මොරටුව කැම්පස් එක ඇතුලේ හිටපු බල්ලන්ව අයින් කරන්න හදපු වෙලාවක වීඩියෝ එකක් දාලා තියෙනවා මූනු පොතේ ඉන්න මල්ලි කෙනෙක්.මේ ඉලන්දාරියා අසරණ වෙච්ච් බල්ලන් පූසන් වගේ සත්තු ගොඩ දෙනෙක් ගොඩ දාන්න බොහොම මහන්සි වෙන නිසා මම බොහොම අගයන කෙනෙක්.මොකද හැමෝම තමන් ගේ හෙට ගැන හිතන වෙලේ මේ කොල්ලා තමන්ගේ දුක කියා ගන්බ බැරි සත්තු වෙනුවෙන් පෙනී හිටින නිසා.
හැබැයි කවදාවත් නැතුව තරහ ගියේ මලයා මේ වැඩේ ට සයිටම් එක ගාව ගෙන තිබ්බ නිසා.සයිටම් එක වහන්න කෑ ගහන අයට මේවාට කතා කරන්න බැරිද කියලා මල්ලි අහන විදිහ නම් එච්චර හරි මදි ,හිතේ තියෙන ආවේගෙට වෙන්ටැ.කමෙන්ට් කරපු උදවියත් දෙයියනේ කියලා මොරටුවෙ කොල්ලොන්ගේ පලු ඇරලා තියෙනවා. හරියටම වුනු දේ මම දන්නෙ නෑ.එක ළමයෙක් දාපු වීඩියෝවකින් හැමෝගෙම ආකල්ප මනින අමාරුයි කියන එක තේරෙන්න ඕනෙ. මට මතක හැටියට ජපුරෙ හිටපු බල්ලො අල්ලගෙන ගිහින් ළමයි ඒකට මැදිහත් වුණා.මෙතැන ළමයි මේක ගැන දැනන් හිටියද නැද්ද මම දන්නෙ නෑ.
අහිංසක සතෙක් දුක් විඳිනවා දැක්කම ඕන හිතක් තියෙන මිනිහෙක් ට රිදෙන නිසා මට පොඩි එකා ගේ හිතේ අමාරුව තේරෙනවා.ඒත් මට තියෙන හිතේ අමාරුව සයිටම් එකයි කැම්පස් එකේ බල්ලො අල්ලන එකයි එක වගේ නෙවෙයි කියන එක කොලූට සහ බහුතරයක් මිනිස්සුන්ට තාමත් නොතේරෙන එකයි.
අද උදේ ඕපීඩී එකේ අපි ලෙඩ්ඩු තුන්සිය ගානකට එහා බැලුවා.එක ලෙඩෙක්ට විනාඩි දෙක තුනකට වඩා වෙන් කරන්න අමාරුයි.ඒ ටික වෙලාවේ බොහෝ දුරට අවුරුදු ගානක් කට්ට කාලා එකතු කරගත්ත සායනික දැනුමේ හා පළපුරුද්දේ උදව්වෙන් විතරක් ලෙඩාගේ ලෙඩේ මොකද්ද,බෙහෙත් දීලා යවන්න පුලුවන් ද නවත්තගන්න වෙයි ද,මොනවද දෙන බෙහෙත් ,කොච්චර දෙනවද කියලා තීරණය කරන්න අපිට සිදු වෙනවා.අසීම්ත ලෙඩ්ඩු කන්දරාව නිසා අධික තෙහෙට්ටුවෙන් කලාතුරකින් අතපසු වීමක් වුනොත් මිසක ලෙඩාගේ ජීව්තය ගැන වගකීමක් ගන්න අපිට හොඳටම පුලුවන්.මේ හද්ද ඩොටේ ඉන්න මිනිස්සු සයිටම් ගැනවත් වෙන ලොකු ලොකු දේ වත් දන්නෙ නැහැ.අපි වැරදි ලෙඩක් හිතලා වැරදි බෙහෙත් වේලක් දුන්නොත් ඒ මිනිස්සුන්ගේ අවසානේ. අපි එහෙම නොකරන බව හොඳාකාරවම දන්න නිසා තමයි ඒ අහිංසක මිනිස්සු අපේ ගාවට ව්ශ්වාසෙන් එන්නෙ.
මෙච්චර කාලයක් කාටවත් සුදුසුකම් නැතුව හොරපාරෙන් දොස්තර කෙනෙක් වෙන්නෙ ලැබුනේ නෑ.සයිටම් නීතිගත වුණාම තවතවත් ප්‍රමිතියෙන් තොර ලාබෙ ගැන විතරක් හිතන(බල්ලො මරලා හරි සල්ලි හොයන්න හිතන බහුතරයක් ඉන්න රටක ලාබෙ පැත්තක දාලා මිනිස්සුන්ට ප්‍රමිතියක් දෙයි කියන සුරංගනා කතා මම විශ්වාස කරන්නෙ නෑ) ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි ඒ පස්සෙන් ආවම ඉස්සටහටත් ඒක එහෙමම වෙයිද නැද්ද කියලා හිතා ගත හැකිනේ.සල්ලි තියෙන මිනිස්සුන්ට කැමති කෙනෙක් තෝරලා බලලා බෙහෙත් ගන්න පුලුවන් වුනාට,ලංකාවෙ හුඟක් මිනිස්සුන්ට ඉස්පිරිතාලෙ ඕපීඩී එකේ දොස්තරලා තෝරන්න හරි ගේ ළඟ ඩිස්පෙන්සරියෙ දොස්තර මහත්තයාගේ සුදුසුකම් බලලා බේත් ගන්න හරි දැනුමක් පුලුවන් කමක් නෑ.ඒ වගේම සල්ලි ඇති නැති කාටත් හදිසියකදි දොස්තරලා තෝර තෝර ඉන්න බෑ.
මොරටුවෙ කොල්ලොන්ට මෙඩිකල් ෆැකල්ටි යන්න උවමනාවක් නෑ.ඒත් උන් උන්ට අයිති නැති රෙද්දකට කෑ ගහන්නෙ පාරට බහින්නෙ,ඉදිරි අනාගතේ ඔන්න ඔහොම තැනකට රට එන එක නවත්තන්න.ඒක නොතේරෙන එකයි දුක.
මම බල්ලොන්ට ආදරෙයි.ඒත් ඒ ආදරෙයි දඩාවතේ යන බල්ලො නිසා ඇතිවෙන ගැටලුයි මට පටලවගන්න බැහැ.ඉස්පිරිතාලෙ අයිතිකාරයො නැති බල්ලො දුසිමක් විතර ඉන්නවා.කැම්පස් යන කාලෙ කැම්පස් එකෙත් එහෙමයි.ඕනෑම පන්සලක් ඉස්කෝලයක් ඉස්පිරිතාලයක් අරගෙන බැලුවොත් තත්වෙ ඒකයි.මූලික රෝහලක් වෙච්ච් අපේ ඉස්පිරිතාලෙට දවසකට බල්ලෝ කාපු මිනිස්සු දහදෙනෙක්ට වැඩිය එනවා.බොහොමයක් දඩාවතේ යන බල්ලො.ගැඹුරු තුවාල එක්ක පොඩි ළමයි පවා එනවා.ජලභීතිකාව හැදෙන්න ලොකු ඉඩක් තියෙන නිසා මේ බොහෝ දෙනෙක්ට වාට්ටුවෙ නවත්තලා තුවාලෙට බෙහෙත් විදින්න වෙනවා.බෙහෙතේ අසාත්මිකතාවකින් ජීවිතේ නැතිවෙන්නත් පොඩි අවදානමක් තියෙනවා.ආසාත්මිකතාවක් ඇති වෙයි කියලා තේරෙනවනම් කලුබෝවිල යවන්න වෙනවා.ආයෙ ආයෙමත් මාසයක් යනකන් බෙහෙත් විදින්ම ඉස්පිරිතාලෙ ගාටන්න වෙනවා.මේ මිනිස්සුන්ට වෙන කරදරවලට වග කියන්නෙ කවුද?
පොදු තැන් වල එකතු වෙන බලු නඩ බොහොමයකට හේතුව අපිමයි.ගොඩක් වෙලාවට මේ සත්තු ගෑනු සත්තු වීම නිසා හොරෙන්ම එතැන්ට ගෙනත් අතඇරලා යන්නෙත් අපේ උදවියමයි.ගෙදර බල්ලෙක් පූසෙක් හදනවනම් ඒ සතාව හරියට එන්නත් කරලා පැටවු බලාගන්න බැරිනම් ඒ ගැන කටයුතු කරලා පැටවු දැම්මොත් ඒ පැටවු තමන්ට නඩත්තු කරන්න බැරිනම් බලාගන්න පුලුවන් කාටහරි වගකීමෙන් භාර දෙන එකයි කරන්න ඕනෙ.නැතිනම් දුක් විඳින්නෙ ඒ අහිංසක සත්තුයි ඒ වගේම තවත් අහිංසක මිනිස්සුයි.මොකද ජලභීතිකාව මාරාන්තිකයි.
සයිටම් වලට කෑ ගහන ළමයි මේ අහිංසක බල්ලො වෙනුවෙන් කතා නොකරපු එක වැරදියි තමයි.ආයතනයේ පාලනාදිකාරය වගේම බලන් ඉවත් කරන්න ආපු අයත් සතුන්ට කරදර අවම විදිහක් හිතුවා නම් වඩාත් හොඳ වෙන්න තිබුණා.කතානායක මල්ලියා අනිවාර්යෙන් ම ඒකාට පුලුවන් උපරිමෙන් ඒ සත්තු වෙනුවෙන් කැපවෙන බවත් මම දන්නවා.හැබැයි මොරටුවෙ කොල්ලො ටිකට බනින්න ආපු නෝනා මහත්මීන් එක එක්කෙනාට මේ අහිංසක සත්තු එකෙක් බැගින් වගකීමෙන් බාරගන්න කිව්වානම් කීදෙනෙක් ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයිද කියලාත් ඔය අස්සෙ ම හිතුණා.
No comments:
Post a Comment