Monday, December 3, 2018

හීන පැටලුං

නයනි ඊයෙ රෑ හීනයක් දැක්කා.
නෑ නෑ ඊයෙ විතරක් නෙවෙයි ගොඩක් දවස්වල නයනිට නින්ද ගියාම හීන පේනවා.
රෑට විතරක් නෙවෙයි සමහර වෙලාවට මහ දවාලෙ ලන්ච් එකෙන් පස්සෙ එකට පටන් ගන්න ලෙක්චර් එකේ ඉඳ්දිත්  පුටුව උඩම නින්ද ගිහින් හීන පේන වෙලාවල් තිබ්බා .
සමහර හීන දැක්කා කියලා මෙලෝ මතකයක් නෑ.
සමහර හීන දවස් ගානක් යනකං ෆිල්ම් එක වගේ මතකයි.
සමහර බහුබූත විකාරවලට ඇහැරුනාම හිනා ගියාට හීනෙන් ඒවා මාර  රියැලිස්ටික්.
ඒත් මේ වගේ හීනයක්?
මෙහෙම එකක් මේ ජීවිතේට දැක්කමද කොහෙද?
නයනි ෆොටෝ ගන්න ආර්ට් එක දන්නෙ නෑ.ඒ සබ්ජෙක්ට් එකේ කප්පිත්තා චතුරංගයා තමා.ඒකගෙ සමහර ෆොටෝ තියනවා ෆොටෝ එකේ එක කෑල්ලක් ෆෝකස් වෙලා තියෙද්දි ඉතුරු ටික ඔක්කොම බොඳ වෙලා තියෙන.
නයනිගෙ හීනෙත්  ආං ඒ වගේ.
එකම එක කෑල්ලක්  හොඳටෝම ෆෝකස් වෙද්දි ඉතුරු ඔක්කොම ටික බොර වතුර වගේ කැලැත්තිලා ගියපු හීනයක්.
හීනෙ නයනි හිටියා.ඒක නයනිට හොඳටෝම ශුවර්.
ඒත් ඒ කොහෙද?
පැහැදිලි නෑ.
කවද්ද?
ඒකත් පැහැදිලි නෑ.
නයනි හිටියෙ තනියෙන් නෙවෙයි.තව කට්ටිය හිටියා.
ඒත් අර ෆිල්ම්වල බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ගත්තු ඇහින්දාස් නලු නිලියො වගේ ඒ අය හිටියට කවුද කින්ද මන්ද මුකුත් පැහැදිලි නෑ.
නයනි කොහේද යන්න ගියා.
කොහේද කියලත් මතක නෑ
මඟක් දුර ගිහින්  නයනි නැවතුනා.
නයනිට ආයෙ එන්න වුනා.
එයාව එක්කගෙන යන්න.
එයා කවුද?
ඕක තමයි එපාම කරපු වැඩේ .
හීනෙන් එයාව දැක්කා .
ඒක නයනිට සීයට තුන් හාරසීයක් ශුවර් .
ඒත් දෙයියනේ ඒ කවුද කියන එකත් මතක නෑ කියහංකො ඇහැරුනාට පස්සෙ.
එයා කොහෙද මන්දා හිටියා.
කොහෙද මතකත් නෑ.
නයනි ගිහිල්ලා එයාට අඬගැහුවද නයනි අඬගහන්න කලින් එයා නයනි එක්ක යන්න ආවද?
පුරුදු විදිහට ම ඒකත් මතක නෑ.
නයනිත් එක්ක ආපහු යන්න හැරිලා එයා නයනිගෙ ඇඟිලි ටික අස්සෙන් එයාගෙ ඇඟිලි ටික පටලවා ගත්තා.
හීනෙ නයනිට ෆෝකස් වුණ එකම එක දේ මේ සීන් එක විතරයි.හීනයක කවදාවත් එහෙම ඇත්තම වගේ හැඟීමක් දැනෙන්න පුලුවන් කියලා නයනි මීට කලින් කවදාවත් දැනං හිටියෙ නෑ.
හීනෙං ඇහැරුනා ට පස්සේ පැය ගානක් වෙලත් තාමත් ඇස් දෙක පියා ගත්තම නයනිගෙ ඇඟිලිවලට අල්ලට විතරක් නෙවෙයි මුළු ජීවිතේටම ඒක දැනෙනවා.ඒත් ඒ මොකද්ද කියලා වචනෙන් විස්තර කරලා කියන්න නයනිට තේරෙන්නෙත් නෑ.ආර්ට්ස් සම්බ්ජෙක්ට් කරන නයනිට මෙහෙම සරළ විග්‍රහයක් කරන්න බැරි එක ඇත්තටම හිනා යන වැඩක්.
ආ...අමතක වෙනවනේ
හීනේ
පැටලිච්ච ඇඟිලි දිහා බලලා නයනි එයා දිහා බලනවා.
ඒත් ඇහැරිලා ඉන්න නයනිට හීනෙ හිටපු එයාගෙ මූණ මතක නෑ.
"මොකෝ?"එයා අහනවා
"ඔයා නැතුව මම පාලුවෙන් හිටියෙ"නයනි උත්තර් දෙනවා.
ඕන් ඔය වෙලාවෙ තමයි මාලිකාගෙ එලාම් එක බෑඟිරි ගහන්න ගත්තෙ.
හීනෙයි නින්දයි ඔක්කොම චකබ්ලාස්.
ඒත් නැගිටලා ,මූණ කට හෝදන් කැම්පස් ඇවිත් ලෙක්චර්ස් තුනකටත් ගිහින් ලයිබ්‍රරියට ආවටත් පස්සෙ තාමත් නයනිට ඇහැරෙන්න අමාරුයි.
ඇත්ත තමයි.
එයා නැතුව නයනි පාලුවෙන් ඉඳලා තියෙන්නෙ.
දැන් තමයි ඒක තේරෙන්නෙ.
ආයෙමත් එයා මුණ ගැහෙන්නම වෙනවා.
හීනෙං නෙවෙයි හැබහිං.නැත්නං කොහොමද ඒ පාලුව නයනි දරාගන්නේ?
ඒත් කොහොමද හත්දෙයියනේ ඒක කරන්නෙ.
මූණක් මතක නැති හාදයෙක් කොහොම හොයන්නද?
මතක තියෙන එකම දේ  එයයි නයනියි අත් පටලව ගත්තු ඒ තත්පර ගාන විතරයි.
සින්ඩරෙල්ලා කතාවෙ නං කුමාරයා සින්ඩරෙල්ලා දාල ගියපු සපත්තුව ගෙයින් ගෙට යවනවා ගැලපෙන කකුලක් හොයන්න.
නයනි මොනවා කරන්නද?පිරිමි පරාණ එක්ක අත් පටලන්න යන්නයැ හරි හාදයා මුණ ගැහෙන කං
පාඩං කරන්න හිතුවට මොන පාඩං ද?
පොත වහලා දාලා නයනි කල්පනා කරන්න ගත්තා.
හීනෙං පේන්නේ කවදහරි කොහේදි හරි දැකපු දෙයක් වෙන්න ලොකු ඉඩක් තියෙනවනෙ.
එතකොට මේ යෝදයා මම දන්න කෙනෙක් වෙන්න බැරි නෑනෙ.
දන්නා කියන එවුන් ගෙන් හීන කුමාරයා වෙන්න පුලුවන් කුමාරයෝ ටික නයනි හිතෙන් ලයිස්තු ගත කළා.
මුලින්ම ඇවැස්ස මස්සිනා පොඩ්ඩ කපිලයියා.ළඟ පාතකට ආපු ගමන් කියාගෙන කපිලයියා ඉඳහිට ගෙවල් පැත්තේ ආවෙ නයනිව බලලා යන්න කියලා නයනි දන්නවා.තේ කෝප්පයක් එහෙම ගෙනිහින් දෙද්දි කපිලයියගෙ අතට නයනිගෙ අත මුණ ගැහිලා නැත්තෙත් නෑ.ඒත් එහෙම දැනිලා තියෙනවද?නෑනෙ
කපිලයියා වෙන්න බෑ.
එතකොට තව කවුද?
ඒලෙවල් ක්ලාස් කාලේ පටන් අරගෙන ඒලෙවල් ඉවර වෙද්දීම දිය වෙලා ගියපු නයනිගේ පළවෙනි ප්‍රේම පුරානේ කුමාරයානෝ ,සමීර
සමීර තාමත් නයනි ගැන හිතෙ තියන් ඉන්න විත්තිය  කියලා සමීරගෙ යාලුවෙක් ඉඳහිට නයනිගෙ හිත කොනිති ගැහුවා.ඒත් නයනිට ඒ හාදයා ගැන තිබුනෙ යාලුවෙක් සහෝදරයෙක් ගැන තියෙන කැක්කුමක් විතරයි.ඒ ලෙවල් ඉවර වෙලා ප්‍රේම පුරානේ නැවතීමේ තිත තියන්න කිට්ටු දවසක ගෙවල්වලට හොරෙන් බොහොම බයෙන් බයෙන් සමීරත් එක්ක වේදිකා නාට්‍යයක් බලන්න ගියපු හැටි නයනිට මතක් වුනා .නාට්‍යයේ මැදක් හරියෙදි සමීරගෙයි නයනිගෙයි අත් පැටලැවුනේ සමීරගේ ඕනෙකමට.මේ විදුලි කෙටිල්ල එදා දැනුනෙ නෑ කියලා නයනිට සහතිකයි.
සමීරත් ඕෆ් ද ලිස්ට්
අනුරුද්ධ සර්?අනුරුද්ධ සර්ගෙ හොඳම ගෝලයෝ රොත්තෙන් එක්කෙනෙක් තමයි නයනි.කසාද බඳින වයස පහු කළත් තාම හැන්ඩියා වගේ ජැන්ඩි පහට ඇඳපු අනුරුද්ධ සර්ගෙ ලාවට විජයෙ ෆේස්කට් එකත් තිබුනා.තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන  එක්ස්පර්ට් වගේම හැමතිස්සෙම ළමයින් වෙනුවෙන් කතා කරන්න හිටගත්තු නිසා අනුරුද්ධ සර් ගෑනු ළමයින් ගෙ විතරක් නෙවෙයි පිරිමි ළමයින්ගෙත් වීරයා උනේ තරඟයක් නැතුව මයි.
සර් තාත්තා කෙනෙක් වගේ කියලා හිතන්න හැදුවත් ඉඳ හිට වෙලාවක අනුරුද්ධ සර් ගැන බොහෝම ලා පාට ප්‍රේමනීය හැඟීමක් නයනිගෙ හිතේ ඇති වෙලා නැත්තෙත් නෑ.ඒත් සර් ගෙ හිතේ?
කවදාවත් සර් නයනිගෙ අතින් අල්ලලා නෑ.අල්ලන එකකුත් නෑ.
අනේ මන්දා අනුරුද්ධ සර් ලිස්ට් එකේ තියනවද ?අයින් කරනවද?
බ්‍ර්ර්...බ්‍ර්ර්..
හීන ලැයිස්තුව මැද්දෙන් නයනිගෙ ජංගමයා වයිබ්‍රේට් වෙනවා.
චතුරංගයාගෙ ලෙක්චර්ස් ඉවර වෙලා
"කොහේ ද ඉන්නෙ?"
"ලයිබ්‍රරියේ"නයනි රිප්ලයි එකක් කෙටුවා.
"එනවා කැන්ටිං.තේ බඩගිනියි"
ආයෙත් පාරක් ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි එහා මේසෙ පාඩං කර කර උන් බවලතී නයනි දැවී අලු වී යන බැල්මක් හෙලුවා.
මූ ඔහොම්මයි.අපිට ඉතින් සෙට් වෙන යාලුවෝ මාලුවෝම තමයි.අඩු ගානෙ අහපං කො තමුසෙ පාඩං කරලා ඉවරද?
තමුසෙට තේ ඕනෙද?
තේ බොන්න යං ද?
අහයි මේං කියලා.
පොත් ටික මල්ලේ ඔබා ගන්න ගමං නයනි දෙහි කපන්න ගත්තට ඕවා චතුරංගයාට කියලා තේරුමක් නෑ.
මේ කනෙන් අහලා අර කනෙන් එළියෙ.
ලයිබ්‍රරියෙන් එලියට බැහැලා පාර පැනලා නයනි හෙමි හෙමීට කැන්ටිං බිල්ඩිමට බඩගාන ගමන් ආයෙ හීන කුමාර ලැයිස්තුව හදන්න ගත්තා.
කැන්ටිමට යද්දි චතුරංග ඇවිල්ලා ප්ලේන්ටී දෙකක් ඕඩර් කරලත් ඉවරයි.
ඇයි වදේ මම බොන්නෙ ටීද ප්ලේන්ටී ද කියලා අහපල්ලකො ඉස්සර වෙලා.
පුටුවෙ පත බෑවිලා ෆෝන් එකට විරිත්තං හිටපු චතුරංගයාට නයනි ඔරවනවා පේන්නෙ නෑ.
"ලෙක්චර්ස්  කොහොමද ?"
"ඔය තිබ්බෙ"
මේ යෝදයා ගෙන් ඔයිට වඩා උත්තරයක් ගන්න එකට  වඩා නාකි ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ල ගන්න එක ලේසියි.
අම්මපා නයනිටත් වෙන යාලුවෙක් හිටියෙම නැද්ද හොයා ගන්න මේ උනහපුලුවා ඇර?
"මේහ්..."
"ඔහ්"
"අහනවකො"
"අහං තමා ඉන්නෙ"
"මම හීනයක් දැක්කා"
"හ්ම්ම්"
"යකෝ මොකද්ද කියලා අහපං කො"
"මොකද්ද?"
චතුරංග තාමත් ජංගමයාට එබීගෙන.
"කොල්ලෙක්"
"හ්ම්ම්"
"මට ඒකා හොයාගන්න ඕනෙ"
"හ්ම්ම්"
"අනේ මන්දා බං මට තේරෙන්නෑ.ඒ යකා ගේ මූණ මතක නෑ.ඒකනෙ අවුල."
"හ්ම්ම්"
"හූං හූං ගාන්නෙ ෆෝන් එකට එබීගෙන .මං කියන මෙලෝ දෙයක් අහගෙන නෙවෙයි නෙ ඉන්නෙ?"
නයනිගේ වොලියුම් එක පොඩ්ඩක් විතර ඉහළ යද්දි යාන්තං ජංගමයා පැත්තකට වුනා.
"අහං හිටියෙ...පිස්සුවක් නෙ.හීනයක් දැක්කා .ඒක එතනින් ඉවරයි.හීන පස්සෙ දුවන්න තමුසෙ මොන්ටිසෝරි ළමේක් යැ."
චතුරංග විරිත්තුවා.
නයනිගෙ හිත පිදුරුතලාගල කන්දෙන් පහළට රෝල් වුනා.
මදැයි යාලුවෙක් කියලා එකෙක්ට කියලා අහගත්තු දේ.
"බෑ...මට ඒ යකා හොයා ගන්නම ඕනෙ"
නයනි මුරණ්ඩු වුනා
"හරි හරි තමුසෙ හොයා ගන්නවා .ලොකු දෙයක් .මට ත් ලේසියිනෙ.කනක් ඇහිලා හිටියෑකි එතකොට.මළ වදේ."
මටත් හොඳ වැඩේ මේ වගේ එකෙක් ට ඕක කිව්වට.
නයනි ස්වයං තරවටුවක් කරගත්තෙත් හිතින් මයි.චතුරංගයා හරි හොඳ එකා.ඒත් හිත හොඳ වුනාට ගෑනු හිත් කියවන්නනං මූට කවදාවත් තේරෙන්නෙ නෑ.
කවදාහරි මූ බඳින කෙල්ලටනං තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේම පිහිටයි තමයි.
ඔය කියපු කතාව වෙන කෙල්ලෙක්ට කිව්වනං මෙලහකට ඒකි මෙතන නයගරා ඇල්ල වගේ දිය වෙලා හැලෙනවා.නයනිට ඉතින් මේ යකාගෙ කතා පුරුදුයි.
ඒත් හිත රිදෙන්නෙ නැතුවා නෙවෙයි.රටේ තියෙන ඔක්කොම ඉන්ටරෙස්ටිං වල්පල් ගෙනල්ලා මුගේ කන් දෙක පුරෝනවා තමයි.
ඒත් ඔහොම මූණටම කියනවෑ මම මලවදයක් කියලා.
"ඉවරද තේක බීලා?"
"හ්ම්"
නයනි මූන කළු කරං හිටියෙ හිත රිදුනා කියල තේරනාම අඩු ගානෙ සොරි කියයි වත් කියලා.
සොරි?
මුන්දැ සොරි කිව්වොත් බස්නාහිරින් පායයි ඉර.
නයනි ඔහේ පුටුව උඩම පැලවෙලා ඉන්දැද්දී  මිතුරු තොමෝ නැගිටලා දොර දිහාටත් වැඩම කරලා.
"පුටුවෙ මුල් ඇදලා ඉන්නෙ ලෙක්චර් එකට යන්නෙ නැද්ද?"
බුම්මං මූණත් එක්කම පොත් මල්ලත් උරෙන් එල්ලං නයනි පුටුවෙන් නැගිටලා උන්දැගෙ පැත්තකින් වැටුනා.
මූත් එක්ක ඉන්නවට මට කීයක් හරි දෙන්ටෝනෑ.
එකොලහේලෙක්චර් එක දෙන්නටම.
පාරෙන් එහා පැත්තෙ වෙස්ට් ලෙක්චර් හෝල් එකේ.එතනට යනකං ආයෙත් නයනි හීන කුමාර ලිස්ට් එක හදන්න ගත්තා.
හත්වලාමයි.
විදුලි කොටන්න ගත්තා.
මහ දවාලේ මහ පාර මැද නින්ද යන සිරිතක් තියෙනවද?
නයනි තමන්ගෙ ඇඟිලි අස්සේ පැටලිච්ච් ඇඟිලිවල අයිතිකාරයා දිහා බලං හිටියෙ ඇස් දෙක ලොකු කරං.
"මොකෝ?"
හීනේ විදිහට මම ඔයා නැතුව පාලුවෙන් හිටි කතා මේ යකාට කිව්වොත්  එක්කො මෙතන බිම  පෙරළිලා හිනා වෙලා එක විකාරයක් කරයි.
නැත්නං තව මොකක් හරි හිත රිදෙන කතාවක් කියයි.
"මොකුත් නෑ"නයනි විරිත්තුවා
"ලෙක්චර් එකට යමං එහෙනං මහ පාර මැද ගල් පිලිමෙ වගේ ඉන්නැතුව"
එහෙම කියලා ගෙරෙව්වට නයනිගෙ ඇඟිලි පටලං  හිටපු ඇඟිලි තවත් ටිකක් තදට පැටලෙන ගතිය නයනිට දැනුනා.
නයනිට හිනා ගියා.
ලෙක්චර් හෝල් එකේ දොර ගාවදි නයනිගෙ හීන කුමාර ලයිස්තුව ඩස්ට්බින් එකට වැටුනා
.

2 comments: