Saturday, August 5, 2017

යං සැලුං



පොඩි කාලේ මල්ලිගෙයි මගෙයි දෙන්නාගේම කොන්ඩෙ කපන්නේ වල්ගම හන්දියේ සැලුන් එකෙන් ය.
මාසෙකට වතාවක් අනිවාර්යෙන් තාත්තාගේ බයික් එකේ නැගලා ගිහින් කොන්ඩෙ බාබර්ට දී එනවාය.කොන්ඩෙ කපනතුරු එතැන වේලි වේලී ඉන්නා මට බලන්නට තියෙන්නේ අරුම පුදුම කොන්ඩා මෝස්තර තියෙන ජපන් හෝ කොරියන් පිරිමි පෝලිමක් ඉන්න බෝඩ් ලෑල්ලක් විතර ය.එහෙම බෝඩ් එකක් තිබුනාට කවුරුවත් ඇවිත් බාබර් උන්නැහේ ගෙන් ඒකේ තිබුණු මෝස්තරේකට කොන්ඩෙ කපන්න කියා ඉල්ලුවේ නැත.කුකුල් කරමල් වගේ තිබුනු ඒ මෝස්තරවලට කොන්ඩේ කපාගෙන ඒ ගම් ගොඩේ අරුම පුදුම සතෙක් වෙන්නට කාටවත් උවමනා නොවුනු හැඩය.

මාතර ටවුමේ ගෑනු ළමයින්ගේ අරුමෝසම් සැලුන් එකකට කියා තිබුනේ ඉශාරා එක ය.ඒකෙන් කොන්ඩෙ කපන්නට අපිව එක්කන් ගියේ එක දවසය.ඒ වෙනකොට බහ තෝරන්නට පුරුදුව හිටි  මලයා,සැලුන් එකේ පහල තට්ටුවේ මංගල සාරියක් අන්දා සිටි ඩමියක් කෙරෙහි පිළිබඳ සිතක් පහළ වී "මට මනමාලියෙක් ඕනෑ "යයි මර ළතෝනි තියා අපේ සායම ඇරිය හෙයින් එදායින් පස්සේ ඒ හතර මායිමේ පස් නොපාගන්නට අපි තීරණය කළෙමු.යාන්තම් ප්ලාස්ටික් බෝනික්කෙක් අරන් දීමෙන් එදා දවස මලයා සනසා ගත්තත් තවමත් එදා හැදුනු මනමාලියන් සෙවීමේ පිස්සුව අඩු වී නැති බව අක්කා වශයෙන් මට සහතික ය.

ඊට පස්සෙ කැම්පස් එන තුරුම මගේ කොන්ඩෙ භාර වුනේ ගුනසේන එකේ උඩ තට්ටුවේ සැලුන් පොඩ්ඩක් දාන් හිටි රොබට් අන්කල්ට ය.සැලුන් එක අයිති හින්දා දෝ රොබට් අන්කල්ගේ රැවුලවත් කොන්ඩෙවත් කපන පාටක් පේන්නට තිබ්බේ නැත. වැඩි හරියක් ට්‍රිමර් එකෙන් ම මගේ කෙස්ස කපන ගමන් රොබට් අංකලුත් තාත්තාත් කාලීන ආර්ථික,දේශපාලන ,සමාජයීය ගැටලු ඔක්කොම සාකච්චා කර අහවර කරනවා ය.රොබට් අංකල්ගේ සැලුන් එකෙත් අර කොරියන් /චීන හාදයන් ගේ බෝඩ් එක තිබ්බත් පත්තර දෙක තුනකුත් තිබුණ නිසා කොණ්ඩෙ කපන වාරය එනතුරු මට කුකුල් කරමල් කොණඩයන් දිහා අනිමිසලෝචන පූජා කරන්නට වුනේ නැත.ට්‍රිමර් එකෙන් කොන්ඩෙ කැපුවාම පහුවදා ඉස්කෝලෙ ගියාම විසුමක් නැත.බුරුසුව වගේ අතේ ඇනෙන කොට කොන්ඩේ අල්ලලා බලන්නට එදාට හැම එකීටම  වාගේ ඕනෑ ය.

කැම්පස් ආවාට පස්සේ කොන්ඩේ වවන්න ගත්ත නිසා සැලුන් යන්ට වුවමනාවක් උනේ ම නැත.තුන් වෙනි අවුරුද්දේදි හදිස්සියේම ආයෙමත් කොට කොණ්ඩයකට පෙරේත කමක් ඇති වී කපා ගත් කෙස්ස අන්තිම අවුරුද්ද වෙන කොට ආයෙමත් බලු නට්ටක් වගේ ගැට ගහගන්නට දිග ය.

ෆයිනල් ඉවර වුණාම පහළ බැච් එකේ ඇත්තන් අපිට ගොයිමක් දෙන එක සිරිත ය.ගොයිමට යාමට පෙර මගේ මූනත්තහඩුව ඊට සුදුසු පරිදි ක්ලීනප් කළ යුතු බව හොස්ටල් වාසී විද්වත් බවලත් ජනතාවගේ බහුතර මතය වූ නිසා හා හා පුරා කියා රූපලාවන්‍ය කටයුත්තකට සැලුන් එකකට යන්නට සිදු විණි.
ගලහ හන්දියෙන් බසයකට නැග පේරාදෙනියෙන් බැහැ ගත්තාම ඉස්සෙල්ලාම දකින් සැලූන් එකට මම යනකොටත් අපේ බැචියන් රොත්තක් එතනය.සැලුන් එක ඇතුල පොඩි හෝටලයක් වගේ ය.එයා කන්ඩිශන් ය.රිසෙප්ශන් ඒරියා එක වෙනම ය.තමන් ගේ වාරේ එනකන් ඉන්නා උදවියට වාඩි වෙන්න කොට්ට පිරුනු සෝෆා එකකි.කියවන්න ෆැශන් සඟරා දුසිමක් විතර ය.පුරුද්දට රොබට් අංකල්ගේ කුකුල් කරමල් කොන්ඩයන් හෙව්වත් උන් පේන්නට නැත.බිත්තිවල එල්ලා තියෙන්නෙ සැලුන් අයිතිකාරී එක එක  වැඩමුලු වලට ගිහින් ගත්තු සැටිෆිකට් හා අන්දාපු මනමාලියන්ගේ පින්තූර ය.

මගේ වාරේ ආවාම ඇතුලට ගොස් දිග ඇඳක දොයි කියන්නට විය.
හැමදාම සබන් ගා හෝදන මූන අලුතෙන් ක්ලීන් කරන්නේ මොටදැයි හිතා ගන්නට පුලුවන් වුනත් මූණ ක්ලීන් කරන්නට ඇඳක දිගා කරන්නේ මොටදැයි කියා නම් හිතා ගන්නටත් අමාරු ය.ගෑනු දරුවෙක් ඇවිත් බෙල්ල වටේ කොන්ඩේ කපන විට එල්ලන සාලුවක් එලූ විට මට හිතුනේ ක්ලීනප් කෙරුවාව කොන්ඩේ කැපිල්ලකට මාරු වුණා ද කියාය.ඇටි කෙහෙල් කාපු උගුඩුවා මෙන් වටපිට බැලූ කොට අල්ලපු ඇඳේ ද මගේ ඉරණම ම අත් වූ තව බවලතෙකි .ඒ ඇත්තිය බොහොම සන්සුන්ව ඇස් පියා ගෙන ඉන්නා හැටි නිරීක්ශනය කිරීමෙන් අනතුරුව මම ද ඒ මග යන්නට සිතා ගෙන ඇස් තද කර පියා ගතිමි.

සරබර හඬින් කවුරුන් හෝ පැමිණ මා අසල වාඩි වුණු බව තේරිනි.ඉන් පසු සෑහෙන වෙලාවක් යන තුරු වාඩි වුනු අත් දෙක එක එක ජාතියේ ආලේපන උලමින් මගේ මුහුන එක එක අතට මිරිකන්නට ,රෝල් කරන්නට උන්ඩි කරන්නට ,සුරුට්ටු හදන්නට වූවාය.වසා ගත් ඇස් අරින්නටත් බැරි නිසා ඕන දෙයක් වෙද්දෙන් කියා හිත හදාගෙන  දෙරි ගසා හිටියේ දැන් මේ මගුල ඉවරවෙයි කියා හිතමිනි.ඉවරයි කියා හිතුවාට ඉවර වෙන පාටක් නැත.

ඔහොම දහඅට රවුමක් විතර ගිය තැන අත් දෙක අයිති ලලනාව "මිස් අයි බ්‍රවුස් විතරදැයි "ඇසුවා ය.
මගේ ඇහි බැම සිංහරාජයටත් වඩා වැවී ඇති නිසා ඇහි බැම සකසා ගෙන ආ යුතු බවට විද්වත් මඩුල්ලෙන් ලැබුණු උපදෙස් නිසා මම ඉතා උනන්දුවෙන් හිස වැනුවෙමි.
ඇහි බැම හැදිල්ල පටන් ගත් කළ මට හිතුනේ වනේ වන හතුරෙක්ටවත් මෙහෙම හදියක් වෙන්ට එපා කියා ය.සැලුන් එකේ ඇත්ති හිතක් පපුවක් නැතුව ජරස් බරස් ගා මගේ ඇහි බැම ඇද දමනවා මදිවාට ජිම්නාස්ටික් අංගෙකට වාගේ මම අත් දෙකෙන් රුයිතෙට ඇහි බැම අල්ලාගෙන ඉන්නටත් ඕනෑය.ඇහි බැම විතරක් කියා කීවා ඇහුනේ නැතුවාවද සැලුන් ඇත්තී මුලු නළලේ ම කෙසුත් ඇද දමා අහවර කළේ මගේ ඉවසීමේ සීමාව පැන පා පහරකින් ඇයට සංග්‍රහ කරන්නට ප්ලෑන් කරද්දී මය.

යාන්තන් ඉවරයි කියා සිතෙද්දී,සීතල පෙති දෙකක් ඇස් උඩින් ඇල වූ සැලුන් ඇත්තී හෝ හඬකුත් එක්ක ම ගිනි ගහන රස්නයක් මුහුණට අල්ලන්න ගත්තාය.ඒ මදිවාට රස්නෙ ඇති ද කියලාත් අහනවා ය. හොස්ටල් එකේ විද්වත් මන්ඩලේ දෙමාපිය පරම්පරාව ආදරෙන් සිහිපත් කරමින් දාඩිය පෙරි පෙරී එහෙම්මම  ඒ පෝරණුවේ සෑහෙන වෙලාවක් ගත විය. පෝරණුව අහවර වුණු තැන ඒ ඇත්තී තඩි ගල්කටුවක් වැනි යමකින් මුලු මුහුණම පෙරන් ගාන්නට වෙද්දී මට හිතුනේ සහතිකේටම මේ ක්ලීනප් එක ඉවර වෙද්දී මුහුනේ උඩ හම නම් ඉතුරු වෙන එකක් නැති බවය.අලි මදිවට හරක් කියා මේ ඇත්තී මගේ නහය මිරිකා ගෙන නහය දෙපැත්ත පෙරන් ගාන්නට ගත් විට නම් මට හිතුනේ මගේ පෙර වැරදි නිසා කෝපාවිශ්ඨ වූ හොස්ටලේ විද්වත් මඩුල්ල මා පරලොව යැවීමට සැලූන් ඇත්තිට ගාණක් අතමිට මොලවා ඇති බව ය. මරණා සන්න උදවියට පේන්න ගන්නවාය කියන සුදු පාට එළියක් ඇති උමඟ පේන නොපෙනෙන හරියේදී සැලුන් ඇත්තී මගේ නහය අතහැර දැම්මේ ගොයින්ඩවුන් එකට සහභාගී වීමට පූරුවේ කළ පිනක් හේතු වාසනා වූ නිසා විය යුතුය."මූනේ හොඳටෝම බ්ලැක් හෙඩ්ස්.මාසෙකට සැරයක් වත් ක්ලීනප් එකක් කරගන්න.ක්ලෙන්සර් එකක් යූස් කරන්න.මොරිස්චරයිසර් ගාන්න.ටෝනර් එකක් ගාන්න"නොතේරෙන බසකින් ඒ ඇත්තී මගේ කන් පුරවද්දී කසාය බීපු ගොලුවා මෙන් හිස වනනවා හැර විකල්පයක් තිබුනේ නැත.

ආයෙමත් මොනවාදෝ මුහුණේ ඇතිල්ලූ සැලුන් ඇත්තී එවර අසුනෙන් නැගිට ඉවතට යන හඬක ඇහුණා ය.දෙතිස් වදයට ලක් වුණු අහිංසක මූණත්තහඩුව යාන්තම් සැනසිල්ලේ හුස්මක් හෙලනවා ඇසුනේ මට විතර ය.විනාඩි දහයක් පහලොවක් ගියත් සැලුන් ඇත්තී එන පාටක් නැත.ඇස් උඩින් තියා ගිය හීතල පෙති නිසා ඇස් ඇර බලන්නටත් බැරි ය. තව විනාඩි දෙක තුනක් ඉවසන්නට මම හිත හදා ගත්තෙමි.ඒ පාර වස නිදි මතක් එනවා ය.ඒසී එකේ කූල් පිට නිදා ගන්න එක හොඳ අදහසක් වුනත් සාමාන්‍යයෙන් නින්දෙන් පේන විකාර හීන වලට මම බෙරිහන් දෙද්දී අහළ ගම් හතම බය වෙන නිසා මෙතැන නිදා වැටෙන එක නුවණට හුරු නැත.නිදිමත නොඑන්නට එක එක බහුබූත හිත හිතා ඉඳිද්දී එක වරම දැනුනේ මූනත්තහඩුව ගල් ගැහීගෙන එන බවය.මුහුණේ මස් පිඩු එහා මෙහා කර බලද්දී සැකේ හරි ය.මූනත්තහඩුව ගල් පිළිමයක ගතියක් දැනෙද්දී තුන්මුනින් දාඩිය දාන්න ගත්තේ ඒ සී ත් නොතකා ය.ගොයිම පැත්තක තියා ඉස්පිරිතාලෙට ගිහින් ගල් වුනු මුහුණ පෙන්නා ගන්නට ඇඳෙන් බැස දුවන්නට චිත්ත දහිරිය එක්කාසු කරද්දී කොහේදෝ සිට සැලුන් ඇත්තී එතනට  ප්‍රාදූර්භූත වූවාය.ගල් ගැහුණු මුහුණට තට්ටුවක් දමා බලා මොනවාදෝ දියරයකින් ගල් තට්ටුව දිය කර හරිද්දී ය ඇඟට ලේ පොදක් ඉනුවේ.තවත් දෙගමනක් විතර එක එක ජාති උලා ක්ලීනප් එක අහවර වුනේ අයිස් වතුරෙන් මුහුණ සෝදන්නටත්,අව්වේ නොයන්නටත් තවත් උපදෙස් කප්පරකුත් අවසානයේ ය.මගේ සමට ටක්කෙටම ඔබිනා බවට සැලුන් ඇත්තී විසින් නිර්දේශිත ආලේපන වර්ග දුසිමකින් විතර බේරී ක්ලීනප් එකට අටසියයක් ගෙවා පෙරළා හොස්ටල් ආවේ කුඩයකුත් නැතිව ගිනි ගහන අව්වේ ය.නළල ඒ වෙනවිටත් ඩිංගිත්තක් පුපුරු ගහමින් තිබුණා හැර ක්ලීනප් එකෙන් වෙන අමාරුවක් දැනුනේ නැත.

හොස්ටල් ගිය ගමන් විද්වත් මන්ඩලේ බවලතෙක් මා දැක ඇස් නළලේ රන්දා ගත්තාය.
"මොකද්ද ගිය සැලුන් එක?"
මම සැලුන්  එකේ නම උදාරම් ව ඉදිරිපත් කළෙමි.
බවලතා  හිසෙහි අත ගසාගත්තා ය.
බැලින්නම් මා බැහැ දැක තිබුනේ විද්වත් මණ්ඩලය විසින් බ්ලැක් ලිස්ට් කර මට නොයන ලෙස තරයේ අවවාද කර යැවූ සැලුන් එකකටය.සැලුන් ඇත්තී ඇහි බැම හදද්දී මගේ නළලේ හමෙන් පදාසයක්ද ඉවත් කර ඇති බව දුටුවේ අපේ එවුන් නහය ළඟටම කන්නාඩියක් අල්ලා පෙන්වූ විට දීය.
පළවෙනි සැලුන් ගමන ඉවර වුනේ ඔන්නොහොමය.

පලි:දැන්  නම් මම සැලුන් යන්නේ වෙන මොනවාටවත් නොව දෙයියනේ කියා නිදා ගන්නට ය.ඇහි බැම මුලුමනින් ඉදිරුවත් උඩු හම තියා යටි හමත් එක්කම බ්ලැක් හෙඩ් අයින් කළත් ඒ ඔක්කොටම වඩා අපේ  පොඩි ඇත්තිගෙන් බේරී විනාඩි දහයක් හරි ඇහැ පියා ගන්නට ලැබෙන නිසා ඇත්තටම සැලුන් ගියාම දැනෙන්නේ නිවන් ගියා වගේ ය.

No comments:

Post a Comment