Tuesday, May 30, 2017

විවේකේ

හවස් ජාමේ අල්ලපු ගෙදර පැත්තෙන් ගෝරියක වගේ සද්දයක් ඇහෙන්න ගත්තා.
දෙන්නාදෙමාල්ලෝ ඇරුනම ඒ ගෙදර පොඩි ලමයි අට දෙනෙක්.තව මහ මනුස්සයගෙ අම්මයි තාත්තයිත් ගෙදර.දෙන්නම එක්තැන් වෙලා ඉන්නෙ.ලමයි ඔක්කොටම වයිරස් උන හැදිලා එක සැරේ.
මොකක් හරි කරදරයක් ද දන්නෙ නැති නිසා මමත් කිට්ටු වෙලා බැලුවා.
වැට පනින්න  හදන කොටම ගේ ඇතුලෙ ඉඳන් පියාඹගෙන එලියට ඇවිත් මගෙ කකුල් දෙක ළඟ පතබෑවෙ නැතෑ තඩි ට්‍රන්ක පෙට්ටියක්.
හායි ගාලා ඒක ඇරිලා  මහ මනුස්සයාගේ රෙදි ටික සී සී කඩ.මේ මක් වුනාද කියලා මම බීත වෙලා ඉඳිද්දි ඒ ගෙදර උන්දැ එලියට බැස්සෙ දුම්මල වරම අතට අරං
"මොකෝ නැන්දෙ මේ ,මං ආවෙ කරදරයක් වත් ද බලන්න."
"නෑ බං උඹ දන්නවනෙ මේ වයසක මිනිස්සු දෙන්නා එක තැන් වෙලා ඒ මදිවට අසනීපෙන්.ඒ අවුඅස්සෙ අපෙ එවුන් ඔක්කොටම සහලෝලා උණ.ඔක්කොටම එක පාර නෙවැ අසනීප වුනේ"
"ඔව් ඔව්.අපි ඊයෙ ගිහින් නෙ බෙහෙත් ගෙනාවෙ"
"මේ ගෙදර මෙච්චර හරියක් වෙලා තියෙද්දි මේ මහ මිනිහා කියනවා උන්දැට මහ ගෙදර ගිහින් ටිකක් විවේක අරං එන්ට ඕනැලු.පහු ගිය දවස් ටිකේ රාජකාරි වැඩි නිසා ඇඟට තෙහෙට්ටුයි ලු.හරියට නින්ද ගියෙත් නැහැලු.මෙහෙම කරදරයක් වෙච්චි වෙලේ කර ඇරලා යන මිනිස්සු මොටද බං පොල් පිත්තක් ගත්තම දහයක් කපාගත්තහැකි නෙ.මම කිව්වා විවේකෙන් එහෙටම වෙලා ඉන්න එකයි ආයෙ මෙහෙ එන්ට ඕනැන්නෑ කියලා."
"අනේ නැන්දෙ ඉතින් මාමා එහෙම කරාට කමක් නැහැනෙ."
"ඒ මොකද බං එහෙම කිව්වෙ?"
"නෑ.ඉතින් මෙච්චර මෙහෙ ගංවතුර ගලලා නාය ගිහින් තියෙද්දි ත් අපේ අගමැති තුමා ඔය විවේක ගන්ට කියලා පිටරට ගියේ.මොකෝ අපේ මිනිස්සු නැන්දා  කරන්න වගේ ඒ උත්තමයාගේ පලු අරිනවය.නෑනෙ"

උසේන් බෝල්ට් පාස් කරගෙන මම අපේ වැට මායිම පැත්තට පසු බහිද්දී එහා ගෙදර මනුස්සයාගෙ සපත්තු ජෝඩුවෙන් එකක් විදුලි වේගෙන් මගේ පැත්තට පියාඹගෙන ආවා යාන්තම් මතකයි.
අවුලක් නෑ හෙට දිහාට මගේ ටිකට් කපයි.

හීන කතා


පොඩි කාලෙ හිටපු ගෙදර ළිඳ මට කාලෙන් කාලෙට හීනෙන් පේනවා.වතුරෙන් අපලයි කියලා හඳහන බලපු මනුස්සයෙක් කියපු හින්දයි පොඩි කාලෙ එක වංගියක් වතුරෙ ගිලුන හින්දයි අපෙ ගෙදර මිනිස්සු මට වතුර පිරුනු  පැත්ත පලාතක යන්න දුන්නෙ නෑ ඒ කාලෙ.(ඕන් දැන් හිතයි මම නෑවෙ නෑ කියලා ඒ කාලෙ .නෑවා නෑවා ගෙයි වතුර මලෙන්).ඒ කොච්චර තහංචි දැම්මත් මම ගිහින් ළිඳට් එබෙන එක නතර වෙන්නෙත් නැහැ.

ඇහැරිලා ඉන්නකොටත් අඳුරු පාට වතුර පිරුණු
ළිඳට මම බයයි.
ඒත් ඒ බය තටු ගගහ පියාඹන්නෙ ඇහැ පියාගත්තම ඇඳෙන හීන වල.ඒ ගෙදරින් ඇවිත් අවුරුදු විස්සකටත් වැඩි වුනත් අදටත් හිත කලබල වෙච්ච දවසට රෑට ඉඳලා හිටලා හීනෙන් ඔය ළිං රාජයා බොහෝම පියවි විදිහට ඇස් ඉස්සරහා පේන්න ගන්නවා.ඉස්සර වගේ දැන්නම් බයක් නැතත් එකම හීනෙ ආයෙ ආයෙ ඒන එක ගැන පුදුම හිතෙනවා.

නින්දෙන් පේන හීන ගැන වෙනමම උගන්නන විද්‍යා හිටං තියෙනවනේ.පොතුත් මගෙ හිතේ ලියවිලා ඇති බර ගානක්.සමහර හීන පාට පාටයි .ඒත් සමහර ඒවා බ්ලැක් ඇන්ඩ් වයිට්.
ඉඳලා හිටලා අමුතු හීනයක් දැක්කම ඔය ඔක්කොම කියවලා බලලා හීනෙ තේරුම හොයන්න ඕනෙ කියලා හිතුවට කෝ ඉතින් වෙලාවක් ඒකට.

දැන්නම් හුඟක් වෙලාවට හීනෙන් පේන්නෙ ඉස්පිරිතාලෙ ,ලෙඩ්ඩුන්ගේ කතා එහෙම.අපේ උන්දැට කිව්වොත් ඉන්තේරුවෙන් කියයි නින්දෙනුත් ඔලුවෙ තියෙන්නෙ රස්සාවම තමයි කියලා.

හැබෑ ලෝකෙදි කොහොමටවත් වෙන්න බැරි දේවල් හීනෙට එනකොට බොහොම සාමාන්‍ය විදිහට පේන්නෙ ඇයි කියන එකත් හිතා ගන්න අමාරුයි.ජීවිතේ එක එක කාලවල මුන ගැහුණු මූනු එකම හීනෙක එකම වෙලාවෙ මුන ගැහුන නේද කියන එක කල්පනා වෙන්නෙ ඇහැ ඇරුනම හීනෙ මතක හිටියොත්.

සමහර හීන නින්දෙන් ම මැකිලා යනවා මගෙ හිතේ.
සමහර හීන අතරමැද අපි ඇහැරෙනවා.එක්කො හීනෙන් බය වෙලා.තුන්මුනින් දාඩිය දාගෙන නැගිටලා එක හුස්මට වතුර වීදුරුවකුත් බීලා අම්මේ ඒක හීනයක්නෙ කියලා හිත හදාගෙන ආයෙ නිදා ගන්න යනවා.ඒ වුනාට ඒ වගේ නෙවෙයි
සමහර හීන අතඇරලා එන්න ලෝබයි.හීනෙ මැද්දෙන් ඇහැරවපු හාදයා මරන්න තරම් තරහ යනවා.ඉබේ ඇහැරුනා නම් ආයෙත් ඇස් පියා ගෙන තව පාරක් ඒ හීනෙම පේනවනම් කියලා දවල් හීන දකින්න හිතෙනවා.

නින්දෙන් හීන දකින නොදකින හැමෝම හැබැහින් හීන දකිනවා.දවල් හීන බල බල ඉන්න කැමති අයට එහෙම කරන්න පුලුවන්.හීනෙ හීනයක් ම නොවී හැබෑ කරගන්න කැමති අයට එහෙම කරගන්නත් පුලුවන්,හැබැයි ටිකාක් විතර කට්ටක් කන්න වෙනවා.
කෑම පැය ඉවරයි.හීන කතාත් ඉවරයි.අපි ආයෙ වැඩට යනවෝ

Tuesday, May 23, 2017

හදිස්සියෙනි

එකමත් එක රටක රජ කෙනෙක් ඉතාම සෙමෙන් දැහැමින් රට කරන කොට රටේ අද්‍යාපනය බලන අමාත්‍යාංශයේ ලේකම් රටේ ඉස්කෝල ඔක්කොමටම පයිංඩයක්  යවපි.

ඒක මෙහෙමයි.

"හදිස්සියෙන් ය.
රටේ හැම ඉස්කෝලෙකම රට කරවන රජතුමානන්ගේ පින්තූරයක් අනිවාර්යයෙන්ම එල්ලන්ට ඕනෑය.එහෙම නොඑල්ලීම ජාතික අපරාධය ක් ය.එහෙම පිංතූර එල්ලා නැති ඉස්කෝල වහාම පිංතූර ඉල්ලා ලියුම් කරදහි එවිය යුතුය."

රට කරන රජතුමානෝ උදෙන් ම පත්තර මල්ලී ගෙනත් දුන් පත්තරේ හිටං පෙරළන විට ඔය කියන විස්තරය දැක්කෝය.නහුතෙටම තද වී කන් දෙකෙන් දුම් පිට වුණ බවත් ආරංචි ය.
ඇසින දුටු රජ වාසල ඇත්තන් කීවේ අදාල ලේකම් ඇත්තා කන් කෙටියෙන් ඇදගෙන විත් පශ්චාත් භාගයට දෙකක් දී රජ වාසලෙන්  දොට්ට දැමුවේ ද රජතුමා බවය.

අනතුරුව රජතුමා සිය කුටියට වැදී දත හපාගෙන මෙහෙම ලියමනක් ලිව්වෝය.

"හොඳටෝම හදිස්සිය.

සියලුම රාජ පුරුශයන් රටේ ගම් දනව් සිසාරා ගෙයක් ගෙයක් ගානේ  ගොස් අකුරු කලයුතු පොඩි එවුන් අකුරට නොයන ගෙවල් සොයා බැලිය යුතුය.සොයා බලා එවුන් අතේ දුරින් ඇති පාසලකට යොමු කල යුතුය.අතේ දුරින් යාමට පාසල් නැති උන් වෙනුවෙන් පාසල් ඉදි කල යුතු ය.
හැම පාසලකම අවුවට වැස්සට නොතෙමෙන ,ඇතුලේ හිඳියදී බිමට පාත් නොවෙන ගොඩනැගිලි තනවා දිය යුතුය.
තව ද අකුරට උවමනා පොත පත  නොමිලේම දිය යුතුය.

වත්කමක් නොමැති බව පැහැදිලි පවුලක දරුවෙක්ට පාසල් ඒමට අවැසි අඩුම කුඩුම රජයේ වියදමින් ලබා දිය යුතූ ය.

මවුපියන් ගේ තරාතිරම ,ආගම ,රෝගී නිරෝගී බව ආදී මොන යම් හේතුවක් නිසාවෙන් දරුවෙකුගේ ඉගෙනීම ට මඟ අහුරන සියල්ලන්ටම තරයේ අච්චු කිරීමට තීන්දු ය.

මත් වතුර ගෙන දරුවන් ගේ ඉගෙනුමට හරස්කපන අප්පලාට කස පහර සීයක අවම දඬුවමක් සහතික ය.
ඉගෙනුම ලබන දරුවන් ගේ අම්මලා පරදේසවල මෙහෙයට යාම තහනම් කරන අතර රජයේ අනුග්‍රහය යටතේ ස්වයං රැකියා වලට අනුග්‍රහය ඒ වෙනුවට ලබා දෙනු ඇත."

මේ පයිංඩේ රට වැසියාට දැන ගන්න ලැබුනද නැද්ද දන්නෙ නෑ. මොකද ඊට කලියෙන් මට ඇහැරුණා.

රටේ පොඩි වුන් හරි මඟට ගන්නා තැන පාසල ය.
පාසලක් නොව ඕනෑම තැනම බලෙන් පිංතූර ගසා ගන්නට වුවමනා නැත.
කරනා කාරිය හරියට කරා නම් පිංතූරය ඇඳෙන්නෙ ජනතාවගේ හිතේ ය.ඒක ගැලවෙන්නේ නැති බව සහතික ය.

නාමෙ නොදිරනා කුනු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ කියන්නෙ කට කහනවාටයැ.

Thursday, May 18, 2017

අපේ තාත්තා වගේ තාත්තා

උන් පොඩි එවුන්.කර දඩු උස් මහත් වෙලා තමයි.ඒත් තාම නිවාඩුවට ගෙදර ගියාම අම්මගෙන් බත් කටක් කවාගන්න කැමති පොඩි එවුන්.

ඒත් උන් ට වීදි බහින්න වෙනවා.තරුණ ලේ කොහොමත් අසාධාරණේ ඉවසන්නෙ නැහැ.

හිස් අත් එක්ක පාරට බැහැපු  උන් ට පස්සෙන් පන්නාගෙන ගිහින් ගහනවා.

පන්නන් ගහන එවුන් අතේ නැති ලොකු ආයුධයක් උන් එකෙක් ළඟ තියෙනවා.ලස්සනට පොටෝ වදින කැමරාවක්.
ඒ පින්තූර මිනිස්සුන්ට කතා කරනවා.සල්ලි දීලා සාක්කුවෙ දාගත්තු මාද්‍ය වල නොපෙන්නන ඇත්ත අරගලය මිනිස්සුන්ට පෙන්නනවා

ඒ පොටෝ ගොඩ එහාට මෙහාට පෙරළන කොට එක පාරට මාව තිගැස්සෙනවා.

"තාත්තා...?"

එක පාරටම දැක්කම අපේ තාත්තා වගේ පෙනුනට අපේ තාත්තා නෙවෙයි.ඒත් මේ කාගෙ හරි තාත්තා කෙනෙක්.

පඩියට හිලවු වෙන්න විතරක් නෙවෙයි තමන්ට යාගන්න බැරි තැන් ගැන හිතේ තියෙන පොඩි සාංකාව යන්නත් කාකි බොත්තම් පොඩි එවුන් මරා ගෙන කන්න හැදුවා.
ඒත් මම දන්නවා මේ කරන දේ වැරදියි කියලා පසු තැවෙන හිත් දෙක තුනක් හරි කාකි බොත්තම් වලට යටින් පණ ගැහෙනවා ඇති.

මේ පොඩි වුන්.පාරට බැහැලා තියෙන්නෙ උන් ගෙ ගැන හිතලා නෙමෙයි මේ රටේ හෙට උපදින මේ වගේ තවත් පොඩි වුන් ගැන හිතලා කියලා උන් දන්නවා ඇති.

ඒත් ලොකු තරු පටි තරහ කරන් ගෙදර පොඩි එවුන් ගේ බඩ කට පුරවන්න බැරි වෙන බව මතක් වෙලා අසරණ වෙනවත් ඇති.

මට ආයෙත් "නපුරු පාලකයො තුන්දෙනා"කතාව මතක් වෙනවා.අන්තිමේදි නපුරු පාලකයින් ගේ හමුදා සෙබලු ඔක්කොම නපුරු පාලකයින් ගෙන් රට බේරගන්න එකතු වෙනවා.

ඒත් ඉතින් ඒක රුසියානු නව කතාවක් නේ.
මේක අපේ සිරි ලංකාවනේ.

Wednesday, May 17, 2017

හිතේ ලෙඩ ඇත්තෝ

අද වැඩ ඕ.පී.ඩී..එකේ
අම්මෙක් අවුරුද්දක පොඩි බබෙක් ව ගෙනත් තිබුනෙ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න.උඩ ඇන්දෙ දතකුත් මට පෙන්නලා හිනාවෙන හරිම දඟ කොලු පොඩිත්තෙක්. පපුවට නලාව තියලා බලලා බෙහෙත් ටිකක් ලියන්න මම ආපහු හැරුනා.

"මෙයාව හැදුවෙ කිරි පිටි දීලා ඩොක්ට"

සමහර වෙලාවට මවු කිරි ආසාත්මිකතා වගෙ හේතු නිසා අකමැත්තෙන් වුනත් පිටි කිරෙන් බබාලා හදන්න වෙනවනේ.එහෙම වෙන්නැති කියලා මම හිතුවෙ.

"ඇයි අම්මා මොකද්ද තිබුන ප්‍රශ්නේ?"

"මෙයාගෙ අම්මා දාලා ගිහින්.මම නැන්දා"කොලු පොඩිත්තාගේ නැන්දා උත්තර බැන්දා.

මෙච්චර හුරතල් කොලු පැංචෙක් දාලා අම්මෙක් ගියේ ඇයි?ගෑනු හිතට ඔය වගේ ප්‍රශ්න එන එක නවත්තන්න අමාරුයි නෙ.

"ඇයි එහෙම වුනේ?"

"මෙයාගෙ අම්මා මානසික රෝගියෙක් ඩොක්ට.අපි ව රවට්ටලා ඒ ගෙදර මිනිස්සු කසාදෙ කලේ.ළමයා හම්බුණාට පස්සෙ පිස්සු තවත් වැඩි වුනා.ඉතින් අපි අම්මලා ගෙ ගෙදර ගිහින් දැම්මා."

"ඉතින් එයා බබා ගැන අහන්නෙ නැද්ද ?"

"එයා බබාට ආදරේ නැහැ ඩොක්ට.බබා ගත්තෙත් සීසර් කරලා.කිරි දෙන්නෙත් නැහැ එයා.බබා ට ආදරෙත් නැහැ"

"මානසික අසනීප තියෙන අයට බබාලා ලැබුණම අමාරු වැඩි වෙන්න ඉඩ තියෙනවා.බෙහෙත් කරලා බැලුවෙ නැද්ද?"

"එයා ක්ලිනික් එක්ක යනවා අම්මා මගෙ හිතෙ.සීසර් කරලා ගත්තේ බබාව.ආදරේ නෑ එයා"

ඕපීඩී එක ලෙඩෙක්ට වැය කරන්න වෙන කාලෙකට වඩා ටිකක් වැඩියෙනුත් අරන් හිනා පෙරන කොලු පොඩ්ඩා නැන්දත් එක්ක යන්න ගියා.නැන්දා ටත් ළමයි තුන්හතරදෙනෙක්.ඒ අස්සේ වැඩියි නොහිතා ආදරෙන් කොලු පොඩ්ඩා බලාගන්න නැන්දා සෑහෙන හොඳ මනුස්සයෙක් වෙන්න් ඕනෙ.

ඒත් ඒ ගැන සතුටු වෙනවාට වඩා මට දැනුනෙ දුකක්.උනහපුලුවාටත් උගේ ළමයා මැනිකක් ලු.ඒත් මානසික ආබාධ යක් හරි වෙනයම් දිගු කාලීන අසනීපයක් තියෙන දරුවෙක් විශේයෙන්ම ගෑනුදරුවෙක් ගෙදර මිනිස්සුන්ට කොච්චර හිතට ගින්දරක් ද?
තාමත් ලංකාවේ අපි බොහෝදෙනෙක් ඒ වගේ මිනිස්සු දිහා බලන්නෙ වපරැහින්.

මානසික රෝග කියන්නෙත් දියවැඩියාව ,ප්‍රෙශර් එක වගේ මිනිස්සුන්ට හැදෙන තවත් ලෙඩ වර්ගයක්.බෙහෙත් හා වෙනත් ප්‍රතිකාර මගින් බොහෝ මානසික රෝග බොහෝම හොඳින් පාලනය කරගන්න පුලුවන් .ඒක මිනිස්සු තේරුම් ගත්තොත් මනමාලිගෙ පැත්තෙ උදවිය ඒවා වහං කරලා බන්දලා දෙන තැනට යන්න ඕන නැති වෙයි.

ඒ වගේම ගෙදර මිනිස්සත් කල්පනා කරන්න ඕනෙ මේ මනුස්සයාට  විවාහ ජීවිතයක් ගත කරන්න පුලුවන් ද කියලා.මොකද විවාහයක් කියන්නේ වැඩිහිටියෙක් විදිහට ඒ වගේම සම්පූර්නයෙන්ම වෙනස් පරිසරයක ජීවිතේ ආයෙත් පටන් ගන්නවා වගේ වැඩක්.වෙන්නෙ මොකද්ද කියලාවත් දැනුම් තේරුම් නැති කෙනෙක් ව එහෙම ජීවිතේකට තල්ලු කරන එක මට හිතෙන්නෙ පවු සිදු වෙන වැඩක්.අනික ලෙඩ හංගනවා කියන්නෙ අලුත් පරිසරයේ ඒ වෙනකොට ලැබුනු ප්‍රතිකාරත් නොලැබෙන එකයි.ඒ අහිංසක මනුස්සයා කොච්චර අසරණ වෙනවාද?

ඕකෙ අනිත් පැත්තත් තියෙනවා.බොහොම හොඳ පාලනය ක් ඇතුව ඉන්න රෝගියෙක්ට විවාහයක් කරගන්න ඕනෙ නම්.සමහර වෙලාවල මම දැකලා තියෙනවා අනිත් පාර්ශවෙන් රෝගය ගැන දැනගෙනත් කැමති වෙද්දි ගෙදර මිනිස්සු ලෙඩේ පිටින් දාලා කසාදයක් නොකර ගෙදරට නාකි වෙන මිනිස්සු .

කසාදෙ විතරක් නෙමෙයි,රස්සාව,සාමාන්‍ය ජීවිතේ ඒ හැම තැනකදීම අපි මේ මිනිස්සුන්ට දෙන්නෙ හිමි තැන නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.

ඇත්ත.ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය අමුතුයි.

ඒ අමුත්තත් එක්ක අපි වගේම නිදහසේ ජීවත් වෙන්න දෙනවද අමුතු මිනිස්සු දිහා දිගටම වපරැහින් බලනවද කියන එක තියෙන්නෙ අපේ අතේ.

අර කොලු පොඩ්ඩා කවදහරි ලොකු වෙච්චි දවසක හදපු නැන්දා වගේම වදපු අම්මාවත් එක වගේ ආදරෙන් සලකයි කියලා හිත කොනක පොඩි හීනයක් තියෙනවා.
හැබැයි.හීන වලට වඩා ඇත්ත තිත්තයි.....

Tuesday, May 16, 2017

නීති උපාධිය-අතහිත බාර් එකෙනි

මනුස්සයෙක් ට තමන් කැමති විදිහේ ඇඳුමක් අඳින්න නිදහසක් තියෙන්න ඕනේ.ඒක තමයි ඇත්ත.
නමුත් ගෑනු පිරිමි බව,ආගම,කරන රස්සාව ඔය වගේ දහසකුත් එකක් රාමු ඇතුලේ හිත ගිය වස්තරයක් ඇඟලන එකත් සෑහෙන අභියෝගයක් නේද  කියලා හිතෙනවා .
සාමාන්‍යයෙන් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හම් ගැහුන ඩෙනිමට ටීෂර්‍ර්ට් එකකුයි රබර් සෙරෙප්පු දෙකකුයි කියන ඇඳුමට.ඒත් තවත් කෙනෙක් ගෙ කැමැත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් .හිත ගිය තැන මාළිගාව කියනවනෙ.අනික ලංකාව වගේ රටක කරන මෝස්තරයක් කරන්න පුලුවන් තරුණ කාලෙ විතරයිනෙ.ඒ කොහොම වෙතත් රැකියාව කරන තැන,ඉගෙන ගන්නා තැන,ආගමික හෝ වෙනත් ප්‍රසිද්ධ තැනකදි ඒ තැන්වලට සුදුසුයි කියන තාලෙ ඇඳුමක් අදින එක තමයි ඔබින්නෙ.ඒ හැරුනාම තමන්ගේ සාමාන්‍ය ජීවිතේ තමන්ට කැමති විලාසිතාවක් කරාට රටේ ලෝකෙ උදවිය රෙදි කරට ගන්න ඕනෙද?

මේ හදිස්සියෙ ඇයි මට එහෙම හිතෙන්නෙ?.
මෙලීසා ලීච් හින්දා.
එහෙම කෙල්ලෙක් ලංකාවෙ ඉන්නවද කියලාවත් මම දැනං උන්නෙ නෑ.කවදත් හොඳ කුණු ගොඩක් මාකට් කරගෙන ගොඩ යන අපේ උන්දැලා "බාර් එකේ බීම විකුනපු අපේ සරාගීම ලෝයර් "කියලා ඔය ඇත්තිව දාලා පෝස්ට් එකක් දැම්මෙ ටික දවසකට කලින්.ඊට පස්සෙ ඉතින්  අපේ සත් ගුණවත් බුකී වාසී ජනතාව ඒ ඇත්තිගෙ ජායාරූපත් ශෙයාර් කරලා(අවසර අරන් වෙන්නැති නේ)ඒ ඇත්ති වෙසඟනක් කියලා හංවඩු ත් ගහලා(ඒ එතන කියපු ශිෂ්‍ටසම්පන්නම ආමන්ත්‍රණේ)දිගට හරහට පලු අරිනවා.

ඒ ඇත්ති හරිද වැරදි ද ,ඔය කියන රස්සාව කරනවද නැද්ද කියන එක මට අදාළ නෑ.
හැබැයි ඒ ඇත්තිගෙ ඇඟ පසඟ පේන පොටෝවලට ස්ඵෝටනය වුනු උදවිය ඒ ඇත්තිගෙ පෝස්ට් එක කියෙව්වාද මන්දා

සාරාංශය ක් හැටියට
BCAS ඩිග්‍රි එක අතට ගත්තාම  ඈට මතක් වෙනවා ඒ වෙනුවෙන් මොන දුකක් වින්දද කියලා.සල්ලි නැති නිසා ඇයට උපාදියේ අන්තිම අවුරුද්ද සම්පූර්න කරන්නෙ නැතුව අවුරුද්ද ක්ම ඉන්න වෙනවා.උපාධිය ට සල්ලි හොයාගන්න ඇය බැංකු ණයක් ගන්නවා.ණය ගෙවන්න තමයි ඇය බාර් එකක රැකියාවක් කරන්නෙ අද්‍යාපන කටයුතු අතරතුරේ ම.සිකුරාදා දිනවල ඇය පැය 24කට වඩා වැඩ කල බලන්න බවත් සඳහන්.

ඇය කියන දේවල්වල සත්‍ය අසත්‍ය තාව මම දන්නෙ නැහැ.නමුත් ඒ දේවල් ඇත්තනම් තමන් ගේ අද්‍යාපනය වෙනුවෙන්  ගෙදර මිනිස්සුන්ට බරක් නොවී තමන්ගේ මහන්සියෙන් ඒ ඉලක්කෙට ළඟා වුන ඒ ඇත්තිට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නැහැ.කරදර එද්දි තමන්ගෙ ගමන මඟ නතර නොකර ඉලක්කය සපුරා ගත් ඒ ඇත්තිත් ,මාකට් කළ හැකි ටොපික් එකක් නොවීම නිසා අපේ මීඩියාවලට මඟ ඇරුනු ඒ වගෙ හැම කෙනෙක් මත් ඇත්තටම
සැබෑ දිරියවන්තයන්.

අපේ උදවියට මග ඇරුණු අනිත් කාරනේ උපාධිය ට මිලක් නියම වෙච්චි එක.බාර් එකේ බීම විකුණපු ඇත්තිට ලෝකේ පැරණිම රස්සාව කරනවා කියලා පරිභව කරන ඇත්තෝ ඒ ගැන වැඩි කතාවක් නෑ.මේ ඇත්තිට පුලුවන් වුනාට උපාධිය වෙනුවෙන් හැම කෙනාටම බැංකු ණය ගන්න පුලුවන් කමක් නෑ.ආර්ථික අපහසුතා නිසා විවිධ ස්ථරවලදී අද්‍යාපනය අත ඇරලා දාන මිනිස්සු අහුරු පිටින් ඉන්නෙ මේ රටේ.ඒ මිනිස්සු වෙනුවෙන් පත් කරපු ජනතා නියෝජිත උත්තමයෝ කෝටි ගනන් මිලියන ගනන් ගසා කමින් සැප විඳින්නෙත් මේ රටේ මයි.රටේ නිදහස් අද්‍යාපනයට ඇති ඉඩ වැඩ් කරන්න ඕන වෙලා වෙ ,ඒ වෙනුවට හම්බ කරගන්න පුලුවන් උපාධි කඩ දාලා ඒවට රාජ්‍ය අනුග්‍රහය දෙන්නෙත් මේන් මේ රටේ මයි.

පිටරටක තවත් ඇත්තියක් උසස් අද්‍යාපනය ට මුදල් හොයාගන්න කන්‍යාබාවය උගස් කරපු කතාවකුත් මූනු පොතේ පාවුනේ මේ ළඟදි මයි.ලංකාවෙත් තව කල් යනකොට එහෙම වෙයිද මන්දා
එහෙම වුණත් මොකෝ අපි කැමති පක්ශෙකට කතිරෙ ගහලා ඇවිත්  ඒ ඇත්තිටත් මූනු පොතේ නොසෑහෙන බැනලා,මේ ආදරයයි හරි ස්වප්නා හරි බලලා නිදා ගමු කො.අහවරයිනෙ.

Sunday, May 14, 2017

අතට වෙරලු

බට්ටිගේ අම්මා පොඩි කාලෙ බලා කියා ගත්තේ වැඩි හරියක් අම්මා ය.මොන්ටිසෝරි වත් නොගිය පොඩි කෙල්ලෙක් එක්ක ගුරු පත්වීමකුත් බැලන්ස් කරගන්නට අම්මා සෑහෙන යුද්ධයක් කරන්නට ඇතුවා නිසැකය.පස්සෙන් පහු අත්තම්මා ද ඒ යුද්ධය ට හවුල් වූ බව මතක ය.ඒ භාරදූර කර්තව්‍යය යෙන් ඒ ජෝඩුව ම අකලට වයසට යන්නට ඇතුවා ද සහතික ය. ඒ කාලේ ළපයි සිපයි බලා කියා ගැනිල්ල අම්මලා ප්‍රමුක කාන්තා බලකායට පැවරුණු රාජකාරීයක් වුනු අතර අප්පොච්චි ලා උන්නේ කන්න බොන්න හම්බ කරන්නත්  දඟ වැඩ කරාම තරවටු කරන්ටත් ය.

ඒත් ඉතින් බට්ටිගේ අම්මාගේ රස්සාවේ හැටියට බට්ටිත් එක්ක ඉන්න ඉඩ ඇත්තේම නැතුවා වගේය.
අත්තම්මාත් ලෙඩ ගානේ නිසාවෙන් බට්ටි බලාගැනිල්ල පැටවෙන්නේ සීයාගේ කර මත ය.බට්ටි කෙල්ල සීයාව අල්ලේ නටවන්නට හපනී ය.ඒත් සීයාගේ ආදරේ අඩුවක් නැත.කැවිලි පෙවිලි ,නෑවිලි,නිදි කරවිලි ඔය ඔක්කොම රාජ කාරි කරන්නට සීයා දැන් කප් ගසා ඇත.

එතනින් නොනැවතී බට්ටිගේ අම්මාට නයිට් ඩියුටි කියා මගුලක් ද ඇත.එදා ට අමරුවේ වැටෙන්නේ බට්ටිගේ අප්පොච්චි ය.පෙර කී අට අනූවක් රාජකාරී වලය අමතරව රෑ එලි වෙන තුරු අම්මා නැති අඩුව දැනෙන්නට නොදීම කියන කරන්නට අමාරුම රාජකාරිය කරන්නටත් උන්දෑට සිදු වී ඇත..අම්මා මතක් වූ විට රෑ දෙගොඩ හරි ජාමයේ හූ තැබීම,ඔංචිලි පැදීමේ යෝජනා,ක්‍රීම් බිස්කට් ඉල්ලීම් වැනි අකරතැබ්බයන්ට මුහුණ දීමටත් සිදු වේය.ඒ ඔක්කොමත් කර නයිට් ඩියුටියෙන් පසු නිදිමරගාතේ ගෙදර එන බිරින්දෑට උදේ කෑමත් හදා තියා බැනුම අසන්නේ ය.
බට්ටිගේ අප්පොච්චි හා සීයා වගේම අම්මාවරු තරමටම ආදරේ බෙදන පිරිමි පරාණ බොහෝමය.ඒත් අම්මලාගේ ආදරේ තරම් එය ගැලරියට දැනෙන්නේ නැත.
අම්මා විතරක් නොව අප්පා ද බුදු විය යුතුමය .

Saturday, May 13, 2017

Hiv

"හපොයි දෙයියනේ ,අපි ඉතින්  වසලා හමාරයි මේ ගමේ"
රොසලින් නැන්දා දුවගෙන ඇවිත් ගේ ඉස්සරහ නැවතී ගෙන හති දානවා.රොසලින් නැන්දා කියන්නේ ගමේ නිල නොලත් මාද්‍ය ජාලය කියලයි තාත්තා කියන්නෙ.
"මොකද මොකද රොසලින්?"විස්තරේ අහගන්නකම් අම්මාට ත් ඉස්පාසුවක් නැහැ.
"අර උඩහ ගෙදර සිරිපාල ,ගිය සුමානෙ අන්තරා වුනේ ,මිනිහට ඒඩ්ස්ලු.හපොයි දෙයියනේ .මේ මොන නස්පැත්තියක් ද හාමිනේ අපේ ගමට වුනේ.මම යනවා ග්‍රාම සේවක මහත්තයාගෙ කනේ තියන්න මේ විස්තරේ"

ඒඩ්ස් කියන්නෙ ඇත්තටම සුව කළ නොහැකි ලෙඩක්.හැබැයි අපේ බොහෝ දෙනෙක් තුළ තියෙන්නෙ ඒඩ්ස් ගැන නොදන්නා කම නිසා ඇති වෙච්චි හුඹස් බියක් කිව්වොත් නිවැරදියි.

මොකද්ද මේ ඒඩ්ස් කියන්නෙ?මේ Human Immuno deficiency virus හෙවත් HIV වයිරසය  ශරීර ගත වීමෙන් හැදෙන ලෙඩක්.
කොහොමද ඕක අපේ ඇඟට ඇතුලු වෙන්න පුලුවන්
1.අනාරක්ශිත ලිංගික සංසර්ගයක් මගින් තමයි ප්‍රදාන වශයෙන්  වයිරසය බෝ විය හැක්කේ
වයස,ස්ත්‍රී පුරුශ බව,සංසර්ගයේ ස්වභාවය වගේ.හේතු උඩ අවදානම අඩු වැඩි වෙනවා
2.රෝගී තැනැත්තෙක් ගේ ලේ ඇඟට ඇතුලු වීමෙන්
   ඉස්පිරිතාලෙ දි අපිට දෙන ලේ එක බොහෝ පරික්ශා වලින් පස්සෙ දෙන නිසා ඉන් හැදෙන ඉඩ අවමයි.නමුත් මත් ඖෂධ වැනි දේ එන්නත් කර ගැනීමේදි එන්නත් කටු හුවමාරුවෙන් වයිරසය ශරීරගත වෙන්න පුලුවන්
3.රෝගී මවකගෙන් දරුවෙක්ට
මවු කුස සිටියදී,දරුවා බිහි වන විට,හා මව්කිරි හරහා වයිරසය දරුවාට බෝවීමේ ඉඩක් තිබෙනවා
මවට නියමිත පරිදි ප්‍රතිකාර කිරීමෙන් මෙය වලක්වා ගන්නට පුලුවන්

ශරීරයට ඇතුලු වූ වයිරසය යම් කාලයක ට පසුරෝග ලක්ශන පෙන්නුම්.කරන්න ගන්නවා.මෙතැනදි වෙන්නෙ වයිරසය  ශරීර යේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල වැඩීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පද්ධතියේ පද්ධතිය අඩාල වීමෙන් විවිධ රෝග බෝ වීමයි.මේ අවස්තාව තමයි ඒඩ්ස් කියන්නේ.

මුල් අවදියේදී රෝග ලක්ශන මුකුත් පෙන්නුම් නොකලත් බොහෝ රෝගීන්ගේ මාස හයක් වෙනවිට ඇගේ මේ වයිරසය ට ප්‍රතිදේහ නිපදවෙනවා.ඒ හරහා වයිරසය ශරීරගත ගත වී ඇත් ද යන්න සොයා ගත හැකියි.
තමන්ට එම රෝගය වැළදිලාද කියලා සැකයක් තියෙන ඕන කෙනෙක්ට රජයේ රොහලක ලිංගික රෝග සායනයෙන් නොමිලේම ඒ ගැන රුධිර පරික්ශා වක් කර ගත හැකියි.ඔබේ වාර්තා වල රහස්‍යභාවය ආරක්ශා කරන්න ඔවුන් බැඳී සිටිනවා.
බැරි වීමකින් හෝ රෝගය වැළදිලා නම් ඇන්ටිරෙට්‍රොවයිරල් ඖෂධ මගින් රෝගය පාලනය කර ගත හැකියි.ඒ මගින් බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හැකියාවක් තියෙනවා.

ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ඒඩ්ස් හැදෙන්නෙ ලෙඩාගෙ වරදින් කියන එක.අනාරක්ශිත ලිංගික සබඳතා වගේ හැසිරීම් රටා වලින් රෝගය හැදීමේ වැඩි අවදානම ක් තියෙනවා තමයි .ඒත් හිතලා බලන්න ඒ වගේම තමා නොදැනුවත්ව ම සහකරුවා හරහා,මවු කුසේ සිටියදී,රුධිර පාරවිලයනය ක් හරහාත් මේ රෝගය හැදෙන්න පුලුවන්.
ඒ වගේම ඒඩ්ස් රෝගියෙක් ළගින හිටියට ඒ රෝගය බෝවෙන්නෙත් නැහැ.

නමුත් සමාජයෙන් නැගෙන අපවාද නිසා මේ ආසාදිතයින්  ප්‍රතිකාර සඳහා යොමුවීමට පසුබට වෙනවා. ඒකෙන්  වෙන්නෙ තවදුරටත් ලංකාවේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම යි.

Thursday, May 11, 2017

අලු පාට හිත් ඇත්තෝ

"මොනවා නැතත් කමක් නෑ මට සංතෝසෙන් ඉන්න තියනවානම්"
කී දෙනෙක් ඔහොම කියලා තියෙනවා ද?
සංතෝසෙ වගේම දුකත් සාපේක්ෂ යි මගෙ හිතේ .සමහරු සතුට ට බරයි සමහරු දුකට බරයි.ඒ තමන් ගෙ හිත වැඩ කරන හැටියට වෙන්නැ.
ලෝකෙ හැම දේම සුදුත් නැහැ.කලුත් නැහැ.අතරමැද තියෙන්නෙ අලු පාට. ගොඩක් අයගෙ හිතුත් ඒ වගේ සතුටටත් බර නැති දුකටත් බර නැති අලු පාට හිත් නම්.හිනා අඩුයි තමයි.ඒ ත් ඒකට හිලව්වට කඳුලු කුනාටු හමන්නෙත් කලාතුරකින්. කාට හරි හිතෙන්න පුලු වන් "හපොයි ,මෙලෝ රහක් නැති කම්මැලි ජීවිතයක් නෙ " කියලා
ඒත් එක තත්පරේක ඉකිගගහා අඬලා ඊලඟ ඇසිල්ලෙම පෙරළි පෙරළි හිනා වෙනවට වැඩිය අලු පාට හිත් ඇත්තන්ගෙ ජීවිත සැනසිල්ලයි මගෙ හිතේ.
එහෙම මනාප නැත්නම් ඉතින් එහෙව් ඇත්තන්ට සැප ,දුක එක්ක හිටියෑකි .
"දුක සැප නිති පෙරළේ .රිය සක ලෙස ලෝකේ"