ඉස්සිස්සරෝම වෙසක් මතකෙ ඉන්නෙ තාත්තයි මායි.දුශ්කර පුහුණවට කළමැටියට ගිහින් මාත් එක්ක අම්මා ගත කරපු අති දුශ්කර කාලෙ.තාත්තා ගෙදර ආවෙ කලාතුරකින්.ගෙදර මිදුලෙ ලොකූ බෝගන්විලා පඳුරක තාත්තා වෙසක් බකට් එල්ලපු මතකෙ මට තියෙන්නෙ මොන්ටිසෝරි යන්නත් කලින්.ඒක මතකෙ තියෙන්නෙ වෙසක් බකට් හින්ද ද හාවා හඳ දකින්නහේ තාත්තා දැකපු හින්ද ද මන්දා
ඊළඟට මතක තුනේ විතර ඉඳිද්දි වෙසක් මූණු මතකයක්.අමුතු පුසුඹ ක් තියෙන කඩදහි පල්ප් එකෙන් හදලා තින්ත ගාපු වෙසක් මූනු ගෙදරට ටිකක් එහා කඩේ වැල් වැල් එල්ලලා තිබුනා මතකයි,එකක් රුපියල් පහක් විතර මගෙ මතකෙ හැටියට.තාමත් වෙසක් කාලෙට ඒ සුවඳ හිත හෙව්වට ප්ලාස්ටික් ,රබර් වෙස් මූනු වල කෝ එහෙම සුවඳක් ?
ඇයි වෙසක් කාඩ්.එකක් රුපියල ගානෙ වෙසක් කාඩ් අරන් යාලුවොන්ට බෙදපුවා.කාඩ් නොලැබුනු අයගෙ පොඩි පොඩි හිත් නොහොඳ කම් එහෙම.ටිකක් පස්සෙන් පහු එක එක මනාප කම් මතු වෙන කාලෙ,මනාප ඇත්තො වෙසක් කාඩ් එකක් දුන්නාම හිත හීනියට පිපී ගෙන ආපු හැටි.
වෙසක් කූඩු.ඒකත් හරිම සුන්දර මතකයක්.පොඩි කාලෙ අම්මලා කූඩු හදලා අලවලා එල්ලනවා බලන් හිටපු හැටි.පස්සෙ පස්සෙ තනියෙන් කූඩු හදන්න ගිහින් පාප්ප නහයෙයි කටෙයි නාගෙන දත හපාගෙන කාපු කටු.ගෙදර හිටි කාලෙ මල්ලි එක්ක තරඟෙට කූඩු හදාපු හැටි.
ෆැකල්ටි ගිහින් බැච් එකේ ඔක්කොම වගේ එක්කහු වෙලා ගලහ හන්දියේ හදපු කැරකෙන කූඩුව කොහොමටත් අමත වෙන්නෙ නැහැ.රෑ තිස්සෙ කැන්ටිමට වෙලා නිදි මරාගෙන කූඩු අලවපු හැටි,වෙසක් කූඩුව කොට උඩ ගිහින් වෙසක් දවසෙත් පිරිමි පරානෙත් එක්ක වෙසක් බලන්න යන්න බැරි වෙච්චි එකට බුම්මන් හිටි හැටි .ඉන්ටර්න් කාලෙ සර්ජිකල් වෝඩ් එකේ කූඩු අලවපු හැටි.ඒවත් සොඳුරු මතක
ඇයි දන්සැල්.දීමත් එහෙමයි.කෑමත් එහෙමයි.ඒ එක්කම වෙසක් බැලිල්ල .ගෙදර ඉඳිද්දි තාත්තා වෙසක් දවසට මෝටෝ බයික් එකෙන් රවුමක් ගෙනියනවා වෙසක් බලන්න.ඉස්සරෝම පවුලෙ අය ඔක්කොම.ටිකින් ටික ලොකු වෙනකොට අම්මා වෙසක් ට්‍රිප් එකෙන් අත ඇරුනා වගේම මල්ලියි මායි වෙන වෙනම ගිහින් පස්සෙ මාත් වෙසක් බලන ලිස්ට් එකෙන් හැලුනා.කොහොමත් අපේ තාත්තා වැරදිලා වත් දන්සැලක් ළඟ නම් නවතින්නෙ නෑ.මම කෙල ගිලලා දන්සැල් පෝලිමේ කීයකගෙ බඩ ඌයියා උනාද මන්දා.
ෆැකල්ටි ඇවිත් වෙසක් එකට කෝපි දන්සැලක් දුන්නෙ බැච් එකේ වැඩක් විදියට .කෝපි කෝප්ප හෝදලා හෙම්බිය වැඩි වෙලා කතා කරගන්න බැරි වුන රූමිව බෙහෙත් ගන්නත් ගෙනියන්න වුනා නෙ.හිතේ හැටියට වෙසක් බලන්න ගත්තෙ ෆැකල්ටි ගියාට පස්සෙ.පේරාදෙනියේ ඉඳන් නුවරට බස් එකේ ගිහින් නුවර වටේ වෙසක් බලලා හිතේ හැටියට දන්සැලුත් වැඳ පුදා ගෙන ආයෙත් පේරාදෙණියට එන්නෙ පයින්.මොකද වාහන පෝලිම හෙල්ලෙන්නෙවත් නෑ ඒ වෙලාවට .කාපුවාට හරියන්න ඇවිදින්නත් එපායැ.ඉන්ටර්න් කාලෙ සර්ජිකල් වෝඩ් එකේ ඔක්කොම එකතුවෙලා සවු දන්සැලක් දුන්නෙ ඉස්පිරිතාලෙ කුස්සියෙම හදලා.ඒකත් අමුතුම අත්දැකීමක් .
මේ බට්ටිගෙ දෙවනි වෙසක් එක.බට්ටිට වෙසක් පෙන්නන්න ලොකුම උනන්දුව තියෙන්නෙ සීයාට .වෙසක් කූඩු ,බකට්,බල්බ් වැල්,බෞද්ධ කොඩි ගෙදර හරියට කොළඹ වෙසක් කලාපෙ වගේ.අපිව ගෙනිච්චා වගේම සීයා මිනිපිරීවත් වෙසක් බලන්න ගෙනියනවලු අද.
හැමෝටම ප්‍රීතිමත් වෙසඟක ම වේවා!
No comments:
Post a Comment