Tuesday, July 16, 2019

පිලිකා කතාබහ 2- පිලිකා යුද්ධ කරන්නෙ මෙහෙමයි

පිළිකා කතාබහ 2

පිළිකා පිටුදකින එක ගැනයි කතා කරන්න හිතන් හිටියෙ නමුත් ඊට කලින් පිළිකාවලට බෙහෙත් කිරිල්ල ගැන කතා කරන්න හිතුනා.ඇයි කියලා ලිපියෙ අගිස්සට යද්දි තේරෙයි.

♟️පිළිකාවකට බෙහෙත් කරනවා කියන්නෙ සෑහෙන ලොකු යුද්ධයක්.
යුද්ධයක් කරන්න සෑහෙන පිරිසක් ඕනෑ.

♟️ඉතින් බලමු කොහොමද මේ යුද්ධෙ කරන්නෙ කියලා.

හිස්මුදුනේ හිටන් දෙපතුල දක්වා අපේ ඇඟ ගත්තොතින් එක එක විදිහෙ  සෛල ජාති අටෝරාසියක්ම ලියමන් සමූහය තියනවනෙ.ඉතින් ඔය එක එක තැන්වල ඇතිවෙන පිළිකාත් එකකට එකක් වෙනස්.අනිවාර්යයෙන්ම ඒවාට ප්‍රතිකාර කරන විදිහත් ඉතින් වෙනස් වෙන්න එපායැ.නමුත් පොදුවේ ගත්තම මේ හැම පිළිකාවකටම විරුද්ධ සටනේ පොදු අරමුණු කිහිපයක් තියෙනවා.

♟️පළවෙනිම තැන මුල් පිළිකාවට විරුද්ධ යුද්ධය.

ලෙඩේ හඳුනාගන්නා වෙලාව වෙද්දි පිළිකාව තිබෙන්නෙ මුල් අවදියේ නම්   අපි කරන්නේ ඒ පටන් ගත්ත තැනම පිළිකාව මුලිනුපුටා දාන්නට උත්සාහ ගන්න එක.ඒකට අපිට තියෙනවා අවි ආයුධ කිහිපයක්ම.

1.එකක් තමයි සැත්කම්.සැත්කමක් කර ඉවත් කරන්න පුළුවන් මට්ටමක  සහ ඉවත් කරන්න පුලුවන් තැනක තියෙන පිළිකාවක් නම් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම හරහා පිළිකාව ඉවත් කරන්න කටයුතු කරන්නට පුළුවන්.

2.ඊළඟ අවිය තමයි පිළිකානාශක බෙහෙත්.මේ පිළිකානාශක බෙහෙත් විවිධාකාරයෙන් අපිට යොදාගන්න පුලුවන් .සැත්කමකට අපහසු තරමේ විශාල පිළිකා හකුලුවන්නට මේ බෙහෙත් උදව්වට ගන්නට පුලුවන් .ලේ හෝ වසා ගැටිති වල ඇති වෙන සැත්කම් කරන්නට අපහසු සැත්කම්වලට ප්‍රධානම අවිය වෙන්නේත් මේ ඖෂධ .සැත්කමකින් පසු ඉතිරි වෙන්නට පුළුවන් සුළු සෛල පොදි නසන්නට සැත්කමකින් පසු පිළිකානාශක ඖෂධ භාවිතා කරන්නට පුළුවන්.

3.ඊළඟ අවිය වෙන්නෙ විකිරණ ප්‍රතිකාර.සමහර පිළිකාවලදී පිළිකා සෛල විනාශ කරන මුල්ම බලඇණිය වෙන්නෙ විකිරණ ප්‍රතිකාර.ඇතැම් වෙලාවක පිළිකානාශක ඖෂධ එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරනවා වගේම තවත් අවස්ථාවක සැත්කමත් පිළිකානාශක ඖෂධවලටත් පසුව තවත් ඉතිරි වූ සෛල පොදි විනාශ කරන්නත් විකිරණ උපකාර ගන්නට පුළුවන්.

♟️මේ කතාබහ කළේ මුල් අවදියේ හඳුනාගත්තු පිළිකාවක් ගැනනේ.

කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ ලංකාවේ අපේ රෝගීන් හුඟදෙනෙක් ප්‍රතිකර්මවලට එන්නෙ පැතිරුණු  පිළිකාවක් එක්ක.

♟️මේ වගේ වෙලාවට යුද්ධ කරන්න පුළුවන් ද?
ඔව්.
තවමත් අපි පරාද නැහැ.
මුල් අවදියේ පිළිකාවක් මට්ටු කරන්න තරම් ලෙහෙසිපහසු යුද්ධයක් නම් නෙවෙයි හැබැයි මේක.

මෙතනදිත් පිළිකාව පැතිරුණු තැන කොහේද කොයිතරම් දුරට පැතිරිලා ද ලෙඩාගෙ සෞඛ්‍යය තත්වය කොයි වගේද කියන කරුණු කාරණා ඉස්සෙල්ලාම හොයාගෙන ඒ ඒ තොරතුරුවලට ගැලපෙන හැටියට යුද්ධෙ පටන් ගන්න වෙනවා.

පිළිකානාශක ඖෂධ වගේම   විකිරණ ප්‍රතිකාරත්  මේ මට්ටමේ යුද්ධවලදී පෙරමුණ ගන්නවා.

♟️ඇතැම් වෙලාවක බොහෝම අවාසනාවන්ත විදිහට පාලනය කරන්නට පුළුවන් මට්ටමෙන් ඔබ්බට  පැතිරුණු පිළිකා එක්කත් රෝගීන් අපි හමුවෙන්න එනවා.මේ වගේ වෙලාවකදී ප්‍රතිකාරමගින්  රෝගය සුව වීමක් බලාපොරොත්තු වෙන්න අපිට ඇති ඉඩ ඉතාම අල්පයි.නමුත් රෝගියාගේ ජීවිතයේ ඉතිරි කාලය අපහසුවකින් තොරව ගත කරන්නට මෙවැනි අවස්ථාවකදී ත් පිළිකානාශක ඖෂධ ,විකිරණ ප්‍රතිකාර , වේදනානාශක වැනි  සත්කාර යොදාගන්න අපට හැකියාව තිබෙනවා.

♟️ඉතින් මේ කතා කලේ පිළිකාවට එරෙහි යුද්ධේ ප්‍රධාන සේනාංක ගැන  විතරයි.

ඒත් තව පරිවාර සේනාව බොහොමයක් ඉන්නවා.පිළිකාව මට්ටු කරන්න ශරීරයේ පෝෂණය අතිශයින්ම වැදගත්. පෝෂණ ඌනතා ඇති රෝගීන්ට ඇතැම් අවස්ථාවල විශේෂ පෝෂණ සත්කාර සිදු කෙරෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපැවැත්මත් අත්‍යාවශ්‍යම අංගයක්. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳවැටීම් සමඟ මතුවන්නට පුළුවන් ක්ෂුද්‍රජීවීන්ගේ ආසාදනවලට එරෙහිව ප්‍රතිකාර හා උපදෙස් ලබා දීමට වෙනම කණ්ඩායමක් සිටිනවා.
යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම කියන්නේ පිළිකාවකට නෙවෙයි ඕනෑම අසනීප තත්වයකින් ගොඩ එන්නට හොඳ රුකුලක්.ඉතින් රෝගියාගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට විශේෂ වැඩසටහන්, ආගමික වතාවත් මෙන්ම මානසික වෛද්‍ය සායනත් මේ පිළිකා සටනට සත්කාරක සේවා හැටියට නිරන්තරයෙන්ම සහයෝගය දක්වනවා.

♟️ඉතින් සෞඛ්‍යය ක්ෂේත්‍රය පැත්තෙන් මේසා සත්කාරක සේවාවක් ලබා දෙද්දි අපිට බොහොම සාර්ථකව පිළිකා මාරයාට මුහුණ දෙන්න පුලුවන් නේද?

අවාසනාවකට ලංකාවේ බොහෝ වෙලාවට  ඒක එහෙම වෙන්නෙ නැහැ.

බොහෝ විට ඊට හේතුව  වෙන්නෙ පිළිකා සටනේ මෙතෙක් අපි කතා නොකරපු ප්‍රධාන සටන්කරුවෙක් අතරමඟදී සටන අත අරින එක.

♟️ඒ සටන්කරුවා වෙන කවුරුත් නෙවෙයි, පිළිකාවෙන් පීඩා විඳින ඔබ.

පිළිකා මාරයාට එරෙහිව සටනේ වඩාත්ම සවිමත් වෙන්නට ඕනෑ වෙන කවුරුන්වත් නෙවෙයි රෝගී ඔබමයි.

😥පිළිකාවට බයෙන් එහෙමත් නතිනම් ලැජ්ජාව නිසාවෙන් පිළිකාව ඔඩු දුවන තෙක්ම හංගාගෙන ඉන්නා ලෙඩ්ඩුන් අපේ සායනවල අපමණයි.

😥ඒ වගේම පිළිකා හටන කියන්නේ එක දිගට නොනැවතී දුවන්නට ඕනෑ තරඟයක් මිස ඔහේ ඕනෑවට එපාවට මග නැවති නැවතී හිතෙන හිතෙනා හැටියට කරන්නට පුළුවන් යුද්ධයක් නෙවෙයි.ඒත් අවාසනාවකට අපේ රෝගීන් බොහෝ දෙනෙක් මේ දේ හරිහැටි තේරුම් ගන්නේ නැති පාටයි.

😥මුල් පිළිකා අවධියේම ලෙඩේ හඳුනාගෙන බෙහෙත් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී එහෙමත් නැතිනම් බෙහෙත් වේල් දෙක තුනක අතරමැදදී මේ බොහොමයක් රෝගීන් බැදිවල අතරමං වෙනවා.
බටහිට වෛද්‍ය විද්‍යාවේ පිළිකාවට මැජික් ප්‍රතිකර්ම ඇත්තේ නැහැ.ඉතින් වේල් දෙකතුනකින් ඔබව නිට්ටාවට සුව කරන බවට ඔබට බොරු පොරොන්දු දෙන්නට අපට හැකියාවක් නැහැ.

 මුල් අවදියේ හෝ ඔබ ප්‍රතිකාර ලබා ගැනීමට එලඹෙන අවදියේ රෝගයේ පැතිරීම, ඔබේ අනෙකුත් දේහ පරාමිතීන් ගලපා පිළිකාව කොයිතරම් සාර්ථකව මැඬ පවත්වන්නට පුළුවන් වේදැයි සම්භාවිතාවකුයි අපට ලබා දිය හැක්කේ.

😥නමුත් ඉතාම කණගාටුවට කරුණ වෙන්නේ නිට්ටාවට සුව කරන මායාවල් පසුපස්සෙන් මුල් අවදියේ ප්‍රතිකාර දැක දැකම ප්‍රතිකාර මඟ හැර ගිය ඔබම  සිරුර පුරාම පැතිරී ගිය  අපට කිසිවකුත් කරන්නට අපොහොසත් පිළිකා  තත්වයකින්  නැවත අප හමුවට ඒම අප කිසිසේත් නොපතන එහෙත් ඉතාමත්ම සුලභ සිදුවීමක් වීමයි.

😥රෝගියෙක්  සුවපත් වෙන්නට යහපත් රෝගියෙක් යහපත් හෙදකමක් හා යහපත් වෙදකමක් කියන මේ තුන් ඈඳුතුවම වැදගත් වෙන බව පැරැණ්නන් කියා තියෙන්නේ නිකන් ම නොවෙයි නේ.ඉතින් අපි කොතරම් වෙර වීරිය ගත්තත් රෝගී ඔබේ කැපවීම නැතිනම් අපට ඔබ වෙනුවෙන් කරන්නට හැකි දේ ඉතාමත් අල්පයි.

 පිළිකා ප්‍රතිකාර ගැන ඉදිරියේදී විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

😥නමුත් මඟ හොඳට තිබේ නම්
         යන්න දෑසත් පෙනේනම්
           කිම බැදිවල යන්නේ
කියලයි අහන්නට සිද්ධ වෙන්නේ

සඳුනි සුදර්ශනා පෙරේරා (MBBS )
2019.07.08

No comments:

Post a Comment