Thursday, August 24, 2017

ඔමරි කරන සාරි

කෑගලු රෝහලේ සම්මන්ත්‍රනේකට සහභාගී වෙන්ටය කියා ඉහලින් ඕඩරේ ආවේ ගිය සතියේය.පූරුවේ පවකට ඕපීඩී එකට ආ නිසා හතර දිබ්බාගේම තියෙන සම්මන්ත්‍රන වැඩමුලු බහුතරයකට සම්මාදම් වීමේ වාසනාව අපේ ඇත්තන්ට තියෙනවාය.

කෑගලු යාම ගැන ඇහුන ගමන් ඇඟ හිරිවැටෙන්නට හේතු බොහෝමය.දහ අට වංගුවට වඩා ඩිංගිත්තක් අඩුවෙන් වංගු තියෙනා පාරේ ගිහින් කෑගල්ලෙන් බහින වෙලාව වෙන විට තුන් ලෝකයම කැරකෙනා ලෙඩක් හැදෙන එක එකකි.බට්ටිව ගෙදර දමා ගොස් කීයට එන්න වේදැ යි නොදන්නා එක තවත් එකකි.ඔය ඔක්කෝටමත් වඩා බරපතල පුරස්නේ සාරියක් පටලාන යන්නට වෙන එක ය.

සාරි ඇඳිල්ල කවදත් මට වහ කදුරු වාගේ වෙන්නට ලොකුම හේතුව අම්මාගේ සාරි ඇඳිල්ල දිහා බලා ඉඳිල්ල වෙන්ට ඕනෑය.අම්මා සාරිය අඳින්නට හැට පැයක් ගන්නවාය.හැමදාම අම්මාට පරක්කු වෙන්නේ සාරි ඇඳිල්ලෙන් ය.කී සැරයක් ඇන්දත් අම්මාගේ හිතට හරි යන පාටක් ද නැත.සාරි ඇඳිල්ල මෙඩිකල් කොලීජියේ ෆයිනල් එකටත් වඩා බැරෑරුම් කටයුත්තක් බව මගේ ඔලුවේ තාමත් කැරකෙන්නේ අවුරුදු ගානක් අම්මාගේ සාරි හටනේ ඇසින් දුටු සාක්කි කරුවෙකු වීම හන්දා විය යුතුය.

මට නම් සාරිය අඳින්නට එච්චර වෙලාවක් යන්නේ නැත.කොහොමටත් අම්මාට වගේ වරු ගණන් සීරුවට පිලිවෙලට පොට හදා රැලි ගසා සාරි අඳින්නට ඉවසීමක් මට නැති බව සක්සුදක් සේ දත් නිසා එහෙව් පිලිවෙලක් මගෙන් බලා පොරොත්තු වෙන එක අසාධාරණ ය.සාරිය අඳිද්දී මට තියෙන එකම බලාපොරොත්තුව කකුල් අස්සෙන් වෙට්ටු නොදමා අතරමග බිමට පත නොබෑවී ගෙදර එනතුරු සාරිය ඇඟේ ඉතුරු වෙන එකය.සාරි කටු/හැට්ට කටු/ආය කටු/යතුරු කටු(ඔබට අදාල ප්‍රාදේශිය වහර තෝරා ගත හැක)දුසිමක් පමණ අඟලෙන් අඟලට තියා වෙලාවකට හමත් අහුවෙන්ටම ගැහුවත් මගේ කල්කිරියාව අනුව එසේ නිරුපද්‍රිතව ගෙදර එන්නට සාරියට සෑහෙන යුද්ධයක් කරන්නට වෙන එක් අනිවාර්‍ය ය.

විනාඩි පහෙන් සාරිය ඇඳ ගත්තත් වෙනදාට විනාඩි පහෙන් යන ගමනට සාරියේ එතුනාම පැය දෙකක් විතර ගත වෙනවාය.ඒ මදිවාට සාරියට අනිවාර්‍ය බොරු කකුල් ජෝඩුවත් දා ගත් විට හොම්බ බිම ඇනී ට්‍රොලියකින් රෝහලට නොයන්නට නම් ගොලුබෙල්ලෙක්ටත් වඩා හෙමින් ගමනක් තිබිය යුතුය.

සාමාන්‍යයෙන් මේ වගේ විපතක් මට වෙන්නේ කලාතුරකින් නිසා මට තිබෙන්නේ එකම එක සාරියකි.අවසානයට ජනේරුවේදී සාරි හැට්ටයට බැස්ස මට ආහාර පානාදියෙන් කිසිම අඩු පාඩුවක් වී නැති බව සාරි හැට්ටයට බහිනා පෙරහුරුවේදී පසක් විය.හැට්ටේ මැසූ නැන්දාට පින් සිදු වෙන්නට මැහුම් වාසි උදව්වට ගෙන මේ වරට විතරක් ම සාරි හැට්ටයට රිංගා ගත්තේ පොල් තෙල් බෝතලයකත් ආධාර උපකාරයෙනි.

සාරියත් හැට්ටයත් සොයා ගත්තාට සාරිය තරම් ම වැදගත් යට සාය ගෙදර දමා ඇවිත් බව මතක් වුනේ කෑගලු ගමනට කලින් දා රෑ ය.අල්ලපු ගෙදර ටීචර් නෝනා යට සායකින් ආධාර කලත් ඒ ඇත්තිය මගේ වැලමිට හරියට පමණක් උස  නිසා යට සායට ඇන්දාම සාරියට ගංවතුර ගලපු  පාට ය.

අම්මාගේ සාරි ඇඳිල්ලට තමාගේ දායකත්වයත් නොමසුරුව ලබා දුන් අපේ දෝනියන්දෑ මැදපු සාරිය දිය ඇල්ලක් ලෙස භාවිතා කිරීම,අම්මාගේ බොරු කකුල් ඇඳ යට හැංගීම වැනි ක්‍රියාකාරකම් හරහා ඇගේ සහයෝගය ලබා දුන්නාය.

කොහොමින් කොහොම හරි පටලාගත් සාරියට අටවාගත් බොරු කකුල් මාරු කරගෙන රෝහලට යද්දී හුඟ දෙනෙක්ට වාසනාවකට මා අඳුනා ගන්නට බැරිය.අඳුනාගත් දෙතුන්දෙනා  කේශාන්තයේ සිට පාදාන්තයට බැලූ බැල්මට මම හැරී බැලුවේ සාරිය මග හැලී යටසාය විතරක් ඉතිරි වී වත් දෝ කියා ය.

අලි මදිවාට හරක් කියා කෑගලු යන්නට ඇත්තේ ඔක්සිජන් ලොරියේ ය.සාරියත් බොරු කකුලුත් එකතුව ලොරියට නගින සෙල්ලමට වඩා එවරස්ට් නැගිල්ල ලේසි වෙන බව ඒකාන්තය.හොඳ වෙලාවට කෑගල්ලේ මම අඳුරන මොකෙක් වත් නැත.පෝරනු සාලාවක සාරියත් පොරවාගෙන පැය ගානක් තැම්බී ගෙදර එද්දී බොරු කකුල් වලට කකුල් වල තුවාල ඉස්ම බේරෙනවා ය.කොරවක් වන්නමෙන් ගෙදර විත් රෙදි උනා කොට කලිසමකට හා හැට්ටයකට බැස කකුල් දෙකේම ප්ලාස්ටර් අලවා ගත්තාම එහා ගෙදර නැන්දා හිතුවේ ඉන්තේරුවෙන්ම මම සාරිය පැටලී අඩව්වක් අල්ලා තුවාල කරගෙන බවය.

සාරිය හොයාගත් එකා හමු වුනොත් මම මුකුත් කරන්න යන්නේ නැත.මට කලින් උන්දෑ පරලොව යවන්නට දත කට මැදන් ඉන්නා බවලතුන් අනන්තය අප්‍රමාණය.ඉතින් ඔය යකා අහවරක් කර ඔය ඇත්තියන්ගේ උදහසට ලක්වෙන්නට මට ඕනෑම නැත.

ලබන ආත්මේ නම් සාරි නැති රටක ඉපදෙන්නට පින් රැස් කරගන්නට අපි හවස පන්සල් යන්න හිතන් ඉන්නවා ය.

No comments:

Post a Comment