Sunday, April 26, 2020

දෙන්නා දෙපැත්තේ

#ඉගිලෙනකතා

බස් එකෙන් බහින තැන මට අමතක වුනා.
මං හිටියේ වෙනමම ලෝකෙක.
"ඔය රබර් කඩේ ළඟ බහිනවා කිව්වා නේද?
ඉක්මණට බහින්න"
කොන්දොස්තර බෙරිහන් දුන්න හැටියට ඊට කලින් දෙතුන්වතාවක් ම ඉස්සරහ හෝල්ට් එක මතක් කරන්න ඇති.
උන්දැගෙ ගෝරණාඩුව එක්ක මං ආයෙ මේ ලෝකෙට කඩා වැටුණා.
"බහිමු."
මගේ එහා පැත්තෙ එයා ඉන්න ඇත්තෙත් වෙන කොහේ හරි ලෝකෙක.
තිගැස්සිලා මේලෝකෙට ආපු හැටි දැකලා මට එහෙම හිතුනා.
රබර් කඩේ ගාවින්ගුරු පාර දිගේ ටික දුරක් යන්න තියෙනවා අපේ ගෙදරට.
බිම් කරුවල වැටීගෙන එන වෙලාවෙ ‍රබර් කඩේ ඉස්සරහ කන්පට ගගහ උන්නු නාටු බල්ලෙක් ඇරුණම පාරෙ වෙන කවුරුත් හිටියෙ නෑ.
ඒත් මං ඉක්මන් අඩියට පෑහෙන එයාට බෑ.
එයා ආවෙ මට අඩි තුන හතරක් පිටිපස්සෙට.
පාරෙ කවුරු හරි හිටියත් සමහරවිට හිතයි අපි දෙන්නා එක්කෙනෙක්ට එක්කෙනෙක් අඳුරන්නෙ නැති දෙන්නෙක් කියලා.
ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් මං ආපහු හැරිලා එයා එනකන් බලන් හිටියා.
මං බලන් ඉන්න බව දැක්ක හින්දා එයා ඇවිදිල්ලකුත් නොවෙන දිවිල්ලකුත් නොවෙන අතරමැද්දකට අඩිය ඉක්මන් කළා.
එයාගෙ අතින් අල්ලගෙන මං ගේට්ටුව අරිනවා.
ඉස්සරහට අඩියක් තියනවද එහෙමත් නැතිනම් ආපහු හැරිලා යන්න ඊළඟ බස් එක අල්ලන්න යනවද කියලා මගේ හිත ඇතුලේ මහා යුද්ධයක් වෙන බව නොදැන මං අඩියක් තියෙන කං එයා බලන් උන්නා.
.....................
ගේට්ටුව ළඟින් පටන් ගත්තු වැලි පාර කෙළවර වෙන්නේ අඹ ගස් අස්සෙන් යාන්තමට පේන ගෙදර ළඟින්.ඒ ගෙදර උන්නේ අපේ අම්මා තරමටම මට ආදරේ කරපු ඇත්ති.
අවුරුදු ගාණක් තිස්සේ මගෙන් එක වචන මාත්‍රයක ආදරේක සැලකිල්ලක බලාපොරොත්තුවක් ලැබුණේ නැතත් වචනෙකින් තියා හීනෙකින්වත් ඒ ගැන ආඩපාලි නොකියාම මට ආදරේ කරපු ඇත්ති.
මං කොයිතරම් නං බල කෙරුවත් මගෙන් තොර ජීවිතයක්, මගෙන් තොර ලෝකයක් ගැන හිතන්නටවත් අකමැති ඇත්ති.
මං තරම් හොඳ පිරිමි පරාණයක් මේ සක්වල ගලේ කොහේවත්ම නෑය කියලා තුන්හිතින්ම හිතා ගෙන උන්න ඇත්ති.
ඔවු.ඒ ගෙදර උන්නෙ උන්දැ.
................
එතකොට මගෙ අතේ එල්ලිලා උන්නෙ.
ඒ උන්දෑ තරමටම මට ආදරේ කරපු තවත් ඇත්තියෙක්.
උන්දැත් හිතන් උන්නේ මං උන්දැගේ විතරමය කියලා.
මං තමාය උන්දැගේ නළලේ මහබඹා කොටාපු එකා කියලා.
මං ලෝකේ ඉන්න හොඳම මිනිහා නොවෙන විත්තිය නම් උන්දැ දැනං හිටියා.
මොකද උන්දැගේ ආදරේ ඔට්ටුවට තියලා මං කරපු සෙල්ලම ඉවර වුනේ ඒ ආදරේ හරි සෙල්ලම හරි කවදාවත් අමතක නොවෙන විදිහේ පණ ගැහෙන මතක සටහනක් උන්දැගේ සරීරේ ඇතුලක හංගලා.
මේ වෙද්දි හැංගිමුත්තං කරකර හිටිය මතක සටහන උන්දැගෙ සරීර කූඩුව එළියට පේන්න වෙනස් කරන්න පටන් අරං අහවරයි.
ඔව් මං ලෝකේ ඉන්න හොඳම මිනිහා නෙවෙයි.
ආදර සෙල්ලං කරලා සමරු සටහන් තියලා ගියාට මේ ඇත්ති මට ආදරේ කරන තරමින් දහයෙන් එකකවත් මං උන්දැට ආදරේද කියලාවත් මම දන්නෙ නෑ.
ඒත් මං මේ ලෝකෙ ඉන්න නරකම මිනිහා නෙවෙයි කියලා මට විශ්වාසයි.ඉතින් මට සමහරු සටහන කකුළට පාගලා පොඩි කරලා අමතක කරන්නවත් මේ ඇත්තිව සමහරු සටහන එක්කම හිතෙන් දොට්ට වීසි කරන්නවත් හිත දෙන්නෙම නෑ.
ඒත් අඩුම තරමේ මේ ඇත්තිට ඉහට හෙවණක් හදන්න ගෙන්දගම් පොළවේ මගේය කියලා බිම් අඟලක්වත් තිබුන මිනිහෙක් නෙවෙයි මම.එදා දවසෙ හම්බුන අතේ ඉතුරුවුණ ගානක් මිසක පවුලක් නඩත්තු කරන්න හයියක් තිබිලත් නෙවෙයි මං මගුල් නටන්න ගියේ.
වැලි පාර පටන්ගන්න තැන ගේට්ටුව ළඟට මං ආවෙ ඔන්න ඔය ගිනි විජ්ජුම්බරවල අවසාන ප්‍රතිඵලේ විදිහට.
.................
ඔව්.මම මහා ආත්මාර්ථකාමී මිනිහෙක් තමයි.
ගෙදර දොරට තට්ටු කරන ගමන් මං කල්පනා කරනවා.
මේ උන්දෑ ඇස් ලොකු කරගෙන මගේ පිටිපස්සෙ හැංගෙනවා.
"කවුදෝ................................"
කුස්සිය දිහාවෙන් ඇහෙන්නේ ඒ ඇත්තිගේ කටහඬ.
"මේ මම...."
දඩිබිඩියේ කඩිමුඩියේ උන්දැ දුවගෙන එන සද්දෙ මට ඇහෙනවා.
දොර අරින්න කලියෙන් උන්දැගෙ ආදරේ පිරිච්ච මූණ මට මැවිලා පේනවා.
ඔවු .තව තප්පර දෙකතුනක් යද්දි ඒ මූනෙ හිනාව කඩා වැටිලා නැත්තටම නැති වෙලා යයි.
දොර ඇරිලා ඒ ඇත්ති අර කිවු ආදර මූණෙන්ම එබෙනවා.
"හත් දෙයියනේ...මේ හැබෑටමද?"
කපාපු නැති රැවුල් කොට ඇනෙන මගේ මූණ අත් දෙකෙන්ම අල්ලාගෙන උන්දැ කඳුළු කැට වගුරනවා.
..............
මගේ පිටිපස්සෙ ඉඳලා අරුන්දෑ එබෙන්නේ ඔය වෙලාවට.
අර ඇත්තිගේ මූණ වෙනස් වෙන හැටි මට හොඳහැටි පේනවා.
පුදුමෙන් ලොකු වෙච්ච ඇස් ගෙඩි මගේ පිටිපස්සෙ ඉන්නා බවලතීගේ හිස්මුදුනේ ඉඳන් රූටාගෙන පහළට ගිහින් බෝල ගැහුණ බඩගෙඩිය ළඟ නැවතිලා පීරිසි කෝප්ප සයිස් වෙන හැටි.
"මේ ....?"
"මේ නාලනී.."
"මේ....."
" නාලනීගේ බඩේ ළමයෙක්.මගේ ළමයෙක්"
මං කොච්චර ආත්මාර්ථකාමී මනුස්සයෙක් ද කියලා මට ආයෙමත් හිතෙන්නේ පොල්ලෙන් ගහන්නා වගේ ඒ ටික කියලා දාද්දි.
මං එතන නොඉන්න ගානට ඒ ඇත්තියි මේ ඇත්තියි දෙන්නට දෙන්නා දිහා බලාගෙන ඇස් දෙකෙන් යුද්ධ කරනවා.
මගේ පිටිපස්සෙ එන්න උන්දෑගෙ ඇහේ කඳුළු කැට පොරකනවා.
ඉස්සරහ ඉන්න උන්දැගෙ පීරිසි සයිස් ඇස් ආයෙම පොඩි වෙලා ඒවත් යන්තමට දිලිහෙන ගන්නවා.
"අනේ මන්දා උඹට නම් හොඳටම පිස්සු.අවුරුදු ගාණක් අතුරුදහන් වුණා.අඩුම ගානේ උන්නද මලාද කියලා ආරංචියක් වත් නෑ මට.දැන් මේ ගොම්මනේ කඩා පාත් වෙනවා බඩදරු අම්මෙකුත් එක්ක."
"අඩුම ගානේ මේ ළමයා වාහනේක එක්කගෙන එන්න තිබ්බෙ නැද්ද ?පේන්නැද්ද මේ ළමයගෙ හොඳ පණ ගිහින්."
ආදර සටහන උස්සාගෙන ආ ඇත්තීගේ ගමන් මල්ල අතට ගන්න ලොකු අක්කා ගෙට යන්න හැරෙන්නෙ උන්දැවත් එක්කගෙනමයි.
"යං නංගියෙ ගෙට.මේ යෝධයා ඔහොම්මම තමයි.හිත හොඳ උනාට කළදක්වත් මොළේ නෑ."
අවුරුදු පහකට කලියෙන් ගෙදරින් තරහ වෙලා ගිය ඉලන්දාරියා මිදුලේ ම ඉන්දැද්දී මමත් ඒ දෙන්නා පිටිපස්සෙන් මහගෙදරට ගොඩ වෙනවා.
ඉගිලෙන ලියමන්
2020.04.22
මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් එහෙම කිව්වම මගේ හිත දෙකට මැද්දෙන් තනි අකුණක් කෙටුවා.
ඊට ටික වෙලාවකට කලියෙන් මගේ අතේ ඇඟිලි පහේම පාර හිටපු කම්මුලත් අල්ලගෙන අනුත්තරා මගේ දිහා බලන් හිටියා.
අනුත්තරා ඇඬුවෙ නෑ....
........................
කමල්ව දැක්ක දවසෙමයි මං හිතුවෙ කවදාහරි කසාද බඳිනවනම් බඳින්නෙ කමල්ව විතරමයි කියලා.
කමල් ඇරපු අතක් නෑ අමිතාබ් බච්චන් තරුණ කාලෙ වගේ.
අමිතාබ් බච්චන්ට මං පිස්සු වැටිලා උන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්මයි.
ඒ කාලේ ටීවි එකේ ඉඳහිට යනවා අර අභිමාන් ෆිල්ම් එකේ තෙරේ මේරේ සින්දුව.ජයා බහදූරිව වත්තන් කරගෙන අමිතාබ් සින්දුව කියද්දි මං ජයා බහදූරිව සීන් එකෙන් කපලා අයින් කරලා එතනින් මනේකා ගජනායකව අලවගන්නවා.
මං තමයි මනේකා ගජනායක.ගජනායක වලව්වේ එකම දරුවා නිසා මට මේ වෙනකන් කිසිම දෙයකින් අඩුපාඩුවක් වෙන්න අප්පච්චිලා ඉඩ තිබ්බෙ නෑ.
මට උරුම වෙලා තිබුනෙ අපේ අම්මගේ හැඩරුව.අපේ අම්මා ඉතින් අඹාපු ඉටිරූපයක් වගේ කියලා තමා අප්පච්චි විහිලු කළේ.
ඉස්කෝලෙ යනකාලෙ ඉඳලම මගේ ලස්සනට වහවැටිලා පස්සෙන් වැටුන කොල්ලො ගාන මට මතකත් නෑ.
ඒත් පරම්පරාවෙ නම්බුව ගැන අප්පච්චියි අම්මයි නිතරෝම මතුරපුවා මොළේ කොයිතරම් තදින් ඇලිලා තිබුනද කියනවනම් මට ඒ එක හාදයෙක් ගැන වත් විශේෂ මොකවත් හිතුනෙ නෑ.
සමහර විට ඒ එක හාදයෙකුටවත් අමිතාබ් බච්චන් පාටක් පැත්තකින්වත් නොතිබ්බ නිසා වෙන්නත් බැරි නෑ.
උසස් පෙළ කරනවට අප්පච්චිගෙ අකමැත්තක් නොතිබ්බත් කැම්පස් යනවට නං කොහොමටවත් කැමැත්තක් තිබුනෙ නෑ.ඒත් ඉතින් අඬලා වැලපිලා මං නතර වුනේ කැම්පස් ගිහින්.
කැම්පස් එකේදිත් ඔය සෙතේමයි.අපේ ෆැකල්ටි එකේ විතරක් නෙවෙයි අනිත් ෆැකල්ටිවලත් අනේකවිධ කුමාරයන්ට මං ගැන පිළිබඳ සිත් පහළ වුනාට ඒ එක හිතකවත් මට නවතින්න ඉඩක් මං දැක්කෙ නෑ.
ගෙදර ළඟම ඉස්කෝලෙ සිංහල ගුරුතුමී වෙලා එන්න ලැබුනේ උපාධිය නිසා වගේම අප්පච්චිගේ ඇඳුණුම්කම් නිසාත් තමයි.
කළවයස හරි හින්දා කපු මහත්තයා ගෙවල් පැත්තෙ කැරකෙන්න අරන් අවුරුද්දකටත් වැඩි වුනත් මේ වෙද්දි උන්දැගෙ නම් හොඳ පණගිහින් වෙන්න ඇති.මොකද උන්දැ හොයන් එන හැම මනමාලයගෙම මට පෙනුනෙ එක එක ඇදකුද.
"ඔයාගෙ මොකක් හරි පලහිලව්වක් තියෙනවනං කියන්න දෝණි."මාසෙකට විතර උඩදි අම්මා එහෙම කිව්වෙ මං ගෙදරම නවතීවි කියන බයටද මන්දා.
.....................
කමල් හා හා පුරා කියලා ඉස්කෝලෙට පය තිබ්බේ හරියටම ඒ කතාවට දවස් තුනකට පස්සෙන් පහු.
දණ්ඩක් වගේ උස, පැත්තට පීරපු කොණ්ඩෙ, හමේ පාර විතරක් නෙවෙයි බරසාර කටහඬ ඔය ඔක්කොටම සටසට ගාලා මගේ අමිතාබ් මීටරේ ලකුණු වැටුණා.
කමල්ගෙයි මගෙයි ජීවිත සෑහෙන ගැලපෙන බව මං වටින් ගොඩින් හොයාගත්තෙ අලුත්ම කාර් එකකින් ඇවිදින් ඉස්කෝලෙ මිදුලෙ බැහැපු අමිතාබ් ජීට වහ වැටිලා දවසක් දෙකක් යද්දි.
මං වගේම කමල් පවුලේ එකම දරුවා.කුරුණෑගල පැත්තෙ වලවුකාර නොවුනත් හොඳ වැදගත් පවුලක පිරිමි දරුවා.
මට වගේම කමල්ටත් රස්සාවක් කරලා කන්න අඳින්න හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් මං වගේම කමල්ටත් රස්සාවක් කරන්න තිබුන උවමනාව හින්දා තමා අපි එක ඉස්කෝලෙක මුණ ගැහෙන්නේ.
කමල් ආවෙ සංගීතෙ උගන්නන්න.කොහොමත් සිංහලයි සංගීතෙයිත් එකට ගැලපෙනවනේ.
පොඩි පරහකට තිබුනේ කමල් කතාවට අල්ලගන්න සෑහෙන අමාරු එක.මොනවා කරන්නද පිරිමි බහුතරයක් උපන්ගෙයි බිම් බස්සෝ නෙව.
අම්මා ලව්වා අප්පච්චිට කතා කරලා කපු මහත්තයා කුරුනෑගල යවන්න ඕනෙ.ගුරු කාමරේ පැත්තට යද්දි මං හිත හිතා උන්නෙ එහෙම.
ගුරු කාමරේ ඒ වෙලාවෙ උන්නෙ අනුත්තරායි කමලුයි.කමල් අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියද අනුත්තරා කමල්ගෙ අත අල්ලන් හිටියද මන්දා.කොහොමහරි ඒ දෙන්නාගෙ අත් ගුරු කාමරේ මේසෙ උඩ බොහොම හුරුපුරුදු ලතාවට පැටළිලා තිබුණා.
උන් හිටි තැන් අමතක වෙලා මම බෙරිහන් දුන්නු හැටියට ලොකු සර්ටත් ඇහෙන්න ඇති.
"දෙයිහාමුදුරුවනේ මේක ඉස්කෝලයක් නේද?
ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ගෑනියේ මේ මහ දවාලෙ මෙතන ජවුසං නටන්නේ."
කමල්ගෙ අතින් ගලවලා ඇදලා ගත්ත අනුත්තරාගෙ කම්මුල හරහා මහා සද්දෙට මගේ අත අතෑරලාත් තව මොනවාහරි කුඩුපට්ටම් කරන්නයි මගේ හිත කිව්වෙ.
........................
අනුත්තරා එකේ පන්තියෙ ඉඳලා අවුරුදු දහතුනක්ම හිටියෙ මගේ පන්තියේ.
අනුත්තරාගෙ අම්මත් අපේ අම්මා වගේම හැඩකාරයි.ඒත් අනුත්තරාට ඇවිත් තිබුනෙ එයාගෙ තාත්තගෙ පරම්පරාවෙ හැඩරුව.
එකේ පන්තියෙදි මට මතක කළු කොට මහත කිසිම හුරතලයක් නොපෙනෙන කෙල්ලෙක්ව.
ඒ මදිවට ඉස්සරහ දත් බොල්ලෑව අනුත්තරාගෙ පෙනුම තවත් අජූව කළා.
අනුත්තරා කියන නම වෙනුවට "බතලි" කියන නම අනුත්තරාට පට බැන්දෙත් එකේ දෙකේ පන්තියෙදි මමද මන්දා.
ඒ කොහොම හරි එදා හිටන් ඉස්කෝලෙන් පිට වෙනකන්ම අනුත්තරාගෙ අංගපුලාව ලස්සන ඉස්කෝල මතකවල කැතට ඇලිලා හිටියා.නැටුම් පීරියඩ් එකේදි ඇරුණම අනිත් හැම වෙලාවකම අනුත්තරා පන්තියේ මුල්ලකට වෙලා මුලුගැන්නිලා ඔහේ හිටිය බව මතකයි.
හැමදාම පන්තියේ කොලු රෑනට වගේම කෙල්ලන්ටත් බයිට් එකට අහු වුනේ අනුත්තරාව.බතලි, කොතල බටේ වගේ එක එක නම් පට බැඳෙද්දි අනුත්තරා හැමදාම කළේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ඉවසගෙන හිටපු එක.පන්ති ටීචරුත් නිකං එපා වාහෙට හොදි බෙදන්නැහේ කොල්ලෙක්ට පිටට පාරක් දුන්නට උන්දැගේ හිතෙත් අනුත්තරා ගැන මහ ලොකු ආදරයක් උනන්න නැතුව ඇති.
මට අනුත්තරාව පෙන්නන්න බැරි වුනේ උන්දැගෙ පෙනුම හින්දද හැම දේම දරාගෙන ඔහේ ගහක් ගලක් වගේ ඉවසගෙන හිටි නිසාද මන්දා.
ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ අනුත්තරා මගේ මතකෙන් එළියට වීසි වෙනවා.කැම්පස් යන්න ලකුණු මදි වුනාට අනුත්තරා ගුරු විද්‍යාලෙට ගිය විත්තිය මගෙ කනේ තියන්නෙ අම්මද මන්දා.
කොහොමින් කොහොමහරි මං එන්න ටික කාලෙකට කලියෙන් අනුත්තරා ආයෙ ඉස්කෝලෙට එන්නෙ නැටුම් උගන්නන්න.
ඉස්සර වගේම තාමත් අනුත්තරා වස කැතයි.එකම වෙනස සුදු ගවුම වෙනුවට අනුත්තරා සාරියක් ඇඳපු එක.
ළමයි වගේම ස්ටාෆ් එකේ උදවියත් තමන් අනිත් පැත්ත හැරෙනකන් ඉඳලා හිනාවෙන විත්තිය අනුත්තරා දන්න හින්දා වෙන්න ඇති ෆ්‍රී පීරියඩ්වලත් නැටුම් කාමරේම වැඩි හරියක් හිටියේ.
ඉස්සර හාවා හඳ ගුරු කාමරේට ආපු අනුත්තරා පහු ගිය කාලෙ ඒ සිරිත වෙනස් කළා නේද කියලා මට කල්පනා වෙන්නෙ දැන්.
අනෙක සංගීත කාමරේ නැටුම් කාමරේට එහා පැත්තේ.
පහු ගිය සති දෙක තුනේම කමල් වෙනදා තරම් ගුරු කාමරේ පේන්න නොහිටිය විත්තියත් මතක් වෙන්නෙ ඔය අස්සේ.
අම්මපා මේකිට වෙන අල්ලගන්න මිනිහෙක් හිටියෙම නැද්ද?
මං තරහේ පුපුරණවා.
කමල් එක්ක මං කසාදයක් ගැන කතා කරලා නෑ තමයි.ඒත් කමල්ට මට අකමැති වෙන්න හේතුවක් නෑනේ.

............
කල්ප කාලාන්තරයක් ගතවුණා වගේ මට දැනුනට තාම තත්පර දෙක තුනකට වඩා ගෙවෙන්න නැතුව ඇති.
"මොකද මනේකා මේ?"
කමල් අහන්නේ කලබලයක් නැතුවම.
"මොකද අහන්නේ කමල්?
මේ මහ දවාලෙ ගුරු කාමරේ අත් අල්ලගෙන.මේ මොන විගඩමක්ද කියලා මමයි අහන්න ඕනේ"
මගේ ඇස්වලින් අනුත්තරා ගිනි තියන්න පුළුවන් නම් මේ වෙද්දි ඒක වෙලා.
"මනුස්සයෙක් තව මනුස්සයෙක්හෙ අතින් අල්ලගෙන ඉන්නවා කියන එකේ මොකද්ද මනේකා තියෙන ගැටලුව?
අපි දෙන්නා මෙතන වෙන මුකුත් කළේ නෑ නේද?
ඉතින් ඇයි මනේකා කලබල වෙන්නෙ?"
"කලබල වෙන්නෙ?
කමල් බැඳලද?
මේ ගෑණිට මිනිහෙක් ඉන්නවද?
මේ අත් අල්ලගෙන කිරිකිරි බෝල නැටිලි කොහෙන් කෙළවර වෙයිද? ඉස්කෝලෙ නමත් නරක් කරලයි මේවා නවතින්නේ."
මගේ ඇස් වලින් දුම් පිටවෙනවා ඇති ඇත්තටම.
"අහ් මනේකා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ.අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියට එහා දෙයක් මම කළේ නෑ.
කොහොමත් මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් මගෙ ඔලුව උඩට ඒ ගිණිගෙඩිය අත ඇරියෙ ඒ වෙලාවෙ.
"කසාද බඳින්න?
මේ අනුත්තරා ව?
ඔයාටත් සදහටම මේක වගේ ලෝකෙට විහිළුවක් වෙන්නද ඕනෙ ?"
කමල් සාමාන්‍යයෙන් විහිළු කරන හාදයෙක් නෙවෙයි.ඒත් මේ මොන විකාරයක් ද?
"ඔව්,ඔයා වගේ පිටින් බලලා මිනිස්සු මනින උදවියට අනුත්තරා හැමදාම විහිලුවක් වෙයි.
අපි දෙන්නා කසාද බඳින එක ඊටත් වඩා විහිළුවක් වෙයි.අනුත්තරාටවත් මටවත් ඒ විහිලු නුපුරුදු දේවලුත් නෙවෙයි.
හැබැයි ඒක මටවත් අනුත්තරාටවත් කොහොමටවත් ගැටලුවක් වෙන්නෙ නෑ මනේකා.
ඉතින් අහක ඉන්න ඔයා ඒක ගැටලුවක් කරගන්නත් එපා."
කමල් පුටුවෙන් නැගිටලා තුනට නවලා තිබුන එයාගෙ සුදු සැරයටිය දිග ඇර ගත්තා.
"අපි යමු අනුත්තරා"
මගේ අමිතාබ් එක්ක අනුත්තරා යන්න යද්දි ගුරු කාමරේ තනි වෙච්ච මගේ ගින්දර උඩින් ඇස් දෙකේ කඳුළු පිටාර ගැලුවා.
ඉගිලෙන ලියමන්
2020.04.25

කොරෝනා

කොරෝනාව නිසා ගෙදරට හිර වී මාසයක් හිටි නිසාවෙන් අපේ ගෙදර උන්දැලාගේ මානසික සෞඛ්‍යය මේ දවස්වල තියෙන්නේ සෘණ දිහාවේත් අගිස්සේය.කොයි වෙලාවේත් හැම එකාටම හොස්ස ළඟින් මැස්සා යන්නට බෑය.
ළඟින් ගියොත් ඇහැක් නෑ ය.ශත වර්ෂ ගානක් පැරණි යට ගිය හූනු බිජ්ජක් තරමේ කෝන්තර ගොඩ දමාගෙන කර තියාගෙන ය.
එක්ස්පයරි ඩේට් එක හොයාගන්නටත් බැරි තරම් පරණ කොත්තු මී එකක් කෑ අයියාට බඩේ ගායක් හැදෙන්නේ මේ අවු අස්සේය.
පශ්චාත් බාගයට අත තියාගෙන උන්දෑ නාන කාමරයට දුවද්දී අක්කා ඒක ඇතුලේ ය.කොරෝනා නෙවෙයි ලෝක විනාශය ආවත් අක්කා නාන කාමරයට වැදුනානම් වරුවකට එළියට ගන්නවා බොරු ය.ඉතින් මේ දැන් වාන් දාන්නට වලිකන දොරටුව පශ්චාත් භාගයෙන්ම තෙරපාගෙන අයියා දුවන්නේ ගෙයින් එළියේ පිහිටි ඉඳහිට ආච්චිඅම්මාත් මමත් විතරක් පාවිච්චි කරනා වැසිකිළියට ය.
පළාතම සුගන්ධවත් කරමින් අදාල කර්තව්‍යය සාර්ථකව නිමකළ අයියාට ඊළඟට මුහුණ දෙන්නට වෙන්නේ ඊට හපන් අකරතැබ්බයකටය.
පශ්චාත් භාගය පිරිසුදු කරගන්නට වතුර ගන්නට භාජනයක් වැසිකිළියේ නෑ ය.
භාජනයක් ඉල්ලා උන්දෑ කිහිපවතාවක් මොර දුන්නත් වොයිස් ඔෆ් ටීන් අහමින් ඒ තාලයට කුස්සියේ උයමින් හිටි අම්මාට ඒක ඇහෙන්නේ නෑ ය..ආච්චි අම්මා කොහොමත් බීරි ය.තාත්තාගේ කන් ඇහෙන්නේ වාසියට විතරය කියා මේ දවස්වල රේඩියෝවෙත් කියනා බව අම්මා ගේ මතය ය.
කොරෝනා නිසා මොකෙක්වත් ගෙදරට නාවත් අල්ලපු ගෙදර කුස්සිය පැත්තෙන් කරුමෙට වත් අයියාගේ බැල්මට් එකට අහුවෙන නඟා එළියට ආවොතින් කියනා අවදානම නිසාවෙන් හෝදා නොගත් පශ්චාත් භාගය සමඟ අයියාට එළියට බහින්නත් බැරි ය.
"අම්මේ ......තාත්තේ.. කවුරුත් නැද්දෝ....කන් බීරි වෙලාද මන්දා මේ ගෙදර එවුන්ගේ...යකුනේ...බාල්දියක් ගෙනත් දියවු කවුරුහරි ...."
දොර කැඩෙන්නට තරම් හයියෙන් දොරට තඩිබාමින් අයියා පැය කාලක් පමණ බෙරිහන් දෙද්දී එළවලු ලොරියක් පාරෙ යනවාදැයි බලන්නට එළියට බහින අම්මාට යාන්තම් මේ සද්දේ කන වැටෙනවා ය.
දැන් අම්මාත් තාත්තාත් වෙනින් වැඩක් නැති ආච්චීත් නහයවල් මිරිකාගෙන වැසිකිළිය ඉස්සරහ මිදුලේ ය.
"ඕක අස්සෙ රිංගද්දි වතුර ගන්න භාජනයක් තියෙද බලලා යන්න දන්නෙ නැද්ද?"
වතුර නැතුව ඉන්න මිනිහාට තාත්තා අනින්න යනවා ය.
"අපොයි ඔව්.මං මේ ඇතුලට යන්න කලින් නැකතකුත් බලලා යන්න හිටියේ.ඇයි යකෝ වෙනදට මේක ඇතුලේ බාල්දියක් තිබ්බෙ.මං දන්නවද බාල්දිය මොකෙක් හරි උස්සලා විත්තිය?"
වහපු දොරක් පිටිපස්සේ ඉන්න වෙලාවට අපේ අයියාත් හරිම චන්ඩියෙක් ය.
"අම්මේ....කෝ මේකෙ තිබ්බ බාල්දිය?"
කන් ඇහෙනවා හොර ආච්චිගෙන් අම්මා ඇහුව සද්දෙට එහා ගෙදර විමලාවතී නැන්දාත් වැටෙන් එබෙනවා ය.
"මොකෝ නංගි...?"
" නෑ මේ බාල්දියක් නැති වෙලා"
"මං දැක්කා සුවිනීතා කෙලී ඊයෙ තැඹිලිපාට බාල්දියකට පස් පුරවන් මේ පැත්තට ගේනවා.."
බීබීසී එකේ දිගු දුර මෙහෙයුම් අංශේ වැඩ කරන ඒ නැන්දාට පින්සිද්ධ වෙන්න බාල්දියට වෙච්ච දේ හොයා ගනිද්දි නහය කඩාගෙන යන ශැම්පු, පවුඩර් සෙන්ට් කුණාටුවක් මැද්දෙන් නාන කාමරයේ සිටි අක්කාත් සභාවට සැපත් වෙනවා ය.
"හා හා...ඒ බාල්දියට අත තියන්නෙ එහෙම නෑ.මම ඒකෙ අප්‍රිකානු බෝංචි ඇට වගයක් හිටෙව්වා."
උන්දෑ ගස්සාගෙන ආයෙමත් ගෙට යනවා ය.
ඇඳිරිනීතිය අස්සේ සූර ගෙවිලිය තරඟෙට යන්න හිතාගෙන ඉන්නා අක්කා මේ වෙද්දී කන්න ගෙනා කරවල කූරියාත් මිදුල මැද හිටවලා හමාර ය.මිදුලේ ඉඩකඩ අහවර නිසාවෙන් අහුවෙන හැම හට්ටියකම මුට්ටියකම බාල්දියකම උන්දෑ ඇට හිටවන්නට අරගෙන දැන් දවස් තුන හතරක් ය.
"මෙතන උඩ බලාගෙන ඉන්නෙ.අර කොලුවට බාල්දියක් ගෙනත් දෙනවකෝ."
තාත්තාගේ ගෝරනාඩුව අම්මාටය.
"හුහ්...ඒ මොකටද මං ගෙනත් දෙන්නේ?
ඇයි මතක නැද්ද ඊයෙ හැන්දෑවෙ ඔහේ කිව්වෙ ඔහේ තමයිය මේ ගෙදර වැඩිම හරියක් කරන්නෙ.ඔහේ නොහිටියනං කොරයි ඇඳිරිනීතිය අස්සෙ කියලා."
ඊයෙ හැන්දෑවේ නොව මීට අවුරුදු විසි අටකට කලියෙන් අඟහරුවාදා හවසක තාත්තා ගෙනා සීනි කුරක්කමක සීනි දියවී තිබිල්ලත් හොඳහැටි මතක අම්මාට ඊයෙ හවස තාත්තා කළ අරියාදුවට වාඩුව ගන්නට මේ කදිම වෙලාවය.
"ඔව් කිව්වා තමයි.මං කිව්වෙ කඩේ යන, බඩු ගේන, ගෑස් ගෙන වැඩ වගේ අත්‍යාවශ්‍ය වැඩ.මේ ලැට් එකට වතුර බාල්දියක් තියන එක වගේ පොඩි වැඩ නෙවෙයි.මං නොහිටියනං කොරයි මේං කියලා."
විමලාවතී නැන්දා තාමත් වැට ළඟ නිසාවෙන් තාත්තාගේ පුරුෂ දහිරියත් අතාරින්නේ නෑ ය.
"කොරයි මගෙ කට.අනේ මේ ඔහේ ගෙදර නොහිටිය දවස්වල අපි කඩේ ගිහින් බඩු ගෙනත් නැද්ද?හරි අමාරු වැඩක් නෙ කරලා තියෙන්නෙ.අනික මේ පාරවල්වල බලු බල්ලෙක් නැති කාලෙ ගෙදර ගාවට ගෙනත් දෙන බඩු ටික ගෙට ගන්න එක මහ දෙයක් යැ"
අම්මා පසු බහින්නේ නැති ය.
"මහ දෙයක් නේන්නං.මොනවා හරි එක බඩුවක් නැතිනං මෙතන හැච හැච ගාන්න ගන්න හැටි අපි දන්නෙ නැද්ද?
මහ දෙයක් නෙවෙයිනං ඉතින් ඔහේට තිබ්බනේ ඒවත් කරන්න ?"
තාත්තාද අතාරින්නේම නෑ ය.
"මං මොකටද කරන්නේ ඇයි ඔහේ මද්දුම බන්ඩාර වෙලා පැනලා බාරගත්තේ කොරන්න?
අනික මොකෝ මං මේ ගෙදර නිකං බලාගෙන හිටියද පහු ගිය දවස්වල?"
"දෙයියනේ ඕක නවත්තලා බාල්දියක් ගේන්න බැරිද කාටහරි?"
අයියා තාම සිහිසුන් වෙලා නැති පාට ය.
"උඹ වහගනින් කට.බොලාගෙත් කටවල් පණගහන්නේ මේ වෙලාවට තමා. එක දවසක් බාල්දියක් නැති වුනා කියලා දැන් උඹ මැරෙයිද?
දැන් උඹ පහු ගිය මාසෙම අර කාමරේට වෙලා කොම්පියුටරේට විරිත්තගෙන ඉන්දැද්දි කන්න බත් තම්බල දුන්නෙ වෙන කවුරුහරි ද?
මේ කොරෝනාවෙක් ගහලා මැරෙයි කියලා බයේ ඉන්දැද්දි කොත්තමල්ලි තම්බලා දුන්නෙ, එතකොට වත්ත වටේම ගස්කොලංවල කොළ කඩලා දාලා දුංහට්ටි අල්ලන්න දුන්නේ වෙන කවුරුහරි ද?
උඹලාවගේ ගුණමකු ජාතියකට නැහීගෙන කරලා මෙව්වා අහගන මදි මට."
ඒ පාර අම්මා මිදුලට මැද හොටු හූර හූරා අඬනවාය.
"කන්න බොන්න හදන එක ඇඳිරි නීතිය නැති කාලෙත් අමුතුවෙන් කරපු රාජකාරියක් යැ.කන්න බොන්න තම්බන්නෙත් ඉතින් ගෙදර වවපුවා නෙවෙයිනේ.මං කඩෙන් ගෙනාපුවා නේ."
තාත්තා කෝකටත් විසී වී එන ගඩොල් කැට මල් පෝච්චි පතිත වෙන්නට පුළුවන් අවදානම් කලාපයෙන් එහාට වෙලා ය.
"මේ මගුල් කෑමක් නෙවෙයි මං ඉල්ලන්නෙ වතුර බාල්දියක්."
අයියාට තවත් වරක් මල පනින්නට යන හැඩ ය.
"ඇයි යකෝ මගෙ කන් ඇහෙන්නෙ නෑ කියලා හිතුවද?
බොටත් ඔය වතුර බාල්දියම තමා ප්‍රශ්නෙ.ඇයි වදේ මේ ගෙදරට පාරෙන්
වතුර ගන්න හැම තැනම ඔෆීසි ගානෙ බඩගෑවේ කවුද?
එකෙක්වත් නිකමට තනියට ආවද?
අර නාන කාමරේ උණු වතුර මල් හයි කරන්න සල්ලි කාගෙද?
නිකමටවත් මතකද ඒවා?
නෑ නෑ.එකක් මතක නෑ.කෙලෙහිගුණයක් නෑ.
ඇයි අප්පා මං මෙහෙම තැන්වල ඉන්නේ ..."චීත්ත පොටෙන් නහය පිසදමමින් අම්මා අඬනවා ය.
"යකෝ.බාල්දියක් ඉල්ලන්නේ පස්ස හෝදගන්න..මිසක් වවන් කන්න නෙවෙයි."
අයියා බෙරිහන් දෙනවා ය.
"සබං නැතුව බැරි මොකද කොලුවෝ.මැතිනිගෙ කාලේ අපිට සබං තිබුණයැ.ඔය පඳුරක් අස්සෙ එලි බැහැලා දොල පාරෙන් හෝදගෙන ආවෙ අපි.මොන සබං ද?"
ආච්චි අම්මාට මොනවාහරි වැරදියට ඇහිලාද එහෙමත් නැතිනම් සීනි අඩු වැඩි වෙලාද කියන එක වෙනමම හිතන්න වෙනවා ය.
"හපොයි දෙයියනේ..බාල්දි ඕනැත් නෑ.වතුර ඕනෙත් නෑ.සබං ඕනේම නෑ. කවුරුහරි මට පත්තරයක් ගෙනත් දෙනවද?"
අයියා ඒපාර බොහොම බැගෑපත් වෙලා ය.
"පත්තර අහවල් එකක් කරන්නද?ඕක අස්සෙ පත්තර කියවන්න යන්නෙ උඹට විකාරද?"
ඒ පාර අම්මාගේ රැස් විහිදෙන්නේ අයියා දිහාට ය.
"නෑ එලාගෙන නිදාගන්න.ඔහෙලාගෙ ඔය වාද පිටිය ඉවර වෙලා මට බාල්දියක් ගෙනත් දෙන්න හිතුනොත් ඇවිත් මාව ඇහැරවන්න බැරියැ."
හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ලියා තැබුවේ -පිලේ නිදා උන් ටොමියා විසිනි

Tuesday, July 16, 2019

පිලිකා කතාබහ 2- පිලිකා යුද්ධ කරන්නෙ මෙහෙමයි

පිළිකා කතාබහ 2

පිළිකා පිටුදකින එක ගැනයි කතා කරන්න හිතන් හිටියෙ නමුත් ඊට කලින් පිළිකාවලට බෙහෙත් කිරිල්ල ගැන කතා කරන්න හිතුනා.ඇයි කියලා ලිපියෙ අගිස්සට යද්දි තේරෙයි.

♟️පිළිකාවකට බෙහෙත් කරනවා කියන්නෙ සෑහෙන ලොකු යුද්ධයක්.
යුද්ධයක් කරන්න සෑහෙන පිරිසක් ඕනෑ.

♟️ඉතින් බලමු කොහොමද මේ යුද්ධෙ කරන්නෙ කියලා.

හිස්මුදුනේ හිටන් දෙපතුල දක්වා අපේ ඇඟ ගත්තොතින් එක එක විදිහෙ  සෛල ජාති අටෝරාසියක්ම ලියමන් සමූහය තියනවනෙ.ඉතින් ඔය එක එක තැන්වල ඇතිවෙන පිළිකාත් එකකට එකක් වෙනස්.අනිවාර්යයෙන්ම ඒවාට ප්‍රතිකාර කරන විදිහත් ඉතින් වෙනස් වෙන්න එපායැ.නමුත් පොදුවේ ගත්තම මේ හැම පිළිකාවකටම විරුද්ධ සටනේ පොදු අරමුණු කිහිපයක් තියෙනවා.

♟️පළවෙනිම තැන මුල් පිළිකාවට විරුද්ධ යුද්ධය.

ලෙඩේ හඳුනාගන්නා වෙලාව වෙද්දි පිළිකාව තිබෙන්නෙ මුල් අවදියේ නම්   අපි කරන්නේ ඒ පටන් ගත්ත තැනම පිළිකාව මුලිනුපුටා දාන්නට උත්සාහ ගන්න එක.ඒකට අපිට තියෙනවා අවි ආයුධ කිහිපයක්ම.

1.එකක් තමයි සැත්කම්.සැත්කමක් කර ඉවත් කරන්න පුළුවන් මට්ටමක  සහ ඉවත් කරන්න පුලුවන් තැනක තියෙන පිළිකාවක් නම් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම හරහා පිළිකාව ඉවත් කරන්න කටයුතු කරන්නට පුළුවන්.

2.ඊළඟ අවිය තමයි පිළිකානාශක බෙහෙත්.මේ පිළිකානාශක බෙහෙත් විවිධාකාරයෙන් අපිට යොදාගන්න පුලුවන් .සැත්කමකට අපහසු තරමේ විශාල පිළිකා හකුලුවන්නට මේ බෙහෙත් උදව්වට ගන්නට පුලුවන් .ලේ හෝ වසා ගැටිති වල ඇති වෙන සැත්කම් කරන්නට අපහසු සැත්කම්වලට ප්‍රධානම අවිය වෙන්නේත් මේ ඖෂධ .සැත්කමකින් පසු ඉතිරි වෙන්නට පුළුවන් සුළු සෛල පොදි නසන්නට සැත්කමකින් පසු පිළිකානාශක ඖෂධ භාවිතා කරන්නට පුළුවන්.

3.ඊළඟ අවිය වෙන්නෙ විකිරණ ප්‍රතිකාර.සමහර පිළිකාවලදී පිළිකා සෛල විනාශ කරන මුල්ම බලඇණිය වෙන්නෙ විකිරණ ප්‍රතිකාර.ඇතැම් වෙලාවක පිළිකානාශක ඖෂධ එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරනවා වගේම තවත් අවස්ථාවක සැත්කමත් පිළිකානාශක ඖෂධවලටත් පසුව තවත් ඉතිරි වූ සෛල පොදි විනාශ කරන්නත් විකිරණ උපකාර ගන්නට පුළුවන්.

♟️මේ කතාබහ කළේ මුල් අවදියේ හඳුනාගත්තු පිළිකාවක් ගැනනේ.

කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ ලංකාවේ අපේ රෝගීන් හුඟදෙනෙක් ප්‍රතිකර්මවලට එන්නෙ පැතිරුණු  පිළිකාවක් එක්ක.

♟️මේ වගේ වෙලාවට යුද්ධ කරන්න පුළුවන් ද?
ඔව්.
තවමත් අපි පරාද නැහැ.
මුල් අවදියේ පිළිකාවක් මට්ටු කරන්න තරම් ලෙහෙසිපහසු යුද්ධයක් නම් නෙවෙයි හැබැයි මේක.

මෙතනදිත් පිළිකාව පැතිරුණු තැන කොහේද කොයිතරම් දුරට පැතිරිලා ද ලෙඩාගෙ සෞඛ්‍යය තත්වය කොයි වගේද කියන කරුණු කාරණා ඉස්සෙල්ලාම හොයාගෙන ඒ ඒ තොරතුරුවලට ගැලපෙන හැටියට යුද්ධෙ පටන් ගන්න වෙනවා.

පිළිකානාශක ඖෂධ වගේම   විකිරණ ප්‍රතිකාරත්  මේ මට්ටමේ යුද්ධවලදී පෙරමුණ ගන්නවා.

♟️ඇතැම් වෙලාවක බොහෝම අවාසනාවන්ත විදිහට පාලනය කරන්නට පුළුවන් මට්ටමෙන් ඔබ්බට  පැතිරුණු පිළිකා එක්කත් රෝගීන් අපි හමුවෙන්න එනවා.මේ වගේ වෙලාවකදී ප්‍රතිකාරමගින්  රෝගය සුව වීමක් බලාපොරොත්තු වෙන්න අපිට ඇති ඉඩ ඉතාම අල්පයි.නමුත් රෝගියාගේ ජීවිතයේ ඉතිරි කාලය අපහසුවකින් තොරව ගත කරන්නට මෙවැනි අවස්ථාවකදී ත් පිළිකානාශක ඖෂධ ,විකිරණ ප්‍රතිකාර , වේදනානාශක වැනි  සත්කාර යොදාගන්න අපට හැකියාව තිබෙනවා.

♟️ඉතින් මේ කතා කලේ පිළිකාවට එරෙහි යුද්ධේ ප්‍රධාන සේනාංක ගැන  විතරයි.

ඒත් තව පරිවාර සේනාව බොහොමයක් ඉන්නවා.පිළිකාව මට්ටු කරන්න ශරීරයේ පෝෂණය අතිශයින්ම වැදගත්. පෝෂණ ඌනතා ඇති රෝගීන්ට ඇතැම් අවස්ථාවල විශේෂ පෝෂණ සත්කාර සිදු කෙරෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපැවැත්මත් අත්‍යාවශ්‍යම අංගයක්. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳවැටීම් සමඟ මතුවන්නට පුළුවන් ක්ෂුද්‍රජීවීන්ගේ ආසාදනවලට එරෙහිව ප්‍රතිකාර හා උපදෙස් ලබා දීමට වෙනම කණ්ඩායමක් සිටිනවා.
යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම කියන්නේ පිළිකාවකට නෙවෙයි ඕනෑම අසනීප තත්වයකින් ගොඩ එන්නට හොඳ රුකුලක්.ඉතින් රෝගියාගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට විශේෂ වැඩසටහන්, ආගමික වතාවත් මෙන්ම මානසික වෛද්‍ය සායනත් මේ පිළිකා සටනට සත්කාරක සේවා හැටියට නිරන්තරයෙන්ම සහයෝගය දක්වනවා.

♟️ඉතින් සෞඛ්‍යය ක්ෂේත්‍රය පැත්තෙන් මේසා සත්කාරක සේවාවක් ලබා දෙද්දි අපිට බොහොම සාර්ථකව පිළිකා මාරයාට මුහුණ දෙන්න පුලුවන් නේද?

අවාසනාවකට ලංකාවේ බොහෝ වෙලාවට  ඒක එහෙම වෙන්නෙ නැහැ.

බොහෝ විට ඊට හේතුව  වෙන්නෙ පිළිකා සටනේ මෙතෙක් අපි කතා නොකරපු ප්‍රධාන සටන්කරුවෙක් අතරමඟදී සටන අත අරින එක.

♟️ඒ සටන්කරුවා වෙන කවුරුත් නෙවෙයි, පිළිකාවෙන් පීඩා විඳින ඔබ.

පිළිකා මාරයාට එරෙහිව සටනේ වඩාත්ම සවිමත් වෙන්නට ඕනෑ වෙන කවුරුන්වත් නෙවෙයි රෝගී ඔබමයි.

😥පිළිකාවට බයෙන් එහෙමත් නතිනම් ලැජ්ජාව නිසාවෙන් පිළිකාව ඔඩු දුවන තෙක්ම හංගාගෙන ඉන්නා ලෙඩ්ඩුන් අපේ සායනවල අපමණයි.

😥ඒ වගේම පිළිකා හටන කියන්නේ එක දිගට නොනැවතී දුවන්නට ඕනෑ තරඟයක් මිස ඔහේ ඕනෑවට එපාවට මග නැවති නැවතී හිතෙන හිතෙනා හැටියට කරන්නට පුළුවන් යුද්ධයක් නෙවෙයි.ඒත් අවාසනාවකට අපේ රෝගීන් බොහෝ දෙනෙක් මේ දේ හරිහැටි තේරුම් ගන්නේ නැති පාටයි.

😥මුල් පිළිකා අවධියේම ලෙඩේ හඳුනාගෙන බෙහෙත් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී එහෙමත් නැතිනම් බෙහෙත් වේල් දෙක තුනක අතරමැදදී මේ බොහොමයක් රෝගීන් බැදිවල අතරමං වෙනවා.
බටහිට වෛද්‍ය විද්‍යාවේ පිළිකාවට මැජික් ප්‍රතිකර්ම ඇත්තේ නැහැ.ඉතින් වේල් දෙකතුනකින් ඔබව නිට්ටාවට සුව කරන බවට ඔබට බොරු පොරොන්දු දෙන්නට අපට හැකියාවක් නැහැ.

 මුල් අවදියේ හෝ ඔබ ප්‍රතිකාර ලබා ගැනීමට එලඹෙන අවදියේ රෝගයේ පැතිරීම, ඔබේ අනෙකුත් දේහ පරාමිතීන් ගලපා පිළිකාව කොයිතරම් සාර්ථකව මැඬ පවත්වන්නට පුළුවන් වේදැයි සම්භාවිතාවකුයි අපට ලබා දිය හැක්කේ.

😥නමුත් ඉතාම කණගාටුවට කරුණ වෙන්නේ නිට්ටාවට සුව කරන මායාවල් පසුපස්සෙන් මුල් අවදියේ ප්‍රතිකාර දැක දැකම ප්‍රතිකාර මඟ හැර ගිය ඔබම  සිරුර පුරාම පැතිරී ගිය  අපට කිසිවකුත් කරන්නට අපොහොසත් පිළිකා  තත්වයකින්  නැවත අප හමුවට ඒම අප කිසිසේත් නොපතන එහෙත් ඉතාමත්ම සුලභ සිදුවීමක් වීමයි.

😥රෝගියෙක්  සුවපත් වෙන්නට යහපත් රෝගියෙක් යහපත් හෙදකමක් හා යහපත් වෙදකමක් කියන මේ තුන් ඈඳුතුවම වැදගත් වෙන බව පැරැණ්නන් කියා තියෙන්නේ නිකන් ම නොවෙයි නේ.ඉතින් අපි කොතරම් වෙර වීරිය ගත්තත් රෝගී ඔබේ කැපවීම නැතිනම් අපට ඔබ වෙනුවෙන් කරන්නට හැකි දේ ඉතාමත් අල්පයි.

 පිළිකා ප්‍රතිකාර ගැන ඉදිරියේදී විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

😥නමුත් මඟ හොඳට තිබේ නම්
         යන්න දෑසත් පෙනේනම්
           කිම බැදිවල යන්නේ
කියලයි අහන්නට සිද්ධ වෙන්නේ

සඳුනි සුදර්ශනා පෙරේරා (MBBS )
2019.07.08

මදිමු මදිමු රෙදි

අනාදිමත් කාලේකට ඉස්සරින් අපේ ගෙදර තිබුනේ රෙඩ් හාර්ට් අයන් තඩියක් ය.හාල් මුට්ට තුනක් විතර බර රිදී පාට අයන් රාජයාගේ හැඬලයත් උශ්නත්ව පාලක සුවීචියත් කලු පාට ය.අයන් එකේ රස්නේට අමතරින් ඒකෙ බරටත් රෙදි අයන් වෙනවා කියලාය ඒ දවස්වල මට හිතුනේ.

පස්සෙන් පහු වයසට ගිය රෙඩ් හාට් ඩෙඩ් හාට් වී ස්වර්ගස්ථ වුනාට පස්සෙන් පහු පුළුන් රොදක් සේ සැහැල්ලු ප්ලාස්ටික් අයන්වතීලා අපේ ගෙදරට ගොඩවදිනවා ය.මේ අයන්වතීලා හරිම නුහුගුණකාරියෝ ය.උන්දැලාගෙන් වැඩක් ගන්නට ඇඟේ මුලු බර යොදා සියලු දිරි දරා අයන් බෝඩ් එක උඩ නැගගෙන අයන් කරන්නට ඕනෑ ය.ඒ මදිවාට මේ අයන්වතීලාගේ හොස්ස ළගින් මැස්සා යන්ට බෑය.එහෙ බලා මෙහෙ බලද්දී ගිනි පත්තු වෙලා රෙදි පිච්චිලා ය.

ඇච්චා කාලේ ඔය අයන්වතී අතින්වත් අල්ලන්නට මංතුමීට තහනම් ය.ඒත් මංතුමී අම්මාට උදව් පදව් කරන්නට කැමති බොහොම අහිංසක දැරියක නිසාවෙන් පහක් හයක් විතර වූ උපන්දිනයක්දා අම්මා සප්‍රයිස් කරන්නට උපන්දින ගවුම තනියෙන් අයන් කරගන්නට යනවා ය.අයන්වතී ගවුම උඩින් නවා බලාගෙන හිටිල්ල අවැඩදායක බව මංතුමී ප්‍රායෝගිකව අත් හදා බැලුවේත් එදා ය.උපන්දින  ගවුමේ අයන්වතීගේ මූනත්තහඩුවේ හැඩේටම ලොකු හිලක් තිබ්බත් උපන් දිනේ හින්දාවෙන් මවුතුමීගෙන් මංතුමීට පොදු සමාවක් ලැබුන විත්තියක් මතක ය.

ඕන් ඔය ආකාරයෙන් අයන්වතී භාවිතාවට අත් පොත් තැබුවත් පහු වෙද්දීනම් හිතෙන්නේ මේ මලකරදර අයන්වතී එපාම කියා ය.ඕක වැඩිපුරම හිතෙන්න ගන්නේ මහරෑට නිදිමරගාතේ සුදු ගවුමේ රැලි මදින්ට ගියාම ය.

අපේ ගෙදර බවලත් ඇත්තන් අයන් එකෙන් රෙදි උණු කිරීමේ කලාවේ කෙළ පැමිණි ඇත්තියන් ය.මවුතුමීගේ  සාරි කන්දරාවේ අයන්වතීගේ මාර්ක් එක නොහිටි සාරියක් හොයා ගන්නවා බොරු ය.කලාතුරකින් සාරිය බේරිලානම් අනිවාරතේ සාරි හැට්ටේ කොහේ හරි අයන් හිල්මාක් එකක් තියෙනවාම ය.

මවුතුමීගේ දෝනියන්දෑ හැටියට ඒ සාරි පිලිස්සුම් කලාවේ අත්ගුණය  මංතුමීටත් උරුම වීඇති බව දෑහින් දැක ඇති වෙලාම දැන් මංතුමී වැඩි හරියක් අඳින්නේ (අඳිනවානම්)අයන්වතීට මුලිච්චි නොවෙන සාරි ය.

ගෘහවාසී බවලතුන්ගේ තවත් නොහොබිනාම පුරුද්දක් වෙන්නේ රෙදි ඇගේ ලාගෙන අයන් කිරිල්ල ය.පිරිමි පරාණ දුටු තැන දෙස් දෙවොල් තියා හෙළා දැක්කත් බවලතුන්ට ආවේණික සිලෙක්ටිව් බිහිරි බාවය පාවිච්චි කරමින් ඒ දොස්පරොස් නොසලකා හැර ඇඟේ තියෙනා සාරි වල පොඩි වුන රැලි, ඇඟේ තියෙනා බ්ලවුස්වල පොඩිවුන කොලර් ආදිය මට්ටු කිරිල්ලට මංතුමීත් මවුතුමීත් උපන් හපන්නුය.
ගුරුන්ටත් ඉඳහිට අකුරු වරදින නිසාවෙන් ඉඳහිට මේතුමීලා දෙන්නාගේම බෙලිත් අයන්වතී මුණ ගැසී ඇතත් තවමත් ඉඳහිට ඒ නොහොබිනා පුරුද්ද අත අත නෑරම එන බව කණගාටුවෙන් උනත් කියන්නට ඕනෑ ය.

කාලයක් ගෙදර හිටි අයන් රාජයාගේ වතුර විදින ගැජට්ටුවකුත් තිබුනා ය.වතුර විද විද අයන් කිරිල්ල මුල් කාලේ හරිම ආකස්මික අත්දැකීමක් වුනත් ටික දවසක් යද්දී ඔය වතුර කුටීරයෙන් වතුර ගලන්න බේරෙන්න අරගෙන අයන් කරන්නට ගිය රෙද්ද වොශින් මැශින් එකේ දැම්මා වගේ වෙන්න ගත්තාම ඒක ඊට එහා ගිය වේදනාවක් වෙනවාය.එතකොට අප්පොච්චා කරන්නේ වතුර කුටීරේ ගලවා විසික් කොරන එක ය.ඊට පස්සෙන් පහු ඉස්සරහ මදේ නැති අයන්වතී කෙනෙකුත් ආදේශකයක් හැටියට අතින් වතුර ඉහගන්නට වතුර පුරවාපු කප් පොඩිත්තකුත් අයන්බෝඩ් එක උඩ ය.

මේ මොන ආඩපාලි කීවත් අයන්වතී ප්‍රයෝජනවත් වෙච්ච අවස්ථාත් නැතුවා නොවේය.ඉරිදා මහ රෑ හෝදන්ට මතක් වූ මේස් සඳුදා උදේ ඉස්කෝලේ යන්නට තෙත හින්දා දුන්නේ අයන්වතී ය.දහම්පාසල් යන්නට මල් කඩන්නට ගොස් අප්පොච්චිගේ දාරපත මාලු ටැංකියට ළමා සාරිය පිටින්ම පත බෑවුනු වෙලේ අයන්වතී නොහිටියානම් දහම්පාසල් යන්න ළමා සාරිය වේලාගන්න වෙන්නේ නැති ය.

කැම්පස් එන්න ආවා ම රූමීටත් මටත් බඩු ගන්නට යන්නේ අප්පොච්චිලා ඩබලය. අවුරුදු ගානක් එකට ඉන්නා අපි දෙන්නා ඊට පස්සෙන් පහු බෝඩිම් දෙකකට වෙන් වෙද්දී අයන්වතී මා එක්ක එද්දී කේතල්වතී රූමිත් එක්ක යනවා ය.
පස්සේ කාලෙක හොස්ටල් එකේ කාමර පේළිය සතු වූ ජාතික සම්පත් අතරින් එකක් බවට පත් වෙන්නේ ඒ අයන්වතීම ය.

පස්සට ඉර එළිය වැටෙන තුරු නිදාගෙන නැගිට පස්ස දාච්ච කඩියා වාගේ ෆැකල්ටි දුවන්න ලෑස්ති වෙන්න බලද්දී අයන්වතී රෝන්දේ ගහන්න ගොහින් ය.දොරෙන් එළියට බෙල්ල දමා බැන අඩ ගහද්දී වෙනින් කාමරේකට රිංගාගෙන ඉන්නා රස්තියාදුකාර අයන්වතීව කාමර හිමිකාරියෝ කකුල්කෙටියෙන් ඇදගෙන ආයේම කාමරේට ගෙනැවිත් බාර දෙනවා ය. හතරවටේ රෝන්දේ ගහන්න ගියෝතින් හතර හන්දි කඩනා බවට මංතුමී කී දවසක්   තරවටු කළත් ඒවා සතපහකට මායිම් නොකරනා අයන්වතී පහුවදා උදේත් සවාරියේම ය.

මංතුමීලෑ දිහෑ අයන්වතීලා පාවිච්චියේ පසු ව්පරම කෙරෙන්නෙත් ඉස්තිරී පුරුශ  දෙජාතිය දෙයාකාරයකට.බවලත් ඇත්තෝ අයන්වතීලා ඕෆ් කිරිල්ලක් ගැන වැඩි උනන්දුවක් නොදක්වනා අතර බවලත්තු විතරක්  රෙදි මැද්දානම් අනිවාර්යයෙන්ම පහුවදා වෙන්නට කලියෙන් ගිනි නිවන හමුදාවට ගෙවල් පැත්තේ එන්නට වෙලාය.

එතකොට බලවත්තු (කියා හිතන් ඉන්නා ඇත්තෝ) ඔන් කර තිබෙනා අයන්වතීලා කෙරෙහි දක්වන්නේ අසීමිත භීතිකාවක් ය.විශේෂයෙන්ම අපේ පියාණන්දෑ උන්දෑ අයන්වතී  පාවිච්චියෙන් පසු පස් ගමනකුත් වෙන කවුරුන් හෝ පාවිච්චි කළාට පස්සෙන් පහු දහ ගමනකුත් ගමනක් යන්න ගෙයින් එළියට බහිනවානම් අමතර තව  විසි ගමනකුත් අයන්වතීගේ විදුලි සැපයුම කප්පාදු වෙලා දැයි පිරික්සනවා ය.ගෙයි දොර වහද්දිත් වැහුවාට පසුවත් ගේට්ටුව වහද්දිත් වාහනේට ගොඩ වෙද්දිත් මඟක් දුර යද්දිත් කෝකටත් කියා ආයෙමත්  අයන් එක ඕෆ් කලා කියලා ශුවර් දැයි අහනවා ය.සීයට සීයක් ශුවර් වුනත් ඔය අන්තිම වතාව අහද්දී මංතුමීට හැඟෙන්නේ ශුවර් එකටම අයන්වතී තාමත් ඔන් එකේ වෙන්නට ඇති බවත් හවස ගෙදර එද්දී ගේ ගිනි අරන් ඇති බවත් ය.

ඔය බවලත් බලවත් ඇත්තන්ගේ බල සංතුලනයක් මේ වෙනතුරු තිබුන හින්දාවෙන් දෙයියනේ කියා  ගම ගිනි තියනා අයන්තුමීලා හොයාගෙන ගිනිනිවන හමුදාවේ උන්දැලා මේ වෙනකන් අපේ දිහා එන්ට හිතලා නෑ ය.

පලි:අදත් එකක් පිච්චුනා ඉතින් 😥😥😥

ඉගිලෙන ලියමන්

2019.07.10

ලෙඩ්ඩු බලන්නට රෝහල් එනකොට



ලංකාවෙ අපි මනුස්සකමෙන් බොහොම පොහොසත් ජාතියක්.කෙනෙක්ට දුකක් කරදරයක් උනාම කිසිම කොන්දේසියක් නැතිව ඒ මනුස්සයාට උදව්වට එන්න අපේ හුඟ දෙනෙක් පැකිලෙන්නෙ නැහැ.ඉතින් ලෙඩක් දුකක් වුනාම ලෙඩ වෙච්ච මනුස්සයා ගෙ සැප දුක බලලා යන්න ඉස්පිරිතාලෙට එහෙමත් නැත්නම් ගෙදරට පොඩි වෙලාවකට හරි ගොඩ වෙලා යන්නෙ ඒ ලෙන්ගතු කම හින්දාම වෙන්න පුලුවන් .

ඒත් සමහර වෙලාවට මේ ලෙන්ගතු කම නිසාවෙන් රෝගියාට අවැඩක් හිරිහැරයක් වෙන වෙලාවලුත් නැතුවාම නොවෙයි. ලෙඩාට වගේම බාග වෙලාවට මේ ලෙඩ්ඩු බලන ගමන ඔබටත් එතරම් හිතකර නොවෙන්නට පුළුවන් .

ඉස්පිරිතාලෙ ලෙඩෙක් නැවැත්තුවම  බලන්න එන අයගෙන් වෙන්න ඕනෙ මොකද්ද ?
බොහෝ වෙලාවට ලෙඩා ගෙ ගෙදර මිනිස්සුන්ට   උදව්වක් හැටියට ලෙඩාට අවශ්‍ය වන යම් දෙයක් ගෙනිහින් දීලා,ලෙඩාගේ හිත හැදෙන්න  කතා බහ කරලා එන එක.

ඉස්පිරිතාල කියන්නෙ ලෙඩ රෝග බහුල තැන්.විශේෂයෙන්ම ශ්වසන මාර්ගය මුඛ මාර්ගය හරහා බෝ වන ආසාදන  එක් රැස් වෙච්ච තැන්.ඒ වුනාට සමහරු ලෙඩ්ඩු බලන්න එන්නෙ පොඩි කිරි සප්පයොත් අරන්.අම්මලා ලෙඩ්ඩු බලද්දි මේ දඟ මලු බිම පෙරළිලා වාට්ටුවේ හැම අහුමුල්ලකම බඩ ගාලා ලෙඩ්ඩු වාඩි වෙන පුටු ටිකත් අත ගාලා ඒ අත කිහිප පාරක්ම කටේත් ඔබා ගෙන ඉවරයි. නෑවිත් ම බැරිනම් මිසක් පොඩි දරුවන්,වයසක උදවිය ,බඩදරු අම්මලා ඉස්පිරිතාලෙ නොඑනවානම් අපි කැමති.මොකද මේ උදවියට සාමාන්‍ය අයට වඩා පහසුවෙන් ආසාදන වැලඳීමේ අවදානමක් තිබෙනවා වගේම ආසාදනයකින් ඔවුන්ට ඇති වෙන අවදානමත් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් නිසාවෙන් .

ඉස්පිරිතාලෙන් ඔබ ගෙදර ගෙනියන්න පුළුවන් ආසාදන වගේමයි ඔබේ හිතවත් ලෙඩාට ඔබ ගෙනැවිත් භාර දීලා යන අසනීප.රෝගී වෙලා නේවාසිකව ප්‍රතිකාර ලබන ලෙඩෙක්ගෙ විශේෂයෙන්ම පිළිකා සඳහා පිළිකානාශක බෙහෙත් ලබාගන්නා ලෙඩෙක්ගෙ සිරුරේ ප්‍රතිශක්තිය සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා අඩු වෙන්නට පුලුවන් .ඉතින් රෝගියා ආසාදනවලින් වළක්වා ගන්න අපි කොච්චර උත්සාහ කළත් වැඩක් නොවෙන්නේ  ලෙඩ්ඩු බලන පැය ආපු ගමන් ඔබ ඇවිදින් රෝගියා වට කරගන්න නිසාවෙන්
.
ඇතැම් වෙලාවක තමන්ට අසනීපයක් තියෙන බව දැනදැනත් ලෙඩා බලන්න නාවොත් හිත නරක් වේය කියලා හිතාගෙන ලෙඩ්ඩු බලන්න එන උදවිය ඕනෑ තරම්.වෙනත් අසනීපයකට රෝහල්ගත වෙච්ච ලෙඩාට බලන්න එන ඇත්තෝ තෑගි ගෙනාපු ආසාදනේකුත් එක්කහු වුනාම කොරේ පිටට මරේ වගේම තමා.
ඉතින් විශේෂයෙන් කළ යුතු උදව්වක් නැතිනම් මේ වගේ ලෙඩ්ඩු බලන්න නොයා ඉන්නා එක තමයි ලෙඩා වෙනුවෙන් ඔබට කරන්නට පුළුවන් හොඳම උදව්ව.

ආසාදන අවදානමක් නැතත් ලෙඩ්ඩු බලන්න එන උදවිය නිසාවෙන් ලෙඩා තෙහෙට්ටු වෙන එක තවත් ගැටලුවක් .වෙලාවකට
ලෙඩ්ඩු බලන වෙලාවෙ  හදිසියකට ඇඳේ ඉන්න ලෙඩා හොයාගන්නත් බෑ නෑගම් ආ කට්ටිය ලෙඩා   වට කරගත්තම  ගිහින් පොකුරු පිටින්.එපා කිව්වම කියන මනුස්සයාව මැල්ලුම් හදන්න යන එක තමයි වෙන්නෙ.බොහෝ වෙලාවට ලෙඩෙක් බලන්න යන අය සීමා කරන්නෙ හැමෝගෙම හොඳ ට.සමහර වෙලාවට ලෙඩ්ඩු බලන පැය ඉවර වෙනකන් ලෙඩාට වෙනවා ආපු අයට ලෙඩේ විස්තර කරන්න.වෙලාවකට අල්ලපු ඇඳේ ලෙඩාගෙ විස්තරත්.බලන්න ආපු අයගෙ හිත නරක් කරන්නත් හොඳ නැහැනෙ.

ලෙඩාට වගේමයි කාර්‍ය මන්ඩලයටත් ඇති වෙන තෙහෙට්ටුව.සමහර වෙලාවට එකම ලෙඩා ගැන දහපාලොස් සැරයක් විස්තර අහනවා.වැඩක් නැති වෙලාවක වුනත් එකම දේ දහ දොලොස් සැරයක් අහන කොට කෙනෙක්ට හිතේ පොඩි නුරුස්නා ගතියක් ඇතිවෙන්නත් පුලුවන් කියලා හිතන්නෙ නම් නැහැ.

ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු බලන්න එන්න නියමිත වෙලාවක් වෙන් කරලා තියෙන බව දන්නවනෙ.
ඇයි මෙහෙම වෙලාවක් වෙන් කරන්නෙ?

බොහෝ වෙලාවට ලෙඩ්ඩු බලන්න එන වෙලාවට ඔබ දකින්නේ ඇඳක් උඩට වෙලා ඔබ එනතුරු බලාගෙන ඉන්න ලෙඩ්ඩුනෙ.නමුත් වාට්ටුවක බොහොමයක් රාජකාරි සිදු වෙන්නෙ මේ ලෙඩ්ඩු බලන පැයට කලින් හෝ පස්සෙ.රෝගීන්ට බෙහෙත් ලබා දෙන එක, වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන එක, වාට්ටුවේ සිදු කරන පරීක්ෂණ කරන එක , වෙනත් පරීක්ෂණවලට රෝගීන්  වෙනත් වාට්ටු,සායන, පරීක්ෂණවලට යොමු කරන එක  මේ ඔක්කොම සිදු කෙරෙන්නෙ ඔබ නොදකින වෙලාවෙ.ඒ බොහෝ විට ලෙඩාගෙ පුද්ගලිකත්වය ගැන සලකන නිසාවෙන්.

නමුත් කලාතුරකින් රෝගීන් බලන්නට වෙන් කරන වෙලාවෙත් යම් හදිසි ප්‍රතිකාරයක් හෝ පරීක්ෂණයක් වාට්ටුවේ හෝ වෙනත් තැනක සිදු කරන්නට වෙන වෙලාවල් තිබෙනවා.
මේ වගේ වෙලාවක ඔබට ලෙඩා බලන්නට මඟ හැරෙනවාට වඩා ලෙඩා වෙනුවෙන් සිදු කරන ප්‍රතිකාරය වැදගත් විදිහටයි අපි සලකන්නේ.

ඒ වගේම තමයි අල්ලපු ඇඳේ ඉන්න ලෙඩාට මොකක් හරි විශේෂ දෙයක් වෙනවනම් පෙරහැර බලන්න වගේ තමන්ගේ ලෙඩා අමතක කරලා දාලා එක වටේ පිරෙන අමුත්තෝ අපිට හරිම කරදරයක් .ඇතැම් වෙලාවකට මේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා ලෙඩ්ඩු බලන වෙලාවේ වුනත්  හැම කෙනාවම වාට්ටුවෙන් ඉවත් කරන්නට අපිට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා.

සමහර වෙලාවට විශේෂයෙන්ම පිළිකාවක්වගේ අසනීපයකදී ලෙඩා ගැන විස්තර ලබා දෙන්නෙ ලෙඩාට හා පවුලේ සමීපතමයන්ට පමණයි.මොකද ලෙඩාගෙ පුද්ගලිකත්වය අපි ගරු කරන නිසාවෙන්.
ඒත් ඉතින් ඒ වගේ අවස්ථාවකත්  ලෙඩා කියන්න අකමැති බව දැන දැනත් සමහර ඇත්තෝ ඇවිත් ඒ විස්තර සෞඛ්‍ය කාර්‍ය මන්ඩලය හාරාවුස්සලා දැන ගන්න හදන වෙලාවලුත් නැත්තෙ නෑ.

ඊලඟට ලෙඩා බලලා ඉවර වුනාම ගෙදර යන එක.මේ රාජකාරියට ලෙඩ්ඩු බලන්න එන උනන්දුව බොහෝ දෙනෙක් ට නැහැ.
ඒ වගේම බොහෝ අය වාට්ටුවෙන් පිටතට ගිහින්  පොකුරු ගැහිලා මිතුරු හවුල් පවත්වන්නෙ,මේක ඉස්පිරිතාලෙ  කියලා අමතක කරලා.කලිනුත් කිව්වා වගේ ලෙඩ්ඩු බලන වෙලාව අහවර වෙනකන් අපි බලාගෙන ඉන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් අපේ රාජකාරි ආපහු පටන්ගන්න.ඉතින් ඔබ වාට්ටුවෙන් ඉවත් වෙන්න වෙලාව ගන්නවා කියන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් අපෙන් වෙන්න තියෙන දේවල් කරගන්න ප්‍රමාද වෙන එකයි.
හුඟක් වෙලාවට රෝහල් ආරක්ෂක අංශයේ අයට සිද්ධ වෙනවා වාට්ටු ගානෙ ඇවිදිමින් මොන්ටිසෝරි යන පොඩි ළමයින්ට වාගේ වෙලාව මතක් කර කර ලෙඩ්ඩු බලන්න ආ ඇත්තො එළියට යොමු කරන්න.
ඒ වෙලාවට සමහර ඇත්තො තාවකාලිකව බීරො වෙනවා, සමහරුන්ට සිංහල තේරෙන්නෙ නැතුව යනවා.ලෙඩ්ඩු බැලිල්ල පැත්තක තියලා තමන්ගෙ රස්සාව කරන සිකුරුටි අංකල් එක්ක පැටලෙන්න යන ඇත්තොත් නැතුවා නෙවෙයි.

තවත් අපිට වෙන කරදරයක් තමයි ලෙඩ්ඩු බලලා යන්න එන ඇත්‍තන් දොස්තරගෙ රාජකාරියත් කරන්න යන එක.ඉස්පිරිතාලෙට රාජකාරි කරන අපේ එකම බලාපොරොත්තුව ලෙඩ්ඩු හැකි ඉක්මනින් සනීප කරලා ගෙදර යවන එක.හැම ලෙඩෙක් වෙනුවෙන්ම යම් සැලසුමක් අපිට තියෙනවා.ඒ සැලැස්ම අනුව ලෙඩාට වගේම ලෙඩාගේ උපස්ථානයට ළඟ ඉන්නා ඇත්‍තන්ටත් අපි උපදෙස් දෙනවා.ඒත් ලෙඩ්ඩු බලන්න එන සමහර ඇත්තන් අපේ මේ සැලැස්මවල් උඩු යටිකුරු කරනවා.කන්න දෙන්න එපා කියලා තියෙන ලෙඩාට බලෙන් ම ගෙනාව මොකක් හරි හට්ටියකින් ඩිංගක් කවලා යනවා.ළඟ ඉන්න ලෙඩාගෙ අයිතිකාරයා එක්ක කතාවෙන් අහුලගත්තු උපදෙස් මේ ලෙඩාගෙ අයිතිකාරයාගෙ ඔලුවට ඔබනවා.
තමන් දන්න ඔය ලෙඩේම හැදිච්ච කෙනෙක් මාස දෙකෙන් මැරිලා ගිය හැටිය ලෙඩාටයි අයිතිකාරයාටයි ච්ත්තරපටිය වාගෙ විස්තර කරලා කියනවා.
එහෙමත් නැතිනම් මේවාගේ අසනීපවලට ඉස්පිරිතාලෙ බෙහෙත් අල්ලන්නැති විත්තියත් අහවල් තැන බෙහෙත්වලින් තමන්ගෙ අල්ලපු ගෙදර අක්කාගේ නැන්දාගේ පුතා එක්ක එක බස් එකේ ඉස්කෝලේ ගිය හාදයාගේ මල්ලිගේ නෝනාගේ සාරිහැට්ට මහන නැන්දාගේ මහත්තයා මේ අසනීපය නිට්ටාවට සනීප කර ගත්තු බවත් වගකීමෙන් කියා හිටිනවා .ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙද්දී ලෙඩාටත් ගෙදර ඇත්තන්ටත් හිතේ අමාරුවටත් බෙහෙත් කරන්නට වෙලා අහවරයි.

ගිලානෝපස්තානය කියන්නේ ඇත්තටම උතුම් දෙයක්. නිවැරදි අවබෝධයක්  ඇතුව  කරනවා නම් ලෙඩ්ඩු බලන්න යන ඔබෙන් ලෙඩාට හොඳක් වෙනවා වගේම ඔහේ යන්නන්වාලේ ලෙඩ්ඩු බලන්නට යාමෙන් වෙන්නේ ඔබත් ලෙඩාත් දෙන්නාටම අපහසුවක් වෙන එකයි.

ඉගිලෙන ලියමන් 2019.07.12

මාලුවෝ

මල්ලි තඩියා ඉපදෙනකොට මංතුමී එකේ පන්තියට පාස් වුනා විතරලුය.මල්ලි ඉපදුන ඉස්පිරිතාලේ එළියේ මාලු ටැංකියක් තිබුනාලු ය.ඕකේ වරල් ගගහා ඉන්න ලස්සන මාලු බලබලා උන්නු මංතුමීව අප්පොච්චි එක්කහු කරගෙන ගියේ මවුතුමීගේ තුරුල්ලේ ඉඳං ලවක් දෙවක් නැතිව යටිගිරියෙන් බෑගිරි දෙන කොලු පැටියෙක් පෙන්නන්ට ය.කොලුවා දිහා බලා මූණ නොරොක් කරගත් මංතුමී අපි යං තාත්තේ මාලු බලන්න කිව්වාලු ය.

නෑ මේ ලියන්නේ මාලු ගැන මිස මලයා ගැන නෙවේ ය.

ඇච්චං කාලේ හිටං ම වීදුරු ටැංකිවල මාලුන්ට මංතුමී ඒ තරන් ඇල්මක් නෑලු ය.වීදුරු ටැංකිවල ඉන්නා මාලුන්ට හිත් ඇදගන්නා පාටවල් තියෙනා බව ඇත්ත ය.මවුතුමීගේ සාරිපටලවා ගෙන වාගේ උන් ආඩම්බරෙන් එහා මෙහා පීනද්දී පොඩි ගතියක් නැත්තේ නැති ය.

ඒත් ඊට වඩා මංතුමී මනාප උදේ ස්කූල් වෑන් එක එනතුරු අප්පොච්චා එක්ක පාර අද්දර බලා හිටිද්දී බෝක්කුව අස්සෙ හැංගෙන පොඩිත්තං ලෝකල් මාලුන්ටය.නිවාඩුවට අම්මාගේ මහගෙදර ගියාම නාන්නට යන වෙලේ ළිඳේ අත පොවන මානෙට ඇවිදින් ඔච්චම් කර අතුරුදහන් වෙන දුඹුරු පාට මාලුන්ට ය.

අප්පුච්චාට නොසෑහෙන මාලු පිස්සුවක් තිබුනේ ය.උන්දැලා පොඩි කාලේ මාලු ඇති කළ මතක බිඳුණ මාලු ටැංකි මතක හැටියට සෑහෙන කාලයක් මහගෙදර තියෙනා බව මතක ය.බාල කාලෙ ලෑන්ඩ්ෆෝන්  ගේ පිටිපස කොන්ඩෝලවලේ  වලේ මාළු අල්ලපු විස්තර අප්පොච්චා කියද්දී පවුකාරකම කියා මවුතුමීගෙන් බැනුම් වරුසාවක් වරදින්නේම නැත.

මාතර ගෙදර මාලු ඇති කිරිල්ල අපුච්චා සැලැසුම් කරන්නේ මහා පරිමාණයෙන් ය.ඉස්සරහ මිදුලේ පැත්තක සිමෙන්තියෙන් බැඳ ටයිල් කරන ලද මහා මාලු ටැංකි රාජයා බාත්ටබ් එහෙකටත් වඩා මහා පරිමාණ ය.ටැංකි රාජයා ගේ පැළකරන්නට ජලජ පැලෑටි වෙනමම   හොයාගෙන ආවේ නිල්වලා ගඟේ මොකද්දෝ පොඩි දූපතකිනි.

කළු පාට ගොගල් අයිස් ලා, රතු පාට සුදු පාට ගෝල්ඩ් ෆිශ්ලා, තැඹිලි පාට ගෝල්ඩ් ෆිශ්ලා, ක්‍රීම් පාටට හුරු ඒන්ජල්ලා රොත්තක් මේ මාලු බෝඩිමේ ආරම්භක සාමාජිකසාමාජිකාවන් ය.
ඇත්තටම මේ මාලු ටැංකිය මාලුන්ට තරුපහේ හෝටලයක් හැටියට පෙනෙන්නට ඇතිය.
අලුත් ටැංකි රාජයා විවෘත කර මාළු රොත්ත ගෙට ගෙවැදීමේ මංගල්ලය සිදු කරන ලද දවසේ වැල් පුටුවක් ටැංකිය අද්දරින් තියාගෙන අප්පොච්චි මාලු නැරඹුවේ සෑහෙන සතුටින් ය.

ඒ සතුට තිබ්බේ දවස් දෙකතුනක් ය.නිල් කැටේට තිබුණ ටැංකියේ වතුර ටික වහගෙන කොළපාට පාසි තට්ටුවක් බැඳෙන්න ගන්නවාය.දවස ගානේ වතුර අයින් කළත් දවසක් යද්දී නැවතත් ඒ සෙතේමය.ඉතින් අප්පොච්චිගේ ටැංකි රාජයා දැන් බේරේ වැවේ අනු ශාඛාවක් වෙලා ය.

අලි මදිවට කොටි කියා මුන්දැගේ ගෝල්ඩ් ෆිශ් ලා ලන්ච් එකට ගන්නට කොක් හාමි කෙනෙක් සෙට් වෙන්නේ මේ දවස්වල ය.කොකාගේ වාරය ආවාට ගෝල්ඩ් ෆිශ්ලාට වාරයක් නොඑන්නේ වෙන සංගෙදිය අපි හොයාගනිද්දී අන්තිම ගෝල්ඩ් ෆිශ්වත් කොක්හාමි වළදන්නට ගෙනියන ගමන් වෙච්චි හින්දා ය.ඒ ගමන මාලු ටැංකි රාජයා උඩින් තඩි දැලක් ලෑන්ඩ් කරනවා ය.මාලු හාමිලා මදිවාට ඉස්ගෙඩීස් ලා දෙක දෙක බකබකස්ලාත් අනවසරයෙන්ම  මාලු ටැංකියේ පදිංචි වෙනවා ය.කලාතුරකින් කොළ පාට වතුර අස්සෙන් එබෙන මාලුවෙක් දිහා බලනවාට වඩා මිදුල පුරා පැන පැන යන ගෙඹි ප්‍රජාව දිහා බලන එක ලෙහෙසි වෙනවා ය.

දහම්පාසල් යන්න මල් කඩන්නට මාලු ටැංකියේ දැල උඩට නැගගත් මංතුමී දැලේ පැත්තක් කඩාගෙන මාලු ටැංකියට වැටුනා මතක ය.මාලු ටැංකිය දිගේ බඩගා ඒ  අද්දර  වූ චෙරි ගහ සුද්ද කරන්නටම අපේ දිහෑ ඈ මංතුමීගේ මිතුරු කොලු නඩේනම් එකෙක්වත් ඒ විදිහට මාලු ටැංකියට වැටුනේ නැති ය.

අපේ උන්දෑගේ ගෙදරත් මින් මැදුරක් විත්තිය දැන්ගන්නේ හා හා පුරා කියා අපේ ගෙදර ඇත්තෝ එහේ ගිය දවසේ ය.මිදුලේ විශාල ටැංකිවලත් උඩහ මඩුවේ වීදුරු ටැංකිවලත් හැදුනේ වැඩුනේ උන්දැගේ අප්පොච්චිගේ විවේක කාලය අත්පත් කරගත් මාලු රොත්ත ය.දවසේ ඕනැම වෙලාවක සීයේ මාලු ඉන්නවාදැයි අහගෙන එන  උන්දැගේ මාලුන්ට හිත ගිය ගමේ කොලු කුරුට්ටන් ය.

කරවනැල්ලේ නැවතීගෙන බට්ටිත් බලාගෙන ඉස්පිරිතාලෙත් දිව්ව මංතුමීට වැඩ මදි බවත් ඒ හින්දා මාලු ටැංකියකුත් නඩත්තු කළයුතු බවත් තීරණය කරනා මවුතුමී බෝලගෙඩියක හැඩේ ඇති මාලු ටැංකි පොඩිත්තක් මංතුමීට තෑගි දෙනවා ය.අඳුරන හිතවතෙක්ගේ මින් මැදුරෙන් මාලු රොත්තකුත් පොඩිති ගල්, ඔක්සිජන් ටැංකි, හයිඩ්‍රිල්ලා පැල, ඔය ඔක්කෝම පැහැරගෙන ඇවිදින් කරවනැල්ලේ මාලු ටැංකියක් ඇටවෙනවා ය.එවකට හිච්චං කෙල්ලෙක් උන බට්ටිට මාලු ගැන ඒ තරම් ඇල්මක් නැති ය.ඉඳහිට ඇවිදින් ෆිශ් ෆිශ් කියා ටැංකියට තට්ටුවක් දමා යනවා මිස මාලු අතට අරන් බලන්නට එහෙම අදහසක් දෙයියනේ කියා ඒ දවස්වල උන්දෑට තිබුනේ නැති ය.

ළමයි බැලිලි ,ලෙඩ්ඩු බැලිලි අස්සේ මාලු ටැංකි සුද්ධ කිරිලි, ටැංකියෙන් එළියට පනින මාලු ඇහිලිලි කරමින් මංතුමී දිවි ගෙවනවා ය.
බට්ටි බලාගන්න එන අප්පොච්චි එක්තරා දවසක උදව්වට ගොහින් මාලු ටික වැලිගම් යවනවාය. අමතක වී ටැප් වතුරෙන් සංග්‍රහ කළ නිසාවෙන් මිය ගිය මාළු රෑනේ අවසන් කටයුතුවලින් පස්සෙන් පහු ආයෙමත් කරවනැල්ලට මාලු පීනන්නේ නැති ය.

අම්මාගේ අඩිපාරේ යන බට්ටිගෙත් වැඩි මනාපය නිදහස් මාලුන්ට පාට ය.ඉතින් ටැංකිවල පීනන පාට පාට වරල්වලට වැඩිය උන්දෑට ඕනෑ ගෙවල් ළඟ ඇල පාරේ ඇබිත්තං මාලු අහුරුවලට ටටා බායි කියන්න ය.
කොහොමත් නිදහස් ජීවිත ආදරේ නිදහසටම නොවැ.

ඉගිලෙන ලියමන්
2019.07.12

ආදරයද මේ කිව්වලු

එයා ගෙ නම දිනිඳු.
එයා මාරම මාර හොට් ලුකින්.
දැක්කාම ඇස් කඩාගෙන යනවා ඉතින්.

හින්නික්කිතර කෙල්ල කාලෙ ඉඳන්ම මම උන්දැට ලවු.
එයා ඉතින් කෙලින් ඒ ගැන මුකුත් කියලා තිබ්බෙ නෑ.

එයාගෙ ගෙවල් කොහේද කියලානම් හරියට මං දැනං උන්නෙ නෑ
ඒත් හුඟක් දවස්වල උදේට මං ගෙදරින් එලියට බහින වෙලාවට එයත් ඒ අහළ පහළියේ උන්නලු ඉතින්.
අහළ පහළක නෙවෙයිනං ඉන්නෙ අපේ ගෙවල් අහළ පහළ තැවරෙන්නෙ කජු කඩන්ටයැ.

මාත් ඉතින් දැක්කා නොදැක්කා වගේ හීනියට විරිත්තලා බිම බලාගන්නවා.

සමහර දවස්වලට උන්දෑට අපේ දිහෑ එන්න අමතක වෙනවා.
හනේ අප්පේ එදාට ඉතින් පැත්ත පලාතම මහාම මූසල පාටයි කියලයි මට හිතෙන්නෙ.එළියට බැහැලා මොකක්වත් කරන්න හිතෙන්නෑ කියහංකො.

ඒත් ඉතින් මොකෝ හැමදාම අපේ දිහෑ එන්න එයා මට මොකක්වත් පොරොන්දුවක් දීලා තියනවෑ.

හැමදාම උන්දෑ නේන එකනං ඉවසතෑකී.ඒත් ඉවසන්නම බැරි මේ අහළ පහළ ඉන්න නැට්ටුක්කාරියොත් උන්දැට බැල්ම හෙලන එකනෙ.
 වෙලාවකට හිතෙනවා කාටවත් දෙපාරක් හැරිලා බලන්න හිතෙන්නෙ නැති පතෝල ඩයල් එකකට මනාප වුනානම් මේ  හිතේ අමාරු එකක්වත් නෑනෙ ඉතින්.
මොනවා කරන්නද හිත ගිය තැන මාළිගාවනෙ.

ඔය නැට්ටුකාරියො ටිකගෙන් එපාම කරපු එකී මේඝා.
අනේ ඉතින් කට්ට කලු  මෙලෝ අංගපුලාවක් නැති ඒ ජාතියේ  අංගනාවකට මගේ හීන කුමාරයා කැමති වෙයිද කියලා හිතහංකො.
එහෙමයි කියලා ඒ ඉරිසියාකාරි මගේ ප්‍රේම පුරාණෙට අකුල් හෙලන එක නවත්තයි කියලද?
නෑනෙ.

ළඟකදි ඉඳන්  මේ මලහොල්මන හැමදාම උදේ පාන්දරම ගේ දොරකඩ රැකගෙන ඉන්න පටන් අරන්.උන්දැ දැක්ක ගමන් ඉතින් අර උන්දෑ ඒකිත් එපා මාත් එපා කියලා අතුරුදහන් වෙනවා.දෙන්නටම සොරි තමා ඉතින්.

එහෙම නැතිව කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ කලාතුරකින් දවසක මේ මල කරදරකාරිගෙන් බේරිලා උදැහැනැක්කේ එයායි මායි මුණ ගැහෙනවා. එයයි මායි හිනාවෙනවා.
හප්පේ ඉතින් මට තියෙන සන්තෝසේ.
මගේ චිත්තප්‍රීතිය වටේටම බෝවෙලා  වත්ත වටේම මල් පිපෙන්න ගන්නවා.කුරුල්ලෝ මියුසිකල් ශෝ පටන් ගන්නවා. මගේ මූණත්තහඩුව විතරක් නෙවෙයි මුලු ලෝකෙම එළිය වෙනවා කියලා හිතෙන්න ගන්නවා ඉතින්

විනාඩි දෙකක් යන්නෑ කවුරුහරි මේ විස්තරේ අර කුඩුකේඩුකාරිගෙ කනේ තියනවා.තත්පර දෙකෙන් මුන්දැ අපේ ගේ දොරකඩ.උන්දෑ ආවට වැඩක් නෑනෙ ඉතින්  අපි දෙන්නට දෙන්නා මුණ ගැහිලා ඉවරයි නෙ.
ඉතින් මේකි අපේ ගේ දොරකඩට වෙලා බෑඟිරි ගගහා හොටු හූර හූර අඬන්න ගන්නවා.

බවලත්තුන්ගෙ කඳුලු බලවත්තුන්ට ඇලර්ජික් නෙ.ඉතින් කුමාරයා හිමින් සැරේම මාරු වෙනවා.

පලි: නිවාඩු දවසෙත් මෙහෙම වහිද්දි කොහොමද දෙයියනේ රෙදි ටික වේලගන්නේ.

ඉගිලෙන ලියමන්
2019.06.16

Sunday, June 9, 2019

UK

අපි  හිටියෙ පහන්දිගෙ මළ ගෙදර යන ගමන්.

ආහ්.. අපි කිව්වෙ මේ අපි.පහන්දිත් එක්ක ඔෆිස් එකේ වැඩ කරපු සෙට් එක.

ඉස්සරහ සීට් එකේ විරාජමානව හිටියෙ අපේ බොස්.

පිටිපස්සෙ ඉස්සරම සීට් එකේ මායි ලසන්තියි අනූශයි .අපිට පිටිපස්සෙ නිලූකා, තරුශි, දිනෙත්මා.පිටිපස්සෙ සීට් දෙක අල්ලගත්තෙ අපෙ කොලු නඩේ.ශෝට් ලීව් දාලා පටන් ගත්තු ගමන අන්තිම හරියට අපි ඇවිත් හිටියෙ.

පහන්දි සුයිසයිඩ් කරගත්තෙ ඇයි  කියන එක ඒකිත් එක්ක එකට හිටපු අපි කාටවත් හිතා ගන්න බැරි වුනා.දෙයියනේ මේ ගිය සතියෙත් ලන්ච් වෙලාවෙ කිය කිය හිටියෙ මේ අවුරුද්දේ අග වෙඩින් එක ගන්න ප්ලෑන් කරනවා කියලා.

පහන්දිලගෙ ගෙදර මීට කලින් ගිහින් තිබ්බෙ නැති හින්දා  කුරුණෑගල ටවුමෙ ඉඳලා වෑන් එක ඉක්කා ගගහ යන්නෙ මග දිගට පාර අහගෙන යන්න වෙන හින්දා.

පහන්දි ඔෆිස් එකේ සෙට් එකේ පරණම මෙම්බර් කෙනෙක්.ඇත්‍තටම පහන්දිට රස්සාවක් කරන්න තිබ්බ උවමනාව මොකද්ද කියලා අපි ඒකිව නෝන්ඩි කරපු වාර ගාණ අනන්තයි.ගෙදර එකම ළමයා හින්දා තාත්තගෙ බිස්නස්  ඔක්කොම කවදහරි හැරෙන්න තිබුනෙ පහන්දිගෙ නමට.
අපි මාසෙ අන්තිම වෙනකන් රෝල ගහගන්න දුසිමක් දහං ගැට ගහද්දි පහන්දිට සල්ලිවලින් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.හැබැයි ඒකි කවදාවත් තමන්ට තියෙන එකේ ලොකුකම පෙන්නන්න හැදුවෙ නෑ.නැති වෙලාවට කීයක් හරි ලෝන් එකක් ඉල්ල ගන්න හිටියෙ ඒකි තමා.සමහර වෙලාවට මාසෙ එකහමාර සල්ලි ආපහු දෙන්න පරක්කු වුනොත් ඒකි නෙවෙයි ඒ ගැන වචනයක්වත් ඇහුවෙ .

සිකුරාදා පහන්දිගෙ බර්ත්ඩේ එක.හවස ඔක්කොටම පීසා පාටියක් හම්බුනේ ඒ හින්දා.වීකෙන්ඩ් එකට ගෙදර යද්දි පහන්දි හිටියෙ කිසිම අවුලකින් බවක් කාටවත්ම මතක තිබුනෙ නෑ.
ඒ ගිය ගෑනි ඉරිදා උදේ අම්මගෙ බෙහෙත් පෙති ටික ඔක්කොම එක සැරට බීලා පණ නහගත්තෙ  මොන  යකෙක් වැහිලද කියලයි අපි එකෙක්ටවත් හිතාගන්න බැරි වුනේ.

අපේ බොසා පහන්දි ගැන සෑහෙන පැහැදිලි හිටියෙ ඇත්තටම ඒකිගෙ වැඩ මාර නීට් ඇන්ඩ් ප්‍රොෆෙශනල් හින්දා.
ඔෆිස් එකේ ඉන්න වෙලෙත් අපි දවසින් බාගයක් විතර හිටියෙ බුකියෙ.එහෙම නැත්නම් බොසාට හොරෙන් මල් කඩ කඩ.

ඔෆිස් එකේ හිටි එවුන් හැමෝටම ෆේස්බුක් ප්‍රොෆයිල් තිබ්බා.සමහරුන්ට ඔෆිස් එකට එකයි ගෙදරට එකයි ස්පෙයා වීල් එකට එක ගානෙයි ප්‍රොෆයිල් හැට හුටහමාරක් තිබ්බා.

ඒත් පහන්දි ෆේස්බුක් එකේ හිටියෙ නෑ.ඕවට ඇඩික්ට් වුනාම මට වෙන දෙයක් කරන්න වෙලාවක් නැති වෙනවා.ඒ පහන්දිගෙ  හේතු දැක්විල්ල.පහන්දිගෙ කොල්ලා හිටියෙ යූකේ  වල.ඉතින් ඔෆිස් වෙලාවෙ පහන්දි මල් කඩන්න ගියෙත් නෑ.ඒ යකාත් මගෙ හිතේ ෆේස්බුක් හිටියෙ නෑ.

පහන්දි කොල්ලා එක වලියක් දාගත්තාවත් ද?අපිට එහෙමත් නොහිතුනා නෙවෙයි.ඒත් අනේ මන්දා.ඒ යකා හෙන හැන්ඩියා.
කපල් එක සෙට් වෙලා තිබ්බෙ කැම්පස් යන කාලෙ.පහන්දිගෙ ෆෝන් එකේ වැඩිහරියක් තිබ්බෙ කැම්පස් කාලෙ ජෝඩුවගෙ ෆොටෝ.අවුට් වෙච්ච ගමන් ඒ හාදයා  යූකේ ගිහින් තිබ්බෙ.
අපි පොඩ්ඩ  බැරි වෙද්දි  අපේ  කොල්ලොත් එක්ක ගහමරා ගත්තට මතක ඇති කාලෙක පහන්දි කොල්ලා එක්ක හිත නොහොඳින් හිටි බවක් නම් මතක් වෙන්නෙ නෑ.

පුදුම වෙන්න දේකුත්  නෑ ඉතින්.අපේ හෝන්තුවාවල් වගේ නෙවෙයි ඒ යකා.අපේ එවුන්ට බෙල්ලෙ බෝඩ් ලෑල්ලක් එල්ලුවත් මතකෙ නොහිටියට පහන්දිගෙ කොල්ලට කවදාවත් බර්ත්ඩේ ,වැලන්ටයින් ඩේ, උන් සෙට් වෙච්ච ඇනිවසරි එක ඔය එකක්වත් අමතක වුනේ නෑ.ඔය හැම ඩේ එහෙකටම යූකේ වලින්  පහන්දි හොයාගෙන ආපු තෑගිවලට වෙලාවකට අපිට හීල්ලුනේ නැතුවා නෙවෙයි.අපේ එවුන් චොකලට් පෙට්ටියක් ඇඟේ ගහලා බේරෙද්දි පහන්දිගෙ කොල්ලා තෝරපු තෑගි  මාරම සිලෙක්ශන්ස් තමයි.වෙලාවකට කෙල්ලො වෙච්ච අපිටත් වඩා පර්ෆෙක්ට්  විදියට ඒ තෑගි තෝරලා තිබ්බා කියලා හිතිච්ච වෙලාවල් තිබ්බා.

මේ බර්ත්ඩේ එකට පහන්දිට හම්බෙලා තිබුනේ මාරම ලස්සන ගෝල්ඩ්  චේන් එකකුයි පෙන්ඩන්ට් එකකුයි.

මැරි කරාට පස්සෙ පහන්දිත් උස්වැටකෙයියාවෙ යයි නේද කියලා කොල්ලො  පහන්දිව බයිට් කලේ සිකුරාදා පීසා පාටියෙදි.ඉරිදා වෙද්දි උස්වැටකෙයියාවෙ යන්න හිටපු පහන්දි වැලිගං ගිහිල්ලා.

මඟ දිගට පාර අහගෙන ආපු අපිට පහන්දිගෙ ගෙදරට හැරෙන පාර ළඟ ඉඳලා පාර කිව්වෙ  සුදු කොඩි.පාර දෙපැත්තෙ ලයිට් කණුවල ඉඳගෙන පහන්දි හිනාවක් ඇඳුන නෑඳුන මූණෙන් අපි දිහා බලන් හිටියා.

පෙට්ටියෙ හිටියෙ නම් ඒපුරුදු පහන්දි නෙවෙයි.පහන්දි ගෙ කෙට්ටු  මූණ පපඩමක් ගානට ඉදිමිලා වගේ මට හිතුනෙ.

අත් දෙක එකතු කරලා අපිව පිළිගත්තෙ පහන්දිගෙ වයසට ගිය මොඩ්ල් එකක් .ඉරිදා ඉඳලා අඬලා වෙන්න ඕනෙ පහන්දිගෙ අම්ම හිටියෙ කඩා වැටෙන්න ඔන්න මෙන්න.තාත්තා ඊට ටිකක් එහායින් විහීත වෙලා ඔහේ බලාගෙන හිටියා.

කලු වෙච්ච ඉඳිමිච්ච පහන්දිට අවසන් ගෞරව දක්වලා අපි ගෙයින් එළියට ඇවිත් ටෙන්ට් එකක් යටට වැටුනා.ටික වෙලාවක් එක එක වල්පල් කියව කියවා ඉන්දැද්දි නෙක්ටො වීදුරුවකුයි මාරි බිස්කට්  දෙක තුනකුත් බඩට වැටුනා.

මිනිය උස්සනකන් ඉන්න බැහැනෙ.දැන් ගෙදර යනකොට කීය වෙයිද මන්දා.පහන්දි මළාට අපි ඉතින් හෙටත් අර  රස්සාවෙ කඹුරන්න එපායැ.ඔහොම ඒවා හිත හිතා මම ඉන්දැද්දි අපේ රොයිටරේ නිලූකාට තියෙන්නෙ වෙන ප්‍රශ්න.

අද අවසන් කටයුතු කරනවනම් කෝ පහන්දිගෙ කොල්ලා?
අද වෙද්දි මරණෙ වෙලා දවස් තුනක් නෙ.යූ කේ නෙවෙයි අයිස්ලන්තෙ ඉඳලා වුණත් එන්න බැරි යැ.කොච්චර රබර් ඇහැ වැඩ කළත් මළ ගෙදර හතරමායිමේ නම් ඒ යකාගෙ ෆේස් කට් තියෙන හාදයෙක් පේන්න හිටියෙ නෑ.

පහන්දිගෙ අම්මට යන්නං කියලා අපි ආයෙ එන්න හැරුනට නිලූකගෙ ඕපදූපවාහිනියට ඉතින් අර යකා හොයා ගන්නෙ නැතිව ගිහින් නින්ද යයි යැ.

රිද්ම අයියාට දැන්නුවද ආන්ටි?

පහන්දිගෙ අම්මගෙ ඒ වෙද්දිත් කණාටු වෙච්ච මූණෙ අකුණු වැහි වළාකුළු පිරෙනවා.

රිද්ම? ඒ යකාට කියන්නෙ මොන එහෙකටද?
ඒ මූසලයා තමයි මගෙ දරුවගෙ ජීවිතේ විනාස කලේ....
පහන්දිගෙ අම්මා විලාප තියන්න ගන්නෙ අපේ සැකේ හරි බව ට කැට තියලා.

වෙනමම ලෝකෙක හිටපු පහන්දිගෙ තාත්තා ගැස්සිලා මේ ලෝකෙට කඩා පාත් වෙන්නෙ ඔය විලාපෙටද කොහෙද?
අම්මව වත්තන් කරගෙන අංකල් අපි දිහා බලන්නෙ අයිආර්සී කාරයො දිහා බලන්න වගේ.

ඔය ළමයි අපේ දුවගෙ යාලුවො කිව්වා නේද?
මේ මනුස්සයා දුක් විඳිනවා මදි වෙලාද ඔහෙලා ඇවිල්ලා තවත් ඒ මනුස්සයගෙ හිත පාරන්නේ?

සොරි අන්කල් .වෙරි සොරි.පහන්දිගෙයි  බෝයිෆ්‍රෙන්ඩ්ගෙයි අතරෙ ප්‍රොබ්ලම්ස් තිබ්බ විත්තියක් අපි කවුරුත් දැනං හිටියෙ නෑ.

හැමදාම සමාදාන විනිශ්චයකාරයගෙ ජොබ් එක කරන නිලන්තයා අංකල්ව කූල් ඩවුන් කරන්න ට්‍රයි එහෙක.

බෝයි ෆ්‍රෙන්ඩ්?
අමු කැවිලද ඔහෙලට?

කසාය බීපු ගොලුවො ටික වගේ අපි වෑන් එකේ නැගලා ආපහු එන්න ආවා.

පහන්දිගෙ බෝයිෆ්‍රෙන්ඩ්  රිද්ම හිටියෙ යූකේ වල බව ඇත්ත.හැබැයි ඒ ෆැකල්ටි යන කාලෙ පහන්දි එක්ක යාලු වෙන්න කලින් ඉඳන්ම එකට හිටි කසාද ගෑනියි ළමයයි එක්ක විත්තිය පහන්දිගෙ තාත්තා කිව්ව සද්දෙ ට මගෙ හිතේ යූකේ වල හිටි ඒ මලයකාටත් වැලිගං ගියපු පහන්දිටත් දෙන්නාටත් ඒක  අනිවාර්යයෙන්ම  ඇහෙන්න ඇති.

ඉගිලෙන ලියමන්.
2019.06.07

ප ලි:

පහන්දිගෙ කතාව හැරෙන්න පුලුවන් පැති ගොඩක් තියෙනවා.
1.රිද්ම බැඳපු මිනිහෙක් බව පහන්දි නොදැන හිටියා වෙන්න පුලුවන් .එතකොට රිද්ම යූකේ ගියාට පස්සෙ රිද්මයි පහන්දියි අතරෙ සම්බන්ධයක් තියනවද?
නැද්ද?
නැත්නම් පහන්දිට  බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කිව්වෙ බොරුවටද?එතකොට බොරු පෙම්වතෙක්ව පහන්දි මවාගන්නෙ කාව රවට්ටන්නද?
තමන්ව මද?
ඔෆිසියේ අයවද?

2.රිද්ම බැඳපු මිනිහෙක් බව පහන්දි මුලදි නොදැන හිට්යට     පස්සෙ දැනගෙනත් ඒ විදිහටම ඉන්නවා වෙන්න පුලුවන් .තමන්ට අයිති වෙන්නෙ නැති රටෙත් නැති මිනිහෙක්ගෙන් පහන්දි බලාපොරොත්තු වෙන අනාගතේ මොකද්ද ?

3.පහන්දි මුල ඉඳලාම මේ හැමදේම දැනගෙන හිටියා වෙන්න පුලුවන් .එතකොට පහන්දි ජීවිතේ අතාරින්නෙ මේ දේවල් තවදුරටත් දරාගන්න බැරිවද?

කතාව ඉවර වුනාට ඔය අතුරු පාරවල්වලින් හරි පාර මොකද්ද කියලා කියන්න මම දන්නෙ නෑ.

මොකද ඒක දන්නෙ පහන්දි.ඒක අහන්න පහන්දි ජීවතුන් අතර නෑ.

දුඹුරු මූනෝ

කැම්පස් ගිය කාලේ මංතුමී වැඩියෙන් ම බයේ හිටියේ කාටදැයි ඇහුවොත් උත්තරේ සින්නන් හෙවත් සීනියර්ස්ලා හැටියට ලැබෙයි යැයි ඔහෙලා හිතන්නට බැරි
නැත.

එහෙම හිතූ ඔහේලා වැරදි ය.
 ඉඳහිට එකෙක් ඇරුණු විට අපේ සින්නන් කියා හිතේ ගෞරවය අදටත් එදා ලෙසටම උනත් සින්නන්ට බය වෙන්නට තරම් හදියක් කැම්පස් ගිය කාලය මුලුල්ලේ ම මංතුමීට සිදු වෙලා නැති ය.

කැම්පස් කාලේ මංතුමී පරාණ බයට පත් කළ සත්තු ජාති හිටියේ එකෝම එකක් ය.

ඒ රිලව් ය.

පේරාදෙණියට එන්නට කලියෙන් රිලවු දැක තිබුනේ සත්තුවත්තේදී හෝ රූප පෙට්ටියෙන් විතරම ය.
අම්මාගේ ගම වුණු හෝකන්දර නම් වඳුරන්ගෙන් අඩුවක් නැති ය.අම්මාගේ තාත්තා ගැන මංතුමීට තිබෙනා එකම එක මතකය වඳුරන් එලවන්නට සීයා පාවිච්චි කළ කැටපෝලය ය.

පේරාදෙණිය රිළවුන්ටම ගිය  රට ය.ඇත්තටම උන් හිතන් හිටියේ කැම්පස් එකත් ඒ වටාපිටාවත් අයිති උන්ට කියා ය.
කෑමක් බීමක් බැරි වෙලා හෝ එළි පහළියක තිබුනා නම් ඒවා ට දෙයියන්ගේම පිහිට ය.කොරිඩෝව උන් බදු අරන් නම් මංතුමී වැනි රිලාෆෝබියා ඇත්තියන් පරංගියා කෝට්ටේ ගිය ආකාරයෙන් පත රවුමක් ගසාය පන්තියේ දොරෙන් පැන ගන්නේ.
පාරේ රිලවුන් ඉන්නා නිසා බෝඩිමට යා ගන්න බැරුව ටැග් ගැහුණු දවස් නොසෑහෙන ය.

ඉතින් ඉංග්‍රිසි පන්ති කාලය ඉවර වෙද්දී මේ දුඹුරු පාට යස්සයන් මංතුමීට එපා ම වෙලා ය.

හොස්ටල් යන්න කලියෙන් හිටියේ හිමාලය ඩිංගිත්තක් පල්ලෙහායින් පිහිටි බෝඩිමක ය .දෙයියනේ කියා රිලව් ඒ දිහෑ ආවේ නැති ය.දෙවනි අවුරුද්දේ හොස්ටල් යන්න ගත්තාමය මේ රිලා මොටයියන් මරාගෙන මැරෙන්නටම හිතෙන්නේ.ජේ පී එකේ කාමරවල බැල්කනියත් කොරිඩෝත් වත්තේ තිබුණු බංකු ටිකත් බලෙන් අල්ලාගෙන හිටියේ මේ යක්කුය.

බැල්කනියේ රෙදි වනන, වැනූ රෙදි යලි කාමරයට ගන්නා මෙහෙයුම බොහොමත්ම සමාන වෙන්නේ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදියන් රෑනක් මැද්දට පැන ආපහු නිරුපද්‍රිතව එනවා වගේ එහෙක ට ය.හදිසියකදී ඇතුලට පැන ගන්නට හැකි තරමට දොර ඩිංගිත්තක් ඇර රෙදි බාල්දියත් මංතුමීත් හිතුනොත් ආරස්සාවට කොස්ස වගේ දේකුත් කාමරෙන් බැල්කනියට රිංගනවා ය.ඉනික්බිති අනුන්ගේ වත්තක හොර පොල් කඩන්නැහේ වට පිට බලමින්  අපේ බැල්කනියේ අපි උන්ට හොරෙන් රෙදි වනනවා ය.හිටි අඩියේ බැල්කනි ගැට්ටක් අස්සෙන් විලිස්සා ගත් දුඹුරු මූණා එබෙනවා ය.දුඹුරාගේ කන් ගොඩ වෙන මියුසික් එකක් දමාගෙන මංතුමී කාමරේ ඇතුලට පනිද්දී බොහෝ වෙලාවට රෙදි පනිට්ටුව එලියේ ය.

ජේපී එකට පාරෙන් එහා පැත්තේ හිල්ඩා එක පිරිමි ළමයින්ගේ හොස්ටල් එක ය.බොහෝ වෙලාවට හැන්දෑ කරේ පිරිමි ළමෝ තමන්ගේ ඉතිරි කොටහ මුණ ගැහෙන්නට මේ කන්ද බඩගාන එක සිරිත ය.ඉතින් හති දමාගෙන දිව විකාගෙන කන්ද නගිනා තමන්ගේ ඉතුරු කොටහ වෙනුවෙන් ගෑණු දරුවෝ පිටි ඩිංගිත්තක් ද තේ කහට හා සීනිත් ඩිංග ඩිංහද ආදරේ බාල්දියක් විතරද  එක් කර තේ හදා ගෙන බලා ඉන්න එකත් සිරිත ය.ඉස්සරහ මිදුලේ බංකු පේලියක් තිබුනේ ඔය වාගේ ජෝඩු වුණ ඇත්තන්ට ඔය රස තේක බොමින් මල් කඩන්ට ය.
මේ අසමජ්ජාති රිලවු දන්නා මල් කැඩිල්ලක් නැත.කොලු පරාණය එන තුරු ගෑනු දරුවෙක් තේ කෝප්පය එක්ක බංකුවක බලන් හිටිය දා වැඩේ හරි ය. අර පොඩි කාලේ ඉගෙනගත් කතාවක කිරි කකා හිටි කෙල්ලක් මකුළුවෙක් ට බය වී කිරි භාජනේ අත ඇර දිව්වා වගේම රිලා මොටෙයියා බංකුව උඩට සැපත් වුනාම ගැහැණු දරුවා දුවන්නෙත් ආදර තේක බංකුව උඩ තියා ය.ආදර තේකට රිලා පිහිටත් ආරක්ෂාවත් ය.

තුන්වෙනි අවුරුද්ද හරියේ හොස්ටල්වලින් අපි එළියට විසි වෙනවා ය.හිඳගල පැත්තේ බෝඩිමකට යද්දී අනේ රිලා මොටෙයියන්ගෙන් නිදහස් නේදැයි හිතුනාදැයි මංතුමීට නිච්චියක් නැත.

ඒත් එහෙව් වාසනාවක් මේ අපිට නම් තිබුනේ නැති ය.අල්ලපු කාමරේ අක්කා ගස්ලබු බෑයක් කාමරේ තියාගත් පලියට වහලෙන් රිංගලා ආ රිලා තඩියා ගස්ලබු බෑයක් තියා කෙහෙල් ලෙල්ලක්වත් නැති මංතුමී ගේ කාමරෙත් වනසලා යස රඟට වහලය උඩ විරිත්තමින් ඉන්නවා ය.බෝඩිමේ ගෙදර අක්කාත් පොඩි උන් දෙන්නාත් විතරය .උන්දැගේ මහත්තැන් හමුදාවේ නිසා ගෙදර නැති ගාණ ය.දන්නා නැටුම් ඔක්කොම නටාත් රිලා තඩියා එලවා ගත නොහී කොලු පරාණවලට උන් බය වෙනවා යැයි කතාවක් මතක් වී පහළ හිඳගල හොස්ටල් එකෙන් කොලු පරාණයක් අඬගහගන්නත්  වෙනවා ය.ආපු ඉලන්දාරියා දිහා කෝචෝක් බැල්මක් හෙලා උන්දැගේ ගෝරනාඩුව තඹ සතේකට ගනන් නොගෙන රිලා තඩියා උගේ පාඩුවේ වලිගේ උකුණන් බලන හැඩ ය.අන්තිමේ කොහේදෝ තිබී හොයාගත් රතිඤ්ඤා කරලක් පත්තු කරන්නටද කරුණු කාරණා සිදු විය.මංතුමී තරම්වත් රතිඤ්ඤා සද්දය මායිම් නොකළ රිලා මොටා අපේ කොමිටල් කෑලි බෝරිං බව දනවන බැල්මක් හෙලා යාන්තම් මාරු වී යන්නේ ය.බෝඩිමම හෝදන්නට වැඩ සිද්ධ කර හමාරය.

රාමනාදන් හොස්ටල් යන්නේ තුන්වෙනි හෝ හතරවෙනි අවුරුද්දේ ය.රිලවුන් බඩ පිණුම් ගහන්නේ එහේ ය.රිළවෙක් නිය අගින් වත් සූරන්නේ නැතිවත් පිටගැස්මට බෙහෙත් විදින්නට වූ එකම ලලනාව මංතුමී වෙන්නට ඕනෑ ය.

ඒ කෙසේද යත්

උදේ නැගිට ෆැකල්ටි දුවන්නට මත්තෙන් රෙදි කන්දක් හේදූ මංතුමී එව්වා බැල්කනියේ වැලේ වනා දුවනවාය.හවස එද්දී එකම එක ජංජාලයක් ය.තෙත රෙදි උඩ ඩෙගා නැටූ රිලා තඩියන්ගේ මඩ වැකුණු අත් කකුල් පාරවල් ඇඳුම් වල අලුත් මෝස්තර මවලා ය.බාගෙට බාගයක් ඇඳුම් බිම බදාගෙන ය.රිලා සංහතියත් එක්කම ආත්ම හතක් වෛර බඳින්නට කරුණු කාරනා සිද්ධ වෙලාය.

රෙදි වැල බැල්කනියේ නැතිව කාමරය තුල ගැට ගසන්නට මංතුමී ඉටා ගන්නේ ඔය වෙලාවේය.තක්කඩි රිලවුන්ගේ දෙමාපිය පරම්පරාවලට සෝලි නගමින් රෙදි වැල ලිහන්නට ශත වර්ශ ගණනාවක් පරණ පුටුවක් උඩ නැගගත් මංතුමී පුටුව කඩා ගෙන බිම වැටෙන්නේ ඊට ටික වෙලාවකට පස්සේ ය.පුටුවේ තිබූ දාර ඇණ රාජයෙක් බත්කෙන්ඩක් හූරාගෙන පහළට බහින්නේ සති ගානක් හෙල්ත් සෙන්ටර් බඩ ගාමින් තුවාලයට බෙහෙත් දාන්නත් පිටගැස්ම බෙහෙත් විදින්නත් මංතුමීට වැඩ සිද්ධ කරමින් ය.

නාදන් රිලවුන් ඕන් ඔය ආකාරයේ එපා කොරපු ජාතියක් ය.කාමරවල ජනේලයක් ඇරගෙන ඉන්නවා කියන එක මංතුමීලාට හීනයක් මය.වැරදිලා ජනෙල් පියනක් ඇරී තිබුනා කියන්නේ බඩුම තමා ය.අතට ගෙන සොලවා බලා හරියටම පිටි බෝතලය හොයා ගන්නට මේ යක්කු දස්සය.පිටි බෝතලයෙන් බාගයකටත් එහා ගිල දමා පිටිවලින් මේකප් දමා ඉතිරි පිටි ටික කාමරේ පුරා හලා යන්නේ ද මේ යක්කු ය.උම්බලකඩ කෑල්ලක් යැයි රැවටී මගේ අහිංසක රූමියෙක්ව කිඩ්නැප් කරන්න ප්ලෑන් කලේද ඔය නසරානි සෙට් එකමැයි.උන්ට පිස්සු නටන්නට ජනෙල් ඇර තියන්නට ඕනෑම නැත.

වැලේ වනා තිබෙන රෙදි ඔලුවේ නවා ගෙන ශාරුක් දකින්නට කාජල් දුවන්නාසේ වහල දිගේ දුවන්නේ මේ යක්කු ය.කුණු බාජන පෙරලා විනාස කරන්නේ අහළ පහළක ඉන්න බැරි වෙන විදිහට ය.අඩුම තරමේ දොරක කීටැග් එකක් උනත් උන්දැලාට හිත ගියාම නම් යතුරත් එක්කම උනත් අරගෙන යන්නට උන්දැලා අහලා බලන සිරිතක් නැති ය.

දන්නා තරමින් රිලවුන් කන්ෆියුස් වූයේ එකම එක දවසක විතරය .ඉසුරු අක්කලා ගේ කාමරයේ ඇරපු ජනේලයකින් රිලවෙක් රිංගනවා ය.අපේ කාමරවල ජනේලය ළඟ සීනිබෝතල් පිටි බෝතල් වුනාට මේ කාමරේ එහෙම නැතිලුය.

ජනෙල් පඩිය දිගට කාමරවාසීන්ගේ රූපලාවණ්‍ය බඩුමුට්ටු ය.හිස් මුදුනේ සිට පයේ නියමලට යනතුරු ගානා ක්‍රීම් ජාති ආකරයක් ය.එක එක හැඩයේ එක එක ගනණින් දැති ඇති පනාය.ලෝකේ තියෙනා ඔක්කොම පාටින් කොන්ඩ බූලෝ ය.නහය කඩාගෙන යන සැන්ට් කුප්පි ය.ජීවිතේ ට මට රිලවෙක් ට පවු කියලා හිතෙනවානම් ඒ ඔය කාමරේට රිංගූ රිලවා ගැන ය.මොනවා කොරන්නදැයි හිතාගන්නට බැරි ව සිහි මූර්ජා වෙන  රිලවා හොඳ වෙලාවට කාමර ඇත්තියන්ගේ විලාපයට පියවි සිහිය එලවා ගෙන ජනේලයෙන් පැන පණ බේරා ගන්නවා ය.

අන්තිම අවුරුද්ද විජේවර්ධනයේ ය.නාකි කෙල්ලන් ඉන්නා නිසාදෝ විජේවර්ධනයට රිලවුන් වැඩි මනාපයක් දක්වන්නේ නැති ය.දෙ
යියනේ කියා රෙදි වනාගන්නට ,හායි ගා ජනෙල් ඇරලා තියන්නට අන්තිම අවුරුද්දේ හෝ ලැබෙන නිදහස ගැන මංතුමීට පැලෙන්න සංතෝස ය.

ඇරුණු ජනෙල් දුටුවාම රිලවුන්ට වඩා කුලප්පු වෙන මිනිස් සත්තුත් ඉන්නා බව තේරෙන්නෙ ටික දවසක් යද්දී ය.ඉතින් ආයෙමත් ජනෙල් වහලා ය.

හැබැයි රෙදි ටික නම් දෙයියනේ කියා වේලුනා ය.

රිලා කතා ඕං ඔහොම ය.

ඉගිලෙන ලියමන්

2019.06.09

පලි:පින්තූරේ ඉන්න රිලා මොටා අන්තර්ජාලයෙන් ය

Tuesday, December 25, 2018

වෙජී ශොපින් බයි එතුමානෝ

ගෙදර උතුමානෝයි මායි වෙලාවකට අහසයි පොළවයි වගේ.උන්දැගේ හැම වැඩක්ම් බොහෝම සීරුවට පිළිවෙලට.මගේ වැඩ ඉතින් පස්ස දාච්ච කඩියා ඉස්ටැයිල් එකට නෙ.

මෙහෙම ඉස්සිසෙල්ලාම බටර් ගාලා පටන් ගන්නකොට ඔහෙලාට තේරෙන්න ඕනෙ අදත් ගෙදර උතුමාණන්ට මඩක් වදින්නයි යන්නෙ කියලා.

ගෙදර උතුමාණන්ට කරන්න බැරි වැඩ තියෙනවානම් ඒ බොහෝම සුවල්පයයි.ආං ඒ සුවල්පයෙන් එකක් තමයි එලෝලු ගේන එක.

උතුමාණන් පොඩි කාලෙ දවසක් අම්මා කිව්වලු හන්දියට ගිහින් එලෝලු  ජාති පහක් ගේන්ට කියලා.උතුමාණන් සෞන්දර්ය වලට කලේ චිත්‍ර නොවැ.ඉතින් වර්ණ ගැලපීම එහෙම හොඳට සලකලා බලලා පාට පාටින් අලවර්ග පහක් ගෙනිච්චලු ගෙදර.
ඔය කතාව මාත් එක්ක කිව්වෙ උතුමාණන්ද අම්මාද කියලා හරි මතකයක් නෑ.

කෝක වෙතත් අවදානම ගන්නවාට වැඩිය සූදානමෙන් ඉන්න එක හොඳ නිසා ගෙදෙට්ට එලෝලු ගේන ජොබ් එක නිතරගයෙන්ම භාර ගත්තෙ මං තුමී.ඉතුරු බඩුබාහිරාදිය ගැනිල්ලට නම් කප්පිත්තා උතුමාණන් ම තමා.මොකද ඔය කල් ඉකුත් වෙන දින බැලිලි එහෙම මට මතක් වෙන්නෙම නෑ.ශර්ලොක් හෝම්ස්ටත් වඩා හොඳට ලේබල්වල තියෙන පොඩි අකුරු හිටන් බලලා අහුරාපු බෝතල්කරපු ටින් කරපු ජාති ගැන තීරණ ගැනිල්ල අයිති වෙන්නෙ උතුමාණන් ට.

කොහේදෝ යන නිදි පිසාචයෙක් මට වැහෙන්නෙ ඊයෙ රෑ ජාමේ.පිසාචයාගේ බලපෑම හින්දා වැටුණු තැන නින්ද ගිය මට අද උදේ පස්චාත් භාගයට ඉර එළිය වැටිලත් උගෙන්  ගැලවිල්ලක් නැත.
උයන පිහන ජාති ගේන්නට  කීල්ස් එකට යන ට්‍රිප් එක අපේ උතුමානෝ තනියෙන් යන්නේ මංතුමී තදින් බදාගෙන උන් ඇඳෙන් ගලවා ගන්නට බැරි වෙන හින්දා ය.

ඉතින් එතුමානෝ තනියෙන් තේරූ එලෝලුවලට එතුමාට වැරැද්දක් කියන්න බෑ මය.

මං තුමී: ඇයි අනේ මේ තඩි බීට් අල තුනක්?
එතුමා:එකක් අද කන්න.එකක් හෙට කන්න.අනික අනිද්දා

මං තුමී:ඇයි අනේ මේ කොළත් එක්ක බීට් ගස් පිටින් ගෙනාවෙ?
එතුමා: ඒවා දැක්කම ලස්සනට තිබ්බා

මංතුමී:ඇයි අනේ මේ අලී කැරට් අල තොගේකුයි මාලු මිරිස් මහා ගොඩකුයි ගෙනැල්ලා
එතුමා:ඒවා ලාබෙට තිබ්බා.ඉතින් ගෙනාවා.

මංතුමී:එතකොට අර තනි කරවිල කරලක් ගෙනාවෙ මොකටෙයි?
එතුමා:කරවිල තිත්තයි.

මංතුමී:හ්ම්ම්ම්(😠😠😠😠😠)
එතුමා:මං දෙල් ගෙඩියකුත් ගෙනාවා

පිපිඤ්ඤා ගෙඩිය ගැන එතුමාගෙන් ඇහුවානං හම්බෙන ප්‍රතිචාරය මොකක් වෙන්නට පුළුවන්දැයි හිතන එක මංතුමීවිසින් ලබන සභාවා‍රයට කල් දමන ලදී.

බීට් ඉවිය හැකි විවිධ වූ රෙසිපි දන්නා ඔබට කෙරෙන විශේශ ආරාධනයයි.ඔබේ අගනා රෙසිපි ඉන්බොක්ස් හරහා මංතුමීට යොමු කරන්න.

Monday, December 24, 2018

තටු නැති මේ කිරිල්ලී

තටු නැතුව ඉපදුන කිරිල්ලියෙක්ට පියාඹන්න හිතුනම මොකද වෙන්නෙ?





 

ජෙසිකා කොක්ස්(Jessica Cox) ඉපදෙන්නේ 1983 අවුරුද්දෙ ඇමරිකාවෙ ඇරිසෝනාවලදි.අම්මගෙ බඩේ ඉන්දැද්දි කාටවත් හොයාගන්න බැරි වෙච්ච් ඉරණමක් එක්කයි ජෙසිකා මේ ලෝකෙට එන්නෙ.ජෙසිකාගේ අත් දෙකම උපතින් ම පිහිටන්නෙ නැහැ.

ජෙසිකාගෙ අම්මටයි තාත්තටයි මොනවා හිතෙන්න ඇත්ද කියලා මම දන්නෙ නැහැ.

ඒත් ඒ දෙන්නා තීරණය කරනවා ජෙසිකාට සාමාන්‍ය ළමයෙක්ට වගේම සලකන්න.

ඉස්කෝලෙ යන වයසට එන ජෙසිකා යන්නෙ සාමාන්‍ය ළමයි යන ඉස්කෝලෙකට.කෘතිම අත් දෙකකට හුරුවෙන්න ජෙසිකාට සිද්ධ වෙනවා.සෑහෙන ප්‍රතිකාර ,ව්‍යායාමත් ඒ එක්ක එනවා.

පීනන්න, නටන්න වගේම අවුරුදු දහයේ ඉඳන් ටයිකොන්ඩෝ ක්‍රීඩාව කරන්නත් ජෙසිකා පුරුදු වෙනවා.

ඒත් ජෙසිකා කැමතිම නැති දේ වෙන්නෙ හැමෝම වගේ ජෙසිකාට අබ්බගාතයෙක්ට වගේ සලකන එක, ඕනෑවට වඩා පරිස්සම් කරන එක.
විවේක කාලේ සෙල්ලම් පිට්ටනියෙ ඔංචිල්ලාවකට වෙලා ජෙසිකා කල්පනා කරන්නෙ මේ බැමි බිඳගෙන නිදහසේ පියාඹන්න .

කෘතිම අත් ජෙසිකාට මහ කරදරයක්.ඉතින් ඈ කෘතිම අත් ඉවත් කරලා ඇගේ අත් දෙකේ බර ඔක්කෝම කකුල් දෙකට පවරනවා.

අවුරුදු 14 දි ඇය ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා කලුපටිධාරිනියක් වෙනවා.
ඈ කකුලෙන් ලියන්නත් ටයිප් කරන්නත් ගන්නවා.
මිනිත්තුවකට වචන 25ක වේගයෙන් ටයිප් කරන ඈ 2005 අවුරුද්දෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරමින් උපාධිය ලබා ගන්නවා.
විශ්ව විද්‍යාලයේ ඉඳිද්දී ඇය නැවතත් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් දෙවන හා තෙවන කළු පටිත් ලබා ගන්නවා.

දෑතේ පිහිටක් නැතිව සර්ෆිං ක්‍රීඩාවටත් ඇය දක්ශයි.ඒ වගේම ඈ සහතික කළ ස්කූබා කිමිදුම්වරියක්.

ඇය පදවන්නේ සාමාන්‍ය ඔබ අපි පදවන මෝටර් රථයක්.ඒ සඳහා ඇයට ඇත්තේත් සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් .

පොඩි කාලේ තිබුණු පියාඹන සිහිනයත් ජෙසිකා සැබෑ කරගන්නේ අවුරුදු තුනක පුහුණුවකින් පස්සෙ ගුවන් නියමු බලපත්‍රයක් අයිති කරගෙන.
ගිනස් පොතට ඈ එක් වන්නේ ලෝකයේ පළමු අත් නැති ගුවන් නියමුවා හැටියටයි.

2012දී  ජෙසිකා ඇගේ ටයිකොන්ඩෝ පුහුණුකරු පැට්‍රික් සමඟ විවාහ වෙනවා.අතක් නැති ජෙසිකා කොහොමද මගුල් මුද්දක් දාන්නෙ?
මුදුවක් වෙනුවට ලෝකේ එකම මගුල් පා සළඹ පළදින්නෙත් ජෙසිකා විතරක් ම වෙන්න ඇති.

තනිවම ඇඳුම් ඇඳගන්නට ,පියානෝ වාදනයට විතරක් නෙමෙයි ඇගේ ඇසේ සිවිකාච මාරුකරගන්නත් ඇයට පුලුවන් .

අතක් නැති තවත් යහලුවෙක් හා එකතුවෙන් Toe Talks යූ ටියුබ් චැනලය ඇය පටන් ගන්නේ ඒ වගේ එදිනෙදා වැඩ කටයුතු දෑතේ උදවු රහිතව කරගන්නා හැටි ගැන අත් නැති අන් අයටත් කියා දෙන්නටයි.

රටවල් 20කටත් වඩා සංචාරය කරන ජෙසිකා හැමෝටම දෙන පණිවිඩය මොන අභියෝග ආවත් තමන්ගේ හිතේ හයිය තමන්ට උවමනා තැනට තමන් ගෙන යන බවයි.

මේ 2012 වසරේ ඇමරිකාවේ ආදර්ශමත් ම කාන්තාව ජෙසිකා කොක්ස් .

අත පය හතරම අඩුවක් නැති අපට ජෙසිකාගෙන් පියාඹන හැටි ඉගෙන ගන්න බැරිද?


ඉගිලෙන ලියමන් 2018.12.23

මගේ කුමාරිහාමි

අලුත් ඔෆිස් එකට ආපු දවසෙ ඉස්ඉස්සෙල්ලාම මම දැක්කෙ එයාව.ඇස් දෙක ලොකූ කරන් එයා මගෙ දිහා බලන් හිටියා.
"හලෝ"
මම ළඟට කිට්ටු කළා විතරයි මෙන්න මුන්දෑ අනිත් පැත්ත හැරිලා දුවන්න ගත්තා.
පිස්සු කෝළමක් නෙ.

මම සමරබන්දු.රිටයර් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි බම්බලපිටියෙ අලුතෙන් දාපු ඔෆිස් එකේ මැනේජර් කම හම්බුනේ.

"යන්තං ඇති මැරීගෙන් කඹුරපුවට ඔහොම පට්ටමක් හරි හම්බුනා"මාලතී කිව්වෙ උපහාසෙට විරිත්තන ගමන්.

මාලතී ව කසාද බැඳලා අවුරුදු තිහක්.අවුරුදු ගණනාවක් දන්න කියන හැම නැටුමක්ම නටලා අන්තිමේ ළමයෙක් හදන ආසාව අතඇරියෙ හෙම්බත් වෙලා.එක ගෙදර කාමර දෙකක වෙනම ජීවිත දෙකක් හැටියට ජීවත් වෙන එක මාලතීටයි මටයි දැන් පුරුද්දට ගිහින්.
මගේ හැම දේකම මාලතීට පෙනුනෙ ඇදයක්ම යි.මාලතී කියන ඒවට බීරෙක් වගේ ඉන්න එකත් දැන් මට හොඳටෝම පුරුදුයි.

එයාගෙ නම රෝසි කියලා මම දැනගත්තෙ දවසක් දෙකක් යද්දි.එයා වැඩිපුරම හිටියෙ උඩ තට්ටුවෙ.ඒත් සැරෙන් සැරේ මගේ කැබින් එකේ දොරෙන් එබිකම් කරලා අතුරුදහන් වෙන්න රෝසි අමතක කළේ නෑ.
හරිම කෝලමක් තමයි.

ඔෆිස් එකෙ අනිත් උදවියව මම තියාගත්තේ අතේ දුරින් නැත්නම් ඕකුන් කරේ නැගලයි පස්ස බලන්නෙ.
ඒත් රෝසිට ඒ තහංචි වලංගු වුනේ නෑ.
මටත් නොදැනීම මගේ හිතේ රෝසි ගැන ලොකූ ලෙන්ගතුකමක් ඉපදිලා.
හැමදාම රෝසි එනකන් මම දෙතුන් පාර කැබින් එකේ දොර දිහා බැලුවා .
ඉරිදා දවස් නිවාඩු දවස්වලට මට සාංකාව වගේ දැනුණා.ඉඳලා හිටලා දවසක රෝසි රෑට මගෙ හීන අස්සටත් රිංගුවා.

රෝසි පුදුමාකාර ආඩම්බරයි.මං ඇරෙන්න ඔෆිස් එකේ වෙන මොකෙක්ව වත් තඹ සතේකට මායිම් කළේ නෑ.ඔෆිස් එකේ උන් මං නැති තැන රෝසිට බොසාගෙ කුමාරිහාමි කියලා නමකුත් පට බැන්දා.ඒත්  රෝසි නෙවෙයි ඒවා ගනන් ගත්තේ.

මට වැඩවැඩි වෙලාවලට කවදාවත්  රෝසි කරදරයක් වෙන්න ආවෙ නෑ.ඒත්  මට විවේක ගන්න මිනිත්තුවක් දෙකක් හම්බෙනකොටම රෝසි කැබින් එකේ දොර ළඟ .හරියට මගේ හිත කියෙව්වා වගේ.

රෝසිගෙ වැඩි කතාවක් බහක් තිබ්බෙ නෑ.ඒකටත් එක්ක හරියන්න ඒ වෙලාවල් මම පිස්සෙක් වගේ කියෙව්වා.පොඩි කොල්ලා කාලේ කරපුවා, කැම්පස් කාලේ පිස්සු නටපුවා, මාලතී කසාද බැඳපු හැටි, එක ගෙදර කාමර දෙහෙක නීසර ජීවිතේ ගැන රෝසිගේ කන් දෙක ගොඩ වෙනකම්ම මං කියෙව්වා.ඉඳ හිට හූමිටි තිය තිය හුරතල් වෙවී රෝසි ඔය ඔක්කොම කණිපින්දම් කන්වල පුරව ගත්තා.ඉඳලා හිටලා කවුරුවත් වටපිටාවෙ නැතිවෙලාවට රෝසි මට තුරුල් වෙලා හිටියා.ජීවිතේ ආයෙමත් සැරයක් ජීවත් වෙනවා කියලා ඇත්තටම මට දැණුනා.

අවුරුදු හැටකට කිට්ටු තට්ටෙ පෑදිච්ච තඩි බඩකුත් තියෙන නාකි හමෙක්ට කවුද ආදරේ කරන්නෙ?ඔය වයසට හම්බෙන හුඟක් ආදර කෑදර වෙන්නෙ ආදරේට , රස්සාවෙ පට්ටමට එහෙම.රෝසි එහෙම නෑ කියලා මට සීයට දෙසීයක්ම විශ්වාසයි.කවදාවත් කටක් ඇරලා කිසිම දෙයක් ඒකි මගෙන් ඉල්ලුවෙ නෑ මේ මුලු අවුරුද්දටම.

ඒත් අද?
අද මම රිටයර් වෙනවා.
අද මම ඔෆිස් එන අන්තිම දවස.අවුරුදු ගානක් තිස්සේ කරපු රස්සාව දැන් මට ඇති වෙලා තියෙන්නෙ.රිටයර් වෙලා නිදහසේ ඉන්න එක කොච්චර සතුටක්ද කියලයි අවුරුද්දෙ මුල මට හිතුනෙ?
ඒත් මම කොහොමද රෝසි දාලා යන්නෙ?
දවසම රෝසි පේන්න හිටියෙ නෑ.කොහේ ගිහින්ද මන්දා.දොර දිහා බලලාම මගෙ බෙල්ලත් උලුක්කු වෙන්න ආවා.

ඔෆිස් එකේ එවුන් මම යනවට පාර්ටියක්  තිබ්බා.ඒ  අස්සෙත් මම කැරකි කැරකී හෙව්වෙ රෝසිව.රෝසි අතුරුදහන් වෙලා.
මෙච්චර කල් මගෙ වටේ එති එතී ඉඳලා මම යන්න යනකොට අත ඇරලා දාන ජාතියේ ආදරයක්ද ඒකත්.
ලොකූ කලු ගල්ගෙඩියක් මගේ හිත උඩට ආයෙ ආයෙ අත අරිනවා වගේ දැනුනෙ එහෙම හිතෙද්දි.

ඔෆිස් ඇරිලා ඔක්කොම  යන්න ගියා.මම කැබින් එකේ බඩු මුට්ටු අස් කර කර තවතවත් ටැග්ගැහුනෙ දැන්වත් රෝසි එයි කියලා.
හතරවටෙන් කලු කරගෙන වහින්න එනවා.

"සර්,වාහනේ ගෙනත් තියෙන්නෙ"මගේ ඩ්‍රයිවර් සමන්ත කෝල් කලේ තුන් වෙනි පාරට.

බලාපොරොත්තු ඔක්කොම අත ඇරලා මම ලිෆ්ට් එකේ පහළට බැස්සා.
 
කාර් එකට අඩි දෙකතුනක් වෙන්න නැවතිලා මගෙ දිහා බලං හිටියෙ රෝසි.
  රෝසිව මගේ පපුවට තුරුල් කර ගත්තේ මුකුත් හිතන්න හිතට ඉඩක් නොදීමයි.

"ස...සර්....මේ..මේ.."
මට තුරුල්වෙලා ගුලි වෙලා හිටිය රෝසි දිහා බලාගෙන සමන්ත තතනනවා.
"ගෙදර යං"
අහස ගොරවද්දි මාත් ගෙරෙව්වා.

මාලතී...මාලතී මොනවා කියයිද?
මොනවා කිව්වත් මට කමක් නෑ.ස්වාමිපුරුෂයා හැටියට මම කවදාවත් මාලතීට අඩුවක් කරලත් නෑ කරන්නෙත් නෑ.ඒත් රෝසි නැතුව මට ඉන්නත් බෑ.

අන්තිම වතාවටත්  මාව ගෙදරින් බස්සලා සමන්ත ඉගිල්ලිලා ගියා.සුපුරුදු පරිදි මාව පිලිගන්න දොර ඇරගෙන කවුරුත් එන්නෙ නෑ.
සාලේ සෝපාව උඩට වෙලා මාලතී ටීවී එකේ හින්දි ෆිල්ම් එකක ගිලිලා හිටියා.

"මාලතී....."ටීවී එකට උඩින් මම කටහඬ ඉස්සුවා.
"ඇයි?"
මාලතී මගෙ දිහාට හැරුනේ සුපුරුදු නොරිස්සුමෙන්.

"මේ රෝසි.එයා අපිත් එක්ක ඉන්නවා අද ඉඳලා."

"ඉතින් .ගෙදරට කැන්දගෙන  ඇවිල්ලා ඉවරවෙලා නෙ මගෙන් අහන්නෙ.මොකෝ මම එපා කිව්වා කියලා අහන එකක් යැ.
මගෙ මොකෝ.ඕන කෙහෙල් මලක්.

හැබැයි ඔන්න මම දැන්මම කිව්වා කියලා හිතා ගන්න.ජරාව අදින්නයි මෙතන පැටවු ගැහුවම පන්සල් ගානෙ ගෙනිහින් දාන්නයි ඔක්කොම කරන්න වෙන්නෙ ඔහෙට.තියෙන ඒවා මදිවට.........."

මාලතීගේ කන්දොස්කිරියාව ඒ කනෙන් රිංගලා මේ කනෙන්  එළියට යද්දී රෝසිවත් තුරුළු කරං මම මගේ කාමරේට රිංගුවා.

රෝසි හැමදාම පුරුදු විදිහට ඇස් දෙක ලොකූ කරලා මාත් එක්ක හිනා වුණා.

ඤාව්.........................

ඉගිලෙන ලියමන් 2018.12.23