Sunday, February 4, 2018

දුවපු දිවිලි

ඉස්කෝලේ යන කාලේ පිට්ටනි වටේ දිවිල්ල මට එපාම කරපු වැඩක් ය.නවයේ ඉන්දැද්දි  ස්පෝර්ට් මීට් එහෙකින් දිනපු පවට කොට්ඨාස තරඟවලට යන්නට කියා හැමදාම උදේ උයන්වත්ත ග්‍රවුන්ඩ් එක වටේ දුවන්නට උනේය.හෙල්ල කවපෙත්ත දාන එකා මොන රෙද්දකට පිට්ටනි වටේ දුවනවා ද නොදනිතත් ලාල් සර්ට බයේ ඉතින් මාත් දුවනවා ය.ආයෙත් ඉස්කෝලේ යන්නේ දාඩිය පෙරාගෙන ය.

හොකී ප්‍රැක්ටිස් තිබුනේ හවස් වරුවට ය.විවිධාකාර හේතු නිසාවෙන ප්‍රැක්ටිස් යන්න හිත තිබුණත් දුවන්නට ගියාම නං හිත දුවන්නේම ආපස්සටය.සර් බලාගෙන නැත්නම් හීං සැරේම දුවන රවුම පොඩි වෙන අටපට්ටම් වෙන වගේ සෙල්ලම් අපි ඉගෙන ගන්නේ ත් ඔය කාලේ  මය.

කැම්පස් ආවාමත් ගැලවිල්ලක් නෑ ම ය.කැම්පස් එක මැද්දෙ ගල් අඟුරු ධාවන පථය ය.රැග් කරන කාලේ කියපු විදිහට නම් සපත්තු නැතිව දිව්වොත් කකුල් දණහිසට යනකං ගෙවෙනවාය.ෆ්‍රෙශර්ස් මීට්,ෆැකල්ටි මීට්,එකී නොකී ඔක්කොම මීට් අපේ වුන් දිව්වේ වැඩිමනත් දුවලා පුරුද්දට නොව බැච් ෆිට් එක නිසා හිතේ හයියෙන් ය.
ජීවිතේට කඬුලු නොපැනපු බැචියෙක් කඩුලු පෙරලාගෙන ගල් අඟුරු කට්ටේ දණහිස් ලෙලි යද්දීත් දිගටම දිව්වා මතක ය. අටසීය දුවන බැචියන් දෙන්නා පස්සෙන් මුලු බැච් එකම වාගේ දුවපු නිසා වෙන සංවිධායක මණ්ඩල වැටුනේ හරිම අමාරුවක ය.සහායට දුවන්නන් ධාවන පථයෙන් අයින් වෙන්නැයි යකඩ කටින් කිහිපවතාවක් ම මරළතෝනි දුන්නත් අපේ එවුන්ට ඒවා කිව් වෙලේ කරන්නට තිබ්බේ බීරි අලියෙක් හොයා ගෙන ඌට කියන එක ය.මීටර් සීය දුවපු  රූමි දුවද්දී නම් අපේ උන් මීයට පිම්බා සේ ය.මක් නිසාද යත් ඉතා දුර්ලභ ගණයේ ටියුබ් ලයිට් එකක් වූ ඈ  අපි චියර් කරද්දී නැවතී සිනාවෙන්නට ඉඩ තිබුනු නිසා ය.

කැම්පස් හොකී ගැහිල්ලත් ඉස්කෝලෙ කාලෙ වගේ මය.දිවිල්ල තණ බිස්සේ ය.රවුමක්නම් ජීවිතේට දුවන්නට නැත.බිත්තරයක් හෝ අටපට්ටම් දුවා හති අරින අපේ ෆිට්නස් කැලේ ය.

කැම්පස් යන තුරුම එපා වාහෙට හොදි බෙදනා සේ දිව්වත් අවුට් වුනාට පස්සේ දිව්වේ අපේ උවමනාවට ය.ඉන්ටර්න් අහවර ගෙවුනු සංක්‍රාන්ති සමයේ බැචෙක් ඇදගෙන දුවන්නට ගියේ කාපු බීපුවා පිච්චිලා යන්ට ය.ඌ දිව්වේ රෑට ගිහින් හිතේ හැටියට කන්නට ය.කම්මැලි කමට ග්‍රවුන්ඩ එක ගාවටත් කාර් එකෙන්ම සැපත් වී ඒ යෝදයා සෑහෙන වෙලාවක් දුවද්දී  දුම් පිට කරමින් යාන්තම් රවුමක් එකහමාරක් දුවගත්තාට උන්දෑගේ රෑ කෑම එකටත් සම්මාදම් වුණ නිසා ඒ දිවිල්ලට දෙයියන්ගේ ම පිහිටය.

පහුගිය අවුරුදු තුනම දිව්වේ බට්ටිගේ රාජකාරිවලට ය.තප්පර දෙකකුත් එක තැනක ඉන්නට බැරි බට්ටි පස්සෙන් වැටීම එක අතකට සෑහෙන දුවන්න වෙන තත්වයක් ය.ඒත් අම්මාගේ පිඟානත් බට්ටිගෙ පිඟානත් ගිල දමා පෙරහැරේ කරඬුව ගෙනියන්නට හැකි තරම් ඩිංගිත්තක් මහත් වී ඇති බව දැනුනු නිසා තීරණය කලේ පොඩිත්තක් ඇඟ බහින්නටත් එක්කම බොරලැස්ගමුව පැත්තේ දුවන එක හොඳ විත්තිය ය.

අපේ උන්දෑ දුවන සපත්තු ගන්නට මාව කුදලාගෙන ගියේ  තියෙනා ඉස්තරම් ම සපත්තු කඩේකට ය.ඒ සපත්තුවල ගණන් මිණුම දැක්කත් හරි බර කිලෝදෙක තුනක් ඉබේ අඩුවෙන්නට ඇත.බට්ටී කඩය නවමුහුණවරකින් සරසන්නට පොඩි වෙලාවක් තිබියදී මගේ හිත ගිහින් නැවතුනේ රොබින් හුඩ්ගේ කොළ පාට සපත්තු ජෝඩුවකට ය.අපේ උන්දෑ නම් කිව්වේ ඒක පිරිමි උදවියගේ එකක් බවය.හිත ගිය තැන මාළිගාව නිසාවෙන් ඒ ජෝඩුවම ඉල්ලා පොලවේ පස් කෑ නිසාවෙන් ඇහැ කඩාගෙන යන කොළ සපත්තු ජෝඩුව දැන් මගේ ය.

හා හා පුරා කියා දුවන්නට ගියේ අද ය.මේස් ජෝඩුවක් දාමුයි අපේ උන්දෑගේ යෝජනාව එක පයින්ම කපා හැරුනේ මෙච්චර සනීප සපත්තුවලට මේස් ඕනෑ නැති නිසා ය.බොරලැස්ගමුවට ගියාම කරකවලා අතෑරියා වගේ ය.අපේ මනුස්සයා බට්ටි බලාගැනීමට පොරොන්දු වුනාට පස්සෙන් පහු මාත් ඉතින් දුවන්නට පටන් ගත්තාලු ය.මීටර් දෙසීයක් විතර් අ යද්දී දිව කකුල්වල පැටලෙන නිසාවෙන් දිවිල්ල ඇවිදිල්ලක් කරන්නට වුණාය.මීටර් සීයක් ගිය තැන හිතට දත කාගෙන ආයෙත් දුවන්නට ගත්තත් මීටර් දෙසීයකට එහානම් දුවන්නට පෙට්‍රල් මදිය.දෙසීයක් දුවලා සීයක් ඇවිදින්නට හිත හදා ගත්තත් ටික ටික තරාදිය දෙපැත්තේ බර වෙනස් වෙනවාය.කෑම කඩ හරියට එද්දී සෑහෙන දුරක් ඇවිදිල්ල විතර ය .

අලි මදිවාට හරක්  කියා ගෙන  වරුසාවක් කඩා වැටෙන්නේ ඔය අස්සේ ය.ෆෝන් එක අපේ උන්දෑ ගාවය.ඒ ජෝඩුව පේන තෙක් මානයක ඇත්තේ ද  නැත.ෆෝන් එකක් තියා රුපියල් පහක්වත් අතේත් නැත.වැස්සට අහුනොවුනත් ඉතින් හිත ඇතුලේ ගං වතුරය

බැරිම තැන වැස්සට බයිස්කල් පැදිල්ල නතර කළ මනුස්සයෙක්ගෙන් බයිසිකලයකුත් කඩේකින් කුඩයකුත් අතමාරුවට ගෙන තුණ් සරනේ කවි මතක් කරමින් වැස්සේම වැව වටේ යන්නට උනේ අන්තිම වතාවට බයිසිකලයක් පැද්දේ කසාද බඳින්නට පෙර බව මතක් වෙද්දී ය.පොඩි කාලේ වැරදි බ්‍රේක් එක අල්ලා මහප්පාගේ බයිසිකලයෙන් පත බෑවුන හැටි මතක තිබුණත් මෙදා පාරත් හරි බ්‍රේක් එක මොකද්දැයි නිච්චියක් නැත.රවුම් කාලක් විතර යද්දී සයිකලේ ඇනයක කලිසම් පැටලී කොලවරියක් වෙන්නට ගියත් යන්තම් බේරුනේ කලිසමේ පදාසයක් හිල් වුණාට පස්සෙන් පහු ය.
රවුම් බාගයක් විතර යද්දී සපත්තු දෙක ඇතුලේ වැවට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් වතුර ය.කකුල් දෙකේම දියපට්ටා ඇවිදින් පිපිරී සෑහෙන ම සනීප ය.ඔක්කොමත් හරි මේ ජෝඩුව ආගිය අතක් නැත.

කොන්ද අතට එන ගානට රිදිරිදී ආයෙමත් කෑම කඩ හරියට ඇවිදින් අමාරුවෙන් බයිසිකලයෙන් බැහැ ගනිද්දී  වැස්ස තුරල් වෙලා ය.
බැලින්නම් අපේ හාදයා වහින්න ගද්දීම ත්‍රීවීලර් මල්ලියෙක් එක්ක කෑම කඩේ ගාවට සැපත් වී ඇත.බයිසිකලයෙන් එතනින් යද්දී මට කතාකළ බවත් මම පිස්සුවෙන් වාගේ නෑසූකන් ව ගිය බවත් අපේ උන්දෑ මට දන්වා සිටියේ දියබරි පෙනුමක් ගත් මං තඩි වතුර බෝතලයක් එක හුස්මට ඉවර කළට පස්සේ ය

මෙහෙම ගියොත් නම් කෙට්ටු වෙන එක ඉතින් මට නතිං තමා.

1 comment:

  1. දොස්තර නෝනාගේ කරවනැල්ලේ මතක සටහන් කියවලා හිත බරවෙලා මුකුත් නොකියාම මේක කියවන්න ආවේ. දෙයියෝ සාක්කි, උදේ පාන්දර බඩ අල්ලං තනියෙං හිනාවුණා. :D

    ReplyDelete