සාය ගෑනු ළමයින්ගේ ඇඳුම් අල්මාරියේ අනිවාර්ය කොටසකි. පොඩි කාලේ ඉඳන් ම මගේ ඇඳුම් අල්මාරිය පිරෙන්නේ අම්මාගේ හිතේ හැටියට ය.මට ඇඳුම් ගලපන කලාව නොතේරෙන නිසා උන්දෑ එහෙම කළා ද නැතිනම් පොඩි කාලේ හිටන් එහෙම වුණ නිසා ඒ ශිල්පය මට අත ඇරුණාද කියන එක නම් ශුවර් නැත.මම දන්නා එකම දේ නම් රෙදි කඩේක සායවල් තියෙන හරියෙන් මාව අත ඇරියොත් ඔටුවෙක් ඇන්ටාක්ටිකාවට ගෙනිහින් දැම්මා වගේ ගතියක් එන වගය.දණට ඉහලින් නවතින සායවල්,වළලුකර බදාගෙන පොළව පිහිදාන සායවල්,තට්ටු සායවල්,බම්බු සායවල් අතරින් රවුම් දෙකක් ඇවිදින කොට ඇතිවන තෝන්තුවා ගතිය නවතින්නේ රෙදි කඩෙන් එළියට බැස්සාම ය.
පොඩි කාලේ වැඩි හරියක් මට තිබ්බේ දිග කලිසන් ය.ඔහොම ඉඳිද්දී පහේ පන්තියේදී අම්මා රතු පාට සායකුයි හැට්ටෙකුයි ගෙනාවාය.දුටු දා ඉඳලා පෙම් බැන්ඳ කිට් එක ඇඳන් මම ගියේ සිස්සත්ත පන්තියට ය.පන්තියේ කොලු ගැටවු ටික අමුතු සතෙක් දිහා බලන්නා සේ බැලූ හැටි තාමත් මතක ය.පන්තියේ ටීචගේ මහත්තයා අපේ අම්මාගේ ඉස්කෝලෙට එන ගුරු උපදේශක මහත්තයෙකි.ඊට ටික දොහකට පසු ඉස්කෝලෙදී මුනගැහී උන්දෑ අම්මාට කියා තිබුනේ එදා ඇන්ද කිට එක නොවෙන්නට උන්දෑගෙ හිතේ තිබුනේම මම කොලු ගැටයෙක් බව ය.
ඉස්කෝලේ යනකොට සුදු ගවුම ඇන්දාට මගේ ඇඳුම් අල්මාරියේ වැඩිහරියක් තිබුනේ ඩෙනිම් කලිසම් ය.කොට කොන්ඩෙට ගවුම් සාය ගැලපෙන් නැති බවක් අම්මා හිතුවාදැයි දන්නේ නැත.කොහොමින් කොහොම හරි නවයේ පන්තියේ විතර ඉන්දැද්දී දිගම දිග රැලි සායක් අඳින්නට ට හදිසි ආසාවක් ඇති වෙනවා ය.තාත්තා එක්ක ගිහින් සමන් මල් එකෙන් ටිකක් බර ගානක් දීලා අලු පාට සායකුත් අරන් ඇවිදින් ඒක ඇඳන් යන්නේ ජයසිරි පෙරේරා සර් ගේ විද්‍යාව පන්තිය ට ය. ඒත් දිග සාය මගේ පදින බයිසිකලේ එක්ක පෑහෙන්නේ නැති බව තේරෙන්නේ ගෙදර ඉඳන් බස් හෝල්ට් දෙකක විතර පහු වෙද්දීම අලුත් සාය බයිසිකල් රෝදයත් එක්ක ඔට්ටු වුණා මය.වෙලාව හොඳ නිසා පාර මැද පිනුමක් නොගසා බයිසිකලය නවත්තගත්තත් බිමට බැහැගන්නට පුලුවන් වුනේ රෝදේ අස්සෙන් යට හරියත් ඉරාගෙන සාය එළියට ඇදගත්තාම ය.ගෙදර ගිහින් සුපුරුදු ඩෙනිමට බහින කොට සාය පිස්සුව දිග කාලෙකට හොඳ වෙලා ය.
පේරාදෙනියේ කැම්පස් යන්න කලින් කැම්පස් අඳින්න සුදුසු ඇඳුම් ගැන අම්මා ඒ වෙනවිටත් කැම්පස් හිටි අඳුරන අක්කෙක්ගෙන් උපදෙස් ගත්තාය.අක්කා අම්මාව ඇන්දුවාද අම්මා මාව ඇන්දුවාද කියන එක ශුවර් නැතත් අවසාන ප්‍රති පලය වුනේ ජ්‍යෙශ්ට උතුමන්ගේ උදහසට ලක් නොවීමටය කියා දිගම දිග මෙලෝ හැඩයක් නැති ගෝනි සායවල් තොගයක් මාත් එක්ක පේරාදෙනි යාමය.මගේ තියෙන පස්ස ගිනිගත් කඩියා ස්පීඩ් ගමනට සායෙන් හරිම කරදර ය.එනිසා කොයි වෙලේත් ඉබේම මගෙ අතින් සාය මදක් ඉහලට එසවෙන්නේ ය. එහෙම ආරක්ශක උපක්‍රම භාවිතා කර තියෙද්දිත් එක උදේක අපේ ඉංග්‍රීසි පන්තියට නගින සිමෙන්ති පඩි දෙක තුනේ පිම්මේ දුවන්නට ගිය මම හොම්බෙන් ලෑන්ඩ් කරන්නේ දණිස්සත් පතුරු යවාගෙන ය.අත්තනායක සර්ගේ අණට මගේ රූමී මාවත් දක්කාගෙන හෙල්ත් සෙන්ටර් ගොස් මට පිටගැස්මට බෙහෙත් විදින තුරු කන් වසා ගෙන හිටියා ය.බැච් එකේ ඉස්සිස්සෙල්ලාම හෙල්ත් සෙන්ටර් ගිය ලෙඩා වීමේ ගෞරවේ මට ලැබුනේ එහෙමය. එපාම වෙන වැඩේ දවල් කැන්ටින් යන වෙලාව වෙනකොට අපේ එකෙක් පඩි පෙලේ වැටී හෙල්ත් සෙන්ටර් ගිය කතාව සින්නන්ට ආරංචි වෙලාය.උන්ගේ හිතේ මම වැටුනේ හැම බිල්ඩිමකම වගේ තියෙන දාර පත පඩිපෙලකින් කියාය.ඉංග්‍රීසි පන්තිය ගාව පඩි දෙකේ තුවාල වෙන තරමට මම වැටුනේ කොහොමද කියලා හිතා මයෙ හිතේ එදා දවසේ බහුතරයක් හිසේ ඇම්ම හදා ගත් බව ශුවර් ය.
යාන්තම් ෆස්ට් ඉයර් එක ඉවර වෙද්දී ගෝනි සායවල් ටිකද ගෙදර පටවන්නට පුලුවන් විය.පස්සෙන් පහු අම්මා මට දිග සායවල් නොගෙනාවේ සාමාන්‍ය ගෑනු දරුවෙක් අඳින දිග සාය මගේ උසත් එක්ක එහාටත් මෙහාටත් නැති මලවිකාරයක් වෙන බව අම්මාටම තේරුන නිසා වෙන්ට පුළුවන.
ඉන්ටර්න් කරන කාලේ නෝලිමිට් එකේ තිබී හදිස්සියකට දුවාගන්නට ඉඩ තියෙන සාය කෑල්ලක් දැක්කාම මම කලේ හැම පාටින් ම ඒ සායවක් ගත්ත එකය.ඉන්ටර්න් ඉවරවෙන විට ඒ සායවල් දුසිමකටත් වඩා අල්මාරියේ ය.තාමත් ඒ දෙක තුනක් ඉතුරු ය.
ඩෙංගු වසංගතේ එක්ක ඉස්පිරිතාලේ යද්දී දිග ඇදුමක් අඳින වුවමනාව ඇති වෙනවා ය.යුනිෆෝම් එක් වගේ ඩෙනිම තිබුනත් ප්‍රශ්නෙ වෙන්නෙ ඒක ඇඳගත් ගමන් මම ගෙයින් පිට කොහේ හරි යන්න යන බව දැන ගත් බට්ටි පරල වෙන්න ගන්නවා ය.ඒ ගැන හිතලා කොහෙදෝ අම්මා කලු පාට අපූරු දිග රේන්ද සායක් එවලා ය.සාය හරි අපූරු ය.මදුරු වදේටත් කදිම ය.ඇඟටත් පහසු ය.එකම ප්‍රශ්නේ රේන්ද සාය වට පිටාවේ තියෙන දේ වල් බදා ගන්නට යාම ය.හවස වැඩ තියෙන දවසක වැඩට යන්නට කලින් ගෙදරට ඕන අඩුම කුඩුම ටික ගන්නට කඩේට දිව්වේ අටට වැඩ ඉවර වී බඩු ගන්න යාම කරදර නිසා ය.කඩේ රවුම් ඇවිදිද්දී සාය බර ගතියක් දැන්නෙන්න ගත්තාය. "හපොයි මෙන්න දොස්තර නෝනා කරවල හොරකම් කරනවා "කඩේ කොලූ ඔලොක්කුවට කියද්දී මම සායේ එල්ලුණු කරවල කූරියා ආයෙම උගේ වාස භවනට අතෑරලුවේ ආයේනම් දිග සාය කඩේ නොඅඳින්නට හිතා ගෙනය.
හොඳ වෙලාවට අපේ ගෙදර් කරවල කන්නෙ නෑලු ඉතින්.
No comments:
Post a Comment