Tuesday, May 16, 2017

නීති උපාධිය-අතහිත බාර් එකෙනි

මනුස්සයෙක් ට තමන් කැමති විදිහේ ඇඳුමක් අඳින්න නිදහසක් තියෙන්න ඕනේ.ඒක තමයි ඇත්ත.
නමුත් ගෑනු පිරිමි බව,ආගම,කරන රස්සාව ඔය වගේ දහසකුත් එකක් රාමු ඇතුලේ හිත ගිය වස්තරයක් ඇඟලන එකත් සෑහෙන අභියෝගයක් නේද  කියලා හිතෙනවා .
සාමාන්‍යයෙන් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හම් ගැහුන ඩෙනිමට ටීෂර්‍ර්ට් එකකුයි රබර් සෙරෙප්පු දෙකකුයි කියන ඇඳුමට.ඒත් තවත් කෙනෙක් ගෙ කැමැත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් .හිත ගිය තැන මාළිගාව කියනවනෙ.අනික ලංකාව වගේ රටක කරන මෝස්තරයක් කරන්න පුලුවන් තරුණ කාලෙ විතරයිනෙ.ඒ කොහොම වෙතත් රැකියාව කරන තැන,ඉගෙන ගන්නා තැන,ආගමික හෝ වෙනත් ප්‍රසිද්ධ තැනකදි ඒ තැන්වලට සුදුසුයි කියන තාලෙ ඇඳුමක් අදින එක තමයි ඔබින්නෙ.ඒ හැරුනාම තමන්ගේ සාමාන්‍ය ජීවිතේ තමන්ට කැමති විලාසිතාවක් කරාට රටේ ලෝකෙ උදවිය රෙදි කරට ගන්න ඕනෙද?

මේ හදිස්සියෙ ඇයි මට එහෙම හිතෙන්නෙ?.
මෙලීසා ලීච් හින්දා.
එහෙම කෙල්ලෙක් ලංකාවෙ ඉන්නවද කියලාවත් මම දැනං උන්නෙ නෑ.කවදත් හොඳ කුණු ගොඩක් මාකට් කරගෙන ගොඩ යන අපේ උන්දැලා "බාර් එකේ බීම විකුනපු අපේ සරාගීම ලෝයර් "කියලා ඔය ඇත්තිව දාලා පෝස්ට් එකක් දැම්මෙ ටික දවසකට කලින්.ඊට පස්සෙ ඉතින්  අපේ සත් ගුණවත් බුකී වාසී ජනතාව ඒ ඇත්තිගෙ ජායාරූපත් ශෙයාර් කරලා(අවසර අරන් වෙන්නැති නේ)ඒ ඇත්ති වෙසඟනක් කියලා හංවඩු ත් ගහලා(ඒ එතන කියපු ශිෂ්‍ටසම්පන්නම ආමන්ත්‍රණේ)දිගට හරහට පලු අරිනවා.

ඒ ඇත්ති හරිද වැරදි ද ,ඔය කියන රස්සාව කරනවද නැද්ද කියන එක මට අදාළ නෑ.
හැබැයි ඒ ඇත්තිගෙ ඇඟ පසඟ පේන පොටෝවලට ස්ඵෝටනය වුනු උදවිය ඒ ඇත්තිගෙ පෝස්ට් එක කියෙව්වාද මන්දා

සාරාංශය ක් හැටියට
BCAS ඩිග්‍රි එක අතට ගත්තාම  ඈට මතක් වෙනවා ඒ වෙනුවෙන් මොන දුකක් වින්දද කියලා.සල්ලි නැති නිසා ඇයට උපාදියේ අන්තිම අවුරුද්ද සම්පූර්න කරන්නෙ නැතුව අවුරුද්ද ක්ම ඉන්න වෙනවා.උපාධිය ට සල්ලි හොයාගන්න ඇය බැංකු ණයක් ගන්නවා.ණය ගෙවන්න තමයි ඇය බාර් එකක රැකියාවක් කරන්නෙ අද්‍යාපන කටයුතු අතරතුරේ ම.සිකුරාදා දිනවල ඇය පැය 24කට වඩා වැඩ කල බලන්න බවත් සඳහන්.

ඇය කියන දේවල්වල සත්‍ය අසත්‍ය තාව මම දන්නෙ නැහැ.නමුත් ඒ දේවල් ඇත්තනම් තමන් ගේ අද්‍යාපනය වෙනුවෙන්  ගෙදර මිනිස්සුන්ට බරක් නොවී තමන්ගේ මහන්සියෙන් ඒ ඉලක්කෙට ළඟා වුන ඒ ඇත්තිට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නැහැ.කරදර එද්දි තමන්ගෙ ගමන මඟ නතර නොකර ඉලක්කය සපුරා ගත් ඒ ඇත්තිත් ,මාකට් කළ හැකි ටොපික් එකක් නොවීම නිසා අපේ මීඩියාවලට මඟ ඇරුනු ඒ වගෙ හැම කෙනෙක් මත් ඇත්තටම
සැබෑ දිරියවන්තයන්.

අපේ උදවියට මග ඇරුණු අනිත් කාරනේ උපාධිය ට මිලක් නියම වෙච්චි එක.බාර් එකේ බීම විකුණපු ඇත්තිට ලෝකේ පැරණිම රස්සාව කරනවා කියලා පරිභව කරන ඇත්තෝ ඒ ගැන වැඩි කතාවක් නෑ.මේ ඇත්තිට පුලුවන් වුනාට උපාධිය වෙනුවෙන් හැම කෙනාටම බැංකු ණය ගන්න පුලුවන් කමක් නෑ.ආර්ථික අපහසුතා නිසා විවිධ ස්ථරවලදී අද්‍යාපනය අත ඇරලා දාන මිනිස්සු අහුරු පිටින් ඉන්නෙ මේ රටේ.ඒ මිනිස්සු වෙනුවෙන් පත් කරපු ජනතා නියෝජිත උත්තමයෝ කෝටි ගනන් මිලියන ගනන් ගසා කමින් සැප විඳින්නෙත් මේ රටේ මයි.රටේ නිදහස් අද්‍යාපනයට ඇති ඉඩ වැඩ් කරන්න ඕන වෙලා වෙ ,ඒ වෙනුවට හම්බ කරගන්න පුලුවන් උපාධි කඩ දාලා ඒවට රාජ්‍ය අනුග්‍රහය දෙන්නෙත් මේන් මේ රටේ මයි.

පිටරටක තවත් ඇත්තියක් උසස් අද්‍යාපනය ට මුදල් හොයාගන්න කන්‍යාබාවය උගස් කරපු කතාවකුත් මූනු පොතේ පාවුනේ මේ ළඟදි මයි.ලංකාවෙත් තව කල් යනකොට එහෙම වෙයිද මන්දා
එහෙම වුණත් මොකෝ අපි කැමති පක්ශෙකට කතිරෙ ගහලා ඇවිත්  ඒ ඇත්තිටත් මූනු පොතේ නොසෑහෙන බැනලා,මේ ආදරයයි හරි ස්වප්නා හරි බලලා නිදා ගමු කො.අහවරයිනෙ.

No comments:

Post a Comment