විභාගෙකට කොළඹ යන්න පික් මී එකකට ගොඩ වුනේ තද හිස රදේකුත් එක්ක.යන්න ඕන තැන කියලා ඇස් දෙක පියා ගත්තා පැන්ඩෝල් දෙක.ඉක්මනට වැඩ කරන්න කියලා හිතන ගමන්.
"මිස් ඩොක්ට කෙනෙක් ද?"
මේ හාදයා එක්ක කනක් ඇහිලා යන්න හම්බෙන්නෙ නෑ.මගෙ ඔලුවෙ කැක්කුම වැඩි වෙයි කියලා හිතුනත් මනුස්සයෙක්ගෙ හිත රිද්දන්න බැරි දුර්වල කම තියෙන නිසා ඇස් ඇරලා"ඔව්" කියලා උත්තර දිලා ආයෙමත් ඇස් පියා ගත්තෙ මම කතාවට කැමති නැති බව මේ යෝදයාට තේරෙන්නත් එක්ක.
"මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්"
සාමාන්‍යයෙන් අද මුණ ගැහිච්ච දන්නෙ නැති මනුස්සයෙක් ට පිරිමි පරාණයක් නොකියන කතාවක් නෙ.
මට ඇස් අරින්නම වෙනවා.
"මට කෝල් කරලා කිව්වා දැන් ඔලුව රිදෙනවා කියලා.මට හිතට බයයි ගෙදර තනියෙන් ඉන්න නිසා" පික් මී හාදයා ප්‍රෙග්නන්ට් බිරින්දෑ ගේ කතා වස්තුව මගේ කැමැත්ත අකමැත්ත නොසලකා මගේ ඉදිරියේ දිග හරිනවා.
මේ ඒ අයට හම්බ වෙන්න ඉන්න පලමු වෙනි දරුවා.තාම මුල් මාස කීපය ගෙවෙන්නෙ.බිරින්දෑ ගෙ අම්මා ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.නැන්දම්මා දැනටමත් කතානායකගේ නංගිගේ දරුවා එක්ක ඔට්ටු වෙන නිසා බිරින්දෑගෙ තනියට ගෙන්න ගන්න අමාරුයි.
හම්බෙන්න ඉන්න බබා ගැන කතා නායකට මගෙන් අහන්න ප්‍රශ්න පත්තරයක් ම තියෙනවා.ඔලුවෙ අමාරුව පැත්තකින් තියලා මම පුලුවන් විදිහට උත්තර දෙන්නෙ මාත් අවුරුදු දෙකකට කලින් ඔතැනම හිටපු බව මතක් වෙන නිසා.
"අපි දැන් ම බබෙක් හදන්න නෙවෙයි හිටියෙ ඩොක්ට"
ඒ හාදයා ඒ පාර තවත් බෝම්බයක් අතාරිනවා.කතානායක ට වයස අවුරුදු තිහක් විතර ඇති.නෝනා ත් ඒ වයසම වගේ හෝ.ඊට අඩු වෙන්න ඇති.විදේශ ගත වෙලා හිටපු දෙන්නා ලංකාවට එන්නෙ ටික කාලයකින් ආයෙමත් රට යන්න බලා ගෙන.කීයක් හරි හම්බ කරගෙන ජීවිතේ ටිකක් ස්ථාවර තැනකට ගෙනත් අලුත් ජීවියෙක් ගැන හිතන්නයි මේ ජෝඩුව හිතා ගෙන හිටියෙ.ඒත් මේ ජෝඩුව වට පිටාවෙ හිටපු හැමෝටම ලොකූම ප්‍රශ්නෙ වුනේ මේ දෙන්නට ළමයෙක් නැති එක.
"අපිට හරිම වදයක් වුනා ඩොක්ට මේක.අපිට පාටි එකකට යන්න නෑ.යාලුවෙක් ගෙ ගෙදර යන්න නෑ.වෙන එකක් තියා මගේ ඉස්කෝලෙ ගෙට් ටුගෙදර් එකකට ගියාම යාලුවොත් අහන්නෙ ඇයි බබෙක් නැත්තෙ අපිට මොනවා හරි ප්‍රශ්නෙ තියෙනවද කියලා.ඇයි අපේ ඉස්සරහා ගෙදර අක්කා ?මම කාගෙ හරි පොඩි එකෙක් නිකමට හරි වඩා ගත්තොත් ඔහොම හිටියොත් හැමදාම වෙන්නෙ අනිත් අයගෙ ළමයි වඩා ගෙන ඉන්න තමයි කියනවා.මට ගහන්න හිතෙනවා වෙලාවකට"
මේ ජෝඩුවට ළමයෙක් හදන්න බැරි හේතුවක් නොතිබුනත් මිනිස්සුන්ගෙ කතන්දර අහලම ඇත්තටම ළමයෙක් හදන්න බැරි වෙයිද කියන බය මේ දෙන්නට එනවා.කිසිම සැලසුමක් නැතුව දෙන්නා ළමයෙක් හදන්න ගන්නෙ ඊට පස්සෙ.
ඇත්තටම මහ මෝඩ වැඩක් .කවුරුවත් කිව්ව පලියට තමන්ගෙ ජීවිතෙ තීරන ගන්න එක,ඒ මදිවට තව පොඩි එකෙක් ගෙ.මට ඉස්සර වෙලාම එහෙම හිතුණා.ඒත් මම එහෙම කිව්වා නම් කතානායක තොමෝ තවත් අසරණ වෙනවා.අනික ඒ මනුස්සයා හිටපු තැන මම හිටියානම් මමත් ඒ දේම කරන්න ඉඩ තියෙනවා සමහර විට.
බහින තැනත් කිට්ටු වුන නිසා අර මුකුත් නොකියා ඒ මනුස්සයාට නෝනාට කරදරයක් නැතිව බබා ලැබෙන්න කියලා විශ් කරලා විතරක් මම බැස්සා.
ආයෙත් ඔය කතාව මතක් වුනේ අදත් තව යාලුවෙක් කියපු කතාවක් නිසා.ඇත්තටම දරුවෙක් හදන්න ආසාවක් තිබුනත් මොකක් හරි හේතුවක් නිසා මේ හාදයාටයි නෝනාටයි තාම ඒ වාසනාව ලැබුනෙ නෑ.දරුවෙක් නැති එකටත් වැඩිය එපා වෙන්නෙ එක එක්කෙනා ඒක මතක් කර කර ඇහැට ඇඟිල්ලෙන් අනින කොට කියලයි ඒ ඉලන්දාරියා කිව්වෙ.
ආසියාතික ලංකාවෙ අපි වැඩිපුර අපේ නෑ හිතමිතුරන්ගේ සුභසිද්ධිය ගැන හොයනවා .අල්ලපු ගෙදර මනුස්සයා ගේ ඇතුලෙ මැරිලා කුණු වෙලත් ඒ වගක් නොදන්න බටහිර රටවල්වල ආරෙට වැඩිය ඒ සුහදකම වටිනවා තමයි.ඒත් මට හිතෙන්නෙ ඒ සුහදකම වටින්නෙ අදාල මනුස්සයගෙ පුද්ගලිකත්වයට අපෙන් හානියක් නොවෙන තාක් විතරයි.
හැම මිනිහම කසාද බඳින්න ඕනෙ කියලා නීතියක් නැහැනෙ.බඳින නොබඳින එක,ළමයි හදන නොහදන එක,දික්කසාද වෙන එක,එකී මෙකී නොකී දේවල් ඒ මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය.උදව් කරන්න අවශ්‍ය මයි කියලා හිතෙනවා නම් හිත නොරිදෙන විදිහකට ඒ ගැන වරක් කතා කරලා උදව් අවශ්‍ය නම් තමන් ඉන්නවා කියලා මතක් කරලා පැත්තකට වෙන එක ,දකින දකින් හැම වෙලේම ඒ මිනිස්සුන්ගෙ ජීවිත වලට අත් දාලා තැලිච්ච් හිත් සමහරවිට තවත් තලන එකට වඩා හොඳ වෙයි මට හිතෙන හැටියට.
දැන් ම බඳින්නෙ නැද්ද?ඇයි බබෙක් හදන්න අදහසක් නැද්ද කියලා අහන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් හිතමු ද?
ඒක නං විකාරයක්. උපන් වෙලාවෙ ඉඳල අනිත් අයට ඕන විදියට තමා ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.
ReplyDeleteYup
Delete