Tuesday, December 25, 2018

වෙජී ශොපින් බයි එතුමානෝ

ගෙදර උතුමානෝයි මායි වෙලාවකට අහසයි පොළවයි වගේ.උන්දැගේ හැම වැඩක්ම් බොහෝම සීරුවට පිළිවෙලට.මගේ වැඩ ඉතින් පස්ස දාච්ච කඩියා ඉස්ටැයිල් එකට නෙ.

මෙහෙම ඉස්සිසෙල්ලාම බටර් ගාලා පටන් ගන්නකොට ඔහෙලාට තේරෙන්න ඕනෙ අදත් ගෙදර උතුමාණන්ට මඩක් වදින්නයි යන්නෙ කියලා.

ගෙදර උතුමාණන්ට කරන්න බැරි වැඩ තියෙනවානම් ඒ බොහෝම සුවල්පයයි.ආං ඒ සුවල්පයෙන් එකක් තමයි එලෝලු ගේන එක.

උතුමාණන් පොඩි කාලෙ දවසක් අම්මා කිව්වලු හන්දියට ගිහින් එලෝලු  ජාති පහක් ගේන්ට කියලා.උතුමාණන් සෞන්දර්ය වලට කලේ චිත්‍ර නොවැ.ඉතින් වර්ණ ගැලපීම එහෙම හොඳට සලකලා බලලා පාට පාටින් අලවර්ග පහක් ගෙනිච්චලු ගෙදර.
ඔය කතාව මාත් එක්ක කිව්වෙ උතුමාණන්ද අම්මාද කියලා හරි මතකයක් නෑ.

කෝක වෙතත් අවදානම ගන්නවාට වැඩිය සූදානමෙන් ඉන්න එක හොඳ නිසා ගෙදෙට්ට එලෝලු ගේන ජොබ් එක නිතරගයෙන්ම භාර ගත්තෙ මං තුමී.ඉතුරු බඩුබාහිරාදිය ගැනිල්ලට නම් කප්පිත්තා උතුමාණන් ම තමා.මොකද ඔය කල් ඉකුත් වෙන දින බැලිලි එහෙම මට මතක් වෙන්නෙම නෑ.ශර්ලොක් හෝම්ස්ටත් වඩා හොඳට ලේබල්වල තියෙන පොඩි අකුරු හිටන් බලලා අහුරාපු බෝතල්කරපු ටින් කරපු ජාති ගැන තීරණ ගැනිල්ල අයිති වෙන්නෙ උතුමාණන් ට.

කොහේදෝ යන නිදි පිසාචයෙක් මට වැහෙන්නෙ ඊයෙ රෑ ජාමේ.පිසාචයාගේ බලපෑම හින්දා වැටුණු තැන නින්ද ගිය මට අද උදේ පස්චාත් භාගයට ඉර එළිය වැටිලත් උගෙන්  ගැලවිල්ලක් නැත.
උයන පිහන ජාති ගේන්නට  කීල්ස් එකට යන ට්‍රිප් එක අපේ උතුමානෝ තනියෙන් යන්නේ මංතුමී තදින් බදාගෙන උන් ඇඳෙන් ගලවා ගන්නට බැරි වෙන හින්දා ය.

ඉතින් එතුමානෝ තනියෙන් තේරූ එලෝලුවලට එතුමාට වැරැද්දක් කියන්න බෑ මය.

මං තුමී: ඇයි අනේ මේ තඩි බීට් අල තුනක්?
එතුමා:එකක් අද කන්න.එකක් හෙට කන්න.අනික අනිද්දා

මං තුමී:ඇයි අනේ මේ කොළත් එක්ක බීට් ගස් පිටින් ගෙනාවෙ?
එතුමා: ඒවා දැක්කම ලස්සනට තිබ්බා

මංතුමී:ඇයි අනේ මේ අලී කැරට් අල තොගේකුයි මාලු මිරිස් මහා ගොඩකුයි ගෙනැල්ලා
එතුමා:ඒවා ලාබෙට තිබ්බා.ඉතින් ගෙනාවා.

මංතුමී:එතකොට අර තනි කරවිල කරලක් ගෙනාවෙ මොකටෙයි?
එතුමා:කරවිල තිත්තයි.

මංතුමී:හ්ම්ම්ම්(😠😠😠😠😠)
එතුමා:මං දෙල් ගෙඩියකුත් ගෙනාවා

පිපිඤ්ඤා ගෙඩිය ගැන එතුමාගෙන් ඇහුවානං හම්බෙන ප්‍රතිචාරය මොකක් වෙන්නට පුළුවන්දැයි හිතන එක මංතුමීවිසින් ලබන සභාවා‍රයට කල් දමන ලදී.

බීට් ඉවිය හැකි විවිධ වූ රෙසිපි දන්නා ඔබට කෙරෙන විශේශ ආරාධනයයි.ඔබේ අගනා රෙසිපි ඉන්බොක්ස් හරහා මංතුමීට යොමු කරන්න.

Monday, December 24, 2018

තටු නැති මේ කිරිල්ලී

තටු නැතුව ඉපදුන කිරිල්ලියෙක්ට පියාඹන්න හිතුනම මොකද වෙන්නෙ?





 

ජෙසිකා කොක්ස්(Jessica Cox) ඉපදෙන්නේ 1983 අවුරුද්දෙ ඇමරිකාවෙ ඇරිසෝනාවලදි.අම්මගෙ බඩේ ඉන්දැද්දි කාටවත් හොයාගන්න බැරි වෙච්ච් ඉරණමක් එක්කයි ජෙසිකා මේ ලෝකෙට එන්නෙ.ජෙසිකාගේ අත් දෙකම උපතින් ම පිහිටන්නෙ නැහැ.

ජෙසිකාගෙ අම්මටයි තාත්තටයි මොනවා හිතෙන්න ඇත්ද කියලා මම දන්නෙ නැහැ.

ඒත් ඒ දෙන්නා තීරණය කරනවා ජෙසිකාට සාමාන්‍ය ළමයෙක්ට වගේම සලකන්න.

ඉස්කෝලෙ යන වයසට එන ජෙසිකා යන්නෙ සාමාන්‍ය ළමයි යන ඉස්කෝලෙකට.කෘතිම අත් දෙකකට හුරුවෙන්න ජෙසිකාට සිද්ධ වෙනවා.සෑහෙන ප්‍රතිකාර ,ව්‍යායාමත් ඒ එක්ක එනවා.

පීනන්න, නටන්න වගේම අවුරුදු දහයේ ඉඳන් ටයිකොන්ඩෝ ක්‍රීඩාව කරන්නත් ජෙසිකා පුරුදු වෙනවා.

ඒත් ජෙසිකා කැමතිම නැති දේ වෙන්නෙ හැමෝම වගේ ජෙසිකාට අබ්බගාතයෙක්ට වගේ සලකන එක, ඕනෑවට වඩා පරිස්සම් කරන එක.
විවේක කාලේ සෙල්ලම් පිට්ටනියෙ ඔංචිල්ලාවකට වෙලා ජෙසිකා කල්පනා කරන්නෙ මේ බැමි බිඳගෙන නිදහසේ පියාඹන්න .

කෘතිම අත් ජෙසිකාට මහ කරදරයක්.ඉතින් ඈ කෘතිම අත් ඉවත් කරලා ඇගේ අත් දෙකේ බර ඔක්කෝම කකුල් දෙකට පවරනවා.

අවුරුදු 14 දි ඇය ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා කලුපටිධාරිනියක් වෙනවා.
ඈ කකුලෙන් ලියන්නත් ටයිප් කරන්නත් ගන්නවා.
මිනිත්තුවකට වචන 25ක වේගයෙන් ටයිප් කරන ඈ 2005 අවුරුද්දෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරමින් උපාධිය ලබා ගන්නවා.
විශ්ව විද්‍යාලයේ ඉඳිද්දී ඇය නැවතත් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් දෙවන හා තෙවන කළු පටිත් ලබා ගන්නවා.

දෑතේ පිහිටක් නැතිව සර්ෆිං ක්‍රීඩාවටත් ඇය දක්ශයි.ඒ වගේම ඈ සහතික කළ ස්කූබා කිමිදුම්වරියක්.

ඇය පදවන්නේ සාමාන්‍ය ඔබ අපි පදවන මෝටර් රථයක්.ඒ සඳහා ඇයට ඇත්තේත් සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් .

පොඩි කාලේ තිබුණු පියාඹන සිහිනයත් ජෙසිකා සැබෑ කරගන්නේ අවුරුදු තුනක පුහුණුවකින් පස්සෙ ගුවන් නියමු බලපත්‍රයක් අයිති කරගෙන.
ගිනස් පොතට ඈ එක් වන්නේ ලෝකයේ පළමු අත් නැති ගුවන් නියමුවා හැටියටයි.

2012දී  ජෙසිකා ඇගේ ටයිකොන්ඩෝ පුහුණුකරු පැට්‍රික් සමඟ විවාහ වෙනවා.අතක් නැති ජෙසිකා කොහොමද මගුල් මුද්දක් දාන්නෙ?
මුදුවක් වෙනුවට ලෝකේ එකම මගුල් පා සළඹ පළදින්නෙත් ජෙසිකා විතරක් ම වෙන්න ඇති.

තනිවම ඇඳුම් ඇඳගන්නට ,පියානෝ වාදනයට විතරක් නෙමෙයි ඇගේ ඇසේ සිවිකාච මාරුකරගන්නත් ඇයට පුලුවන් .

අතක් නැති තවත් යහලුවෙක් හා එකතුවෙන් Toe Talks යූ ටියුබ් චැනලය ඇය පටන් ගන්නේ ඒ වගේ එදිනෙදා වැඩ කටයුතු දෑතේ උදවු රහිතව කරගන්නා හැටි ගැන අත් නැති අන් අයටත් කියා දෙන්නටයි.

රටවල් 20කටත් වඩා සංචාරය කරන ජෙසිකා හැමෝටම දෙන පණිවිඩය මොන අභියෝග ආවත් තමන්ගේ හිතේ හයිය තමන්ට උවමනා තැනට තමන් ගෙන යන බවයි.

මේ 2012 වසරේ ඇමරිකාවේ ආදර්ශමත් ම කාන්තාව ජෙසිකා කොක්ස් .

අත පය හතරම අඩුවක් නැති අපට ජෙසිකාගෙන් පියාඹන හැටි ඉගෙන ගන්න බැරිද?


ඉගිලෙන ලියමන් 2018.12.23

මගේ කුමාරිහාමි

අලුත් ඔෆිස් එකට ආපු දවසෙ ඉස්ඉස්සෙල්ලාම මම දැක්කෙ එයාව.ඇස් දෙක ලොකූ කරන් එයා මගෙ දිහා බලන් හිටියා.
"හලෝ"
මම ළඟට කිට්ටු කළා විතරයි මෙන්න මුන්දෑ අනිත් පැත්ත හැරිලා දුවන්න ගත්තා.
පිස්සු කෝළමක් නෙ.

මම සමරබන්දු.රිටයර් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි බම්බලපිටියෙ අලුතෙන් දාපු ඔෆිස් එකේ මැනේජර් කම හම්බුනේ.

"යන්තං ඇති මැරීගෙන් කඹුරපුවට ඔහොම පට්ටමක් හරි හම්බුනා"මාලතී කිව්වෙ උපහාසෙට විරිත්තන ගමන්.

මාලතී ව කසාද බැඳලා අවුරුදු තිහක්.අවුරුදු ගණනාවක් දන්න කියන හැම නැටුමක්ම නටලා අන්තිමේ ළමයෙක් හදන ආසාව අතඇරියෙ හෙම්බත් වෙලා.එක ගෙදර කාමර දෙකක වෙනම ජීවිත දෙකක් හැටියට ජීවත් වෙන එක මාලතීටයි මටයි දැන් පුරුද්දට ගිහින්.
මගේ හැම දේකම මාලතීට පෙනුනෙ ඇදයක්ම යි.මාලතී කියන ඒවට බීරෙක් වගේ ඉන්න එකත් දැන් මට හොඳටෝම පුරුදුයි.

එයාගෙ නම රෝසි කියලා මම දැනගත්තෙ දවසක් දෙකක් යද්දි.එයා වැඩිපුරම හිටියෙ උඩ තට්ටුවෙ.ඒත් සැරෙන් සැරේ මගේ කැබින් එකේ දොරෙන් එබිකම් කරලා අතුරුදහන් වෙන්න රෝසි අමතක කළේ නෑ.
හරිම කෝලමක් තමයි.

ඔෆිස් එකෙ අනිත් උදවියව මම තියාගත්තේ අතේ දුරින් නැත්නම් ඕකුන් කරේ නැගලයි පස්ස බලන්නෙ.
ඒත් රෝසිට ඒ තහංචි වලංගු වුනේ නෑ.
මටත් නොදැනීම මගේ හිතේ රෝසි ගැන ලොකූ ලෙන්ගතුකමක් ඉපදිලා.
හැමදාම රෝසි එනකන් මම දෙතුන් පාර කැබින් එකේ දොර දිහා බැලුවා .
ඉරිදා දවස් නිවාඩු දවස්වලට මට සාංකාව වගේ දැනුණා.ඉඳලා හිටලා දවසක රෝසි රෑට මගෙ හීන අස්සටත් රිංගුවා.

රෝසි පුදුමාකාර ආඩම්බරයි.මං ඇරෙන්න ඔෆිස් එකේ වෙන මොකෙක්ව වත් තඹ සතේකට මායිම් කළේ නෑ.ඔෆිස් එකේ උන් මං නැති තැන රෝසිට බොසාගෙ කුමාරිහාමි කියලා නමකුත් පට බැන්දා.ඒත්  රෝසි නෙවෙයි ඒවා ගනන් ගත්තේ.

මට වැඩවැඩි වෙලාවලට කවදාවත්  රෝසි කරදරයක් වෙන්න ආවෙ නෑ.ඒත්  මට විවේක ගන්න මිනිත්තුවක් දෙකක් හම්බෙනකොටම රෝසි කැබින් එකේ දොර ළඟ .හරියට මගේ හිත කියෙව්වා වගේ.

රෝසිගෙ වැඩි කතාවක් බහක් තිබ්බෙ නෑ.ඒකටත් එක්ක හරියන්න ඒ වෙලාවල් මම පිස්සෙක් වගේ කියෙව්වා.පොඩි කොල්ලා කාලේ කරපුවා, කැම්පස් කාලේ පිස්සු නටපුවා, මාලතී කසාද බැඳපු හැටි, එක ගෙදර කාමර දෙහෙක නීසර ජීවිතේ ගැන රෝසිගේ කන් දෙක ගොඩ වෙනකම්ම මං කියෙව්වා.ඉඳ හිට හූමිටි තිය තිය හුරතල් වෙවී රෝසි ඔය ඔක්කොම කණිපින්දම් කන්වල පුරව ගත්තා.ඉඳලා හිටලා කවුරුවත් වටපිටාවෙ නැතිවෙලාවට රෝසි මට තුරුල් වෙලා හිටියා.ජීවිතේ ආයෙමත් සැරයක් ජීවත් වෙනවා කියලා ඇත්තටම මට දැණුනා.

අවුරුදු හැටකට කිට්ටු තට්ටෙ පෑදිච්ච තඩි බඩකුත් තියෙන නාකි හමෙක්ට කවුද ආදරේ කරන්නෙ?ඔය වයසට හම්බෙන හුඟක් ආදර කෑදර වෙන්නෙ ආදරේට , රස්සාවෙ පට්ටමට එහෙම.රෝසි එහෙම නෑ කියලා මට සීයට දෙසීයක්ම විශ්වාසයි.කවදාවත් කටක් ඇරලා කිසිම දෙයක් ඒකි මගෙන් ඉල්ලුවෙ නෑ මේ මුලු අවුරුද්දටම.

ඒත් අද?
අද මම රිටයර් වෙනවා.
අද මම ඔෆිස් එන අන්තිම දවස.අවුරුදු ගානක් තිස්සේ කරපු රස්සාව දැන් මට ඇති වෙලා තියෙන්නෙ.රිටයර් වෙලා නිදහසේ ඉන්න එක කොච්චර සතුටක්ද කියලයි අවුරුද්දෙ මුල මට හිතුනෙ?
ඒත් මම කොහොමද රෝසි දාලා යන්නෙ?
දවසම රෝසි පේන්න හිටියෙ නෑ.කොහේ ගිහින්ද මන්දා.දොර දිහා බලලාම මගෙ බෙල්ලත් උලුක්කු වෙන්න ආවා.

ඔෆිස් එකේ එවුන් මම යනවට පාර්ටියක්  තිබ්බා.ඒ  අස්සෙත් මම කැරකි කැරකී හෙව්වෙ රෝසිව.රෝසි අතුරුදහන් වෙලා.
මෙච්චර කල් මගෙ වටේ එති එතී ඉඳලා මම යන්න යනකොට අත ඇරලා දාන ජාතියේ ආදරයක්ද ඒකත්.
ලොකූ කලු ගල්ගෙඩියක් මගේ හිත උඩට ආයෙ ආයෙ අත අරිනවා වගේ දැනුනෙ එහෙම හිතෙද්දි.

ඔෆිස් ඇරිලා ඔක්කොම  යන්න ගියා.මම කැබින් එකේ බඩු මුට්ටු අස් කර කර තවතවත් ටැග්ගැහුනෙ දැන්වත් රෝසි එයි කියලා.
හතරවටෙන් කලු කරගෙන වහින්න එනවා.

"සර්,වාහනේ ගෙනත් තියෙන්නෙ"මගේ ඩ්‍රයිවර් සමන්ත කෝල් කලේ තුන් වෙනි පාරට.

බලාපොරොත්තු ඔක්කොම අත ඇරලා මම ලිෆ්ට් එකේ පහළට බැස්සා.
 
කාර් එකට අඩි දෙකතුනක් වෙන්න නැවතිලා මගෙ දිහා බලං හිටියෙ රෝසි.
  රෝසිව මගේ පපුවට තුරුල් කර ගත්තේ මුකුත් හිතන්න හිතට ඉඩක් නොදීමයි.

"ස...සර්....මේ..මේ.."
මට තුරුල්වෙලා ගුලි වෙලා හිටිය රෝසි දිහා බලාගෙන සමන්ත තතනනවා.
"ගෙදර යං"
අහස ගොරවද්දි මාත් ගෙරෙව්වා.

මාලතී...මාලතී මොනවා කියයිද?
මොනවා කිව්වත් මට කමක් නෑ.ස්වාමිපුරුෂයා හැටියට මම කවදාවත් මාලතීට අඩුවක් කරලත් නෑ කරන්නෙත් නෑ.ඒත් රෝසි නැතුව මට ඉන්නත් බෑ.

අන්තිම වතාවටත්  මාව ගෙදරින් බස්සලා සමන්ත ඉගිල්ලිලා ගියා.සුපුරුදු පරිදි මාව පිලිගන්න දොර ඇරගෙන කවුරුත් එන්නෙ නෑ.
සාලේ සෝපාව උඩට වෙලා මාලතී ටීවී එකේ හින්දි ෆිල්ම් එකක ගිලිලා හිටියා.

"මාලතී....."ටීවී එකට උඩින් මම කටහඬ ඉස්සුවා.
"ඇයි?"
මාලතී මගෙ දිහාට හැරුනේ සුපුරුදු නොරිස්සුමෙන්.

"මේ රෝසි.එයා අපිත් එක්ක ඉන්නවා අද ඉඳලා."

"ඉතින් .ගෙදරට කැන්දගෙන  ඇවිල්ලා ඉවරවෙලා නෙ මගෙන් අහන්නෙ.මොකෝ මම එපා කිව්වා කියලා අහන එකක් යැ.
මගෙ මොකෝ.ඕන කෙහෙල් මලක්.

හැබැයි ඔන්න මම දැන්මම කිව්වා කියලා හිතා ගන්න.ජරාව අදින්නයි මෙතන පැටවු ගැහුවම පන්සල් ගානෙ ගෙනිහින් දාන්නයි ඔක්කොම කරන්න වෙන්නෙ ඔහෙට.තියෙන ඒවා මදිවට.........."

මාලතීගේ කන්දොස්කිරියාව ඒ කනෙන් රිංගලා මේ කනෙන්  එළියට යද්දී රෝසිවත් තුරුළු කරං මම මගේ කාමරේට රිංගුවා.

රෝසි හැමදාම පුරුදු විදිහට ඇස් දෙක ලොකූ කරලා මාත් එක්ක හිනා වුණා.

ඤාව්.........................

ඉගිලෙන ලියමන් 2018.12.23

Sunday, December 23, 2018

මේරිගෙ ඇවිටිලි කිරිල්ලෙන් බේරෙන්න බැරිම තැන ලුසී එදා හැන්දෑවෙ එළියට යන්න තීර්ණය කළා.

"මේක ඔයාට සෑහෙන හොඳවෙයි වස්තුවේ"මේරි කිව්වෙ ලුසීගෙ කම්මුල උඩින් හාද්දක් තියන ගමන්.

ඒ වෙනකොට ලුසී ඇක්සිඩන්ට් වෙලා මාස පහකටත් කිට්ටුයි.ඉස්පිරිතාලෙට යන්න ගෙයින් එළියට බහින වෙලාවට ඇරෙන්න ලුසී හැමතිස්සෙම හිටියෙ කාමරේ ගුලි වෙලා.

හුළං ටිකක් වදින්න ,එළියට යන්න කියන යෝජනාව ඉදිරිපත් කළේ මේරියි පිලිප්නුයි විතරක් නෙවෙයි .ලුසීගේ මනෝවෛද්‍ය දොස්‍තර නෝනා කැතීත් කොයි වෙලාවෙත් ජීවිතේ ඉස්සරහට අඩිය තියන්න ඕනෙ කියන එක ලුසීට මතක් කළා.

එයානං කියයි.ඇක්සිඩන්ට් එක ලුසීගෙ අම්මයි තාත්තයි මල්ලියි හැමෝගෙම ජීවිත උදුර ගත්තා.ලුසීගෙ ජීවිතේ බේරුණෙත් හාස්කමකින් කියලයි දොස්තරලා කිව්වෙ.
ලුසීට ඉතුරු වුනේ මේරි විතරයි.මේරිටනම් පිලිප් හරි හිටියා.
ලුසීට ?
මෙහෙම මළපෙරේතියෙක් වගේ හිටියොත් මේරිටත් තමන් එපාවෙයි කියලා හිතිලයි  ලුසී මේරිගෙ ඉල්ලීමට කැමති වුනේ.

ගෙවල් පේලියේ එහා කෙළවරෙන් ටික දුරක් ගෙවුනම තිබ්බ උද්‍යනෙට යමු කියලා මේරි යෝජනා කළා.

"යමු.හැබැයි ගිහින් තනියෙන් ඉන්න ඕනෙ .ඔයා කිකිළි පැටවු රකිනවා වගේ මගෙ වටේ කැරකෙන්න බෑ"ලුසී තමන්ගේ නීතිරීති ඉදිරිපත් කරනවා.

"අනේ රත්තරනේ...මම කොහොමද ඔයාව තනියෙන් එතන දාලා එන්නෙ?"

"ඇයි බැරි? මොකෝ මම පොඩි ළමයෙක්යෑ.ඔයාට බඩුමුට්ටු ගන්න තියෙනවනෙ ටවුමෙන්.ඒක කරගන්න බැරියැ මම එනකං."

"අනේ ඒ වුනාට"

"අනේ අනේ බෑ.එහෙම නැත්නම් මම යන්න එන්නෙත් නෑ"ලුසී පොඩි එකෙක් වගේ මුරණ්ඩු වුනා.

"අනේ මන්දා...හා එහෙනං"මේරි අකමැත්තෙන් කැමති වුනා.

ඇත්තටම ගෙයින් එළියට බහින එක හොඳ අදහසක් තමයි.හොඳ හුස්මක් ගන්න ගමන් ලුසී හිතුවෙ  උද්‍යානෙ කෙළවරේ පොඩි බංකු පොඩ්ඩක වාඩි වෙලා .
බොහොම අමාරුවෙන් මේරිව යවා ගත්තෙ.මේරි පොඩි එකෙක් ගැන වගේ තමන් ගැන වද වෙන්නෙ ආදරේට කියලා ලුසී දන්නවා.ඒත් ඒක වෙලාවකට හරි කරදරයක්.

සරත් කාලෙ ගෙවීගෙන යමින් තිබුනෙ.හීතලත් නැති රස්නෙකුත් නැති බොහොම සෞම්‍ය කාළගුණයක් නිසා උද්‍යානෙ සෑහෙන මිනිස්සු හිටියා.
ලුසී වාඩි වුනේ පාර්ක් එක කෙළවරේම .ඒ හරියට වැඩිය කවුරුත් එන්නෙ නෑ.

ටිකක් එහාට වෙන්න තිබුන පොකුණෙ ලොකු තාරාවො රංචුවක් ඉන්නවා කියලා ලුසී දන්නවා.ඉස්සර ලුසී උන්ට දෙන්න සාක්කුවේ පාන් කෑලි පුරවන් ආවා.

ටිකක් ඈත පොඩි එවුන් ටිකක් බෝල සෙල්ලම් කළා.සැරෙන් සැරේට ඒ සද්දෙ කැඩි කැඩී ලුසීට ඇහුණා.


ලොකු ලොම් බෝලයක් එක පාරටම විදුලි වේගෙන් ඇවිත් ලුසීගෙ උකුලට පැන්නම ලුසී හොඳටෝම බය වුනා.
බලු තඩියෙක්.
කොච්චර බය වුනාද කියනවනං ලුසීට කෑ ගහගන්න මතක් වුනෙත් ටිකක් වෙලා ගිහින්.

"හපොයි දෙයියනේ......
ලැසී...ඔයා මහ නරක ළමයෙක් එන්නයි කිව්වෙ මෙහාට.....
මිස් ඔයාට තුවාලද?"
ලොම් තඩිය අයිතිකාරයත් බොහොම කලබල වෙලා.

"අහ් නෑ නෑ.මට මුකුත් වුනේ නෑ.ටිකක් බය වුනා විතරයි"

"අපිට සමා වෙන්න.ලැසී සාමාන්‍යයෙන් ඔහොම කාගෙවත් ඇඟට පනින්නෙ නෑ එයාගෙ හිත ගියේ නැත්නම්.මෙහෙම හිටියට මෙයා හරි ආඩම්බරකාර බලු නෝනෙක්."ලොම් තඩියගෙ අයිතිකාරයා සමාව ඉල්ලනවා.

"නෑ නෑ.ඒකට කමක් නෑ."හැටට හැටේ දුවන්න ගත්ත පපුව සාමාන්‍ය වේගෙට පහු බහිද්දි  ලුසී ලැසීගෙ ඔලුව අතගෑවා.

"මම පෝල්.ලැසීව ඔයා දැනටම අඳුරනවනෙ"
"ලුසී.හඳුනාගන්න ලැබීම සතුටක්"

"මටත්.ඔයා කලින් මේ උද්‍යානෙට ඇවිත්  තියෙනවද?"

"කාලෙකට කලින් .ඒත් මම වැඩිය මේ පැත්තට ඇවිත් නැහැ."

"ඔව්.ඒක තමයි .නැත්නම් අපි කලින් මුණ ගැහෙනවනෙ.ලැසී වැඩියෙන්ම කැමති මේ පැත්තට"

"හයියෝ, ඔයා හිටගෙනනෙ තාම.එන්න වාඩි වෙන්න"ලුසී බංකුවෙ පැත්තකට උනා.

"ස්තූතියි ලුසී"

පෝල්ගෙයි ලුසීගෙයි මැද්දෙන්  හරිබරි ගැහිලා ලැසීත් වාඩි වුනා.ඒ මදිවට අහන්නෙත් නැතුවම ලුසීගෙ උකුල උඩින් මූනත් තියා ගත්තා.

"එයා මට සෑහෙන කැමතියි වගේ."
ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පළමුවෙනි වතාවට ලුසීගෙ මූනෙ හිනාවක් ඇඳුනා.

"ඔව්.ඇත්තටම.මොකද එයා ලේසියෙන් කාටවත් කැමති වෙන්නෙ නෑ .මම කිව්වනෙ ඔයාට"

"මෙයා මොන ජාතියෙ බල්ලෙක්ද?මට බල්ලො ගැන ලොකු තේරුමක් නෑ"

"මෙයා ගෝල්ඩන් රෙට්‍රීවර් කෙනෙක්.මෙහෙම කෙල්ල වගේ හිටියට දැන් සෑහෙන නාකියි.අවුරුදු අටක් කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ලෝකෙ සෑහෙන වයසක් ගිහින්"

පෝල්ගෙ ළඟින් පෙපර්මින්ට් සුවඳක් ආවා.හුළඟත් එක්ක  කොහෙන්දෝ ආපු පොප් කෝන් සුවඳකුත් ලුසීගෙ නහයෙ පැටලුනා.

පැයකට කිට්ටු වෙලාවක් ගෙවුනෙ ඔහොම.ඒ පැයේ හුඟ තැන්වල තිබුනෙ නිස්සද්දවම හිටපු තැන්.ඒ වුනාට ඒ සද්ද බද්ද නැති නිස්කලංක සමාගමට ලුසීගෙ හිත බොහොම තදින් බැඳුනා.

ඉස්පිරිතාලෙ යද්දි හම්බවෙන මිනිස්සු වගේ පෝල් ලුසීගෙ පිලිස්සුම් තුවාල ගැන හාරා ඇවිස්සුවෙ නෑ.කොටින්ම ලුසීගෙ ගැන පෝල් වචනයක්වත් ඇහුවෙ නෑ.අහන්නෙ නැතුවම සමහරු කරන්නා වගේ අනේ පවු දෙයියනේ කියලා ලුසීට අනුකම්පා කරන්න ගියෙත් නෑ.
පෝල් ලුසීට නැපිය මාරුකරගන්නවත් බැරි පොඩි දරුවෙක්ට වගේ සැලකුවෙත් නෑ.

ඉතින් ඇත්තටම ලැසීටත් පෝල්ටත් ලුසීගෙ හිතේ පැලවෙන්න ගත්තේ බොහෝම ලොකු ලෙංගතුකමක්.

ලැසී හිරිඅරිමින් නැගිට්ටා.

"ඔහ්,මේ නෝනාට කම්මැලි හිතිලා වගේ .අපිට ගෙදර යන්න වෙලාව හරි ලුසී"පෝල් බංකුවෙන් නැගිට්ටෙ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි කියලයි ලුසීට හිතුනෙ.

"හමුවීම සතුටක් ලැසී.ගිහින් එන්න කෙල්ලෙ"ලුසීගෙ හිතේ පුංචි දුකක් එක්කහු වෙන්න ගත්තා.
ලැසී උත්තර දුන්නෙ ලුසීගෙ අත ලෙවකමින්.

"ඇත්තටම ඔයා හමු වීම අපිට ලොකූ සතුටක් ලුසී.ගොඩක් වෙලාවට අපි පාර්ක් එකේ ඉන්නෙ තනියම.සමහරු බල්ලොන්ට කැමති නෑ.ඊටත් වඩා සමහරුන්ට ඕනෙ මගේ ජීවිත කතාව ගැන දැන ගන්න.මට අනුකම්පා කරන්න.ඔයා තමයි ලැසී ඇරුණම කාලෙකින් මට මුණ ගැහුණු හොඳම යාලුවා.
හපොයි මම කියවනවා වැඩියි නේද?"
පෝල්ට ලැජ්ජා හිතිලද කොහෙද?

"අහ් නෑ නෑ.පෝල් මම ප්‍රශ්නයක් අහන්න ඔයා මගේ ගැන මුකුත් හිතන්නෙ නෑ නේද?

"මොකද්ද?"

"අහ්...ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ?"

පෝල් උත්තර දුන්නෙ නෑ.ඒත් එයාට තරහ ගිහින් විත්තිය ලුසීට තේරුනා.

"පෝල්, සමාවෙන්න මම වැරදි දෙයක් ඇහුවද?"

"මං හිතුවා ඔයා අනිත් අයගෙන් වෙනස් කියලා ලුසී.ඔයත් අනිත් මිනිස්සු වගේම තමයි බලාගෙන යද්දි."පෝල්ගෙ කටහඬේ තිබුනෙ බිඳිච්ච බලාපොරොත්තුවල සද්දෙ.

"ඇයි අනේ මම මොකද්ද කලේ?"ලුසීට මුකුත් හිතා ගන්න බෑ.

"මොකද කලේ..මොකද කලේ?
ඇස් දෙකම පොට්ට ගයිඩ් ඩෝග් කෙනෙක් එක්ක හැමතැනම යන මිනිහෙක්ගෙන් මොකද්ද එයාට තියෙන ප්‍රශ්නෙ කියලා අහපු එක තමයි ඔයා කළේ.එනවා යන්න ලැසී" පෝල් යන්න හැරුනේ තරහෙන්

තත්පර දෙක තුනක් කිසිම සද්දයක් බද්දයක් නැතුව ගෙවුනා.
ඊට පස්සෙ ලුසී සෑහෙන කාලෙකට පස්සෙ මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.ඇස්වලින් කඳුළු පෙරි පෙරී හුස්ම හිරවෙලා පපුව තද වෙද්දිත් ලුසී දිගටම හිනා වුනා.

යන්න ගියපු පෝල් නැවතුනේ මේ මොන විකාරයක්ද කියලා හිතාගන්න බැරුව.ලැසී ඔලුව හරව හරවා බැලුවෙ තමන්ගෙ අලුත් යාලුවට හැදුනෙ මොන විදිහෙ ලෙඩක්ද කියලා .

බොහෝම අමාරුවෙන් අන්තිමේ ලුසී හිනාව නවත්තගත්තා.

"පෝල්,ඔයා තාම ඔතනද?"

"පිස්සු හැදීගෙන එනවද ?ඇයි මං මෙතන හිටගෙන ඉන්නවා පේන්නැද්ද?"

"නෑ පෝල් මටත් පේන්නෙ නෑනෙ"

ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ලොකුම අනතුර ලුසීගෙ ඇස් පෙනීම නැති වෙච්ච් එක.

Thursday, December 20, 2018

කිරි අම්මා

ඉලන්දාරි වයස පහුවෙලා උණත් මම තාම නිදාගත්තෙ කිරිඅම්මගෙ ඇඳේ. කිරිඅම්මගෙ කාමරේ තෙල් බෙහෙත් සුවඳත් එක්ක වෙනදා වගේ මං ඇහැරුණා.

කොහොමත් ඉතින්  හැමදාම කිරිඅම්මට කලින් මං ඇහැරෙනවා.ඇහැරිලා වටේ පිටේ ලෝකෙ ඇහැරෙන සද්දවලට කන් දීගෙන ඉන්නවා.ටිකකින් මට බඩගිනි වෙනවා.මගේ කුණුකුණුවට කිරිඅම්මට ඇහැරෙනවා.අපි කුස්සියට ගිහින් තේ බොනවා.අපේ දවස පටන් ගන්නෙ එහෙමයි.

මගේ අම්මඅප්පා කවුද කියලා මතකයක් මට නෑ.මතක ඇති කාලෙක ඉඳන් මම හිටියෙ තනියම.කිරිඅම්මට දරු මුනුබුරෝ සෑහෙන හිටියා.සමහරු පිටරට.මෙහෙ හිටි උදවියත් හිටියෙ දුර පළාත්වල.ඉතින් අහම්බෙන් දවසක හම්බුන වෙලේ කිරිඅම්මා කිව්වම ඔන්නොහේ මාත් එක්ක නැවතියන් මයිකල් කියලා මම ඔලුව වැනුවෙ එක පයින් ම.එදා ඉඳන් කිරිඅම්මයි මායි හිටියෙ එකට.

 වෙනදා වගේ මගේ කුණුකුණුවට කිරිඅම්මා පුරුදු විදිහට ඇහැ ඇරියෙ නැති වුනාම මට මොකද්දෝ මහ අමුත්තක් දැනුනා.හත් දෙයියනේ කිරි අම්මා අයිස් කුට්ටියක් වගේ සීතලයි.

කිරි අම්මට සෑහෙන අසනීප තිබුණා .හැමදාම උදේ දවල් හවස බෙහෙත් පෙති අහුරු අහුරු  බීවෙ ඒ අසනීපවලට.ඒත් කිරි අම්මාට ළඟදිම දවසක යන්න වෙයි කියලා කිරිඅම්මා නිතරම මැතිරුවා.
"මට යන්න දුක නෑ ,මයිකල්.ඒත් මට දුක මම ගියාම උඹට මොකද වෙන්නෙ කියලා"
ඒ වෙලාවට කිරි අම්මා දිග හුස්මක් අදින්නේ මාවත් ඒ දිහාට ඇදිලා යන ගානට.

කිරිඅම්මගෙ දරුමුණුපුරෝ මට කිසිම ඇගෑලුම්කමක් දැක්කුවෙ නෑ.ඉඳලා හිටලා දවසක ආයෙත් දුවන්න බලාගෙන මහ ගෙදර ආපු දවසක උන් ඔක්කොම මගේ දිහා බැලුවෙ අනවසර පදිංචිකාරයෙක් එහෙම නැත්තං අපරාධකාරයෙක් දිහා බලන විදිහට.

මට උන් එකෙක්වත් වැඩක් නෑ දැන්.මගේ කිරි අම්මා යන්න ගිහිල්ලා.පපුව පිච්චී ගෙන යද්දි මම මහ හයියෙන් විලාප තියන්න ගත්තා.

මගේ විලාපෙට අල්ලපු වත්තෙ ගෙදර අමරෙයි කාන්තියි දුවගෙන ආවා .අමරපාල ගෙට ආවෙ පිටිපස්සෙ දොරේ අගුල කඩා ගෙන.වෙන දවසක ඕක වුනානං මට මාරාවේස වෙනවා.එදා මට ගානක්වත් උන්නෑ.

"හපොයි දෙයියනේ රන්හාමි නැන්දා"කාන්තිත් පපුව අල්ලගත්තා.

එතනින් එහාට වැඩිහරියක් මට මතක නෑ.අමරපාල කොහෙන්දෝ වාහනයක් අරං රූං ගාල ඇවිදින් කිරිඅම්මා අරං ගියා.කිරිඅම්මා ආයෙත් ආවෙ දුඹුරු පාට පෙට්ටියෙන්.
ඒ වෙද්දි දවස් කීයක් ගිහින් ද මන්දා.

ඒ වෙද්දි කිරිඅම්මයි මායි විතරක් හිටපු ගේ පිරෙන්න පිට මිනිස්සු හිටියා.කිරිඅම්මගෙ දරුමුණුපුරු පරම්පරාවත් එකා දෙන්නා පාත් වුනා.

මම පෙට්ටියෙ හිටපු කිරිඅම්මා බලන්න ගියෙ නෑ.ඒ මගේ කිරිඅම්මා නෙවෙයි .මම ආසම කරන තෙල් බෙහෙත් සුවඳ වෙනුවට ඒ පෙට්ටියෙන් ආවෙ නහය කඩා ගෙන යන අප්පිරිය ගඳක්.මම එළියට වෙලා හූල්ල හූල්ලා හිටියා.

ඉඳලා හිටලා  ගමේ උදවිය කවුරුහරි මගෙ ඔලුව අතගාලා අනේ අසරණයා කිව්වත් මම නෙවෙයි ඔලුව ඉස්සුවෙ.

පිටරට හිටිය දුවාදරුවො එනකන් දවස් ගානක් කිරිඅම්මා පෙට්ටියේ නිදාගෙන හිටියා.
ඒ උන්දැලා ඇවිදින් හොටු පෙර පෙරා ඇඬුවා.ඊට පස්සෙ කඳුළු පිහදාගෙන අහුමුළුවලට වෙලා කිරිඅම්මගෙ බඩු මුට්ටු බෙදා ගන්න  හීතල යුද්ධයක් පටන් ගත්තා.

"උඹ තමයි කොලුවෝ මට මේ ලෝකේ ඉතුරු වෙච්චි එකම වස්තුව"මාව තුරුලු කරන් කිරිඅම්මා කීපාරක් නම් එහෙම කියන්න ඇද්ද?
ඒත් මේ උදවිය බෙදාගන්න දඟලපු බඩුමුට්ටු ලැයිස්තුවේ අන්තිම අග්ගිස්සේවත් මම උන්නෙ නෑ.

අන්තිම මුණුපුරාත් ඒරොප්පෙන් ගොඩබැහැලා ආවම  කිරිඅම්මගෙ අවසාන කටයුතු සිද්ධ වුනා.

මළ ගෙදරක්‍ ද මගුල් ගෙදරක්ද බං මේක කියලා කවුදෝ කියනවා මං අහගෙන.හාමුදුරුවොම විසිනමක් විතර වැඩියෙ පිට පලාත්වලින්.
කිරිඅම්මගෙ දරු මුණුපුරන්ගේ තොරණේ විස්තර තමයි වැඩි හරියක් කතාවල තිබුනෙ.ඒ දරුවො කිරිඅම්මාට කරපු නොසෑහෙන සැලකිලි ගැනත් කියද්දි මම කල්පනා කළේ මැරුනෙ මගේ කිරි අම්මා නෙවෙයි වත්ද කියලා.

කැරකොප්පුවේ අන්තිම කෙලවරේ බිම් පොඩ්ඩක කිරිඅම්මව පස් යට හංගලා ඒ උදවිය ඔක්කොම යන්න ගියාට පස්සෙයි මම කිරිඅම්මා බලන්න ගියේ.

අලුත් පස්වල සුවඳ අස්සෙන් කිරිඅම්මගෙ සුවඳ හීනියට වගේ දැනෙද්දී මම කිරිඅම්මගෙ පස්ගොඩැල්ල උඩ වැටිලා හිත දියවෙලා යනකං අඬන්න ගත්තා .

දවස් කීයක් මං ඇඬුවද කියලා මට මතක නෑ.
අමරපාලයි කාන්තියි කීපසැරයක් ම ඇවිත් මාව උන්දැලගෙ ගෙදර එක්ක යන්න තැතනුවා.බැරිම තැන   කාන්ති බත් කටක් පාන්කෑල්ලක් වතුර උගුරක් බොන්න කියලා මට පින්සෙන්ඩු උනා.
කිරිඅම්මා නැතුව මට කෑම කන්න පුලුවන්ද ?

ඔහොම එක දිගට හිත දිය වෙනකං අඬද්දි එක දවසක මගේ පණත් දිය වෙලා ගියා.

මගේ මළගෙදරට ආවෙ අමරපාලයි කාන්තියි විතරයි.කිරිඅම්මා ගාවම පොඩි ඉඩක මාව වළලද්දි පස් ගොඩේ  අමරපාලගෙ කඳුළුත් කලවම් වෙනවා මම කොහෙදෝ උඩක ඉඳන් බලන් හිටියා.

"පව්.තිරිසන් සතෙක් වෙලා මූට දැනිච්ච දුක අර නල්ලමලේ දූලා පුතාලා ටිකට තිබ්බනම් අම්මපා"කාන්ති චීත්තෙන් කඳුළු පිහදා  ගත්තා.

කාන්තියි අමරපාලයි එතන ඉන්දැද්දි මම කිරිඅම්මා හොයන්න යන්න පිටත් උනා.

උන්දැ මං නැතුව පාලුවේ ඇත්තෙ.

ඉගිලෙන ලියමන් 2018.12.20

Wednesday, December 19, 2018

ඇස් වාට්ටු


කොළඹ දුවන්න පටන් අරන් අවුරුද්දකට පොඩ්ඩක් අඩුයි.ඒත් තාම කොළඹ ටවුමයි මායි එච්චරම යාලු නෑ.මහරගමින් 138 ක නැග්ගාම කොළඹින් බහින තැන හොයාගන්න නම් දැන් පුලුවන් .නින්ද ගිහින් හිටියත් හෝල්ට් එක කිට්ටුවෙද්දි කොන්දොස්තර මහත්තයා ගිරිය පුපුපන් බෙරිහන් දෙනවනෙ ටවුන්හෝල් ඇස්වාට්ටුව බහින්ඩ බහින්ඩ....කියලා.
ටවුන් හෝල් එක ගාව බැහැලා ඇස් වාට්ටුවට මෙහායින් හැරිලා දුවද්දි එක ඇහැක් සුදු පාටින් වහගෙන මං වගේම කරකවලා අතෑරලා වාගේ වටපිට බලබලා ඇස් වාට්ටුව හොයං යන ඇත්තො ඉඳ හිට මුණ ගැහෙනවා.
සෞඛ්‍යය අමාත්‍යාංශයට යන්න කොට පාරක් තියෙනවා ඇස් වාට්ටුව මැද්දෙන් .ඕකෙන් යන එනවා මිසක් ඇස් වාට්ටුවෙ ලෙඩ්ඩුන්ගෙ ගැන කතා මං දන්නෙ නෑ.
මේ කතාව කිව්වෙ මේ දවස්වල එහේ ඉන්න මගේ හිතමිතුරු ලේන් මැතිණිය .වට වන්දනාවේ ගියා මදෑ කතාවට යං කො.
දූ පොඩිත්තියෙක්.ලබන අවුරුද්දෙ දෙක වසරට පාස් ලු.
ඉතින් ඇයි ඇස් වාට්ටු ඇවිල්ලා?
පොඩි පොඩි දේවල් පේන්නෙ පැටලිලාලු.ඈත තියෙන මල්වලට කුරුල්ලො කියලා එහෙම රැවටෙන වලු.
පරීක්ෂණ කරලා බලද්දි දෝණිගේ පෙනීම හොඳටම අඩුයි ලු.
හුඟක් වෙලාවට පොඩිත්තන්ගෙ පෙනීමෙ දෝස අහුවෙනවනෙ ඉස්කෝලේ කලු ලෑල්ල පේන්නැති උනාම.
වැඩේ කියන්නෙ බටිත්ති පන්තියෙ ඉන්න හොඳම ළමයෙක්ලු.ඉතින් ටීචර් ආදරේ වැඩි කමට හැමදාම බටිත්තිව තියාගන්නෙ ඉස්සරහම පේළියකලු.
ගෙදරදි ටීවී බලද්දි එහෙම මේක දැක්කෙ නැද්ද කියලා ඩොක්ටර් ඇහුවලු.
කියන දේ අහන්නැතුව ටීවී බලන හින්දා ටීවී එක ගලවලා අයින් කරල තියෙන්නෙ කියල අම්මා කිව්වලු.
බැලින්නං බටිත්ති පොඩි කාලෙ කියන දේ අහන්නැතුව ළඟටම වෙලාලු ටීවී බලලා තියෙන්නෙ.පෙනීම අඩු විත්තිය කියන්න පොඩිත්තිට තේරිලත් නෑ.පොඩිත්තිට තියෙන අවුල ගෙදර අයට තේරිලත් නෑ.
වැඩිහිටි  අපිට අරෙහෙ රිදෙනවා,මෙහේ පුපුරු ගහනවා කියලා අපිට තියෙන අමාරු කියන්න පුලුවන් උනාට පොඩිහිටියන්ට එහෙම අමාරුයි .පොඩිහිටියන් සමහර වෙලාවට තමන්ගේ අමාරුකම් පෙන්නන්නේ ඔන්න ඔය වගේ අපි නොහිතන විදිවලට වෙන්න පුලුවන් කියන එකයි ඔය කතාව අහලා මට හිතුනෙ.
ඉගිලෙන ලියමන් 2018.12.17

තවත් තේ කතාවක්

කාලෙන් කාලෙට තේ බීපු හැටි කලින් ලිව්වා මතකනෙ.
කියවන්න බැරි වෙච්ච ඇත්තෙක් ඉන්නවානම් පස්සෙන් පහු කියවන්න බැරියැ ඒ පෝස්ට් එක.

අපේ තාත්තගෙ රසම රස තේක ගැන කීවනෙ.
එකම එක කතාවක් හැබැයි අමතක වුනා.
තාත්තගෙ පොල්කිරි තේක.
ඇයි ස්ට්‍රෝබෙරි ටී, ලෙමන් ටී, ජින්ජර් ටී, හිබිස්කස් ටී තියෙනවනං පොල්කිරි ටී තියෙන්න බැරි ද?

ඔන්න මෙහෙමයි ඒ කතන්දරේ වෙන්නෙ.

අපේ මවුතොමෝට  ආතරයිටිස්  තියෙනවා නොවැ.ආතරයිටිස් නොතිබ්බත් අවුරුදු බර ගානක් තිස්සේ  උයලා පිහලා, රෙදි සෝදලා ගෙවල් අසපස් කරලා ,ඕං ඔය කියන සුමේ නොකඩවා කරන බවලත් උදවියට වයසට යද්දි අත පයේ හන්දි අමාරු එනවා.

පොල් මිරිකන හැටි ඉතින් කාටවත් අලුතෙන් කියලා දෙන්න ඕනෙ නෑනෙ.ඇඟිලිවල අත්වල හන්දි අමාරු තියෙන උදවියට ඔය පොල් මිරිකනවා කියන එක බොහෝම වේදනාකාරී අත්දැකීමක්.
ඒත් ඉතින් මේ සිරිලංකාවේ ගෙවල් වල පොල්කිරි  නොදාන එළවලුවක් මාලුවක් හොයාගන්න ටිකක් අමාරුයි නෙ.ඉතින් හැම වේලටම පොල් කිරි එපායැ.

ඒ කාලෙ මගෙ හිතේ අර පොල් ගෙඩියක් රත්තරන්වලට ටිකක් අඩුවෙන් විකිනිච්ච කාලෙ.පොල් හිඟයටත් උත්තරයක් හැටියට අපේ අම්මා ගෙනාවලු අර පිටිකළ පොල් කිරි පැකට්ටුවක්.
අර සැබවින් නියම පොල් කිරී, කිරිබත් කිරිහොඳි වලට....කියලා සුනිල් පෙරේරා කියන්නෙ ආං ඒ පැකැට් එකක්.

ඒත් වැඩේ කියන්නෙ අපුච්චා ඔය පිටි කළ පොල් කිරි වැඩේට සම්පූර්ණ විරුද්ධයි .ඇත්තනෙ ඉතින් .දැං ඔය පොල් ගෙඩියක් බිඳලා එක බෑයක් ගාලා අනිත් බෑය රෑ ෆ්‍රිජ් එකට දාන්න අමතක උනා කියන්නකො.හා උදේ වෙනකොට නරක් වේගෙන ඇවිත් නැද්ද?
ඉතින් එහෙනං කල් තබාගන්නා ජාති එකතු කරන්නෙත් නැතුව පිටි කළ පොල් කිරි එක නරක් නොවී තියෙන්නෙ කොහොමෙයි.පිටි කළත් පොල් පොල්ම නෙව.

ඉතින් ඔය තාත්තගෙ විරෝධෙ හින්ද අම්මා පි.පො.කි. ගේන එක නැවැත්තුවලු.

ඕං ඔය කාලෙ දවසක් මම ගෙදර ඉන්න කම්මැලි කමේ බට්ටිවත්  කුදලගෙන අපේ මාපියාණන් යුවල බලන්න සම්ප්‍රාප්ත වෙනවලු.
සාමාන්‍යයෙන් මම ගෙට ගොඩ වුනාම මට තේකක් හදලා දෙන්න අපේ අපුච්චට වෙනම බුලත් දෙන්න ඕනෙ නෑ.
එදා උන්දැ කොහෙ හරි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියෙ.ඒ මොන ගමන තිබුණත් දඩි බිඩියෙ දෝනියණ්දෑගේ තේ ගුදම හදලා දීලා තමා එළියට බැස්සෙ.

උගුරක් දෙකක් උගුරෙන් පහළට යද්දී මොකක් නමුත් වෙනසක් තේරුණත් මං දන්නවෑ ඉතින් වෙච්ච දේ.තව උගුරු දෙක තුනක් ආමාශගත වෙද්දී පොඩී සැකයක් මතු වෙච්චි.

තාත්තා තාමත් එළියෙ හින්දා හෙමීට අම්මට කිට්ටු කරලා ඇහුවෙ පිටි කළ පොල් කිරි පැකට් එකක් එහෙම හංගලා තියෙද කියලා.

අම්මා ඔලුවෙ අත ගහ ගත්ත පාර මට තේරුනා පිංවතුනි වැඩේ හරි තමයි කියලා.
අපේ ගෙදර සීනි, පිටි ආදී දෑ දාලා තිබුනෙ අර නෙස්ප්‍රේ මාමල කාලයක් දීපු පාට පාට පියන් තිබ්බ ටින් වල.වක්කඩේ හකුරු හැංගුවට හපන් අපේ මෑනියන්දෑ පොල්කිරි එක හංගලා තියෙන්නෙත් ඕං ඔය ටින් එහෙකමලු.

වැඩේ කියන්නෙ ඉතින් කාඩ්බෝඩ්  පැකට්ටුවෙන්  එලියට ගත්තම කිරිපිටි පැකට් එකයි පොල් කිරි පැකට් එකයි දෙකම තියෙන්නෙ අර ඇලුමිනියම් වාගේ පැකට්ටුවේ නේ.

ඉතින් තාත්තට දොසක් කියතැහැකැ වෙච්චි දේට.පොල් කිරි තේක සින්ක් එකට නවලා මෑනියන්දෑ අලුතෙන් හදලා දීපු තේක බොන්න ගත්තෙ  ඒ පාර දැම්මේ හරි පිටි ජාතියද කියලා හොඳට ඉව අල්ලලා එහෙම තමයි.

දැන් නං පියානන්දෑ අපේ ගෙදරදිත් පිටි කළ පොල් කිරි එක්ක සහයෝගෙන් වාසය කරනවා.ඒ හින්දා ඊට පස්සෙ පොල්කිරි ටී බොන්න වුනේ නෑ.

ගඩා ගෙඩි


තාත්තා එක්ක විනාඩි දෙක තුනක් කතාවට වැටුණම රස කතා පොකුරු පිටින් ඔඩොක්කුවේ.
තාත්තගෙ ගම හොරණ ,කුඩා යාල.අපි පොඩි කාලෙ යද්දිත් මහ ගෙදර වටේ තිබුනෙ විසාල වත්තක්.දැන්නම් ඒක නෑ.
මිදුලෙ තිබ්බ ගඩිගුඩා ගහයි මැංගුස් ගහයි නං තාමත් මතකයි මට.
කොහොමත් සීයලා බලන්න් එහේ ගියාම අනිත් උදවිය ගෙට ගොඩවෙද්දි මම ගොඩ වුනේ ඉස්සරහ මිදුලේ ජම්බු ගහට(දැන් එනවා නෙවෙයි කට කැඩිච්චි කතා කියන්.)
තාත්තගෙ ගොඩක් කතාවල ගඩිගුඩා ගහයි මැංගුස් ගහයි හිටියා.තව ඇඹිල්ල, කිරිල්ල, කටු ආතා, මාදං ඔය වාගෙ තාත්තගෙ කතාවලින් විතරක් රහ බලපු කැලෑ ගෙඩි අටෝරාසියයි.
මාතර ගෙදර මිදුලෙ චෙරි ගහකුයි ඇඹරැල්ලා ගහකුයි තිබුනා.ඉදුනම කියුටෙක්ස් රහක් ආපු චෙරිවලට මගේ ලොකු කැමැත්තක් නොතිබ්බට මගේ එක්ක වැටිලා හිටපු කොලු නඩේනං අපේ ගෙදර එන එන පාරට චෙරි ගහ හිස් කෙරුවා.
අලුත් ගෙදර මල් පැලයක් වවාගන්නත් අහිංසක මට අමාරු එකේ පලතුරු පැලයක් වවාගන්නවා කියන එක නං හීනයක් තමා ඉතින්.
අමාරුවෙන් හරි වවාගත්තත් ඉතින් ගෙඩි හැදෙන කාලයක් වෙද්දි අපි වෙන ගෙදරකට ,පියාඹයිද  කවුදෑ දන්නෙ.
ගහේ හැදිලා ඉඳිච්චි ගෙඩියක් ගහට ගොඩවෙලා කඩාගන්න පාඩම බට්ටිට උගන්නගන්න බැරි වෙයිද කියලා  සැරෙන් සැරේ හිත  වද වෙන්නෙ ඔය අස්සෙ.
කාර්ගීල්ස් ,කීල්ස් ආපිකෝ සාප්පු වල රටින් ගෙනා  අපූරු පෙනුමට ඉන්න මිස් ඇපල්ලා, මිස්  ඔරේන්ජ් ලා, ස්ට්‍රෝබෙරි බබාලා  බලං ඉන්නෙ හිනා වෙවී.
ගමනක් යන්න එලියට බැස්සම පාර දිගට තියෙන්නෙ ළඟදි දවසක සංකල්ප අයියගෙ  පෝස්ට් එහෙකත් මුණ ගැහිච්ච මිහින්තලේ රස අඹ, ඇට නැති රස මිදි එහෙම.
ඉරිදා පොළ පැත්තෙ එහෙම ගියා නම් කොමඩු, දිවුල්, කෙසෙල් වෙලාවකට උක් දන්ඩක් එහෙමත් ගෙනාවැහැකි.
හැමදාම නැතත් ඒ ගොල්ලොන්ගෙ කාලෙට නුවර පාර දෙපැත්තෙන් අන්නාසිවතීලා, රඹුටන් අප්පුලා, කන්න කැමති ඇත්තන්ට දූරියන් වාහෙලා එහෙමත් මුණ ගැහෙන්නත් ලොකු අමාරුවක් තාම නැහැලු.
කැලේට කොලේට හැදෙන මාදංලා බෝවිටියලා, ඇඹිල්ලලා කිරිල්ලලා නං එහෙම මුණ ගැහෙන එකත් දැන් කළුනික හොයනවා වගේ ලු.
අම්මාට වගේම බට්ටිටත් ඒවා රහ බලන්න වෙන්නේ සීයාගේ කතා පොකුරු වලින් විතරක් වෙන එකට නම් සෑහෙන හිතට අමාරුය.
මොකදැ කරන්නෙ ඉතින්.
ඉගිලෙන ලියමන් 2018.12.15


මෙහෙමත් ආදරයක්

අපේ උන්දෑ ගෙදර බාලයා ය.උඩින් අක්කලා අයියලා දෙක ගානේ ය.කොහේ යතත් නැකතේ කෑලිත් නැති වුනාම යන පුරුද්ද හින්දාම අපේ උන්දෑ මෙලොව එලිය දකින්නෙත් පොඩි අක්කා ඇවිදින් අවුරුදු දහයකුත් ගිය තැනය.

ඉතින් ළමෝ පස් දෙනෙක්ම ලොකු මහත් කර ලොකු ලොකු තැන්වලට පාරත් පෙන්නා දීග තුලාවලුත් කර දුන් අම්මාත් තාත්තාත් මහ ගෙදර අත් අරින්නට නම් මනාප නැත්තේමය.

ඉතින් නිවාඩු පාඩුවක් ආ හැටියේම හයිවේ රාජයාට පින් දෙමින් අපි අම්මලා බලන්නට ගෙදර දුවනවා ය.
දවල් කෑමට අපි එන බව කිව්වත් මාතලී අපේ උන්දෑ උනාම එන්නේ රෑ කෑමට බව අම්මා දැන ගත යුතු ය.ඒත් උන්දෑ දවාලටත් උයනවාය.

හයි වේ එකේ මැද ගුවන්කුරුල්ලාගෙන් කඩචෝරුත් කා ගෙදර ඇවිදින් බහින්නටත් කලියෙන් ම බත් කන්න ආරාධනා ය.මගුල් ගේකට තරම් කෑම ජාති ය.මගුල් ගේකට වඩා රහ ය.ඉස්මුරුත්තාව හැදෙන කං කාලා හැරෙන්නට කලින් තේ බොන්න කතාව ය.
  ගෙදරදී බත් දැක්කාම පරල වෙන බට්ටීට බත් කටවල් පහ හයක් ගිල්ලවාගන්නට හම්බෙච්චි එක තරං සතුටක් තවත් නැත.එහෙන් කොකිස් ය.මෙහෙන් රසම රස කේක් ය.අලි මදිවාට හරක් කියා සීයා පැස්ටා පැකට් එහෙකුත් ගෙනත් ය.බට්ටිටත් රජ මගුල් ය.

යාන්තං තේ ඩිංග ආමාශයෙන් පහළට රිංගද්දී රෑට කන්නේ නැද්දැයි අම්මා කුරු කුරුය.පොල්සම්බෝලයත් කොස් මැල්ලුමත් මාලුත් පපඩනුත් එක්ක තවත් කොත ගහපු බත් පිගානක් බඩට ය.

පහුවදා උදේ නැගිටිද්දී හකුරු එක්ක ලොකු කරපිංචා ජග්ගුවක්‍ ය.දිවියලෝකේ කැඳත් මේ රහම වෙන්න ඇති ය.අත්තම්මා මොන සූත්තර දැම්මත් කැඳ බොන්නේ නම් බට්ටි නෙවෙයි ය.ඒ පාර හිතේ අමාරුවට බට්ටිය වෙනම පැශන් ජූස් එකක් ය.ඒකත් ඉතින් මේ බඩට මය.උදේට කන්නේ නෑ කියා හිතා ගත්තත් එහෙන් රසම රස ඉඳිආප්පය.කිරි කොස්‍ ය.රස බත් ය.ඒ වේල අහවර වෙද්දී හුස්ම ගන්නත් අමාරුය.
දවාලට කනකං ආයේ මොකුත් එපා කිව්වාට අම්මාට ඒවා අදාල නැත.ඉතින් තවත් ලොකු පිටි ජොග්ගුවක් බඩේ ය.
 දවාලටත් පිදුරුතලාගලට පොඩ්ඩක් පාතින් යන බත් කන්දක් අනුමත වුනාම හොඳටෝම නිදිමතේය.
නිදිමත යන්නට කියා ඒ පාර ප්ලේන්ටී ය.
හවස බට්ටි එක්ක බීච් ගිහින් ආපහු එද්දී රෑ වෙලා ය.බට්ටිට කන්න කිරිම කිරි රහ ආප්ප ඇවිදින් ය.බට්ටිත් අම්මාත් ආප්ප කන්නේ එකත දෙක අනුපාතෙන් ය.
රෑට පොල් සම්බෝලයි බතුයි විතරක් යැයි අම්මා කියන්නේ මහා වැරැද්දක් කළ ගානට ය.ඒ පොල් සම්බෝලෙත් එක්ක බත් මුට්ටියම කන්න හැකි බව මතක් වුනාම හීන් දාඩිය දාන්නේ අපිට ය.
ඉතින් අද තුන් වෙනි දවසය.උදේ කෑම බුෆේ ය.එහෙන් බත් ය.මෙහෙන් කවුපිය.කොළ කැඳ ජෝග්ගුවට වග කියා අවසන හිත තද කරන් නිවේදනය කරන්නේ උදේට කන්න බඩේ ඉඩ නැති බව ය.දැඩි විස්සෝපයට පත් වෙන අම්මා මේ ගැන අපේ උතුමාණන්ටත් පිය උතුමාණන්ටත් පැමිනිලි කළත් උදේ කෑම මේසය පැත්ත පළාතේ වත් යන්නේ මම නං නෙවෙයි ය.
කොහේ බේරෙන්නද?
"උදේට කෑවෙත් නෑ මේ දරුවා "කියා ගෙන හැංගී හිටි තැනින් මා හොයා ගෙන රසම රස කිරි තේ ජොග්ගුවක් බලෙන්ම අතේ තියන්නේත් අම්මා ය.

දැන්  දවල් කෑම හැදෙනවාය.

අපේ උන්දෑ බරවාහනවලට ලයිසං අරං නෑය.හවසට ගෙදර යා ගන්නේ කොහොමද කියා කල්පනා කර කර ඉන්දැද්දි තේ ජොග්ගුවම ඉවර වෙලාය

Saturday, December 15, 2018

පින් සිද්ද වෙච්චාවේ

කරවනැල්ලේ ඉස්පිරිතාලෙ ඉන්වෙන්ට්‍රියක් උන සීයා කෙනෙක් ගැන කලින් දවසක ලිව්වා.ඉස්පිරිතාලෙ බලෙන් නතර වෙනවට අමතරව සීයා කරපු තවත් වැඩක් තමයි හිඟා නොකා හිඟා කාපු එක.සීයාගෙ කටේ සැර දැනං උන්නෙ ඉස්පිරිතාලෙ නිත්‍ය සාමාජික අපි විතරයි.පිටින් ඉස්පිරිතාලෙට ආපු අනිත් ලෙඩ්ඩු ,ලෙඩ්ඩු එක්කන් ආපු මිනිස්සු දැක්කේ බොහෝම අහිංසක අසරණ සීයා කෙනෙක්.

අහන උදවියට සීයා කියන්නෙ දූලා කී දෙනෙක්ද මන්දා හිටියත් ඒ එක්කෙනෙක්වත් සලකන්නෙ නෑ කියලයි සීයා හිතේ අමාරුවෙන් කියන්නෙ.මිනිස්සු වෙලාවකට රුපියල් පන්සීයේ කොළත් සීයගෙ අත මිට මොලවනවා මම දැකලා තියෙනවා.ඇත්තටම සීයට දූලා ඉන්නවද කියලා නම් දන්නෙ නෑ.ඒත් වෙලාවකට ඇඩිමිශන් කොලේ ලියලා වාට්ටුවට යන ඩිංගෙත් සීයාගෙ කිඹුල් කඳුළුවලට    සල්ලි කොළ එකතු උනා .

පේරාදෙනියේ ඉන්දැද්දී ඉඳහිට මුණගැහෙන අංකල් කෙනෙක් හිටියා.බොහොම වැදගත් විදිහට ඇඟ පැළඳගෙන ඉංග්‍රීසියෙන් කතා බහ කරන අංකල් හැමදාමත් කියන්නෙ එකම කතාවක්.තමන් දියවැඩියා රෝගියෙක් බවත් පුතා වැඩ කරන්නෙ පේරාදෙනියේ සරසවියෙ බවත් කියන මේ අංකල් ඉල්ලන්නෙ  හදිසි සීනි අඩු වීමකට  ප්‍රතිකාර හැටියට ක්‍රීම් කැකට් පැකට් එකක්.දෙතුන් වතාවකට වඩා වැඩියෙන් මේ අංකල් මේ කතාවත් එක්කම මට මුණ ගැහෙනවා.

කරවනැල්ලෙ ගෙදර ඉන්දැද්දි අවුරුද්දකට දෙපාරක් විතර ළමා නිවාසෙකට ආධාර ඉල්ලාගෙන බවලත් ඇත්තන් කිහිප දෙනෙක් එනවා.ළමා නිවාසෙ ළමයින්ගෙ විස්තර ,පින්තූර තියන ලැමිනේටිං කරපු පොතක් එයාලා අතේ තියෙනවා.ඒත් හැමදාම ඒ පොතේ තිබුනෙ එකම පින්තූර.අම්මගෙ බැනුම් අහගෙන හැමදාම රුපියල් පන්සීයක් දුන්නත් ඇත්තටම ඔය කියන තැන ඔහොම ළමා නිවාසයක් තියෙනවාද කියලා හොයන්න යන්න හිතං හිටපු එක කරවනැල්ලෙන් එනකනුත් කරන්න බැරි වුනා.

දළදා මාළිගාවෙන් එළියට එන තැන වතුර පොකුණ ගාව හැමදාම කකුල් කොට දෙකක් විතරක් තිබ්බ මනුස්සයෙක් බිම ඉඳන් හිඟමන් ඉල්ලුවා.

නුවර, කොළඹ එහෙම දුර බස්වලට හැමදාම බස් ස්ටෑන්ඩ් එකේදි නැග්ග බාගෙට බාගයක් යදියො ලෙඩ්ඩු.ලෙඩේ විස්තරේ කියාගෙන කියාගෙන යද්දි අතේ තියං පෙරලාගෙන පෙරලාගෙන යන අතටම දියවෙච්චි ලැමිනේට් කරපු විස්තර කොළත් ඔය ගොඩ දෙනෙක් ළඟ තිබ්බා.වෙලාවකට මේ මිනිස්සු කරන්නේ අලි බොරුවක් කියලා හොඳටම තේරුණත් මම කට පියන් හිටියා.

කෝච්චියේ යද්දිත් එහෙම තමයි.පිච්චිච්ච ඇත්තෝ, කකුල් අත පය අඩු ඇත්තෝ, ළමයි කරපින්නා ගත්ත ඇත්තෝ කෝච්චියේ හිර වෙලා ගිය අපි අස්සෙන් එහා මෙහා පැද්දි පැද්දී   
පිනට යමක් ඉල්ලලාම හිටියා.


තවත් හිටියා සිලිං බිලිං රබානක් එක්ක නැගලා සින්දු කියලා සල්ලි ඉල්ලපු ඇත්තෝ .ඒ හුඟක් ඇත්තන්ගේ සින්දු අහන් හිටියට අපිට කීයක් හරි ඉල්ලාගන්න වෙනවා හරිනම්.කීයක් හරි නොදුන්නොත් ඒකට කවියෙන් ඇනුම් පද කියන කවියොත්  හිටියා.

කීල්ස් ආර්පිකෝ ඔය කොහේ හරි ගියාම බඩුමුට්ටු ටික අරන් එළියට එද්දි කොහෙන්හරි මතුවෙලා අතපාන නඩයක් ඉන්නවා.ගොඩක් වෙලාවට මේ නඩේ ඉන්නෙ පොඩි ළමයි.හුඟ වෙලාවට මේ කරදරෙන් බේරෙන්න විස්සෙ නෝට්ටුවක් හරි දහයෙ කාසියක් හරි දෙන්නම සිද්ධ වෙනවා.

ඔය ජාතියෙ තව නඩයක් ඉන්නෙ සෑහෙන වෙලාවක් කලර් ලයිට් රතු වැටෙන ජනාකීර්ණ හන්දිවල.නතර කරලා තියෙන වාහන අතරෙන් ඇදි ඇදී වාහනවලට තට්ටු දාන මේ ඇත්තන්ගෙනුත් බේරෙන්න සෑහෙන්න අමාරුයි .

සමහර විට මේ ඇත්තන් අතරෙ ඇත්තටම වෙන කරන්න දෙයක් නැති කමට අනුන්ගෙන් ඉල්ලන්න  වෙන කිහිප දෙනෙක් ඉන්නත් බැරි නෑ.

ඒත් මටනම් හිතෙන්නෙම මේ අනේ නෝනා මහත්තයාලා හුඟ දෙනෙක් කරන්නෙ අපේ හිත්වල තියෙන අනුකම්පාව කාසිනෝට්ටුවලට හරවලා සාක්කු පුරෝගන්න එක කියලයි.

ඉගිලෙන ලියමන් 2018.12.15

Friday, December 14, 2018

ගිනි

සමංගි ගෙයින් එලියට බැස්සෙ ආයෙ නොඑන්නම

ඒත් සමංගිටයි වරුණටයි යන්න තැනක් තිබුනෙ නෑ.

සමංගි පවුලෙ එකම දැරිවි. සමන්තිගෙ ජීවිතේ ගෙවුනෙ රාජ කුමාරියෙක් ගෙ වගේ.වැඩේ වුනේ ඒ රාජ කුමාරි උන්මාද චිත්‍රා වෙච්චි එක.

අම්මට තාත්තට සමංගි ගැන බලන්න වෙලාවක් තිබුනෙ නෑ.කම්පැනියෙ වැඩ අස්සෙ ඒ දෙන්නගෙ ජීවිත හිර වෙලා තිබුණ එක බිංදුවක්වත් හෙල්ලෙන්න බැරි වෙන්නයි.

ඉල්ලන පරක්කුවෙන් සමංගිට නොලැබිංච්ච දෙයක් තිබ්බනං ඒ ආදරෙයි නිදහසයි විතරයි.ඉස්කෝලෙටයි පන්තිවලටයි ගෙදරටයි මාරුවෙන් මාරුවට ගෙවුනා මිසක් සමංගිට වෙන කොහේවත් යන්න  නිදහසක් තිබුනෙ නෑ.ඉස්කෝලෙ ,පන්තිවල මුණ ගැහුණ යාලුවොත් එක්ක වුනත් ඒ බිත්ති හතරෙන් පිට යාලුකමකට ඉඩක් සමංගිට තිබුනෙ නෑ. 
අම්මගෙවත් තාත්තාගෙවත් නෑදෑයො එක්ක කොහොමත් ඒ ගොල්ලොන්ගෙ ඇයි හොඳයියක් තිබ්බෙ නෑ. 

සමංගි ලෝකෙ දැක්කෙ ටීවී එකෙන් විතරයි.

වරුණලගෙ ගෙදර ටීවී එකක් තිබුනෙ නෑ.තාත්තා වෙන ගෑනියෙක් එක්ක දීග කන්න යද්දි වරුණලෑ අම්මට වරුණ ලැබෙන්න මාසයක්ලු.

වරුණලෑ අම්මා එක්ක වසන එකත් ලේසිපාසු නැති හින්දා තාත්තා කියන එකාට බැනලා තේරුමල් තිබ්බෙත් නෑ.
වරුණලෑ අම්මව පලාතෙම ප්‍රසිද්ධ වුනේ කසිප්පු ගුණවතී කියලා.උන්දැ රෙද්ද කරට අරං කුණුහබ්බ වගුරන්න ගත්තම පිරිමිත් බය වෙනවා රණ්ඩුවට එන්න.

අම්මට වරුණ ගැනවත් අක්කලා දෙන්න ගැනවත් හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ.ලොකු අක්කා මිනිහෙක් එක්ක යන්න ගියේ දාසයෙන්.පොඩි අක්කා උයලා තියෙන මොනව හරි ගිල දාලා ගැන්සියෙ උන් එක්ක රස්තියාදු ගැහිල්ල තමයි වරුණගෙ ජීවිතේ.

ඉඳලා හිටලා හිතුනම ඉස්කෝලෙත් ගියා තමයි.ඉස්කෝලෙ එවුනුත් වරුණ දිහා බැලුවෙ ඉස්කෝලෙට ගෙනත් කසිප්පු විකුණන ගානට.ඒක හින්දා වරුණ  ඉස්කෝලෙ නේන එකම හුඟ දෙනෙක්ගෙ කැමැත්ත උනා.

සමංගියි වරුණයි අහසයි පොළවයි වගේ තමයි.ඒත් ඒ වගේම තමයි සමංගියි වරුණයි ගින්දරයි පුළුනුයිත් වගේ.

සමංගි ගෙයි වරුණගෙයි ආදර කතාව කියවන්න හිතාගෙනද ආවෙ?

අනේ සමාවෙන්න.ඒක ගැන ලියන්න අමාරුයි.
එතන ආදරයක් තිබ්බද නැද්ද කියලා හිතාගන්නත් වෙලාවකට අමාරුයි.

එකම එක දවසක අහම්බෙන් සමංගිට වරුණව මුණගැහෙනවා.
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලලා හඳ දැක්කා වගේ වෙච්චි ඒ අහම්බෙ හරි නම් එතනින් ඉවර වෙන්න ඕනෙ.

ඒත් කූඩු වෙච්ච හිතකට නිදහස වදයක් වෙන හිතක් හම්බ වුනාම ඒ හිත් දෙකටම තියෙන ලොකුම අහේනිය වෙන්නෙ හිතට දැනෙන ආදරේක අඩුව වුනාම අහම්බකාරකත් ආයෙ ආයෙම වෙන්න  ගන්නවා.

වරුණ ගැන කොහොමත් හොයන්න කවුරුත් නෑ.සමංගි එක්ටැම්ගෙයින් පියාඹන්න දහසකුත් එකක් නූල්සූත්තර ගැට ගහනවා.
නූල්සූත්තර අස්සෙන් කාලෙ ඉගිල්ලිලා යනවා.

ගින්දරයි පුළුනුයි වැඩි කලක් එක ළඟ තියන්න අමාරුයි.ගිනි ගන්නවා.

සමංගිලගෙ සෞඛ්‍යය පොතේ ප්‍රජනනය කියලා පාඩමක් තිබ්බට සෞඛ්‍යය ටීචර් ඒක උඩින් පැනලා ඊළඟ පාඩමට යනවා.
වරුණට සෞඛ්‍යය පොතක් තිබුණෙත් නෑ.ඒත් ගැන්සියේ එවුන් ඒ පාඩම උගන්නලා තිබ්බෙ සෑහෙන අතිනුත් දාලා.

ඒ ඔක්කොම තේරුනේ සමංගිගෙ මාසෙ ලෙඩේ පරක්කු වෙලා අර හීනි පටිය මැද්දෙන් රතු පාට ඉරි දෙකක් සමංගිට විරිත්තන්න ගත්තම.

සමංගිට ගෙදරට මූණ දෙන්න විදිහක් තිබුනෙ නෑ.

වරුණට සමංගිව ගෙදර ගෙනියන්න විදිහක් තිබ්බෙත් නෑ.ලොකු අක්කා පැනලා ගිහින් ගෙදර ආ වෙලේ ගුණවතී උන් දෙන්නට ගහලා පන්නද්දි කොහු මිට කෑලි දෙකයි.
කොහොමත් සමංගිව ඒ ගෙදර ගෙනියන්න බෑ.

සමංගිගෙ කරාබු ජෝඩුවටයි වරුණ ගෙ සාක්කුවෙ තිබුණ රුපියල් සීයටයි තුන්දෙනෙක්ට කන්න බොන්න දෙන්න හයියක් තිබ්බෙත් නෑ.

සමංගිගෙ තීරණේට වරුණ කොහෙත්ම කැමති වුනේ නෑ.වෙන මොකක් හරි උත්තරයක් මේකට ඇති කියලයි වරුණගෙ හිත කිව්වෙම.
ඒත් වැලහින්නක් වගේ සමංගි කඳුළු දිය කරද්දි වරුණට අන්තිමේදී තීරනේ ට කැමති වෙනවා ඇරෙන්න වෙන උත්තරයක් පෙනුනෙ නෑ.

කොහොමටත් සමංගිගෙ ලෝකෙන් වරුණගෙ ලෝකෙට බැහැලා හෙට්ටු වෙන්න සමංගිට බැහැ කියලා වරුණටත් තේරුණා.අන්තිමේ සමංගිට වරුණ    පේන්නවත් බැරි වෙයි.

ඔක්කොම තීන්දු වෙලා අහවර වෙනකං වරුණ අන්තිම වතාවටත් සමංගිව තුරුළු කර ගත්තා.

"හපොයි දෙයියනේ.අදත් රෑ වෙන්න කලින් ගෙදර ගිහින් හමාරයි.මුන්ට  කාලා බීලා ඉන්න බැරුවට අපි පළිද?"

සමංගිවයි වරුණවයි එකතු කරන් යන්න නැවතිච්ච කෝච්චියේ උදවිය තරහෙන් කණුකුණු ගාපුවා සමංගිටවත් වරුණටවත් ඇහුනෙ නෑ.

ඒ වෙනකොට ඒ දෙන්නා යන්නම ගිහිල්ලා.

ඉගිලෙන ලියමන් 2018.12.14

Thursday, December 13, 2018

ආදර පරාණ

ආදරේ කරන මනුස්සයා හැමදාම බෝනික්කෙක් වගේ හිනාවෙවී ඉන්නව නං කොච්චර සෝයිද නෙහ්?
ඒත් ඉතින් එහෙම වෙන්න ඒ මනුස්සයා වයින් කරන බෝනික්කෙක් වෙන්ට එපෑ.
පණ තියන මිනිස් පරාණ එහෙම තුන්සිය හැටපස්පැයේම හිනා බෙද බෙද ඉන්නෙ නෑනෙ.

පණ තියන මිනිස් පරාණවුනාම සැරෙන් සැරේ හිත් රිදෙනවා.දුක හිතෙනවා.
වැඩේ කියන්නෙ හුඟක් වෙලාවට ඔය හිත් තැලෙන්නෙ අර ආදර පරාණවල වැඩ කටයුතු හින්දම තමා.
 ඒ වගේ ඇඟෑලුම් කමක් නැති උදවිය දෙකේ දෙකේ පොල්ලකින් ඔලුව මැදට තඩි බෑවත් ඉවසන්න පුලුවන් උනාට ආදරේ කරන පරාණ  ඩිංගිත්තක්වත් නොහිතා කරන කියන ඇබිටිල්ලං දේටත් හිත රිදෙන්න තියෙන ඉඩකඩ හොඳටෝම වැඩියි.

වැඩේ කියන්නෙ හිත තැලිච්ච වෙලාවට ළඟ ඉන්න ආදර පරාණ කැමතිම නෑලුනෙ.
ඇත්ත තමයි  මූණෙ හිනා පුරෝගෙන කොමළ කතා කිය කිය ඉන්න කොට තියෙන අපූරුව මූණ බුකෝගෙන කඳුළු පෙරාගෙන හොටු හූර හුරා ඉන්දැද්දි නෑනෙ.

ඉතින් ආදර පරාණ කරන්නෙ එක්කො රිදිච්ච හිත් විහිලුවකට ගන්න එක.
ඒකෙන් වෙන්නෙ රිදිච්ච හිත තව ටිකක් රිදෙන එක.

ඒකත් හරි නොගියම ආදර පරාණවල ඊළඟ ආයුදේ තැලිච්ච හිත දැක්කෙ නෑ වගේ ඉන්න එක.
රිදිලා රිදිලා ඇඬිලා ඉන්න හිතට යකා නගින්න ගන්නෙ ඔන්න ඔය වෙලාවට .ඉතින් රිදිච්ච හිත කරන්නෙ යුද්ධ ප්‍රකාශ කරන එක.
ඇයි වදේ මෙච්චර හිත කඩං වැටිලා ඉන්දැද්දි ආදර පරාණෙටත් මේකෙ  වගේ වගක් නැත්තං  පිට මිනිස්සුන්ට යැ වගක් තියෙන්නෙ?

රිදිච්ච හිත යුද්ධ ප්‍රකාශ කෙරුවම ආදර පරාණ මොකදෑ කරන්නෙ?
හපෙ අම්මෝ මෙවුන්දැට ආච්චි වැහිලා.අයින් වෙලා පයින් යන එක තමයි ඇඟට ගුණ කියලා තාවකාලිකව අන්තරස්දාන වෙන එක.

මොකද ආදර පරාණ ඉන්තේරුවෙන්ම දන්නවා තරහ ගිහිල්ලා, අඬලා පොළවෙ හැපිලා ,හූ තියලා ඔය ඔක්කොම තොවිල් ඉවර වෙලා රිදිච්ච් හිත ආයේ ආදර පරාණෙ හොයා ගෙන එනවා කියලා.

රිදිච්ච හිත ඕකට කියන්නෙ ආදරේ කියලා.
ඒත් වෙලාවකට හිතෙනවා ඕකට කියන්නෙ ගෑනුකම හරි ලැජ්ජා නැතිකම හරිද කියලා.

ඉගිලෙන ලියමන් 2018.12.13

Wednesday, December 12, 2018

මුතු කැට


🎲ඉවර වෙන්න ටිකකට කලින්

"ආයෙ එහෙම මේ පැත්තෙ එන්න එපා.ඔහෙගෙ නෝනා මහත්තැන් ළමයි එහෙම දැනගත්තොත් මොනවා නොහිතයි ද ?"
මුතුලතා කිව්වෙ ජනේලෙන් එළිය බලාගත් ගමන්ම

"හ්ම්"


🎲කතාවේ මුල

"ඩිං ඩිං" පල්ලෙහා බෙල් එක වැදුනෙ කස්ටමර් කෙනෙක් ඇවිදින් කියාගෙන.

මුතුලතා කාමරෙන් එළියට ඇදුනෙ ඕනෑවට එපාවට.
මුතුලතාට දැන් තිස් අටත් පැනලා.තාම ලස්සන වුනත් වයස පේනවා.මුතුලතා බලන්න එන කට්ටිය ටික ටික අඩු වේගෙන එන විත්තිය මුතුලතාට නොතේරුනා නෙවෙයි .

ආපු හාදයාට එච්චර වයසක් නැති පාටයි.ඕන්නං තිහක් තිස්පහක් විතර.සල්ලි බාගෙ තියෙන හැඩයි පෙනුමෙන් නං.මුතුලතා බලාපොරොත්තු අත ඇරගෙන ආපහු යන්න හිත හරෝගද්දි ඒ හාදයා මුතුලතාට අත දික්කරේ.

"එන්න මහත්තයා"
කස්ටමර් කාමරේට එක්කගෙන ගිය මුතුලතා සුපුරුදු පරිදි තමන්ගේ රෙදි පෙරෙදි උනා දමන කර්තව්‍යයට ලක ලැහැස්ති වුනා.

"එපා"

හපොයි .මේ ජාතියේ හාදයෝනං වාතයක් තමයි.මුන්ට තිබ්බේ වෙන වෙන විකාර ආසාවල්.මුතුලතා මූණ පුලුටු කරගත්තා.

"ඇයි මහත්තයා?"

"මට ඕන ඔහෙත් එක්ක ටිකක් කතා කරන්න"

හම්මෝ.ඒකනං කමක් නෑ.මේ ජාතියේ උදවියත් මෙහෙට අඩු නෑ.ගෙදර ගෑනිගේ අඩු පාඩු ගැන කොහේවත් ඉන්න ගෑනියෙක් ට කණුකුණු ගාන්න එන මහත්තුරු ගැන මුතුලතාට කිසිම අහිතක් හිතෙන්නෙ නෑ.මුතුලතාට තිබ්බේ ඉඳලා හිටලා කතාවට හූමිටි තියන්න විතරයි.

"මහත්තයා පත්තරෙන් හරි පොලිසියෙන් හරි..."

"නැහැ නැහැ.මම වැඩ කරන්නෙ ......කම්පනි එකේ.මේ තියෙන්න් ඔහෙට සැකනං අයිඩී එක."

මේ හාදයා නං හද්ද මෝඩයෙක්.මෙහෙම තැනක තමන්ගෙ ඇත්ත නම ගම විස්තර කියන්නෙ මොන පුත්තලං බූරුවද?

මුතුලතාට හිනාත් ගියා.

"හරි හරි ...මහත්තයා කියන්න හිතේ තියෙන ඔක්කොම...මම අහන් ඉන්නං"
මුතුලතා කාමර පොඩ්ඩෙ ජනේලෙ අද්දරින් හිටගත්තේ ඇඳන් රාජයා කස්ටමර්ට වාඩි වෙන්න ඉතුරු කරලා.


"අම්ම මැරෙද්දි මම පුංචියි.අම්මව මට මතකම නැහැ.
තාත්තා වැඩ කලේ වඩු මඩුවක.මම පවුලේ හරි මැද.අක්කයි මල්ලියි මමයි තුන්දෙනාටම හොඳට උගන්නන එක තමයි තාත්තගෙ ලොකුම හීනෙ උනේ.අක්කා උපාධිය ගනිද්දි මම හිටියෙ දොලහෙ පන්තියෙ.

තාත්තා නයෙක් ගහල මලේ මම  දහතුනේ අගට යනකොට.මල්ලි එතකොට එකොලහේ."

"හ්ම්..."මුතුලතා කලට වෙලාවට හූමිටි තිබ්බා.


"තියෙන කාලෙ හිටි නෑ හිතවත්තු අතුරුදහන් වුනේ හත්දවසෙ දානෙත් එක්කමයි.

තාත්තා අපිට ඉගැන්නුවා මිසක් වෙන රස්සාවකට පුරුදු කරලා තිබ්බෙ නෑ.අක්කට තිබ්බෙ කලා උපාධියක් නිසා රස්සාවක් හොයා ගන්න ලේසි වුනෙත් නෑ.

අන්තිමට  මම හිතාගත්තා ගෙදර නැවතිලා කුලියක් කරන්න යන්න.මොකද මල්ලි තමයි අපේ ගෙදර ඉගෙනගන්න දක්ශම.මං ඒලෙවල් ලියන්න මාසයක් විතර තියෙන්න ඇති එතකොට.

අක්කට මම මගේ තීරනේ කියලා දවස් දෙක තුනක් යද්දි අක්කට රස්සාවක් ලැබුණා.

පොඩි තැනක රස්සාවක් වුනත් කමක් නෑ මටයි මල්ලිටයි වියදම් කරන්න හම්බෙන පඩිය ඇති වෙයි කියලා අක්කා කිව්වෙ.වඩුමඩුවත් විකිණුව හින්දා එතනිනුත් ගාණක් ලැබුනා."

තාම පවුලෙ පුරාජේරුව.කසාද බැඳලා බැඳපු උන්දැගෙ ගැන අඳෝනාව පටන් ගනිද්දි කීය වෙයිද  කියලා මුතුලතාට හිතුනා.

"ඉතින් මහත්තයා?"

"මම කැම්පස් ගියා.මහපොලෙන් මගේ වියදම් ටිකක් අඩු වුණාට මල්ලිගෙ වියදම්වලනං අඩුවක් තිබ්බෙ නෑ.කොහොමත් මිනිහට සල්ලිවල අගයක් තිබ්බෙ නෑ.
එතකොට මම තුන්වෙනි අවුරුද්දෙ.මල්ලි ඒ අවුරුද්දෙ ඒ ලෙවල් ලියලා ගෙදර හිටියෙ ප්‍රතිඵල එනකං."

"එතකොට?"

"අක්කා නැති වුණ ආරංචිය ලැබුනෙ මම ලෙක්චර් එකක ඉන්දැද්දි .
අක්කාව අපේ ගමේ එකෙක්ට හම්බ වෙලා තිබුනේ මේ වගේම තැනකදි.

අක්කගෙ රස්සාව මොකද්ද කියන එක ගම වටේ පැතිරෙන්න ගිහින් තිබ්බෙ පැය දෙක තුනක්.

මල්ලි අක්කට පිහියෙන් ඇනලා තිබ්බා දාහත් පොලකට.ඉස්පිරිතාලෙ ගෙනියද්දිත් අක්කා යන්නම ගිහිල්ලා"

මුතුලතා ජනෙල් පොලු දෙක හයියෙන් අල්ලගත්තා.

"මල්ලි හිරේ ගියා.අක්කා යන්න ගියා.අදට අවුරුදු පහක්"

උන්දැගෙ හීල්ලිල්ලට ජනෙල් රෙද්දත් ගහගෙන යයි කියලා මුතුලතාට හිතුණා .

"මහත්තයගෙ අක්කා කරපු වැඩේ හරි කියලා මහත්තයා හිතනවද?
ඔච්චර ඉගෙනගෙනත්.
ඇඟ විකුණන්නෙ නැතුව කීයක් හරි හම්බ කරන්න වෙන විදි ඕන තරං තියෙනවා මහත්තයා"
මුතුලතා කිව්වෙ නුරුස්නාවෙන්

මුතුලතා එහෙම විදිහකට හම්බ කරන්නෙ නැත්තෙ ඇයි කියලා අහයිද කියලා මුතුලතා බලං හිටියා.

ඒත් උන්දැ එහෙම ඇහුවෙ නෑ.
යන්න නැගිට්ටා විතරයි.

"සල්ලි මහත්තයා ගන්න"
"එපා ඔහේ තියාගන්න.මට ඔහේ දැක්කම අක්කව මතක් උනා"

අක්කව වටින්නෙ රුපියල් එක්දාස් පන්සීයද කියල අහන්න හිතුනත් මුතුලතා එහෙම ඇහුවෙ නෑ.

"ආයෙ එහෙම මේ පැත්තෙ එන්න එපා.ඔහෙගෙ නෝනා මහත්තැන් ළමයි එහෙම දැනගත්තොත් මොනවා නොහිතයි ද ?"
මුතුලතා කිව්වෙ ජනේලෙන් එළිය බලාගත් ගමන්ම

"හ්ම්"

මුතුලතා සෑහෙන වෙලාවල් ජනේලෙන් එළිය බලාගෙන ම හිටියා.
මේස ලාච්චුවේ හතරට පහට නවපු ලියමන දැන් කියවලා කියවලාම මුතුලතා ට කටපාඩම්.

ආදරණීය අම්මා වෙත,
අම්මා සනීපෙන් ද?
මාත් මල්ලීත්  ආත්තම්මාත් සනීපෙන් ඉන්නවා.ගෙවල් කුලී ගෙවන්නට සල්ලි ලැබුනාය කියන්නැයි අත්තම්මා කියනවා.
දෙසැම්බර් නිවාඩුවට අම්මා ගෙදර එනවද?
මල්ලිටයි මටයි අලුත් පන්තියට පොත් ලිස්ට් ලැබුනා.මල්ලිගේ සපත්තු දෙක කැඩිලා.මගේ දෙකනම් ලබන අවුරුද්දෙත් දාන්න පුලුවන්..........

මුතුලතාගේ ඇස්වලින් තවත් පාරක් මුතුකැට වැටෙන්නට පටන් ගත්තා.

කැන්සාස් යකඩයා ගේ කතාව

ග්ලෙන් කනිංහැම්, ඇමරිකානු ජාතික මැදි දුර ධාවන ශිල්පියෙක්.
ඇමරිකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් දුවන්න හපන්නු ඉන්නවනෙ.ලංකාවෙත් ඔය ඉන්නෙ, දුවන්න, දුවපුවා ගැන කියවන්න එහෙමත්.

ග්ලෙන් කනිංහැම්ගෙ කතාව කියන්න පටන් ගන්න වෙන්නේ 1917 අවුරුද්දෙන්.එතකොට ග්ලෙන්ට වයස අවුරුදු අට.ග්ලෙන්ගෙ අයියා ෆ්ලොයිඩ් ට අවුරුදු දහතුනක්.සීත කාලෙදි උදේ ඉස්කෝලෙ සීතල පලවා හරින්න ගිනි උදුන දල්වන්න භූමිතෙල් වත් කිරීම භාර වෙන්නෙ ග්ලෙන්ට.කුමක් හෝ හේතුවක් නිසාවෙන් භූමිතෙල් බඳුනේ එදා තියෙන්නෙ භූමිතෙල් වෙනුවට ගෑසොලීන්.

ඉස්කෝලය ගිනිජාලාවකින් වැහෙද්දි සොහොයුරන් දෙන්නම ගින්නට බිලිවෙනවා.
ෆ්ලොයිඩ් ජීවිතෙන් සමුගද්දි  ග්ලෙන්ගෙ දෙපා ඇතුළු සිරුරේ පහළ කොටස බරපතළ ලෙස පිළිස්සෙනවා .
අඩ සිහියෙන් ඉන්න ග්ලෙන් ට ඇහෙන්නේ ග්ලෙන්ගේ ජීවිතේ ගැනත් බලාපොරොත්තු තියාගන්න බැරි බව වෛද්‍යවරුන් අම්මට කියන එක.ඒත් ග්ලෙන් මැරෙන්නෙ නැහැ.
ග්ලෙන්ගෙ කකුල්වල පිලිස්සුම් එක්ක සදහටම අබ්බගාතයෙක් හැටියට ජීවත්වෙන්නයි ඉරණමේ ලියවෙන්නෙ.වෛද්‍යවරුන්  වැඩකට ගත නොහැකි දෙපා ඉවත් කරන්න යෝජනා කළත් ග්ලෙන් එයට කැමති වෙන්නෙ නැහැ.

රෝද පුටුවට වැටෙන  ග්ලෙන් රෝද පුටුව පිළිගන්න කැමති වෙන්නෙත් නෑ.ග්ලෙන්ගෙ අම්මා රෝදපුටුවෙ ඉන්න ග්ලෙන්ව මිදුලට එක්කන් යන්නෙ හුලං පොදක් වැදෙන්න කියලා හිතලා වෙන්න ඇති.

ඒත් ග්ලෙන්ගෙ හිතේ තියෙන්නෙ වෙන අදහසක්.අම්මා එහෙ මෙහේ වෙන කං ඉඳලා  ග්ලේන් රෝද පුටුවෙන් බිමට රූටනවා.තණබිස්ස දිගේ බඩ ගාගෙන යන්නෙ වැට මුණ ගැහෙන කන්.වැට ඉනි අල්ලාගෙන ග්ලෙන් වැටේ එල්ලෙන්නෙ දැනීමක් නැති වාරුවක් නැති කකුල් එල්ලා වැටෙද්දි. වැටේ ඉන්නෙන් ඉන්නට එල්ලෙමින් ග්ලෙන් ඇවිදින්න පටන් ගන්නවා.එදා ඉඳන් හැමදාමත් ඒක ග්ලෙන්ගෙ දින චරියාවෙ කොටසක් වෙනවලු.එල්ලා වැටෙන කකුල් ඇදිලා ඇදිලා වැට අද්දර වෙනම පාරක් හැදුනලු.
ග්ලෙන්ගෙ උත්සාහයයි අම්මගෙ සාත්තුවයි එක්ක අනතුරෙන් අවුරුදු දෙකක් වෙද්දි 2019 දි ග්ලෙන් ආයෙ ඇවිදින්න ගන්නවා.

ග්ලෙන් එතනින් නවතින්නෙ නෑ.ඇවිදගන්න බැරුව හිටි ග්ලෙන් දුවන්න ගන්නවා.ඉස්කෝලෙට එතනින් ගෙදරට, යන හැමතැනම ග්ලෙන් හැල්මේ දුවන්න ගන්නවා.
අනතුරෙන් අවුරුදු දහයක් යන්න කලින් තමන්ගේ පාසලේ ධාවන කණ්ඩායම ට එකතු වෙනවා.ඔහුගේ දස්කම් අතරට  පදක්කම්,  සහතික , වාර්තා ගලාගෙන එනවා.
කැන්සාස් සරසවි කණ්ඩායමට එකතු වෙන ග්ලෙන්ගේ පදක්කම් එකතුව තවත් ඉහළ යනවා.

ඇවිදිල්ල හීනයක් වුන කොලුවා ඉලන්දාරියෙක් වෙන්නෙ 1932 හා 1936 සරත් ඔලිම්පික් උළෙලේ මීටර 1500 පිලිවෙලින් සිවු වෙනි හා දෙවැනි තැන අරන් නිම කරමිනුයි.
1934 වසරේදි නිව්යෝර්ක් හි මැඩිසන් චතුරශ්‍රයේ දී විනාඩි හතරයි තත්පර අටකින් හැතැප්මක් දුර නිමකරමින් ගෘහස්ත ක්‍රීඩාංගනයක වේගවත්ම හැතැප්ම දිවීමේ ගෞරවය හිමි කරගන්නෙත් ග්ලෙන්.මේ ග්ලෙන්ගේ එක ලෝක වාර්තාවක් විතරම යි.

නාවික හමුදාවටත් කලක් තම සේවාව සපයන ග්ලෙන් ආචාර්‍ය උපාධියක් ලබාගන්නා තෙක්ම තම අද්‍යාපනයට සමු දෙන්නෙත් නැහැ.
රැකියාවෙන් විශ්‍රාම ගත්තාට පසුවත් කනිංහැම් තරුණ කඳවුර හරහා උදව් ඕනෑ කරන තරුණ ළමයි දහස් ගණනකට පිහිටට එන්නෙත් කැන්සාස් යකඩයා ම තමයි.
ඇත්තටම මේ හාදයා යකඩ මිනිහෙක් ම තමයි.

Tuesday, December 11, 2018

ලොකූ

ලොකූගෙයි මගෙයි අතරෙ වයස පරතරේ අවුරුදු තුනක්.

හරිනම් අක්ක ගෙදර ඉඳිද්දී නංගිට මගුල් කතා කරන සිරිතක් නෑ.

ඒත් අපේ ගෙදර කවදාවත් අක්කට මගුල් කතා කෙරුනෙ නෑ.
ලොකූ මගුලක් ගැන කවදාවත් ඇහුවෙ නෑ.
කොහොමත් ලොකූ වැඩි කතාවක් බහක් නෑ.
"පොඩී අපිව දාලා ගියාම ලොකූ ඉන්නව නේද අම්මවයි තාත්තවයි බලාගෙන ?"
මට මගුලක් කතා කෙරෙන හැම වෙලාවකම වගේ අම්මා ලොකූගෙන් ඔය කතාව අහනවා.ලොකූ මුකුත් නොකියා හිනා වෙනවා.

කවදාවත් ඔය ආපු මනමාලයෙක් මාව කැන්දන් ගියේ නෑ.හෙප්පුවත් උස්සන් උන්දැලා වටේ කැරකිලා කැරකිලා මාත් හෙම්බත් වෙලා උන්නෙ.

තමන්ට මගුලක් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියලා ලොකූ කවදාවත් කටක් ඇරලා ඇහුවෙ නෑ.
ඒත් එහෙම නොවෙන්න තමන්ගෙ තිබ්බ අඩුපාඩුව මොකද්ද කියලා ලොකූ කල්පනා කලේ නැද්ද කියලා මට හිතා ගන්න බෑ.

ලොකූ තාම වයස විසි හතයි.පත්තරේ තියෙන්නෙ ඕනෙ තරම් අවුරුදු හතලිහේ මෙනවියන්ටත් කසාද හොයන.ඉතින් විසිහත වයසක් නෙවෙයි නෙ කොහොමටත්?

බොහෝම අමාරුවෙන් මගේ කෙස්වල්ල ඉණ ගාවට දික් කරන් තියන් ඉද්දි ලොකූගෙ කෙස්ස දණහිසටත් පල්ලෙහාට තද කලු පාටට ඇදුනා.

මම තාත්තා වගේ තලඑළලු පාටට හිටියත් ලොකූට ලැබිලා තිබුනෙ අම්මගෙ රෝසපාටට හුරු සුදු පාට.

හිනා වෙද්දි පොඩි කාලෙ සෙල්ලම් කරපු බෝනික්කන්ගෙ වගේ ලොකූගෙ කම්මුලත් වල ගැහුණා.ආඩම්බර කමට ඉතින් හිනා වුනේ නම් බොහෝම අඩුවෙන් තමයි මුන්දැ.

ඉස්කෝලෙ වැඩවලට නම් ලොකූ එච්චර කැමැත්තක් තිබ්බෙ නැහැ.
 නටන්නටයි සිංදු කියන්නයි තමයි ලොකූ වැඩි පුර කැමති, ඒත් ඉතින් කකුල් අල්ලලා වඳින්න ඕනෙ සිංදුවක් කියවගන්න.

මැහුම් ගෙතුම්,ඉවිලි පිහිලි වැඩ ඔක්කොටම මට වඩා දස්ස අපේ අක්කණ්ඩි තමා.මං වත්ත වටේ ගස් ටිකේ ගෙඩි කඩ කඩ යද්දි ලස්සනට පිළිවෙලට මිදුලෙ මල් පාත්ති හදන්නෙත් ඉතින් උන්දැම තමයි.

විසිනම වෙනි වතාවටත් ඉතින් මනමාල කුමාරයෙක් මාව බලන්න ආපි.ෆේස් බුක් එකේ ඉන්න හැටියට නම් හැන්ඩි හාදයා.දවසක් දෙකක් චැට් කලාමත් ලොකු වරදක් තේරුනේ නෑ.
ඉතින් සුපුරුදු පරිද්දෙන් මම සාරියත් පටලෝගෙන බුලත් හෙප්පුවත් බදාගෙන උන්නේ
"පොඩි දුව......."කියලා තාත්තගෙන්  එළියට බහින්න සිග්නල් එක ලැබෙන කං.

"ලොකූ...මනමාලයා දැක්කද?"ලා රෝස පාට සාරියක් ඇඳගෙන මගේ ඇඳ උඩින් වාඩි වෙලා හිටිය ලොකූගෙන් මම ඇහුවා.

"හ්ම්ම්"

"මොකෝ කියන්නෙ, මට මැච් වෙනවයි?"

"හොඳයි".අම්මපා මේකගෙ කටින් වචනයක් ගන්නවට වැඩිය ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක ලේසියි.

"පොඩි දුව........."
අපේ තාත්තාගෙ සිග්නල් එකත් එක්ක මම දනිපනි ගාලා නැගිට ගෙන සූ සැට බරණින් සැරසී නා කපන වැහි වැටෙන වෙලේ විශාකා තොමෝ පැමිණි විලාසෙන් එළියට හෙප්පුවත් වඩම්මාගෙන එළියට බැස්සා.

මනමාල කුමාරයාගේ කට කන හරියේ.අම්මයි තාත්තයි දෙන්නගෙත් කියන්න තරම් වරදක් පේන්න නෑ.මේ පාරනම් මුන්දැ කැමති නම් මං හා කියනවා.

තාත්තා හරියට ඒ මිනිස්සුන්ට කලින් නොකිවු ගානට මගේ උපාදියේ විස්‍තර, රස්සාවෙ විස්තර දිග අරිනවා.
ඒ ගෙදර උදවියගෙ නම් වැඩි උවමනාවක් තිබ්බෙ මගෙ නමට තියෙන දේපොල ගැන වැඩි විස්තර දිග ඇර ගන්න.මොනවා කරන්නද ඉතින් ප්‍රපෝසල් ඔහොම තමයි නෙව.

බීම බන්දේසියත් අරන් ලොකූ එළියට ආවෙ ඒ වෙලාවෙ.කපු මහත්තයාගෙ මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ වෙලා යනවා මම බලාගෙන.
මනමාල කුමාරයාගෙ මෑනියන්දෑටත් ඒක බෝ වුනේ බලා ඉන්දැද්දි.
මේ මංගල්ලෙත් නොකෙරෙනා බව මටනං තේරුං ගියේ ඔන්න ඔය වෙලාවෙ.


"ලොකු මැණිකෙට මම කී ගමනක් නං කිව්වද  ලොකු බේබිව ගෙට කරලා තියාගන්න කියලා මනමාල මහත්තුරු එන දවසට?"

දවස් දෙක තුනකට පස්සෙ ගෙට ගොඩවෙච්ච කපු මහත්තයා ආඩපාලි කියන්න ගත්තා.

"මෙහෙම ගියොත් නං පොඩි බේබිට කසාදයක් හෙවිල්ල සෑහෙන අමාරු වෙයි.මිනිස්සු මගුල් කන්න කැමති වෙන්නෙ නෑ ලොකු ළමයා මෙහෙම නම් පොඩි ළමයගෙත් මොනවා හරි ..."

මගේ රතු කට්ට පැන්නෙ ඕං ඔය හරියෙදි

"මේ කපු මහත්තයා.....ඔය හණමිටි කරේ තියාගෙන තාමත් ගල් යුගේ ඉන්න ගෙවල්වලට දීග යන්න මගෙත් කිසිම කැමැත්තක් නෑ.බඳින්නෙ මාව නම් අක්කගෙ දිග පළල බලන්න ඕනෙ නෑනෙ කවුරුවත්.අක්කව මනුස්සයෙක් හැටියට පේන්නෙ නැත්තෙ ඒ මිනිස්සුන්ගෙ ඔලුගෙඩිවල අවුලක්.
ඔය ජාතියේ මගුල් කතා කරන්න නං කපු මහත්තයා ආයෙ මෙහෙ නාවට කමක් නෑ"

විබීත වෙච්චි කපු මහත්තයා අංශක එකසිය අසූවක් හැරිලා වෙඩිල්ල වගේ යන්න යද්දි අපේ අම්මා මගෙ දිහා බලං හිටියෙ කට ඇරං.



"ලොකූ දිහා මනුස්සයෙක් දිහා බලන විදිහට බලන්න පුලුවන් මනුස්සයෙක් හම්බෙන්නෙ නැත්නම් ලොකුයි පොඩියි දෙන්නම කොහේවත් නොයා අම්මයි තාත්තයි එක්කම ඉන්නවා.හරිනේ"

මගේ උදාන වාක්‍යය අහලා දොර රෙද්ද අස්සෙන් එබීගෙන ලොකූ හොඳටම හිනා වුනා.

පලි: ලොකූගෙ තිබ්බ ලොකුම වෙනස ඉපදෙද්දි වැඩිපුර වර්ණදේහයක් අරං ආපු එක.
මෙලෝ හසරක් නොදන්න  මෝඩ මිනිස්සු ඒකට කිව්වෙ මොංගල් කියලා.


මගේ දරුපැටව්

රම්‍යලතා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ  සේපාලිකා ගහ යට බංකුවේ වාඩි වෙලා ඉන්නවා.
ඉස්කෝලේ උගන්නන කාලෙ හිටපු යාලුවොන්ගෙන් තාමත් කතා බහ කරන දෙතුන් දෙනෙක් හිටියා.කල්‍යානි ඉන් එකෙකෙනෙක්.
අමරෙ ගෙ මරණෙ ගැන පණිවිඩේ දුන්නෙ කළ්‍යානි.
රම්‍යලතා ගෙ පවුලෙ පස් දෙනයි.අයියලා දෙන්නයි රම්‍යලතායි නංගියි මල්ලියි.
රම්‍යලතා ගෙ අම්මා  සෑහෙන ආසාවකින් හිටියලු ගෑනු දරුවෙක් ට.ඒත් අයියලා දෙන්න හම්බුනාට පස්සෙ අවුරුදු පහක්ම රම්‍යලතාලගෙ අම්මට ආයෙ දරුවෙක් බඩට එන්නෙ නෑ.අවුරුද්දක් වයස රම්‍යලතාව අරන් හදාගෙන තියෙන්නෙ ඒ පාර.රම්‍යලතා ගෙ ඇත්ත අම්මා තාත්තා කවුද කියලා රම්‍යලතා ඇහුවෙත් නෑ අම්මලා කිව්වෙත් නෑ.
රම්‍යලතාට අවුරුද්දක් වෙද්දී මෙන්න නංගි පුණ්‍යා ආපි.ඊටත් පස්සෙන් බාල මල්ලි අබේපාල.
රම්‍යලතා අරං හදාගත්තා කියලා අම්මලා කවදාවත් වෙනස්කමක් කරලා නෑ.ඒත් නැත්තෙමත් නෑ කියලත් වෙලාවකට රම්‍යලතාට හිතුණා.පුණ්‍යා ට වඩා රම්‍යලතා ට
වැඩ රාජකාරි පැවරෙන කොට රම්‍යලතාට වඩා පුණ්‍යා ට ආදරේ පෙන්නිලි වැඩි වෙනකොට ඔය විදිහෙ සිතුවිල්ලක් හීනියට රම්‍යලතාගෙ හිත කොනහන්න ගත්ත වෙලාවල් තිබුණා.
ඒත් රම්‍යලතා ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නෑ.කන්න අඳින්න ඉන්න තැනක්, ඉස්කෝලෙ යන්න විදිහක් රම්‍යලතාට තිබුණනෙ .රම්‍යලතාට ඒ හොඳටම ඇති.
අබේපාල මලයා අතුරුදහන් වුනේ ජේවීපී කලබල කාලෙ.උන්දැ ආපහු එයි කියලා බලාගෙන ඉඳලා හිතේ අමාරුවෙන් ම අම්මත් යන්න ගියා.හැමදේම අම්මත් එක්ක එකටම කරපු තාත්තා පපුව අල්ලගන බිම වැටුනෙ අම්මගෙ හත්දවසෙ  දානෙ දවසෙ.
ලොකු අයියා එතකොට හිටියෙ දොස්‍තර විභාගෙ පාස් වෙලා පිටරට ගිහින් .සුද්දියෙක්වත් බැඳගත්තහම ලොකු අයියා ආයෙ නොඑන වග රම්‍යලතාට තේරුණා.
මද්දු අයියා පොඩි කාලෙ ඉඳන්ම උවමනාවෙන් හිටියෙ මහණ වෙන්න.අම්මා නැති උණායින් පස්සෙ තවත් ඒ පැත්තටම බර වෙච්චි මද්දුට  අන්තිමේදි එයාගෙ කැමැත්ත  කරගන්න කාගෙත් කැමැත්ත හම්බුනා.
පුණ්‍යා ......
මොකද්දෝ හේතුවකට පුණ්‍යාට රම්‍යලතා හිතට අල්ලන්නෙම නැතුව තිබුනා.පොඩි කාලෙ පොඩි කමට ඇතිවෙච්ච් ආරෝවක් කියල හිතුනත් කරදඬු උස් මහත් වුනාට පස්සෙත් මේ හිත් අමනාපෙ නම් ඉවර නෙවෙන විත්තියයි රම්‍යලතාට තේරුං ගියෙ.
රම්‍යලතා ගෙ ඇඟේ දුවන්නෙ පුණ්‍යාලගේ ඇඟේ දුවන ලේ නෙවෙන විත්තිය ඉඩ ලැබෙන හැම තත්පරේකම මතක් කර කර පුණ්‍යා රම්‍යලතාගෙ හිත පහුරු ගෑවා.
කන්තෝරුවේ වැඩකරපු සමරජීවව පුණ්‍යා කසාද බැන්දේ තනි කැමැත්තට.කොහොමත් රම්‍යලතා ගෙ කැමැත්තෙන් පුණ්‍යාට වැඩක් තිබුනෙ නෑ.
රම්‍යලතා එතකොට හිටියෙ ගුරු විද්‍යාලෙන් පිට වෙච්ච් ගමන්. පළවෙනි පත්වීම හම්බෙන්නෙ මැදවච්චිය පැත්තෙ බොහෝම පොඩි ඉස්කෝලෙකට .පුණ්‍යා එක්ක ගෙදර ඉන්නවට  වඩා ඒක හොඳ වෙයි කියලා රම්‍යලතාට හිතුනා.කොහොමත් සමරජීවගේ ඇස් පුණ්‍යා පහු කරගෙන ඇවිත් රම්‍යලතා වටේ කැරකෙන එකත් රම්‍යලතා ට ඇල්ලුවෙ නෑ.
අමරෙව ඉස්සිසෙල්ලාම දැක්ක දවස රම්‍යලතාට තාමත් අද ඊයෙ වගේ මතකයි.රම්‍යලතා සිංහල ඉගැන්නුවෙ පොඩි පන්තිවලට.අමරෙ ඉගැන්නුවෙ ඉංග්‍රීසි.වේලක් ඇර වෙලක් කාලා ඉස්කෝලෙ එන පොඩි එවුන්ට අලුත් සර් උගන්නන්න හදපු  අප්‍රභංශ බාසාවනං දිරෙව්වෙම නෑ.
ඒත් අමරෙ නෙවෙයි උත්සාහෙ අත ඇරියෙ.
රම්‍යලතා කැමතිම අමරෙගෙ ඕං ඔය ගතියට.
පොඩි කාලෙ දබරෙකට ගිහින්   ගුටි ඇනගෙන පැත්තකට ඇද වුන නාහෙටත් රම්‍යලතා ආසයි.තව හිනා වෙද්දි පුංචි වෙන ඇස්.කොච්චර පීරුවත් එක විනාඩියෙන් අවුල්වෙලා යන කොන්ඩෙ.
අමරෙගෙ හිනා වෙන ඇස් සැරෙන් සැරේ තමන් පස්සෙන් දුවන බව රම්‍යලතාට තේරුණේ අලුත් ඉස්කෝලෙට ඇවිදින් සතියක් යන්නත් කලින්.
ඒත් සමරජීවගෙ ඇස් වගේ ඒ ඇස් රම්‍යලතා ගෙ හිත බය කළේ නෑ.
පුණ්‍යා ට කුලුදුලේ හම්බුනේ නිඹුල්ලු ජෝඩුවක්.උදව්වට රම්‍යලතා සති දෙකක් එහේ ගිහින් නැවතුනා.
ළමයි හදන්නත් වාසනාව තියෙන්න ඕනෙ බවත් හැමෝටම ඒ පින නැති බවත් පුණ්‍යා ආයෙ ආයෙ මතුරද්දි රම්‍යලතා ඒවා නෑහුණ ගානට ඉඳගෙන  පොඩිත්තන්ගෙ කැතකුණු අතගෑවා.රෑ වෙද්දි හැමදාම මතක ඇතුව කාමරේ දොර ඇතුලෙන් අගුල් දා ගත්තා.
ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගිහින් එද්දි අමරෙ රම්‍යලතාට වෙනම කැවිලි පාර්සලයක් ගෙනාවා.කල්‍යානිලා ඉන්දුමතීලා රම්‍යලතාට මුලු දවසම විහිලු කළා.විවේක වෙලාවට අමරෙයි රම්‍යලතායි ගුරු කාමරේ මේසෙ දෙපැත්තෙ ඉඳගෙන රටේ ලෝකෙ දේවල් ගැනත් ඉඳහිට ගෙවල් දොරවල්වල විස්තරත් කතා බහ කළා.
ජීවිතේ පළවෙනි පාරට රම්‍යලතා ගෙ හිත ආදරේ හොයාගෙන පියාඹන්න ගත්තා.
නිඹුල්ලු ට අවුරුද්දක් යන්නත් කලියෙන් පුණ්‍යා තව දුවක් වැදුවා.සුපුරුදු පරිදි රම්‍යලතා ගෙදර  ගිහින් ආවා.
අමරෙගෙ ගෙදර හිටියෙ අම්මයි නංගියි විතරයි.අම්මට සෑහෙන වයස නිසා ඇස් පියවෙන්න කලින් අමරෙගෙත් නංගිගෙත් කටයුතු එකලාසයක් කරන්න ඕනෙ කියන බර ඒ අම්මගෙ හිත පිරෙන්න තිබුණෙ.
ලොකුවට මඟුල් ගෙවල් ගන්න ආසාවක් රම්‍යලතාට තිබුණෙ නෑ.පොතේ අස්සන් කරලා එක වහලක් යටට වෙන්න අමරෙගෙ අකමැත්තක් තිබ්බෙත් නෑ.
තව බඩ ගෙඩියකුත් උස්සාගෙන වැලහින්නක් වගේ කඳුලු පෙරාගෙන හවස් වරුවක පුණ්‍යා ගුරු නිවාසෙට ආවෙ ඔය කතා බහ වෙන කාලෙ දවසක.
සමරජීව කලින් කසාද බැඳපු හාදයෙක්.කන්තෝරුවෙත් වටපිටාවෙත් සෑහෙන මිනිස්සුගෙ සල්ලිත් අරගෙනයි සමරජීව නිදි පැදුරටත් නොකියා මාරු වෙන්නෙ.
බොහොම අමාරුවෙන් මාරුවක් හදාගෙන රම්‍යලතා ගමට එනවා.මාස අටක බඩගෙඩියකුත් තව පොඩි උන් තුන් දෙනෙකුත් එක්ක පුණ්‍යාට උදව් ඕනෑ විත්තිය රම්‍යලතාට තේරෙනවා.
ඒත් හැමතිස්සෙම අමරෙ මතක් කර කර හූල්ලන හිතට ඒවා තේරෙන්නෙ නෑ.අමරෙව දකින එක සති අන්තේ පැය දෙක තුනකට සීමා වෙනවා.ඉස්සර වගේ  රම්‍යලතා ගේ හිත කොනිත්තන්න වත් බැරි ගානට කඩා වැටුණු පුණ්‍යයි පොඩි වුන් තුන්දෙනෙකුයි ඉස්කෝලෙ රස්සාවයි අස්සෙ රම්‍යලතා ගේ ජීව්තේ කැරකෙනවා.
පුණ්‍යා යන්න යන්නෙ රම්‍යලතාට වත් අලුත් උපන් පොඩි එකාට වත් යන්නම් කියන්නෙ නැතුව.ළඟ ළඟ  මේ විදිහේ දරු උපත්වලට ඔරොත්තු දෙන සීමාවෙ රතු ඉර පැනලා පුණ්‍යාගෙ පණ කෙන්ද සරීර කූඩුව අතෑරලා යන්න යද්දි පොඩි උන් හතරක් එක්ක රම්‍යලතා අතරමං වෙනවා.
අමරෙ ඇත්තටම හරිම හොඳ මනුස්සයෙක් .කිසිම වෙලාවක පොඩි එවුන්ව අත ඇරලා තමන්ව තෝරගන්න කියලා එක ඇහිපිල්ලමකින්වත් ඉඟිකරේ අමරෙ නෙවෙයි.
සුපුරුදු විදිහටම සති අන්තෙට අමරෙ රම්‍යලතා බලන්න ආවා.
ආරාධනා නැතිවම රම්‍යලතාට පොඩි එවුන් තුන් දෙනෙක්ටයි අම්මව නොදැකපු කිරිකැටියෙක්ටයි වෙන්න සිද්ධ වුනා.රම්‍යලතා ගෙ ඉස්කෝලෙ රස්සාවට තවදුරටත් ජීවිතේ  ඉඩක් ලැබුනෙ නෑ.රට හිටි ලොකු අයියා නොවැරදීම මාසෙ ගානෙ වියදමට සල්ලි කීයක් හරි එව්වා.අස්සජි හාමුදුරුවොත් සැරෙන් සැරේ වැඩම කළා.ඒත්  පොඩි ජීවිතවල වගකීම බාරගන්න ඒ උදවියට ඉස්පාසුවක් තිබුනෙ නෑ
එහා ගෙදර කාන්ති අක්කා උදව් කළ හින්දාම හොඳයි.නැත්නම් රම්‍යලතාට ළමයි හදලා පුරුද්දක් තිබ්බෙ නෑනෙ.
අමරෙගෙ නංගි බලන්න මනමාලයො තුන් හතර දෙනෙක්ම ආවා.අමරෙ සති අන්තෙට දුර කතර ගෙවාගෙන රම්‍යලතා බලන්න ආවා.මේ ඔක්කොම ගිනි විජ්ජුම්බර අස්සෙ බාලයාට අවුරුද්දකුත් ලැබුවා.
සමහරවිට රම්‍යලතා ගත්තු තීරනේ වැරදි වෙන්න ඇති.ඉස්කෝලෙ පොඩි එවුන්ටත් තමන්ගෙ ළමයින්ට වගේම සලකපු අමරෙ  රම්‍යලතා එක්කම රම්‍යලතා නංගිගෙ ළමයින්වත්  භාර ගන්න අදිමදි කරයි කියලා හිතන්න අමාරුයි .
ඒත් ළමයි හතරදෙනෙකුත් එක්ක අමරෙගෙ කරේ එල්ලෙන එක අමරෙට කරන අසාධාරණයක් නෙවෙයි ද?
අමරෙ මොකුත් නොකීවත් කාගෙවත් ළමයි හතර දෙනෙක්  ඒ ගෙදර අනිත් උදවිය කොහොම භාර ගනියි ද?අමරෙගෙ නංගිගෙ කසාදෙට රම්‍යලතාලගෙ ජීවිතවල හෙවනැලි  වැටෙයි ද?
ඔන්න ඔය වගේ හේතු අටෝරාසියක් හින්දා රම්‍යලතා අමරෙට ආයෙමත් එහේ එන්න එපා කිව්වා.අමරෙ කොහොමටවත් ඒ තීරණේට කැමති වුනේ නෑ.
ඒත් රම්‍යලතා ගේ තීරණේ කොහොමටවත් වෙනස් වුනේ නෑ.
අමරෙව හිතේ අග්ගිස්සටම තල්ලු  කරලා දාලා රම්‍යලතා පොඩි වුන් එක්ක ඔට්ටු වෙන්න ගත්තා.දරු නැලවිලි, තරවටු කෙරිලි,බෙහෙත් විදිලි බෙහෙත් පෙවිලි,පියවර තැබිලි,අකුරු කියවිලි අස්සේ ජීවිතේ හැල්මේ දුවගෙන ගියා.අමාරුම හරිය තියෙන්නෙ ළමයි පොඩි කාලෙය කියලා හිතාන  උන් හීනෙන් රම්‍යලතා ගැස්සිලා ඇහැරුනා.මොන්ටිසෝරි ,ඉස්කෝල අමතර පන්ති, ගෙදර වැඩ,විභාග, ස්පෝර්ට්මීට් අස්සේ ජීවිතේ දුවන වේගෙ හිතාගන්නත් බැරි වුනා.පොත් අස්සෙ දැවටිච්ච් සෙනෙහෙ කොළ ,දබර මැද්දෙන් පිපිරිච්චි තොල්, නහයෙන් ඇඬිලි ඇත්තටම ඇඬිලි, කොටහළු මගුල්  රම්‍යලතාගෙ හිත නොසෑහෙන තිගැස්සුවා.
මොන මගුලකට මේ වගකීම් පොට්ටැන්නට කරගැහුවාද කියලා රම්‍යලතා හිතුවෙ සැරය්ක් දෙසැරයක් නෙවෙයි.
අමරෙ පෙළවහක් කරගත් ආරංචියත් ගෙනාවෙ කල්‍යානිම තමයි.එතකොට බාලයා පහේ පන්තියෙ.
දුකක් දැනුන්නැති වෙන්න රම්‍යලතාගෙ හිත යකඩෙන් හදලා යැ.ඒත් මෙච්චර කාලයක් තනිකඩව හිටි අමරෙ දැන් තනි නෑනෙ කියලා රම්‍යලතා හිත හදා ගත්තා.
නිඹුල්ලු ජෝඩුව පළවෙනි පාරෙන්ම උසස්පෙළ ගොඩ දාගත්තා.ඒ දෙන්නා කැම්පස් ගිහින් අවුරුද්දකින් මද්දුමීත් ඒ පාරෙම ගියා.
බාලයා කැම්පස් ගියේ නෑ.මිනිහගෙ හීන දිව්වෙ යකඩ ගොඩවල් එක්ක.‍රම්‍යලතා   දෙනියෙ ඉඩම විකුණලා බාලයාට ගැරෙජ් එකක් දාගන්න සල්ලි දුන්නෙ ඒකයි.
ලොකු අය්යා මැරුනෙත් පපුවෙ අමාරුවකින්.අවසාන කටයුතු කෙරුනෙ ඒ රටේමයි.
අස්සජි හාමුදුරුවෝ අපවත් වුනේ ඊට දෑවුරුද්දකට පස්සෙ.ආදාහන උත්සවේට නොසෑහෙන සෙනඟක් ආවා.
එතකොට මද්දුමී කැම්පස් එකේ උගන්නනවා.රම්‍යලතාව කාර් එකෙන් එක්කන් ගියෙ මද්දුමී.
රට යන අත එච්චර හොඳ නෑ ය කියලා ලොකු ජෝඩුවම
ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම අරං ගිහින් දැන් ටික කාලයක්.
මද්දුමී දීග ගියේ නුවරට.දැන් කොලු පැටවු ජෝඩුවක් ම ඉන්නෙ.මාස දෙක තුනකය සැරයක් ඇවිදින් යනවා.
බාලයාට කටයුත්තක් හොයන එක තමයි අමාරුම වැඩේ.නීතිරීති පන්සීයයි.
"මගෙ ඇස් පියවෙන්න කලින් උඹ කසාදයක් කරගන්නෙ නැද්ද කොලූ?"
රම්‍යලතා බාලයාගෙන් අහන්නෙ විහිලුවටම නෙවෙයි.
"ගෑනු නං ඔය ඉන්නෙ ලොකම්මෙ ඕන තරං.මට ඔය ඕනැ එකක් ඔට්ටුයි.මං හොයන්නෙ ලොකම්මට දුවෙක් වගේ සලකන ලේලියෙක්.ඕං එහෙම එකක් හම්බුනාම මම සුටුස් ගාල බඳිනවා"
කොලූ විරිත්තලා මාරු වෙනවා.
සුදු පූස්ට බඩගිනි වෙලා ඇවිත් ඇඟේ එතෙනවා.
හපෙ අප්පේ කළුවරත් වැටීගෙන එනවා.
රම්‍යලතා බංකුවෙන් නැගිටිද්දි එක තැන ඉඳලා කකුලුත් හිරි වැටිලා.
අමරෙගෙ අවසන් කටයුතු සෙනසුරාදා .කොලූ ආවම අහන්න ඕනෙ මළ ගෙදර ගිහින් එන්න.එච්චර දුරක් තනියෙන් ගිහින් එන්න දැන් අමාරුයි.
සුදු පූස් වඩාගෙන රම්‍යලතා ගෙට යනවා



Friday, December 7, 2018

තැඹිලි පාට විරෝදේ

ඔලුවෙ තුවාලෙට බෙහෙත් දාගන්න ලෙච්චමී වත්තෙ ඉස්පිරිතාලෙට යන්නෙ අම්මත් එක්ක.
තුවාලෙ දැකලා දොස්‍තර නෝනාගෙ ඇස් උඩ  විසි වෙනවා.
"කොයි වෙලේදෙ තුවාල වුනේ ?"
"ඊයෙ රෑ නෝනා"
"ඇයි දෙයියනේ අද උදේ වෙනකං මක් කලාද?"
දොස්‍තර නෝනායි නර්ස් නෝනයි තුවාලෙ සුද්ධ කරන්න ගන්නෙ ලෙච්චමීට දෙහි කප කප
"පොඩි එකා දාලා එන්න විදිහක් තිබ්බෙ නෑ නෝනා රෑ"
ලෙච්චමී අහිංසක බොරුවක් කියනවා.
කන්දසාමිගෙන් බේරෙන්න කොල්ලා තුරුළු කරං ගෙයි පිළිකන්නෙ එළි වෙනකං හැංගිලා හිටි විත්තිය නෝනලාට කිව්වට තේරුමක් වෙන්නෙ නෑ.
"මෙදා පාරත් මිනිහා බීගෙන ආවද?"
නර්ස් නෝනා අහන්නෙ ලෙච්ච්මීගෙ මනුස්සයා බමන මතින් කරන හිරිහැර හුඟ දවසකට නතර වෙන්නේ ලෙච්චමීගේ ඇඟේ කොහේ හරි මැහුමකට දෙකකට වග කියලා බව ඉස්පිරිතාලෙ උදවිය දන්න හින්දා.
ලෙච්චමී හිනා වෙලා නිකා ඉන්නවා.
"හිනා නෙවෙයි ලෙච්චමී, කී සැරයක් මම කිව්වද මේක පොලිසියට කියමු කියලා.ඔය මනුස්සයා අවසිහියෙන් ගහන පාරක් වැරදි තැනකට වැදුනොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ ඔන්න"දොස්තර නෝනාට දැන් ඔය මන්තරේ ලෙච්චමීට මතුරලා ම කටපාඩං මගෙ හිතේ.
"හැමදාම ඔහොම නෑනේ නෝනා.ඔය ඉඳලා හිටලා දවසක පොඩ්ඩක් වැඩි වුනාම නෙ"
ලෙච්චමී එහෙම කියද්දි මාරිඅම්මා ඔරවන්නේ බෑනා හැමදාම ගෙදර එන්නේ හතර ගාතෙන් විත්තියත් ඉස්පිරිතාලෙ නාවාට ලෙච්චමී හැමදාම ගුටි කන බවත් දන්න හින්දා.
ගෙදර දාලා ආපු පොඩි එකා ගැන කණිපින්දම් කියලා ලෙච්චමී බෙහෙත් අරන් ගෙදර යන්න හැරෙනවා.
බෑනා ගැන පොලිසියට කියන්න නහයෙන් අඬන අම්මා එක්ක ලෙච්චමීට තරහත් යනවා.
"ඒ මිනිහව පොලීසියෙන් කුදලං ගියාම ළමයින්ට කන්න දෙන්නෙ උඹේ සල්ලිවලින් ද?"ලෙච්ච්මී පිපිරුණාම මාරිඅම්මගෙ කට වැහෙනවා.
හසන්ති ඩොක්ටර් හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් දාන්නෙ  දවස් දෙකක් ගිහින් බැරිම තැන.
මැණික්කටුව ළඟින් අතේ ඉදිමුම මදිවට කැක්කුම නිසා කාර් එක ඩ්‍රයිව් කරන්නත් අමාරුයි.
සෑහෙන වෙලාවක් ඔන්ලයින් සර්ච් කරලා වැඩිපුර අහලා දැකලා පුරුදු නැති ඩොක්ටර් කෙනෙක්ට තමයි අපොයින්ට්මන්ට් එක දැම්මෙ.
"මොකද මිසිස් ෆනෑන්ඩු අතට වුනා කිව්වෙ?"
ඩොක්ටර් අහන්නෙ සැකෙන්ද නැත්නම් හසන්තිගෙ හිතේ සැකේ ද මන්දා.
"පුතා එක්ක ප්ලේ කරද්දි වැටුනා ඩොක්ටර්"
හසන්ති කලින් රිහර්සල් කරගත්තු බොරුව ප්ලේ කරනවා.
ඩොක්ටර් ඒ කතාව පිළිගන්නෙ නැද්ද මන්දා.තුවාල කැලැල් පේන්නැති වෙන්න අත දිගට ඇඳපු බ්ලවුස් එක විනිවිද ගෙන සනීප වුන සනීප  වේගෙන එන තුවාල ඔක්කොම ඩොක්ටර්ට පේනවා වගේ හසන්තිට හිතෙනවා.
"ආ යූ ශුවර් ඉට් ඉස් ඇන් ඇක්සිඩන්ට්?"
ඩොක්ටර් නළල රැලි කරගෙන අහනවා.
"ඔෆ් කෝස් ඩොක්ටර්.මම කොහොමත් ඇක්සිඩන්ට් ප්‍රෝන් ."හසන්ති ආයෙමත් හිනාවෙන්න හදනවා.
එක්ස්‍ රේ එකකට ෆෝම් එකකුයි බෙහෙතුයි අරන් හසන්ති ආයෙත් කාරෙකට නගිනවා.
කැම්පස් යන කාලෙ නම් නිමන්තගෙ තද පරිස්සම පෙණුනෙ ආදරේ  විදිහට වුනාට ඒක අසනීපයක් කියලා තේරෙන කොට හසන්ති සෑහෙන පරක්කුයි.
නිමන්තගෙ හේතුවක් නැති සැකේ කෙළවර වෙන්නෙ හැමදාම හසන්තිගෙ අතපයකට බෙහෙත් දැමිල්ලෙන්.
නිමන්ත  බෙහෙතක් ගන්න යන්නෙ නෑ කියලා හසන්ති දන්නවා.ඩිවෝස් එකකට යනවා කියන්නෙ උඩ බලාගෙන කෙළ ගහ  ගන්නවා වගේ වැඩක්.අනික පුතා ගැන හිතන්නත් ඕනෙ.කොහොමත් දැන් ඉතින් දවසක් දෙකක් හසන්ති බේරිලා.
කාන්තාවට එරෙහි ප්‍රචන්ඩත්වය සංකේතාත්මකව  පිටුදකින්න ටවුන්හෝල් එක දවස් ගානක් තැඹිලි පාටින් ලයිටප් කරනවා කියල එෆ් බී තිබ්බ බව හසන්තිට මතක් වුනේ කාර් එක එතනින් යද්දි.
ලෙච්චමීලගෙ වත්තට තැඹිලි පාට ලයිට් අල්ලපු ටවුන්හෝල් එක පෙනුනෙ නෑ.
ඉගිලෙන ලියමන් 2018.12.16

Wednesday, December 5, 2018

ගන්න ඉඩං එන්ඩ මෙහෙං


තාම ඉඩමක් ගත්තෙ නෑ ගේ පොඩ්ඩක් හදන්න.
අපේ උන්දැගෙ හිතේ තියෙන්නෙ නං මගෙ හිතේ ගෙයක් නෙවෙයි මාළිගයක්.
කොහොමින් කොහොම හරි ගේ පොඩ්ඩ අටවගන්න ඉඩං කෑල්ලක් ගන්ටෙපෑ.
ඉතින් අපේ උන්දෑ අන්තර්ජාලෙට එබී ගෙන ඉඩං හොයන අස්සෙ
මං කලේ උගත් පාඩං පොතෙන් පිහිට පතපු එක
ඉඩමක් ගන්න උපදෙස් ගන්න ඕනෙ ඉඩමක් අරගත්තු එකෙක් ගෙන් නෙ.
ඉතින් එහෙම එකෙක් ගෙන් අහපි කොහොමද අයියෙ ඉඩමක් ගන්නෙ කියලා.
උන්දැ එක හුස්මට කියා ගෙන ගියාපු ටික අහලා කලන්තෙ නොහැදි බේරුනේ වතුර ලොකු වීදුරුවක් එක හුස්මටම දමලා ඇරලා.
ඒ කොහොම වෙතත් මං වගේ ඉඩමක් හොයන ඉඩං හෙවිල්ල ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා එවුන් වෙනුවෙන් මේ ටික කොටන්න හිතුනා.
මේ ලාලිත අයියාගේ උපදෙස් ඕං මං කරන්නේ කොටන එක විතරයි.
1.තමන්ට යන්න පුලුවන් බජට් එක හිතා ගන්න.
තමන්ගෙ පඩි පැකට් එකේ සයිස් එක, ගෙදර දොර වියදම්, ගන්න පුලුවන් ලෝන් , ඔය දේවල් ඔක්කොම ගැන හිතලා ජීවිතේ විඳවන්න වෙන ගානට හිර නොවී ගෙනියන්න පුලුවන් විදිහේ බජට් එකකට යන්න වෙනවා.
2.ඉඩම ගන්නෙ කොයි පැත්තෙන් ද කියලා හිතන්න.
තමන් පදිංචි වෙන්න බලාපොරොත්තු වෙන්නෙ කොයි පලාතේ ද?රස්සාවල්වලට යන්න එන්න ලේසි ය.ළමෝ ළපටි ඉන්නවනම් ඉස්කෝල යවන්න පුලුවන් ද, නෑ හිත මිතුරු සමාගම්වලට හිතකර ද ඔකී මෙකී නොකී හේතු ගැන හිතලා තමයි ඉඩම ගන්න පළාත තීරනය කරන්න ඕනෙ.
3.ඒ පලාතේ ඉඩමක් හෙවිල්ල
ඕක තමයිලු ඉතින් අමාරුම වැඩේ.සමහර විට එක දවසෙන් සමහර විට මාස ගානකින් තමයි ලු ගැලපෙන තැනක් හම්බෙන්නෙ
ලහිපිට වගේ පත්තර දැන්වීම්, ඉඩම් බ්‍රෝකර් කෙනෙක් හරහා , අන්තර්ජාලය හරහා එහෙමත් නැත්නම් මගේ බාසාවෙන් ලෝකල් ජී පී එස් , ඒ කිව්වෙ ඒ පළාතෙ අඳුරන කවුරු හරි හරහා ඉඩං හෙවිල්ල කරතහැකි.
ඔතනදී අපේ අයියානන්දෑ කියපු පොයින්ට් දෙක තුනක් තියෙනවා.එකක් තමයි පුලුවන් තරම් බස් එකට එහෙමත් නැත්නම් පයින් යන්න එන්න ළඟ ඉඩමක් තෝරගන්න කියලා.මොකද වාහනේකින් යද්දි එද්දි ළඟයි කියලා හිතෙන සමහර ඉඩමකට හදිසියෙ වාහනයක් නැති වෙලාවක යන්න එන්න අමාරු වෙන්න පුලුවන් නිසා.විශේශයෙන්ම මං වගේ ඩ්‍රයිවින් අරහං ජීවින්ට මේක අනිවාර්‍යයි.
ඊළඟට ඉඩමෙ වීව් එක.කොළඹ දූවිලි කාශ්ටකේ නං මොන වීව් ද?ඒත් නුවරඑලිය, නුවර  වගේ පැත්තක ඔය වීව් එකත් ඉඩං වල ගාන සෑහෙන ඉහළ යන්න හේතු වෙනවලු.
අපේ අයියාතුමා නං කීවේ මෙහෙමයි.ගෙයි දවස් දෙකතුනක් ඉඳිද්දී ඔය වීව් එක සාමාන්‍ය දෙයක් වෙනවාලු ය.ඔව් නෙ ඉතින් නිතර දකින කුකුලාගේ කරමලේ සුදුයි ලු නෙව.
ඉතින් ඔය වීව් එකට සෑ වාව් කියයි අවුරුද්දකට තුන් හතර ගමනක් ගෙදරට එන අමුත්තොනං.ඉතිංඒ ඇත්තන්ට සෑ වාව් වෙන්න ඉඩමට ලොකු ගාණක් යට කරනවද කියන එක ඔය ඇත්තන් ගෙ මනාපෙ
ඊළඟට ඒ උන්දෑ කිව්වෙ පුලුවන් තරම් නගරසභාවක් යටතේ තියෙන ඉඩමක් ගන්න එක ඇඟට ගුණ බව ය. ලයිට්,වතුර,කුණු යනාදී මූලික කාරණාවලදී ගැටලු සාපේක්ෂ වශයෙන් අඩු වීම  ඒකට හේතුව ය.
ඉඩම කොයි වාගේද?පස කොයි ආකාරෙන් ද, වතුර බහින්න තැනක් තියෙනවා ද?අහල පහල වතුර බහින්නේ අපේ ඉඩමටද ආදී කරුණු කාරනාත් අනිවාර්‍යයෙන් ම බලන්නට ඕනෑ බව මතක් කරන්න ඕනෑ ය.
අහළ පහළ වටපිටාවත් නොබලාම බැරිලු ය.අහළ පහළ උදවිය ගැන වටහා ගන්නට නම් එක පාරක් ගොහින් බැරි බව අයියා උගත් පාඩම් පොත පෙරළා බලා දැනමුතුකම් දුන්නලු.කුලී ගෙයක් වගේ නෙවෙයි නෙ.ඉඩමක් අරන් ඒකෙ හදාගන්න ගෙයි සමහර විට අන්තිම හුස්ම පොද වෙනකං ම වැටිලා ඉන්න වෙන තැන නෙ.
වටපිටාව ගැන කියද්දි තව එකක් කිව්වෙ පුලුවන් තරං වටපිටාවෙ ගෙවල් දොරවල් හදපු පැත්තකින් ඉඩමක් ගන්න කියලා.
මම අහපි අර මොකෑ කියලා.
හිතන්න ඔයාගෙ ඉඩමට අල්ලලා ලොකූ වත්තක් තියෙනවා.ඔයා බාගෙට ගේ හදාගෙන යද්දි ඔතන මොකක් වෙන්න බැරිද?
ආදාහනාගාරයක් හදන්න,ගාමන්ට් ෆැක්ටරියක් පටන් ගන්න, නගර සභාවෙන් කුණු ගෙනත් දාන්න ඔය ඕන දෙයක් වෙන්න බැරි නෑ නේද?
මොනවා කරන්නද ඉතින් එතකොට.
ඉඩං තෝරන වැඩේ ලේසිපාසු සෙල්ලමක් නෙවෙයි විත්තිය තමයි මටනං තේරුනේ.
උගත් පාඩං පොත්  හිමියා කිව්වේ මූලික කරුණු කාරණා සම්පූර්ණ වුණු ඉඩමක් දැක්කා නං තව තවත් හොඳ තැන් ගැන පෙරේත කං කරන්නේ නැතුව ඒ තැන වෙන් කරගන්න කියලා.මොකද ගොඩක් ඇත්තන් කරන්නේ ඉඩම් බලලා බලලා හෙම්බත් වෙලා අන්තිමට  ඔන්න ඔහේ අතට අහුවෙන ඕනෑ ඉඩමකට කරගහන එකලු.
තෝරාගත්තු ඉඩමේ ,ඔප්පු සහ අනෙකුත් නීතිමය ලියකියවිලිත් හොඳින් බලාකියලා ඉන්න ඕනේ.හොඳම විදිහ වෙන්නේ බැංකු ලෝන් එකක් අරං ඉඩම ගන්න එකය කියලයි අය්යගෙ මතේ.මොකද ඉඩම ගන්න එකාටත් වැඩිය හාරලා අවුස්සලා බලනවලු බැංකුවෙ මහත්තුරු ටික.
වන් ස්ටෝන් ටූ බර්ඩ්ස් කිව්වලු.
ඔන්න ඔහොමයි ඉඩං ගැනිල්ල ගැන අපි විස්තර අහගත්තෙ
සියලු ඉස්තූතිය ඉඩංහිමි අයියාට ය

Monday, December 3, 2018

හීන පැටලුං

නයනි ඊයෙ රෑ හීනයක් දැක්කා.
නෑ නෑ ඊයෙ විතරක් නෙවෙයි ගොඩක් දවස්වල නයනිට නින්ද ගියාම හීන පේනවා.
රෑට විතරක් නෙවෙයි සමහර වෙලාවට මහ දවාලෙ ලන්ච් එකෙන් පස්සෙ එකට පටන් ගන්න ලෙක්චර් එකේ ඉඳ්දිත්  පුටුව උඩම නින්ද ගිහින් හීන පේන වෙලාවල් තිබ්බා .
සමහර හීන දැක්කා කියලා මෙලෝ මතකයක් නෑ.
සමහර හීන දවස් ගානක් යනකං ෆිල්ම් එක වගේ මතකයි.
සමහර බහුබූත විකාරවලට ඇහැරුනාම හිනා ගියාට හීනෙන් ඒවා මාර  රියැලිස්ටික්.
ඒත් මේ වගේ හීනයක්?
මෙහෙම එකක් මේ ජීවිතේට දැක්කමද කොහෙද?
නයනි ෆොටෝ ගන්න ආර්ට් එක දන්නෙ නෑ.ඒ සබ්ජෙක්ට් එකේ කප්පිත්තා චතුරංගයා තමා.ඒකගෙ සමහර ෆොටෝ තියනවා ෆොටෝ එකේ එක කෑල්ලක් ෆෝකස් වෙලා තියෙද්දි ඉතුරු ටික ඔක්කොම බොඳ වෙලා තියෙන.
නයනිගෙ හීනෙත්  ආං ඒ වගේ.
එකම එක කෑල්ලක්  හොඳටෝම ෆෝකස් වෙද්දි ඉතුරු ඔක්කොම ටික බොර වතුර වගේ කැලැත්තිලා ගියපු හීනයක්.
හීනෙ නයනි හිටියා.ඒක නයනිට හොඳටෝම ශුවර්.
ඒත් ඒ කොහෙද?
පැහැදිලි නෑ.
කවද්ද?
ඒකත් පැහැදිලි නෑ.
නයනි හිටියෙ තනියෙන් නෙවෙයි.තව කට්ටිය හිටියා.
ඒත් අර ෆිල්ම්වල බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ගත්තු ඇහින්දාස් නලු නිලියො වගේ ඒ අය හිටියට කවුද කින්ද මන්ද මුකුත් පැහැදිලි නෑ.
නයනි කොහේද යන්න ගියා.
කොහේද කියලත් මතක නෑ
මඟක් දුර ගිහින්  නයනි නැවතුනා.
නයනිට ආයෙ එන්න වුනා.
එයාව එක්කගෙන යන්න.
එයා කවුද?
ඕක තමයි එපාම කරපු වැඩේ .
හීනෙන් එයාව දැක්කා .
ඒක නයනිට සීයට තුන් හාරසීයක් ශුවර් .
ඒත් දෙයියනේ ඒ කවුද කියන එකත් මතක නෑ කියහංකො ඇහැරුනාට පස්සෙ.
එයා කොහෙද මන්දා හිටියා.
කොහෙද මතකත් නෑ.
නයනි ගිහිල්ලා එයාට අඬගැහුවද නයනි අඬගහන්න කලින් එයා නයනි එක්ක යන්න ආවද?
පුරුදු විදිහට ම ඒකත් මතක නෑ.
නයනිත් එක්ක ආපහු යන්න හැරිලා එයා නයනිගෙ ඇඟිලි ටික අස්සෙන් එයාගෙ ඇඟිලි ටික පටලවා ගත්තා.
හීනෙ නයනිට ෆෝකස් වුණ එකම එක දේ මේ සීන් එක විතරයි.හීනයක කවදාවත් එහෙම ඇත්තම වගේ හැඟීමක් දැනෙන්න පුලුවන් කියලා නයනි මීට කලින් කවදාවත් දැනං හිටියෙ නෑ.
හීනෙං ඇහැරුනා ට පස්සේ පැය ගානක් වෙලත් තාමත් ඇස් දෙක පියා ගත්තම නයනිගෙ ඇඟිලිවලට අල්ලට විතරක් නෙවෙයි මුළු ජීවිතේටම ඒක දැනෙනවා.ඒත් ඒ මොකද්ද කියලා වචනෙන් විස්තර කරලා කියන්න නයනිට තේරෙන්නෙත් නෑ.ආර්ට්ස් සම්බ්ජෙක්ට් කරන නයනිට මෙහෙම සරළ විග්‍රහයක් කරන්න බැරි එක ඇත්තටම හිනා යන වැඩක්.
ආ...අමතක වෙනවනේ
හීනේ
පැටලිච්ච ඇඟිලි දිහා බලලා නයනි එයා දිහා බලනවා.
ඒත් ඇහැරිලා ඉන්න නයනිට හීනෙ හිටපු එයාගෙ මූණ මතක නෑ.
"මොකෝ?"එයා අහනවා
"ඔයා නැතුව මම පාලුවෙන් හිටියෙ"නයනි උත්තර් දෙනවා.
ඕන් ඔය වෙලාවෙ තමයි මාලිකාගෙ එලාම් එක බෑඟිරි ගහන්න ගත්තෙ.
හීනෙයි නින්දයි ඔක්කොම චකබ්ලාස්.
ඒත් නැගිටලා ,මූණ කට හෝදන් කැම්පස් ඇවිත් ලෙක්චර්ස් තුනකටත් ගිහින් ලයිබ්‍රරියට ආවටත් පස්සෙ තාමත් නයනිට ඇහැරෙන්න අමාරුයි.
ඇත්ත තමයි.
එයා නැතුව නයනි පාලුවෙන් ඉඳලා තියෙන්නෙ.
දැන් තමයි ඒක තේරෙන්නෙ.
ආයෙමත් එයා මුණ ගැහෙන්නම වෙනවා.
හීනෙං නෙවෙයි හැබහිං.නැත්නං කොහොමද ඒ පාලුව නයනි දරාගන්නේ?
ඒත් කොහොමද හත්දෙයියනේ ඒක කරන්නෙ.
මූණක් මතක නැති හාදයෙක් කොහොම හොයන්නද?
මතක තියෙන එකම දේ  එයයි නයනියි අත් පටලව ගත්තු ඒ තත්පර ගාන විතරයි.
සින්ඩරෙල්ලා කතාවෙ නං කුමාරයා සින්ඩරෙල්ලා දාල ගියපු සපත්තුව ගෙයින් ගෙට යවනවා ගැලපෙන කකුලක් හොයන්න.
නයනි මොනවා කරන්නද?පිරිමි පරාණ එක්ක අත් පටලන්න යන්නයැ හරි හාදයා මුණ ගැහෙන කං
පාඩං කරන්න හිතුවට මොන පාඩං ද?
පොත වහලා දාලා නයනි කල්පනා කරන්න ගත්තා.
හීනෙං පේන්නේ කවදහරි කොහේදි හරි දැකපු දෙයක් වෙන්න ලොකු ඉඩක් තියෙනවනෙ.
එතකොට මේ යෝදයා මම දන්න කෙනෙක් වෙන්න බැරි නෑනෙ.
දන්නා කියන එවුන් ගෙන් හීන කුමාරයා වෙන්න පුලුවන් කුමාරයෝ ටික නයනි හිතෙන් ලයිස්තු ගත කළා.
මුලින්ම ඇවැස්ස මස්සිනා පොඩ්ඩ කපිලයියා.ළඟ පාතකට ආපු ගමන් කියාගෙන කපිලයියා ඉඳහිට ගෙවල් පැත්තේ ආවෙ නයනිව බලලා යන්න කියලා නයනි දන්නවා.තේ කෝප්පයක් එහෙම ගෙනිහින් දෙද්දි කපිලයියගෙ අතට නයනිගෙ අත මුණ ගැහිලා නැත්තෙත් නෑ.ඒත් එහෙම දැනිලා තියෙනවද?නෑනෙ
කපිලයියා වෙන්න බෑ.
එතකොට තව කවුද?
ඒලෙවල් ක්ලාස් කාලේ පටන් අරගෙන ඒලෙවල් ඉවර වෙද්දීම දිය වෙලා ගියපු නයනිගේ පළවෙනි ප්‍රේම පුරානේ කුමාරයානෝ ,සමීර
සමීර තාමත් නයනි ගැන හිතෙ තියන් ඉන්න විත්තිය  කියලා සමීරගෙ යාලුවෙක් ඉඳහිට නයනිගෙ හිත කොනිති ගැහුවා.ඒත් නයනිට ඒ හාදයා ගැන තිබුනෙ යාලුවෙක් සහෝදරයෙක් ගැන තියෙන කැක්කුමක් විතරයි.ඒ ලෙවල් ඉවර වෙලා ප්‍රේම පුරානේ නැවතීමේ තිත තියන්න කිට්ටු දවසක ගෙවල්වලට හොරෙන් බොහොම බයෙන් බයෙන් සමීරත් එක්ක වේදිකා නාට්‍යයක් බලන්න ගියපු හැටි නයනිට මතක් වුනා .නාට්‍යයේ මැදක් හරියෙදි සමීරගෙයි නයනිගෙයි අත් පැටලැවුනේ සමීරගේ ඕනෙකමට.මේ විදුලි කෙටිල්ල එදා දැනුනෙ නෑ කියලා නයනිට සහතිකයි.
සමීරත් ඕෆ් ද ලිස්ට්
අනුරුද්ධ සර්?අනුරුද්ධ සර්ගෙ හොඳම ගෝලයෝ රොත්තෙන් එක්කෙනෙක් තමයි නයනි.කසාද බඳින වයස පහු කළත් තාම හැන්ඩියා වගේ ජැන්ඩි පහට ඇඳපු අනුරුද්ධ සර්ගෙ ලාවට විජයෙ ෆේස්කට් එකත් තිබුනා.තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන  එක්ස්පර්ට් වගේම හැමතිස්සෙම ළමයින් වෙනුවෙන් කතා කරන්න හිටගත්තු නිසා අනුරුද්ධ සර් ගෑනු ළමයින් ගෙ විතරක් නෙවෙයි පිරිමි ළමයින්ගෙත් වීරයා උනේ තරඟයක් නැතුව මයි.
සර් තාත්තා කෙනෙක් වගේ කියලා හිතන්න හැදුවත් ඉඳ හිට වෙලාවක අනුරුද්ධ සර් ගැන බොහෝම ලා පාට ප්‍රේමනීය හැඟීමක් නයනිගෙ හිතේ ඇති වෙලා නැත්තෙත් නෑ.ඒත් සර් ගෙ හිතේ?
කවදාවත් සර් නයනිගෙ අතින් අල්ලලා නෑ.අල්ලන එකකුත් නෑ.
අනේ මන්දා අනුරුද්ධ සර් ලිස්ට් එකේ තියනවද ?අයින් කරනවද?
බ්‍ර්ර්...බ්‍ර්ර්..
හීන ලැයිස්තුව මැද්දෙන් නයනිගෙ ජංගමයා වයිබ්‍රේට් වෙනවා.
චතුරංගයාගෙ ලෙක්චර්ස් ඉවර වෙලා
"කොහේ ද ඉන්නෙ?"
"ලයිබ්‍රරියේ"නයනි රිප්ලයි එකක් කෙටුවා.
"එනවා කැන්ටිං.තේ බඩගිනියි"
ආයෙත් පාරක් ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි එහා මේසෙ පාඩං කර කර උන් බවලතී නයනි දැවී අලු වී යන බැල්මක් හෙලුවා.
මූ ඔහොම්මයි.අපිට ඉතින් සෙට් වෙන යාලුවෝ මාලුවෝම තමයි.අඩු ගානෙ අහපං කො තමුසෙ පාඩං කරලා ඉවරද?
තමුසෙට තේ ඕනෙද?
තේ බොන්න යං ද?
අහයි මේං කියලා.
පොත් ටික මල්ලේ ඔබා ගන්න ගමං නයනි දෙහි කපන්න ගත්තට ඕවා චතුරංගයාට කියලා තේරුමක් නෑ.
මේ කනෙන් අහලා අර කනෙන් එළියෙ.
ලයිබ්‍රරියෙන් එලියට බැහැලා පාර පැනලා නයනි හෙමි හෙමීට කැන්ටිං බිල්ඩිමට බඩගාන ගමන් ආයෙ හීන කුමාර ලැයිස්තුව හදන්න ගත්තා.
කැන්ටිමට යද්දි චතුරංග ඇවිල්ලා ප්ලේන්ටී දෙකක් ඕඩර් කරලත් ඉවරයි.
ඇයි වදේ මම බොන්නෙ ටීද ප්ලේන්ටී ද කියලා අහපල්ලකො ඉස්සර වෙලා.
පුටුවෙ පත බෑවිලා ෆෝන් එකට විරිත්තං හිටපු චතුරංගයාට නයනි ඔරවනවා පේන්නෙ නෑ.
"ලෙක්චර්ස්  කොහොමද ?"
"ඔය තිබ්බෙ"
මේ යෝදයා ගෙන් ඔයිට වඩා උත්තරයක් ගන්න එකට  වඩා නාකි ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ල ගන්න එක ලේසියි.
අම්මපා නයනිටත් වෙන යාලුවෙක් හිටියෙම නැද්ද හොයා ගන්න මේ උනහපුලුවා ඇර?
"මේහ්..."
"ඔහ්"
"අහනවකො"
"අහං තමා ඉන්නෙ"
"මම හීනයක් දැක්කා"
"හ්ම්ම්"
"යකෝ මොකද්ද කියලා අහපං කො"
"මොකද්ද?"
චතුරංග තාමත් ජංගමයාට එබීගෙන.
"කොල්ලෙක්"
"හ්ම්ම්"
"මට ඒකා හොයාගන්න ඕනෙ"
"හ්ම්ම්"
"අනේ මන්දා බං මට තේරෙන්නෑ.ඒ යකා ගේ මූණ මතක නෑ.ඒකනෙ අවුල."
"හ්ම්ම්"
"හූං හූං ගාන්නෙ ෆෝන් එකට එබීගෙන .මං කියන මෙලෝ දෙයක් අහගෙන නෙවෙයි නෙ ඉන්නෙ?"
නයනිගේ වොලියුම් එක පොඩ්ඩක් විතර ඉහළ යද්දි යාන්තං ජංගමයා පැත්තකට වුනා.
"අහං හිටියෙ...පිස්සුවක් නෙ.හීනයක් දැක්කා .ඒක එතනින් ඉවරයි.හීන පස්සෙ දුවන්න තමුසෙ මොන්ටිසෝරි ළමේක් යැ."
චතුරංග විරිත්තුවා.
නයනිගෙ හිත පිදුරුතලාගල කන්දෙන් පහළට රෝල් වුනා.
මදැයි යාලුවෙක් කියලා එකෙක්ට කියලා අහගත්තු දේ.
"බෑ...මට ඒ යකා හොයා ගන්නම ඕනෙ"
නයනි මුරණ්ඩු වුනා
"හරි හරි තමුසෙ හොයා ගන්නවා .ලොකු දෙයක් .මට ත් ලේසියිනෙ.කනක් ඇහිලා හිටියෑකි එතකොට.මළ වදේ."
මටත් හොඳ වැඩේ මේ වගේ එකෙක් ට ඕක කිව්වට.
නයනි ස්වයං තරවටුවක් කරගත්තෙත් හිතින් මයි.චතුරංගයා හරි හොඳ එකා.ඒත් හිත හොඳ වුනාට ගෑනු හිත් කියවන්නනං මූට කවදාවත් තේරෙන්නෙ නෑ.
කවදාහරි මූ බඳින කෙල්ලටනං තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේම පිහිටයි තමයි.
ඔය කියපු කතාව වෙන කෙල්ලෙක්ට කිව්වනං මෙලහකට ඒකි මෙතන නයගරා ඇල්ල වගේ දිය වෙලා හැලෙනවා.නයනිට ඉතින් මේ යකාගෙ කතා පුරුදුයි.
ඒත් හිත රිදෙන්නෙ නැතුවා නෙවෙයි.රටේ තියෙන ඔක්කොම ඉන්ටරෙස්ටිං වල්පල් ගෙනල්ලා මුගේ කන් දෙක පුරෝනවා තමයි.
ඒත් ඔහොම මූණටම කියනවෑ මම මලවදයක් කියලා.
"ඉවරද තේක බීලා?"
"හ්ම්"
නයනි මූන කළු කරං හිටියෙ හිත රිදුනා කියල තේරනාම අඩු ගානෙ සොරි කියයි වත් කියලා.
සොරි?
මුන්දැ සොරි කිව්වොත් බස්නාහිරින් පායයි ඉර.
නයනි ඔහේ පුටුව උඩම පැලවෙලා ඉන්දැද්දී  මිතුරු තොමෝ නැගිටලා දොර දිහාටත් වැඩම කරලා.
"පුටුවෙ මුල් ඇදලා ඉන්නෙ ලෙක්චර් එකට යන්නෙ නැද්ද?"
බුම්මං මූණත් එක්කම පොත් මල්ලත් උරෙන් එල්ලං නයනි පුටුවෙන් නැගිටලා උන්දැගෙ පැත්තකින් වැටුනා.
මූත් එක්ක ඉන්නවට මට කීයක් හරි දෙන්ටෝනෑ.
එකොලහේලෙක්චර් එක දෙන්නටම.
පාරෙන් එහා පැත්තෙ වෙස්ට් ලෙක්චර් හෝල් එකේ.එතනට යනකං ආයෙත් නයනි හීන කුමාර ලිස්ට් එක හදන්න ගත්තා.
හත්වලාමයි.
විදුලි කොටන්න ගත්තා.
මහ දවාලේ මහ පාර මැද නින්ද යන සිරිතක් තියෙනවද?
නයනි තමන්ගෙ ඇඟිලි අස්සේ පැටලිච්ච් ඇඟිලිවල අයිතිකාරයා දිහා බලං හිටියෙ ඇස් දෙක ලොකු කරං.
"මොකෝ?"
හීනේ විදිහට මම ඔයා නැතුව පාලුවෙන් හිටි කතා මේ යකාට කිව්වොත්  එක්කො මෙතන බිම  පෙරළිලා හිනා වෙලා එක විකාරයක් කරයි.
නැත්නං තව මොකක් හරි හිත රිදෙන කතාවක් කියයි.
"මොකුත් නෑ"නයනි විරිත්තුවා
"ලෙක්චර් එකට යමං එහෙනං මහ පාර මැද ගල් පිලිමෙ වගේ ඉන්නැතුව"
එහෙම කියලා ගෙරෙව්වට නයනිගෙ ඇඟිලි පටලං  හිටපු ඇඟිලි තවත් ටිකක් තදට පැටලෙන ගතිය නයනිට දැනුනා.
නයනිට හිනා ගියා.
ලෙක්චර් හෝල් එකේ දොර ගාවදි නයනිගෙ හීන කුමාර ලයිස්තුව ඩස්ට්බින් එකට වැටුනා
.

Sunday, December 2, 2018

කොත්තමල්ලි


බට්ටි නර්සරියෙන් අලි හෙම්බිරිස්සාවක් ගෙනාවේ ටික දවසකට කලින් ය.බෙදා හදාගන්නා හොඳ  පුරුද්ද පොඩි කාලේ හිටම පුරුදු කළ නිසා බට්ටී ගෙනා ගමන් මදි නොකියා අලි හෙම්බාව සීයාටත් අම්මාටත් බෙදා දුන්නා ය.
සුවාමියාට  එක්ක බෙදා හදා ගන්නා එක යහපත් බාරියාවකගේ  පුරුද්දක් නිසාවෙන් දෙයියනේ කියලා ගෘහ මූලික උතුමාණනුත් දැන් අලි හෙම්බාවෙන් පොහොසත් ය.
බට්ටිගේ හෙම්බිය නවතින්නේ උඩින් කැස්සකුත් උණ කුත් අලවාගෙන ය.පිට පිට ලෙඩ වෙන තුන්වෙනි වතාව නිසා දැන් බෙහෙත් බොන්න පොරේ ටිකක් අඩු ය.
සීයාට හෙම්බිය හැදුණු දවසේම බෙහෙත් ගෙනවිත් දුන්නේ උණ ගැනුනාම මේ කෙල්ල එක්ක ඔට්ටු වෙන්න බැරි අමාරුව දන්නා හින්දා මය.
ගෙදර උන්දැට හෙම්බිරිස්සාවක් හැදුනාම නෝර්මල් ඩිලිවරි එකකට කිට්ටු වෙන්න අමාරු වෙනවාය.ඒ නිසා බයටම බෙහෙත් ටික මතක ඇතුව බොනවා ය.
එතකොට මට?ඉස්සර වාගේම තාමත් බෙහෙත් පෙති කියන්නේ මට පෙන්නන්නම බැරි ජාතියක් ය .ඉතින් උගුර කහ කහ කැහැ කැහැ ඉන්නවා මිස බෙහෙත් බොන්න හිත හදාගන්නම බෑ ය.
හින්නික්කිතර කාලේ මට නිතරම උණ හෙම්බිරිස්සාවලු ය.දැන් වාගේම ඒ කාලේත් වතුර නෑම නයාට අඳුකොළ වගේ ය.නාවපු ගමන් මට සනීප නැති වෙනවාලු ය.
ගාල්ලේ උගුර කණ නාසය ලොකු දොස්තර මාමෙක් මාව බලලා කියන්නේ ඔපරේශන් එකක් කරන්න ඕනෑ කියලා ය.
ඔපරේශන් කරන්න හිත හදාගන්න අමාරු වුනාම තාත්තා කරන්නේ ඇලවේල්ලේ පන්සලේ හාමුදුරුවන් ගාවට මාව ගෙනියන එක ය.
ඇලවේල්ලේ පන්සලේ බෙහෙත් වලින් මට සනීප ය.
එදා ඉඳන් මාතර ඉන්න කල්ම මල්ලිත් මාත් බෙහෙත් ගන්නට වැඩි හරියක් එක්කන් ගියේ ඇලවේල්ලේ පන්සලට ය.ඉඳහිට දවසක ගෙදර ළඟ කොන්ඩෙ කොට දොස්‍තර නෝනෙක් ගාවටත් ගියා මතක ය.ඒත් මගේ මනාපය ඇලවේල්ලේ පන්සලටම ය.
සිංහල බෙහෙත් සුවඳ පන්සල් සුවඳ මිස අසනීප සුවඳ ,ඉස්පිරිතාල සුවඳ , බෙහෙත් පෙතිවල නහය උගුල්ලන ගඳ පන්සලේ නැත.
පන්සලෙන් ගෙනියන බෙහෙත් පොවන්නට තාත්තාට කිසිම අමාරුවක් නැත.අමාරු වෙන්නේ බෙහෙත් වැඩිපුර බොන එකෙන් , බෙහෙත් දිය කරන මී පැනි බෝතලේ එක වරුවෙන් ඉවර කරන එකෙන් එහෙම අපිව නවත්තා ගන්නා එක ය.
ඇලවේල්ලේ හාමුදුරුවන් අපවත් වෙන්නේ මම කැම්පස් ගිය කාලයේ වෙන්න ඕනෑ ය.දැන් පන්සලේ බෙහෙත් කරනවාද දන්නේ නැති ය.
කැම්පස් ආවාට පස්සේ අකමැත්තෙන් වුනත්  අසනීප වුනාම හෙල්ත් සෙන්ටර්  එකෙන් හෝ පේරාදෙනියේ ඕපීඩී එකෙන් ගන්නා බෙහෙත් පෙති ගිල දාන්නට වෙන්නේ ලෙක්චර්ස් ,ක්ලිනිකල් අස්සේ ලෙඩවෙලා ඇඳේ ඉන්නට වෙලාවක්  නැති හින්දා ය.
ඒත් හෙම්බිරිස්සාවට කැස්සට එතකොටත් මම මනාප කොත්තමල්ලි කෝප්පයකට ය.ගෙදර ගිහින් එද්දී , කොත්තමල්ලි,ඉඟුරු ,තිප්පිලි එක එක පොඩි  ලේබල් ඇලවූ බෝතල් දුසිමක් විතර බෑග් එකට ඔබන්නේ තාත්තා ය.ඒ මගේ කම්මැලි කම හොඳහැටි දන්නා හින්දා ය.
ගෙදර ආ වෙලාවක නිකමට හරි කැස්සොත් කොත්තමල්ලි හෝ පස් පංගුව කෝප්පයක් බොන්න වෙන එක වරදින්නේ ම නැත.වැඩේ වෙන්නේ ලෙඩාට විතරක් නොව ගෙදර ඔක්කොටම ඔය සත්කාරය අත්විඳින්න වෙන නිසා ය.හුඟ වෙලාවට තාත්තාගේ උත්සාහයට සාධාරණයක් කරන්නේ මම විතරක් ම වෙන අතර අනිත් ඈයන්ගේ කොත්තමල්ලි කෝප්ප උඩ තට්ටුවේ ජනේලෙන් එහා වත්තට ය.
බඩේ අමාරුවක් හැදුනොත් තාත්තා අතට ගන්නේ ඒක්කෝ අසමෝදගම් බෝතලය ය.එහෙමත් නැත්නම් ක්‍රීම්‍ රාජ ගුලි ය.දෙහි ඇඹුලෙන් දිය කළ ක්‍රීම් රාජ ගුලිය බොනවාට වඩා බඩේ අමාරුවෙන් මැරෙන එක දාහෙන් සම්පත ය.ඔය දෙකම ගෙදර නැත්නම් හම්බෙන්නේ දෙහි ඉස්ම වඩියක් ය.පට්ටම ඇඹුල ය.ඒත් අර ඉස්සරින් දෙකට වඩා දරා ගන්නට ලේසි ය.
අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිය එකෙන් අම්මාට ඉතුරුවෙන්නේ  හැමදාම උන්දෑව මතකේ තියා ගත් ළමයි රොත්තක් ,බලු රොත්තක් හා ගෙවිච්චි දණිස් දෙකක් ය.
හොඳටෝම අබලං වුණු දණිස්ස පරික්ශා කර බලා කරවනැල්ලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුමා නියම කරන්නේ දණහිස සන්ධිය ට ආදේශක සැත්කමක් කරන්න ට ය. ඉතින් මේ උන්දෑට ඕක තේරුම් බේරුම් කරන්නට පුලුවන් ජගතෙක් මිහිපිට ඉන්නවාදැයි මම නං දන්නේ නැති ය.ඔපරේශන් කෙරිලි උන්දෑට අරහං ය.
ඉතින් සිංහල බෙහෙත් ය.හෝමියෝපති ය.කොරියන් බෙහෙත් ය.යෝගා ය.ෆෙං ශුයි ය.ල
ගෙවුණ දණහිසට කෙසේ වෙතත් හිතට බෙහෙතක් වෙන හින්දා මමත් ඔය කියන ඕනෑ එකකට හා ය.
රුවන්වැල්ලේ බෙහෙත් බඩු කඩෙන් අමු ඇට, කුඹුරු ඇට යනාදී මෙකී නොකී ඇට එකතු කරං එද්දී මම දොස්‍තර බව උන්දැලා නොදන්නේ හොඳ වෙලාවට ය.දැන් ඒ රාජකාරිය පැවරිලා ඇත්තේ තාත්තා ට ය.බෝ පොතු, එඬරු මුල් දේවදාර පොතු තාත්තාට හීනෙනුත් පේනවා ලු ය.
බට්ටිගේ හෙම්බිය එහෙම්ම අඩුවුනත් අත්තම්මාට හිතට හරි නැත.කෙල්ලගේ පපුවේ සෙමය .කෝලසෙලෙස්මාව ඩිංගක් පපුවේ ගාන්නටම ඕනෑ ය.බට්ටිගේ අම්මා ඔය තෙල නොගෙනෙන බව දන්නා සීයා තෙල් බෝතලයක් අරං එන්නේ බස් හෝල්ට් ගණනාවක් පයිනුත් ගිහින් ය.
සීයා පවු හින්දා බට්ටිගෙ අම්මාත් ගඳ ගහන තෙල් ඩිංගිත්තක් බට්ටිගේ පපුවේ උලන්නේ බට්ටි නිදි අතරේ ය.
"එක සැරයයි තෙල් ගෑවේ.කැස්ස අඩුයි නේද පුතේ"සීයා අහද්දිත් බට්ටිට පොඩ්ඩක් කැස්ස ය.
"ඔව් නේ "අපි උත්තර දෙන්නේත් කැස්ස නොකැස්ස ගාණට ය.