Wednesday, December 12, 2018

කැන්සාස් යකඩයා ගේ කතාව

ග්ලෙන් කනිංහැම්, ඇමරිකානු ජාතික මැදි දුර ධාවන ශිල්පියෙක්.
ඇමරිකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් දුවන්න හපන්නු ඉන්නවනෙ.ලංකාවෙත් ඔය ඉන්නෙ, දුවන්න, දුවපුවා ගැන කියවන්න එහෙමත්.

ග්ලෙන් කනිංහැම්ගෙ කතාව කියන්න පටන් ගන්න වෙන්නේ 1917 අවුරුද්දෙන්.එතකොට ග්ලෙන්ට වයස අවුරුදු අට.ග්ලෙන්ගෙ අයියා ෆ්ලොයිඩ් ට අවුරුදු දහතුනක්.සීත කාලෙදි උදේ ඉස්කෝලෙ සීතල පලවා හරින්න ගිනි උදුන දල්වන්න භූමිතෙල් වත් කිරීම භාර වෙන්නෙ ග්ලෙන්ට.කුමක් හෝ හේතුවක් නිසාවෙන් භූමිතෙල් බඳුනේ එදා තියෙන්නෙ භූමිතෙල් වෙනුවට ගෑසොලීන්.

ඉස්කෝලය ගිනිජාලාවකින් වැහෙද්දි සොහොයුරන් දෙන්නම ගින්නට බිලිවෙනවා.
ෆ්ලොයිඩ් ජීවිතෙන් සමුගද්දි  ග්ලෙන්ගෙ දෙපා ඇතුළු සිරුරේ පහළ කොටස බරපතළ ලෙස පිළිස්සෙනවා .
අඩ සිහියෙන් ඉන්න ග්ලෙන් ට ඇහෙන්නේ ග්ලෙන්ගේ ජීවිතේ ගැනත් බලාපොරොත්තු තියාගන්න බැරි බව වෛද්‍යවරුන් අම්මට කියන එක.ඒත් ග්ලෙන් මැරෙන්නෙ නැහැ.
ග්ලෙන්ගෙ කකුල්වල පිලිස්සුම් එක්ක සදහටම අබ්බගාතයෙක් හැටියට ජීවත්වෙන්නයි ඉරණමේ ලියවෙන්නෙ.වෛද්‍යවරුන්  වැඩකට ගත නොහැකි දෙපා ඉවත් කරන්න යෝජනා කළත් ග්ලෙන් එයට කැමති වෙන්නෙ නැහැ.

රෝද පුටුවට වැටෙන  ග්ලෙන් රෝද පුටුව පිළිගන්න කැමති වෙන්නෙත් නෑ.ග්ලෙන්ගෙ අම්මා රෝදපුටුවෙ ඉන්න ග්ලෙන්ව මිදුලට එක්කන් යන්නෙ හුලං පොදක් වැදෙන්න කියලා හිතලා වෙන්න ඇති.

ඒත් ග්ලෙන්ගෙ හිතේ තියෙන්නෙ වෙන අදහසක්.අම්මා එහෙ මෙහේ වෙන කං ඉඳලා  ග්ලේන් රෝද පුටුවෙන් බිමට රූටනවා.තණබිස්ස දිගේ බඩ ගාගෙන යන්නෙ වැට මුණ ගැහෙන කන්.වැට ඉනි අල්ලාගෙන ග්ලෙන් වැටේ එල්ලෙන්නෙ දැනීමක් නැති වාරුවක් නැති කකුල් එල්ලා වැටෙද්දි. වැටේ ඉන්නෙන් ඉන්නට එල්ලෙමින් ග්ලෙන් ඇවිදින්න පටන් ගන්නවා.එදා ඉඳන් හැමදාමත් ඒක ග්ලෙන්ගෙ දින චරියාවෙ කොටසක් වෙනවලු.එල්ලා වැටෙන කකුල් ඇදිලා ඇදිලා වැට අද්දර වෙනම පාරක් හැදුනලු.
ග්ලෙන්ගෙ උත්සාහයයි අම්මගෙ සාත්තුවයි එක්ක අනතුරෙන් අවුරුදු දෙකක් වෙද්දි 2019 දි ග්ලෙන් ආයෙ ඇවිදින්න ගන්නවා.

ග්ලෙන් එතනින් නවතින්නෙ නෑ.ඇවිදගන්න බැරුව හිටි ග්ලෙන් දුවන්න ගන්නවා.ඉස්කෝලෙට එතනින් ගෙදරට, යන හැමතැනම ග්ලෙන් හැල්මේ දුවන්න ගන්නවා.
අනතුරෙන් අවුරුදු දහයක් යන්න කලින් තමන්ගේ පාසලේ ධාවන කණ්ඩායම ට එකතු වෙනවා.ඔහුගේ දස්කම් අතරට  පදක්කම්,  සහතික , වාර්තා ගලාගෙන එනවා.
කැන්සාස් සරසවි කණ්ඩායමට එකතු වෙන ග්ලෙන්ගේ පදක්කම් එකතුව තවත් ඉහළ යනවා.

ඇවිදිල්ල හීනයක් වුන කොලුවා ඉලන්දාරියෙක් වෙන්නෙ 1932 හා 1936 සරත් ඔලිම්පික් උළෙලේ මීටර 1500 පිලිවෙලින් සිවු වෙනි හා දෙවැනි තැන අරන් නිම කරමිනුයි.
1934 වසරේදි නිව්යෝර්ක් හි මැඩිසන් චතුරශ්‍රයේ දී විනාඩි හතරයි තත්පර අටකින් හැතැප්මක් දුර නිමකරමින් ගෘහස්ත ක්‍රීඩාංගනයක වේගවත්ම හැතැප්ම දිවීමේ ගෞරවය හිමි කරගන්නෙත් ග්ලෙන්.මේ ග්ලෙන්ගේ එක ලෝක වාර්තාවක් විතරම යි.

නාවික හමුදාවටත් කලක් තම සේවාව සපයන ග්ලෙන් ආචාර්‍ය උපාධියක් ලබාගන්නා තෙක්ම තම අද්‍යාපනයට සමු දෙන්නෙත් නැහැ.
රැකියාවෙන් විශ්‍රාම ගත්තාට පසුවත් කනිංහැම් තරුණ කඳවුර හරහා උදව් ඕනෑ කරන තරුණ ළමයි දහස් ගණනකට පිහිටට එන්නෙත් කැන්සාස් යකඩයා ම තමයි.
ඇත්තටම මේ හාදයා යකඩ මිනිහෙක් ම තමයි.

Tuesday, December 11, 2018

ලොකූ

ලොකූගෙයි මගෙයි අතරෙ වයස පරතරේ අවුරුදු තුනක්.

හරිනම් අක්ක ගෙදර ඉඳිද්දී නංගිට මගුල් කතා කරන සිරිතක් නෑ.

ඒත් අපේ ගෙදර කවදාවත් අක්කට මගුල් කතා කෙරුනෙ නෑ.
ලොකූ මගුලක් ගැන කවදාවත් ඇහුවෙ නෑ.
කොහොමත් ලොකූ වැඩි කතාවක් බහක් නෑ.
"පොඩී අපිව දාලා ගියාම ලොකූ ඉන්නව නේද අම්මවයි තාත්තවයි බලාගෙන ?"
මට මගුලක් කතා කෙරෙන හැම වෙලාවකම වගේ අම්මා ලොකූගෙන් ඔය කතාව අහනවා.ලොකූ මුකුත් නොකියා හිනා වෙනවා.

කවදාවත් ඔය ආපු මනමාලයෙක් මාව කැන්දන් ගියේ නෑ.හෙප්පුවත් උස්සන් උන්දැලා වටේ කැරකිලා කැරකිලා මාත් හෙම්බත් වෙලා උන්නෙ.

තමන්ට මගුලක් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියලා ලොකූ කවදාවත් කටක් ඇරලා ඇහුවෙ නෑ.
ඒත් එහෙම නොවෙන්න තමන්ගෙ තිබ්බ අඩුපාඩුව මොකද්ද කියලා ලොකූ කල්පනා කලේ නැද්ද කියලා මට හිතා ගන්න බෑ.

ලොකූ තාම වයස විසි හතයි.පත්තරේ තියෙන්නෙ ඕනෙ තරම් අවුරුදු හතලිහේ මෙනවියන්ටත් කසාද හොයන.ඉතින් විසිහත වයසක් නෙවෙයි නෙ කොහොමටත්?

බොහෝම අමාරුවෙන් මගේ කෙස්වල්ල ඉණ ගාවට දික් කරන් තියන් ඉද්දි ලොකූගෙ කෙස්ස දණහිසටත් පල්ලෙහාට තද කලු පාටට ඇදුනා.

මම තාත්තා වගේ තලඑළලු පාටට හිටියත් ලොකූට ලැබිලා තිබුනෙ අම්මගෙ රෝසපාටට හුරු සුදු පාට.

හිනා වෙද්දි පොඩි කාලෙ සෙල්ලම් කරපු බෝනික්කන්ගෙ වගේ ලොකූගෙ කම්මුලත් වල ගැහුණා.ආඩම්බර කමට ඉතින් හිනා වුනේ නම් බොහෝම අඩුවෙන් තමයි මුන්දැ.

ඉස්කෝලෙ වැඩවලට නම් ලොකූ එච්චර කැමැත්තක් තිබ්බෙ නැහැ.
 නටන්නටයි සිංදු කියන්නයි තමයි ලොකූ වැඩි පුර කැමති, ඒත් ඉතින් කකුල් අල්ලලා වඳින්න ඕනෙ සිංදුවක් කියවගන්න.

මැහුම් ගෙතුම්,ඉවිලි පිහිලි වැඩ ඔක්කොටම මට වඩා දස්ස අපේ අක්කණ්ඩි තමා.මං වත්ත වටේ ගස් ටිකේ ගෙඩි කඩ කඩ යද්දි ලස්සනට පිළිවෙලට මිදුලෙ මල් පාත්ති හදන්නෙත් ඉතින් උන්දැම තමයි.

විසිනම වෙනි වතාවටත් ඉතින් මනමාල කුමාරයෙක් මාව බලන්න ආපි.ෆේස් බුක් එකේ ඉන්න හැටියට නම් හැන්ඩි හාදයා.දවසක් දෙකක් චැට් කලාමත් ලොකු වරදක් තේරුනේ නෑ.
ඉතින් සුපුරුදු පරිද්දෙන් මම සාරියත් පටලෝගෙන බුලත් හෙප්පුවත් බදාගෙන උන්නේ
"පොඩි දුව......."කියලා තාත්තගෙන්  එළියට බහින්න සිග්නල් එක ලැබෙන කං.

"ලොකූ...මනමාලයා දැක්කද?"ලා රෝස පාට සාරියක් ඇඳගෙන මගේ ඇඳ උඩින් වාඩි වෙලා හිටිය ලොකූගෙන් මම ඇහුවා.

"හ්ම්ම්"

"මොකෝ කියන්නෙ, මට මැච් වෙනවයි?"

"හොඳයි".අම්මපා මේකගෙ කටින් වචනයක් ගන්නවට වැඩිය ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක ලේසියි.

"පොඩි දුව........."
අපේ තාත්තාගෙ සිග්නල් එකත් එක්ක මම දනිපනි ගාලා නැගිට ගෙන සූ සැට බරණින් සැරසී නා කපන වැහි වැටෙන වෙලේ විශාකා තොමෝ පැමිණි විලාසෙන් එළියට හෙප්පුවත් වඩම්මාගෙන එළියට බැස්සා.

මනමාල කුමාරයාගේ කට කන හරියේ.අම්මයි තාත්තයි දෙන්නගෙත් කියන්න තරම් වරදක් පේන්න නෑ.මේ පාරනම් මුන්දැ කැමති නම් මං හා කියනවා.

තාත්තා හරියට ඒ මිනිස්සුන්ට කලින් නොකිවු ගානට මගේ උපාදියේ විස්‍තර, රස්සාවෙ විස්තර දිග අරිනවා.
ඒ ගෙදර උදවියගෙ නම් වැඩි උවමනාවක් තිබ්බෙ මගෙ නමට තියෙන දේපොල ගැන වැඩි විස්තර දිග ඇර ගන්න.මොනවා කරන්නද ඉතින් ප්‍රපෝසල් ඔහොම තමයි නෙව.

බීම බන්දේසියත් අරන් ලොකූ එළියට ආවෙ ඒ වෙලාවෙ.කපු මහත්තයාගෙ මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ වෙලා යනවා මම බලාගෙන.
මනමාල කුමාරයාගෙ මෑනියන්දෑටත් ඒක බෝ වුනේ බලා ඉන්දැද්දි.
මේ මංගල්ලෙත් නොකෙරෙනා බව මටනං තේරුං ගියේ ඔන්න ඔය වෙලාවෙ.


"ලොකු මැණිකෙට මම කී ගමනක් නං කිව්වද  ලොකු බේබිව ගෙට කරලා තියාගන්න කියලා මනමාල මහත්තුරු එන දවසට?"

දවස් දෙක තුනකට පස්සෙ ගෙට ගොඩවෙච්ච කපු මහත්තයා ආඩපාලි කියන්න ගත්තා.

"මෙහෙම ගියොත් නං පොඩි බේබිට කසාදයක් හෙවිල්ල සෑහෙන අමාරු වෙයි.මිනිස්සු මගුල් කන්න කැමති වෙන්නෙ නෑ ලොකු ළමයා මෙහෙම නම් පොඩි ළමයගෙත් මොනවා හරි ..."

මගේ රතු කට්ට පැන්නෙ ඕං ඔය හරියෙදි

"මේ කපු මහත්තයා.....ඔය හණමිටි කරේ තියාගෙන තාමත් ගල් යුගේ ඉන්න ගෙවල්වලට දීග යන්න මගෙත් කිසිම කැමැත්තක් නෑ.බඳින්නෙ මාව නම් අක්කගෙ දිග පළල බලන්න ඕනෙ නෑනෙ කවුරුවත්.අක්කව මනුස්සයෙක් හැටියට පේන්නෙ නැත්තෙ ඒ මිනිස්සුන්ගෙ ඔලුගෙඩිවල අවුලක්.
ඔය ජාතියේ මගුල් කතා කරන්න නං කපු මහත්තයා ආයෙ මෙහෙ නාවට කමක් නෑ"

විබීත වෙච්චි කපු මහත්තයා අංශක එකසිය අසූවක් හැරිලා වෙඩිල්ල වගේ යන්න යද්දි අපේ අම්මා මගෙ දිහා බලං හිටියෙ කට ඇරං.



"ලොකූ දිහා මනුස්සයෙක් දිහා බලන විදිහට බලන්න පුලුවන් මනුස්සයෙක් හම්බෙන්නෙ නැත්නම් ලොකුයි පොඩියි දෙන්නම කොහේවත් නොයා අම්මයි තාත්තයි එක්කම ඉන්නවා.හරිනේ"

මගේ උදාන වාක්‍යය අහලා දොර රෙද්ද අස්සෙන් එබීගෙන ලොකූ හොඳටම හිනා වුනා.

පලි: ලොකූගෙ තිබ්බ ලොකුම වෙනස ඉපදෙද්දි වැඩිපුර වර්ණදේහයක් අරං ආපු එක.
මෙලෝ හසරක් නොදන්න  මෝඩ මිනිස්සු ඒකට කිව්වෙ මොංගල් කියලා.


මගේ දරුපැටව්

රම්‍යලතා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ  සේපාලිකා ගහ යට බංකුවේ වාඩි වෙලා ඉන්නවා.
ඉස්කෝලේ උගන්නන කාලෙ හිටපු යාලුවොන්ගෙන් තාමත් කතා බහ කරන දෙතුන් දෙනෙක් හිටියා.කල්‍යානි ඉන් එකෙකෙනෙක්.
අමරෙ ගෙ මරණෙ ගැන පණිවිඩේ දුන්නෙ කළ්‍යානි.
රම්‍යලතා ගෙ පවුලෙ පස් දෙනයි.අයියලා දෙන්නයි රම්‍යලතායි නංගියි මල්ලියි.
රම්‍යලතා ගෙ අම්මා  සෑහෙන ආසාවකින් හිටියලු ගෑනු දරුවෙක් ට.ඒත් අයියලා දෙන්න හම්බුනාට පස්සෙ අවුරුදු පහක්ම රම්‍යලතාලගෙ අම්මට ආයෙ දරුවෙක් බඩට එන්නෙ නෑ.අවුරුද්දක් වයස රම්‍යලතාව අරන් හදාගෙන තියෙන්නෙ ඒ පාර.රම්‍යලතා ගෙ ඇත්ත අම්මා තාත්තා කවුද කියලා රම්‍යලතා ඇහුවෙත් නෑ අම්මලා කිව්වෙත් නෑ.
රම්‍යලතාට අවුරුද්දක් වෙද්දී මෙන්න නංගි පුණ්‍යා ආපි.ඊටත් පස්සෙන් බාල මල්ලි අබේපාල.
රම්‍යලතා අරං හදාගත්තා කියලා අම්මලා කවදාවත් වෙනස්කමක් කරලා නෑ.ඒත් නැත්තෙමත් නෑ කියලත් වෙලාවකට රම්‍යලතාට හිතුණා.පුණ්‍යා ට වඩා රම්‍යලතා ට
වැඩ රාජකාරි පැවරෙන කොට රම්‍යලතාට වඩා පුණ්‍යා ට ආදරේ පෙන්නිලි වැඩි වෙනකොට ඔය විදිහෙ සිතුවිල්ලක් හීනියට රම්‍යලතාගෙ හිත කොනහන්න ගත්ත වෙලාවල් තිබුණා.
ඒත් රම්‍යලතා ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නෑ.කන්න අඳින්න ඉන්න තැනක්, ඉස්කෝලෙ යන්න විදිහක් රම්‍යලතාට තිබුණනෙ .රම්‍යලතාට ඒ හොඳටම ඇති.
අබේපාල මලයා අතුරුදහන් වුනේ ජේවීපී කලබල කාලෙ.උන්දැ ආපහු එයි කියලා බලාගෙන ඉඳලා හිතේ අමාරුවෙන් ම අම්මත් යන්න ගියා.හැමදේම අම්මත් එක්ක එකටම කරපු තාත්තා පපුව අල්ලගන බිම වැටුනෙ අම්මගෙ හත්දවසෙ  දානෙ දවසෙ.
ලොකු අයියා එතකොට හිටියෙ දොස්‍තර විභාගෙ පාස් වෙලා පිටරට ගිහින් .සුද්දියෙක්වත් බැඳගත්තහම ලොකු අයියා ආයෙ නොඑන වග රම්‍යලතාට තේරුණා.
මද්දු අයියා පොඩි කාලෙ ඉඳන්ම උවමනාවෙන් හිටියෙ මහණ වෙන්න.අම්මා නැති උණායින් පස්සෙ තවත් ඒ පැත්තටම බර වෙච්චි මද්දුට  අන්තිමේදි එයාගෙ කැමැත්ත  කරගන්න කාගෙත් කැමැත්ත හම්බුනා.
පුණ්‍යා ......
මොකද්දෝ හේතුවකට පුණ්‍යාට රම්‍යලතා හිතට අල්ලන්නෙම නැතුව තිබුනා.පොඩි කාලෙ පොඩි කමට ඇතිවෙච්ච් ආරෝවක් කියල හිතුනත් කරදඬු උස් මහත් වුනාට පස්සෙත් මේ හිත් අමනාපෙ නම් ඉවර නෙවෙන විත්තියයි රම්‍යලතාට තේරුං ගියෙ.
රම්‍යලතා ගෙ ඇඟේ දුවන්නෙ පුණ්‍යාලගේ ඇඟේ දුවන ලේ නෙවෙන විත්තිය ඉඩ ලැබෙන හැම තත්පරේකම මතක් කර කර පුණ්‍යා රම්‍යලතාගෙ හිත පහුරු ගෑවා.
කන්තෝරුවේ වැඩකරපු සමරජීවව පුණ්‍යා කසාද බැන්දේ තනි කැමැත්තට.කොහොමත් රම්‍යලතා ගෙ කැමැත්තෙන් පුණ්‍යාට වැඩක් තිබුනෙ නෑ.
රම්‍යලතා එතකොට හිටියෙ ගුරු විද්‍යාලෙන් පිට වෙච්ච් ගමන්. පළවෙනි පත්වීම හම්බෙන්නෙ මැදවච්චිය පැත්තෙ බොහෝම පොඩි ඉස්කෝලෙකට .පුණ්‍යා එක්ක ගෙදර ඉන්නවට  වඩා ඒක හොඳ වෙයි කියලා රම්‍යලතාට හිතුනා.කොහොමත් සමරජීවගේ ඇස් පුණ්‍යා පහු කරගෙන ඇවිත් රම්‍යලතා වටේ කැරකෙන එකත් රම්‍යලතා ට ඇල්ලුවෙ නෑ.
අමරෙව ඉස්සිසෙල්ලාම දැක්ක දවස රම්‍යලතාට තාමත් අද ඊයෙ වගේ මතකයි.රම්‍යලතා සිංහල ඉගැන්නුවෙ පොඩි පන්තිවලට.අමරෙ ඉගැන්නුවෙ ඉංග්‍රීසි.වේලක් ඇර වෙලක් කාලා ඉස්කෝලෙ එන පොඩි එවුන්ට අලුත් සර් උගන්නන්න හදපු  අප්‍රභංශ බාසාවනං දිරෙව්වෙම නෑ.
ඒත් අමරෙ නෙවෙයි උත්සාහෙ අත ඇරියෙ.
රම්‍යලතා කැමතිම අමරෙගෙ ඕං ඔය ගතියට.
පොඩි කාලෙ දබරෙකට ගිහින්   ගුටි ඇනගෙන පැත්තකට ඇද වුන නාහෙටත් රම්‍යලතා ආසයි.තව හිනා වෙද්දි පුංචි වෙන ඇස්.කොච්චර පීරුවත් එක විනාඩියෙන් අවුල්වෙලා යන කොන්ඩෙ.
අමරෙගෙ හිනා වෙන ඇස් සැරෙන් සැරේ තමන් පස්සෙන් දුවන බව රම්‍යලතාට තේරුණේ අලුත් ඉස්කෝලෙට ඇවිදින් සතියක් යන්නත් කලින්.
ඒත් සමරජීවගෙ ඇස් වගේ ඒ ඇස් රම්‍යලතා ගෙ හිත බය කළේ නෑ.
පුණ්‍යා ට කුලුදුලේ හම්බුනේ නිඹුල්ලු ජෝඩුවක්.උදව්වට රම්‍යලතා සති දෙකක් එහේ ගිහින් නැවතුනා.
ළමයි හදන්නත් වාසනාව තියෙන්න ඕනෙ බවත් හැමෝටම ඒ පින නැති බවත් පුණ්‍යා ආයෙ ආයෙ මතුරද්දි රම්‍යලතා ඒවා නෑහුණ ගානට ඉඳගෙන  පොඩිත්තන්ගෙ කැතකුණු අතගෑවා.රෑ වෙද්දි හැමදාම මතක ඇතුව කාමරේ දොර ඇතුලෙන් අගුල් දා ගත්තා.
ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගිහින් එද්දි අමරෙ රම්‍යලතාට වෙනම කැවිලි පාර්සලයක් ගෙනාවා.කල්‍යානිලා ඉන්දුමතීලා රම්‍යලතාට මුලු දවසම විහිලු කළා.විවේක වෙලාවට අමරෙයි රම්‍යලතායි ගුරු කාමරේ මේසෙ දෙපැත්තෙ ඉඳගෙන රටේ ලෝකෙ දේවල් ගැනත් ඉඳහිට ගෙවල් දොරවල්වල විස්තරත් කතා බහ කළා.
ජීවිතේ පළවෙනි පාරට රම්‍යලතා ගෙ හිත ආදරේ හොයාගෙන පියාඹන්න ගත්තා.
නිඹුල්ලු ට අවුරුද්දක් යන්නත් කලියෙන් පුණ්‍යා තව දුවක් වැදුවා.සුපුරුදු පරිදි රම්‍යලතා ගෙදර  ගිහින් ආවා.
අමරෙගෙ ගෙදර හිටියෙ අම්මයි නංගියි විතරයි.අම්මට සෑහෙන වයස නිසා ඇස් පියවෙන්න කලින් අමරෙගෙත් නංගිගෙත් කටයුතු එකලාසයක් කරන්න ඕනෙ කියන බර ඒ අම්මගෙ හිත පිරෙන්න තිබුණෙ.
ලොකුවට මඟුල් ගෙවල් ගන්න ආසාවක් රම්‍යලතාට තිබුණෙ නෑ.පොතේ අස්සන් කරලා එක වහලක් යටට වෙන්න අමරෙගෙ අකමැත්තක් තිබ්බෙත් නෑ.
තව බඩ ගෙඩියකුත් උස්සාගෙන වැලහින්නක් වගේ කඳුලු පෙරාගෙන හවස් වරුවක පුණ්‍යා ගුරු නිවාසෙට ආවෙ ඔය කතා බහ වෙන කාලෙ දවසක.
සමරජීව කලින් කසාද බැඳපු හාදයෙක්.කන්තෝරුවෙත් වටපිටාවෙත් සෑහෙන මිනිස්සුගෙ සල්ලිත් අරගෙනයි සමරජීව නිදි පැදුරටත් නොකියා මාරු වෙන්නෙ.
බොහොම අමාරුවෙන් මාරුවක් හදාගෙන රම්‍යලතා ගමට එනවා.මාස අටක බඩගෙඩියකුත් තව පොඩි උන් තුන් දෙනෙකුත් එක්ක පුණ්‍යාට උදව් ඕනෑ විත්තිය රම්‍යලතාට තේරෙනවා.
ඒත් හැමතිස්සෙම අමරෙ මතක් කර කර හූල්ලන හිතට ඒවා තේරෙන්නෙ නෑ.අමරෙව දකින එක සති අන්තේ පැය දෙක තුනකට සීමා වෙනවා.ඉස්සර වගේ  රම්‍යලතා ගේ හිත කොනිත්තන්න වත් බැරි ගානට කඩා වැටුණු පුණ්‍යයි පොඩි වුන් තුන්දෙනෙකුයි ඉස්කෝලෙ රස්සාවයි අස්සෙ රම්‍යලතා ගේ ජීව්තේ කැරකෙනවා.
පුණ්‍යා යන්න යන්නෙ රම්‍යලතාට වත් අලුත් උපන් පොඩි එකාට වත් යන්නම් කියන්නෙ නැතුව.ළඟ ළඟ  මේ විදිහේ දරු උපත්වලට ඔරොත්තු දෙන සීමාවෙ රතු ඉර පැනලා පුණ්‍යාගෙ පණ කෙන්ද සරීර කූඩුව අතෑරලා යන්න යද්දි පොඩි උන් හතරක් එක්ක රම්‍යලතා අතරමං වෙනවා.
අමරෙ ඇත්තටම හරිම හොඳ මනුස්සයෙක් .කිසිම වෙලාවක පොඩි එවුන්ව අත ඇරලා තමන්ව තෝරගන්න කියලා එක ඇහිපිල්ලමකින්වත් ඉඟිකරේ අමරෙ නෙවෙයි.
සුපුරුදු විදිහටම සති අන්තෙට අමරෙ රම්‍යලතා බලන්න ආවා.
ආරාධනා නැතිවම රම්‍යලතාට පොඩි එවුන් තුන් දෙනෙක්ටයි අම්මව නොදැකපු කිරිකැටියෙක්ටයි වෙන්න සිද්ධ වුනා.රම්‍යලතා ගෙ ඉස්කෝලෙ රස්සාවට තවදුරටත් ජීවිතේ  ඉඩක් ලැබුනෙ නෑ.රට හිටි ලොකු අයියා නොවැරදීම මාසෙ ගානෙ වියදමට සල්ලි කීයක් හරි එව්වා.අස්සජි හාමුදුරුවොත් සැරෙන් සැරේ වැඩම කළා.ඒත්  පොඩි ජීවිතවල වගකීම බාරගන්න ඒ උදවියට ඉස්පාසුවක් තිබුනෙ නෑ
එහා ගෙදර කාන්ති අක්කා උදව් කළ හින්දාම හොඳයි.නැත්නම් රම්‍යලතාට ළමයි හදලා පුරුද්දක් තිබ්බෙ නෑනෙ.
අමරෙගෙ නංගි බලන්න මනමාලයො තුන් හතර දෙනෙක්ම ආවා.අමරෙ සති අන්තෙට දුර කතර ගෙවාගෙන රම්‍යලතා බලන්න ආවා.මේ ඔක්කොම ගිනි විජ්ජුම්බර අස්සෙ බාලයාට අවුරුද්දකුත් ලැබුවා.
සමහරවිට රම්‍යලතා ගත්තු තීරනේ වැරදි වෙන්න ඇති.ඉස්කෝලෙ පොඩි එවුන්ටත් තමන්ගෙ ළමයින්ට වගේම සලකපු අමරෙ  රම්‍යලතා එක්කම රම්‍යලතා නංගිගෙ ළමයින්වත්  භාර ගන්න අදිමදි කරයි කියලා හිතන්න අමාරුයි .
ඒත් ළමයි හතරදෙනෙකුත් එක්ක අමරෙගෙ කරේ එල්ලෙන එක අමරෙට කරන අසාධාරණයක් නෙවෙයි ද?
අමරෙ මොකුත් නොකීවත් කාගෙවත් ළමයි හතර දෙනෙක්  ඒ ගෙදර අනිත් උදවිය කොහොම භාර ගනියි ද?අමරෙගෙ නංගිගෙ කසාදෙට රම්‍යලතාලගෙ ජීවිතවල හෙවනැලි  වැටෙයි ද?
ඔන්න ඔය වගේ හේතු අටෝරාසියක් හින්දා රම්‍යලතා අමරෙට ආයෙමත් එහේ එන්න එපා කිව්වා.අමරෙ කොහොමටවත් ඒ තීරණේට කැමති වුනේ නෑ.
ඒත් රම්‍යලතා ගේ තීරණේ කොහොමටවත් වෙනස් වුනේ නෑ.
අමරෙව හිතේ අග්ගිස්සටම තල්ලු  කරලා දාලා රම්‍යලතා පොඩි වුන් එක්ක ඔට්ටු වෙන්න ගත්තා.දරු නැලවිලි, තරවටු කෙරිලි,බෙහෙත් විදිලි බෙහෙත් පෙවිලි,පියවර තැබිලි,අකුරු කියවිලි අස්සේ ජීවිතේ හැල්මේ දුවගෙන ගියා.අමාරුම හරිය තියෙන්නෙ ළමයි පොඩි කාලෙය කියලා හිතාන  උන් හීනෙන් රම්‍යලතා ගැස්සිලා ඇහැරුනා.මොන්ටිසෝරි ,ඉස්කෝල අමතර පන්ති, ගෙදර වැඩ,විභාග, ස්පෝර්ට්මීට් අස්සේ ජීවිතේ දුවන වේගෙ හිතාගන්නත් බැරි වුනා.පොත් අස්සෙ දැවටිච්ච් සෙනෙහෙ කොළ ,දබර මැද්දෙන් පිපිරිච්චි තොල්, නහයෙන් ඇඬිලි ඇත්තටම ඇඬිලි, කොටහළු මගුල්  රම්‍යලතාගෙ හිත නොසෑහෙන තිගැස්සුවා.
මොන මගුලකට මේ වගකීම් පොට්ටැන්නට කරගැහුවාද කියලා රම්‍යලතා හිතුවෙ සැරය්ක් දෙසැරයක් නෙවෙයි.
අමරෙ පෙළවහක් කරගත් ආරංචියත් ගෙනාවෙ කල්‍යානිම තමයි.එතකොට බාලයා පහේ පන්තියෙ.
දුකක් දැනුන්නැති වෙන්න රම්‍යලතාගෙ හිත යකඩෙන් හදලා යැ.ඒත් මෙච්චර කාලයක් තනිකඩව හිටි අමරෙ දැන් තනි නෑනෙ කියලා රම්‍යලතා හිත හදා ගත්තා.
නිඹුල්ලු ජෝඩුව පළවෙනි පාරෙන්ම උසස්පෙළ ගොඩ දාගත්තා.ඒ දෙන්නා කැම්පස් ගිහින් අවුරුද්දකින් මද්දුමීත් ඒ පාරෙම ගියා.
බාලයා කැම්පස් ගියේ නෑ.මිනිහගෙ හීන දිව්වෙ යකඩ ගොඩවල් එක්ක.‍රම්‍යලතා   දෙනියෙ ඉඩම විකුණලා බාලයාට ගැරෙජ් එකක් දාගන්න සල්ලි දුන්නෙ ඒකයි.
ලොකු අය්යා මැරුනෙත් පපුවෙ අමාරුවකින්.අවසාන කටයුතු කෙරුනෙ ඒ රටේමයි.
අස්සජි හාමුදුරුවෝ අපවත් වුනේ ඊට දෑවුරුද්දකට පස්සෙ.ආදාහන උත්සවේට නොසෑහෙන සෙනඟක් ආවා.
එතකොට මද්දුමී කැම්පස් එකේ උගන්නනවා.රම්‍යලතාව කාර් එකෙන් එක්කන් ගියෙ මද්දුමී.
රට යන අත එච්චර හොඳ නෑ ය කියලා ලොකු ජෝඩුවම
ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම අරං ගිහින් දැන් ටික කාලයක්.
මද්දුමී දීග ගියේ නුවරට.දැන් කොලු පැටවු ජෝඩුවක් ම ඉන්නෙ.මාස දෙක තුනකය සැරයක් ඇවිදින් යනවා.
බාලයාට කටයුත්තක් හොයන එක තමයි අමාරුම වැඩේ.නීතිරීති පන්සීයයි.
"මගෙ ඇස් පියවෙන්න කලින් උඹ කසාදයක් කරගන්නෙ නැද්ද කොලූ?"
රම්‍යලතා බාලයාගෙන් අහන්නෙ විහිලුවටම නෙවෙයි.
"ගෑනු නං ඔය ඉන්නෙ ලොකම්මෙ ඕන තරං.මට ඔය ඕනැ එකක් ඔට්ටුයි.මං හොයන්නෙ ලොකම්මට දුවෙක් වගේ සලකන ලේලියෙක්.ඕං එහෙම එකක් හම්බුනාම මම සුටුස් ගාල බඳිනවා"
කොලූ විරිත්තලා මාරු වෙනවා.
සුදු පූස්ට බඩගිනි වෙලා ඇවිත් ඇඟේ එතෙනවා.
හපෙ අප්පේ කළුවරත් වැටීගෙන එනවා.
රම්‍යලතා බංකුවෙන් නැගිටිද්දි එක තැන ඉඳලා කකුලුත් හිරි වැටිලා.
අමරෙගෙ අවසන් කටයුතු සෙනසුරාදා .කොලූ ආවම අහන්න ඕනෙ මළ ගෙදර ගිහින් එන්න.එච්චර දුරක් තනියෙන් ගිහින් එන්න දැන් අමාරුයි.
සුදු පූස් වඩාගෙන රම්‍යලතා ගෙට යනවා



Friday, December 7, 2018

තැඹිලි පාට විරෝදේ

ඔලුවෙ තුවාලෙට බෙහෙත් දාගන්න ලෙච්චමී වත්තෙ ඉස්පිරිතාලෙට යන්නෙ අම්මත් එක්ක.
තුවාලෙ දැකලා දොස්‍තර නෝනාගෙ ඇස් උඩ  විසි වෙනවා.
"කොයි වෙලේදෙ තුවාල වුනේ ?"
"ඊයෙ රෑ නෝනා"
"ඇයි දෙයියනේ අද උදේ වෙනකං මක් කලාද?"
දොස්‍තර නෝනායි නර්ස් නෝනයි තුවාලෙ සුද්ධ කරන්න ගන්නෙ ලෙච්චමීට දෙහි කප කප
"පොඩි එකා දාලා එන්න විදිහක් තිබ්බෙ නෑ නෝනා රෑ"
ලෙච්චමී අහිංසක බොරුවක් කියනවා.
කන්දසාමිගෙන් බේරෙන්න කොල්ලා තුරුළු කරං ගෙයි පිළිකන්නෙ එළි වෙනකං හැංගිලා හිටි විත්තිය නෝනලාට කිව්වට තේරුමක් වෙන්නෙ නෑ.
"මෙදා පාරත් මිනිහා බීගෙන ආවද?"
නර්ස් නෝනා අහන්නෙ ලෙච්ච්මීගෙ මනුස්සයා බමන මතින් කරන හිරිහැර හුඟ දවසකට නතර වෙන්නේ ලෙච්චමීගේ ඇඟේ කොහේ හරි මැහුමකට දෙකකට වග කියලා බව ඉස්පිරිතාලෙ උදවිය දන්න හින්දා.
ලෙච්චමී හිනා වෙලා නිකා ඉන්නවා.
"හිනා නෙවෙයි ලෙච්චමී, කී සැරයක් මම කිව්වද මේක පොලිසියට කියමු කියලා.ඔය මනුස්සයා අවසිහියෙන් ගහන පාරක් වැරදි තැනකට වැදුනොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ ඔන්න"දොස්තර නෝනාට දැන් ඔය මන්තරේ ලෙච්චමීට මතුරලා ම කටපාඩං මගෙ හිතේ.
"හැමදාම ඔහොම නෑනේ නෝනා.ඔය ඉඳලා හිටලා දවසක පොඩ්ඩක් වැඩි වුනාම නෙ"
ලෙච්චමී එහෙම කියද්දි මාරිඅම්මා ඔරවන්නේ බෑනා හැමදාම ගෙදර එන්නේ හතර ගාතෙන් විත්තියත් ඉස්පිරිතාලෙ නාවාට ලෙච්චමී හැමදාම ගුටි කන බවත් දන්න හින්දා.
ගෙදර දාලා ආපු පොඩි එකා ගැන කණිපින්දම් කියලා ලෙච්චමී බෙහෙත් අරන් ගෙදර යන්න හැරෙනවා.
බෑනා ගැන පොලිසියට කියන්න නහයෙන් අඬන අම්මා එක්ක ලෙච්චමීට තරහත් යනවා.
"ඒ මිනිහව පොලීසියෙන් කුදලං ගියාම ළමයින්ට කන්න දෙන්නෙ උඹේ සල්ලිවලින් ද?"ලෙච්ච්මී පිපිරුණාම මාරිඅම්මගෙ කට වැහෙනවා.
හසන්ති ඩොක්ටර් හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් දාන්නෙ  දවස් දෙකක් ගිහින් බැරිම තැන.
මැණික්කටුව ළඟින් අතේ ඉදිමුම මදිවට කැක්කුම නිසා කාර් එක ඩ්‍රයිව් කරන්නත් අමාරුයි.
සෑහෙන වෙලාවක් ඔන්ලයින් සර්ච් කරලා වැඩිපුර අහලා දැකලා පුරුදු නැති ඩොක්ටර් කෙනෙක්ට තමයි අපොයින්ට්මන්ට් එක දැම්මෙ.
"මොකද මිසිස් ෆනෑන්ඩු අතට වුනා කිව්වෙ?"
ඩොක්ටර් අහන්නෙ සැකෙන්ද නැත්නම් හසන්තිගෙ හිතේ සැකේ ද මන්දා.
"පුතා එක්ක ප්ලේ කරද්දි වැටුනා ඩොක්ටර්"
හසන්ති කලින් රිහර්සල් කරගත්තු බොරුව ප්ලේ කරනවා.
ඩොක්ටර් ඒ කතාව පිළිගන්නෙ නැද්ද මන්දා.තුවාල කැලැල් පේන්නැති වෙන්න අත දිගට ඇඳපු බ්ලවුස් එක විනිවිද ගෙන සනීප වුන සනීප  වේගෙන එන තුවාල ඔක්කොම ඩොක්ටර්ට පේනවා වගේ හසන්තිට හිතෙනවා.
"ආ යූ ශුවර් ඉට් ඉස් ඇන් ඇක්සිඩන්ට්?"
ඩොක්ටර් නළල රැලි කරගෙන අහනවා.
"ඔෆ් කෝස් ඩොක්ටර්.මම කොහොමත් ඇක්සිඩන්ට් ප්‍රෝන් ."හසන්ති ආයෙමත් හිනාවෙන්න හදනවා.
එක්ස්‍ රේ එකකට ෆෝම් එකකුයි බෙහෙතුයි අරන් හසන්ති ආයෙත් කාරෙකට නගිනවා.
කැම්පස් යන කාලෙ නම් නිමන්තගෙ තද පරිස්සම පෙණුනෙ ආදරේ  විදිහට වුනාට ඒක අසනීපයක් කියලා තේරෙන කොට හසන්ති සෑහෙන පරක්කුයි.
නිමන්තගෙ හේතුවක් නැති සැකේ කෙළවර වෙන්නෙ හැමදාම හසන්තිගෙ අතපයකට බෙහෙත් දැමිල්ලෙන්.
නිමන්ත  බෙහෙතක් ගන්න යන්නෙ නෑ කියලා හසන්ති දන්නවා.ඩිවෝස් එකකට යනවා කියන්නෙ උඩ බලාගෙන කෙළ ගහ  ගන්නවා වගේ වැඩක්.අනික පුතා ගැන හිතන්නත් ඕනෙ.කොහොමත් දැන් ඉතින් දවසක් දෙකක් හසන්ති බේරිලා.
කාන්තාවට එරෙහි ප්‍රචන්ඩත්වය සංකේතාත්මකව  පිටුදකින්න ටවුන්හෝල් එක දවස් ගානක් තැඹිලි පාටින් ලයිටප් කරනවා කියල එෆ් බී තිබ්බ බව හසන්තිට මතක් වුනේ කාර් එක එතනින් යද්දි.
ලෙච්චමීලගෙ වත්තට තැඹිලි පාට ලයිට් අල්ලපු ටවුන්හෝල් එක පෙනුනෙ නෑ.
ඉගිලෙන ලියමන් 2018.12.16

Wednesday, December 5, 2018

ගන්න ඉඩං එන්ඩ මෙහෙං


තාම ඉඩමක් ගත්තෙ නෑ ගේ පොඩ්ඩක් හදන්න.
අපේ උන්දැගෙ හිතේ තියෙන්නෙ නං මගෙ හිතේ ගෙයක් නෙවෙයි මාළිගයක්.
කොහොමින් කොහොම හරි ගේ පොඩ්ඩ අටවගන්න ඉඩං කෑල්ලක් ගන්ටෙපෑ.
ඉතින් අපේ උන්දෑ අන්තර්ජාලෙට එබී ගෙන ඉඩං හොයන අස්සෙ
මං කලේ උගත් පාඩං පොතෙන් පිහිට පතපු එක
ඉඩමක් ගන්න උපදෙස් ගන්න ඕනෙ ඉඩමක් අරගත්තු එකෙක් ගෙන් නෙ.
ඉතින් එහෙම එකෙක් ගෙන් අහපි කොහොමද අයියෙ ඉඩමක් ගන්නෙ කියලා.
උන්දැ එක හුස්මට කියා ගෙන ගියාපු ටික අහලා කලන්තෙ නොහැදි බේරුනේ වතුර ලොකු වීදුරුවක් එක හුස්මටම දමලා ඇරලා.
ඒ කොහොම වෙතත් මං වගේ ඉඩමක් හොයන ඉඩං හෙවිල්ල ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා එවුන් වෙනුවෙන් මේ ටික කොටන්න හිතුනා.
මේ ලාලිත අයියාගේ උපදෙස් ඕං මං කරන්නේ කොටන එක විතරයි.
1.තමන්ට යන්න පුලුවන් බජට් එක හිතා ගන්න.
තමන්ගෙ පඩි පැකට් එකේ සයිස් එක, ගෙදර දොර වියදම්, ගන්න පුලුවන් ලෝන් , ඔය දේවල් ඔක්කොම ගැන හිතලා ජීවිතේ විඳවන්න වෙන ගානට හිර නොවී ගෙනියන්න පුලුවන් විදිහේ බජට් එකකට යන්න වෙනවා.
2.ඉඩම ගන්නෙ කොයි පැත්තෙන් ද කියලා හිතන්න.
තමන් පදිංචි වෙන්න බලාපොරොත්තු වෙන්නෙ කොයි පලාතේ ද?රස්සාවල්වලට යන්න එන්න ලේසි ය.ළමෝ ළපටි ඉන්නවනම් ඉස්කෝල යවන්න පුලුවන් ද, නෑ හිත මිතුරු සමාගම්වලට හිතකර ද ඔකී මෙකී නොකී හේතු ගැන හිතලා තමයි ඉඩම ගන්න පළාත තීරනය කරන්න ඕනෙ.
3.ඒ පලාතේ ඉඩමක් හෙවිල්ල
ඕක තමයිලු ඉතින් අමාරුම වැඩේ.සමහර විට එක දවසෙන් සමහර විට මාස ගානකින් තමයි ලු ගැලපෙන තැනක් හම්බෙන්නෙ
ලහිපිට වගේ පත්තර දැන්වීම්, ඉඩම් බ්‍රෝකර් කෙනෙක් හරහා , අන්තර්ජාලය හරහා එහෙමත් නැත්නම් මගේ බාසාවෙන් ලෝකල් ජී පී එස් , ඒ කිව්වෙ ඒ පළාතෙ අඳුරන කවුරු හරි හරහා ඉඩං හෙවිල්ල කරතහැකි.
ඔතනදී අපේ අයියානන්දෑ කියපු පොයින්ට් දෙක තුනක් තියෙනවා.එකක් තමයි පුලුවන් තරම් බස් එකට එහෙමත් නැත්නම් පයින් යන්න එන්න ළඟ ඉඩමක් තෝරගන්න කියලා.මොකද වාහනේකින් යද්දි එද්දි ළඟයි කියලා හිතෙන සමහර ඉඩමකට හදිසියෙ වාහනයක් නැති වෙලාවක යන්න එන්න අමාරු වෙන්න පුලුවන් නිසා.විශේශයෙන්ම මං වගේ ඩ්‍රයිවින් අරහං ජීවින්ට මේක අනිවාර්‍යයි.
ඊළඟට ඉඩමෙ වීව් එක.කොළඹ දූවිලි කාශ්ටකේ නං මොන වීව් ද?ඒත් නුවරඑලිය, නුවර  වගේ පැත්තක ඔය වීව් එකත් ඉඩං වල ගාන සෑහෙන ඉහළ යන්න හේතු වෙනවලු.
අපේ අයියාතුමා නං කීවේ මෙහෙමයි.ගෙයි දවස් දෙකතුනක් ඉඳිද්දී ඔය වීව් එක සාමාන්‍ය දෙයක් වෙනවාලු ය.ඔව් නෙ ඉතින් නිතර දකින කුකුලාගේ කරමලේ සුදුයි ලු නෙව.
ඉතින් ඔය වීව් එකට සෑ වාව් කියයි අවුරුද්දකට තුන් හතර ගමනක් ගෙදරට එන අමුත්තොනං.ඉතිංඒ ඇත්තන්ට සෑ වාව් වෙන්න ඉඩමට ලොකු ගාණක් යට කරනවද කියන එක ඔය ඇත්තන් ගෙ මනාපෙ
ඊළඟට ඒ උන්දෑ කිව්වෙ පුලුවන් තරම් නගරසභාවක් යටතේ තියෙන ඉඩමක් ගන්න එක ඇඟට ගුණ බව ය. ලයිට්,වතුර,කුණු යනාදී මූලික කාරණාවලදී ගැටලු සාපේක්ෂ වශයෙන් අඩු වීම  ඒකට හේතුව ය.
ඉඩම කොයි වාගේද?පස කොයි ආකාරෙන් ද, වතුර බහින්න තැනක් තියෙනවා ද?අහල පහල වතුර බහින්නේ අපේ ඉඩමටද ආදී කරුණු කාරනාත් අනිවාර්‍යයෙන් ම බලන්නට ඕනෑ බව මතක් කරන්න ඕනෑ ය.
අහළ පහළ වටපිටාවත් නොබලාම බැරිලු ය.අහළ පහළ උදවිය ගැන වටහා ගන්නට නම් එක පාරක් ගොහින් බැරි බව අයියා උගත් පාඩම් පොත පෙරළා බලා දැනමුතුකම් දුන්නලු.කුලී ගෙයක් වගේ නෙවෙයි නෙ.ඉඩමක් අරන් ඒකෙ හදාගන්න ගෙයි සමහර විට අන්තිම හුස්ම පොද වෙනකං ම වැටිලා ඉන්න වෙන තැන නෙ.
වටපිටාව ගැන කියද්දි තව එකක් කිව්වෙ පුලුවන් තරං වටපිටාවෙ ගෙවල් දොරවල් හදපු පැත්තකින් ඉඩමක් ගන්න කියලා.
මම අහපි අර මොකෑ කියලා.
හිතන්න ඔයාගෙ ඉඩමට අල්ලලා ලොකූ වත්තක් තියෙනවා.ඔයා බාගෙට ගේ හදාගෙන යද්දි ඔතන මොකක් වෙන්න බැරිද?
ආදාහනාගාරයක් හදන්න,ගාමන්ට් ෆැක්ටරියක් පටන් ගන්න, නගර සභාවෙන් කුණු ගෙනත් දාන්න ඔය ඕන දෙයක් වෙන්න බැරි නෑ නේද?
මොනවා කරන්නද ඉතින් එතකොට.
ඉඩං තෝරන වැඩේ ලේසිපාසු සෙල්ලමක් නෙවෙයි විත්තිය තමයි මටනං තේරුනේ.
උගත් පාඩං පොත්  හිමියා කිව්වේ මූලික කරුණු කාරණා සම්පූර්ණ වුණු ඉඩමක් දැක්කා නං තව තවත් හොඳ තැන් ගැන පෙරේත කං කරන්නේ නැතුව ඒ තැන වෙන් කරගන්න කියලා.මොකද ගොඩක් ඇත්තන් කරන්නේ ඉඩම් බලලා බලලා හෙම්බත් වෙලා අන්තිමට  ඔන්න ඔහේ අතට අහුවෙන ඕනෑ ඉඩමකට කරගහන එකලු.
තෝරාගත්තු ඉඩමේ ,ඔප්පු සහ අනෙකුත් නීතිමය ලියකියවිලිත් හොඳින් බලාකියලා ඉන්න ඕනේ.හොඳම විදිහ වෙන්නේ බැංකු ලෝන් එකක් අරං ඉඩම ගන්න එකය කියලයි අය්යගෙ මතේ.මොකද ඉඩම ගන්න එකාටත් වැඩිය හාරලා අවුස්සලා බලනවලු බැංකුවෙ මහත්තුරු ටික.
වන් ස්ටෝන් ටූ බර්ඩ්ස් කිව්වලු.
ඔන්න ඔහොමයි ඉඩං ගැනිල්ල ගැන අපි විස්තර අහගත්තෙ
සියලු ඉස්තූතිය ඉඩංහිමි අයියාට ය

Monday, December 3, 2018

හීන පැටලුං

නයනි ඊයෙ රෑ හීනයක් දැක්කා.
නෑ නෑ ඊයෙ විතරක් නෙවෙයි ගොඩක් දවස්වල නයනිට නින්ද ගියාම හීන පේනවා.
රෑට විතරක් නෙවෙයි සමහර වෙලාවට මහ දවාලෙ ලන්ච් එකෙන් පස්සෙ එකට පටන් ගන්න ලෙක්චර් එකේ ඉඳ්දිත්  පුටුව උඩම නින්ද ගිහින් හීන පේන වෙලාවල් තිබ්බා .
සමහර හීන දැක්කා කියලා මෙලෝ මතකයක් නෑ.
සමහර හීන දවස් ගානක් යනකං ෆිල්ම් එක වගේ මතකයි.
සමහර බහුබූත විකාරවලට ඇහැරුනාම හිනා ගියාට හීනෙන් ඒවා මාර  රියැලිස්ටික්.
ඒත් මේ වගේ හීනයක්?
මෙහෙම එකක් මේ ජීවිතේට දැක්කමද කොහෙද?
නයනි ෆොටෝ ගන්න ආර්ට් එක දන්නෙ නෑ.ඒ සබ්ජෙක්ට් එකේ කප්පිත්තා චතුරංගයා තමා.ඒකගෙ සමහර ෆොටෝ තියනවා ෆොටෝ එකේ එක කෑල්ලක් ෆෝකස් වෙලා තියෙද්දි ඉතුරු ටික ඔක්කොම බොඳ වෙලා තියෙන.
නයනිගෙ හීනෙත්  ආං ඒ වගේ.
එකම එක කෑල්ලක්  හොඳටෝම ෆෝකස් වෙද්දි ඉතුරු ඔක්කොම ටික බොර වතුර වගේ කැලැත්තිලා ගියපු හීනයක්.
හීනෙ නයනි හිටියා.ඒක නයනිට හොඳටෝම ශුවර්.
ඒත් ඒ කොහෙද?
පැහැදිලි නෑ.
කවද්ද?
ඒකත් පැහැදිලි නෑ.
නයනි හිටියෙ තනියෙන් නෙවෙයි.තව කට්ටිය හිටියා.
ඒත් අර ෆිල්ම්වල බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ගත්තු ඇහින්දාස් නලු නිලියො වගේ ඒ අය හිටියට කවුද කින්ද මන්ද මුකුත් පැහැදිලි නෑ.
නයනි කොහේද යන්න ගියා.
කොහේද කියලත් මතක නෑ
මඟක් දුර ගිහින්  නයනි නැවතුනා.
නයනිට ආයෙ එන්න වුනා.
එයාව එක්කගෙන යන්න.
එයා කවුද?
ඕක තමයි එපාම කරපු වැඩේ .
හීනෙන් එයාව දැක්කා .
ඒක නයනිට සීයට තුන් හාරසීයක් ශුවර් .
ඒත් දෙයියනේ ඒ කවුද කියන එකත් මතක නෑ කියහංකො ඇහැරුනාට පස්සෙ.
එයා කොහෙද මන්දා හිටියා.
කොහෙද මතකත් නෑ.
නයනි ගිහිල්ලා එයාට අඬගැහුවද නයනි අඬගහන්න කලින් එයා නයනි එක්ක යන්න ආවද?
පුරුදු විදිහට ම ඒකත් මතක නෑ.
නයනිත් එක්ක ආපහු යන්න හැරිලා එයා නයනිගෙ ඇඟිලි ටික අස්සෙන් එයාගෙ ඇඟිලි ටික පටලවා ගත්තා.
හීනෙ නයනිට ෆෝකස් වුණ එකම එක දේ මේ සීන් එක විතරයි.හීනයක කවදාවත් එහෙම ඇත්තම වගේ හැඟීමක් දැනෙන්න පුලුවන් කියලා නයනි මීට කලින් කවදාවත් දැනං හිටියෙ නෑ.
හීනෙං ඇහැරුනා ට පස්සේ පැය ගානක් වෙලත් තාමත් ඇස් දෙක පියා ගත්තම නයනිගෙ ඇඟිලිවලට අල්ලට විතරක් නෙවෙයි මුළු ජීවිතේටම ඒක දැනෙනවා.ඒත් ඒ මොකද්ද කියලා වචනෙන් විස්තර කරලා කියන්න නයනිට තේරෙන්නෙත් නෑ.ආර්ට්ස් සම්බ්ජෙක්ට් කරන නයනිට මෙහෙම සරළ විග්‍රහයක් කරන්න බැරි එක ඇත්තටම හිනා යන වැඩක්.
ආ...අමතක වෙනවනේ
හීනේ
පැටලිච්ච ඇඟිලි දිහා බලලා නයනි එයා දිහා බලනවා.
ඒත් ඇහැරිලා ඉන්න නයනිට හීනෙ හිටපු එයාගෙ මූණ මතක නෑ.
"මොකෝ?"එයා අහනවා
"ඔයා නැතුව මම පාලුවෙන් හිටියෙ"නයනි උත්තර් දෙනවා.
ඕන් ඔය වෙලාවෙ තමයි මාලිකාගෙ එලාම් එක බෑඟිරි ගහන්න ගත්තෙ.
හීනෙයි නින්දයි ඔක්කොම චකබ්ලාස්.
ඒත් නැගිටලා ,මූණ කට හෝදන් කැම්පස් ඇවිත් ලෙක්චර්ස් තුනකටත් ගිහින් ලයිබ්‍රරියට ආවටත් පස්සෙ තාමත් නයනිට ඇහැරෙන්න අමාරුයි.
ඇත්ත තමයි.
එයා නැතුව නයනි පාලුවෙන් ඉඳලා තියෙන්නෙ.
දැන් තමයි ඒක තේරෙන්නෙ.
ආයෙමත් එයා මුණ ගැහෙන්නම වෙනවා.
හීනෙං නෙවෙයි හැබහිං.නැත්නං කොහොමද ඒ පාලුව නයනි දරාගන්නේ?
ඒත් කොහොමද හත්දෙයියනේ ඒක කරන්නෙ.
මූණක් මතක නැති හාදයෙක් කොහොම හොයන්නද?
මතක තියෙන එකම දේ  එයයි නයනියි අත් පටලව ගත්තු ඒ තත්පර ගාන විතරයි.
සින්ඩරෙල්ලා කතාවෙ නං කුමාරයා සින්ඩරෙල්ලා දාල ගියපු සපත්තුව ගෙයින් ගෙට යවනවා ගැලපෙන කකුලක් හොයන්න.
නයනි මොනවා කරන්නද?පිරිමි පරාණ එක්ක අත් පටලන්න යන්නයැ හරි හාදයා මුණ ගැහෙන කං
පාඩං කරන්න හිතුවට මොන පාඩං ද?
පොත වහලා දාලා නයනි කල්පනා කරන්න ගත්තා.
හීනෙං පේන්නේ කවදහරි කොහේදි හරි දැකපු දෙයක් වෙන්න ලොකු ඉඩක් තියෙනවනෙ.
එතකොට මේ යෝදයා මම දන්න කෙනෙක් වෙන්න බැරි නෑනෙ.
දන්නා කියන එවුන් ගෙන් හීන කුමාරයා වෙන්න පුලුවන් කුමාරයෝ ටික නයනි හිතෙන් ලයිස්තු ගත කළා.
මුලින්ම ඇවැස්ස මස්සිනා පොඩ්ඩ කපිලයියා.ළඟ පාතකට ආපු ගමන් කියාගෙන කපිලයියා ඉඳහිට ගෙවල් පැත්තේ ආවෙ නයනිව බලලා යන්න කියලා නයනි දන්නවා.තේ කෝප්පයක් එහෙම ගෙනිහින් දෙද්දි කපිලයියගෙ අතට නයනිගෙ අත මුණ ගැහිලා නැත්තෙත් නෑ.ඒත් එහෙම දැනිලා තියෙනවද?නෑනෙ
කපිලයියා වෙන්න බෑ.
එතකොට තව කවුද?
ඒලෙවල් ක්ලාස් කාලේ පටන් අරගෙන ඒලෙවල් ඉවර වෙද්දීම දිය වෙලා ගියපු නයනිගේ පළවෙනි ප්‍රේම පුරානේ කුමාරයානෝ ,සමීර
සමීර තාමත් නයනි ගැන හිතෙ තියන් ඉන්න විත්තිය  කියලා සමීරගෙ යාලුවෙක් ඉඳහිට නයනිගෙ හිත කොනිති ගැහුවා.ඒත් නයනිට ඒ හාදයා ගැන තිබුනෙ යාලුවෙක් සහෝදරයෙක් ගැන තියෙන කැක්කුමක් විතරයි.ඒ ලෙවල් ඉවර වෙලා ප්‍රේම පුරානේ නැවතීමේ තිත තියන්න කිට්ටු දවසක ගෙවල්වලට හොරෙන් බොහොම බයෙන් බයෙන් සමීරත් එක්ක වේදිකා නාට්‍යයක් බලන්න ගියපු හැටි නයනිට මතක් වුනා .නාට්‍යයේ මැදක් හරියෙදි සමීරගෙයි නයනිගෙයි අත් පැටලැවුනේ සමීරගේ ඕනෙකමට.මේ විදුලි කෙටිල්ල එදා දැනුනෙ නෑ කියලා නයනිට සහතිකයි.
සමීරත් ඕෆ් ද ලිස්ට්
අනුරුද්ධ සර්?අනුරුද්ධ සර්ගෙ හොඳම ගෝලයෝ රොත්තෙන් එක්කෙනෙක් තමයි නයනි.කසාද බඳින වයස පහු කළත් තාම හැන්ඩියා වගේ ජැන්ඩි පහට ඇඳපු අනුරුද්ධ සර්ගෙ ලාවට විජයෙ ෆේස්කට් එකත් තිබුනා.තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන  එක්ස්පර්ට් වගේම හැමතිස්සෙම ළමයින් වෙනුවෙන් කතා කරන්න හිටගත්තු නිසා අනුරුද්ධ සර් ගෑනු ළමයින් ගෙ විතරක් නෙවෙයි පිරිමි ළමයින්ගෙත් වීරයා උනේ තරඟයක් නැතුව මයි.
සර් තාත්තා කෙනෙක් වගේ කියලා හිතන්න හැදුවත් ඉඳ හිට වෙලාවක අනුරුද්ධ සර් ගැන බොහෝම ලා පාට ප්‍රේමනීය හැඟීමක් නයනිගෙ හිතේ ඇති වෙලා නැත්තෙත් නෑ.ඒත් සර් ගෙ හිතේ?
කවදාවත් සර් නයනිගෙ අතින් අල්ලලා නෑ.අල්ලන එකකුත් නෑ.
අනේ මන්දා අනුරුද්ධ සර් ලිස්ට් එකේ තියනවද ?අයින් කරනවද?
බ්‍ර්ර්...බ්‍ර්ර්..
හීන ලැයිස්තුව මැද්දෙන් නයනිගෙ ජංගමයා වයිබ්‍රේට් වෙනවා.
චතුරංගයාගෙ ලෙක්චර්ස් ඉවර වෙලා
"කොහේ ද ඉන්නෙ?"
"ලයිබ්‍රරියේ"නයනි රිප්ලයි එකක් කෙටුවා.
"එනවා කැන්ටිං.තේ බඩගිනියි"
ආයෙත් පාරක් ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි එහා මේසෙ පාඩං කර කර උන් බවලතී නයනි දැවී අලු වී යන බැල්මක් හෙලුවා.
මූ ඔහොම්මයි.අපිට ඉතින් සෙට් වෙන යාලුවෝ මාලුවෝම තමයි.අඩු ගානෙ අහපං කො තමුසෙ පාඩං කරලා ඉවරද?
තමුසෙට තේ ඕනෙද?
තේ බොන්න යං ද?
අහයි මේං කියලා.
පොත් ටික මල්ලේ ඔබා ගන්න ගමං නයනි දෙහි කපන්න ගත්තට ඕවා චතුරංගයාට කියලා තේරුමක් නෑ.
මේ කනෙන් අහලා අර කනෙන් එළියෙ.
ලයිබ්‍රරියෙන් එලියට බැහැලා පාර පැනලා නයනි හෙමි හෙමීට කැන්ටිං බිල්ඩිමට බඩගාන ගමන් ආයෙ හීන කුමාර ලැයිස්තුව හදන්න ගත්තා.
කැන්ටිමට යද්දි චතුරංග ඇවිල්ලා ප්ලේන්ටී දෙකක් ඕඩර් කරලත් ඉවරයි.
ඇයි වදේ මම බොන්නෙ ටීද ප්ලේන්ටී ද කියලා අහපල්ලකො ඉස්සර වෙලා.
පුටුවෙ පත බෑවිලා ෆෝන් එකට විරිත්තං හිටපු චතුරංගයාට නයනි ඔරවනවා පේන්නෙ නෑ.
"ලෙක්චර්ස්  කොහොමද ?"
"ඔය තිබ්බෙ"
මේ යෝදයා ගෙන් ඔයිට වඩා උත්තරයක් ගන්න එකට  වඩා නාකි ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ල ගන්න එක ලේසියි.
අම්මපා නයනිටත් වෙන යාලුවෙක් හිටියෙම නැද්ද හොයා ගන්න මේ උනහපුලුවා ඇර?
"මේහ්..."
"ඔහ්"
"අහනවකො"
"අහං තමා ඉන්නෙ"
"මම හීනයක් දැක්කා"
"හ්ම්ම්"
"යකෝ මොකද්ද කියලා අහපං කො"
"මොකද්ද?"
චතුරංග තාමත් ජංගමයාට එබීගෙන.
"කොල්ලෙක්"
"හ්ම්ම්"
"මට ඒකා හොයාගන්න ඕනෙ"
"හ්ම්ම්"
"අනේ මන්දා බං මට තේරෙන්නෑ.ඒ යකා ගේ මූණ මතක නෑ.ඒකනෙ අවුල."
"හ්ම්ම්"
"හූං හූං ගාන්නෙ ෆෝන් එකට එබීගෙන .මං කියන මෙලෝ දෙයක් අහගෙන නෙවෙයි නෙ ඉන්නෙ?"
නයනිගේ වොලියුම් එක පොඩ්ඩක් විතර ඉහළ යද්දි යාන්තං ජංගමයා පැත්තකට වුනා.
"අහං හිටියෙ...පිස්සුවක් නෙ.හීනයක් දැක්කා .ඒක එතනින් ඉවරයි.හීන පස්සෙ දුවන්න තමුසෙ මොන්ටිසෝරි ළමේක් යැ."
චතුරංග විරිත්තුවා.
නයනිගෙ හිත පිදුරුතලාගල කන්දෙන් පහළට රෝල් වුනා.
මදැයි යාලුවෙක් කියලා එකෙක්ට කියලා අහගත්තු දේ.
"බෑ...මට ඒ යකා හොයා ගන්නම ඕනෙ"
නයනි මුරණ්ඩු වුනා
"හරි හරි තමුසෙ හොයා ගන්නවා .ලොකු දෙයක් .මට ත් ලේසියිනෙ.කනක් ඇහිලා හිටියෑකි එතකොට.මළ වදේ."
මටත් හොඳ වැඩේ මේ වගේ එකෙක් ට ඕක කිව්වට.
නයනි ස්වයං තරවටුවක් කරගත්තෙත් හිතින් මයි.චතුරංගයා හරි හොඳ එකා.ඒත් හිත හොඳ වුනාට ගෑනු හිත් කියවන්නනං මූට කවදාවත් තේරෙන්නෙ නෑ.
කවදාහරි මූ බඳින කෙල්ලටනං තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේම පිහිටයි තමයි.
ඔය කියපු කතාව වෙන කෙල්ලෙක්ට කිව්වනං මෙලහකට ඒකි මෙතන නයගරා ඇල්ල වගේ දිය වෙලා හැලෙනවා.නයනිට ඉතින් මේ යකාගෙ කතා පුරුදුයි.
ඒත් හිත රිදෙන්නෙ නැතුවා නෙවෙයි.රටේ තියෙන ඔක්කොම ඉන්ටරෙස්ටිං වල්පල් ගෙනල්ලා මුගේ කන් දෙක පුරෝනවා තමයි.
ඒත් ඔහොම මූණටම කියනවෑ මම මලවදයක් කියලා.
"ඉවරද තේක බීලා?"
"හ්ම්"
නයනි මූන කළු කරං හිටියෙ හිත රිදුනා කියල තේරනාම අඩු ගානෙ සොරි කියයි වත් කියලා.
සොරි?
මුන්දැ සොරි කිව්වොත් බස්නාහිරින් පායයි ඉර.
නයනි ඔහේ පුටුව උඩම පැලවෙලා ඉන්දැද්දී  මිතුරු තොමෝ නැගිටලා දොර දිහාටත් වැඩම කරලා.
"පුටුවෙ මුල් ඇදලා ඉන්නෙ ලෙක්චර් එකට යන්නෙ නැද්ද?"
බුම්මං මූණත් එක්කම පොත් මල්ලත් උරෙන් එල්ලං නයනි පුටුවෙන් නැගිටලා උන්දැගෙ පැත්තකින් වැටුනා.
මූත් එක්ක ඉන්නවට මට කීයක් හරි දෙන්ටෝනෑ.
එකොලහේලෙක්චර් එක දෙන්නටම.
පාරෙන් එහා පැත්තෙ වෙස්ට් ලෙක්චර් හෝල් එකේ.එතනට යනකං ආයෙත් නයනි හීන කුමාර ලිස්ට් එක හදන්න ගත්තා.
හත්වලාමයි.
විදුලි කොටන්න ගත්තා.
මහ දවාලේ මහ පාර මැද නින්ද යන සිරිතක් තියෙනවද?
නයනි තමන්ගෙ ඇඟිලි අස්සේ පැටලිච්ච් ඇඟිලිවල අයිතිකාරයා දිහා බලං හිටියෙ ඇස් දෙක ලොකු කරං.
"මොකෝ?"
හීනේ විදිහට මම ඔයා නැතුව පාලුවෙන් හිටි කතා මේ යකාට කිව්වොත්  එක්කො මෙතන බිම  පෙරළිලා හිනා වෙලා එක විකාරයක් කරයි.
නැත්නං තව මොකක් හරි හිත රිදෙන කතාවක් කියයි.
"මොකුත් නෑ"නයනි විරිත්තුවා
"ලෙක්චර් එකට යමං එහෙනං මහ පාර මැද ගල් පිලිමෙ වගේ ඉන්නැතුව"
එහෙම කියලා ගෙරෙව්වට නයනිගෙ ඇඟිලි පටලං  හිටපු ඇඟිලි තවත් ටිකක් තදට පැටලෙන ගතිය නයනිට දැනුනා.
නයනිට හිනා ගියා.
ලෙක්චර් හෝල් එකේ දොර ගාවදි නයනිගෙ හීන කුමාර ලයිස්තුව ඩස්ට්බින් එකට වැටුනා
.

Sunday, December 2, 2018

කොත්තමල්ලි


බට්ටි නර්සරියෙන් අලි හෙම්බිරිස්සාවක් ගෙනාවේ ටික දවසකට කලින් ය.බෙදා හදාගන්නා හොඳ  පුරුද්ද පොඩි කාලේ හිටම පුරුදු කළ නිසා බට්ටී ගෙනා ගමන් මදි නොකියා අලි හෙම්බාව සීයාටත් අම්මාටත් බෙදා දුන්නා ය.
සුවාමියාට  එක්ක බෙදා හදා ගන්නා එක යහපත් බාරියාවකගේ  පුරුද්දක් නිසාවෙන් දෙයියනේ කියලා ගෘහ මූලික උතුමාණනුත් දැන් අලි හෙම්බාවෙන් පොහොසත් ය.
බට්ටිගේ හෙම්බිය නවතින්නේ උඩින් කැස්සකුත් උණ කුත් අලවාගෙන ය.පිට පිට ලෙඩ වෙන තුන්වෙනි වතාව නිසා දැන් බෙහෙත් බොන්න පොරේ ටිකක් අඩු ය.
සීයාට හෙම්බිය හැදුණු දවසේම බෙහෙත් ගෙනවිත් දුන්නේ උණ ගැනුනාම මේ කෙල්ල එක්ක ඔට්ටු වෙන්න බැරි අමාරුව දන්නා හින්දා මය.
ගෙදර උන්දැට හෙම්බිරිස්සාවක් හැදුනාම නෝර්මල් ඩිලිවරි එකකට කිට්ටු වෙන්න අමාරු වෙනවාය.ඒ නිසා බයටම බෙහෙත් ටික මතක ඇතුව බොනවා ය.
එතකොට මට?ඉස්සර වාගේම තාමත් බෙහෙත් පෙති කියන්නේ මට පෙන්නන්නම බැරි ජාතියක් ය .ඉතින් උගුර කහ කහ කැහැ කැහැ ඉන්නවා මිස බෙහෙත් බොන්න හිත හදාගන්නම බෑ ය.
හින්නික්කිතර කාලේ මට නිතරම උණ හෙම්බිරිස්සාවලු ය.දැන් වාගේම ඒ කාලේත් වතුර නෑම නයාට අඳුකොළ වගේ ය.නාවපු ගමන් මට සනීප නැති වෙනවාලු ය.
ගාල්ලේ උගුර කණ නාසය ලොකු දොස්තර මාමෙක් මාව බලලා කියන්නේ ඔපරේශන් එකක් කරන්න ඕනෑ කියලා ය.
ඔපරේශන් කරන්න හිත හදාගන්න අමාරු වුනාම තාත්තා කරන්නේ ඇලවේල්ලේ පන්සලේ හාමුදුරුවන් ගාවට මාව ගෙනියන එක ය.
ඇලවේල්ලේ පන්සලේ බෙහෙත් වලින් මට සනීප ය.
එදා ඉඳන් මාතර ඉන්න කල්ම මල්ලිත් මාත් බෙහෙත් ගන්නට වැඩි හරියක් එක්කන් ගියේ ඇලවේල්ලේ පන්සලට ය.ඉඳහිට දවසක ගෙදර ළඟ කොන්ඩෙ කොට දොස්‍තර නෝනෙක් ගාවටත් ගියා මතක ය.ඒත් මගේ මනාපය ඇලවේල්ලේ පන්සලටම ය.
සිංහල බෙහෙත් සුවඳ පන්සල් සුවඳ මිස අසනීප සුවඳ ,ඉස්පිරිතාල සුවඳ , බෙහෙත් පෙතිවල නහය උගුල්ලන ගඳ පන්සලේ නැත.
පන්සලෙන් ගෙනියන බෙහෙත් පොවන්නට තාත්තාට කිසිම අමාරුවක් නැත.අමාරු වෙන්නේ බෙහෙත් වැඩිපුර බොන එකෙන් , බෙහෙත් දිය කරන මී පැනි බෝතලේ එක වරුවෙන් ඉවර කරන එකෙන් එහෙම අපිව නවත්තා ගන්නා එක ය.
ඇලවේල්ලේ හාමුදුරුවන් අපවත් වෙන්නේ මම කැම්පස් ගිය කාලයේ වෙන්න ඕනෑ ය.දැන් පන්සලේ බෙහෙත් කරනවාද දන්නේ නැති ය.
කැම්පස් ආවාට පස්සේ අකමැත්තෙන් වුනත්  අසනීප වුනාම හෙල්ත් සෙන්ටර්  එකෙන් හෝ පේරාදෙනියේ ඕපීඩී එකෙන් ගන්නා බෙහෙත් පෙති ගිල දාන්නට වෙන්නේ ලෙක්චර්ස් ,ක්ලිනිකල් අස්සේ ලෙඩවෙලා ඇඳේ ඉන්නට වෙලාවක්  නැති හින්දා ය.
ඒත් හෙම්බිරිස්සාවට කැස්සට එතකොටත් මම මනාප කොත්තමල්ලි කෝප්පයකට ය.ගෙදර ගිහින් එද්දී , කොත්තමල්ලි,ඉඟුරු ,තිප්පිලි එක එක පොඩි  ලේබල් ඇලවූ බෝතල් දුසිමක් විතර බෑග් එකට ඔබන්නේ තාත්තා ය.ඒ මගේ කම්මැලි කම හොඳහැටි දන්නා හින්දා ය.
ගෙදර ආ වෙලාවක නිකමට හරි කැස්සොත් කොත්තමල්ලි හෝ පස් පංගුව කෝප්පයක් බොන්න වෙන එක වරදින්නේ ම නැත.වැඩේ වෙන්නේ ලෙඩාට විතරක් නොව ගෙදර ඔක්කොටම ඔය සත්කාරය අත්විඳින්න වෙන නිසා ය.හුඟ වෙලාවට තාත්තාගේ උත්සාහයට සාධාරණයක් කරන්නේ මම විතරක් ම වෙන අතර අනිත් ඈයන්ගේ කොත්තමල්ලි කෝප්ප උඩ තට්ටුවේ ජනේලෙන් එහා වත්තට ය.
බඩේ අමාරුවක් හැදුනොත් තාත්තා අතට ගන්නේ ඒක්කෝ අසමෝදගම් බෝතලය ය.එහෙමත් නැත්නම් ක්‍රීම්‍ රාජ ගුලි ය.දෙහි ඇඹුලෙන් දිය කළ ක්‍රීම් රාජ ගුලිය බොනවාට වඩා බඩේ අමාරුවෙන් මැරෙන එක දාහෙන් සම්පත ය.ඔය දෙකම ගෙදර නැත්නම් හම්බෙන්නේ දෙහි ඉස්ම වඩියක් ය.පට්ටම ඇඹුල ය.ඒත් අර ඉස්සරින් දෙකට වඩා දරා ගන්නට ලේසි ය.
අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිය එකෙන් අම්මාට ඉතුරුවෙන්නේ  හැමදාම උන්දෑව මතකේ තියා ගත් ළමයි රොත්තක් ,බලු රොත්තක් හා ගෙවිච්චි දණිස් දෙකක් ය.
හොඳටෝම අබලං වුණු දණිස්ස පරික්ශා කර බලා කරවනැල්ලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුමා නියම කරන්නේ දණහිස සන්ධිය ට ආදේශක සැත්කමක් කරන්න ට ය. ඉතින් මේ උන්දෑට ඕක තේරුම් බේරුම් කරන්නට පුලුවන් ජගතෙක් මිහිපිට ඉන්නවාදැයි මම නං දන්නේ නැති ය.ඔපරේශන් කෙරිලි උන්දෑට අරහං ය.
ඉතින් සිංහල බෙහෙත් ය.හෝමියෝපති ය.කොරියන් බෙහෙත් ය.යෝගා ය.ෆෙං ශුයි ය.ල
ගෙවුණ දණහිසට කෙසේ වෙතත් හිතට බෙහෙතක් වෙන හින්දා මමත් ඔය කියන ඕනෑ එකකට හා ය.
රුවන්වැල්ලේ බෙහෙත් බඩු කඩෙන් අමු ඇට, කුඹුරු ඇට යනාදී මෙකී නොකී ඇට එකතු කරං එද්දී මම දොස්‍තර බව උන්දැලා නොදන්නේ හොඳ වෙලාවට ය.දැන් ඒ රාජකාරිය පැවරිලා ඇත්තේ තාත්තා ට ය.බෝ පොතු, එඬරු මුල් දේවදාර පොතු තාත්තාට හීනෙනුත් පේනවා ලු ය.
බට්ටිගේ හෙම්බිය එහෙම්ම අඩුවුනත් අත්තම්මාට හිතට හරි නැත.කෙල්ලගේ පපුවේ සෙමය .කෝලසෙලෙස්මාව ඩිංගක් පපුවේ ගාන්නටම ඕනෑ ය.බට්ටිගේ අම්මා ඔය තෙල නොගෙනෙන බව දන්නා සීයා තෙල් බෝතලයක් අරං එන්නේ බස් හෝල්ට් ගණනාවක් පයිනුත් ගිහින් ය.
සීයා පවු හින්දා බට්ටිගෙ අම්මාත් ගඳ ගහන තෙල් ඩිංගිත්තක් බට්ටිගේ පපුවේ උලන්නේ බට්ටි නිදි අතරේ ය.
"එක සැරයයි තෙල් ගෑවේ.කැස්ස අඩුයි නේද පුතේ"සීයා අහද්දිත් බට්ටිට පොඩ්ඩක් කැස්ස ය.
"ඔව් නේ "අපි උත්තර දෙන්නේත් කැස්ස නොකැස්ස ගාණට ය.