Thursday, September 28, 2017

බූ-වල්ලෝ

ඉස්සිස්සෙල්ලාම බූවල්ලෙක් දැක්කේ මගේ හිතේ ටීවී එකේ කාටූන් එකකය.ඌ ඉතා අහිංසක ස්වීට් බූවල්ලෙක් ය.
ඒත් පස්සෙ කාලෙක ඩිස්කවරි නාලිකාවේ බූවල්ලා දැක්කාම කාටූන කාරයා මාව ගොනාට අන්දා ඇති බව සක්සුදක් සේ පැහැදිලි විය.ඇත්ත බූවල්ලාගේ කිසිම ස්වීට් ගතියක් නැත.ඌ දැක්කාම අප්පිරියා හිතෙන සෙවල ගති ඇති සතෙකි.

ලංකාව අවට මූදේ නම් බූවල්ලන් නැතුව ඇති බව මට සියයට දෙසීයක්ම සහතික ය.උන් ඔක්කෝම ඉන්නේ ගොඩබිම ය.ඔබ පිරිමි සත්වයෙක් නම් මේ සම්මජ්ජාතියට ඒ බූවල්ලන් ඔබට පේන්නේ නැත.හැබැයි  පාරේ බස් එකේ ගමන් බිමන් යන මං වාගේ ගෑණු සත්වයෙක් නම් මේ දිනපතා මෙවැනි බූවල්ලෙක් මුලිච්චි වීම කොන්දොස්තර මහතා ඉතුරු සල්ලි මාටියා ගැසීම මෙන්ම සුලබ අත්දැකීමක් බව නොඅනු මාන ය.

පේරාදෙණියේ කැම්පස් හිට ගෙදර ආ ගිය කාලයේ ද පිළියන්දලින් නැග කරවනැල්ලේ රස්සාවට ආ කාලයේද මේ බූවලු සංචිතයේ විවිදාකාර වූ සාමාජිකයන්  මට මුණ ගැසී ඇත.වැම්පයර් කෙනෙක් හොයා ගත්තත් බාහිර පෙනුමෙන් නම් මේ බූවල්ලන් හොයා ගැනීම උගහට ය.සමහර බූවල්ලන් නම් දකිනා විටම සෙවල බේරෙනවාය.සමහර බූවලු මහත්වරු යාබද අසුනට පාත් වෙන්නේ ඉතාම ශිශ්ට සම්පන්න විලාසයෙනි.

.බස් හෝල්ට් එකක් දෙකක් යද්දී මේ මහත්තුරුන්ට සතියක එක දිගට මළ ගෙවල්වල නිදි මැරීමෙන් ඇති වන්නාවූ ආකාරයේ දැඩි නිදිමතක් හට ගනී.ඇත්තටම කියනවානම් මේ නිදිමත ගතියකට වඩා රෝහල්ගත කළ යුතු සිහි මුර්ජා තත්වයකට කිට්ටු එකක් ය
සිහි මුර්ජා වුණු මේ අහිංසකයන්ගේ අතපය හතර පවා ඔවුන්ට වලංගු නැත.ඉතින් එතැන් පටන් ඒ උන්දැලාගේ අතැඟිලි ,අත්,වැලමිටි  හිටන් මිටින් හළ කුරුල්ලන් සේ වටපිටාවේ කරක් ගහන්නට ගන්නවාය.ඒ යද්දී අල්ලපු ආසනේ ඉන්නා බවලතීගේ අත,පය,පපුව ඉණ ආදී තැන් වැරදීමකින් නැවත නැවතත් මුණ ගැහෙන්නට පුළුවන.එවිට ඒ බවලතීට තියෙන්නේ එක්කෝ නොදැනෙනා ගාණට ඉන්නය.නැත්නම් අනේ මේ සිහියක් පතක් නැති අසරණයෙක්නේ කියා අනුකම්පා කරන්නට ය.

තවත් සමහර බූවලු මහතුන්ට නින්ද යන්නේ හිටගෙන මය.වාඩිවී ඉන්නා බවලතෙක් ගේ උරහිස උඩ බැලන්ස් වුණාමය මේ ඇත්තන්ට නින්ද යන්නේ.තවත් සමහරුන් නින්දෙන් වාරු වෙන්නේ බැරි මරගාතේ හිටගෙන යන බවලෙතෙක්ගේ ඇඟට ය.මේ නින්දේ තියෙන අපූරුම හරිය කියන්නේ බවලතීගේ පැත්තට කැපෙන වංගු විතරක් බූවල්ලාගේ ඇඟට සංවේදනය වෙන එකය.ඒ වංගුව අහවර වී අනික් අතට බස් රිය දහ අට වංගුවම ගත්තත් මේ බූවල්ලෝ තාමත් බවලතාගේ ඇඟ උඩම දෙරි ගහලාය.

හැබැයි බැරි වීමකින් වත්  මේ අසරණ බූවල්ලාගේ අත් වැරදී වැදීම ගැන ඔරවන්න ගොරවන්න ගියොත් ඉතින් බවලතීට සොරි ඩොට් කොම් ය.එක්කෝ පොදු ප්‍රවාහන සේවයේ යනවානම්  මෙවැනි සුළු සිදුවීම් ඉවසා ගත යුතු බවත් බැරි නම් කාර් එකක යන ලෙසත් නින්ද කැඩීම නිසා අගතියට  පත් අහිංසක බූවල්ලා විසින් චෝදනා පත්‍ර දිගු කරයි.එහෙම නොවී බවලතී ගේ ගෝරණාඩුවට බියවී අහිංසක බූවල්ලා පසු බැස්සත් බස් රියේ ඉතුරු නඩය බවලතී දෙස අඟහරු ජීවියෙක් වෙත හෙළන ආකාරයේ බැලුම් හෙලන්නට ගන්නවාය.

බවලතීගේ පැත්ත ගෙන බූවලු මහතාට දෙකක් කියන්නට බස් නඩේ අය ඉදිරිපත් වෙන අවස්තා ද ඇත.ඒ වාගේ දවසට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලා හඳට විරිත්තනවාලු ය. බොහෝ වෙලාවට බස් රියේ ඔක්කෝටම වාගේ බවලතීගේ ගෝරනාඩුව ඉවර වෙනකන්ම නින්ද යනවා ය.පුදුමේ කියන්නේ නින්දෙන් බස් රිය පදවන්නටත් රියැදුරු මහතාට පුලුවන් වෙන එකය.

අවුරුදු දෙක තුනකට කලින් පිටකොටුව බස් එකකදී  ඔහොම ජබර කලන්තේ හැදුනු ඉලන්දාරියෙක් මට කිව්වේ මොලේ අමාරුවට දොස්තර කෙනෙක් හම්බෙන ලෙසට ය.අර කිව්වත් වාගේ ම බූවල්ලන් නිසා දැන් මට මොලේ අමාරුවකුත් හැදිලාය.අල්ලපු ආසනේ පිරිමි පරාණයක් වාඩි වුණ ගමන් තුම්මුනින් දාඩිය දමා කටින් සෙම දමා ආවේස වෙන්නට ගත් දා සිට දෙයියනේ කියා මට නම් බූවල්ලන්ගෙන් කරදරයක් නැත.

කියවන ඇත්තීට මට වාගේ අසනීපයක් හැදීමේ වාසනාවක් නැත්නම් බස් රියට ගොඩ වෙද්දී මාරු කාසි සමඟම  අල්පෙනෙත්තක් ,හැට්ටකටුවක් හෝ ඉඳිකටුවකුත් මිට මොලවා ගෙන සූදානම් සරීරයෙන් සිටීමෙන් නිරුපද්‍රිතව ගමනාන්තය ළඟා වීමේ සුලු සම්භාවිතාවක් ඇති බව දැන්වීමට කැමතිය.

බැරි නම් පුශ් බයිසිකල් එකක් ගන්න අනේ.වියායාමෙටත් එක්ක හොඳයි නෙව.

7 comments:

  1. මමත් ඉස්සර එක පාරක් මගේ හැමතැනම ගෙනියන මල්ල ඇතුලේ තිබ්බ චූටි පිහියක් ඇදලා අරගෙන බුවල්ලාගේ අඬු කපන්නට හැදුවාම, ඔක්කොම ලෙඩ හොඳ උනා. කෙලින්ම ගන්න අර හුරුබුහුටි පුංචි පිහි! ඒවා හොඳට කැපෙනවා...
    ;-)

    ReplyDelete
  2. ඕගොල්ලන්ට බුවල්ලන්ගෙන් වෙන අතවර ගැන ඇත්තටම කණගාටුයි සහ ලැජ්ජයි.

    ReplyDelete
  3. එදවස බස් එකේ රස්සාවට යන කාලෙ මාත් හොඳ බූවල්ලෙක් තමයි.වෙරි ගුඩ් ඔට්ටොපස්...දැටීස් මී....හෙහ්,හෙහ්,

    බොහොම අපූරුයි නෝනා..ලිවිල්ල නම් මල් හතයි...:)

    ReplyDelete
  4. තවමත් තියෙන ප්‍රශ්නයක්ද ? මේ රවිය නම් බොරු කියන්නේ. අරාබියේ ඕව කලොත් ගස් තමයි

    ReplyDelete
    Replies
    1. අජිත්,

      නෑ නෑ මම මේ කියන්නෙ සිරි ලන්කාද්වීපයෙදි...

      අපි ඒ කාලෙ එහෙම ආතල් වලට කිව්වෙ TC කියල ඒ කියන්නෙ Travelling chance...

      බූවල්ලාපල්ල මගෙත් කට තියාගෙන ඉන්ට බැරි හැටියක්..දැන් මේ විකාර කියවන්ට ගිහිල්ල මෙතන අයිති නෝන මහත්තයගෙං පස් පඩංගුවෙ බැනුං අහගන්ට වෙනව. අන්න එච්චරයි ඕං මම දන්නෙ..:)

      Delete
  5. Man nam aye nehe, buwallange andu tika allala ambarala, samanala gete gahala tamai bus eken besse!

    ReplyDelete
  6. ඔයිට සමාන කනපිට අත්දැකීම් අපිටත් තියෙනවා. බස්වල යද්දිම තමා. විසේසයෙන්ම තිස් ගණංවල අග හතලිස් ගනංවල කතුන්ගෙන් තමයි. සීට්ටෙකේ අයිනෙ හිටියොත් උරිස්සට මේස් දාලා පත්තු බඳින්න වෙන්නෙ. උන්දලා ඇවිල්ලා බලනවා අපේ උරිස්ස උන්දැට උස ගානට වැඩිද කියල. ඩිංගක් වැඩි වුනොත් බස්සෙකේ චලනයට අනුරූපීව කොහොම හරි උස ගිහිල්ලා නගිනව බයිසිකලේ නැග්ග වගේ උරෙස්සට. ඉං පස්සෙ ඉතිං නිකම්ම උරිස්ස පාත් වෙනව. උන්දැ බහිනකංම උරෙස්ස උන්දැගෙ සන්තකේ.

    හැබැයි.... අපිනං එහෙව් කිසිම බූවල්ලියකට රැවුමක් ගෙරවුමකිංවත් දුකක් දීල නෑ ආයිබොවන්ඩ. කරබාගෙන දාන පාරමිතාව පිරුවා.

    - මෙහෙ එන්ට පාර කිව්වේ මාගල් පඳුරුලාගේ රවි වීර මාමාය-

    ReplyDelete