Thursday, May 18, 2017

අපේ තාත්තා වගේ තාත්තා

උන් පොඩි එවුන්.කර දඩු උස් මහත් වෙලා තමයි.ඒත් තාම නිවාඩුවට ගෙදර ගියාම අම්මගෙන් බත් කටක් කවාගන්න කැමති පොඩි එවුන්.

ඒත් උන් ට වීදි බහින්න වෙනවා.තරුණ ලේ කොහොමත් අසාධාරණේ ඉවසන්නෙ නැහැ.

හිස් අත් එක්ක පාරට බැහැපු  උන් ට පස්සෙන් පන්නාගෙන ගිහින් ගහනවා.

පන්නන් ගහන එවුන් අතේ නැති ලොකු ආයුධයක් උන් එකෙක් ළඟ තියෙනවා.ලස්සනට පොටෝ වදින කැමරාවක්.
ඒ පින්තූර මිනිස්සුන්ට කතා කරනවා.සල්ලි දීලා සාක්කුවෙ දාගත්තු මාද්‍ය වල නොපෙන්නන ඇත්ත අරගලය මිනිස්සුන්ට පෙන්නනවා

ඒ පොටෝ ගොඩ එහාට මෙහාට පෙරළන කොට එක පාරට මාව තිගැස්සෙනවා.

"තාත්තා...?"

එක පාරටම දැක්කම අපේ තාත්තා වගේ පෙනුනට අපේ තාත්තා නෙවෙයි.ඒත් මේ කාගෙ හරි තාත්තා කෙනෙක්.

පඩියට හිලවු වෙන්න විතරක් නෙවෙයි තමන්ට යාගන්න බැරි තැන් ගැන හිතේ තියෙන පොඩි සාංකාව යන්නත් කාකි බොත්තම් පොඩි එවුන් මරා ගෙන කන්න හැදුවා.
ඒත් මම දන්නවා මේ කරන දේ වැරදියි කියලා පසු තැවෙන හිත් දෙක තුනක් හරි කාකි බොත්තම් වලට යටින් පණ ගැහෙනවා ඇති.

මේ පොඩි වුන්.පාරට බැහැලා තියෙන්නෙ උන් ගෙ ගැන හිතලා නෙමෙයි මේ රටේ හෙට උපදින මේ වගේ තවත් පොඩි වුන් ගැන හිතලා කියලා උන් දන්නවා ඇති.

ඒත් ලොකු තරු පටි තරහ කරන් ගෙදර පොඩි එවුන් ගේ බඩ කට පුරවන්න බැරි වෙන බව මතක් වෙලා අසරණ වෙනවත් ඇති.

මට ආයෙත් "නපුරු පාලකයො තුන්දෙනා"කතාව මතක් වෙනවා.අන්තිමේදි නපුරු පාලකයින් ගේ හමුදා සෙබලු ඔක්කොම නපුරු පාලකයින් ගෙන් රට බේරගන්න එකතු වෙනවා.

ඒත් ඉතින් ඒක රුසියානු නව කතාවක් නේ.
මේක අපේ සිරි ලංකාවනේ.

No comments:

Post a Comment