Sunday, April 26, 2020

දෙන්නා දෙපැත්තේ

#ඉගිලෙනකතා

බස් එකෙන් බහින තැන මට අමතක වුනා.
මං හිටියේ වෙනමම ලෝකෙක.
"ඔය රබර් කඩේ ළඟ බහිනවා කිව්වා නේද?
ඉක්මණට බහින්න"
කොන්දොස්තර බෙරිහන් දුන්න හැටියට ඊට කලින් දෙතුන්වතාවක් ම ඉස්සරහ හෝල්ට් එක මතක් කරන්න ඇති.
උන්දැගෙ ගෝරණාඩුව එක්ක මං ආයෙ මේ ලෝකෙට කඩා වැටුණා.
"බහිමු."
මගේ එහා පැත්තෙ එයා ඉන්න ඇත්තෙත් වෙන කොහේ හරි ලෝකෙක.
තිගැස්සිලා මේලෝකෙට ආපු හැටි දැකලා මට එහෙම හිතුනා.
රබර් කඩේ ගාවින්ගුරු පාර දිගේ ටික දුරක් යන්න තියෙනවා අපේ ගෙදරට.
බිම් කරුවල වැටීගෙන එන වෙලාවෙ ‍රබර් කඩේ ඉස්සරහ කන්පට ගගහ උන්නු නාටු බල්ලෙක් ඇරුණම පාරෙ වෙන කවුරුත් හිටියෙ නෑ.
ඒත් මං ඉක්මන් අඩියට පෑහෙන එයාට බෑ.
එයා ආවෙ මට අඩි තුන හතරක් පිටිපස්සෙට.
පාරෙ කවුරු හරි හිටියත් සමහරවිට හිතයි අපි දෙන්නා එක්කෙනෙක්ට එක්කෙනෙක් අඳුරන්නෙ නැති දෙන්නෙක් කියලා.
ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් මං ආපහු හැරිලා එයා එනකන් බලන් හිටියා.
මං බලන් ඉන්න බව දැක්ක හින්දා එයා ඇවිදිල්ලකුත් නොවෙන දිවිල්ලකුත් නොවෙන අතරමැද්දකට අඩිය ඉක්මන් කළා.
එයාගෙ අතින් අල්ලගෙන මං ගේට්ටුව අරිනවා.
ඉස්සරහට අඩියක් තියනවද එහෙමත් නැතිනම් ආපහු හැරිලා යන්න ඊළඟ බස් එක අල්ලන්න යනවද කියලා මගේ හිත ඇතුලේ මහා යුද්ධයක් වෙන බව නොදැන මං අඩියක් තියෙන කං එයා බලන් උන්නා.
.....................
ගේට්ටුව ළඟින් පටන් ගත්තු වැලි පාර කෙළවර වෙන්නේ අඹ ගස් අස්සෙන් යාන්තමට පේන ගෙදර ළඟින්.ඒ ගෙදර උන්නේ අපේ අම්මා තරමටම මට ආදරේ කරපු ඇත්ති.
අවුරුදු ගාණක් තිස්සේ මගෙන් එක වචන මාත්‍රයක ආදරේක සැලකිල්ලක බලාපොරොත්තුවක් ලැබුණේ නැතත් වචනෙකින් තියා හීනෙකින්වත් ඒ ගැන ආඩපාලි නොකියාම මට ආදරේ කරපු ඇත්ති.
මං කොයිතරම් නං බල කෙරුවත් මගෙන් තොර ජීවිතයක්, මගෙන් තොර ලෝකයක් ගැන හිතන්නටවත් අකමැති ඇත්ති.
මං තරම් හොඳ පිරිමි පරාණයක් මේ සක්වල ගලේ කොහේවත්ම නෑය කියලා තුන්හිතින්ම හිතා ගෙන උන්න ඇත්ති.
ඔවු.ඒ ගෙදර උන්නෙ උන්දැ.
................
එතකොට මගෙ අතේ එල්ලිලා උන්නෙ.
ඒ උන්දෑ තරමටම මට ආදරේ කරපු තවත් ඇත්තියෙක්.
උන්දැත් හිතන් උන්නේ මං උන්දැගේ විතරමය කියලා.
මං තමාය උන්දැගේ නළලේ මහබඹා කොටාපු එකා කියලා.
මං ලෝකේ ඉන්න හොඳම මිනිහා නොවෙන විත්තිය නම් උන්දැ දැනං හිටියා.
මොකද උන්දැගේ ආදරේ ඔට්ටුවට තියලා මං කරපු සෙල්ලම ඉවර වුනේ ඒ ආදරේ හරි සෙල්ලම හරි කවදාවත් අමතක නොවෙන විදිහේ පණ ගැහෙන මතක සටහනක් උන්දැගේ සරීරේ ඇතුලක හංගලා.
මේ වෙද්දි හැංගිමුත්තං කරකර හිටිය මතක සටහන උන්දැගෙ සරීර කූඩුව එළියට පේන්න වෙනස් කරන්න පටන් අරං අහවරයි.
ඔව් මං ලෝකේ ඉන්න හොඳම මිනිහා නෙවෙයි.
ආදර සෙල්ලං කරලා සමරු සටහන් තියලා ගියාට මේ ඇත්ති මට ආදරේ කරන තරමින් දහයෙන් එකකවත් මං උන්දැට ආදරේද කියලාවත් මම දන්නෙ නෑ.
ඒත් මං මේ ලෝකෙ ඉන්න නරකම මිනිහා නෙවෙයි කියලා මට විශ්වාසයි.ඉතින් මට සමහරු සටහන කකුළට පාගලා පොඩි කරලා අමතක කරන්නවත් මේ ඇත්තිව සමහරු සටහන එක්කම හිතෙන් දොට්ට වීසි කරන්නවත් හිත දෙන්නෙම නෑ.
ඒත් අඩුම තරමේ මේ ඇත්තිට ඉහට හෙවණක් හදන්න ගෙන්දගම් පොළවේ මගේය කියලා බිම් අඟලක්වත් තිබුන මිනිහෙක් නෙවෙයි මම.එදා දවසෙ හම්බුන අතේ ඉතුරුවුණ ගානක් මිසක පවුලක් නඩත්තු කරන්න හයියක් තිබිලත් නෙවෙයි මං මගුල් නටන්න ගියේ.
වැලි පාර පටන්ගන්න තැන ගේට්ටුව ළඟට මං ආවෙ ඔන්න ඔය ගිනි විජ්ජුම්බරවල අවසාන ප්‍රතිඵලේ විදිහට.
.................
ඔව්.මම මහා ආත්මාර්ථකාමී මිනිහෙක් තමයි.
ගෙදර දොරට තට්ටු කරන ගමන් මං කල්පනා කරනවා.
මේ උන්දෑ ඇස් ලොකු කරගෙන මගේ පිටිපස්සෙ හැංගෙනවා.
"කවුදෝ................................"
කුස්සිය දිහාවෙන් ඇහෙන්නේ ඒ ඇත්තිගේ කටහඬ.
"මේ මම...."
දඩිබිඩියේ කඩිමුඩියේ උන්දැ දුවගෙන එන සද්දෙ මට ඇහෙනවා.
දොර අරින්න කලියෙන් උන්දැගෙ ආදරේ පිරිච්ච මූණ මට මැවිලා පේනවා.
ඔවු .තව තප්පර දෙකතුනක් යද්දි ඒ මූනෙ හිනාව කඩා වැටිලා නැත්තටම නැති වෙලා යයි.
දොර ඇරිලා ඒ ඇත්ති අර කිවු ආදර මූණෙන්ම එබෙනවා.
"හත් දෙයියනේ...මේ හැබෑටමද?"
කපාපු නැති රැවුල් කොට ඇනෙන මගේ මූණ අත් දෙකෙන්ම අල්ලාගෙන උන්දැ කඳුළු කැට වගුරනවා.
..............
මගේ පිටිපස්සෙ ඉඳලා අරුන්දෑ එබෙන්නේ ඔය වෙලාවට.
අර ඇත්තිගේ මූණ වෙනස් වෙන හැටි මට හොඳහැටි පේනවා.
පුදුමෙන් ලොකු වෙච්ච ඇස් ගෙඩි මගේ පිටිපස්සෙ ඉන්නා බවලතීගේ හිස්මුදුනේ ඉඳන් රූටාගෙන පහළට ගිහින් බෝල ගැහුණ බඩගෙඩිය ළඟ නැවතිලා පීරිසි කෝප්ප සයිස් වෙන හැටි.
"මේ ....?"
"මේ නාලනී.."
"මේ....."
" නාලනීගේ බඩේ ළමයෙක්.මගේ ළමයෙක්"
මං කොච්චර ආත්මාර්ථකාමී මනුස්සයෙක් ද කියලා මට ආයෙමත් හිතෙන්නේ පොල්ලෙන් ගහන්නා වගේ ඒ ටික කියලා දාද්දි.
මං එතන නොඉන්න ගානට ඒ ඇත්තියි මේ ඇත්තියි දෙන්නට දෙන්නා දිහා බලාගෙන ඇස් දෙකෙන් යුද්ධ කරනවා.
මගේ පිටිපස්සෙ එන්න උන්දෑගෙ ඇහේ කඳුළු කැට පොරකනවා.
ඉස්සරහ ඉන්න උන්දැගෙ පීරිසි සයිස් ඇස් ආයෙම පොඩි වෙලා ඒවත් යන්තමට දිලිහෙන ගන්නවා.
"අනේ මන්දා උඹට නම් හොඳටම පිස්සු.අවුරුදු ගාණක් අතුරුදහන් වුණා.අඩුම ගානේ උන්නද මලාද කියලා ආරංචියක් වත් නෑ මට.දැන් මේ ගොම්මනේ කඩා පාත් වෙනවා බඩදරු අම්මෙකුත් එක්ක."
"අඩුම ගානේ මේ ළමයා වාහනේක එක්කගෙන එන්න තිබ්බෙ නැද්ද ?පේන්නැද්ද මේ ළමයගෙ හොඳ පණ ගිහින්."
ආදර සටහන උස්සාගෙන ආ ඇත්තීගේ ගමන් මල්ල අතට ගන්න ලොකු අක්කා ගෙට යන්න හැරෙන්නෙ උන්දැවත් එක්කගෙනමයි.
"යං නංගියෙ ගෙට.මේ යෝධයා ඔහොම්මම තමයි.හිත හොඳ උනාට කළදක්වත් මොළේ නෑ."
අවුරුදු පහකට කලියෙන් ගෙදරින් තරහ වෙලා ගිය ඉලන්දාරියා මිදුලේ ම ඉන්දැද්දී මමත් ඒ දෙන්නා පිටිපස්සෙන් මහගෙදරට ගොඩ වෙනවා.
ඉගිලෙන ලියමන්
2020.04.22
මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් එහෙම කිව්වම මගේ හිත දෙකට මැද්දෙන් තනි අකුණක් කෙටුවා.
ඊට ටික වෙලාවකට කලියෙන් මගේ අතේ ඇඟිලි පහේම පාර හිටපු කම්මුලත් අල්ලගෙන අනුත්තරා මගේ දිහා බලන් හිටියා.
අනුත්තරා ඇඬුවෙ නෑ....
........................
කමල්ව දැක්ක දවසෙමයි මං හිතුවෙ කවදාහරි කසාද බඳිනවනම් බඳින්නෙ කමල්ව විතරමයි කියලා.
කමල් ඇරපු අතක් නෑ අමිතාබ් බච්චන් තරුණ කාලෙ වගේ.
අමිතාබ් බච්චන්ට මං පිස්සු වැටිලා උන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්මයි.
ඒ කාලේ ටීවි එකේ ඉඳහිට යනවා අර අභිමාන් ෆිල්ම් එකේ තෙරේ මේරේ සින්දුව.ජයා බහදූරිව වත්තන් කරගෙන අමිතාබ් සින්දුව කියද්දි මං ජයා බහදූරිව සීන් එකෙන් කපලා අයින් කරලා එතනින් මනේකා ගජනායකව අලවගන්නවා.
මං තමයි මනේකා ගජනායක.ගජනායක වලව්වේ එකම දරුවා නිසා මට මේ වෙනකන් කිසිම දෙයකින් අඩුපාඩුවක් වෙන්න අප්පච්චිලා ඉඩ තිබ්බෙ නෑ.
මට උරුම වෙලා තිබුනෙ අපේ අම්මගේ හැඩරුව.අපේ අම්මා ඉතින් අඹාපු ඉටිරූපයක් වගේ කියලා තමා අප්පච්චි විහිලු කළේ.
ඉස්කෝලෙ යනකාලෙ ඉඳලම මගේ ලස්සනට වහවැටිලා පස්සෙන් වැටුන කොල්ලො ගාන මට මතකත් නෑ.
ඒත් පරම්පරාවෙ නම්බුව ගැන අප්පච්චියි අම්මයි නිතරෝම මතුරපුවා මොළේ කොයිතරම් තදින් ඇලිලා තිබුනද කියනවනම් මට ඒ එක හාදයෙක් ගැන වත් විශේෂ මොකවත් හිතුනෙ නෑ.
සමහර විට ඒ එක හාදයෙකුටවත් අමිතාබ් බච්චන් පාටක් පැත්තකින්වත් නොතිබ්බ නිසා වෙන්නත් බැරි නෑ.
උසස් පෙළ කරනවට අප්පච්චිගෙ අකමැත්තක් නොතිබ්බත් කැම්පස් යනවට නං කොහොමටවත් කැමැත්තක් තිබුනෙ නෑ.ඒත් ඉතින් අඬලා වැලපිලා මං නතර වුනේ කැම්පස් ගිහින්.
කැම්පස් එකේදිත් ඔය සෙතේමයි.අපේ ෆැකල්ටි එකේ විතරක් නෙවෙයි අනිත් ෆැකල්ටිවලත් අනේකවිධ කුමාරයන්ට මං ගැන පිළිබඳ සිත් පහළ වුනාට ඒ එක හිතකවත් මට නවතින්න ඉඩක් මං දැක්කෙ නෑ.
ගෙදර ළඟම ඉස්කෝලෙ සිංහල ගුරුතුමී වෙලා එන්න ලැබුනේ උපාධිය නිසා වගේම අප්පච්චිගේ ඇඳුණුම්කම් නිසාත් තමයි.
කළවයස හරි හින්දා කපු මහත්තයා ගෙවල් පැත්තෙ කැරකෙන්න අරන් අවුරුද්දකටත් වැඩි වුනත් මේ වෙද්දි උන්දැගෙ නම් හොඳ පණගිහින් වෙන්න ඇති.මොකද උන්දැ හොයන් එන හැම මනමාලයගෙම මට පෙනුනෙ එක එක ඇදකුද.
"ඔයාගෙ මොකක් හරි පලහිලව්වක් තියෙනවනං කියන්න දෝණි."මාසෙකට විතර උඩදි අම්මා එහෙම කිව්වෙ මං ගෙදරම නවතීවි කියන බයටද මන්දා.
.....................
කමල් හා හා පුරා කියලා ඉස්කෝලෙට පය තිබ්බේ හරියටම ඒ කතාවට දවස් තුනකට පස්සෙන් පහු.
දණ්ඩක් වගේ උස, පැත්තට පීරපු කොණ්ඩෙ, හමේ පාර විතරක් නෙවෙයි බරසාර කටහඬ ඔය ඔක්කොටම සටසට ගාලා මගේ අමිතාබ් මීටරේ ලකුණු වැටුණා.
කමල්ගෙයි මගෙයි ජීවිත සෑහෙන ගැලපෙන බව මං වටින් ගොඩින් හොයාගත්තෙ අලුත්ම කාර් එකකින් ඇවිදින් ඉස්කෝලෙ මිදුලෙ බැහැපු අමිතාබ් ජීට වහ වැටිලා දවසක් දෙකක් යද්දි.
මං වගේම කමල් පවුලේ එකම දරුවා.කුරුණෑගල පැත්තෙ වලවුකාර නොවුනත් හොඳ වැදගත් පවුලක පිරිමි දරුවා.
මට වගේම කමල්ටත් රස්සාවක් කරලා කන්න අඳින්න හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් මං වගේම කමල්ටත් රස්සාවක් කරන්න තිබුන උවමනාව හින්දා තමා අපි එක ඉස්කෝලෙක මුණ ගැහෙන්නේ.
කමල් ආවෙ සංගීතෙ උගන්නන්න.කොහොමත් සිංහලයි සංගීතෙයිත් එකට ගැලපෙනවනේ.
පොඩි පරහකට තිබුනේ කමල් කතාවට අල්ලගන්න සෑහෙන අමාරු එක.මොනවා කරන්නද පිරිමි බහුතරයක් උපන්ගෙයි බිම් බස්සෝ නෙව.
අම්මා ලව්වා අප්පච්චිට කතා කරලා කපු මහත්තයා කුරුනෑගල යවන්න ඕනෙ.ගුරු කාමරේ පැත්තට යද්දි මං හිත හිතා උන්නෙ එහෙම.
ගුරු කාමරේ ඒ වෙලාවෙ උන්නෙ අනුත්තරායි කමලුයි.කමල් අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියද අනුත්තරා කමල්ගෙ අත අල්ලන් හිටියද මන්දා.කොහොමහරි ඒ දෙන්නාගෙ අත් ගුරු කාමරේ මේසෙ උඩ බොහොම හුරුපුරුදු ලතාවට පැටළිලා තිබුණා.
උන් හිටි තැන් අමතක වෙලා මම බෙරිහන් දුන්නු හැටියට ලොකු සර්ටත් ඇහෙන්න ඇති.
"දෙයිහාමුදුරුවනේ මේක ඉස්කෝලයක් නේද?
ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ගෑනියේ මේ මහ දවාලෙ මෙතන ජවුසං නටන්නේ."
කමල්ගෙ අතින් ගලවලා ඇදලා ගත්ත අනුත්තරාගෙ කම්මුල හරහා මහා සද්දෙට මගේ අත අතෑරලාත් තව මොනවාහරි කුඩුපට්ටම් කරන්නයි මගේ හිත කිව්වෙ.
........................
අනුත්තරා එකේ පන්තියෙ ඉඳලා අවුරුදු දහතුනක්ම හිටියෙ මගේ පන්තියේ.
අනුත්තරාගෙ අම්මත් අපේ අම්මා වගේම හැඩකාරයි.ඒත් අනුත්තරාට ඇවිත් තිබුනෙ එයාගෙ තාත්තගෙ පරම්පරාවෙ හැඩරුව.
එකේ පන්තියෙදි මට මතක කළු කොට මහත කිසිම හුරතලයක් නොපෙනෙන කෙල්ලෙක්ව.
ඒ මදිවට ඉස්සරහ දත් බොල්ලෑව අනුත්තරාගෙ පෙනුම තවත් අජූව කළා.
අනුත්තරා කියන නම වෙනුවට "බතලි" කියන නම අනුත්තරාට පට බැන්දෙත් එකේ දෙකේ පන්තියෙදි මමද මන්දා.
ඒ කොහොම හරි එදා හිටන් ඉස්කෝලෙන් පිට වෙනකන්ම අනුත්තරාගෙ අංගපුලාව ලස්සන ඉස්කෝල මතකවල කැතට ඇලිලා හිටියා.නැටුම් පීරියඩ් එකේදි ඇරුණම අනිත් හැම වෙලාවකම අනුත්තරා පන්තියේ මුල්ලකට වෙලා මුලුගැන්නිලා ඔහේ හිටිය බව මතකයි.
හැමදාම පන්තියේ කොලු රෑනට වගේම කෙල්ලන්ටත් බයිට් එකට අහු වුනේ අනුත්තරාව.බතලි, කොතල බටේ වගේ එක එක නම් පට බැඳෙද්දි අනුත්තරා හැමදාම කළේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ඉවසගෙන හිටපු එක.පන්ති ටීචරුත් නිකං එපා වාහෙට හොදි බෙදන්නැහේ කොල්ලෙක්ට පිටට පාරක් දුන්නට උන්දැගේ හිතෙත් අනුත්තරා ගැන මහ ලොකු ආදරයක් උනන්න නැතුව ඇති.
මට අනුත්තරාව පෙන්නන්න බැරි වුනේ උන්දැගෙ පෙනුම හින්දද හැම දේම දරාගෙන ඔහේ ගහක් ගලක් වගේ ඉවසගෙන හිටි නිසාද මන්දා.
ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ අනුත්තරා මගේ මතකෙන් එළියට වීසි වෙනවා.කැම්පස් යන්න ලකුණු මදි වුනාට අනුත්තරා ගුරු විද්‍යාලෙට ගිය විත්තිය මගෙ කනේ තියන්නෙ අම්මද මන්දා.
කොහොමින් කොහොමහරි මං එන්න ටික කාලෙකට කලියෙන් අනුත්තරා ආයෙ ඉස්කෝලෙට එන්නෙ නැටුම් උගන්නන්න.
ඉස්සර වගේම තාමත් අනුත්තරා වස කැතයි.එකම වෙනස සුදු ගවුම වෙනුවට අනුත්තරා සාරියක් ඇඳපු එක.
ළමයි වගේම ස්ටාෆ් එකේ උදවියත් තමන් අනිත් පැත්ත හැරෙනකන් ඉඳලා හිනාවෙන විත්තිය අනුත්තරා දන්න හින්දා වෙන්න ඇති ෆ්‍රී පීරියඩ්වලත් නැටුම් කාමරේම වැඩි හරියක් හිටියේ.
ඉස්සර හාවා හඳ ගුරු කාමරේට ආපු අනුත්තරා පහු ගිය කාලෙ ඒ සිරිත වෙනස් කළා නේද කියලා මට කල්පනා වෙන්නෙ දැන්.
අනෙක සංගීත කාමරේ නැටුම් කාමරේට එහා පැත්තේ.
පහු ගිය සති දෙක තුනේම කමල් වෙනදා තරම් ගුරු කාමරේ පේන්න නොහිටිය විත්තියත් මතක් වෙන්නෙ ඔය අස්සේ.
අම්මපා මේකිට වෙන අල්ලගන්න මිනිහෙක් හිටියෙම නැද්ද?
මං තරහේ පුපුරණවා.
කමල් එක්ක මං කසාදයක් ගැන කතා කරලා නෑ තමයි.ඒත් කමල්ට මට අකමැති වෙන්න හේතුවක් නෑනේ.

............
කල්ප කාලාන්තරයක් ගතවුණා වගේ මට දැනුනට තාම තත්පර දෙක තුනකට වඩා ගෙවෙන්න නැතුව ඇති.
"මොකද මනේකා මේ?"
කමල් අහන්නේ කලබලයක් නැතුවම.
"මොකද අහන්නේ කමල්?
මේ මහ දවාලෙ ගුරු කාමරේ අත් අල්ලගෙන.මේ මොන විගඩමක්ද කියලා මමයි අහන්න ඕනේ"
මගේ ඇස්වලින් අනුත්තරා ගිනි තියන්න පුළුවන් නම් මේ වෙද්දි ඒක වෙලා.
"මනුස්සයෙක් තව මනුස්සයෙක්හෙ අතින් අල්ලගෙන ඉන්නවා කියන එකේ මොකද්ද මනේකා තියෙන ගැටලුව?
අපි දෙන්නා මෙතන වෙන මුකුත් කළේ නෑ නේද?
ඉතින් ඇයි මනේකා කලබල වෙන්නෙ?"
"කලබල වෙන්නෙ?
කමල් බැඳලද?
මේ ගෑණිට මිනිහෙක් ඉන්නවද?
මේ අත් අල්ලගෙන කිරිකිරි බෝල නැටිලි කොහෙන් කෙළවර වෙයිද? ඉස්කෝලෙ නමත් නරක් කරලයි මේවා නවතින්නේ."
මගේ ඇස් වලින් දුම් පිටවෙනවා ඇති ඇත්තටම.
"අහ් මනේකා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ.අනුත්තරාගෙ අත අල්ලගෙන හිටියට එහා දෙයක් මම කළේ නෑ.
කොහොමත් මම අනුත්තරාව කසාද බඳිනවා."
කමල් මගෙ ඔලුව උඩට ඒ ගිණිගෙඩිය අත ඇරියෙ ඒ වෙලාවෙ.
"කසාද බඳින්න?
මේ අනුත්තරා ව?
ඔයාටත් සදහටම මේක වගේ ලෝකෙට විහිළුවක් වෙන්නද ඕනෙ ?"
කමල් සාමාන්‍යයෙන් විහිළු කරන හාදයෙක් නෙවෙයි.ඒත් මේ මොන විකාරයක් ද?
"ඔව්,ඔයා වගේ පිටින් බලලා මිනිස්සු මනින උදවියට අනුත්තරා හැමදාම විහිලුවක් වෙයි.
අපි දෙන්නා කසාද බඳින එක ඊටත් වඩා විහිළුවක් වෙයි.අනුත්තරාටවත් මටවත් ඒ විහිලු නුපුරුදු දේවලුත් නෙවෙයි.
හැබැයි ඒක මටවත් අනුත්තරාටවත් කොහොමටවත් ගැටලුවක් වෙන්නෙ නෑ මනේකා.
ඉතින් අහක ඉන්න ඔයා ඒක ගැටලුවක් කරගන්නත් එපා."
කමල් පුටුවෙන් නැගිටලා තුනට නවලා තිබුන එයාගෙ සුදු සැරයටිය දිග ඇර ගත්තා.
"අපි යමු අනුත්තරා"
මගේ අමිතාබ් එක්ක අනුත්තරා යන්න යද්දි ගුරු කාමරේ තනි වෙච්ච මගේ ගින්දර උඩින් ඇස් දෙකේ කඳුළු පිටාර ගැලුවා.
ඉගිලෙන ලියමන්
2020.04.25

කොරෝනා

කොරෝනාව නිසා ගෙදරට හිර වී මාසයක් හිටි නිසාවෙන් අපේ ගෙදර උන්දැලාගේ මානසික සෞඛ්‍යය මේ දවස්වල තියෙන්නේ සෘණ දිහාවේත් අගිස්සේය.කොයි වෙලාවේත් හැම එකාටම හොස්ස ළඟින් මැස්සා යන්නට බෑය.
ළඟින් ගියොත් ඇහැක් නෑ ය.ශත වර්ෂ ගානක් පැරණි යට ගිය හූනු බිජ්ජක් තරමේ කෝන්තර ගොඩ දමාගෙන කර තියාගෙන ය.
එක්ස්පයරි ඩේට් එක හොයාගන්නටත් බැරි තරම් පරණ කොත්තු මී එකක් කෑ අයියාට බඩේ ගායක් හැදෙන්නේ මේ අවු අස්සේය.
පශ්චාත් බාගයට අත තියාගෙන උන්දෑ නාන කාමරයට දුවද්දී අක්කා ඒක ඇතුලේ ය.කොරෝනා නෙවෙයි ලෝක විනාශය ආවත් අක්කා නාන කාමරයට වැදුනානම් වරුවකට එළියට ගන්නවා බොරු ය.ඉතින් මේ දැන් වාන් දාන්නට වලිකන දොරටුව පශ්චාත් භාගයෙන්ම තෙරපාගෙන අයියා දුවන්නේ ගෙයින් එළියේ පිහිටි ඉඳහිට ආච්චිඅම්මාත් මමත් විතරක් පාවිච්චි කරනා වැසිකිළියට ය.
පළාතම සුගන්ධවත් කරමින් අදාල කර්තව්‍යය සාර්ථකව නිමකළ අයියාට ඊළඟට මුහුණ දෙන්නට වෙන්නේ ඊට හපන් අකරතැබ්බයකටය.
පශ්චාත් භාගය පිරිසුදු කරගන්නට වතුර ගන්නට භාජනයක් වැසිකිළියේ නෑ ය.
භාජනයක් ඉල්ලා උන්දෑ කිහිපවතාවක් මොර දුන්නත් වොයිස් ඔෆ් ටීන් අහමින් ඒ තාලයට කුස්සියේ උයමින් හිටි අම්මාට ඒක ඇහෙන්නේ නෑ ය..ආච්චි අම්මා කොහොමත් බීරි ය.තාත්තාගේ කන් ඇහෙන්නේ වාසියට විතරය කියා මේ දවස්වල රේඩියෝවෙත් කියනා බව අම්මා ගේ මතය ය.
කොරෝනා නිසා මොකෙක්වත් ගෙදරට නාවත් අල්ලපු ගෙදර කුස්සිය පැත්තෙන් කරුමෙට වත් අයියාගේ බැල්මට් එකට අහුවෙන නඟා එළියට ආවොතින් කියනා අවදානම නිසාවෙන් හෝදා නොගත් පශ්චාත් භාගය සමඟ අයියාට එළියට බහින්නත් බැරි ය.
"අම්මේ ......තාත්තේ.. කවුරුත් නැද්දෝ....කන් බීරි වෙලාද මන්දා මේ ගෙදර එවුන්ගේ...යකුනේ...බාල්දියක් ගෙනත් දියවු කවුරුහරි ...."
දොර කැඩෙන්නට තරම් හයියෙන් දොරට තඩිබාමින් අයියා පැය කාලක් පමණ බෙරිහන් දෙද්දී එළවලු ලොරියක් පාරෙ යනවාදැයි බලන්නට එළියට බහින අම්මාට යාන්තම් මේ සද්දේ කන වැටෙනවා ය.
දැන් අම්මාත් තාත්තාත් වෙනින් වැඩක් නැති ආච්චීත් නහයවල් මිරිකාගෙන වැසිකිළිය ඉස්සරහ මිදුලේ ය.
"ඕක අස්සෙ රිංගද්දි වතුර ගන්න භාජනයක් තියෙද බලලා යන්න දන්නෙ නැද්ද?"
වතුර නැතුව ඉන්න මිනිහාට තාත්තා අනින්න යනවා ය.
"අපොයි ඔව්.මං මේ ඇතුලට යන්න කලින් නැකතකුත් බලලා යන්න හිටියේ.ඇයි යකෝ වෙනදට මේක ඇතුලේ බාල්දියක් තිබ්බෙ.මං දන්නවද බාල්දිය මොකෙක් හරි උස්සලා විත්තිය?"
වහපු දොරක් පිටිපස්සේ ඉන්න වෙලාවට අපේ අයියාත් හරිම චන්ඩියෙක් ය.
"අම්මේ....කෝ මේකෙ තිබ්බ බාල්දිය?"
කන් ඇහෙනවා හොර ආච්චිගෙන් අම්මා ඇහුව සද්දෙට එහා ගෙදර විමලාවතී නැන්දාත් වැටෙන් එබෙනවා ය.
"මොකෝ නංගි...?"
" නෑ මේ බාල්දියක් නැති වෙලා"
"මං දැක්කා සුවිනීතා කෙලී ඊයෙ තැඹිලිපාට බාල්දියකට පස් පුරවන් මේ පැත්තට ගේනවා.."
බීබීසී එකේ දිගු දුර මෙහෙයුම් අංශේ වැඩ කරන ඒ නැන්දාට පින්සිද්ධ වෙන්න බාල්දියට වෙච්ච දේ හොයා ගනිද්දි නහය කඩාගෙන යන ශැම්පු, පවුඩර් සෙන්ට් කුණාටුවක් මැද්දෙන් නාන කාමරයේ සිටි අක්කාත් සභාවට සැපත් වෙනවා ය.
"හා හා...ඒ බාල්දියට අත තියන්නෙ එහෙම නෑ.මම ඒකෙ අප්‍රිකානු බෝංචි ඇට වගයක් හිටෙව්වා."
උන්දෑ ගස්සාගෙන ආයෙමත් ගෙට යනවා ය.
ඇඳිරිනීතිය අස්සේ සූර ගෙවිලිය තරඟෙට යන්න හිතාගෙන ඉන්නා අක්කා මේ වෙද්දී කන්න ගෙනා කරවල කූරියාත් මිදුල මැද හිටවලා හමාර ය.මිදුලේ ඉඩකඩ අහවර නිසාවෙන් අහුවෙන හැම හට්ටියකම මුට්ටියකම බාල්දියකම උන්දෑ ඇට හිටවන්නට අරගෙන දැන් දවස් තුන හතරක් ය.
"මෙතන උඩ බලාගෙන ඉන්නෙ.අර කොලුවට බාල්දියක් ගෙනත් දෙනවකෝ."
තාත්තාගේ ගෝරනාඩුව අම්මාටය.
"හුහ්...ඒ මොකටද මං ගෙනත් දෙන්නේ?
ඇයි මතක නැද්ද ඊයෙ හැන්දෑවෙ ඔහේ කිව්වෙ ඔහේ තමයිය මේ ගෙදර වැඩිම හරියක් කරන්නෙ.ඔහේ නොහිටියනං කොරයි ඇඳිරිනීතිය අස්සෙ කියලා."
ඊයෙ හැන්දෑවේ නොව මීට අවුරුදු විසි අටකට කලියෙන් අඟහරුවාදා හවසක තාත්තා ගෙනා සීනි කුරක්කමක සීනි දියවී තිබිල්ලත් හොඳහැටි මතක අම්මාට ඊයෙ හවස තාත්තා කළ අරියාදුවට වාඩුව ගන්නට මේ කදිම වෙලාවය.
"ඔව් කිව්වා තමයි.මං කිව්වෙ කඩේ යන, බඩු ගේන, ගෑස් ගෙන වැඩ වගේ අත්‍යාවශ්‍ය වැඩ.මේ ලැට් එකට වතුර බාල්දියක් තියන එක වගේ පොඩි වැඩ නෙවෙයි.මං නොහිටියනං කොරයි මේං කියලා."
විමලාවතී නැන්දා තාමත් වැට ළඟ නිසාවෙන් තාත්තාගේ පුරුෂ දහිරියත් අතාරින්නේ නෑ ය.
"කොරයි මගෙ කට.අනේ මේ ඔහේ ගෙදර නොහිටිය දවස්වල අපි කඩේ ගිහින් බඩු ගෙනත් නැද්ද?හරි අමාරු වැඩක් නෙ කරලා තියෙන්නෙ.අනික මේ පාරවල්වල බලු බල්ලෙක් නැති කාලෙ ගෙදර ගාවට ගෙනත් දෙන බඩු ටික ගෙට ගන්න එක මහ දෙයක් යැ"
අම්මා පසු බහින්නේ නැති ය.
"මහ දෙයක් නේන්නං.මොනවා හරි එක බඩුවක් නැතිනං මෙතන හැච හැච ගාන්න ගන්න හැටි අපි දන්නෙ නැද්ද?
මහ දෙයක් නෙවෙයිනං ඉතින් ඔහේට තිබ්බනේ ඒවත් කරන්න ?"
තාත්තාද අතාරින්නේම නෑ ය.
"මං මොකටද කරන්නේ ඇයි ඔහේ මද්දුම බන්ඩාර වෙලා පැනලා බාරගත්තේ කොරන්න?
අනික මොකෝ මං මේ ගෙදර නිකං බලාගෙන හිටියද පහු ගිය දවස්වල?"
"දෙයියනේ ඕක නවත්තලා බාල්දියක් ගේන්න බැරිද කාටහරි?"
අයියා තාම සිහිසුන් වෙලා නැති පාට ය.
"උඹ වහගනින් කට.බොලාගෙත් කටවල් පණගහන්නේ මේ වෙලාවට තමා. එක දවසක් බාල්දියක් නැති වුනා කියලා දැන් උඹ මැරෙයිද?
දැන් උඹ පහු ගිය මාසෙම අර කාමරේට වෙලා කොම්පියුටරේට විරිත්තගෙන ඉන්දැද්දි කන්න බත් තම්බල දුන්නෙ වෙන කවුරුහරි ද?
මේ කොරෝනාවෙක් ගහලා මැරෙයි කියලා බයේ ඉන්දැද්දි කොත්තමල්ලි තම්බලා දුන්නෙ, එතකොට වත්ත වටේම ගස්කොලංවල කොළ කඩලා දාලා දුංහට්ටි අල්ලන්න දුන්නේ වෙන කවුරුහරි ද?
උඹලාවගේ ගුණමකු ජාතියකට නැහීගෙන කරලා මෙව්වා අහගන මදි මට."
ඒ පාර අම්මා මිදුලට මැද හොටු හූර හූරා අඬනවාය.
"කන්න බොන්න හදන එක ඇඳිරි නීතිය නැති කාලෙත් අමුතුවෙන් කරපු රාජකාරියක් යැ.කන්න බොන්න තම්බන්නෙත් ඉතින් ගෙදර වවපුවා නෙවෙයිනේ.මං කඩෙන් ගෙනාපුවා නේ."
තාත්තා කෝකටත් විසී වී එන ගඩොල් කැට මල් පෝච්චි පතිත වෙන්නට පුළුවන් අවදානම් කලාපයෙන් එහාට වෙලා ය.
"මේ මගුල් කෑමක් නෙවෙයි මං ඉල්ලන්නෙ වතුර බාල්දියක්."
අයියාට තවත් වරක් මල පනින්නට යන හැඩ ය.
"ඇයි යකෝ මගෙ කන් ඇහෙන්නෙ නෑ කියලා හිතුවද?
බොටත් ඔය වතුර බාල්දියම තමා ප්‍රශ්නෙ.ඇයි වදේ මේ ගෙදරට පාරෙන්
වතුර ගන්න හැම තැනම ඔෆීසි ගානෙ බඩගෑවේ කවුද?
එකෙක්වත් නිකමට තනියට ආවද?
අර නාන කාමරේ උණු වතුර මල් හයි කරන්න සල්ලි කාගෙද?
නිකමටවත් මතකද ඒවා?
නෑ නෑ.එකක් මතක නෑ.කෙලෙහිගුණයක් නෑ.
ඇයි අප්පා මං මෙහෙම තැන්වල ඉන්නේ ..."චීත්ත පොටෙන් නහය පිසදමමින් අම්මා අඬනවා ය.
"යකෝ.බාල්දියක් ඉල්ලන්නේ පස්ස හෝදගන්න..මිසක් වවන් කන්න නෙවෙයි."
අයියා බෙරිහන් දෙනවා ය.
"සබං නැතුව බැරි මොකද කොලුවෝ.මැතිනිගෙ කාලේ අපිට සබං තිබුණයැ.ඔය පඳුරක් අස්සෙ එලි බැහැලා දොල පාරෙන් හෝදගෙන ආවෙ අපි.මොන සබං ද?"
ආච්චි අම්මාට මොනවාහරි වැරදියට ඇහිලාද එහෙමත් නැතිනම් සීනි අඩු වැඩි වෙලාද කියන එක වෙනමම හිතන්න වෙනවා ය.
"හපොයි දෙයියනේ..බාල්දි ඕනැත් නෑ.වතුර ඕනෙත් නෑ.සබං ඕනේම නෑ. කවුරුහරි මට පත්තරයක් ගෙනත් දෙනවද?"
අයියා ඒපාර බොහොම බැගෑපත් වෙලා ය.
"පත්තර අහවල් එකක් කරන්නද?ඕක අස්සෙ පත්තර කියවන්න යන්නෙ උඹට විකාරද?"
ඒ පාර අම්මාගේ රැස් විහිදෙන්නේ අයියා දිහාට ය.
"නෑ එලාගෙන නිදාගන්න.ඔහෙලාගෙ ඔය වාද පිටිය ඉවර වෙලා මට බාල්දියක් ගෙනත් දෙන්න හිතුනොත් ඇවිත් මාව ඇහැරවන්න බැරියැ."
හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ලියා තැබුවේ -පිලේ නිදා උන් ටොමියා විසිනි

Tuesday, July 16, 2019

පිලිකා කතාබහ 2- පිලිකා යුද්ධ කරන්නෙ මෙහෙමයි

පිළිකා කතාබහ 2

පිළිකා පිටුදකින එක ගැනයි කතා කරන්න හිතන් හිටියෙ නමුත් ඊට කලින් පිළිකාවලට බෙහෙත් කිරිල්ල ගැන කතා කරන්න හිතුනා.ඇයි කියලා ලිපියෙ අගිස්සට යද්දි තේරෙයි.

♟️පිළිකාවකට බෙහෙත් කරනවා කියන්නෙ සෑහෙන ලොකු යුද්ධයක්.
යුද්ධයක් කරන්න සෑහෙන පිරිසක් ඕනෑ.

♟️ඉතින් බලමු කොහොමද මේ යුද්ධෙ කරන්නෙ කියලා.

හිස්මුදුනේ හිටන් දෙපතුල දක්වා අපේ ඇඟ ගත්තොතින් එක එක විදිහෙ  සෛල ජාති අටෝරාසියක්ම ලියමන් සමූහය තියනවනෙ.ඉතින් ඔය එක එක තැන්වල ඇතිවෙන පිළිකාත් එකකට එකක් වෙනස්.අනිවාර්යයෙන්ම ඒවාට ප්‍රතිකාර කරන විදිහත් ඉතින් වෙනස් වෙන්න එපායැ.නමුත් පොදුවේ ගත්තම මේ හැම පිළිකාවකටම විරුද්ධ සටනේ පොදු අරමුණු කිහිපයක් තියෙනවා.

♟️පළවෙනිම තැන මුල් පිළිකාවට විරුද්ධ යුද්ධය.

ලෙඩේ හඳුනාගන්නා වෙලාව වෙද්දි පිළිකාව තිබෙන්නෙ මුල් අවදියේ නම්   අපි කරන්නේ ඒ පටන් ගත්ත තැනම පිළිකාව මුලිනුපුටා දාන්නට උත්සාහ ගන්න එක.ඒකට අපිට තියෙනවා අවි ආයුධ කිහිපයක්ම.

1.එකක් තමයි සැත්කම්.සැත්කමක් කර ඉවත් කරන්න පුළුවන් මට්ටමක  සහ ඉවත් කරන්න පුලුවන් තැනක තියෙන පිළිකාවක් නම් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම හරහා පිළිකාව ඉවත් කරන්න කටයුතු කරන්නට පුළුවන්.

2.ඊළඟ අවිය තමයි පිළිකානාශක බෙහෙත්.මේ පිළිකානාශක බෙහෙත් විවිධාකාරයෙන් අපිට යොදාගන්න පුලුවන් .සැත්කමකට අපහසු තරමේ විශාල පිළිකා හකුලුවන්නට මේ බෙහෙත් උදව්වට ගන්නට පුලුවන් .ලේ හෝ වසා ගැටිති වල ඇති වෙන සැත්කම් කරන්නට අපහසු සැත්කම්වලට ප්‍රධානම අවිය වෙන්නේත් මේ ඖෂධ .සැත්කමකින් පසු ඉතිරි වෙන්නට පුළුවන් සුළු සෛල පොදි නසන්නට සැත්කමකින් පසු පිළිකානාශක ඖෂධ භාවිතා කරන්නට පුළුවන්.

3.ඊළඟ අවිය වෙන්නෙ විකිරණ ප්‍රතිකාර.සමහර පිළිකාවලදී පිළිකා සෛල විනාශ කරන මුල්ම බලඇණිය වෙන්නෙ විකිරණ ප්‍රතිකාර.ඇතැම් වෙලාවක පිළිකානාශක ඖෂධ එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරනවා වගේම තවත් අවස්ථාවක සැත්කමත් පිළිකානාශක ඖෂධවලටත් පසුව තවත් ඉතිරි වූ සෛල පොදි විනාශ කරන්නත් විකිරණ උපකාර ගන්නට පුළුවන්.

♟️මේ කතාබහ කළේ මුල් අවදියේ හඳුනාගත්තු පිළිකාවක් ගැනනේ.

කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ ලංකාවේ අපේ රෝගීන් හුඟදෙනෙක් ප්‍රතිකර්මවලට එන්නෙ පැතිරුණු  පිළිකාවක් එක්ක.

♟️මේ වගේ වෙලාවට යුද්ධ කරන්න පුළුවන් ද?
ඔව්.
තවමත් අපි පරාද නැහැ.
මුල් අවදියේ පිළිකාවක් මට්ටු කරන්න තරම් ලෙහෙසිපහසු යුද්ධයක් නම් නෙවෙයි හැබැයි මේක.

මෙතනදිත් පිළිකාව පැතිරුණු තැන කොහේද කොයිතරම් දුරට පැතිරිලා ද ලෙඩාගෙ සෞඛ්‍යය තත්වය කොයි වගේද කියන කරුණු කාරණා ඉස්සෙල්ලාම හොයාගෙන ඒ ඒ තොරතුරුවලට ගැලපෙන හැටියට යුද්ධෙ පටන් ගන්න වෙනවා.

පිළිකානාශක ඖෂධ වගේම   විකිරණ ප්‍රතිකාරත්  මේ මට්ටමේ යුද්ධවලදී පෙරමුණ ගන්නවා.

♟️ඇතැම් වෙලාවක බොහෝම අවාසනාවන්ත විදිහට පාලනය කරන්නට පුළුවන් මට්ටමෙන් ඔබ්බට  පැතිරුණු පිළිකා එක්කත් රෝගීන් අපි හමුවෙන්න එනවා.මේ වගේ වෙලාවකදී ප්‍රතිකාරමගින්  රෝගය සුව වීමක් බලාපොරොත්තු වෙන්න අපිට ඇති ඉඩ ඉතාම අල්පයි.නමුත් රෝගියාගේ ජීවිතයේ ඉතිරි කාලය අපහසුවකින් තොරව ගත කරන්නට මෙවැනි අවස්ථාවකදී ත් පිළිකානාශක ඖෂධ ,විකිරණ ප්‍රතිකාර , වේදනානාශක වැනි  සත්කාර යොදාගන්න අපට හැකියාව තිබෙනවා.

♟️ඉතින් මේ කතා කලේ පිළිකාවට එරෙහි යුද්ධේ ප්‍රධාන සේනාංක ගැන  විතරයි.

ඒත් තව පරිවාර සේනාව බොහොමයක් ඉන්නවා.පිළිකාව මට්ටු කරන්න ශරීරයේ පෝෂණය අතිශයින්ම වැදගත්. පෝෂණ ඌනතා ඇති රෝගීන්ට ඇතැම් අවස්ථාවල විශේෂ පෝෂණ සත්කාර සිදු කෙරෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපැවැත්මත් අත්‍යාවශ්‍යම අංගයක්. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳවැටීම් සමඟ මතුවන්නට පුළුවන් ක්ෂුද්‍රජීවීන්ගේ ආසාදනවලට එරෙහිව ප්‍රතිකාර හා උපදෙස් ලබා දීමට වෙනම කණ්ඩායමක් සිටිනවා.
යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම කියන්නේ පිළිකාවකට නෙවෙයි ඕනෑම අසනීප තත්වයකින් ගොඩ එන්නට හොඳ රුකුලක්.ඉතින් රෝගියාගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට විශේෂ වැඩසටහන්, ආගමික වතාවත් මෙන්ම මානසික වෛද්‍ය සායනත් මේ පිළිකා සටනට සත්කාරක සේවා හැටියට නිරන්තරයෙන්ම සහයෝගය දක්වනවා.

♟️ඉතින් සෞඛ්‍යය ක්ෂේත්‍රය පැත්තෙන් මේසා සත්කාරක සේවාවක් ලබා දෙද්දි අපිට බොහොම සාර්ථකව පිළිකා මාරයාට මුහුණ දෙන්න පුලුවන් නේද?

අවාසනාවකට ලංකාවේ බොහෝ වෙලාවට  ඒක එහෙම වෙන්නෙ නැහැ.

බොහෝ විට ඊට හේතුව  වෙන්නෙ පිළිකා සටනේ මෙතෙක් අපි කතා නොකරපු ප්‍රධාන සටන්කරුවෙක් අතරමඟදී සටන අත අරින එක.

♟️ඒ සටන්කරුවා වෙන කවුරුත් නෙවෙයි, පිළිකාවෙන් පීඩා විඳින ඔබ.

පිළිකා මාරයාට එරෙහිව සටනේ වඩාත්ම සවිමත් වෙන්නට ඕනෑ වෙන කවුරුන්වත් නෙවෙයි රෝගී ඔබමයි.

😥පිළිකාවට බයෙන් එහෙමත් නතිනම් ලැජ්ජාව නිසාවෙන් පිළිකාව ඔඩු දුවන තෙක්ම හංගාගෙන ඉන්නා ලෙඩ්ඩුන් අපේ සායනවල අපමණයි.

😥ඒ වගේම පිළිකා හටන කියන්නේ එක දිගට නොනැවතී දුවන්නට ඕනෑ තරඟයක් මිස ඔහේ ඕනෑවට එපාවට මග නැවති නැවතී හිතෙන හිතෙනා හැටියට කරන්නට පුළුවන් යුද්ධයක් නෙවෙයි.ඒත් අවාසනාවකට අපේ රෝගීන් බොහෝ දෙනෙක් මේ දේ හරිහැටි තේරුම් ගන්නේ නැති පාටයි.

😥මුල් පිළිකා අවධියේම ලෙඩේ හඳුනාගෙන බෙහෙත් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී එහෙමත් නැතිනම් බෙහෙත් වේල් දෙක තුනක අතරමැදදී මේ බොහොමයක් රෝගීන් බැදිවල අතරමං වෙනවා.
බටහිට වෛද්‍ය විද්‍යාවේ පිළිකාවට මැජික් ප්‍රතිකර්ම ඇත්තේ නැහැ.ඉතින් වේල් දෙකතුනකින් ඔබව නිට්ටාවට සුව කරන බවට ඔබට බොරු පොරොන්දු දෙන්නට අපට හැකියාවක් නැහැ.

 මුල් අවදියේ හෝ ඔබ ප්‍රතිකාර ලබා ගැනීමට එලඹෙන අවදියේ රෝගයේ පැතිරීම, ඔබේ අනෙකුත් දේහ පරාමිතීන් ගලපා පිළිකාව කොයිතරම් සාර්ථකව මැඬ පවත්වන්නට පුළුවන් වේදැයි සම්භාවිතාවකුයි අපට ලබා දිය හැක්කේ.

😥නමුත් ඉතාම කණගාටුවට කරුණ වෙන්නේ නිට්ටාවට සුව කරන මායාවල් පසුපස්සෙන් මුල් අවදියේ ප්‍රතිකාර දැක දැකම ප්‍රතිකාර මඟ හැර ගිය ඔබම  සිරුර පුරාම පැතිරී ගිය  අපට කිසිවකුත් කරන්නට අපොහොසත් පිළිකා  තත්වයකින්  නැවත අප හමුවට ඒම අප කිසිසේත් නොපතන එහෙත් ඉතාමත්ම සුලභ සිදුවීමක් වීමයි.

😥රෝගියෙක්  සුවපත් වෙන්නට යහපත් රෝගියෙක් යහපත් හෙදකමක් හා යහපත් වෙදකමක් කියන මේ තුන් ඈඳුතුවම වැදගත් වෙන බව පැරැණ්නන් කියා තියෙන්නේ නිකන් ම නොවෙයි නේ.ඉතින් අපි කොතරම් වෙර වීරිය ගත්තත් රෝගී ඔබේ කැපවීම නැතිනම් අපට ඔබ වෙනුවෙන් කරන්නට හැකි දේ ඉතාමත් අල්පයි.

 පිළිකා ප්‍රතිකාර ගැන ඉදිරියේදී විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

😥නමුත් මඟ හොඳට තිබේ නම්
         යන්න දෑසත් පෙනේනම්
           කිම බැදිවල යන්නේ
කියලයි අහන්නට සිද්ධ වෙන්නේ

සඳුනි සුදර්ශනා පෙරේරා (MBBS )
2019.07.08

මදිමු මදිමු රෙදි

අනාදිමත් කාලේකට ඉස්සරින් අපේ ගෙදර තිබුනේ රෙඩ් හාර්ට් අයන් තඩියක් ය.හාල් මුට්ට තුනක් විතර බර රිදී පාට අයන් රාජයාගේ හැඬලයත් උශ්නත්ව පාලක සුවීචියත් කලු පාට ය.අයන් එකේ රස්නේට අමතරින් ඒකෙ බරටත් රෙදි අයන් වෙනවා කියලාය ඒ දවස්වල මට හිතුනේ.

පස්සෙන් පහු වයසට ගිය රෙඩ් හාට් ඩෙඩ් හාට් වී ස්වර්ගස්ථ වුනාට පස්සෙන් පහු පුළුන් රොදක් සේ සැහැල්ලු ප්ලාස්ටික් අයන්වතීලා අපේ ගෙදරට ගොඩවදිනවා ය.මේ අයන්වතීලා හරිම නුහුගුණකාරියෝ ය.උන්දැලාගෙන් වැඩක් ගන්නට ඇඟේ මුලු බර යොදා සියලු දිරි දරා අයන් බෝඩ් එක උඩ නැගගෙන අයන් කරන්නට ඕනෑ ය.ඒ මදිවාට මේ අයන්වතීලාගේ හොස්ස ළගින් මැස්සා යන්ට බෑය.එහෙ බලා මෙහෙ බලද්දී ගිනි පත්තු වෙලා රෙදි පිච්චිලා ය.

ඇච්චා කාලේ ඔය අයන්වතී අතින්වත් අල්ලන්නට මංතුමීට තහනම් ය.ඒත් මංතුමී අම්මාට උදව් පදව් කරන්නට කැමති බොහොම අහිංසක දැරියක නිසාවෙන් පහක් හයක් විතර වූ උපන්දිනයක්දා අම්මා සප්‍රයිස් කරන්නට උපන්දින ගවුම තනියෙන් අයන් කරගන්නට යනවා ය.අයන්වතී ගවුම උඩින් නවා බලාගෙන හිටිල්ල අවැඩදායක බව මංතුමී ප්‍රායෝගිකව අත් හදා බැලුවේත් එදා ය.උපන්දින  ගවුමේ අයන්වතීගේ මූනත්තහඩුවේ හැඩේටම ලොකු හිලක් තිබ්බත් උපන් දිනේ හින්දාවෙන් මවුතුමීගෙන් මංතුමීට පොදු සමාවක් ලැබුන විත්තියක් මතක ය.

ඕන් ඔය ආකාරයෙන් අයන්වතී භාවිතාවට අත් පොත් තැබුවත් පහු වෙද්දීනම් හිතෙන්නේ මේ මලකරදර අයන්වතී එපාම කියා ය.ඕක වැඩිපුරම හිතෙන්න ගන්නේ මහරෑට නිදිමරගාතේ සුදු ගවුමේ රැලි මදින්ට ගියාම ය.

අපේ ගෙදර බවලත් ඇත්තන් අයන් එකෙන් රෙදි උණු කිරීමේ කලාවේ කෙළ පැමිණි ඇත්තියන් ය.මවුතුමීගේ  සාරි කන්දරාවේ අයන්වතීගේ මාර්ක් එක නොහිටි සාරියක් හොයා ගන්නවා බොරු ය.කලාතුරකින් සාරිය බේරිලානම් අනිවාරතේ සාරි හැට්ටේ කොහේ හරි අයන් හිල්මාක් එකක් තියෙනවාම ය.

මවුතුමීගේ දෝනියන්දෑ හැටියට ඒ සාරි පිලිස්සුම් කලාවේ අත්ගුණය  මංතුමීටත් උරුම වීඇති බව දෑහින් දැක ඇති වෙලාම දැන් මංතුමී වැඩි හරියක් අඳින්නේ (අඳිනවානම්)අයන්වතීට මුලිච්චි නොවෙන සාරි ය.

ගෘහවාසී බවලතුන්ගේ තවත් නොහොබිනාම පුරුද්දක් වෙන්නේ රෙදි ඇගේ ලාගෙන අයන් කිරිල්ල ය.පිරිමි පරාණ දුටු තැන දෙස් දෙවොල් තියා හෙළා දැක්කත් බවලතුන්ට ආවේණික සිලෙක්ටිව් බිහිරි බාවය පාවිච්චි කරමින් ඒ දොස්පරොස් නොසලකා හැර ඇඟේ තියෙනා සාරි වල පොඩි වුන රැලි, ඇඟේ තියෙනා බ්ලවුස්වල පොඩිවුන කොලර් ආදිය මට්ටු කිරිල්ලට මංතුමීත් මවුතුමීත් උපන් හපන්නුය.
ගුරුන්ටත් ඉඳහිට අකුරු වරදින නිසාවෙන් ඉඳහිට මේතුමීලා දෙන්නාගේම බෙලිත් අයන්වතී මුණ ගැසී ඇතත් තවමත් ඉඳහිට ඒ නොහොබිනා පුරුද්ද අත අත නෑරම එන බව කණගාටුවෙන් උනත් කියන්නට ඕනෑ ය.

කාලයක් ගෙදර හිටි අයන් රාජයාගේ වතුර විදින ගැජට්ටුවකුත් තිබුනා ය.වතුර විද විද අයන් කිරිල්ල මුල් කාලේ හරිම ආකස්මික අත්දැකීමක් වුනත් ටික දවසක් යද්දී ඔය වතුර කුටීරයෙන් වතුර ගලන්න බේරෙන්න අරගෙන අයන් කරන්නට ගිය රෙද්ද වොශින් මැශින් එකේ දැම්මා වගේ වෙන්න ගත්තාම ඒක ඊට එහා ගිය වේදනාවක් වෙනවාය.එතකොට අප්පොච්චා කරන්නේ වතුර කුටීරේ ගලවා විසික් කොරන එක ය.ඊට පස්සෙන් පහු ඉස්සරහ මදේ නැති අයන්වතී කෙනෙකුත් ආදේශකයක් හැටියට අතින් වතුර ඉහගන්නට වතුර පුරවාපු කප් පොඩිත්තකුත් අයන්බෝඩ් එක උඩ ය.

මේ මොන ආඩපාලි කීවත් අයන්වතී ප්‍රයෝජනවත් වෙච්ච අවස්ථාත් නැතුවා නොවේය.ඉරිදා මහ රෑ හෝදන්ට මතක් වූ මේස් සඳුදා උදේ ඉස්කෝලේ යන්නට තෙත හින්දා දුන්නේ අයන්වතී ය.දහම්පාසල් යන්නට මල් කඩන්නට ගොස් අප්පොච්චිගේ දාරපත මාලු ටැංකියට ළමා සාරිය පිටින්ම පත බෑවුනු වෙලේ අයන්වතී නොහිටියානම් දහම්පාසල් යන්න ළමා සාරිය වේලාගන්න වෙන්නේ නැති ය.

කැම්පස් එන්න ආවා ම රූමීටත් මටත් බඩු ගන්නට යන්නේ අප්පොච්චිලා ඩබලය. අවුරුදු ගානක් එකට ඉන්නා අපි දෙන්නා ඊට පස්සෙන් පහු බෝඩිම් දෙකකට වෙන් වෙද්දී අයන්වතී මා එක්ක එද්දී කේතල්වතී රූමිත් එක්ක යනවා ය.
පස්සේ කාලෙක හොස්ටල් එකේ කාමර පේළිය සතු වූ ජාතික සම්පත් අතරින් එකක් බවට පත් වෙන්නේ ඒ අයන්වතීම ය.

පස්සට ඉර එළිය වැටෙන තුරු නිදාගෙන නැගිට පස්ස දාච්ච කඩියා වාගේ ෆැකල්ටි දුවන්න ලෑස්ති වෙන්න බලද්දී අයන්වතී රෝන්දේ ගහන්න ගොහින් ය.දොරෙන් එළියට බෙල්ල දමා බැන අඩ ගහද්දී වෙනින් කාමරේකට රිංගාගෙන ඉන්නා රස්තියාදුකාර අයන්වතීව කාමර හිමිකාරියෝ කකුල්කෙටියෙන් ඇදගෙන ආයේම කාමරේට ගෙනැවිත් බාර දෙනවා ය. හතරවටේ රෝන්දේ ගහන්න ගියෝතින් හතර හන්දි කඩනා බවට මංතුමී කී දවසක්   තරවටු කළත් ඒවා සතපහකට මායිම් නොකරනා අයන්වතී පහුවදා උදේත් සවාරියේම ය.

මංතුමීලෑ දිහෑ අයන්වතීලා පාවිච්චියේ පසු ව්පරම කෙරෙන්නෙත් ඉස්තිරී පුරුශ  දෙජාතිය දෙයාකාරයකට.බවලත් ඇත්තෝ අයන්වතීලා ඕෆ් කිරිල්ලක් ගැන වැඩි උනන්දුවක් නොදක්වනා අතර බවලත්තු විතරක්  රෙදි මැද්දානම් අනිවාර්යයෙන්ම පහුවදා වෙන්නට කලියෙන් ගිනි නිවන හමුදාවට ගෙවල් පැත්තේ එන්නට වෙලාය.

එතකොට බලවත්තු (කියා හිතන් ඉන්නා ඇත්තෝ) ඔන් කර තිබෙනා අයන්වතීලා කෙරෙහි දක්වන්නේ අසීමිත භීතිකාවක් ය.විශේෂයෙන්ම අපේ පියාණන්දෑ උන්දෑ අයන්වතී  පාවිච්චියෙන් පසු පස් ගමනකුත් වෙන කවුරුන් හෝ පාවිච්චි කළාට පස්සෙන් පහු දහ ගමනකුත් ගමනක් යන්න ගෙයින් එළියට බහිනවානම් අමතර තව  විසි ගමනකුත් අයන්වතීගේ විදුලි සැපයුම කප්පාදු වෙලා දැයි පිරික්සනවා ය.ගෙයි දොර වහද්දිත් වැහුවාට පසුවත් ගේට්ටුව වහද්දිත් වාහනේට ගොඩ වෙද්දිත් මඟක් දුර යද්දිත් කෝකටත් කියා ආයෙමත්  අයන් එක ඕෆ් කලා කියලා ශුවර් දැයි අහනවා ය.සීයට සීයක් ශුවර් වුනත් ඔය අන්තිම වතාව අහද්දී මංතුමීට හැඟෙන්නේ ශුවර් එකටම අයන්වතී තාමත් ඔන් එකේ වෙන්නට ඇති බවත් හවස ගෙදර එද්දී ගේ ගිනි අරන් ඇති බවත් ය.

ඔය බවලත් බලවත් ඇත්තන්ගේ බල සංතුලනයක් මේ වෙනතුරු තිබුන හින්දාවෙන් දෙයියනේ කියා  ගම ගිනි තියනා අයන්තුමීලා හොයාගෙන ගිනිනිවන හමුදාවේ උන්දැලා මේ වෙනකන් අපේ දිහා එන්ට හිතලා නෑ ය.

පලි:අදත් එකක් පිච්චුනා ඉතින් 😥😥😥

ඉගිලෙන ලියමන්

2019.07.10

ලෙඩ්ඩු බලන්නට රෝහල් එනකොට



ලංකාවෙ අපි මනුස්සකමෙන් බොහොම පොහොසත් ජාතියක්.කෙනෙක්ට දුකක් කරදරයක් උනාම කිසිම කොන්දේසියක් නැතිව ඒ මනුස්සයාට උදව්වට එන්න අපේ හුඟ දෙනෙක් පැකිලෙන්නෙ නැහැ.ඉතින් ලෙඩක් දුකක් වුනාම ලෙඩ වෙච්ච මනුස්සයා ගෙ සැප දුක බලලා යන්න ඉස්පිරිතාලෙට එහෙමත් නැත්නම් ගෙදරට පොඩි වෙලාවකට හරි ගොඩ වෙලා යන්නෙ ඒ ලෙන්ගතු කම හින්දාම වෙන්න පුලුවන් .

ඒත් සමහර වෙලාවට මේ ලෙන්ගතු කම නිසාවෙන් රෝගියාට අවැඩක් හිරිහැරයක් වෙන වෙලාවලුත් නැතුවාම නොවෙයි. ලෙඩාට වගේම බාග වෙලාවට මේ ලෙඩ්ඩු බලන ගමන ඔබටත් එතරම් හිතකර නොවෙන්නට පුළුවන් .

ඉස්පිරිතාලෙ ලෙඩෙක් නැවැත්තුවම  බලන්න එන අයගෙන් වෙන්න ඕනෙ මොකද්ද ?
බොහෝ වෙලාවට ලෙඩා ගෙ ගෙදර මිනිස්සුන්ට   උදව්වක් හැටියට ලෙඩාට අවශ්‍ය වන යම් දෙයක් ගෙනිහින් දීලා,ලෙඩාගේ හිත හැදෙන්න  කතා බහ කරලා එන එක.

ඉස්පිරිතාල කියන්නෙ ලෙඩ රෝග බහුල තැන්.විශේෂයෙන්ම ශ්වසන මාර්ගය මුඛ මාර්ගය හරහා බෝ වන ආසාදන  එක් රැස් වෙච්ච තැන්.ඒ වුනාට සමහරු ලෙඩ්ඩු බලන්න එන්නෙ පොඩි කිරි සප්පයොත් අරන්.අම්මලා ලෙඩ්ඩු බලද්දි මේ දඟ මලු බිම පෙරළිලා වාට්ටුවේ හැම අහුමුල්ලකම බඩ ගාලා ලෙඩ්ඩු වාඩි වෙන පුටු ටිකත් අත ගාලා ඒ අත කිහිප පාරක්ම කටේත් ඔබා ගෙන ඉවරයි. නෑවිත් ම බැරිනම් මිසක් පොඩි දරුවන්,වයසක උදවිය ,බඩදරු අම්මලා ඉස්පිරිතාලෙ නොඑනවානම් අපි කැමති.මොකද මේ උදවියට සාමාන්‍ය අයට වඩා පහසුවෙන් ආසාදන වැලඳීමේ අවදානමක් තිබෙනවා වගේම ආසාදනයකින් ඔවුන්ට ඇති වෙන අවදානමත් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් නිසාවෙන් .

ඉස්පිරිතාලෙන් ඔබ ගෙදර ගෙනියන්න පුළුවන් ආසාදන වගේමයි ඔබේ හිතවත් ලෙඩාට ඔබ ගෙනැවිත් භාර දීලා යන අසනීප.රෝගී වෙලා නේවාසිකව ප්‍රතිකාර ලබන ලෙඩෙක්ගෙ විශේෂයෙන්ම පිළිකා සඳහා පිළිකානාශක බෙහෙත් ලබාගන්නා ලෙඩෙක්ගෙ සිරුරේ ප්‍රතිශක්තිය සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා අඩු වෙන්නට පුලුවන් .ඉතින් රෝගියා ආසාදනවලින් වළක්වා ගන්න අපි කොච්චර උත්සාහ කළත් වැඩක් නොවෙන්නේ  ලෙඩ්ඩු බලන පැය ආපු ගමන් ඔබ ඇවිදින් රෝගියා වට කරගන්න නිසාවෙන්
.
ඇතැම් වෙලාවක තමන්ට අසනීපයක් තියෙන බව දැනදැනත් ලෙඩා බලන්න නාවොත් හිත නරක් වේය කියලා හිතාගෙන ලෙඩ්ඩු බලන්න එන උදවිය ඕනෑ තරම්.වෙනත් අසනීපයකට රෝහල්ගත වෙච්ච ලෙඩාට බලන්න එන ඇත්තෝ තෑගි ගෙනාපු ආසාදනේකුත් එක්කහු වුනාම කොරේ පිටට මරේ වගේම තමා.
ඉතින් විශේෂයෙන් කළ යුතු උදව්වක් නැතිනම් මේ වගේ ලෙඩ්ඩු බලන්න නොයා ඉන්නා එක තමයි ලෙඩා වෙනුවෙන් ඔබට කරන්නට පුළුවන් හොඳම උදව්ව.

ආසාදන අවදානමක් නැතත් ලෙඩ්ඩු බලන්න එන උදවිය නිසාවෙන් ලෙඩා තෙහෙට්ටු වෙන එක තවත් ගැටලුවක් .වෙලාවකට
ලෙඩ්ඩු බලන වෙලාවෙ  හදිසියකට ඇඳේ ඉන්න ලෙඩා හොයාගන්නත් බෑ නෑගම් ආ කට්ටිය ලෙඩා   වට කරගත්තම  ගිහින් පොකුරු පිටින්.එපා කිව්වම කියන මනුස්සයාව මැල්ලුම් හදන්න යන එක තමයි වෙන්නෙ.බොහෝ වෙලාවට ලෙඩෙක් බලන්න යන අය සීමා කරන්නෙ හැමෝගෙම හොඳ ට.සමහර වෙලාවට ලෙඩ්ඩු බලන පැය ඉවර වෙනකන් ලෙඩාට වෙනවා ආපු අයට ලෙඩේ විස්තර කරන්න.වෙලාවකට අල්ලපු ඇඳේ ලෙඩාගෙ විස්තරත්.බලන්න ආපු අයගෙ හිත නරක් කරන්නත් හොඳ නැහැනෙ.

ලෙඩාට වගේමයි කාර්‍ය මන්ඩලයටත් ඇති වෙන තෙහෙට්ටුව.සමහර වෙලාවට එකම ලෙඩා ගැන දහපාලොස් සැරයක් විස්තර අහනවා.වැඩක් නැති වෙලාවක වුනත් එකම දේ දහ දොලොස් සැරයක් අහන කොට කෙනෙක්ට හිතේ පොඩි නුරුස්නා ගතියක් ඇතිවෙන්නත් පුලුවන් කියලා හිතන්නෙ නම් නැහැ.

ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු බලන්න එන්න නියමිත වෙලාවක් වෙන් කරලා තියෙන බව දන්නවනෙ.
ඇයි මෙහෙම වෙලාවක් වෙන් කරන්නෙ?

බොහෝ වෙලාවට ලෙඩ්ඩු බලන්න එන වෙලාවට ඔබ දකින්නේ ඇඳක් උඩට වෙලා ඔබ එනතුරු බලාගෙන ඉන්න ලෙඩ්ඩුනෙ.නමුත් වාට්ටුවක බොහොමයක් රාජකාරි සිදු වෙන්නෙ මේ ලෙඩ්ඩු බලන පැයට කලින් හෝ පස්සෙ.රෝගීන්ට බෙහෙත් ලබා දෙන එක, වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන එක, වාට්ටුවේ සිදු කරන පරීක්ෂණ කරන එක , වෙනත් පරීක්ෂණවලට රෝගීන්  වෙනත් වාට්ටු,සායන, පරීක්ෂණවලට යොමු කරන එක  මේ ඔක්කොම සිදු කෙරෙන්නෙ ඔබ නොදකින වෙලාවෙ.ඒ බොහෝ විට ලෙඩාගෙ පුද්ගලිකත්වය ගැන සලකන නිසාවෙන්.

නමුත් කලාතුරකින් රෝගීන් බලන්නට වෙන් කරන වෙලාවෙත් යම් හදිසි ප්‍රතිකාරයක් හෝ පරීක්ෂණයක් වාට්ටුවේ හෝ වෙනත් තැනක සිදු කරන්නට වෙන වෙලාවල් තිබෙනවා.
මේ වගේ වෙලාවක ඔබට ලෙඩා බලන්නට මඟ හැරෙනවාට වඩා ලෙඩා වෙනුවෙන් සිදු කරන ප්‍රතිකාරය වැදගත් විදිහටයි අපි සලකන්නේ.

ඒ වගේම තමයි අල්ලපු ඇඳේ ඉන්න ලෙඩාට මොකක් හරි විශේෂ දෙයක් වෙනවනම් පෙරහැර බලන්න වගේ තමන්ගේ ලෙඩා අමතක කරලා දාලා එක වටේ පිරෙන අමුත්තෝ අපිට හරිම කරදරයක් .ඇතැම් වෙලාවකට මේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා ලෙඩ්ඩු බලන වෙලාවේ වුනත්  හැම කෙනාවම වාට්ටුවෙන් ඉවත් කරන්නට අපිට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා.

සමහර වෙලාවට විශේෂයෙන්ම පිළිකාවක්වගේ අසනීපයකදී ලෙඩා ගැන විස්තර ලබා දෙන්නෙ ලෙඩාට හා පවුලේ සමීපතමයන්ට පමණයි.මොකද ලෙඩාගෙ පුද්ගලිකත්වය අපි ගරු කරන නිසාවෙන්.
ඒත් ඉතින් ඒ වගේ අවස්ථාවකත්  ලෙඩා කියන්න අකමැති බව දැන දැනත් සමහර ඇත්තෝ ඇවිත් ඒ විස්තර සෞඛ්‍ය කාර්‍ය මන්ඩලය හාරාවුස්සලා දැන ගන්න හදන වෙලාවලුත් නැත්තෙ නෑ.

ඊලඟට ලෙඩා බලලා ඉවර වුනාම ගෙදර යන එක.මේ රාජකාරියට ලෙඩ්ඩු බලන්න එන උනන්දුව බොහෝ දෙනෙක් ට නැහැ.
ඒ වගේම බොහෝ අය වාට්ටුවෙන් පිටතට ගිහින්  පොකුරු ගැහිලා මිතුරු හවුල් පවත්වන්නෙ,මේක ඉස්පිරිතාලෙ  කියලා අමතක කරලා.කලිනුත් කිව්වා වගේ ලෙඩ්ඩු බලන වෙලාව අහවර වෙනකන් අපි බලාගෙන ඉන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් අපේ රාජකාරි ආපහු පටන්ගන්න.ඉතින් ඔබ වාට්ටුවෙන් ඉවත් වෙන්න වෙලාව ගන්නවා කියන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් අපෙන් වෙන්න තියෙන දේවල් කරගන්න ප්‍රමාද වෙන එකයි.
හුඟක් වෙලාවට රෝහල් ආරක්ෂක අංශයේ අයට සිද්ධ වෙනවා වාට්ටු ගානෙ ඇවිදිමින් මොන්ටිසෝරි යන පොඩි ළමයින්ට වාගේ වෙලාව මතක් කර කර ලෙඩ්ඩු බලන්න ආ ඇත්තො එළියට යොමු කරන්න.
ඒ වෙලාවට සමහර ඇත්තො තාවකාලිකව බීරො වෙනවා, සමහරුන්ට සිංහල තේරෙන්නෙ නැතුව යනවා.ලෙඩ්ඩු බැලිල්ල පැත්තක තියලා තමන්ගෙ රස්සාව කරන සිකුරුටි අංකල් එක්ක පැටලෙන්න යන ඇත්තොත් නැතුවා නෙවෙයි.

තවත් අපිට වෙන කරදරයක් තමයි ලෙඩ්ඩු බලලා යන්න එන ඇත්‍තන් දොස්තරගෙ රාජකාරියත් කරන්න යන එක.ඉස්පිරිතාලෙට රාජකාරි කරන අපේ එකම බලාපොරොත්තුව ලෙඩ්ඩු හැකි ඉක්මනින් සනීප කරලා ගෙදර යවන එක.හැම ලෙඩෙක් වෙනුවෙන්ම යම් සැලසුමක් අපිට තියෙනවා.ඒ සැලැස්ම අනුව ලෙඩාට වගේම ලෙඩාගේ උපස්ථානයට ළඟ ඉන්නා ඇත්‍තන්ටත් අපි උපදෙස් දෙනවා.ඒත් ලෙඩ්ඩු බලන්න එන සමහර ඇත්තන් අපේ මේ සැලැස්මවල් උඩු යටිකුරු කරනවා.කන්න දෙන්න එපා කියලා තියෙන ලෙඩාට බලෙන් ම ගෙනාව මොකක් හරි හට්ටියකින් ඩිංගක් කවලා යනවා.ළඟ ඉන්න ලෙඩාගෙ අයිතිකාරයා එක්ක කතාවෙන් අහුලගත්තු උපදෙස් මේ ලෙඩාගෙ අයිතිකාරයාගෙ ඔලුවට ඔබනවා.
තමන් දන්න ඔය ලෙඩේම හැදිච්ච කෙනෙක් මාස දෙකෙන් මැරිලා ගිය හැටිය ලෙඩාටයි අයිතිකාරයාටයි ච්ත්තරපටිය වාගෙ විස්තර කරලා කියනවා.
එහෙමත් නැතිනම් මේවාගේ අසනීපවලට ඉස්පිරිතාලෙ බෙහෙත් අල්ලන්නැති විත්තියත් අහවල් තැන බෙහෙත්වලින් තමන්ගෙ අල්ලපු ගෙදර අක්කාගේ නැන්දාගේ පුතා එක්ක එක බස් එකේ ඉස්කෝලේ ගිය හාදයාගේ මල්ලිගේ නෝනාගේ සාරිහැට්ට මහන නැන්දාගේ මහත්තයා මේ අසනීපය නිට්ටාවට සනීප කර ගත්තු බවත් වගකීමෙන් කියා හිටිනවා .ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙද්දී ලෙඩාටත් ගෙදර ඇත්තන්ටත් හිතේ අමාරුවටත් බෙහෙත් කරන්නට වෙලා අහවරයි.

ගිලානෝපස්තානය කියන්නේ ඇත්තටම උතුම් දෙයක්. නිවැරදි අවබෝධයක්  ඇතුව  කරනවා නම් ලෙඩ්ඩු බලන්න යන ඔබෙන් ලෙඩාට හොඳක් වෙනවා වගේම ඔහේ යන්නන්වාලේ ලෙඩ්ඩු බලන්නට යාමෙන් වෙන්නේ ඔබත් ලෙඩාත් දෙන්නාටම අපහසුවක් වෙන එකයි.

ඉගිලෙන ලියමන් 2019.07.12

මාලුවෝ

මල්ලි තඩියා ඉපදෙනකොට මංතුමී එකේ පන්තියට පාස් වුනා විතරලුය.මල්ලි ඉපදුන ඉස්පිරිතාලේ එළියේ මාලු ටැංකියක් තිබුනාලු ය.ඕකේ වරල් ගගහා ඉන්න ලස්සන මාලු බලබලා උන්නු මංතුමීව අප්පොච්චි එක්කහු කරගෙන ගියේ මවුතුමීගේ තුරුල්ලේ ඉඳං ලවක් දෙවක් නැතිව යටිගිරියෙන් බෑගිරි දෙන කොලු පැටියෙක් පෙන්නන්ට ය.කොලුවා දිහා බලා මූණ නොරොක් කරගත් මංතුමී අපි යං තාත්තේ මාලු බලන්න කිව්වාලු ය.

නෑ මේ ලියන්නේ මාලු ගැන මිස මලයා ගැන නෙවේ ය.

ඇච්චං කාලේ හිටං ම වීදුරු ටැංකිවල මාලුන්ට මංතුමී ඒ තරන් ඇල්මක් නෑලු ය.වීදුරු ටැංකිවල ඉන්නා මාලුන්ට හිත් ඇදගන්නා පාටවල් තියෙනා බව ඇත්ත ය.මවුතුමීගේ සාරිපටලවා ගෙන වාගේ උන් ආඩම්බරෙන් එහා මෙහා පීනද්දී පොඩි ගතියක් නැත්තේ නැති ය.

ඒත් ඊට වඩා මංතුමී මනාප උදේ ස්කූල් වෑන් එක එනතුරු අප්පොච්චා එක්ක පාර අද්දර බලා හිටිද්දී බෝක්කුව අස්සෙ හැංගෙන පොඩිත්තං ලෝකල් මාලුන්ටය.නිවාඩුවට අම්මාගේ මහගෙදර ගියාම නාන්නට යන වෙලේ ළිඳේ අත පොවන මානෙට ඇවිදින් ඔච්චම් කර අතුරුදහන් වෙන දුඹුරු පාට මාලුන්ට ය.

අප්පුච්චාට නොසෑහෙන මාලු පිස්සුවක් තිබුනේ ය.උන්දැලා පොඩි කාලේ මාලු ඇති කළ මතක බිඳුණ මාලු ටැංකි මතක හැටියට සෑහෙන කාලයක් මහගෙදර තියෙනා බව මතක ය.බාල කාලෙ ලෑන්ඩ්ෆෝන්  ගේ පිටිපස කොන්ඩෝලවලේ  වලේ මාළු අල්ලපු විස්තර අප්පොච්චා කියද්දී පවුකාරකම කියා මවුතුමීගෙන් බැනුම් වරුසාවක් වරදින්නේම නැත.

මාතර ගෙදර මාලු ඇති කිරිල්ල අපුච්චා සැලැසුම් කරන්නේ මහා පරිමාණයෙන් ය.ඉස්සරහ මිදුලේ පැත්තක සිමෙන්තියෙන් බැඳ ටයිල් කරන ලද මහා මාලු ටැංකි රාජයා බාත්ටබ් එහෙකටත් වඩා මහා පරිමාණ ය.ටැංකි රාජයා ගේ පැළකරන්නට ජලජ පැලෑටි වෙනමම   හොයාගෙන ආවේ නිල්වලා ගඟේ මොකද්දෝ පොඩි දූපතකිනි.

කළු පාට ගොගල් අයිස් ලා, රතු පාට සුදු පාට ගෝල්ඩ් ෆිශ්ලා, තැඹිලි පාට ගෝල්ඩ් ෆිශ්ලා, ක්‍රීම් පාටට හුරු ඒන්ජල්ලා රොත්තක් මේ මාලු බෝඩිමේ ආරම්භක සාමාජිකසාමාජිකාවන් ය.
ඇත්තටම මේ මාලු ටැංකිය මාලුන්ට තරුපහේ හෝටලයක් හැටියට පෙනෙන්නට ඇතිය.
අලුත් ටැංකි රාජයා විවෘත කර මාළු රොත්ත ගෙට ගෙවැදීමේ මංගල්ලය සිදු කරන ලද දවසේ වැල් පුටුවක් ටැංකිය අද්දරින් තියාගෙන අප්පොච්චි මාලු නැරඹුවේ සෑහෙන සතුටින් ය.

ඒ සතුට තිබ්බේ දවස් දෙකතුනක් ය.නිල් කැටේට තිබුණ ටැංකියේ වතුර ටික වහගෙන කොළපාට පාසි තට්ටුවක් බැඳෙන්න ගන්නවාය.දවස ගානේ වතුර අයින් කළත් දවසක් යද්දී නැවතත් ඒ සෙතේමය.ඉතින් අප්පොච්චිගේ ටැංකි රාජයා දැන් බේරේ වැවේ අනු ශාඛාවක් වෙලා ය.

අලි මදිවට කොටි කියා මුන්දැගේ ගෝල්ඩ් ෆිශ් ලා ලන්ච් එකට ගන්නට කොක් හාමි කෙනෙක් සෙට් වෙන්නේ මේ දවස්වල ය.කොකාගේ වාරය ආවාට ගෝල්ඩ් ෆිශ්ලාට වාරයක් නොඑන්නේ වෙන සංගෙදිය අපි හොයාගනිද්දී අන්තිම ගෝල්ඩ් ෆිශ්වත් කොක්හාමි වළදන්නට ගෙනියන ගමන් වෙච්චි හින්දා ය.ඒ ගමන මාලු ටැංකි රාජයා උඩින් තඩි දැලක් ලෑන්ඩ් කරනවා ය.මාලු හාමිලා මදිවාට ඉස්ගෙඩීස් ලා දෙක දෙක බකබකස්ලාත් අනවසරයෙන්ම  මාලු ටැංකියේ පදිංචි වෙනවා ය.කලාතුරකින් කොළ පාට වතුර අස්සෙන් එබෙන මාලුවෙක් දිහා බලනවාට වඩා මිදුල පුරා පැන පැන යන ගෙඹි ප්‍රජාව දිහා බලන එක ලෙහෙසි වෙනවා ය.

දහම්පාසල් යන්න මල් කඩන්නට මාලු ටැංකියේ දැල උඩට නැගගත් මංතුමී දැලේ පැත්තක් කඩාගෙන මාලු ටැංකියට වැටුනා මතක ය.මාලු ටැංකිය දිගේ බඩගා ඒ  අද්දර  වූ චෙරි ගහ සුද්ද කරන්නටම අපේ දිහෑ ඈ මංතුමීගේ මිතුරු කොලු නඩේනම් එකෙක්වත් ඒ විදිහට මාලු ටැංකියට වැටුනේ නැති ය.

අපේ උන්දෑගේ ගෙදරත් මින් මැදුරක් විත්තිය දැන්ගන්නේ හා හා පුරා කියා අපේ ගෙදර ඇත්තෝ එහේ ගිය දවසේ ය.මිදුලේ විශාල ටැංකිවලත් උඩහ මඩුවේ වීදුරු ටැංකිවලත් හැදුනේ වැඩුනේ උන්දැගේ අප්පොච්චිගේ විවේක කාලය අත්පත් කරගත් මාලු රොත්ත ය.දවසේ ඕනැම වෙලාවක සීයේ මාලු ඉන්නවාදැයි අහගෙන එන  උන්දැගේ මාලුන්ට හිත ගිය ගමේ කොලු කුරුට්ටන් ය.

කරවනැල්ලේ නැවතීගෙන බට්ටිත් බලාගෙන ඉස්පිරිතාලෙත් දිව්ව මංතුමීට වැඩ මදි බවත් ඒ හින්දා මාලු ටැංකියකුත් නඩත්තු කළයුතු බවත් තීරණය කරනා මවුතුමී බෝලගෙඩියක හැඩේ ඇති මාලු ටැංකි පොඩිත්තක් මංතුමීට තෑගි දෙනවා ය.අඳුරන හිතවතෙක්ගේ මින් මැදුරෙන් මාලු රොත්තකුත් පොඩිති ගල්, ඔක්සිජන් ටැංකි, හයිඩ්‍රිල්ලා පැල, ඔය ඔක්කෝම පැහැරගෙන ඇවිදින් කරවනැල්ලේ මාලු ටැංකියක් ඇටවෙනවා ය.එවකට හිච්චං කෙල්ලෙක් උන බට්ටිට මාලු ගැන ඒ තරම් ඇල්මක් නැති ය.ඉඳහිට ඇවිදින් ෆිශ් ෆිශ් කියා ටැංකියට තට්ටුවක් දමා යනවා මිස මාලු අතට අරන් බලන්නට එහෙම අදහසක් දෙයියනේ කියා ඒ දවස්වල උන්දෑට තිබුනේ නැති ය.

ළමයි බැලිලි ,ලෙඩ්ඩු බැලිලි අස්සේ මාලු ටැංකි සුද්ධ කිරිලි, ටැංකියෙන් එළියට පනින මාලු ඇහිලිලි කරමින් මංතුමී දිවි ගෙවනවා ය.
බට්ටි බලාගන්න එන අප්පොච්චි එක්තරා දවසක උදව්වට ගොහින් මාලු ටික වැලිගම් යවනවාය. අමතක වී ටැප් වතුරෙන් සංග්‍රහ කළ නිසාවෙන් මිය ගිය මාළු රෑනේ අවසන් කටයුතුවලින් පස්සෙන් පහු ආයෙමත් කරවනැල්ලට මාලු පීනන්නේ නැති ය.

අම්මාගේ අඩිපාරේ යන බට්ටිගෙත් වැඩි මනාපය නිදහස් මාලුන්ට පාට ය.ඉතින් ටැංකිවල පීනන පාට පාට වරල්වලට වැඩිය උන්දෑට ඕනෑ ගෙවල් ළඟ ඇල පාරේ ඇබිත්තං මාලු අහුරුවලට ටටා බායි කියන්න ය.
කොහොමත් නිදහස් ජීවිත ආදරේ නිදහසටම නොවැ.

ඉගිලෙන ලියමන්
2019.07.12