Sunday, March 25, 2018

සාරි -ප්‍රී සූට්

සාරිය ඇඳිල්ලට වඩා මට අමාරු වැඩක් තියෙනවානම් ඒ සාරි පොට හදා ගැනිල්ලය.
මුලින්ම සාරිය හිතින් දහ අට වතාවක් කරකවා පොට උඩට එන අත හොයා ගන්නට ඕනෑ ය.හිතින් කැරකිල්ල බැරි මං වගේ උදවිය ඇඳන් හිටිනා ඇඳුම උඩින්ම සාරිය කරකවාගෙන ඊජිප්තු මමියක් ඉමිටේට් කරමින් මේ පියවර සම්පූර්ණ කර ගත යුතු ය .

ඉන් පසුව දිව හපාගෙන අතේ ඇඟිලි මදි වේ නම් කකුලේ ඇඟිලිත් ගෙන සාරි පොට සමඟ ඒ අතට මේ අතට ඔට්ටු වෙමින් සාරි පොටේ කෙලවර සකසා ගත යුතුය.කිව්වාට ලේසි නැත.පොටවල් එක ගානට වෙන්ටත් ඕනෑ ය.උඩ පොට පිටටත් යටම පොට ඇතුලටත් එන්නට නවන්ටත් ඕනෑ ය.ඔය ඔක්කොම සංගෙදි හරියට ගැලපිලා පොට හදාගන්නට එක වතාවෙන් පුළුවන් වනිතාවන් ජාතික වීරවරියන් ලෙස සැමරුවාට මගේ කිසි අමනාපයක් නැත.

කන්දක් විලිලා පොට අග්ගිස්ස සාදා ගත් පසු...ජනෙල් රෙද්දක්,මදුරු දැලක් ආදී නිවසේ උසම තැනක ඔය සාරි පොට අග්ගිස්ස රඳවා ගත යුතුය.අනතුරුව මුල් නැටුමම නැවතත් රඟ දක්වමින් අඟලෙන් අඟලට හැට්ට කටු(ආය කටු/යතුරු කටු ආදී තම තමන්ගේ දිහාවේ විවිධ නම් වලින් කියවෙන  ඇඟේ සියලු බර දැරුවත් සාරි පොට හරහා නොයන මොට්ට කටු) ගසා පිලිවෙතින් සකසා ගත යුතුය.
මේ අතරතුර විනාඩියකට වරක් පොට ගෙන වම් උරහිස මතින් දමා උස ගානට ඇත්දැයි බලා ගත යුතු ය.කොච්චර බැලුවත් අන්තිමේ සාරිය පටලවා ගත් පසු  එක්කෝ පොටට ගං වතුර ය.නැත්නම් පාර අතුගාන්නට කදිම ය.

අනතුරුව ඉස්තිරික්කය පමණට රත් කර ගෙන සාරිය මත සියලු බර යොදා හැදූ රැලි එලෙසම තියෙන්නට අයන් කර ගත යුතුය.
උරහිස මත කටුව හැර සෙසු කටු ගලවා යුතු බව කොච්චර මතක තියා ගත්තත් බස් එකේ ,ඔපීසියේ, පාරේ තොටේදී
" මෙන්න මෙයා ඔයාට අමතක වෙලා " කියමින් වෙනත් බවලතෙකුට ගැලවීමට එක කට්ටක් අනිවාර්යයෙන් ඉතුරු කළ යුතු ය.

සමහර සාරිවල  පොටේ නැවුම් පාර ඊළග වතාවේ අඳිද්දිත් ඉතුරු ය.විඩක ඒක හරිම පහවුවක් ය.
ඒත් හදිසියේ පටලවාගෙන් ගිය එපා වාහෙට හොදි බෙදන්නාසේ තියා ගත් රැලි එහෙම හිටියාම මළම කරදරයක් ය.කොයි තරම් තැටමුවත්  රැලි නැවෙන්නේ කලින් නැවූ ගොබ්බ තාලයට මය. බැරිම තැන කරන්නට වෙන්නේ නැවුම් පාරවල් යන්නට සියලු වෙර යොදා මුලින් ම සාරිය මැද ගැනී මය. සාරියේ නැවුම් පාර ගියත් හිතේ නැවුම් පාරවල් එහෙම්ම ය.කොයි තරම් වෙර වීරිය ගත්තත් සාරි පොට නැවෙන්නේම කලින් පුරුදු සැම්පලේ ට මය.

මේ වාගේ වෙලාවට,
1.සුපුරුදු  විකාර පන්නයට නැවතත් පොට සාදා එය අලුත්ම ෆැශන් එක බවට පත් කිරීම
2.වෙනත් සාරියක් සොයා ගෙන ඉහත ක්‍රියාවලිය මුල සිට ඇරඹීම
3.සාරිය පැත්තකට දමා සාරියේ සොයා ගත් එකාගේ දෙමාපියන්ට මෙත් වැඩීම
හෝ
4.සාරි පොට ගැන බ්ලොග් ලිවීම

කොයි කාටත් අනුගමනය කළ හැකි සරළ ක්‍රියා මාර්ගයන් වේ ය.

2 comments:

  1. ඔයාගේ ගම කොහෙද ..... තංගල්ලේ ද ?

    ReplyDelete