Sunday, April 26, 2020

කොරෝනා

කොරෝනාව නිසා ගෙදරට හිර වී මාසයක් හිටි නිසාවෙන් අපේ ගෙදර උන්දැලාගේ මානසික සෞඛ්‍යය මේ දවස්වල තියෙන්නේ සෘණ දිහාවේත් අගිස්සේය.කොයි වෙලාවේත් හැම එකාටම හොස්ස ළඟින් මැස්සා යන්නට බෑය.
ළඟින් ගියොත් ඇහැක් නෑ ය.ශත වර්ෂ ගානක් පැරණි යට ගිය හූනු බිජ්ජක් තරමේ කෝන්තර ගොඩ දමාගෙන කර තියාගෙන ය.
එක්ස්පයරි ඩේට් එක හොයාගන්නටත් බැරි තරම් පරණ කොත්තු මී එකක් කෑ අයියාට බඩේ ගායක් හැදෙන්නේ මේ අවු අස්සේය.
පශ්චාත් බාගයට අත තියාගෙන උන්දෑ නාන කාමරයට දුවද්දී අක්කා ඒක ඇතුලේ ය.කොරෝනා නෙවෙයි ලෝක විනාශය ආවත් අක්කා නාන කාමරයට වැදුනානම් වරුවකට එළියට ගන්නවා බොරු ය.ඉතින් මේ දැන් වාන් දාන්නට වලිකන දොරටුව පශ්චාත් භාගයෙන්ම තෙරපාගෙන අයියා දුවන්නේ ගෙයින් එළියේ පිහිටි ඉඳහිට ආච්චිඅම්මාත් මමත් විතරක් පාවිච්චි කරනා වැසිකිළියට ය.
පළාතම සුගන්ධවත් කරමින් අදාල කර්තව්‍යය සාර්ථකව නිමකළ අයියාට ඊළඟට මුහුණ දෙන්නට වෙන්නේ ඊට හපන් අකරතැබ්බයකටය.
පශ්චාත් භාගය පිරිසුදු කරගන්නට වතුර ගන්නට භාජනයක් වැසිකිළියේ නෑ ය.
භාජනයක් ඉල්ලා උන්දෑ කිහිපවතාවක් මොර දුන්නත් වොයිස් ඔෆ් ටීන් අහමින් ඒ තාලයට කුස්සියේ උයමින් හිටි අම්මාට ඒක ඇහෙන්නේ නෑ ය..ආච්චි අම්මා කොහොමත් බීරි ය.තාත්තාගේ කන් ඇහෙන්නේ වාසියට විතරය කියා මේ දවස්වල රේඩියෝවෙත් කියනා බව අම්මා ගේ මතය ය.
කොරෝනා නිසා මොකෙක්වත් ගෙදරට නාවත් අල්ලපු ගෙදර කුස්සිය පැත්තෙන් කරුමෙට වත් අයියාගේ බැල්මට් එකට අහුවෙන නඟා එළියට ආවොතින් කියනා අවදානම නිසාවෙන් හෝදා නොගත් පශ්චාත් භාගය සමඟ අයියාට එළියට බහින්නත් බැරි ය.
"අම්මේ ......තාත්තේ.. කවුරුත් නැද්දෝ....කන් බීරි වෙලාද මන්දා මේ ගෙදර එවුන්ගේ...යකුනේ...බාල්දියක් ගෙනත් දියවු කවුරුහරි ...."
දොර කැඩෙන්නට තරම් හයියෙන් දොරට තඩිබාමින් අයියා පැය කාලක් පමණ බෙරිහන් දෙද්දී එළවලු ලොරියක් පාරෙ යනවාදැයි බලන්නට එළියට බහින අම්මාට යාන්තම් මේ සද්දේ කන වැටෙනවා ය.
දැන් අම්මාත් තාත්තාත් වෙනින් වැඩක් නැති ආච්චීත් නහයවල් මිරිකාගෙන වැසිකිළිය ඉස්සරහ මිදුලේ ය.
"ඕක අස්සෙ රිංගද්දි වතුර ගන්න භාජනයක් තියෙද බලලා යන්න දන්නෙ නැද්ද?"
වතුර නැතුව ඉන්න මිනිහාට තාත්තා අනින්න යනවා ය.
"අපොයි ඔව්.මං මේ ඇතුලට යන්න කලින් නැකතකුත් බලලා යන්න හිටියේ.ඇයි යකෝ වෙනදට මේක ඇතුලේ බාල්දියක් තිබ්බෙ.මං දන්නවද බාල්දිය මොකෙක් හරි උස්සලා විත්තිය?"
වහපු දොරක් පිටිපස්සේ ඉන්න වෙලාවට අපේ අයියාත් හරිම චන්ඩියෙක් ය.
"අම්මේ....කෝ මේකෙ තිබ්බ බාල්දිය?"
කන් ඇහෙනවා හොර ආච්චිගෙන් අම්මා ඇහුව සද්දෙට එහා ගෙදර විමලාවතී නැන්දාත් වැටෙන් එබෙනවා ය.
"මොකෝ නංගි...?"
" නෑ මේ බාල්දියක් නැති වෙලා"
"මං දැක්කා සුවිනීතා කෙලී ඊයෙ තැඹිලිපාට බාල්දියකට පස් පුරවන් මේ පැත්තට ගේනවා.."
බීබීසී එකේ දිගු දුර මෙහෙයුම් අංශේ වැඩ කරන ඒ නැන්දාට පින්සිද්ධ වෙන්න බාල්දියට වෙච්ච දේ හොයා ගනිද්දි නහය කඩාගෙන යන ශැම්පු, පවුඩර් සෙන්ට් කුණාටුවක් මැද්දෙන් නාන කාමරයේ සිටි අක්කාත් සභාවට සැපත් වෙනවා ය.
"හා හා...ඒ බාල්දියට අත තියන්නෙ එහෙම නෑ.මම ඒකෙ අප්‍රිකානු බෝංචි ඇට වගයක් හිටෙව්වා."
උන්දෑ ගස්සාගෙන ආයෙමත් ගෙට යනවා ය.
ඇඳිරිනීතිය අස්සේ සූර ගෙවිලිය තරඟෙට යන්න හිතාගෙන ඉන්නා අක්කා මේ වෙද්දී කන්න ගෙනා කරවල කූරියාත් මිදුල මැද හිටවලා හමාර ය.මිදුලේ ඉඩකඩ අහවර නිසාවෙන් අහුවෙන හැම හට්ටියකම මුට්ටියකම බාල්දියකම උන්දෑ ඇට හිටවන්නට අරගෙන දැන් දවස් තුන හතරක් ය.
"මෙතන උඩ බලාගෙන ඉන්නෙ.අර කොලුවට බාල්දියක් ගෙනත් දෙනවකෝ."
තාත්තාගේ ගෝරනාඩුව අම්මාටය.
"හුහ්...ඒ මොකටද මං ගෙනත් දෙන්නේ?
ඇයි මතක නැද්ද ඊයෙ හැන්දෑවෙ ඔහේ කිව්වෙ ඔහේ තමයිය මේ ගෙදර වැඩිම හරියක් කරන්නෙ.ඔහේ නොහිටියනං කොරයි ඇඳිරිනීතිය අස්සෙ කියලා."
ඊයෙ හැන්දෑවේ නොව මීට අවුරුදු විසි අටකට කලියෙන් අඟහරුවාදා හවසක තාත්තා ගෙනා සීනි කුරක්කමක සීනි දියවී තිබිල්ලත් හොඳහැටි මතක අම්මාට ඊයෙ හවස තාත්තා කළ අරියාදුවට වාඩුව ගන්නට මේ කදිම වෙලාවය.
"ඔව් කිව්වා තමයි.මං කිව්වෙ කඩේ යන, බඩු ගේන, ගෑස් ගෙන වැඩ වගේ අත්‍යාවශ්‍ය වැඩ.මේ ලැට් එකට වතුර බාල්දියක් තියන එක වගේ පොඩි වැඩ නෙවෙයි.මං නොහිටියනං කොරයි මේං කියලා."
විමලාවතී නැන්දා තාමත් වැට ළඟ නිසාවෙන් තාත්තාගේ පුරුෂ දහිරියත් අතාරින්නේ නෑ ය.
"කොරයි මගෙ කට.අනේ මේ ඔහේ ගෙදර නොහිටිය දවස්වල අපි කඩේ ගිහින් බඩු ගෙනත් නැද්ද?හරි අමාරු වැඩක් නෙ කරලා තියෙන්නෙ.අනික මේ පාරවල්වල බලු බල්ලෙක් නැති කාලෙ ගෙදර ගාවට ගෙනත් දෙන බඩු ටික ගෙට ගන්න එක මහ දෙයක් යැ"
අම්මා පසු බහින්නේ නැති ය.
"මහ දෙයක් නේන්නං.මොනවා හරි එක බඩුවක් නැතිනං මෙතන හැච හැච ගාන්න ගන්න හැටි අපි දන්නෙ නැද්ද?
මහ දෙයක් නෙවෙයිනං ඉතින් ඔහේට තිබ්බනේ ඒවත් කරන්න ?"
තාත්තාද අතාරින්නේම නෑ ය.
"මං මොකටද කරන්නේ ඇයි ඔහේ මද්දුම බන්ඩාර වෙලා පැනලා බාරගත්තේ කොරන්න?
අනික මොකෝ මං මේ ගෙදර නිකං බලාගෙන හිටියද පහු ගිය දවස්වල?"
"දෙයියනේ ඕක නවත්තලා බාල්දියක් ගේන්න බැරිද කාටහරි?"
අයියා තාම සිහිසුන් වෙලා නැති පාට ය.
"උඹ වහගනින් කට.බොලාගෙත් කටවල් පණගහන්නේ මේ වෙලාවට තමා. එක දවසක් බාල්දියක් නැති වුනා කියලා දැන් උඹ මැරෙයිද?
දැන් උඹ පහු ගිය මාසෙම අර කාමරේට වෙලා කොම්පියුටරේට විරිත්තගෙන ඉන්දැද්දි කන්න බත් තම්බල දුන්නෙ වෙන කවුරුහරි ද?
මේ කොරෝනාවෙක් ගහලා මැරෙයි කියලා බයේ ඉන්දැද්දි කොත්තමල්ලි තම්බලා දුන්නෙ, එතකොට වත්ත වටේම ගස්කොලංවල කොළ කඩලා දාලා දුංහට්ටි අල්ලන්න දුන්නේ වෙන කවුරුහරි ද?
උඹලාවගේ ගුණමකු ජාතියකට නැහීගෙන කරලා මෙව්වා අහගන මදි මට."
ඒ පාර අම්මා මිදුලට මැද හොටු හූර හූරා අඬනවාය.
"කන්න බොන්න හදන එක ඇඳිරි නීතිය නැති කාලෙත් අමුතුවෙන් කරපු රාජකාරියක් යැ.කන්න බොන්න තම්බන්නෙත් ඉතින් ගෙදර වවපුවා නෙවෙයිනේ.මං කඩෙන් ගෙනාපුවා නේ."
තාත්තා කෝකටත් විසී වී එන ගඩොල් කැට මල් පෝච්චි පතිත වෙන්නට පුළුවන් අවදානම් කලාපයෙන් එහාට වෙලා ය.
"මේ මගුල් කෑමක් නෙවෙයි මං ඉල්ලන්නෙ වතුර බාල්දියක්."
අයියාට තවත් වරක් මල පනින්නට යන හැඩ ය.
"ඇයි යකෝ මගෙ කන් ඇහෙන්නෙ නෑ කියලා හිතුවද?
බොටත් ඔය වතුර බාල්දියම තමා ප්‍රශ්නෙ.ඇයි වදේ මේ ගෙදරට පාරෙන්
වතුර ගන්න හැම තැනම ඔෆීසි ගානෙ බඩගෑවේ කවුද?
එකෙක්වත් නිකමට තනියට ආවද?
අර නාන කාමරේ උණු වතුර මල් හයි කරන්න සල්ලි කාගෙද?
නිකමටවත් මතකද ඒවා?
නෑ නෑ.එකක් මතක නෑ.කෙලෙහිගුණයක් නෑ.
ඇයි අප්පා මං මෙහෙම තැන්වල ඉන්නේ ..."චීත්ත පොටෙන් නහය පිසදමමින් අම්මා අඬනවා ය.
"යකෝ.බාල්දියක් ඉල්ලන්නේ පස්ස හෝදගන්න..මිසක් වවන් කන්න නෙවෙයි."
අයියා බෙරිහන් දෙනවා ය.
"සබං නැතුව බැරි මොකද කොලුවෝ.මැතිනිගෙ කාලේ අපිට සබං තිබුණයැ.ඔය පඳුරක් අස්සෙ එලි බැහැලා දොල පාරෙන් හෝදගෙන ආවෙ අපි.මොන සබං ද?"
ආච්චි අම්මාට මොනවාහරි වැරදියට ඇහිලාද එහෙමත් නැතිනම් සීනි අඩු වැඩි වෙලාද කියන එක වෙනමම හිතන්න වෙනවා ය.
"හපොයි දෙයියනේ..බාල්දි ඕනැත් නෑ.වතුර ඕනෙත් නෑ.සබං ඕනේම නෑ. කවුරුහරි මට පත්තරයක් ගෙනත් දෙනවද?"
අයියා ඒපාර බොහොම බැගෑපත් වෙලා ය.
"පත්තර අහවල් එකක් කරන්නද?ඕක අස්සෙ පත්තර කියවන්න යන්නෙ උඹට විකාරද?"
ඒ පාර අම්මාගේ රැස් විහිදෙන්නේ අයියා දිහාට ය.
"නෑ එලාගෙන නිදාගන්න.ඔහෙලාගෙ ඔය වාද පිටිය ඉවර වෙලා මට බාල්දියක් ගෙනත් දෙන්න හිතුනොත් ඇවිත් මාව ඇහැරවන්න බැරියැ."
හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ලියා තැබුවේ -පිලේ නිදා උන් ටොමියා විසිනි

No comments:

Post a Comment