සීයාගේ අලුත් ම විනෝදාංශය හවසට වෝක් එකක් යන එකය.ගෙවල් කිට්ටුව පාත අලුතින් හදාපු වැවක් වටකරගත්තු ජොගින් පාත් එකක් ය.හැමදාමත් උදේට තාත්තා කියවන්නේ එතන වරුනේ ය.අම්මානම් කුටුකුටුගාන්නේ ගෙදර කරන්නට මෙච්චර වැඩ තියෙද්දී වැව් බැම්මක් වටේ ඇවිදින්නේ අහවල් එහෙකටදැයි කියා ය.
ඊයේ පෙරේදා දවසක බට්ටිත් එක්ක සීයාගේ ජොගින් ස්පොට් එක බලන්න යන්නේ තඩි මාලුත් තාරාවෝ රංචුවකුත් ඉන්නා බවට ඔත්තුවක් ලැබුණු හින්දා ය.
ඇත්තටම එතන ඉස්තරම් ය.ගෝල්ෆේස් ගියා වගේ හීතල හුළං ය.පොඩි වුන්ට බලන්න කියන්න දේවල් ය.ලොකු උන්ට දුවන්න ඕනෑ තරම් ඉඩ ය.
බට්ටිත් අරං රවුමක් ගියේ තාරාවනුත් මාලුත් පෙන්නාගෙන ය.
මාලු බීපු පැනි බීම බෝතල් වැවේ පාවෙනවා ය.
තාරාවන් කාපු අයිස්පලම්වල දවටන ජොගින් පාත් එක පුරා හුළඟට දඟ කරනවා ය.
ඕක දැක්කාම මතක් වුනේ පරණ කතාවක් ය.
ගලහ පාර දිගේ පේරාදෙනිය කැම්පස් එකට යන පාර කොච්චර ලස්සනද කියන එක වරක් ඒ පාරේ ඇවිද ගිය ඇත්තන් හොදාකාරවම දන්නා කාරණයක් ය.
රොබරෝසියා පිපෙන කාලෙට පොඩි කාලේ කතා පොත් වල විතරක් දැකපු රෝස පාට පාර පුරා ඇතිරෙන හැටි හරිම අපූරු ය.
ඒත් ඔය ලස්සන පාරේ කාලයක් සඳුදාට යන්නට වුනේ නහය අකුළාන සීරුවෙන් අඩි තියමින් ය.සතා සීපාවා ජරා කරලා නොවේය.මිනිස් සතා ගේ කල්කිරියාව නිසා ය.
සති අන්තේ නුවර ට්‍ර්ප් එන නඩ දවල් කෑම ගන්න කැමති කැම්පස් පාර දෙපැත්තේය.තණ බිස්සේ වාඩි ගෙන අහස නොපෙන්නෙන්නට අත් පටලා ගත් තුරු වියන යට කෑම වේලක් කියන්නේ හරිම අපූරු අත්දැකීමක් මය.
ඒත් මේ ගමන් නඩ බොහොමයක් රිය නවතන්නේ පදිකයන් වෙනුවෙන් ඉදි වුණු මංතීරුවේ නිසා හදා නිමවෙන්නත් පෙරම මංතීරුව අබලන් වීය.කාබී අවසන් වූ ඇත්තෝ තම ඉඳුල් ද දිරන නොදිරන කසළද එතැන ම අත හැරියෝය.ඉන් නොනැවතී සමහරු එහිම වැසිකිලි කැසිකිළි අවශ්‍යතා ද සපුරා ගත්තෝය.ඊට එරෙහි වූ සෙකියුරිටි මාමලා ට ගෙරවූවෝ ය. ඉතින් ඒ උදවිය ගේ විනෝදය අහවර වී ගෙදර ගිය පසු සඳුදා ට උන් ගිය පාරවල් වල අපිට විනෝදයේ සුවඳ ඉතිරි විය.
එදා මට හිතුණේ ඕක පේරාදෙණිය ට විතරක් වෙච්චි දෙයක් කියා ය.
ඒත් පේරාදෙනියේ නොව ලංකාවේ ඕනෑම තැනක අපේ උදවිය ගිය මග සලකුණු බැහැර කළ කසළ තොගයෙන් සොයා ගන්නට පුලුවන.
ඇත්තටම අපිට කොහේ හෝ වැරදී ඇත.අපේ ගෙදොර කුණු පොදක් ඉතිරි නොකරන අපි,ඒ කුණු මලුම පාලු වතු වලට වීසි කරමු;නැතහොත් පාරේ අත හරිමු.
පොඩි එකාගේ වමනෙ මල්ලත් ලොකු එකාගේ බුලත් කෙළ පාරත් කිසි පැකිළීමකින් තොරව මහමඟට අත හරිමු.
පොදු වැසිකිලියට නහය වහගෙනම ගොස් අපේ කාරිය කරගෙන ඊළග එකාටත් නහය වහගෙන එන්නම තබා ඉන් පිට වෙමු.
දිය පාරකට බැස්සානම් මත්වතුර බෝතලයේ කැබැලි සිහිවටන ලෙස එහි තබා එමු.
පැය ගනන් හප කළ චුවින්ගම් කැබලි පොදු ප්‍රවාහනයේ අලවා එන්නට මැලි නොවෙමු.ඉනුත් නොනැවතී සදා අමරනීය වෙන අදිටනින් නම් ගම් අහු වෙන හැම මුහුණතක ම කුරුටු ගාමු.
ඔවු අපිට හොදටම මඟ වැරදී ඇත.අපි එහා ගෙදර උදවිය ගේ පරිසර දූෂණය පමනක් පේන්නට පාට කන්නාඩි පළදිමු.රූප පෙට්ටියේ රටපිට ඇත්තන් ඒ රටවල පරිසරය රැකගන්නා ආකාරය රීප්ලේ දමා නරඹමින් එවන් රටක වසන්නට සිහින දකිමු.
"කොහෙද අපේ එවුන් ට මේවා ආරස්සා කරගන්නට උවමනාවක් තියන එකක් යැ"කියමින් සුපුරුදු පරිදි අපේ කුණු බැහැර කර අපි අත් පිසදා ගනිමු .
No comments:
Post a Comment