Saturday, March 3, 2018

සත්තු කරුණාව

අම්මාගේ තාත්තා ගැන මට තියෙන ජීවමාන එකම මතකය අඹ ගස් වනසන රිළවුන් ට කැටපෝලෙන් විදින එක ය.ආච්චිලාගේ ගෙදර වල්ටේශන් බලු රැලක් ම ජීවිතය ගෙන ගිය තැනකි.අහළ ගෙදරකින් පැමිණ ගෙදර බල්ලන්ගේ බත් පිඟාන ඔසවාගෙන කැලෑ වදින  නිසාවෙන් හැන්දෑවේ බුදුන් වැද අහවර වූ විට "සැලීලාගේ බල්ලා හැර අනිත් සියලුම බල්ලෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා "යනුවෙන් සීයා මෙත් වැඩූ බව කියන්නේ අම්මාය.

අම්මාගේ එකම අයියා වුණු මාමාත් සෑහෙන සත්ව කරුණාව ඇත්තේ මය.ගෙදර හිටි බලුතඩියෙක් නාවන්නට වැවට ගෙන ගොස් වැව මැද ඉන්නක ගැට ගසා ගිය මාමා හත් අවුරුද්දකින් පසු දෙලෝ රත්වී ගොස් බලද්දී බලු තොමෝ නා පිහිනා බැරිම තැන දියබත් වී මිය පරලොව ගොස් ය.

ගමේ ගිය දවසට අත්තම්මා බල්ලන් නාවන රාජකාරිය අපි හැමෝම කැමැත්තෙන් අත ගහන පුණ්‍යකර්මය ක් ය.නාන්නට ඇති කැමත්ත කොතරම් දැයි කියනවා නම් නාවන්න යන්නට ගැටගහගත් බලු තඩියන් දම්වැල කෙළවරේ එල්ලුනු අත්තම්මා ද ඇදගෙන වත්ත පහළ බෑවුම දිගේ රූටා යන්නේ එහෙමවත් බේරෙන්නට  හිතාය.ඒත් බෑවුමේ රූටා පශ්චාත් භාගය ලෙලි ගියත් බලු නෑවිල්ල අත අරින්නේ අත්තම්මා නම් නොවේ.

අත්තම්මා ගේ සත්ව කරුණාව අම්මාටද අඩු නැතුව පිහිටලා තියෙනවා ය.යන යන හැම ඉස්කෝලයකම නඩත්තු කල කොලු හා බලු පරපුරට අමතරව ගෙදර හදාගත් බලු නඩේ අතේ ඇඟිලි ගානටත් අඩු ය.හැබැයි උන්ගෙන් අපිට සිදු වූ තාඩන පීඩන හිමාලයටත් වඩා උස ට අදටත් පපු කඳේ ය.දැනට ගෙදර විරාජමානව සිටිනා ගලගණ්ඩයෙන් හා මන්ද මානසිකත්වයෙන් පෙලෙන බලු තඩියා නිසා ඇති කරදර විතරක් වෙන ම පොතක් ලියන්නට බැරි කමක් නැත.

බලු තඩියන් මදිවාට කොහෙන්දෝ පැමිණි පූසියෙක්ට දැක්වූ කරුණාව නිසාවෙන් මාතර ගෙදර පූස් හොස්ටල් එකක් වුණේ ඉබේට ම ය.අත්තම්මලා අම්මලා දූලා මිණිපිරීලා එකවරම බඩ වීමෙන් වතාවක් අප්‍රේල් දාහතර වෙනිදා අපේ ගෙදර පූස් පැටවු විතරක් දා හතරක් ය. ඒ ගානට ඇස් වහ කටවහ වැදේ යැයි හිතූ අපේ මලයා පොඩි රාහුලේ හිටි පූස් නාම්බෙකුත් බෑග් එකේ දමා ගෙන ගෙදර ගෙනැවිත් පූසන්ගේ වස් දොස් ඇරියේ ය.
පොඩි පැටවු නැලවීම ,ලොකු එවුන්ගෙන් කෑම පරක්කු වී බැණුම් ඇසීම, වටපිටාවේ වුන්ට පාට් දාන්නට ගොස් තුවාල වූ විට අල්ලාගෙන කහ,මිරිස් ගැල්වීම,හොර තක්කඩි බළලුන්ගෙන් අපේ අහිංසක පූසියන් පරිස්සම් කිරීම,අපේ පූසියන් සරණ පතා පැමිණ ළිඳේ වැටුනු බළල් තඩියන් ගොඩ ගැනීම ඒ කාලේ අපේ වැදගත් ම රාජකාරි කීපයක් ය.
ඊට අමතරව අපේ මළයා ට වෙන්වූ විශේෂිත කාර්‍යයක් වූයේ පිටුපස මිදුලේ වැලලූ කොට්ටම්බා වෙනුවට බළල් ටොයිලට් හාරා තාත්තාගෙන් ගුටි කෑමය.

ගෙවල් මාරු කිරිල්ලත් එක්ක පූස් පරම්පරාවට සමු දුන් අපේ ඇත්තෝ ඊළඟට පෙම් බැන්දේ කුකුළන් ටය.හුණුකොටුව හන්දියේ මරන්නට හිටි කුකුළ් ජෝඩුවක් අපේ මලයා ගේ පෙරැත්තය නිසාවෙන් ගෙදර  ගෙනැවිත් උන් ඉඩම පුරා උමං හාරාගෙන චිකන් රන් සිනමා පටිය රඟපාද්දී   අපි කුලී ගෙදරින් එළියට විසි නොවුනු එක පුදුමය. ඒ කුකුල් ජෝඩුව වෙනුවට පොඩි බට් කුකුල් ජෝඩුවක් කැන්දාගෙන ආ පසු අපේ ගෙදර උන්දැලා මුහුණ පෑවේ තවත් අවුලකට ය.කිකිළි බිත්තර දමා තවත් කුකුල් ජෝඩුවක් නිවසේ පදිංචියට ආ අතර තාත්තලා පුතාලා පොර කා ගද්දී අනවසර කුකුල් පොර පිටියක් පවත්වා ගෙන යාම නිසාවෙන් පොලිස් කූඩුවේ ලගින්නට වේ යයි බියෙන් ඒ කුකුල් සමාගමට ද තිත තබන්නට සිදු වේය.

අම්මාගේ සත්ව කරුණාව වැඩි හැන්දකින් බෙදී ඇත්තේ මල්ලීටය.පොඩි රාහුලේ ඉඳිද්දි ඉස්කෝලේ කලින් ඇරුණාම උන්දෑ ඉමහත් වූ දයාවෙන් මන්තින්දේ කානුවේ උන් මාලු රංචු  අල්ලා ගෙන විත් රාහුලේ වතුර නැති කාණුවල ඇති දැඩි කළේ ය.බෑග් එකේ දමා ගෙන ආ බළලාට අමතරව සාක්කුවේ දමාගෙන ඉබ්බෙක් ගෙනාවේද ඒ සත්ව කරුණාවෙන් ම ය.තුනේ පන්තියේදී විතර මනමාලියෙක් ඉල්ලමින් සැලූන් ඩමියක් පතා ඇඬූ මේ කොලුවා ලොකු වුනු පසුත් තව සෑහෙන සතුන් නඩත්තු කරන්නට උත්සාහ නොගත්තේ ම නැත.
කොහොමින් කොහොම හරි සකල ලෝවැසි සත්වයාට කරුණා මෛත්‍රිය පෑ පින් බෙලෙන් ඒ සත්වයා හදා වඩා ගැනීමට ද ස්ත්‍රී රත්නයක් ඉදිරිපත් වී ඇත්තේ පෙර කළ කුසල් අකුසල් බලයෙන් ය.
ඒ සුභ දිනය ළඟදීම උදා වී එතෙක් කල ඒ නොදරුවා හදා වඩා ගත් පියාණන්දෑට ඉසිඹුවක් ලැබේවා (ඉන් පසු උන්දෑ මගේ කෙල්ල බලා කියා ගන්නටම කැප වෙත්වා)යන්න මේ දිනවල මගේ ඒකායන පැතුම යි.

ප.ලි: කතාව වෙන ම පැත්තකට ගියා ද මන්දා..

1 comment:

  1. සත්තු කරුණාවත් එක්ක මොනවා වුණත් ජීවිතේ හරි ලස්සන වෙනවා - වෙලාවකට වදයක් වුණාට.

    අලුත් බ්ලොගයට සුබ පැතුම්!!

    ReplyDelete