කරුණානායක උන්නෑ හේ ඉළන්දාරි කාලේ ඉඳලාම කුකුළාය.
උන්දෑ ගෙදර පැත්තේ එනවා දැක්කොත් තාත්තා අක්කලා දෙන්නාත් අම්මාත් පමණක් නොව වළ පයයි ගොඩ පයයි ඉන්නා අත්තම්මා ද දුමට නග්ගලාය උන්දෑ පිළිගන්න යන්නේ.
කරුණානායක උන්නැහේ වැඩ කලේ මුදල් අමාත්‍යංශයේ ය.සතියේ හැමදාමත් ජැන්ඩි පහට ඇඳගෙන මායියා ඔතා දෙන බත් ගෙඩියක් ඔතාගෙන ගජ මිතුරා වන සේනාරත්න උන්නැහේ එක්ක රේල්ලුවට පිටත් වෙන්නේ වැඩට පිටත් වෙන්ටය.ආයෙත් උන්දැලා ගෙදර එන්නේ බිං කරුවල වැටෙද්දීය.
කරුණානායක උන්නැහේ මනමාල කුරුල්ලා බව ගමේ කොයි කවුරුත් පාහේ දන්නා නිසා ගමේ බවලතෙක්ට කිට්ටු කරන්නට උන්දෑට පුලුවන් කමක් තිබුනේ නැත. ඒත් නොයෙක් රාජකාරිවලට ටවුමට ගිය වෙලාවට කරුණානායක උන්නැහේ විවිධාකාර වූ ලලනාවන් එක්ක එහේ මෙහේ යනවා දුටු පිරිස නම් බොහෝම ය.ඒත් ඒ ගැන කවුරුත් කරුණානායක මායියාගේ කනේ තියන්නට වුණේ නැත්තේ ගෙදර සුමේ කර කර නහිනවා මදිවාට මේ ගින්දර දී ඒ මනුස්සයාට ප්‍රෙශර් හදවන්නට හොඳ නැතැයි හිතුනු නිසා වෙන්ට ඕනෑය.
සෙනසුරාදා උදැහැනැක්කේම පික් මී එකක් ඇවිදින් කරුණායක උන්නැහේගේ ගේ ඉස්සරහා නවත්තා එළියට බැහැ ගත්තේ තඩි බඩගෙඩියක් උස්සාගත් බවලතෙකි.
"කරුණානායක ඉන්නෙ මෙහෙද?"
"ඔව්, ඇයි මොකද්ද උවමනාව?"මිදුල අමදිමින් හිටි කරුණානායක මායියා විචාලා ය.
"මේ කරුණානායකගෙ අක්කා ද?"
"අක්කා? මම එයාගේ නෝනා.මොකද්ද උවමනාව කිව්වුනම්"
කරුණානායක මායියා ඇසුවේ එන පොට හොඳ නැති වග දැනෙන්නට ගද්දී ය.
"නෝනා ?ඔහේ කොහොමද නෝනා වෙන්නෙ .මම නෙ එයාගෙ නෝනා.මේ බඩේ ඉන්නෙ එයාගෙ ළමයා."පික් මීයෙන් ආ බවලතා බෙරිහන් දෙන්ට ගත්තාය.
"මොකද්ද නෝනේ සද්දේ "කියාගෙන එළියට ආ කරුණානායක ගොයියා වෙන්න යන සන්තෑසිය දැක ආයෙත් ගේ ඇතුලට දුවන්න හැරුනේය.
"ඔහොම හිටියනම්.මොකද්ද මේ ගෑනියෙක් ඇවිදින් ඔහේගේ නෝනා ය කියන්නෙ.මෙහාට ආවනම් ඔහොම්මම"මායියාගේ ගෝරණාඩුව ඔස්සේ කරුණානායක ගොයියා තෙමුණු කුකුලෙක් ලෙසට ගේට්ටුව දිහාට ඇදුනේ ය.
"මොකද්ද මිනිහෝ මේකේ තේරුම.තමුසෙ මට කිව්වෙ තමුසෙට ඉන්නෙ අක්කා කෙනෙක් කියලනේ.තමුසෙ බොරු කියලද මාව කසාද බැන්දෙ?" අලුත් බවලතාද මායියාට නොදෙවෙනි වෙන්නට ගෝරණාඩු කරනවා ය.
"කසාද බැන්දා ? මම ඔහෙව? මට මතක නෑනෙ" කරුණානායක මහතා ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.
"ඈහ්.මතක නෑ යකෝ.මේක මාර කතාවක් නේ.එතකොට මේ බඩේ ඉන්න එකා?"
"මම දන්නෙ නෑ."
"හුහ් එව්වා කොහෙද මාත් එක්ක.විමලා කමලා,ඔය පෙට්ටගම අරගෙන බහින්න"
අලුත් බවලතා ගේ හඬට පික්මීයෙන් බැස්සේ කරුණානායක මහතාගේ කපාපු පලුව වාගේ දැරිවියන් දෙපළකි.
පෙට්ටගම පෙරළා කසාද සහතිකේකුත් දැරිවියන්ගේ උප්පැන්න සහතිකත් ඇද ගත් අලුත් බවලතා ඇසුවේ එතකොට මෙව්වා නිකුත් කරපු ඇත්තන්ට ඔහෙට වගේ අවසිහිය දැයි කියාය.
අද දෙකෙන් එකක් බේරාගන්නට ආ බවත් ළමයා ලැබෙන තුරු මෙහේ නවතින බවත් කියමින් උන්දෑ පික් මීයේ පැක් කර තිබූ බඩු බාහිරාදිය එළියට අදින්නට ගත්තා ය.
කරුණානායක මායියා ඉදල උරුක්කරගත්තේ මෙතුවක් කල් අතට අහු නොවී පැන්න කොටු ඔක්කොටම හරියන්න ගෙදර උන්දෑට සංග්‍රහ කරන්නය.
"හෝවි හෝව් පොඩ්ඩක් ඉන්න දෙන්නම.ඕකට කලබල වෙන්න දෙයක් නෑ.දෙන්නාටම උත්තරේ දෙන්නම් මම"කරුණානායක ගෙට පැනගත්තේ ය.
විනාඩි දෙක තුනක් ගත් විය.ටියුලිප් බෑගයක ඔතා ගත් යමක් කිහිල්ලේ ගසා ගෙන අඩියට දෙකට ගෙයින් එළියට බැස්ස කරුණානායක පිළිතුරු බලාපොරොත්තුවෙන් උන් බවලතුන් මැද්දෙන් අඩියට දෙකට ඇදුනේ ය.
"අපේ නෝනා ඔහේ මගේ කසාද නෝනා .ඒක ඇත්ත"
"එතකොට මේ වයලට්.උන්දැවත් මම බැන්දා .ඔය ළමයි රොත්තත් ඉතින් මගේ තමා."
"ඒත් ඉතින් ඔහේලා ඕකට කලබල වෙන්න ඕනෙ නෑ.ඔහෙලා ඔක්කොටම බැරියැ ඔය ගෙදෙට්ට වෙලා ඉන්න"
"එතකොට ඔහේ?" ඒ නෝනලා ය.
"සිම්පල්නේ.මම ඉල්ලා අස්වෙනවා"
කරුණානායක නග්ගාගත් පික්මීය පවනට බඳු වෙගෙන් ඉගිල්ලෙද්දී නෝනලා මූණට මූන බලාගත්තාලු.
No comments:
Post a Comment