Wednesday, August 22, 2018

තාත්තා

*මොන්ටිසෝරි යන්නෙත් නැති පොඩි කාලේ තාත්තා - මාස ගානකට සැරයක් කිසස් පාර්සලයක් අරං ගෙදර එන්න ආ පයින් අනිත් අතට අතුරුදහන් වන අමුතු ජීවියෙක් මය.කිසස් පාර්සලය භාරගෙන අමුතු ජීවියා ළඟට යාම ප්‍රතික්ශේප කළ අවස්ථා එමට ය.

*මොන්ටිසෝරි කාලේ තාත්තා-
කුකුලාටත් කලින් බැංකුවට දුවන්නට මොන්ටිසෝරි ටීචගේ ගෙදරට මාව ඇරලවා අතුරුදහන් වන උදේට හා රෑට විතරක් පේන්නට ඉන්නා ජීවියෙක් ය.

*ඉස්කෝලේ පොඩි පන්තිවල තාත්තා-
උදේ නැගිටින්නට කම්මැලිකම් කරද්දී සැර වෙන ගුටි දෙන නපුරු තාත්තා ය.
ඉස්කෝලේ සිකුරුටිටත් කලින් මාව ඉස්කෝලෙට ගෙනත් බස්සන, වැස්සත් නැතත් රේන් කෝට් අන්දන, රේන් කෝට් හෙල්මට් ගලවා අතින් අල්ලාගෙන පාර මාරු කරවන තාත්තා ය.
තාත්තා වැඩ ඇරෙනකන් ඉස්කෝලේ වේලුනාට වෙරළ පාරේ මයුර එකෙන් ශෝටීට්ස් හා හයිලන්ඩ් කිරි අල්ලස් දෙන තාත්තා ය.
පන්තියේ පළ වෙනියා නොවුනොත් පරල වෙන තාත්තාය.
ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ආදා  දෙසීයෙන් ලකුණු විසිහතක් මදි වුණාට පන්දම් පාලි නැටූ තාත්තාය.

*ඕ ලෙවල් කාලේ තාත්තා-

නාහෙට නාහන මුරණ්ඩු දෝනියණ්දෑ එක්ක ජල්ලි අල්ලන තාත්තා ය.
නොකා නොබී උපවාස කරනවා බලන්නට බැරි තැන අකමැත්තෙන් වුණත් බයිසිකලයක් ගෙනත් දුන් තාත්තා ය.
පන්තිය පටන් ගන්නට හැට පැයකට පෙර පන්තියට ඇදන් යන පන්‍ති ඉවරවෙන්නට හැට පැයකට කලි ඇවිදින් පන්තිය ළඟ මුර කළ තාත්තා ය.
පන්තිවල කොලු කුරුට්ටන් , හොකී  ගහපු ඉලන්දාරින් ඔක්කෝටම ඔරවාපු ගොරවාපු පොලිස් රාජකාරියට බැහැපු තාත්තා ය
තාමත් රේන් කෝට් හෙල්මට් ගලවා අතින් අල්ලන් පාර පන්නවන තාත්තා ය.

*ඒ ලෙවල් කාලේ තාත්තා-
පාන්දර හිට රෑට රෑ වෙනතුරුත් වැඩි හරියක් කටේ බලෙන් පන්තියකින් පන්තියකට අරං ගිය තාත්තාය
තැඹිලි වතුර, දෙහි බීම බෝතල් වල දමා බෑග් එකේ ඔබන තාත්තා
නොවරදවා හැමදාම මාතර බෝධියට ගෙනියන,  හැටට හැටේ පිරිත් කියන, පන්සලේ හිටි කොල්ලන්ටත් ඔරවන තාත්තා ය
තාමත් රේන්කෝට් අන්දන , අත අල්ලා පාර මාරු කර ඉස්කෝලෙට යවන තාත්තාය.

*කැම්පස් කාලේ තාත්තා-
පේරාදෙනි හන්දියෙන්
රන් ගිරිදඹේ තරමට උස බෝඩිමක් හොයා  දෙන තාත්තාය.
ගෙදරින් පුලුවන් තරම් දුර කැම්පස් එකකට ආවත් මට ගැලවෙන්නට නොදෙන , පලතුරු කූඩ,රස බත් මුල් ඔතාගෙන මා බැහැදකින්නට එන තාත්තා ය.
හිතේ බය තාමත් එහෙමම වුනත් ඒ බව නොපෙන්නා ලංකාව වටේ ඕනෑ අහුමුල්ලක යන්න  අවසර දෙන  තාත්තා ය.

*ඉන්ටර්න් කාලේ තාත්තා-

හුස්මක් කටක් ගන්නට බැරි ජීවිතේ දැක නාඬා ඉන්න තාත්තා ය.
පොඩි ඇස්ට්‍රා කප්වලට කැමතිම  එළවලු වෙන වෙනම උයාගෙන ඔක්කොටම කන්නට බත් අරං එන, සමහර වෙලාවට මාව නොදැකම ආපහු ගිය තාත්තා ය.
දමලා ගහලා ගෙදර එන බවට තග දමනා විට  මහ පාන්දර නොකියාම ඇවිදින් ක්වාටස් එකේ පුටු සෙටියේ      තනි රැක්ක තාත්තා ය.

*දොස්‍තර දෝනිගේ තාත්තා

ඉඩක් ලද හැම වෙලාවෙම දුවගේ දොස්‍තර පට්ටම ගැන පාරම් බාන තාත්තා ය.
වැඩ ඇරී එනතුරු මිණිපිරීට තනි රකින තාත්තා ය.
බලෙන් හරි බෑනා ට උදේ කෑම එක බෙදන තාත්තාය.
බට්ටිට ක්‍රීම් බනිස්, කිඹුල බනිස් අරගෙන මහ පාන්දර ගෙදර එන තාත්තාය.
වැඩ  ඇරී ගෙදර එද්දී රස තේකක් හදන තාත්තා ය
නිවාඩු දවාසටත් ජංගමයා අස්සෙන් සැපදුක අහන තාත්තා ය.
නිවාඩු අඩුවෙන් ඉල්ලන කම්ප්ලේන් නොකරන තාත්තාය .
රස්සාවෙන් පෙන්ශන් ගියත් ආදරේ කවදාවත් පෙන්ශන් නොයවන තාත්තාය.

තාත්තා ලෝකේ හොඳම  මනුස්සයා  නෙවෙයි වෙන්නට ඇත.
අපි හැමෝටම තමන්ගේ තාත්තා පේන්නේ
හොඳම තාත්තා හැටියට වෙන්න ඕනෑ ය.

ඉතින්

අදත් හෙටත්

තාත්තා ...තාත්තා මය.

Thursday, August 16, 2018

ශොපින් -ඔන්ලයින්

ඉස්සර සාරිවලට හැට්ට රෙදි තෝරන්න යද්දී අම්මා කිව්ව කතාවක් මතක ය.සාරි කඩේ ඇතුලේ එල්ලපු බලුප් හැටහුටහමාර හින්දා හැට්ට රෙද්දේ හරි පාට පේන්නේ නැතිලුය.ලා නිල් පාට සාරියට හැට්ට රෙදි ගේන්න වෙන්නේ දම් පාටින් හෝ කොළ  පාටින් වෙන්නට පුලුවන.ඒ නිසා හැට්ට රෙද්ද කඩේ දොරකඩ හරියට ගෙනැවිත් එළියේ ඉර එලියෙන් හරි පාට හොයා ගන්නා එක වඩා සුදුසුයි ලු ය.දන්නැති කඩේකදී  හැට්ට රෙද්ද අරං මාරු වෙන්න යනවා යැයි සැක හිතන්නත් පුලුවන් නිසා හරි හැට්ට රෙද්ද ගන්න ගිහින් කඩෙන් ගුටි කනවාද වැරදි හැට්ට රෙද්ද ගෙනිහින් ගෑනිගෙන් ගුටි කනවාද කියන එක හිතන්නට බාර වෙන්නේ ගෘහ මූලික ඇත්තන් ටය.
ඇතුලේ බලුප් එල්ලන රටාවේ හිට කස්ටමර්ස්ලාට නොදැන්නෙන්නම සාක්කු හිස් කරවන්නට පුලුවන් බිස්නස් ට්‍රික්ස් රෙදි කඩවල අදත් එදත් අඩු නෑය.

ඔහෙලාට නොතේරුනාට ඕකේ අලුත් ම ට්‍රෙන්ඩ් එක ඔන්ලයින් රෙදි කඩ ය.
දවසෙන් දවසට එක එක පාටට මේ ඔන්ලයින් විලාසිතා කල එළි බහිනවා ය.
ජංගමයාගේ තිරය හරහා ඒ ඔක්කොම සලු පිලි අපිට ඇඳ පෙන්නන්නේ දාසයයි මාසය පහු නොවූ එක් කෙනෙක් ගේ නොව තුන් දෙනෙක්ගේ විතර ඉඟ සුඟ එක මිටට ගත හැකි, ලප නොමවන් සඳවන් වූ සුදු ස්වීට් නංගි බබාලාය.
උන් ගෝනියකට බස්සලා පෙන්නුවත් අනිවාර්‍යයෙන් ඒක ලෝකේ ලස්සනම ගෝනිය හැටියට අපිට පේන එකේ දෙකක් නැත.

ඉතිම් සුදු සුවීට් නංගිලා වෙනුවට අපේ මූණත්තහඩු එතැන්ට එඩිට් කරගෙන පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොහින් වහාම අදාල රෙද්දේ(වැරදුනා ඇඳුමේ)පින්තූරයක් ගෘහ මූලිකයාගේ නහය ඉස්සරහින් අල්ලන්නේ සලු පිලිවල ගනන් මොඩලින් කරන නගාටත් වඩා ගනන් නිසා ඉහලින් අනුමැතිය නැතිව රෙදි ගැනිල්ල,රෙදි පැක් කරගෙන අම්මලාගේ ගෙදර යන්නට හේතු කාරණා වෙන්නට පුලුවන් නිසාය.බයවෙන්නට දෙයක් නැත .සීයට අනූ නමයක ම ඉඩක් තියෙන්නේ ගෙදර ඇත්තන්ට සුදු සුවිට් ලලනාව මිසක් කිසිදු වස්තරයක් නොපෙනීම ය.ඉතින් හිස වනා කට කන අගට කර නිවෙස් හිමියා කැමැත්ත ලබා දෙන්නේ ය.

ඉතින්  වැඩේ සිම්පල්‍ ය.දැන් තියෙන්නේ එක්කෝ රෙදි කඩේ ගිහින් හිතගත් රෙද්ද ඔතාගෙන එන එකය.ඒ වැඩේත් කම්මැලි නම්  ඔන්ලයින් බුක් කර රෙද්ද ගෙදරටම ගෙන්නා ගන්නත් දැන් පුලුවන් ය.

අනිත් උදවියට කෙසේ වෙතත් මං වාගේ රෙදි තේරීමේ කලාව එකේ පන්තියේ හිටම ෆේල් උදවිය නන්නත්තාර වෙන්නේ රෙදි කඩේ ට ගොඩ වැදුනාම ය.

කඩේ හැන්ගර්වල එල්ලීගෙන බලියාගෙන ඉන්නා මෝස්තරනම් අර සුදු සුවීට් ලලනාවෝ ඇඳන් හිටපුවා වෙන්නම බෑ ය.එව්වායේ මෙලෝ ලකයක් නැත.එකම පාටින් එක එක පොඩි පොඩි විච්චුරන කළ කෑලි බෑලි දාස් ගණන් අස්සේ කන් අඩි පුපුරන්ට සංගීතත් පුරවනවාය.ඉතිං කොහොමද මොලේ කල්පනා කරලා රෙද්දක් තෝරගන්නේ?

කකුල් මැන්ඩලින් ගසාගෙන හීන් දාඩිය දාගෙන එන මේ වගේ වෙලාවට පත බෑවෙන්න රෙදි කඩවල හැම තැනම සැප පුටුය.

පැය භාගයක්  විතර ඔය පුටුවක දෙරි ගසන් හිටියාට පස්සේ ස්ත්‍රී දහිරිය  පුරුස දහිරිය ඔක්කෝම එක්කහු කරගෙන නැගිට ගෙන තෝන්තුවාවෙන් මෙන් රෙදි කඩේ වටේ රවුම් හතරක් පැදකුණු කරන්නට ඕනේ ය.එතකොට  සුදු සුවිට් ලලනාවෝ ඇඳන් හිටි සමහර රෙදි පෙරෙදි යාන්තම් ගිය ආත්මේ දැක්කා වාගේ හුරු පුරුදු ගතියක් දැනෙනවා ය.
ආං එහෙම රෙදි තුන හතරක් උස්සං ඊළඟට යන්නේ ෆිටෝන් කරන්ට ය.

නියම ෆිටෝන් කාමරයක් වෙන්න නං අත් දෙකේ වැලමිට ගානෙන් එහාට දික් කරන්නට බැරි වෙන සයිස් එකෙන් හදන්නට ඕනෑය.
ෆිටෝන් කාමරේ කණ්ණාඩිය අර ඉස්සර සර්කස්වල තිබුණ ජාතියේ විපරීත කණ්ණාඩියක් ය.කොයි මෝස්තරේ ඇන්දත් ෆිටෝන් කණ්ණාඩියෙන් බැලුවාම පේන්නේ රෙදි ඇන්දූ අල ගෝනි ය.
අයිස්චර්‍යා රායි ඇවිත් ඔය කණ්ණාඩියෙන් බැලුවා නං ඒත් ඔය සෙතේමය. එහෙම නැතුව පිටි ගුලි තෙල් ගුලි කාලා තල්මහෙක් සයිස් වුණ එකේ වැරැද්ද නෙමේ මය.
අර ඔන්ලයින් හිටපු සුවිට් ලලනාවනුත් ඉස්සෙල්ලාම  ඔය කණ්ණාඩියෙන් බලලා හිටියා නම් අපි නිකං රස්තියාදු වෙන්නේ නැතිලු ය.

ජරමර අස්සේ බර කරත්ත වන්නේ තෙල් අරික්කාලක් ගාගෙන බස්සාගත් මේ අලුත් ඇඳුමෙන් වෙන් වෙන්න යනකොට ය.අලුත් මෝස්තරේ වෙන් වෙන්නට බෑම කියා ඉණ මැදින්, බඩ උඩින්,උරිස් අස්සෙන් බදා ගෙනම ඉන්නවා ය.මේ කොටි නැටුම අස්සේ හිරවී වට පිටාවත් නොපෙනී තුන් හතර ගමනක් ෆිට් ඕන් රූම් එකේ බිත්ති හතරේ හැප්පෙද්දී ෆිට් ඕන් රූම් මුර කරන ආන්ටී දිව එන්නේ ෆිට් ඕන් රූම් එක් ඇතුලේ අලුත් ඇඳුම්වල ටැග් ගලවනවා වැනි අභූත යමක් වෙනවා කියා හිතා න ය.
නොපසු බස්නා උත්සාහයෙන් හා අප්‍රතිහත දහිරියෙන් යාන්තම් ඒ උරච්චක්කර මාලයෙන් ගැලවී පරණ පුරුදු ඇඳුමම ඇඳ ගෙන දාඩියත් පිහදාගෙන පාරට බහින්නේ පරණ ඇඳුම ම හොඳා කියා ය.

ඔන්ලයින් ගෙන්නද්දී ඔන්ලයින් ඇපල් ඩිලිවරි පැපොල් වෙන වෙලාවලුත් තියෙනවා ය.ෆිටෝන් රූම් නැතුව නිදහසේ අතපය තුවාල කරනොගෙන රෙදි ඇඳ බලන්නට පුලුවන් වෙන එක නම් වාසියක් ය.

ඒත් කරුමේ කියන්නේ අලුත් රෙද්ද් ගෙදරට එනකොටම ෆිට් ඕන් රූම් එකේ කණ්ණාඩි භූතයා ගෙදර කණ්ණාඩියටත් ආවේස වෙලා ය.

ඉතින් ගෙදර කණ්ණාඩියේ පේන්නේත් අලගෝනියක් මය.

සුපුරුදු පරිදි පරණ ඇඳුමට බැස සුදු සුවීට් නංගීගේ ගාණටම ඇඟ බස්සවා ගන්නට දිවුරා පොරොන්දු වී හිතේ අමාරුවට ෆෘට් ඇන් නට් අයිස්ක්‍රීම් ලීටරයක් විතර වැලඳීමෙන් මේ ආතුරයාගේ ඔන්ලයින් ශොපින් සන්නිය අහවර වෙනවාලුය.

ආයි බෝ වේවා.

Tuesday, April 17, 2018

බට්ටිට අවුරුදු

.බට්ටිගේ මුල්ම අවුරුද්ද කරවනැල්ලේය.අප්පච්චි පවුලේ බඩ පිස්සා නිසාවෙන් එතැන් හිට අවුරුදු ගෙවෙන්නේ වලස්ගල ගමේ අත්තම්මාගේ ගෙදර ය.

අම්මා අවුරුදු ගමන් ගිය අතට අනිත් පැත්තට බට්ටි අවුරුදු ගමන් යන්නීය.හයිවේ ඇති නිසා ගමන පහසුය.
පොඩි පරහකට ඇත්තේ අම්මාගෙන් උරුම වූ හෝටල් දැමිල්ලත් හයි වේ එකේ ශටර්ස් ඇරගෙන ගියොත් තාත්තාගේ මූණ හතරැස් වන එකත් ය.මෙදා පාර නම් බට්ටිට හෝටලයක් මුණ ගැහුනේම  නැත.

ගොඩගමින් හයිවේ එලියට දමාගෙන අප්පච්චිගේ ඉස්කෝලෙත් වැඳගෙන එද්දි ඊළඟට මාතර ටවුමේ හිට දකුණු පැත්තෙන් දුවන හෝ ගාන පොකුණ ය.කොළඹ ආවත් තාමත් බට්ටිට කොළඹ මූද ට පනින්නට වෙලාවක් ආවේ නැත .මාතර මූදු වෙරලේ සෙල්ලම් පිට්ටැන්නක් තියෙනවා දැක්කත් සෙල්ලමට නැවතුනේ මෙදා පාරය.
එහෙන් රැලි පෙරලෙන මූද ය.මෙහෙන්  අට අනූවක් සෙල්ලම් එක්ක දුව පනින්නට යාලු පොඩිත්තන්‍ ය.බට්ටිට නිවන් දැක්ක ගාන ය.මූදෙන් සෙල්ලමටය .සෙල්ලමෙන් මූදට ය.අන්තිමේදී බෑගිරි ගහද්දී ගමේ ගෙනියන්නට බට්ටිව කුදලා ගන්නට උනේ හිතකින් නොවේ ය.අම්මාත් බට්ටිත් වැලි ලොරියක් විතර කාර් එක ඇතුලේ ගොඩ ගැහුවාම අප්පච්චිත් අඬන පෝලිමට එකතු නොවුනේ සෑහෙන අමාරුවෙන් ය.

කීයට හරි ගෙදර එනතුරු ගමේ සීයාත් අත්තම්මාත් මග බලාගෙන ය.බටු අවුරුදු කුමාරි පිළිගන්න සීයා අලුත්ම ගේ පොඩ්ඩකුත් හදලාය.අලුත් වලං සෙට් එකකුත් එතනය.ඒත් බට්ටිගේ ඇටෙන්සන් එක නතර වෙන්නේ මිදුල මැද පැද්දෙන ඔංචිල්ලාවට ය.

එතැන් හිට බට්ටිටත් අම්මාටත් තාත්තාටත් ජයටම අවුරුදු ය.කූ...කීස්.කූ කීස් කියමින් කොකිස් වැඩි හරියකට වග කිව්වේ බට්ටීය.අත්තම්මා දිවියලෝකේ රහට ඉව්වත් අම්මා ගේ වටේ එලෙව්වත් කොකිසුත් පපඩනුත් හැර වෙන යමක් බට්ටි කෑවා නම් ඒ සීයා හැදූ කේක්‍ විතර ය.එයින් ප්‍රීති ප්‍රමෝදයට පත්වූ සීයා කේක් ලොට් හතරකට වඩා හැදුවත් කෙල්ල බත් කටක් කටට නොගැනීම අත්තම්මා ගේ විස්සෝපයට හේතු වෙනවාය.
බට්ටිගේ පංගුවත් එක්කම ,කොස් මැල්ලුනුත් පොල්සම්බෝලත් බතුත් ගිල දමා අම්මා කිලෝ හැත්තෑවේ බර පන්තිය පහු කරන්නේ ඔය  නිවාඩු දවස්වල ය.

බට්ටි ගේ හිත කරදර වෙන්නට තිබුන එකම හේතුව විසිල් ගහන අහස් කූරුය.ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන ශූ......ඩොම් වලට විරෝදය පල කළ බට්ටි ඉන් පසු නිලා ,බඹර චක්‍ර වාගේ අහිංසකයන්ටත් බෙදුවේ ඒ හැන්දෙන්මය.අහස් කූරක සද්දය ඇසුනු ගමන් තම ආදරනීයයන් සියල්ලන්ම ගෙට ගන්නා බට්ටී දොරවල් සියල්ල වසා ගන්නවා ය.ඉතින් එලියට බහින්නට වෙන්නේ කඩින් කඩ ය. බැරිම තැන බට්ටී මදුලු ගෙදර යන්නට යෝජනා කරන්නේ මද්දු තාත්තාවත් මේ විකාර කූරු පත්තු නොකරනවා ඇතැයි හිතන් ය.
 
අවුරුදු දාත් හරි අපූරුය.අම්මාත් අත්තම්මාත් කුස්සිය මැද දුම් නාගෙන කිරි උතුරනවා බට්ටි බලාගෙන හිටියේ අප්පච්චිගේ අතේ හිඳය.නැකතට අනුභවය ත් සුපුරුදු පරිදි කූ....කීස් ය.ඉස්සිස්සෙල්ලාම බට්ටිට ගනුදෙනු සල්ලියක් හම්බෙන්නේත් මේ අවුරුද්දේ ය.

අවුරුදු ලැබුවායින් පහු තවත් ශෝක්‍ ය.අයියලා අක්කලා ඔක්කොම වගේ අත්තම්මලා බලන්න එනවා ය.බටු ඇටේ ඉතින් කාගෙත් හුරුතලීය.පුවක් කොලපතේ ගමන් එක්කන් යන්නට,විල්බැරෝවේ දමන් යන්නට අයියා ඇවිදින් ය.එහෙන් සීයා හදා දුන් කුරුම්බැට්ටි මැශිමය.මෙහෙන් ජාති අං දෙකකුත් ඇති පොල්පිති වස්සෙක් ය.ඔය අස්සේ නගුට වනවනා පස්සෙන් එන පණ ඇති බලු ජෝඩුවක් ය.එලියේ මිදුලේ මල් ය.රොන් ගන්නට එන සමණල්ලුය.වඩන් පොඩි කරන්නට බලන් ඉන්නා අක්කලා ය.අවුරුදු තෑගි අන්දවා හැඩ බලන නැන්දලා ය.ඉතින් බට්ටිට අවුරුදු ජයදැයි අහන්නට දෙයක් නැත්තේ මය.

දවස් පහකින් පස්සේ ආයෙමත් පුරුදු පරිදි ගෙදර එනවාය.බට්ටි නැතුව අත්තම්මලාට පාලු ඇති ය.ඒ උදවිය නැතිව බට්ටිටත් පාලු ඇති ය.රස්සා කරන අම්මෙක් අප්පෙක් ඉන්නා නිසා එහෙම වුණ වග තේරෙන්නට බට්ටි තාම පොඩි වැඩි ය.

අනිවාර්යයෙන් තව අවුරුදු දෙක තුනකින් අම්මා වගේම ගමේ ගිහින් එන්නට යද්දී තව දවසක් නිවාඩු දාන්නැයි ඉල්ලා බිම පෙරලෙන්නට බට්ටිත්  මැලි වෙන එකක් නැත.ගහේ කටු උල් කරන්න ඕනයැ මොකෝ.

Monday, April 16, 2018

පොඩි කාලේ අවුරුදු

ඉස්සර කාලේ අවුරුදු ඉවර වුනාම එලඹෙන වැදගත් ම නැකත නෑගම් යන එක ය.

තාත්තාගෙත් අම්මාගෙත් කාර්‍යබහුල රාජකාරී ජීවිත නිසාවෙන් ගමේ යන්නට ඉඩක් ලැබෙන්නේ බොහෝ විට සිංහල අවුරුද්දටත් ඉස්කෝල නිවාඩුවටත් විතර ය.තාත්තාගේ ගම හොරණ ය.අම්මාගේ ගම හෝකන්දර ය.හයි වේ නොතිබුණ ඒ කාලේ ගෙදරින් උදේට කන්නට හදාගෙන උදේම අපි  ගමේ යන්නට කාර් ගත වෙමු.

ඒ කාලේ දරුණුවටම තිබූ වාහනවල හෝටල් දැමිල්ලේ රෝගය නිසාවෙන් ගමනේ වැඩි හරියක් මම පිටිපස්සේ සීට්  එකේ පොළවට සමාන්තරව ය.දැන් වාගේ දාර පත සරීර කූඩුවක් නොතිබුණු සහෝදර සමාගමත්  ජනෙල්වලට පොර අල්ලමින් මා හා පිටිපස්සේ ය.
ගෙදරින් කෑම ගෙනියනවාට අපි දෙන්නාම අකමැති යන පාරේ  මග්ගොන නිව් මෝනිස් එකෙන් කන්නට ලැබෙන හින්දා ය.

මුල් ම නැවතුම හොරණ තාත්තාගේ මහගෙදර ය.තාත්තාගේ මහ ගෙදර ගාම්භීර ය.ඒත් කළුවර ගුහාවක් ය.ගස් පිරෙන්නට ජම්බු,මැංගුස්,ගඩිගුඩා තියෙන එකේ වත්තේ ගස් ගෙඩි හූරනවා මිසක මම ගෙට ගොඩවෙනවා අඩු ය.ගෙට ගොඩ වෙන්නේ කැවිලි පිඟානට වග කියන්න ට ය.ලොකු නැන්දා ගේ දෝනියන්දැලා දෙන්නා මට වඩා වැඩිමල් අවුරුදු කීපයක් ය.යුද්ධෙ වෙන්නේ එහෙන් එන්නට ලැහැස්ති වුනාම ය .වැඩිහිටි උදවියට වඳිද්දී  මගේ වැඳිල්ලෙන් බේරෙන්නට කෙල්ලන් දෙන්නා ගේ පුරාම දුවන්නට ගන්නවා ය.මමත් අතාරින්නේ නැත.

  ඊළඟ නැවතුම අම්මාගේ මහගෙදර ය.පොඩි කාලේ මම කැමතිම  තැන එහේය.දැන් ටවුන්ගත වෙමින් තිබුණත් ඒ කාලේ හෝකන්දර හද්දා ගම ය.ඒ පිටිසර කමට මම සෑහෙන ආදරේ ය.ගේ වටේට විසාල වත්තක් ය.ජම්බු,නමිනං,පේර,වෙරලු ගස් වත්ත වටේ ට ය.වැලි මිදුල කකුලට සනීප ය.රස්නයක් අහලකවත් නැත.තාත්තලාගේ ගෙදරට වඩා එහේ කළඑලිය නිසාදෝ මම එහෙට මනාපය.

ඔය කොයිකටත් වඩා අම්මාගේ මහ ගෙදරට මනාප මාමාගේ දෝනියන්දෑ හිටි නිසා වෙන්නටත් පුළුවන.මට වඩා අවුරුද්දක් බාල  උන්දෑ පස්සෙන් එල්ලාගෙන රයිගමයා හා ගම්පලයා සේ හැම අහුමුල්ලක ම රිංග රිංගා මොනවා හරි කූරු ගෑම අපි දෙන්නාගේ සිරිත ය.කෝපි අතුවල නැඟ ඔංචිලි පැදීම,කාටත් හොරෙන් ගස් බඩ ගා වරකා කැඩීම ,සෙල්ලම්බ් බත් ඉවිල්ල ,ඉඳ හිට කෙහෙවලු පටලා ගැනීම අපි දෙන්නාගේ ප්‍රියතම රාජ කාරි ය.

අම්මාගේ අම්මා මියැදුනේ මම තුනේ හතරේ විතර ඉඳිද්දී වගේ ය.ඊට කලියෙන් ගමේ ගියාම අත්තම්මාගේ පස්සෙන් වැටීමත් අපි දෙන්නාගේ සිරිත ය .අත්තම්මා ගේ අපි කැමතිම රාජකාරිය බල්ලන් නෑවිල්ලය.නාන්නට කොහෙත්ම අකමැති බලු තඩියන් පස්සෙන් අඹා අල්ලාගෙන ,උන් ඇදගෙන දුවද්දී පස්සවල් හූරාගෙන බඩවැටි අස්සේ රිංගා ,උන් නාවාගෙන අපිත් බාගෙට නාගෙන එන එක තරම් විනෝදයක් තවත් නැත.

ගෙදර ටැප් එකෙන් නානවාට වඩා මහ ගෙදර ළිඳෙන් නාන එක හරිම අපූරු ය.බාල්දියේ එල්ලී වතුර ඇඳගෙන හීතලේ වෙවුල වෙවුලා නා ගත් විට පුදුම සනීප ය.ඊටත් වඩා කදිම ඉඳ හිට දවසක අත්තම්මා එක්කං යන කෝපිකඩේ නාන ළිඳ ය.වටේ බැඳ නැති ලිඳේ වතුර අත ළඟ නිසා වතුර අඳින්නට මහන්සි වෙන්නට ඕනෑ නැත.නානවාට වඩා නංගිගෙත් මගෙත් වෑයම ලිං ගැට්ටේ ඉඳගෙන අපිට කෝචෝක් කර කර එහා මෙහා පීනන මාලු අල්ලන්නට ය. තොපි ළිඳට වැටුනොත් අම්මලාට මම ළමයි හදලා දෙන්නදැයි අත්තම්මා ගෝරනාඩු කරත් උත්සාහය අත අරින්නේ අපි නොවේ.ඒත් මාලුවෙක් තියා ඉස්ගෙඩියෙක් වත් අපිට අහු වෙන්නේ නැත.

අම්මාගෙන් කන් කෙඳිරි ගා සල්ලි ඉල්ලාගෙන ,නැතිනම් අල්මාරිවල ලාච්චු සුද්ධ කර රුපියලේ දෙකේ ඒවා එකතු  කරගෙන පුංචි අම්මාගේ කඩයෙන් හකුරු,පරිප්පු,බුල්ටෝ ඈ කඩචෝරුවලින් බඩ පුරවා ගන්නා හැටි දුටුවෙක් අනිවාර්‍යෙන් ම හිතන්නේ අපිට ගෙදරින් හත් අවුරුද්දකට කෑම වේලක් නොලැබී ඇති බව ම ය.කඩේ පැත්තක කුමුදු අයියාත් ගොලු පුංචීත් මල්ලිලාත් එක්ක සෙල්ලම් ගෙවල්,සෙල්ලම් කඩ දැමිල්ලත් කම්මැලි වෙලාවට හොඳ විසඳුමක් ය.

මහ ගෙදර ඉස්සරහ පොඩි ගෙදරක හිටියේ චලා ආච්චිය.චලා ආච්චි කුස්සියේ බිම ගාන්නේ ගොම ය.උන්දෑගේ පලා මැල්ලුම තරම් රස මැල්ලුමක් තාමත් මට හමු වී නැත.පිඟානට කොත ගසා බෙදා දෙන බත් එකේ ඇටයක්වත් ඉතුරු වෙන්නේ නැත.ආච්චිගේ ගේ දොරකඩ රඹුටන් ගහ ය.ඒ වටපිටාවේ රඹුටන් ගහක් තිබ්බේ එහේ විතරය.ටකයක් බැඳගෙන ආච්චි පරිස්සම් කළ රඹුටන්වලට වගකිව්වේ නිවාඩුවට කඩා පාත් වෙන අපි ය.

මහ ගෙදර රෑ පාන තවත් සුන්දර ය.රෑට සප්පායම් වුණාට කාටවත් නිදා ගන්නට හදිසියක් නැත.වැඩි දවසක් පොඩි අපි ටික නිදාගන්නේ සාලේ මැද එලා ගත් පැදුරු වලය.කොස්සක නැගී අපි වටේ ගිය පොඩි මල්ලීට කොස්ස රිවස් කියා නමක් පට බැඳුනේ ඔය සාලේ ය.

බිත්ති ඔරලෝසුව දාර හඬින් රෑ එකොළහ දොලහ සටහන් කරද්දී කිචිබිචිය නවත්තා  නිදා ගන්නැයි ඉහළින් දෙතුන් වතාවක් තරවටු කිරීම් ආවත් අපිට ඒ ගානක් නැත.ඔය කිචි බිචි ,හිනා ,විහිලු මැද නොදැනීම ඇහැ පියවෙනවා ය.

අම්මලාගේ කාලසටහන් වල නිවාඩු තිබුනේම නැති නිසා නෑගම් එන්න තිබුනේ දවස් දෙක තුනක් විතර ය.එහෙ බලා මෙහෙ බලද්දී ඔය දවස් ගෙවිලා ඉවර ය.
ඊළඟට එන්නේ ගෙදර යාමට විරෝදය ප්‍රකාශ කරන නැකත ය.තව දවසක් ඉන්නට යෝජනා ,බැගෑපත් ඇවිටිලි, කුණු කුණු,නහයෙන් ඇඬිලි ඉදිරියේ ඒ දවස්වල අම්මලා සෑහෙන්න අසරණ වෙන්නට ඇත.ඒ ඇවිටිලි හරි නොගිය තැන යන වෙලාව තව පැයක් පස්සට දාගන්නට බඩ රිදිලි, හිසේ ඇම්මවල් එහෙම අනිවාර්‍ය්යෙන් හැදෙනවා ය.මහ ගෙදරින් එළිය බහින්නේ තාත්තා ගේ සැර කිරිලි ,ගෙරවිලි අඩි ,පොලවේ හැප්පිලිවලට නරක් කරගත් හිත් බර කරන් ය.

ආයෙත් එද්දී පාරත් මූසල ය.අහසත් කලු ය.මුලු වටපිටාවම මහා පාලු ය.අපි පිටිපස්සේ නිදි කිරා වැටෙද්දී තාත්තාට නින්ද යයි දැයි විපරමෙන් අම්මා අවදියෙන් ය.රෑ දෙගොඩහරි යාමේ ගෙවල් වලට සේන්දු වෙන්නේ බර වෙච්චි හිත් එක්කම ය.

ඒත් පහුවදා ඉඳන් අපි ආයෙත් හැල්මේ දුවන ගමනේ ය.ඒත්  ඉඳහිට නැවතී ඇස් පියා ගත් වෙලාවට ඊළඟ අවුරුද්ද එනකන් හිත හදාගන්නට අවුරුදු මතක ගොන්නක් හිත අස්සේ ඉතුරු ය.

Sunday, April 15, 2018

එන්න ඇඩ්මිට් වෙමු.වෙද පිටුවේ ලිපි එකතුවෙන්


ලෙඩ වෙන්න කවුද කැමති

ඒත් ඉතින් ලෙඩ රෝග කියන එක කාටත් හැදෙනවා.
සමහර අසනීපවලට බාහිර රෝගියෙක් හැටියට බෙහෙත් ගන්න පුලුවන් වුනත් සමහර ලෙඩ රෝගවලට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නට සිදු වෙනවා.
සමහර ව්ට ජීවිතේට වරක් දෙවරක් ලබන අත්දැකීමක්.

නුහුරු බව නිසා කෙනෙක්ට බොහොම අමිහිරි අත් දැකීමක් වෙන්නත් ඉඩ තියෙනවා
ඉතින් අපි හිතුවා නේවාසික ප්‍රතිකාර ගන්නට වෙන ඔබට ඒ අත්දැකීම අමිහිරි එකක් නොවෙන්නට ප්‍රායෝගික උපදෙස් ටිකක් ලබා දෙන්න.

*  රෝහලකට ඇතුල් වෙන්න හේතු  වෙන අවස්ථා දෙකක් තියෙනවා.

1.යොමු කිරීමක් (referral) මත

මේ යොමු කිරීම රෝහලේ බාහිර රෝගී අංශයෙන් හෝ සායනයකින් වෙන්න පුළුවන්.
එක් රෝහලකින් තවත් රෝහලකට යොමු කිරීමක් වෙන්නත් පුලුවන් .
රෝහලෙන් පිටත පුද්ගලික අංශයේ  වයිද්‍යවරුන් ගේ තීරණය ක් උඩ වෙන්නත් පුලුවන්.

මෙතනදී සමහර වෙලාවට ඔබ රෝහල් ගත වීමට වෙන බව දැන ගන්නේ ඒ මොහොතේ වෙන්නට පුලුවන්.

උදා: උණට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගියෙක් රුධිර පීඩනය අඩුවීම නිසා ඇතුලත් කිරීමට සිදු වීම

නමුත් ඇතැම් අවස්ථාවල ඔබට ඇතුලත් විය යුතු බව කලින් දැනුම් දෙනවා.

උදා  : ශල්‍ය රෝග සායනය හරහා   හදිසි නොවන සැත්කමකට ලබාදුන් දිනයක ඇතුලත් වීම

2.රෝගියා විසින් හෝ භාරකරුවන් විසින් රෝගියා ඇතුලත් කිරීමට තීරණය කිරීම

-බාහිර රෝගියෙක් ලෙස ප්‍රතිකාර   ගැනීමෙන් සුව නොවූ රෝගීන්
-බාහිර රෝගී අංශය වෙත යා නොයුතු හදිසි රෝගීන්
උදා :හදිසි අනතුරු, ආසාත්මිකතා, හර්දයාබාධ  මේ ආකාරයට කෙලින්ම රෝගීන් ඇතුලත් කිරීමේ අංශයට පැමිනෙන  අය

*  කොහොමද රෝගියෙකු රෝහලට ඇතුලත් කරන්නේ?

රෝගින් ඇතුලත් කරගන්නා ස්ථානය රෝහලක ප්‍රධාන පිවිසුම ආසන්නයේ බොහෝ විට තිබෙන්නේ.

රෝහලේ තොරතුරු කවුලුවෙන් ,හෝ උපස්ථායකවරයෙක් ගෙන් එසේත් නැතිනම් ආරක්ෂක නිලදාරියෙකුගෙන් විමසීමෙන් එම ස්ථානය සොයා ගත හැකි යි.

රෝගියා එම ස්ථානය වෙත දෙපයින් යාමට නොහැකි ලෙස රෝගීව සිටියි නම්  උපස්ථායවරයෙකු ට ඒ බව දැනුම් දී රෝගියා රෝද පුටුවකට හෝ ට්‍රොලියකට ගත යුතූයි.

ඇතැම් අවස්ථා වල රෝගියාට එතරම් අපහසුවක් නැතත් රෝගී තත්වය අනුව එසේ යාම උචිත නිසා උපස්ථායක වරයෙක් ඔබගෙන් විමසා සිටින විටක රෝගියාගේ රෝගී තත්වය කෙටියෙන් පවසන්න මැලි වන්නට එපා.

රෝගීන් ඇතුලත් කරන ස්ථානයේදී රෝගියා සමඟ එක් අයෙක් සිටීම ප්‍රමාණවත් .

හදිසි රෝගීන් සැමවිටම මුල් තැන දීමටත් ඔබ කාරුණික විය යුතුයි.

රෝගීන් ඇතුලත් කරන වයිද්‍යවරුන් ඔබගේ රෝග ළක්ශන කෙටියෙන් විමසා ඇඳ ඉහපත් වාර්තාවක්(bed head ticket) ඔබට ලබා දෙනවා.
මෙය නීතිමය ලියවිල්ලක් ද බැවින් ඔබගේ  නම,වයස ආදී තොරතුරු නිවැරදි ව ලබා දිය යුතුයි.

රෝගීන් ඇතුලත් කරන ස්ථානය ඉතාමත් කාර්‍ය බහුල බැවින් ඔබගේ රෝග ළක්ශන කාලානුරූපීව කෙටියෙන් පැවසීම සුදුසු යි.

දිගු කාලීනව ප්‍රතිකාර ලබන අසනීප හා ආසාත්මිකතා තිබේ නම් ඒ ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතුයි.

අදාල ඇඳ ඉහපත ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔබව අදාල වාට්ටුව වෙතට යොමු කරනු ලබනු ඇති.

*  පෙර සැලසුමකට අනුව සිදු කරන ඇතුලත් කිරීම් හෙවත් requested admissions සිදු වෙන්නේ කොහොමද ?

-හදිසි නොවන සැත්කම්
-සංකූලතා රහිත දරු ප්‍රසූති
-දිගු කාලීන රෝගී තත්වයක් පිලිබඳව වැඩි දුර පරික්ශන සඳහා
-විශේෂිත ප්‍රතිකර්ම සඳහා

මේ ආකාරයට රෝගියෙක් රෝහලට ඇතුලත් කිරීම පෙර සැලසුම් කිරීම කළ හැකියි.

*  සායන පොතේ හෝ වෙනත් ස්ථානයක රෝගියා ඇතුලත් විය යුතු දිනය ,වෙලාව හා වාට්ටුව වයිද්‍යවරුන් සටහන් කරනු ලබනවා.බොහෝ විට එම දිනය අදාල සැත්කම හෝ පරික්ශනයට පෙර දිනයක්. එසේ සිදු කරන්නේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු නැවතත් විවිධ වයිද්‍යවරුන් රෝගියාගේ තත්වය නිගමනය කිරීමට, විවිධ පරික්ශන වාර්තා ලබා ගැනීමට හා යෝජිත ප්‍රතිකර්මයට විශේෂිත සූදානම් කිරීම් සඳහා කාලය අවශ්‍ය නිසා යි.ලබා දුන් නියමි දිනයට හා වේලාවට ප්‍රමාද වීමෙන් ඔබට යෝජිත ප්‍රතිකර්ම මඟ හැරීමට ඉඩ ඇතිවා මෙන්ම තව රෝගියෙක් ගේ අවස්ථා වත්  අහිමි වෙනවා.

*  දිගුකාලීන ඖෂධ භාවිතා කරන රෝගීන් ගේ සමහර ඖෂධ යෝජිත ප්‍රතිකර්මයට පෙර යම් කාලසීමාවක් නැවතීමට,වෙනත් ආදේශක ඖෂධ භාවිතා කිරීමට  ඇතැම් විට උපදෙස් ලැබෙනවා .

තවත් අවස්ථාවක වෙනත් නව ඖෂධ ආරම්භ කිරීමට උපදෙස් ලැබෙනවා.
මෙසේ කරන්නේ ප්‍රතිකාර කාලය තුල විය හැකි සංකූලතාවයන් අවම කිරිමට යි.එනිසා එම උපදෙස් නිසිපරිදි පිලිපැදීම කළ යුතුයි .යම් හෙයකින් එසේ නොකළහොත් යෝජිත ප්‍රතිකාර අවස්ථාවේ ඔබට යම් දරුණු සංකූලතාවයන් ඇති වීමේ අවදානම ක් ඇති නිසා නිසි ඖෂධ භාවිතය මග හැරුණු විටක නොසඟවා ඒ ගැන වයිද්‍යවරුන් හට දැනුම් දිය යුතුයි.

* ඇතුලත් වීමට පැමිනෙන විට යම් පරික්ශන වාර්තා රැගෙන එන ලෙසත් උපදෙස් ලැබෙනවා.එහිදී අදාල පරික්ශන වාර්තා ලබා ගත යුත්තේ කුමන කාල පරාසයක දීද යන්න වයිද්‍යවරුන්ගෙන් විමසා නිසි පරිදි එම වාර්තා ලබා ගත යුතු ය.ඊට අමතරව වැදගත් පරික්ශන වාර්තා ,රෝග විනිශ්චය පත්,සායන සටහන් ආදියද රැගෙන පැමිනිය යුතුයි .
.
*  ඇතැම් අවස්ථාවක නිරාහාරව හෝ ආහාර රටාවේ වෙනසක් සහිත ව ඇතුලත් වීමට උපදෙස් ලැබෙනු ඇති.නිරාහාරව සිටිය යුතු කාලසීමාව නිවැරදි ව කල් තියා විමසා ගැනීම සුදුසු යි.

*  ඇතුලත් වීමේදී හැකිතාක් රෝහල්ගත ව සිටීමට අත්‍යවශ්‍ය දෑ පමණක් රැගෙන ඒම උචිතයි .ආභරණ ආදී වටිනා දෑ නිවසේ ම තබා ඒමත් මිලමුදල් ආදිය රෝහල තුල භාවිතය අවම කිරීමත් මගින් එවන් දෑ අස්ථානගත වුනහොත් ඇතිවන නොපහන් අවස්ථා මග හැරෙනවා.බොහෝ විට රෝගියාට අවශ්‍ය ද්‍රව්‍ය පිලිබඳ ව හෙද නිලදාරියෙකුගෙන් විමසා දැන ගැනීමට පුලුවන .

* ඇතුලත් වීමට දින ලබා දුන් පසු ඇතුලත් වන දින තෙක් කාල පරාසය තුල අදාල රෝගී තත්වයේ වෙනසක් හෝ නව රෝගී තත්ව රෝගියාට ඇති වී තිබෙනවා වෙන්නට පුලුවන්.යෝජිත ප්‍රතිකාර සඳහා මින් බලපෑමක් වීමට යම් ඉඩක් ඇති නිසාවෙන් මේ ගැන ත් වයිද්‍යවරුන් දැනුවත් කළ යුතුයි .

*  හදිසි ලෙඩෙක් රෝහලට ඇතුලත් කරන්නෙ කොහොමද ?

මෙවන් හදිසි ඇතුලත් කිරීම්ද වර්ග කිහිපයකට අයත් විය හැකියි .

1.නිවසේ දී,රැකියා ස්ථානයේදී හෝ මඟ තොටේදී හදිසියේ ඇතිවන අසනීප තත්වයක් හෝ තිබූ අසනීප තත්වයක් උත්සන්න වීම නිසා රෝහලට රැගෙන ඒමක්

2.අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් බාහිර රෝගී අංශය වෙත හෝ පුද්ගලික වයිද්‍ය සේවාවක් වෙත යොමු වූ විට අසනීප තත්වය නේවාසික ව ප්‍රතිකාර කළ යුතු තත්වයක් බව වයිද්‍යවරුන් තීරණය කිරීමක්.

3.දිගු කාලීන ව පවතින අසනීපයක් සඳහා සායනය වෙත පැමිනි අවස්ථාවක රෝගී තත්වයේ වෙනසක් නිසාවෙන් හදිසි ප්‍රතිකාර ඇරඹීමට අවශ්‍ය බව තීරණය වීමක්.

බොහෝ විට මෙවන් ඇතුලත් කිරීම් ප්‍රමාද කිරීම සුදුසු නැහැ.මක් නිසාද යත් ප්‍රතිකාර ඇරඹීමට ප්‍රමාද වීම ඉතා බලවත් සංකූලතාවයන් ඇති කිරීමට හේතු විය හැකි බැවින්.

*  නමුත් බොහෝ අවස්ථාවලදී මෙවන් හදිසි ඇතුලත් කිරීම්වලට රෝගීන් කැමති කරවා ගැනීම සෑහෙන අපහසුයි.

* බොහෝ දුරට ඊට හේතු වන්නේ

-රෝහලට පැමිනි බව නිවසේ සාමාජිකයන් නොදැන සිටීම
-කුඩා දරුවන් රෝගී මව සමග රෝහලට ගෙන ඒම
-කුඩා දරුවන් පාසලේ,පන්තියක හෝ නිවසේ තබා ඒම
-නිවසේ රෝගී හෝ වියපත් පුද්ගලයන්ට රැකවරණය සලසන වගකීම රෝගියා සතු වීම
-රෝගී තත්වයේ අවදානම පිලිගැනීමට ඇති අකමැත්ත

වැනි කාරණා යි.

බොහෝ විට වයිද්‍යවරුන් ඔබට එවේලේම රෝහල් ගත වීම නිර්දේශ කරන්නේ එය ඔබේ යහපැවැත්මට අත්‍යාවශ්‍යම නිසායි.

හදිසි අවස්ථා අප බොහෝ දෙනෙක් අපේක්ෂා නොකරන බව සැබෑයි.

*  නමුත් හදිසි අවස්ථාවක දී අපහසුවට පත් නොවීමට රෝගී ඔබට යම් ක්‍රියාමාර්ග ගත හැකියි.

-   රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට නිවසෙන් නික්මෙද්දී නිවසේ එක් සාමාජිකයෙක් හෝ ඒ පිලිබඳ දැනුවත් කර පැමිණීම සුදුසු යි.
-  හැකිනම් සැමවිටම තවත් වැඩිහිටි සාමාජිකයෙක් සමඟ පැමිනීමත් නුවනැති පියවරක් .

-  යම් හෙයකින් හදිසියේ රෝහල්ගත වීමට සිදු වෙතැයි යන අදහසත් සිතේ තබාගෙන යම් පෙර සූදානමක් සහිතව ප්‍රතිකාර සඳහා යොමු විය හැකි නම් ඉතාමත් යෝග්‍ය යි.

-නිරෝගී කුඩා ළමුන් රෝගී ඔබ සමඟ රෝහලට රැගෙන නොඒම වඩාත් සුදුසු යි.එසේ කළ නොහැකිම අවස්ථාවක හදිසි ඇතුලත් වීමකට සිදු වුවහොත් දරුවා භාර දිය හැකි විශ්වාසවන්ත වැඩිහිටියෙකු කැටුව පැමිනීම සුදුසු යි.

-හදිසි අවස්ථාවක දී බොහෝ විට රෝගියා තමන් පිලිබඳ නිසි තොරතුරු ලබා දීමට අපහසු තත්වයක සිටීම සුලබ සිදුවීමක්.

-සිහිසුන් වීම, වේදනාව,මත් ද්‍රව්‍ය  භාවිතය ආදී හේතු නිසා  නිවැරදි රෝග නිගමනය ඉතා අසීරු වීම සුලබයි .
එවන් අවස්ථාවක රෝගියා රැගෙන එන පිරිස රෝගියාගේ නිවැරදි තොරතුරු සැකෙවින් දන්වා සිටීම ඔහුට හෝ ඇයට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා ඉක්මණින් යොමු වීමට උපකාර වෙනවා.

-මීට අමතරව රෝගියා ගේ මින් පෙර ප්‍රතිකාර ගත් රෝග ඉතිහාසය ,ශල්‍යකර්ම  හා ආසාත්මිකතා  පිලිබඳ තොරතුරු ත් ඉතා වැදගත්.

-මේ නිසා විශේශයෙන්ම වියපත්  පුද්ගලයන් ,දිගු කාලීන රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් භාරයේ ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ,භාරකරුවන් ගේ දුරකතන අංකයක්,ප්‍රතිකාර ගනු ලබන රෝග හා ඖෂධ වර්ග,අසාත්මිකතා ගැන ලිඛිත සටහනක් තිබීම ඉතා ප්‍රයෝජනවත් .

* ලෙඩාගේ තනියට එන අයට උප දෙස්

හදිසි ඇතුලත් වීම් විශේෂයෙන් ම රිය අනතුරු වැනි අවස්ථාවල එක් වරම කලින් නිරෝගී ව පුද්ගලයන් අනපේක්ෂිතව හදිසියේ රෝගී වීම සිදු වෙනවා.

බොහෝ විට මෙවන් අවස්ථවලදී රෝගියාගේ පවුලේ නෑ හිතවතුන් බොහෝ දෙනෙක් රෝහලට එක් රොක් වීමත්,රෝගියා ඇතුලත් කළ වාට්ටුව ඇතුල් වීමට උත්සාහ කිරීමත් සිදු වෙනවා.මෙයින් බොහෝ විට රෝගියාට සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්.එවන් අවස්ථාවලදී රෝහලේ සාමාන්‍ය කටයුතුවලට බාධා සිදුවීම,බාහිර පිරිස් හා රෝහල් කාර්‍ය මණ්ඩලය අතර ඝට්ටනයක් ඇති වීම පවා සිදු විය හැකියි .

එනිසා හදිසි ඇතුලත් කිරීමක දී එවන් රෝහලේ එදිනෙදා කටයුතුවලට බාධා වෙන හැසිරීමෙන් වැලකීම සියලු රෝගීන් වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු යුතුකමක්.