීන පේන්නේ ඇහැ පියවුනාම ය.පියැවුනු ඇහි පියන් යට ඇඳෙන හීන හුඟ වෙලාවට ඇහැ ඇරෙන ඇසිල්ලෙන් ම අතුරුදහන් වෙලා ය.මොකක් නමුත් අමුත්තක් හිත උඩින් පාවෙනවා දැනුනත් ඒ හීන හරි හැටියට මතක පොතට එකතු වෙන්නේම නැත.

ඉඳ හිටලා ඇහැ ඇරුණාට පස්සෙන් පහුත් හිතේ එල්ලීගන්නා හීනද නැතුවා නොවේ ය.ඉන් සමහරක් නින්ද මැද්දෙන් හිත ඇහැරවන්නේ ගම් හතකට ඇහෙන්නට බෙරිහන් දීගෙන සරුවාංගයෙන්ම වතුර ගලන්නා සේ දාඩිය දාන ගානට බය හිතන විඳිහට ය.සමහරක් එව්වාට බය හිතෙන්නේ නැතත් ඒවා පියවි සිහියෙන් ඉඳිද්දී කවදාකවත් විස්සාස කරන්නට බැරි විදිහේ විකාරරූපීය.ඒත් හීනේ ඒ ඔක්කොම මාර රියලිස්ටික් ය.
මක් නිසාද යත් එව්වා හීන ය.

ඇහැ නොපියවී පේනා හීනත් එම ට ය.පොඩි කාලේ පොඩි හිතටත් හීන ලෝකේ වාගේම බාධා වැට කඩොලු නෑ ය.

ඉතින් කුමාරිකාවන් වෙලා දේදුනු දිගේ ගිහින් තරු මල් කඩන කෙලි  හීන ය.
ඩයිනෝසරයන් පිටේ යන්නට ,මූදු හතෙන් එහා ලෝක දිනන්නට, මූදුමංකොල්ලකාරයන් එක්කලා සටන් වදින්නට දුවන කොලු හීන ය.

ලොකු වුනාම දොස්තරලා ඉංජිනේරුවන් වෙනුවට ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ,නයිනටවන්නෙක් වෙන්නට නැට්ටුක්කාරියක්,මන්තරකාරියක් සාස්තරකාරියක් වෙන්නට දකින හීන ය.

ඒත් ඒ හුඟක් හීන ජීවිත දිගේ හමාගෙන යන හුළං රොදවල්වල ගහගෙන යන්නේ උන්ටත් නොදැනීම ය.ඒ වෙනුවට වෙන වෙන උදවියගේ හීන හොරෙන් හොරෙන්ම ඇවිදින් හිත් අස්සට රිංගා ගන්නේ කාටවත් නොදැනෙන්න මය.

ඉතින් නැටුක්කාරියක් වෙන්නට තිබුන හීනය ගුරුවරියක් වෙන්නට හැරුණු දිනේ ඈට හරියටම නිච්චි නැත.අකවුන්ටන්ට් හීනේ මිසක සත්තුවත්තක අයිතිකාරයෙක් වෙන්නට හිතේ හීනයක් තිබුනු බවක් ඔහුට මතක් වෙන්නේම නැත.සීනීබෝල හීන දැන් හද්දා බරැති හීනවලට හැරිලා ඔලු ගෙඩි උඩ පැටවිලා අහවර ය.

ගැටවර අවදියට  තවත් අලුතෙන් එකතු වෙන හීන ය.ලෝකේම මල් යායක් වෙන ,රෝස පාටින් අහසත් පොළවත් පින්තාරු වෙන උන් දෙන්නා වෙනුවෙන්ම ඇඳෙන හීන බුබුළුවල ජෝඩු ජෝඩු හිරවෙන කාලේ ය.හීන හැබෑ කරගන්නට ඕනෑම කට්ටක් කන්නට හිත තල්ලු වෙන කා ලේ ය.
හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කන්නත් ඔට්ටු හීන ය.ඈත කඳු ගැටයක් උඩ හදන ගෙයි ජනෙල් රෙද්දට ගන්නට සාරිය ඉරන්නට හිත හදාගන්නා හීන ය .
ඒත් ඒ හීන බොහොමයකට වෙන්නේ නිදි හීනවලට ම කොටු වෙන්න ය.රෝස පාට ගැටවර හීනවලට පිපෙන්නට ඇත්ත ලෝකේ ඉඩකඩක් වෙන්වෙන්නේ එහෙමත් වෙලාවක ය.එක්කෝ ඒ හීන  පිපෙන්නට පණ මදි ය.එහෙමත් නැත්තං පිපෙන්නට උදව් කරනවා වෙනුවට වටේ උන් කරන්නේ මල්පාත්තිය උඩ දහඅට පාලිය නටන එක ය.

එතැනින් හීන අහවර වෙනවා නං එකක් ය.ඒත් ඉවසීමෙන් සැනසීම ලැබෙන බව හිත ඉගෙන ගෙන නැත.ඉතින් හිත තවමත් හීන දැකිල්ලේ ඇලී ගෙනය.

රෝද දෙකක් ,හතරක් උඩින් යන හීනය.

මාසෙට කාසි ගෙවන කූඩුවක් වෙනුවට තමන්ගේ ම කූඩුවක් හදන හීන ය.

වාසගම ඉස්සරහට ගෙනයන තවත් හීන පැට්ටේරි බෝ කරන හී න ය.
උන්ගේ හීනය.උන්ගේ උන්ගේ එවුන්ගෙත් හී න ය.
මෙරට හීන ය.
රටින් එපිටට ඉගිලෙන හීන ය.

බලාපොරොත්තු ඉතිරි වෙන හීන ය.

අත පොවන මායිමෙන් ගවු ගානක එහා පිපෙන කවදාවත් අයිති කරගන්න බැරි හීන ය.

හිත හදන  හීන ය
හිත රිද්දා ඔච්චම් කරන හීන ය.

ඇරුණු ඇස් වැහෙන තුරුම ජීවිතය කැරකෙන්නේ ඔය හීන රෝද මත්තේ මය.

No comments:

Post a Comment