අද වැඩ ඕ.පී.ඩී..එකේ
අම්මෙක් අවුරුද්දක පොඩි බබෙක් ව ගෙනත් තිබුනෙ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න.උඩ ඇන්දෙ දතකුත් මට පෙන්නලා හිනාවෙන හරිම දඟ කොලු පොඩිත්තෙක්. පපුවට නලාව තියලා බලලා බෙහෙත් ටිකක් ලියන්න මම ආපහු හැරුනා.
"මෙයාව හැදුවෙ කිරි පිටි දීලා ඩොක්ට"
සමහර වෙලාවට මවු කිරි ආසාත්මිකතා වගෙ හේතු නිසා අකමැත්තෙන් වුනත් පිටි කිරෙන් බබාලා හදන්න වෙනවනේ.එහෙම වෙන්නැති කියලා මම හිතුවෙ.
"ඇයි අම්මා මොකද්ද තිබුන ප්‍රශ්නේ?"
"මෙයාගෙ අම්මා දාලා ගිහින්.මම නැන්දා"කොලු පොඩිත්තාගේ නැන්දා උත්තර බැන්දා.
මෙච්චර හුරතල් කොලු පැංචෙක් දාලා අම්මෙක් ගියේ ඇයි?ගෑනු හිතට ඔය වගේ ප්‍රශ්න එන එක නවත්තන්න අමාරුයි නෙ.
"ඇයි එහෙම වුනේ?"
"මෙයාගෙ අම්මා මානසික රෝගියෙක් ඩොක්ට.අපි ව රවට්ටලා ඒ ගෙදර මිනිස්සු කසාදෙ කලේ.ළමයා හම්බුණාට පස්සෙ පිස්සු තවත් වැඩි වුනා.ඉතින් අපි අම්මලා ගෙ ගෙදර ගිහින් දැම්මා."
"ඉතින් එයා බබා ගැන අහන්නෙ නැද්ද ?"
"එයා බබාට ආදරේ නැහැ ඩොක්ට.බබා ගත්තෙත් සීසර් කරලා.කිරි දෙන්නෙත් නැහැ එයා.බබා ට ආදරෙත් නැහැ"
"මානසික අසනීප තියෙන අයට බබාලා ලැබුණම අමාරු වැඩි වෙන්න ඉඩ තියෙනවා.බෙහෙත් කරලා බැලුවෙ නැද්ද?"
"එයා ක්ලිනික් එක්ක යනවා අම්මා මගෙ හිතෙ.සීසර් කරලා ගත්තේ බබාව.ආදරේ නෑ එයා"
ඕපීඩී එක ලෙඩෙක්ට වැය කරන්න වෙන කාලෙකට වඩා ටිකක් වැඩියෙනුත් අරන් හිනා පෙරන කොලු පොඩ්ඩා නැන්දත් එක්ක යන්න ගියා.නැන්දා ටත් ළමයි තුන්හතරදෙනෙක්.ඒ අස්සේ වැඩියි නොහිතා ආදරෙන් කොලු පොඩ්ඩා බලාගන්න නැන්දා සෑහෙන හොඳ මනුස්සයෙක් වෙන්න් ඕනෙ.
ඒත් ඒ ගැන සතුටු වෙනවාට වඩා මට දැනුනෙ දුකක්.උනහපුලුවාටත් උගේ ළමයා මැනිකක් ලු.ඒත් මානසික ආබාධ යක් හරි වෙනයම් දිගු කාලීන අසනීපයක් තියෙන දරුවෙක් විශේයෙන්ම ගෑනුදරුවෙක් ගෙදර මිනිස්සුන්ට කොච්චර හිතට ගින්දරක් ද?
තාමත් ලංකාවේ අපි බොහෝදෙනෙක් ඒ වගේ මිනිස්සු දිහා බලන්නෙ වපරැහින්.
මානසික රෝග කියන්නෙත් දියවැඩියාව ,ප්‍රෙශර් එක වගේ මිනිස්සුන්ට හැදෙන තවත් ලෙඩ වර්ගයක්.බෙහෙත් හා වෙනත් ප්‍රතිකාර මගින් බොහෝ මානසික රෝග බොහෝම හොඳින් පාලනය කරගන්න පුලුවන් .ඒක මිනිස්සු තේරුම් ගත්තොත් මනමාලිගෙ පැත්තෙ උදවිය ඒවා වහං කරලා බන්දලා දෙන තැනට යන්න ඕන නැති වෙයි.
ඒ වගේම ගෙදර මිනිස්සත් කල්පනා කරන්න ඕනෙ මේ මනුස්සයාට විවාහ ජීවිතයක් ගත කරන්න පුලුවන් ද කියලා.මොකද විවාහයක් කියන්නේ වැඩිහිටියෙක් විදිහට ඒ වගේම සම්පූර්නයෙන්ම වෙනස් පරිසරයක ජීවිතේ ආයෙත් පටන් ගන්නවා වගේ වැඩක්.වෙන්නෙ මොකද්ද කියලාවත් දැනුම් තේරුම් නැති කෙනෙක් ව එහෙම ජීවිතේකට තල්ලු කරන එක මට හිතෙන්නෙ පවු සිදු වෙන වැඩක්.අනික ලෙඩ හංගනවා කියන්නෙ අලුත් පරිසරයේ ඒ වෙනකොට ලැබුනු ප්‍රතිකාරත් නොලැබෙන එකයි.ඒ අහිංසක මනුස්සයා කොච්චර අසරණ වෙනවාද?
ඕකෙ අනිත් පැත්තත් තියෙනවා.බොහොම හොඳ පාලනය ක් ඇතුව ඉන්න රෝගියෙක්ට විවාහයක් කරගන්න ඕනෙ නම්.සමහර වෙලාවල මම දැකලා තියෙනවා අනිත් පාර්ශවෙන් රෝගය ගැන දැනගෙනත් කැමති වෙද්දි ගෙදර මිනිස්සු ලෙඩේ පිටින් දාලා කසාදයක් නොකර ගෙදරට නාකි වෙන මිනිස්සු .
කසාදෙ විතරක් නෙමෙයි,රස්සාව,සාමාන්‍ය ජීවිතේ ඒ හැම තැනකදීම අපි මේ මිනිස්සුන්ට දෙන්නෙ හිමි තැන නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.
ඇත්ත.ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය අමුතුයි.
ඒ අමුත්තත් එක්ක අපි වගේම නිදහසේ ජීවත් වෙන්න දෙනවද අමුතු මිනිස්සු දිහා දිගටම වපරැහින් බලනවද කියන එක තියෙන්නෙ අපේ අතේ.
අර කොලු පොඩ්ඩා කවදහරි ලොකු වෙච්චි දවසක හදපු නැන්දා වගේම වදපු අම්මාවත් එක වගේ ආදරෙන් සලකයි කියලා හිත කොනක පොඩි හීනයක් තියෙනවා.
හැබැයි.හීන වලට වඩා ඇත්ත තිත්තයි.....
we need to think more about this issue nangi... lots of referrals from mental health unit and all are kids of mothers with post partum depression or psychosis.
ReplyDelete