Saturday, November 17, 2018

තැන්කූ ආයිබෝං

ජපානයේ Ivate ප්‍රදේශයේ හරි අපූරු සිරිතක් තියෙනවලු.
ජපන් ජාතිකයන් කොහොමත් ආචාර කරද්දි හිස නමලා ආචාර කරන බව අපි දන්නවනෙ.Ivateවල ජනතාව එක්තරා පිරිසකට මෙහෙම ආචාර කරන එක සිරිතක් කරගෙන තියෙනවා.
හිතාගන්න පුලුවන්ද ඒ කාටද කියලා?
පාර මාරු වෙද්දි තමන් වෙනුවෙන් වාහන නවත්තන් ඉන්න වාහන හිමියන්ට.නීතියක් නොවුනත් මේක සිරිතක් හැටියට ලොකු කුඩා හැමෝම කරන දෙයක්ලු.Ivateවල පාසල්වලත් හොඳ පුරුද්දක් හැටියට මේක උගන්නවලු.
හදිසියෙන් පාර පනින වෙලාවක තමන් වෙනුවෙන් වාහන නවත්තන කෙනෙක්ට ආචාරයකින් ස්තුති කරන එකේ අරුමයක් නැති වෙන්න පුලුවන්.ඒත් ට්‍රැෆික් ලයිට් එකට නවත්තන් ඉන්න වාහනවලටත් එහෙම ආචාර කරන්න ඕනෙද කියලා කාටහරි හිතෙන්න බැරි නෑ.ඇයි ඉතින් එයාලා අනිවාර්‍යයෙන් නවත්තන්න එපෑ.
ඇයි මේ හදිසියේ ඕක මතක් වුනේ කියලා හිතුනද?
ඇත්තටම අපි මිනිස්සුන්ට ස්තුති කරන්න ඕනෙ ද?
ඔයා ගමනක් යන්නෙ පික්මී එකක හරි ඌබර් එකක හරි එහෙම නැත්නං නිකම්ම ත්‍රීවීලර් එකක හරි වෙන්න පුලුවන්.ගමනාන්තෙට ගියාම ඒ මනුස්සයට ස්තූතියි කියන්න ඕනෙද?
අපි පිනට ගියෙ නෑනෙ.හයර් එකට සල්ලි දුන්නනෙ.හයර් දුවන එක එයාගෙ රස්සාව.ඉතින් මොකටද අමුතුවෙන් ස්තූති කිරිල්ලක්.
ඔයා ගෙදරට බඩු ගන්නෙ සුපර් මාර්කට් එකෙන් වෙන්න පුලුවන් .එහෙම නැත්නම් ඉරිදා පොලෙන් වෙන්නත් පුලුවන්.බඩු මුට්ටු ටික ගත්තට පස්සෙ බිල දාපු ඉලන්දාරියට නැත්නම් බඩු ටික කිරල දීපු හාදයාට ස්තූති කරන්න ඕනෙද?
ඒ මොන එහෙකටද?ඒ අය කරන්නෙ රස්සාවක් නෙ.සල්ලි දීලා බඩුත් අරන් තව ස්තූති කරන්නත් ගියොත් ශුවර් එකටම  අංගොඩෙන් හරි මුල්ලේරියාවෙන් හරි පැනපු එකෙක් කියලා ඒ යකා හිතන්නැතිවෙයි ද?
පාර පනින තැන කහ ඉරේ ඉන්න පොලිස් හාදයා,ඔව් උන්දැ කරන්නෙත් රස්සාව අමුතුවෙන් ස්තූති කිරිල්ලක් ඕනෙ නෑ.පොලිසියෙ එවුන් කොහොමත් හරි ගනන්.මොන කෙහෙල්මල් ස්තූතියක් ද?
එතකොට ඉස්පිරිතාලෙ දොස්‍තර , පිනට බෙහෙත් දෙනවෑ .මොකටද ස්තූති කිරිල්ලක් .ඔන්න චැනල් කරලා ගියාම නම් උන්දැ අපිට තැන්ක් යූ කිව්වට කාරි නෑ.
පෙට්‍රල් ශෙඩ් එකේ ප්‍රෙට්‍රල් ගහන  කොලුවා, මොකෝ උන්දැගෙ ගෙදරින් ගෙනා පෙට්‍රල්‍ යැ ගහන්නෙ.
ඩිනර් අවුට් ගියාම සර්ස් කරපු වේටර්, එයත් ඉතින්  අපිට උයලා කන්න දුන්නෙ නෑනෙ ,මොනවට ස්තූති කරන්න ද?
බැංකුවෙ කවුන්ටරේ ඉන්න අංගනාව එතකොට?
කැඳ බීලද මන්දා උදේ ට?පැයක් විතර අපි පෝලිමේ බකං නිලාගෙන.අනික මගෙ පොතෙන් සල්ලි ගන්න ගිහින් මං ස්තූති කරන්න?
විකාර නැත්නං හොඳයි.
හැබෑට මොනවට ස්තූති කරන්නද, නේද?
ඇත්තටම මූණෙ පොඩි හිනාවකුත් එක්ක "ස්තූතියි"කියන වචනෙ කිව්වම ඔයාට මොනව හරි වියදම් වෙනවද?
නෑ නේද?
එතකොට ඒ වචනෙ අනිත් පැත්තෙ හිටගත්ත හාදයාට?
ඔව් ඔය වචනෙ කිසිම මූල්‍යමය වටිනාකමක් නෑ.
ඔය වචනෙට බඩගින්න නැති වෙන්නෙ නෑ.
ඒත් කවදාහරි ඔය වචනේ අනිත් පැත්තෙන් ඔයා හිටගෙන හිටපු දවසක් මතක් කරගෙන බලන්න.හිතට පොඩිහරි සතුටක් ඉහිලක් ඔය වචනෙන් දැනුනෙ නැද්ද කියලා හිතලා බලන්න.
සමහර විට සුපර්මාකට් එකේ බිල දාන හාදයා මුලු දවසම කකුල් දෙක උඩ හිටගෙන වෙන්න පුලුවන්.
හන්දියෙ දවසම හිටගෙන ඉන්න පොලිස් රාලහාමිගෙ හිත තියෙන්නෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තපු පොඩි එකා ළඟ වෙන්න පුලුවන්.
ඉස්පිරිතාලෙ දොස්‍තර ට ඔයා උදේ හිටන් තේකක් තියා වතුර උගුරක්වත් නැතුව බලන එකසිය එක් වෙනි ලෙඩා වෙන්න පුලුවන් .
කුණු එකතු කරන්න ආපු ට්‍රැක්ටරේ හාදයා රස්සාවෙ පලවෙනි දවස වෙච්චි අදම රස්සාව තිත්ත වෙලා ඉන්න මනුස්සයෙක් වෙන්න පුලුවන්.
බැංකු කවුන්ටරේ කාන්තාව සහලෝල උණ තිබ්බත් නිවාඩු නැති හින්දා වැඩට ඇව්ත් බැරිමරගාතේ ඇඬෙන්න ඔන්න මෙන්න ඉන්නවා වෙන්නත් බැරි නෑ.
ඉස්කෝලෙ යද්දි හැමදාම ඉස්කෝලෙ ඉවර වුනාම අපි ඔක්කොම එක සද්දෙට Thank you Teacher කිව්වා.
ඇත්තටම දවස තිස්සේ අපේ නසරානි වැඩ ඉවසං හිටපු ඒ මනුස්සයාට දවසට එක සැරයක් ස්තුති කලාම නං මදි ඇති.ඒත් දවස තිස්සේ අපෙන් වෙච්ච කරදර එක තප්පරේකට  හරි අමතක  කරන්න ඒ වචන ටිකට පුලුවන් වෙන්නත් ඇති.
රස්සාව උනත් නැතත්, නීතිය උනත් නැතත් අපි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරපු  මනුස්සයෙක්ට තරාතිරම නොබලා වචනෙන් නැත්තං හිනාවකින් හරි ස්තූති කරන්න ඇත්තටම අපිට බැරි වෙයි ද?
බොක්කෙන්ම  ඒ දේ කරපු හාදයෙක්ට සතුටු හිතෙයි.
බැරිමරගාතේ දමල ගහල යන්න හිටපු හාදයෙක්‍ ට  ඒකෙන් නවතින්න හිතෙයි.
ඕනෑවට එපාවට  ඔයාට එපා වෙන විදියට කරන්නන් වාලේ  සර්විස් එක කරපු හාදයෙක් ට එතකොට?පුදුම හිතෙයි.හර්ද සාක්කියක් කියලා දෙයක් තියනවනම් ලැජ්ජත් හිතෙයි.
හුඟ වෙලාවට ඊළඟ කස්ටමර්ට ඔයාට වඩා හොඳ සර්විස් එකක් දෙන්නත් හිතෙයි.
ඔය ඔක්කොටම  අතින් වියදං නෑ ආයිබෝං

2 comments:

  1. මේ කතාව ඇත්තම ඇත්ත. මේ වගේ කතාවක් මම අහලා තියෙනවා වතාවක් රූපවාහිනී වැඩසටහනකට ආපු විදෙස්ගතව ඉඳලා ලංකාවට ඇවිත් හිටිය කෙනෙක්ගෙන්. උසස් තනතුරක ඉන්න කෙනෙක්, කවුද කියලා මට මතක නැහැ. එතුමා කියපු මේ කතාවනම් මට හොඳට මතක තිබ්බා. එතුමාට ඒ රට ඉඳන් ආවාට පස්සේ ලංකාවෙදි බස් එකක ගමනක් යන්න වුණාලු. කොන්දොස්තරට මුදල් ලබා දුන්නාට පස්සේ ඔහු ඉතිරි මුදල් නැවත ලබා දුන්නාම මේ මහත්මයා පුරුදු විදිහට 'තැන්ක් යූ' කියලා කිව්වාලු. කොන්දොස්තර ළමයා මහා පුදුමෙකින් එතුමා දිහා බලාගෙන හිටියලු. ඇයි කියලා ඇහැව්වාම ඒ ළමයා කියලා තිබුණේ, මගේ මේ රස්සාවෙදි කෙනෙක්ගෙන් ස්තූතියක් ඒ ඇහැව්වමයි කියලාලු. ඒ කතාව කියලා එතුමාත් පැහැදිලි කළේ අපෙන් කිසිම වියදමක් යන්නෙ නැති ඒ ස්තූතිය දෙන්න කිසිම වෙලාවක මැලි වෙන්න ඕනෙ නෑ කියලායි.

    ReplyDelete