Tuesday, May 30, 2017

හීන කතා


පොඩි කාලෙ හිටපු ගෙදර ළිඳ මට කාලෙන් කාලෙට හීනෙන් පේනවා.වතුරෙන් අපලයි කියලා හඳහන බලපු මනුස්සයෙක් කියපු හින්දයි පොඩි කාලෙ එක වංගියක් වතුරෙ ගිලුන හින්දයි අපෙ ගෙදර මිනිස්සු මට වතුර පිරුනු  පැත්ත පලාතක යන්න දුන්නෙ නෑ ඒ කාලෙ.(ඕන් දැන් හිතයි මම නෑවෙ නෑ කියලා ඒ කාලෙ .නෑවා නෑවා ගෙයි වතුර මලෙන්).ඒ කොච්චර තහංචි දැම්මත් මම ගිහින් ළිඳට් එබෙන එක නතර වෙන්නෙත් නැහැ.

ඇහැරිලා ඉන්නකොටත් අඳුරු පාට වතුර පිරුණු
ළිඳට මම බයයි.
ඒත් ඒ බය තටු ගගහ පියාඹන්නෙ ඇහැ පියාගත්තම ඇඳෙන හීන වල.ඒ ගෙදරින් ඇවිත් අවුරුදු විස්සකටත් වැඩි වුනත් අදටත් හිත කලබල වෙච්ච දවසට රෑට ඉඳලා හිටලා හීනෙන් ඔය ළිං රාජයා බොහෝම පියවි විදිහට ඇස් ඉස්සරහා පේන්න ගන්නවා.ඉස්සර වගේ දැන්නම් බයක් නැතත් එකම හීනෙ ආයෙ ආයෙ ඒන එක ගැන පුදුම හිතෙනවා.

නින්දෙන් පේන හීන ගැන වෙනමම උගන්නන විද්‍යා හිටං තියෙනවනේ.පොතුත් මගෙ හිතේ ලියවිලා ඇති බර ගානක්.සමහර හීන පාට පාටයි .ඒත් සමහර ඒවා බ්ලැක් ඇන්ඩ් වයිට්.
ඉඳලා හිටලා අමුතු හීනයක් දැක්කම ඔය ඔක්කොම කියවලා බලලා හීනෙ තේරුම හොයන්න ඕනෙ කියලා හිතුවට කෝ ඉතින් වෙලාවක් ඒකට.

දැන්නම් හුඟක් වෙලාවට හීනෙන් පේන්නෙ ඉස්පිරිතාලෙ ,ලෙඩ්ඩුන්ගේ කතා එහෙම.අපේ උන්දැට කිව්වොත් ඉන්තේරුවෙන් කියයි නින්දෙනුත් ඔලුවෙ තියෙන්නෙ රස්සාවම තමයි කියලා.

හැබෑ ලෝකෙදි කොහොමටවත් වෙන්න බැරි දේවල් හීනෙට එනකොට බොහොම සාමාන්‍ය විදිහට පේන්නෙ ඇයි කියන එකත් හිතා ගන්න අමාරුයි.ජීවිතේ එක එක කාලවල මුන ගැහුණු මූනු එකම හීනෙක එකම වෙලාවෙ මුන ගැහුන නේද කියන එක කල්පනා වෙන්නෙ ඇහැ ඇරුනම හීනෙ මතක හිටියොත්.

සමහර හීන නින්දෙන් ම මැකිලා යනවා මගෙ හිතේ.
සමහර හීන අතරමැද අපි ඇහැරෙනවා.එක්කො හීනෙන් බය වෙලා.තුන්මුනින් දාඩිය දාගෙන නැගිටලා එක හුස්මට වතුර වීදුරුවකුත් බීලා අම්මේ ඒක හීනයක්නෙ කියලා හිත හදාගෙන ආයෙ නිදා ගන්න යනවා.ඒ වුනාට ඒ වගේ නෙවෙයි
සමහර හීන අතඇරලා එන්න ලෝබයි.හීනෙ මැද්දෙන් ඇහැරවපු හාදයා මරන්න තරම් තරහ යනවා.ඉබේ ඇහැරුනා නම් ආයෙත් ඇස් පියා ගෙන තව පාරක් ඒ හීනෙම පේනවනම් කියලා දවල් හීන දකින්න හිතෙනවා.

නින්දෙන් හීන දකින නොදකින හැමෝම හැබැහින් හීන දකිනවා.දවල් හීන බල බල ඉන්න කැමති අයට එහෙම කරන්න පුලුවන්.හීනෙ හීනයක් ම නොවී හැබෑ කරගන්න කැමති අයට එහෙම කරගන්නත් පුලුවන්,හැබැයි ටිකාක් විතර කට්ටක් කන්න වෙනවා.
කෑම පැය ඉවරයි.හීන කතාත් ඉවරයි.අපි ආයෙ වැඩට යනවෝ

No comments:

Post a Comment