Tuesday, May 23, 2017

හදිස්සියෙනි

එකමත් එක රටක රජ කෙනෙක් ඉතාම සෙමෙන් දැහැමින් රට කරන කොට රටේ අද්‍යාපනය බලන අමාත්‍යාංශයේ ලේකම් රටේ ඉස්කෝල ඔක්කොමටම පයිංඩයක්  යවපි.

ඒක මෙහෙමයි.

"හදිස්සියෙන් ය.
රටේ හැම ඉස්කෝලෙකම රට කරවන රජතුමානන්ගේ පින්තූරයක් අනිවාර්යයෙන්ම එල්ලන්ට ඕනෑය.එහෙම නොඑල්ලීම ජාතික අපරාධය ක් ය.එහෙම පිංතූර එල්ලා නැති ඉස්කෝල වහාම පිංතූර ඉල්ලා ලියුම් කරදහි එවිය යුතුය."

රට කරන රජතුමානෝ උදෙන් ම පත්තර මල්ලී ගෙනත් දුන් පත්තරේ හිටං පෙරළන විට ඔය කියන විස්තරය දැක්කෝය.නහුතෙටම තද වී කන් දෙකෙන් දුම් පිට වුණ බවත් ආරංචි ය.
ඇසින දුටු රජ වාසල ඇත්තන් කීවේ අදාල ලේකම් ඇත්තා කන් කෙටියෙන් ඇදගෙන විත් පශ්චාත් භාගයට දෙකක් දී රජ වාසලෙන්  දොට්ට දැමුවේ ද රජතුමා බවය.

අනතුරුව රජතුමා සිය කුටියට වැදී දත හපාගෙන මෙහෙම ලියමනක් ලිව්වෝය.

"හොඳටෝම හදිස්සිය.

සියලුම රාජ පුරුශයන් රටේ ගම් දනව් සිසාරා ගෙයක් ගෙයක් ගානේ  ගොස් අකුරු කලයුතු පොඩි එවුන් අකුරට නොයන ගෙවල් සොයා බැලිය යුතුය.සොයා බලා එවුන් අතේ දුරින් ඇති පාසලකට යොමු කල යුතුය.අතේ දුරින් යාමට පාසල් නැති උන් වෙනුවෙන් පාසල් ඉදි කල යුතු ය.
හැම පාසලකම අවුවට වැස්සට නොතෙමෙන ,ඇතුලේ හිඳියදී බිමට පාත් නොවෙන ගොඩනැගිලි තනවා දිය යුතුය.
තව ද අකුරට උවමනා පොත පත  නොමිලේම දිය යුතුය.

වත්කමක් නොමැති බව පැහැදිලි පවුලක දරුවෙක්ට පාසල් ඒමට අවැසි අඩුම කුඩුම රජයේ වියදමින් ලබා දිය යුතූ ය.

මවුපියන් ගේ තරාතිරම ,ආගම ,රෝගී නිරෝගී බව ආදී මොන යම් හේතුවක් නිසාවෙන් දරුවෙකුගේ ඉගෙනීම ට මඟ අහුරන සියල්ලන්ටම තරයේ අච්චු කිරීමට තීන්දු ය.

මත් වතුර ගෙන දරුවන් ගේ ඉගෙනුමට හරස්කපන අප්පලාට කස පහර සීයක අවම දඬුවමක් සහතික ය.
ඉගෙනුම ලබන දරුවන් ගේ අම්මලා පරදේසවල මෙහෙයට යාම තහනම් කරන අතර රජයේ අනුග්‍රහය යටතේ ස්වයං රැකියා වලට අනුග්‍රහය ඒ වෙනුවට ලබා දෙනු ඇත."

මේ පයිංඩේ රට වැසියාට දැන ගන්න ලැබුනද නැද්ද දන්නෙ නෑ. මොකද ඊට කලියෙන් මට ඇහැරුණා.

රටේ පොඩි වුන් හරි මඟට ගන්නා තැන පාසල ය.
පාසලක් නොව ඕනෑම තැනම බලෙන් පිංතූර ගසා ගන්නට වුවමනා නැත.
කරනා කාරිය හරියට කරා නම් පිංතූරය ඇඳෙන්නෙ ජනතාවගේ හිතේ ය.ඒක ගැලවෙන්නේ නැති බව සහතික ය.

නාමෙ නොදිරනා කුනු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ කියන්නෙ කට කහනවාටයැ.

No comments:

Post a Comment