Thursday, December 28, 2017

ෆේල් ද පුතේ ඒ ලෙවල්

 මේ ලියන්න ඒ ලෙවල් ෆේල් වෙච්චි උන්ට.

ඒ ලෙවල් රිසාල්ට්ස් ආවා.බුකිය පුරා පාස් වෙච්ච කට්ටිය රිසාල්ට්ස් අලවනවා.විශ් කෙරෙනවා.මම මුකුත් වැරැද්දක් කියන්නෙ නෑ.ඇත්තටම ඒ සතුට උන් සමරන්න ඕනෙ.මොකද  ඒ රිසල්ට් එක ගන්න උන් බහුතරයක් සෑහෙන  දුක් වින්දා.උන් විතරක් නෙවෙයි ගෙවල්වල මිනිස්සුත් දුක් වින්දා .දුක් වින්ද දිනපු උන්ට  සුභ පැතුම්.

 එතකොට ෆේල් වෙච්ච එවුන්?
ලියපු එවුන්ගෙන් පාස් වෙන්නෙ ටික දෙනයි.ගොඩ දෙනෙක් ෆේල්.ෆේල් අය දැන් මොකද කරන්න ඕනෙ?
මේ මගේ හිතුමතේ.

ඉස්සෙල්ලා ම බලන්න ඇයි ෆේල් වුනේ කියලා.ෆේල් වෙන්න හේතු ගොඩක් තියෙනවා.සබ්ජෙක්ට් එක හොඳට දන්න ,මහන්සි වෙලා වැඩ කරපු හාදයෙක් වුනත් විභාගය දවසේ හරි ඒ ආසන්නයෙ හරි වෙච්ච් මොකක් හරි වෙනසක් නිසා විභාගෙ ෆේල් වෙන්න පුලුවන්.ඒක අවාසනාව.හැබැයි ජීවිතේ හැමදාම අවාසනාව දිනන්නෙ නැහැ.හිත හදාගෙන ආයෙත් පොත් ටික අතට ගන්න.ෆේල් වෙන්න හේතුව මානසික ආතතිය වගේ වැලැක්විය හැකි දෙයක් නම් ඊළඟ වතාවෙ එහෙම නොවෙන්න උදව් ගන්න.ඉරුවාරදය වගේ අසනීපයක් නම් පාලනය කරගන්න බෙහෙත් ගන්න.

ඊළඟට සබ්ජෙක්ට් එක ගැටලුවක් නෑ .හැබැයි පාඩම් කලේ නැති උදවිය.ෆේස් බුක්,ෆිල්ම් බැලිලි ,ප්‍රේම හුටපට ,මෙකී නොකී දෑ අස්සෙ පාඩම් කිරිල්ල මඟ ඇරිලා.ඒ ලෙවල් කියන්නෙ වාරවිභාගෙ වගේ සිඟිති ආතල් එකක් නෙවෙයි.මහන්සි නොවී දිනන්න බලන් ඉන්නවනම් මේ සැරෙත් අනිවා ෆේල්.ජීව්තේ ඉස්සරහ සම්පූර්ණයෙන් ම වගේ හදාගන්න තියෙන්නෙ මේ අවුරුද්ද නම්  මේ කට්ට කන්නම වෙනවා.එහෙම කරන්න පුලුවන් කියලා  හිතා ගෙන හදා ගෙන පොත් ටිකේ මකුලු දැල් එහෙම පිහදාලා ගන්න.කාට බොරු කළත් හිතට බොරු නොකර වැඩ කරන්න.

ඊළඟට කරපු සබ්ජෙක්ට් එක දිරවන්නෙ නැති නිසා ෆේල් වෙච්ච් අය. ඒ ලෙවල් ලියන්නෙ ඔයා නම් ඒ රිසල්ට් එක ඔයා ගෙ .ඒක බලපාන්නෙ ඔයාගෙ ජීව්තේට.කරන්න කැමති ආට්ස්නම් අම්මගෙ කැමැත්තට හූල්ල හූල්ල බයෝ කරන්න එපා.කරන්න ඕන මොනවාද යන්න ඕනෙ කොහෙටද ,ඒක කරන්නෙ කොහොමද කියලා හිතන්න.තමන් ආස තමන් දක්ශ විශයට මාරු වෙන්න .ඊළඟ පාර විභාගෙ ගොඩ දා ගන්න.

අන්තිම ට  බැරි කම නිසා  ඒ ලෙවල් ෆේල් වෙච්ච  කණ්ඩායම ක් ඉන්නවා.මොන සබ්ජෙක්ට් එක වුණත්  ඒ ලෙවල්වලදි බලන්නෙ තර්කන හැකියාව,විශය අවබෝධය ,ධාරණ ශක්තිය ,මතක ශක්තිය,ගැටලු විසඳීමේ  හැකියාව වගේ  පැති.ඉබ්බන් ට පියාඹන්න බෑ වගේ සමහර උදවියට ඒ ලෙවල් ගොඩ දාගන්න තරම් මේ හැකියාවන් නැති වෙන්න පුලුවන්.ඒක ලබා උපන් හැටි.
තුන්වෙනි පාරත් කරලා ,කරන්න පුළුවන් උපරිමෙන් කරලත් ඒ ලෙවන් ෆේල් වෙන්න පුලුවන්. ඒ ලෙවල් කියන්නෙ වැඩකට ඇති මගුලක් නෙවෙයි කියලා හිත හදා ගත්තැහැකිද?
බෑ .මොකද ලංකාවෙ ලොකුම විභාගයක් තමයි ඒ ලෙවල් .ඒ ලෙවල් ෆේල් කියන එක ජීවිතේ හැමදාටම තියෙයි.

ඒත් ඒලෙවල් ෆේල් කියන එක ජීවිතේ ෆේල් කියන එකට සමාන කරගන්න ඕන නැහැ.

ඒ ලෙවල් කියන්නෙ සර්ව සම්පූර්න විභාගයක් නෙවෙයි.ලංකාවෙ තියන රැකියා අවස්තා ගොඩකට ඒ ලෙවල් පාස් වෙන එකේ  ලොකු සම්බන්දයක් නැහැ කියලයි මට හිතෙන්නෙ.ඒ ත් අපේ සමාජ ක්‍රමේ ඇතුලෙ තාම අපිට පුරුදු කරවන්නෙ දොස්තරලා ,ඉංජිනේරුවෝ,අකවුන්ටන්ට්ලා,ටීචර්ලා තමයි හොඳම රස්සා,ඒ වගේ රස්සාවක් නොකලොත් ඉඳලා වැඩක් නැහැ කියලා.
ප්‍රශ්නෙ තියෙන්නෙ එතනයි.

අන්තිම පාරත් පුලුවන් උපරිමේ කරලත් ඒ ලෙවල් ෆේල් නම් දැන් තමයි ලොකුම කට්ට කන්න තියෙන්නෙ.ඇනුම් පද ,හිත රිදෙන කතන්දර,හීල්ලිලි මේ කනෙන් අහලා අනිත් කනෙන් එළියට දාන්න.ඒ ලෙවල් වලදි නොමැනුන අනිවාර්යයෙන් ම ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුලුවන් විදිහෙ මොකක් හරි දක්ශතා එකක් හරි කීපයක් හරි තමන් ළඟ තියෙනවා.ඒ මොකද්ද කියලා හොයා ගන්න.ඒ හැකියාවෙන් ඉස්සරහට යන්න පාර හදා ගන්න.පිළිගත් ආයතනයකින්  ඒ සබ්ජෙක්ට් එකට අදාළ කෝස් එකක් කරන්න.පළපුරුද්ද හදාගන්න ප්‍රවීණයෙක් ළඟ වැඩ කරන්න.සමහර විට සල්ලි එකතු කරගන්න පාට් ටයිම් ජොබ් දෙක තුනක් කරන්න වෙයි.දාඩිය මහන්සියෙන් හම්බ කරනවනම් කිසිම රස්සාවක ලැජ්ජ වෙන්න දෙයක් නෑ.ක්ශනික නූඩ්ල්ස් වගේ නොවී හිමීට පටන් අරන් ජීවිතේ  ගොඩ ගන්න. කවදා හරි ඒ ලෙවල්  ෆේල් වුණත් ජීවිතේ ෆේල් නොවෙන හැටි අනිත් උන්ටත් කියලා දෙන්න.

මම කියන එව්වා කොරන්න අමාරු යි ම වගේ නං කසිප්පු ටිකක් පෙරලා කාරිය ලබන පාර චන්දෙ ඉල්ලන්නත් පුලුවන් ඉතින්.



Sunday, December 24, 2017

අම්මා මොකද කළේ

ගිය සතියේ දවසක අම්මෙකුයි ආත්තම්මෙකුයි උස්සන් ආවෙ අවුරුදු තුනයි මාස ගානක දඟ පැංචෙක් ව.අම්මා රෙදි ටික වනන්න එළියට ගිය වෙලේ හොරෙන් සීනි කන්න ගිය පුතණ්ඩියා අතින් සීනි බෝතලේ බිඳිලා.කොලු පුංචත් අත ඇරලා නෑ බිඳිච්ච් බෝතලෙන් සීනි කාලා.
"හීරෙන කටු බඩේ "කියලා හිනා වෙවී පැංචා කිව්වට අම්මා හිටියේ ගිනි පත්තු වෙලා.

ඔය වගේ අලකලංචි කරගෙන එන පැංචො පැංචියෝ නොසෑහෙන්න.ඔහොම ආපු ගමන් අපේ ජනතාව අහන ඊළඟ ප්‍රශ්නේ වෙන්නෙ  
"ඉතින් අම්මා කොහෙද හිටියෙ මෙච්චර හරියක් වෙනකං?"
එහෙමත් නැත්නම් 
"ඇයි අම්මා ගෙදර හිටියෙ නැද්ද?"
ඒ ප්‍රශ්නෙ ඇහුවෙ නැතත් 
"ළමයි හදනවනම් ඔහොම බෑ.ඔයිට වැඩිය සැලකිල්ලෙන් ඉන්න ඕනෙ "කියලා කියන එක නම් අනිවාර්යයෙන් වෙයි.

දැන් ඔය පොර ටෝක් දුන්නට ඉතින් බට්ටිගේ අම්මා වෙන්නට කලින් ඒ උන්දෑත් ඔහොම දැනමුතුකම් දුන්  වාර අනන්තය අප්‍රමා ණ ය.
ඉස්පිරිතාලෙ විතරක් නොව ගෙදර දොරේ පාරේ තොටේදිත් ඔය වගේ කතන්දර මදි නැති ය.
කවුරුත් නොකිව්වත් පොඩි එකෙක්ට වෙන හැම ඇබැද්දිකම වගකීම අම්මලා තමන්ගේ කරපින්නාගන්නා එක වෙන්නේ ඉබේ මය.

උනහපුලු මායියාටත් උගේ පැටියා මැණිකක් ය.ඒ අම්මලාගේ හැටි ය.බරපතල අසනීපයක් නැතිනම් අම්මලාගේ තුන් තිස් පැ‍යම ගෙවෙන්නේ අතුරු ආන්තරාවක් නැතිව පොඩි එවුන් ලොකු මහත් කරන්නට ය.

ඒත් පුංචි පැංචියන් වනාහී කොයි  මොහොතේ පුපුරාවි දැයි නොදන්නා හුරුබුහුටි කාල බෝම්බ ය.
අම්මලා පණ වගේ රකිනා බව පුංචන් ට තේරුමක් නැත.
අම්මා එහේ මෙහේ වෙන ඇසිල්ලක් උන්ට පිණුම් ගහන්නට,තුවාල කරගන්නට,එකඑක ජාති නහයේ ,කනේ ඔබාගෙන හිර කරගන්නට වගේ භයානක මෙහෙයුම්වලට හොඳටෝම ඇතිය.
පුංචිත්තන් ගේ හැටි එහෙම ය.

වෙච්චි දේ කොහොමත් වෙලා අහවරය.පොඩ්ඩෙක්ට රිදුණාම ඒ වගේ සිය දහස් ගුණයක් රිදෙන්නේ අම්මාට අප්පාට ය.පොඩි එකාට ටික දවසකින් මතක නැති වන්නට ඉඩ තිබුණත් ඒ අබග්ගය අම්මලාට ලේසියෙන් අමතක වෙන්නේද නැත.

ඉතින් වෙච්චි දේට අම්මලාට අච්චු කරන්නට හැදුවාට පුංචි පැංචියන්ට රිදෙන එක අඩු වෙන්නේ නැත.අම්මාගේ තුවාලේට  තවත් ලුණු ගෝනි හැලිල්ලක් විතර ය.

අම්මලාද මනුස්ස පරාණ ය.

Friday, December 22, 2017

බෝඩිං කතා

ඉස්කෝලෙ ගමන අහවර වෙනතෙක් ම අපේ අපුච්චාගේ නීති පංතියට අහුවී හිටි අහිංසක මං ගෙදරින් පිට නැවතුනු දවස් ගාන අතේ ඇඟිලි ගානට අඩු ය.

පේරාදෙණි සරසවි යන්නට සුදුසුකම් ලැබුණාට ගිය ගමන් හොස්ටල් ලැබෙන්නේ නැති බව අම්මා රොයිටට් පුවත් සේවාව හරහා සොයා ගනිද්දීම කලබල වුණු තාත්තා සුදුසු නවාතැන් පොලක් සොයාගන්නට වහාම පේරාදෙනිය බලා බස් ගත විය.
නොදන්නා රට රාජ්ජෙක යුද්ධෙට යන්නා සේ ගිය තාත්තා නැවත ගෙදර එන්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් ය.කෑම බීමත් එක්කම මසුරං බෝඩිමක් පේරාදෙනිය ටවුමෙන්ම ලැබිලාය.ගෙදර ඇත්තන් උන්දැලාගේ ළමයෙක් වාගේම මාව බලා ගන්නට පොරොන්දු වෙලාය.බෝනස් කියන්නේ ගෙදර අයට පිච්චර් හෝල් එකකුත් තියේය.
කිව්වත් වගේ බෝඩිම මසුරංය.බෝඩිමට නගින්නට මහ පාරේ හිට මහගිරිදඹේට තරමටම උසක් වේය.උස කොච්චරද කියනවානම් කාලෙකට වතුරද නැත.ඔක්කොටම වැඩියෙන් හිත රිදෙන්නට කාරනාව පිච්චර් හෝල් එක කොටු කොටු ෆිල්ම් විතරක් පෙන්නන එකක් වීමය.

බෝඩිමේදී මුලින්ම අඳුනාගත් සදාකාලික රූමියෙක් වූ අහිංසක රමෝනාවද  කුමන්ත්‍රන කර බිඳවා ගෙන ඊළඟට සැපත් වෙන්නේ ඊරියගම අංගම්මන මැතිනියගේ බෝඩිං මන්දිරයටය.
බෝඩිං වර්ගීකරණයට අනුව මේ බෝඩිම තරු පහේ හෝටලයක් ය.පොලව ටයිල්‍ ය.ඇටෑච් බාත් රූම් ය. උයාපිහාගන්නට කිචන් පොඩ්ඩක් ය. ගාන ද එලොව පොල් පේන තරම් ය. උදේට පාර පැන බෙන්තොට බේක් හවුසියෙන් ශෝටීට්ස් මල්ලක් ගෙන්නාගෙන තුන් වේලටම වග කියන පොත් ගුල්ලියන්ට ඒ කාමර පොඩ්ඩ මාරම කම්ෆටබල් ය.දුම් කෝච්චියක් වාගේ සිගරට් බොන ගෙදර මතක් වී අඬන  පිටරට කෙල්ලෙක් අල්ලපු කාමරේ උන්නා මතකය.බෝඩිං ඇන්ටි ඇඳිරි වැටෙද්දී තඩි බලු තඩියෙක් ලෙහෙන එකය ඒ බෝඩිමේ  අවුලකට තිබ්බේ.


පස්සේ කාලෙක ටික කාලයක් හිටියේ ෆැකල්ටිය අල්ලපු වත්තේ බෝඩිමකය.බෝඩිං ගෙදර අංකල්ට රස්සාවට ලැබුනු ක්වාටස් එකය ඒ කරුණාවන්ත ඇත්තන් අපිත් එක්ක ආදරෙන් බෙදා ගත්තේ. එහා කාමරේ ටත් අපිටත් තිබ්බේ එකම බාත් රූම් එකක් බවත් වහින දාට නොමිලේ පනු නැටුම් තිබ්බ බවත් මතක ය.දවල් වරුවේ අපි ඇවුදින් නා ගැනීමට ඉඩ ඇති නිසා ඇන්ටි කොහේ හරි යද්දී ටැංකියේ කරාමය වසා යන බවත් , නාන්න එන අපිත් ඇගේ කනින් රිංගා නාගෙන නැවත කරාමය වසා ගිය බවත් මතකය.
මදක් අනුමත වූ දාට වෙනදාට බිම් බස්සෙක් සේ හිටිනා අංකල් තෙමේ මනමේ කුමාරයා බවට පත් වී ඉදිරිපත් කල රසාංගද හූ තියාගෙන හැල්මේ දුවන කෝච්චි සද්ද ද පාඩම් වැඩවලට බැක්ග්‍රවුන්ඩ් මියුසික් ය.  ඒ කෙසේ වෙතත් ඔය ඔක්කොටම වඩා ෆැකල්ටිය අල්ලපු වත්තේ තිබීමේ වටිනාකම නිසා ඔය ඔක්කොම මැද්දේ අපිත් ඔතන වැටිලාම හිටියෝය.


ෆැකල්ටි ළමයින්ට කාමර්  දෙන එකත් වෙනමම කලාවක් ය.මගේ සමහර බැචියන් ගේ බෝඩිං ජීවිතය වැඩි හරියක් ගත වුනේ ඉහළ අහසේමය.මොකද ඒ බෝඩිං කාමරවල ඇඳකින් ඇඳකට මිසක බිමට බහින්නට ඉඩක් නැත.තවත් සමහර බෝඩිංවල නීතිරීති මැද පෙරදිගටත් වඩා දරුණු ය. තවත් තැන්වල බෝඩිං ඇන්ටිලාගේ රොයිටර් පුවත් සේවාවලින් ගැලවී ජීවත් වෙන එක තරම් අමාරු වැඩක් නැත.

 අදටත් බෝඩිං කියද්දී ඇඟ ලාවට කිළි පොලා යනවාය.  ඒ අතින් හොස්ටල් ජීවිතේ මසුරං ය.

Friday, December 15, 2017

මොන්ටිසෝරි කතා

 අම්මා එක්ක අඩව් අල්ලන බට්ටි පස්සට ඉර එළිය වැටෙනකන්ම නිදනවාය.සීයාට කොච්චර කිව්වත් සැපට නිදාගන්න කෙල්ලව ඇහැරවන්නේ සීයා නොවේය .සීයා අල්ලේ නටවමින් දවල් වරුවේ ගත කරන ජීවිතය වෙනස් කරන්නට ජනේරුවේ වත් බට්ටි මොන්ටිසෝරි දාන්නට ඕනෑය.

මුලින්ම මොන්ටිසෝරි යන කාලයේ වයස හතරක් විතර වෙන්ට ඇතිය.ඒ මොන්ටිසෝරියේ මිස් කලු පාට බවත් ඒ කාලේ හිනා මූණු ක්‍රීම් බිස්කට් තිබ්බ බවත් යන්තම් මතකය.ඒ මොන්ටිසෝරියේ වැඩිකල් නොහිටිය හේතුව අම්මාගෙන් අහගත්තේ ලොකු වුනාට පස්සෙන් පහුය.මොන්ටිසෝරියට ළමයි ගේන වෙලාවට සාරියක් ඇඳන් ඉන්නා ටීචර් අම්මලා ගියාට පස්සේ මාශ්මෙලෝස් ජුජුබ්ස් හදන්න ගොස් ඇත්තේ අපිව ඔහේ අතහැර දමාය.

දෙවැනියට ගිය මොන්ටිසෝරිය හිතට අල්ලලා ගිය බව මතක ය .ලස්සන නිල් පාට සාරි ඇඳගත් ටීචර්ලාගෙන් හොඳම ටීචර් මගේ ප්‍රින්සි ආන්ටි ය.තාත්තා කුකුලා මල්ලේ දමාගෙන වැඩට යන නිසාවෙන් මට යන්නට වෙන්නේ මොන්ටිසෝරියට නොව ප්‍රින්සි ආන්ටිගේ ගෙදරට ය.එතැනින් මොන්ටිසෝරියට යන්නේ ප්‍රින්සි ආන්ටිගේ අතේ එල්ලීය.මොන්ටිසෝරියේ උගන්නපු දේවල් නම් මතකයේ මුල්ලකවත් නැතිය.ප්‍රින්සි ආන්ටිගේ ගුරු පුටුවේ වාඩිවෙන්නට පොඩි කොලුවෙක් එක්ක වලි දමාගත් බව  නම් මතකය.
එකෝම එක දවසක සෙට් එකක් එක්ක මොන්ටිසෝරියේ දොරට තඩිබා තාත්තාට අලුතින් දොරේ වීදුරුව දාන්නට උනා මතක ය.ඒ ඇරුනු කොට නම් මොන්ටිසෝරි කාලේ මම අහිංසකම ළමයෙක් මය.
මොන්ටිසෝරි කොන්සර්ට් එකට පුරුදු කළේ නරි බෑනා නාට්‍ය ය ය. අපි වාගේ දඟ මලු ටිකක් එක වේදිකාවක හිටවන්නත් ටීචර්ලාට සෑහෙන වදවෙන්නට වෙන්න ඇත.ටිකක් වෙලා ප්‍රැක්ටිස් කරද්දී නරියාත් බල්ලාත් අතුරුදන් ය.බලද්දී උන් දෙන්නා සීසෝ පදින්නට ගිහින් ය.

මල්ලි මොන්ටිසෝරි යන්නට කලියෙන් ඩේ කෙයාර් ද ගියේය.සමහරවිට උගේ දැන් කල්කිරියාවට හේතුවත් ඔය විදිහට හිච්චි කාලේ කෙයාර් එක වැඩිවීම වෙන්නට පුළුවන.මොන්ටිසෝරිත් ඒකා අවුරුදු දෙකක්ම ගියේය.ඒත් කොන්සට් එකේ රෝලි පෝලි නැටුමට ඌ වේදිකාවට නැග්ගේම නැත.පස්සේ බොරු සෝබනේට ස්ටේජ් එකේ තියා ෆොටෝ ගත්තාට අදටත් කුස්සිය පැත්තේ රෝලි පෝලි කල බවට කතන්දර අහන්නට වෙන්නේය.කොච්චර මොන්ටිසෝරි යැව්වත් ඔය යකාගේ පූර්ව ළමා විය සංවර්ධනයේ නම් දැනට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්නට අමාරු බවකි මට හිතෙන්නේ.

බට්ටිට අහළ පහළ මොන්ටිසෝරි හොයනා එකනම් ලේසි සෙල්ලමක් නොවේය.මොන්ටිසෝරි දෙක තුනකින්ම ඇප්ලිකේශන් ගෙනාවත් පුරවන්නට වෙලාවක් නැතුව  එව්වා මේසය උඩ වේලෙනවා ය.එව්වා මාගල්වලට වඩා පොඩ්ඩක් දිග අඩුය.මොන්ටුසෝරි දාන පොඩි එකාගේ උපන් දා සිට  විස්තර මදිවාට අම්මාගේ අප්පාගේ කොන්ඩේ පාට නියපොතුවල දිග හිටන් ඇප්ලිකේශන් එකට ඕනෑ ය.

ඇප්ලිකේශන් පුරවලා යැව්වාම ඉන්ටර්වීව් යන්නට ඕනෑය. ගිය අවුරුද්දේ ප්‍රසිද්ධ බාලිකාවක නර්සරියට ඉන්ටර්වීව් ගිහින් හොඳවායින් කට්ටක් කෑවා මතක ය.දවසෙන් භාගයක් වේලි වේලි හිඳ ඉන්ටර්වීව් එකට ගියාම ජීවිතේට දැක නැති දැරිවියන් දෙන්නෙක් රෝස මලක් පෙන්නා බට්ටිව වෙන දිහාවක ගෙන යන්නට වෑයමක් ය.අම්මා,තාත්තා හෝ සීයා නැතුව වෙන කා එක්කවත් යන්නට අම්මා බට්ටිට පුරුදු කර නැත.ඉතින් මඳක් දුර අක්කලා එක්ක ගිය බට්ටි අම්මාටත් කතා කළාය.ඉතින් බට්ටි ඉන්ටර් වීව් ෆේල් වෙලාය.ඒ ඉන්ටර්වීව් එක බට්ටි ෆේල් වුන එක මටනම් සතුටු ය.

කරවනැල්ලේ මොන්ටිසෝරි හෙවිල්ලත් ලේසි නැත.යාන්තං හොයාගත් මොන්ටිසෝරියේ බඩු ලයිස්තුව හොයාගන්නා එක ඊටත් අමාරුය.
පාන් බනිස් බැරිබවත් බත් ඕනෑ බවත් තව නීතියකි.ඒ කියන්නේ අපේ එකා  පාන් බනිස්ම කන බත් අරහං අපේ එකී උදේ වරුවේ හාමත් වෙනවා  ශුවර් ය. ඔක්කෝටම වැඩිය අමාරු වෙන්නේ  බට්ටිව මොන්ටිසෝරියේ තනිකර එන්න සීයාගේ හිත හදනා එකය.

මොන්ටිසෝරි යාම ලේසි සෙල්ලමක් නොවෙනා බව තේරෙන්නේ දැන් ය.

Wednesday, November 22, 2017

කුණු හරුප

හිච්චි කාලේ අපේ ශබ්දකෝශයේ තිබුන නරකම වචන වුනේ තමුසේ ,උඹ බං බොලං වගේ  ඒවාය.
කොන්වන්ට් එකේ ඉගෙන ගත් නිසා තත්වය තවත් බරපතළය.ඔයා මෙයා වෙනුවට තමුසේ භාවිතා කිරීමෙන් එක් යෙහෙළියකට විනය භාර ගුරුතුමිය මුණ ගැසෙන්නටත් වුණා මතකය.

කුණුහරුප ගැන මුලින්ම මතක සෝමා ටීචගේ සිංහල පංතියේදීය.නොදන්නා පොඩි දරුවෙකු තේරුම නොදැන තාත්තාගේ කර පිටින් යන ගමන් කියූ කුණුහබ්බයක් ටීච කියද්දී පන්තියම හිනා වුණා මතකය.
ඒ ලෙවල් පන්ති කාලේ වෙනකොට  නම් අපේ කොලු ගැටවුන්ට කුණුහරුප කියනා එක තරම් වීර වැඩක් තවත් තිබී නැති බව හිතෙන්නේ කට්ටිය පැරනි රසාංග ඉදිරිපත් කරද්දී ය. නමුත් ඉලංදාරි ගැන්සිය එකතු වුණු වෙලේ විනා දන්නා තරමින් අපේ ගැටවුන්  ගැටිස්සියන් ඉදිරියේ කුණුහරුප කියා පොර වෙන්නට හැදුවේ නම් නැත.නොදන්නා කුනුහරුප නොදැන අමාරුවේ වැටෙන නිසා අපවත් දැනුවත් කරන ලෙස කල තර්ජන ගර්ජන හමුවේ බයෝ ක්ලාස් එකේ කොලු ගැටයෙක් එකල බොහෝ ප්‍රාථමික මට්ටමේ කුණුහරුප දෙක තුනක් කියා දුන්නේ තම්බපු ඉස්සෙක්ටත් වඩා රතු වෙමිනි.
කුණුහරුපවලට වඩා ඒ වයසේ වුන් දැනන් හිට තියෙන්නේ ඩබල් මීනිං කතන්දර ය.වදෙන් පොරෙන් ඕවා අහගන්නා කෙල්ලන් අන්තිමට බොරුවට අපොයි ඊක්කා කියති.අපේ ලිංගික අද්‍යාපනයේ වැඩි හරියකට වග කිව්වේ මගෙ හිතේ ඔය කතා ය.

කැම්පස් යන්නට පෙර ඔලුවේ මැවී තිබුණේ කැම්පස් එකේ ගේට්ටුව මුල හිටම කුනුහරුප වැස්සකට අහුවෙන හැටිය. ඒත් බෙහෙතකට ගන්නටවත්  ජුන්නියන් වන අපට
 රැග් වෙන කාලේ ඇහුනේ නැති ය.
දැහැමෙන් සෙමෙන් කල් ගෙවූ සින්නෙක් වූ යකා අයියා දවසක් කීවේ "උඹලා කවදාහරි අම්මලා වෙන්න ඉන්න කෙල්ලො .අපි උඹලාට සතෙක්ගෙ නමක් වත් කියලා බනින්නෙ නැත්තේ ඒකයි"කියලා ය.
කොල්ලන්ට නම් එහෙම නැතිය.ඒත් ෆැකල්ටි ඉන්න තෙක් බැචෙක් බැචියෙක්ට කුනුහරුප කිව්වේ නැත.ඩබල් මීනිං කතා නම් බොහෝමය.
හොඳම වෙන්නේ අපේ සමහරක් අන්ත ටියුබ් ලයිට් ලලනාවන්ට ඩබල් මීනිං කතා කියන අහිංසක බැචාට ,පසුව මුල සිට කතාව විස්තර කරන්නට වෙන එක ය. ඔහොම ඩබල් මීනිං කතන්දර වපුරපු එකෙක් නිදහසට කීවේ අපේ කංඅඩි වල කුනුහරුප ඇති බවත් වෙන්නේ උගේ ඩබල් මීනිං කතා කන දිගේ ගොස් කංඅඩියේ කුනුහරුපයේ හැපුනාම කනට කුණුහරුප ඇහෙන එකත් බවය.
  සම්ප්‍රදාය තුල කිසිවෙකුටත් මව පියා මතක් කර නරකක් කීම,කෙනෙකුගේ කායික හෝ මානසික දුබල බවක් හාස්‍යයට ලක් කිරීම ගැනුනේ පහත් වැඩ හැටියටම ය.
සින්නන් එක්කද පැරලල් අනිත් ෆැකල්ටි එක්කද වලි දමාගත් වලි ඔස්තාර්ලා වුණු මගේ බැචාලා බැචියන් ඉදිරිපිට ඔවැනි වලියකදී වත් කුනුහරුපයක් කියා නැත.


ඉන්ටර්න් කරනා කාලයේදී මෙතුවක් කල් අසා තිබූ වැඩිම කුනුහරුප තොගය අහගන්නට ලැබුනේ වකුගඩු රෝගී පොඩ්ඩියකට බෙල්ලට කැනියුලාවක් දාන්නට අත් උදවු දෙන්නට ගොස් ය. තුනේ පන්තියේ විතර හුන් දැරිය ගේ වචන මල්ලට සහායට ආ මිසී බීට් රතු වුණේ බලා ඉඳ්දීය.මුකුත් නෑහුන ගානට වැඩේ අහවර කල දොස්තර අයියා,පස්සෙන් පහු වෙන එකෙක්ට කියා තිබුනේ ඒ සමහර හරුප උන්දෑටද අලුත් හරුප බව ය.ගෙදර පරිසරයේ යෙදුනු වචන තරහට දුකට පාවිච්චි කළ යුතු බව සිතූ දැරිය ඒවායේ තේරුම් කොහෙත්ම නොදත්තා ය.

කරවනැල්ලට ඇවිත් අවුරුදු හතරක් ය.එතරම් පොශ් නැති ගම් පලාතක් ය .වලි අඩුවක් නැතිය.එහෙත් රෝහල් ගේට්ටුව ගාව කුණුහරුප ඇද බාන උදවියත්,දොස්තර නලාවක්,නර්ස් තොප්පියක් දැක්ක හැටියේ කට පියා ගන්නට තරම් සංවරය.
එකෝම එක දවසක් ඇඩ්මිශන් එකේ දී කුනුහරුපයකින් ඇමතීමේ වාසනාව හිමි කරගත්තේ මානසික රෝගයක් උත්සන්න වී ආ හාදයෙක්‍ ය.ඒ උන්දෑ මට නංගී කියා ආමන්ත්‍රනය කිරීම නුසුදුසු බව උන්දෑ කුදලාගෙන ආ එකෙක් කී විට ඊට විරෝධය පාන්නටය.

මේ මා විස්තර කළේ දර්ශීය පරිසරයක් නොවන බව උදක්ම දනිමි.
කුණුහරුප අපේ ජන සමාජයේම කොටසක් වන්නට ඇත.වේලක් කන්නට ගිය දහ දෙනෙක් රස දහයකට කැමැත්තා සේ කුණුහරුප රසයට කැමති උන් ඉන්නට පුළුවන .ගැටලුවක්
 නැත.

නමුත් ඊයේ මගේ සමීපතම මිතුරියක් මෙන්ම වැඩිමල් සහෝදරියක ද මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම නිසා කුණුහරුප ගැන නැවතත් සිතන්නට සිදු විය.
කුනුහරුප නොව ඕනෑම හරුපයක් තවකෙක් හිංසනයට යොදා ගන්නට ඔබට අයිතියක් නැත.ඔබේ වදන් වලින් තවත් තැනැත්තෙක් මානසිකව පීඩාවට පත් කරයි නම් එහි ඇත්තේ වාචික හා මානසික පීඩාවයි.එය කායික පීඩාව හා සමාන ම අකටයුත්තකි.
මිනිසුන් හැටියට එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනෙක් අතර විවිධ මත ගැටුම් ඇති වීම සාධාරණ ය.නමුත්  ගැටෙන මත සමථ කර ගැනීමේදී ගෝත්‍රික වනචාරී ගති නොපෙන්වා තර්කානුකූලව මෙන්ම මානුශිකව කටයුතු කිරීමට තරම් අවබෝධයක් බුද්ධියක් මවු කුසින් බිහි වූ මනස නිරෝගී ඕනෑම පුද්ගලයෙක් සතු බව මගේ විශ්වාසය ය.

එසේ නොමැතිව වාචික හිංසනය  අගයන්නන් වෙත් නම් මගේ මිතුරු මායිමේ ඉදිරි දොර සම්පූර්නයෙන්ම විවෘත ය.
යන්න
ඔබට සුභ ගමන්.


Sunday, November 5, 2017

කාටද බැරි උයන්න

අම්මාට  කටට රහට උයන්නට පුලුවන.ඉතින් දෙයියනේ කියා අවුරුදු  දහ අටක් විතරම එක වේලක්වත් බඩගින්නේ ඉන්නට වෙලා නැත.තාත්තා කුස්සියට බැස්සේ ඉඳ හිටලාය .එදාට කෑම තරුපහේ හෝටලෙන් කනවා පරාද ය.ඉන්ඩියන් ද සිරි ලන්කන් ද අවුරුදු ගානකට ආයේ බඩේ ඉඩ හොයනවා බොරුය.

ලොවෙන් එකෙක් සමත් වෙන්නේ එකකට විතරක් ය කියනා හරුපය බොරු කරන්නට අම්මා ඉගැන්නුවේ පොඩි කාලේය.ඒ හින්දා අදටත් කොයිකර්මාන්තය වුණත් යන්තමින් ගොඩ දාගැනීමේ හැකියාව තිබ්බත් එහෙම බැරි වුණු  අල්පයේ උඩින්ම වැජඹෙන්නේ සූපවේදය ය.
උයන්න ඉගැන්නිල්ලත් අත ඇරියේ අම්මා නොවේ.ඒත් මොකක් දෝ පෙර කළ අකුසල කර්මයක් නිසා මට ඒ කලාව නම් පිහිටන්නේ ම නැත.
කැටි ගැහෙන්නට නොදී හැඳි ගාන්නට අම්මා දුන් උපදෙස් අකුරටම පිළිපදිමින් අල හොද්දේ අල දිය වෙන තුරුම හැඳි ගෑ දවසේ අම්මා මට උයන්න ඉගැන්නිල්ලට වඩා ගඟක් අද්දරට වී ඉණි කැපිල්ල ප්‍රයෝජනවත් වන බව වටහා ගත්තාය.මෙඩිසින් යන්නට හැල්මේ දුවන්නටත් තිබුන නිසාවෙන් මගේ ඉවිල්ල පොල් සම්බෝලයකට ,ඔම්ලට් එකකට සීමා කර සැනසෙන්නට වුනේ ඔහොම ය..

උයන ආච්චි ආයෙමත් වැහුනේ ෆැකල්ටි කැන්ටිමෙන් ටික දවසක් කෑවාම  ය.බැච් හය හතක්ම කිසිම හාවක් හූවක් නැතුව ගිල දමන කැන්ටිමේ බතට වඩා මගේ කෑම වට්ටෝරුව සෙන්ටීමීටර දෙකතුනක් හරි ඉහලින් තියෙන බවට ඇති වූ වැරදි වැටහීම නැවතුනේ බැචියන් අතරින් මුල්ම හොට්ප්ලේට් එකේ අයිතිකාරිය බවට පත් වීමෙනි.මගේ අඩි පාරේ යමින් බැචියන් සෑහෙන තොගයක් උයන්නට පටන් ගත් බව මතක ය.එකම වෙනස වුණේ උන් උයන ඒවා කන්න පුලුවන් වීමය .

කොච්චර අඩවි ඇල්ලුවත් මගේ සෝයා එකේ බාල්දි බාගයක් විතර වතුරය.ලුණු වලට ඕල් ඕ නන් ලෝ ය.එක්කෝ එලවලුවට වඩා ලුණු ය.එක්කෝ ලුණු නෑම නෑ ය.ඔක්කොමත් හරි බත බාගෙට ඉදෙද්දී හොට් ප්ලේට් එක පිච්චෙනවාය .මගේම පිලිසකර කිරිල්ලේ ප්‍රතිඵල හැටියට හොට් ප්ලේට් එකේ උඩ රත් වෙද්දී යට ගිනිගන්නා නිසා උයද්දී මගේ රූමී පැත්ත පලාතක එන්නේ නැත.මේ දහදුක් විඳිල්ලට වඩා කඩෙන් කන එක වටින බව තේරෙන්නට එතරම් කලක් ගියේ නැත.

බඳින්න කලින් අපේ ස්වාමි පුරුශයා පොර ටෝක් දුන්නේ තමා කුකින් සුපර් ස්ටාර් කෙනෙක් බවය.නමුත් බෙරි නොවන්නට බත උයන්නටනම් නොහැකි බව පිළිගන්නට උන්දෑ නිහතමානී විය.බත විතරක් උයන්නට වෙන බව කසාද සහතිකයේ නොලිව්වත් කටවචනෙට වෙච්ච පොරොන්දුවලින් එකක් ය.

සතියේ දවස්වලට උයන්න එන ගෑණු පරාණය  සෙනසුරාදාට හෙම්බත් වෙන්නේ අපේ මනුස්සයා ගෙන් වචනයක් නාහා ඉන්නට උයන්නේ මොනවාදැයි කල්පනා කරලාමය.
ඉරිදාට උයන ඇන්ටී නිවාඩු ය.සෙනසුරාදා නයිට් ඔන්කෝල් එක ජෝන්වෙනවාටත් වඩා ඔලුවට බර ඉරිදා දවල් කෑම වේල ගොඩ දාගන්නා එක ය.මනුස්සයා බඩගින්නේ තියන්නත් බැරිය.

පැය ගානක් වලි ලා දාඩිය නාගෙන යාන්තම් උයා අහවර වෙනවිට දවල් දොළහත් පැනලාය.බත බෙදන්නට යද්දී ඉස්සරෝම හදපු පරිප්පුවේ හොද්ද ආගිය අතක් නැත.බිම්මල් බැදුමත් බ ඔම්ලට් පලුවත් කරපිංචා සම්බලත් වටේට ගොඩ ගසා මේසයට ඇරියේ  පන්සලට දානෙ ගෙනියන විදිහටම ය.ඉන්දියන් කෑම රෙසිපියක් වගේ යයි ලැබුණු පැසසුමට ඉහේ මල් පාත්තියක්ම පිපිලාය.ටිකකින් බලද්දී අපේ හාදයා මල්පාත්තිය පහුරු ගාන කුකුලෙක් විදිහෙන්ම පිඟානේ මොනවාදෝ සොයන්නේ ය.
"බැදුමෙ බිම්මල් හෙව්වෙ".
"නෑ බිම්මල් නැතත් කමක් නෑ".ඒ මගේ මූණේ කලුවර දැක්කාම ය.

තවත් බත් කටවල් තුන හතරකට පස්සෙන් පහු අඟුරු කකා වතුර බිවු යකඩ යකා මෙන් අපේ උන්දෑ දෙකනින් දුම් දමන්නට පටන් ගත් නිසා දවල්ට කෑම පැත්තක තිබියදී වතුර බාල්දියක ඔබා ගිනි නිවන්නට සිදු විය.
බඩේ ගින්න නිවෙන්නට සුදු කිරී වීදුරුවක් බීලා ය අපේ උන්දෑ ගේ දිවා ආහාර වට්ටෝරුව අහවර වුනේ.
ඊළඟ ඉරිදාට නම් කලින්ම දවල් කෑමට අජිනමොටෝ ඉසින ලද ෆ්‍රයිඩ් රයිස් එකක් කඩෙන් ගෙන ඒමේ යෝජනාව එවේලේම වැඩි චන්දයෙන් සභා සම්මත විය.

පලි:කලබලේට හදපු නිසා කෑම වල පොටෝ දමන්නට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න.


Friday, October 20, 2017

යං තමයි අපිත් ඉතින්

කහනගම මාමා වැඩ කලේ රේල්ලුවේය.පැන්සොන් ගිහිනුත් දැන් දසකේකට වඩා වැඩිය.ඉහ නිකට පැහුණේ අකලට නොව වයසටය.හවසට හවසට බාර් එක වන්දනා කිරීමෙන් අමාරුවෙන් මේන්ටේන් කරන රා කළයක් වාගේ බඩ ගෙඩියක් ය.දූලා දෙන්නාම දීග දී දැන් මුනුපුරන් හතර දෙනෙකුත් ය.පැන්සොන් ගිය  පස්සෙන් පහු කාටත් කරදරයක් නැතිවම වත්තේ පිටියේ වැඩත් බලාගෙන නැන්දා එක්ක පවුල් කමින් උන්නේය.

"අනේ බලාපන් නංගියේ මට වෙච්චි විපැත්තියක්"
නිරිත දිග මෝසම වහින්නා සේ කඳුළු ගංගාවක් මැද්දෙන් කහනගම නැන්දා අපේ ගෙදර සැපත් වුනේ ඊයේ පෙරේදාය.

"ඇයි බං නංගියේ උඹට අසනීපයක්වත් ද?මාස දෙක තුනකට කලින් දැක්කට වඩා හොඳටම ඇදිල ගිහින් නෙ?"

"අසනීපෙ? අසනීපෙ මට නෙවෙයි අර ගෙදර ඉන්න මිනිහට"
නැන්දා හොටු තලියක් මිදුලේ මල් පඳුරකට විදිමින් දෙස් දෙවොල් තියන්නට වූවා ය.

"ඇයි බං මක් වෙලාද ඒ මනුස්සයා ට?"

"මක් වෙලාද? මොලේ නරක් වෙලා අක්කේ.මට නම් පේන්නෙ කොහේ හරි ඉන්න කිකිලියෙක්ට දැපනෙ වැටිලා"

"නෑහ්?"අම්මාගේ ඇස් නළලේය

"නෑ නෙවෙයි බං.දැන් මාසෙක විතර ඉඳන් කෙස්සයි රැවුලයි පාට කරනවා.බිත්තර ගෙඩි පිටින් ගිලිනවා.කොට කලිසං කෑල්ලක් ගහන් උදේ පාන්දර පාරට පැනලා දුවනවා.ජොගිංද මොකද්ද කියන්නෙ.ළඟදිම දවසක අප්පුහාමි මාමගෙ බල්ලා අල්ලනවා බත් කෙන්ඩෙන් මැහුං දාන්ටම.අර ෆෝන් උලව්වෙන් හතර පැත්තට පස්ස හරව හරවා  පොටෝ ගහනවා.මට නං දැන් ඉතුරු වෙලා තියෙන්නෙ වහ ටිකක් කන්න තමා"
නැන්දා සාරි පොට මිරිකූ පාර පුටුව යට හිටි කිටියා කඳුලු ගංගාවේ ගසා ගෙන ගොස් නතර වුනේ මහ පාරේ ය.

"හා හා,කලබල වෙන්න එපා නංගි.අපි දන්නෙ නෑනෙ කතාව හරියටම .කහනගම මල්ලිට හවස් වරුවේ නිකමට මේ පැත්තෙ එන්න කියන්නකො.මම අපේ උන්දැට කියලා පොඩි දැනමුතුකමක් දීලා බලන්නම්"
හිත හදා තේකකුත් පොවා අම්මා නැන්දා පිටත් කර හැරියාය.

හැන්දා කරේ කහනගම මාමා අපේ ගෙවල් පැත්තේ ආවේය.කිව්වත් වාගේ මාමා කොච්චර වෙනස් වෙලාද කියනවානම් තනිකරම දෙවනි ඉනිමේ ඉස්කෝලෙ කොලුවෙක් වගේය.තව ඩිංගෙන් අපේ ටොමියා මාමා හපන්ට පනිනවාය.

"වරෙන් වරෙන් මලේ.වාඩි වෙයන් මෙහෙන්."තාත්තා බුලත් හෙප්පුව මාමාට දික් කලේය.

"එපා අයියෙ මම විට කන එක නතර කළා"

"හෑ???.අපේ මැනිකෙත් කිව්වා මල්ලිගේ වැඩ කටයුතු ටිකක වෙනස් වෙලා නිසා නංගි විස්සෝප වෙනවය කියලා ."

"නෑ එහෙම විශේෂයක් නෑ අයියෙ."
නෑ කිව්වට මාමා පුවක්බඩ මනමාලි වගේ ඇඹරෙනවාය.

"මේ කියහං මට සුදුළූනු පොඩි නොකර ,මොකද උඹ වෙනින් මොකක් හරි හුටපටයක්වත් පටන් ගත්තද?"ඔය ටික තාත්තා අහන්නේ මාමාගේ කනට කරලාය.

"පිස්සුද අයියෙ?"

"නෑ කියන්න එපා.උඹ සම්පූර්නෙන්ම වෙනස් වෙලා.හේතුවක් නැතුව එහෙම වෙන්න බෑ"

"මම ඇත්ත කියන්න අපේ ගෑනිගෙ කනට මේක යන්නෙ නෑ කියලා පොරොන්දු වෙයං" අන්තිමේදී මාමා රහස් එලි කරන්නට ලෑස්ති ය.

"පිස්සුද බං මම කටේ කෙළ පොදක් හෙලන්නෑ ඕං"

"මං ලබන අවුරුද්දෙ ලෝක තරුණ සමුළුවට යන්න කියලා"
තාත්තාට හිනාව ඉස්මොල්ලේ ගිය බැවින් සංවාදය පැත්තක් දමා උන්දෑගේ පිට මැද්දට පත බාන්නට මාමාට සිදු විය.

"තරුණ සමුලුවට යන්න ?මේ හැට පැන්න උඹ?අනේ මීමෝ බොට අමු කැවිලද?තරුණ ළමයි මෙච්චර ඉන්න රටේ උඹ වගේ නාකි හමෙක් ඕකට යවන්නෙ මොකාද?"තාත්තා ගේ හිනාව ඇස් වලින් පෙරෙන්නට වෙලාය.

"හුහ්?මීමා?මම නෙවෙයි මීමා.මීමා නෙවෙයි උඹ ළිං ගෙම්බෙක්."මාමාට නහුතෙට තද වෙලාය.

කලිසම් සාක්කුවෙන් එළියට ඇද ගත්තේ ලොකු දෝනියන්දා අරන් දුන් ජංගමයා ය.සටසට ගා ලොග් වුනේ මූනු පොතට ය.

"ඕං බලහං.මේ අවුරුද්දෙ ඕකට ගිහින් තියෙන්නෙ කොච්චර තරුණ නාකි ටිකක්ද කියලා."
කිකිලි කොටුවක් මැද නරියෙක් මතක් කරවන පොටෝ කෑල්ලක් තාත්තාට දික් කරමින් මාමා ගුගුරනවාය.

"හා දැන් කියහං අයියෙ ලබන අවුරුද්දෙ තරුණ සමුලුවට යන්න මට කොලිපිකේසන් නැද්ද?"

ප.ලි.
අපේ තාත්තාත්.ජොගින් කරන ශෝටක් ගන්න ටවුන් ගිහින් ය.


Tuesday, October 10, 2017

රෝද දෙකේ වාහනේ

මග දිගට ංහෝටල් දාන්නට හිතෙන නිසා මට පොඩි කාලේ හිටන්ම රෝද හතරේ වාහන අරහං ය.ඉතින් ඒ කාලේ ඉඳන් ම මගේ හිත ගිය වාහන අතලොස්සේ උඩින් ම වැජඹුනේ බයිසිකලයත් කෝච්චිත් ය.ඔතනින් කෝච්චියත් ටිකක භයානක සතෙක් ය .ඒ නිසා වාහන ලෝකයේ මගේ ෆස්ට් ලවු එක  බයිසිකලේ ය.

පොඩි කාලේ තාත්තා ගෙනත් දුන් බයිසිකලේ රෝද හතරකි.ලොකු රෝද දෙකට අමතරව  වැටෙන එල නවත්තන්නට පිටිපස්ස රෝදේ දෙපැත්තෙන් තව ඇබිත්තන් රෝද දෙකකි.ඒ දෙක තියෙද්දී වත්තේ පොර මං වුනාට ඒ දෙක ගලවා රෝද දෙකෙන් බයිසිකලය පදින්නට පුරුදු කරන්න තාත්තා තීන්දු කල දවසේ ඉඳන් මාසයක් විතර බයිසිකලයත් මාත් වැඩි හරියක් හිටියේ පඳුරු  අස්සේ නැත්නම් කානු පල්ලේ ය.පුරුදු වුණාට පස්සේ කජු කන්නාවගේ වැඩක් උනත් කම්මැලි කමට රෝද හතරෙන් යන්න පුරුදු වී හිටි මට නම් රෝද දෙකක් උඩ බැලන්ස් වෙන හැටි අල්ලා ගැනිල්ලට ඒ තරම් කාලයක් වැය කරන්නට වෙනවා ය.

මගේ ගානට තියෙන පොඩි බයිසිකලය පදිනවාය වැඩිය ගති ලොකු ඇත්තෙක් ගේ බයිසිකලයක් මෙල්ල කර ගන්නා එකය.අත්තම්මාගේ මළ ගෙදර දවසේ මහප්පාගේ බයිසිකලය දැක්කාමත් මටත් මගේ දකුණු අත වූ මාමාගේ දෝනියන්දෑටත් ඇති වුනේ ඔය ආසාව ය.කවුරුවත් නොබලන අතරේ බයිසිකලය උස්සාගත් අපි හෙමින් සීරුවේ ගේ අද්දර පාරේ ශිල්ප දක්වමින් ඉද්දී කැසිල්ල වැඩි වූ මට ගමන් මාර්ගය තව ඩිංගිත්තක් දික් කිරීමට හිතුනේ පාරේ කෙලවර තඩි පල්ලමක් ඇති බව නොදැන ය.පවනේ වේගයට කිට්ටු කරමින් පහළට ඇදුණ බයිසිකලයත් මාත් දුටු අම්මා බෙරිහන් දුන්නේ බ්‍රේක් ගහන ලෙසටය.
කොයි බ්‍රේක් එකදැයි අහන්න හිතෙනකොට අම්මා සෑහෙන දුරය.මොළේ පාවිච්චි කර බ්‍රේක් දෙකම ඇල්ලූ නිසා බයිසිකලය එක පැත්තකටත් මා තවත් පැත්තකටත් විසි වී පාර මැද පත බෑවුනේ දණිස් දෙකත් මැල්ලුම් කරගෙනය.බයිසිකලෙන් වැටුණු මිනිහාට තාත්තා තඩි බෑවා වගේ කියා ප්‍රස්තාව පිරුළක් ඇති වුණේ ඔය සිද්ධියෙන් පස්සෙන් පහු ය.

ඒත් ඉතින් බයිසිකල් ප්‍රේමය ඔතනින් නැවතුනේ නැති ලුය.නවයේ දහයේ විතරදී පන්ති යන්නට බයිසිකලයක් තාත්තා අරන් දෙන්නේ නොකා නොබී කඳුලු බිබී කරපු සටනක අවසානයේ ය.කොච්චර සැර තාත්තා කෙනෙක්ට වුණත් දුවෙක්ගේ කඳුලු අද්දර දිනන්නට හිත දෙන්නේ නැත.ඒ කාලේ මිටින් හල කුරුල්ලෙක් දැක් නැති කෙනෙක් උන්නා කිව්වා නම් අපේ අම්මා ශුවර් එකටම බයිසිකලෙන් පන්ති යන්න යන මාව පෙන්නනවාය.විද්‍යාව පන්තියට බයිසිකලයෙන් ගිය ගයනිත් මාත් අදටත් අතිජාත මිත්‍රයෝ ය.දෙමළ පන්ති ඉවර වුණාම පිටිපස්සේ ලගේජ් එක උඩින් බෙඩ්ශීට් එකක් එළා හොඳ වෙලාවට දැන් කාලේ මෙන් මස් පරුවතයක් නොවෙන මල්ලීවත් තියාගෙන බයිසිකලේ පදින එක හොඳ පණ ගියත් බොහොම උජාරුවෙන් ඉටු කළ රාජකාරියකි.

බයිසිකලේ හැප්පුනේ එකම එක දවසක් ය.වෙන සිහියක වංගුවක් ගනිද්දී මෝටෝ බයිසිකලයක් ඉඹින්නට යාම නිසා ඉස්සරහ රෝදේ අටපට්ටමක් වූ විට හිත කුඩු පට්ටම් වුනේ ගෙදරට මූණ දෙන හැටි හිතා ගන්නට බැරුවය.දෙවි කෙනෙක් මෙන් ඉදිරිපත් වුණු වින්කලේ අයියා ගයනිගේ බයිසිකලයේ ඩබල් දමා අපි ගණන් පන්ති ගිහින් එනවිට තිබ්බ විදිහටම රෝදය රවුම්කර තිබ්බේ ය.සති දෙහෙකට පස්සේ දවසක  මට මක් වුණාදැයි බලන්නට මොටෝ බයික් අංකල් අපේ ගෙදරට වැඩම් නොකෙරුවානම් අදටත් තාත්තා ඒ සෙල්ලම ගැන දැන ගන්නේ නැත.

බයිසිකලේ එතිච්චි ප්‍රේම  කතා එකකට වැඩි ය.ඒත් ප්‍රේම කතන්දර ඇති වී නැති වී යද්දිත් බයිසිකලේට ප්‍රේම කිරිල්ල අඩු වුනේ නැතිය.බයිසිකලේ නිසාවෙන් නිදහසේ පියාඹන්නට තටු ලැබුන නිසා ඉඳලා හිටලා සායවල් රෝදවල පටලවා ගැනීම වාගේ සුලු අරියාදු කළාට බයිසිකලයත් එක්ක තරහ ගන්නට අමාරුය.

මටත් වැඩියෙන් මගේ බයිසිකලේට ප්‍රේම කරපු සෙට් එකක් වුණා නම් ඒ අපේ පන්තිවලට ආපු ඉළන්දාරි ටිකය.ඒ ලෙවල් පන්තිවලදී බයික් එකෙන් පන්ති ආවේ කෙල්ලන් කීප දෙනාය. ඒ වෙනසට ගරු කිරීමක් හැටියට පන්ති ඉවර වෙද්දී බයිසිකලේ ඉස්සරහ කූඩයට ගඩොල් ගෙඩි ,පොඩි පොල් ගෙඩි වගේ යමක් පුරවා තියන්නට මේ ඉලන්දාරි වරද්දන්නේ නැත.එක ගෑනු දරුවෙක් මේ අහිංසකයන් මහන්සි නොකරන්නට හිතා පන්තියට ආ ගමන් බයිසිකලේ  මුණින් අතට හරවන්නට පුරුදු ව හිටි බවක් ලාවට මතක ය. හැබැයි දෙයියනේ කියා කවදාවත් මේ ගැටවු රෝදවල හුළං අරිනවා වාගේ කැත වැඩ කළේනම් නැත.

කාලයත් එක්කම බයිසිකලයත් වයසට ගිහින් ය.බයිසිකලෙන් පන්ති යන උන් තවමත් ඉන්නවාද දන්නේ නැත.මාත් වයසට ගිහින්  හින්දා දැන් බයිසිකල් පදින්නට වයස වැඩිය.දැන් කරන්නේ බට්ටි ට්‍රයිසිකල් පද්දවන එකය.

ප ලි: අපේ හාදයා ද ඒ ලෙවල් කාලේ මගේ බයිසිකල් කූඩයට ගඩොල් සැපයීමේ පින් කමට සම්මාදම් වී ඇත.ඒත් ඉතින් ඒක දැන ගන්නාවිට පොතේ අස්සන් කර හමාර නිසා වරදට සමාව දෙන්නට සිද්ධ වුණාය

Thursday, September 28, 2017

බූ-වල්ලෝ

ඉස්සිස්සෙල්ලාම බූවල්ලෙක් දැක්කේ මගේ හිතේ ටීවී එකේ කාටූන් එකකය.ඌ ඉතා අහිංසක ස්වීට් බූවල්ලෙක් ය.
ඒත් පස්සෙ කාලෙක ඩිස්කවරි නාලිකාවේ බූවල්ලා දැක්කාම කාටූන කාරයා මාව ගොනාට අන්දා ඇති බව සක්සුදක් සේ පැහැදිලි විය.ඇත්ත බූවල්ලාගේ කිසිම ස්වීට් ගතියක් නැත.ඌ දැක්කාම අප්පිරියා හිතෙන සෙවල ගති ඇති සතෙකි.

ලංකාව අවට මූදේ නම් බූවල්ලන් නැතුව ඇති බව මට සියයට දෙසීයක්ම සහතික ය.උන් ඔක්කෝම ඉන්නේ ගොඩබිම ය.ඔබ පිරිමි සත්වයෙක් නම් මේ සම්මජ්ජාතියට ඒ බූවල්ලන් ඔබට පේන්නේ නැත.හැබැයි  පාරේ බස් එකේ ගමන් බිමන් යන මං වාගේ ගෑණු සත්වයෙක් නම් මේ දිනපතා මෙවැනි බූවල්ලෙක් මුලිච්චි වීම කොන්දොස්තර මහතා ඉතුරු සල්ලි මාටියා ගැසීම මෙන්ම සුලබ අත්දැකීමක් බව නොඅනු මාන ය.

පේරාදෙණියේ කැම්පස් හිට ගෙදර ආ ගිය කාලයේ ද පිළියන්දලින් නැග කරවනැල්ලේ රස්සාවට ආ කාලයේද මේ බූවලු සංචිතයේ විවිදාකාර වූ සාමාජිකයන්  මට මුණ ගැසී ඇත.වැම්පයර් කෙනෙක් හොයා ගත්තත් බාහිර පෙනුමෙන් නම් මේ බූවල්ලන් හොයා ගැනීම උගහට ය.සමහර බූවල්ලන් නම් දකිනා විටම සෙවල බේරෙනවාය.සමහර බූවලු මහත්වරු යාබද අසුනට පාත් වෙන්නේ ඉතාම ශිශ්ට සම්පන්න විලාසයෙනි.

.බස් හෝල්ට් එකක් දෙකක් යද්දී මේ මහත්තුරුන්ට සතියක එක දිගට මළ ගෙවල්වල නිදි මැරීමෙන් ඇති වන්නාවූ ආකාරයේ දැඩි නිදිමතක් හට ගනී.ඇත්තටම කියනවානම් මේ නිදිමත ගතියකට වඩා රෝහල්ගත කළ යුතු සිහි මුර්ජා තත්වයකට කිට්ටු එකක් ය
සිහි මුර්ජා වුණු මේ අහිංසකයන්ගේ අතපය හතර පවා ඔවුන්ට වලංගු නැත.ඉතින් එතැන් පටන් ඒ උන්දැලාගේ අතැඟිලි ,අත්,වැලමිටි  හිටන් මිටින් හළ කුරුල්ලන් සේ වටපිටාවේ කරක් ගහන්නට ගන්නවාය.ඒ යද්දී අල්ලපු ආසනේ ඉන්නා බවලතීගේ අත,පය,පපුව ඉණ ආදී තැන් වැරදීමකින් නැවත නැවතත් මුණ ගැහෙන්නට පුළුවන.එවිට ඒ බවලතීට තියෙන්නේ එක්කෝ නොදැනෙනා ගාණට ඉන්නය.නැත්නම් අනේ මේ සිහියක් පතක් නැති අසරණයෙක්නේ කියා අනුකම්පා කරන්නට ය.

තවත් සමහර බූවලු මහතුන්ට නින්ද යන්නේ හිටගෙන මය.වාඩිවී ඉන්නා බවලතෙක් ගේ උරහිස උඩ බැලන්ස් වුණාමය මේ ඇත්තන්ට නින්ද යන්නේ.තවත් සමහරුන් නින්දෙන් වාරු වෙන්නේ බැරි මරගාතේ හිටගෙන යන බවලෙතෙක්ගේ ඇඟට ය.මේ නින්දේ තියෙන අපූරුම හරිය කියන්නේ බවලතීගේ පැත්තට කැපෙන වංගු විතරක් බූවල්ලාගේ ඇඟට සංවේදනය වෙන එකය.ඒ වංගුව අහවර වී අනික් අතට බස් රිය දහ අට වංගුවම ගත්තත් මේ බූවල්ලෝ තාමත් බවලතාගේ ඇඟ උඩම දෙරි ගහලාය.

හැබැයි බැරි වීමකින් වත්  මේ අසරණ බූවල්ලාගේ අත් වැරදී වැදීම ගැන ඔරවන්න ගොරවන්න ගියොත් ඉතින් බවලතීට සොරි ඩොට් කොම් ය.එක්කෝ පොදු ප්‍රවාහන සේවයේ යනවානම්  මෙවැනි සුළු සිදුවීම් ඉවසා ගත යුතු බවත් බැරි නම් කාර් එකක යන ලෙසත් නින්ද කැඩීම නිසා අගතියට  පත් අහිංසක බූවල්ලා විසින් චෝදනා පත්‍ර දිගු කරයි.එහෙම නොවී බවලතී ගේ ගෝරණාඩුවට බියවී අහිංසක බූවල්ලා පසු බැස්සත් බස් රියේ ඉතුරු නඩය බවලතී දෙස අඟහරු ජීවියෙක් වෙත හෙළන ආකාරයේ බැලුම් හෙලන්නට ගන්නවාය.

බවලතීගේ පැත්ත ගෙන බූවලු මහතාට දෙකක් කියන්නට බස් නඩේ අය ඉදිරිපත් වෙන අවස්තා ද ඇත.ඒ වාගේ දවසට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලා හඳට විරිත්තනවාලු ය. බොහෝ වෙලාවට බස් රියේ ඔක්කෝටම වාගේ බවලතීගේ ගෝරනාඩුව ඉවර වෙනකන්ම නින්ද යනවා ය.පුදුමේ කියන්නේ නින්දෙන් බස් රිය පදවන්නටත් රියැදුරු මහතාට පුලුවන් වෙන එකය.

අවුරුදු දෙක තුනකට කලින් පිටකොටුව බස් එකකදී  ඔහොම ජබර කලන්තේ හැදුනු ඉලන්දාරියෙක් මට කිව්වේ මොලේ අමාරුවට දොස්තර කෙනෙක් හම්බෙන ලෙසට ය.අර කිව්වත් වාගේ ම බූවල්ලන් නිසා දැන් මට මොලේ අමාරුවකුත් හැදිලාය.අල්ලපු ආසනේ පිරිමි පරාණයක් වාඩි වුණ ගමන් තුම්මුනින් දාඩිය දමා කටින් සෙම දමා ආවේස වෙන්නට ගත් දා සිට දෙයියනේ කියා මට නම් බූවල්ලන්ගෙන් කරදරයක් නැත.

කියවන ඇත්තීට මට වාගේ අසනීපයක් හැදීමේ වාසනාවක් නැත්නම් බස් රියට ගොඩ වෙද්දී මාරු කාසි සමඟම  අල්පෙනෙත්තක් ,හැට්ටකටුවක් හෝ ඉඳිකටුවකුත් මිට මොලවා ගෙන සූදානම් සරීරයෙන් සිටීමෙන් නිරුපද්‍රිතව ගමනාන්තය ළඟා වීමේ සුලු සම්භාවිතාවක් ඇති බව දැන්වීමට කැමතිය.

බැරි නම් පුශ් බයිසිකල් එකක් ගන්න අනේ.වියායාමෙටත් එක්ක හොඳයි නෙව.

Monday, September 11, 2017

හිතේ ඇඳුන කුමාරයා-ඈහ්?

ඉතිහාස කතා වල හැටියට ඉතින් වැද්දා කියන්නේ අපේ පැරණිම නෑයා.වැද්දෙක් කිව්වම ඔලුවට එන්නේ කොළ අතු ඇඳ ගත්ත ඇඟ පත පුරාම වනාන්තරෙත් එක්ක සතා සීපාවා එක්ක ඔට්ටුවෙච්ච් කතන්දරවල සිහිවටන පිරුණු එච්චර ප්‍රිය මනාප නැති මනුස්ස පරාණයක්.

            මනමේ කුමාරිගේ කතාවෙ වැද්දාත් ඔය අච්චුවේ ම හාදයෙක් තමයි.මනමේ කුමාරිව මනමේ කුමාරයාට කසාද බන්දලා දෙද්දි කුමාරි කුමාරයට මනාපද කියලා ඇහිල්ලක් වෙන්නෙ නෑ. ඒත් කුමාරයාව අඩුම ගානේ ගුරුගෙදර හිටපු ටික කාලෙදි හරි කුමාරිට මුණ ගැහෙන්න ඇතිනේ.ඉඳලා හිටලා වචනයක් වත් කතා කරන්න ඇති නේ වට්ස් ඇප්,එෆ් බී චැට් නැතුවට.

ඒත් කැලේ මැද්දෙදි කුමාරි කඩුව දෙන්නෙ කුමාරයට නෙවෙයි ඒ මොහොතේ ඇහැ ගැටිච්ච වැදි රජ්ජුරුවොන්ට.ගැහැනු චපල කතාවේ ඉඳලා කුමාරිට වැරදීමක් වුණු තැනට යනකන් ඒ සංගෙදියට එකේකට වෙනස් අර්ථකතනත් ඉතින් තියෙනවා.

හැබැයි තිර නාටකේ හැටියට කුමාරි කියන්නෙ මෙහෙමයි.
"හැඩිදැඩි සිරුරට ආලය සිතුණා
ඔබ හට අසිපත දෙන්නට හිතුනා"

ඒ කියන්නෙ බවලත්තු බලාපොරොත්තු වෙන්නෙ සද්දන්ත සරීර කූඩු තියෙන මිනිස්සුන්වද?

මනමේ දෙතුන් පාරක් බලලා තියෙනවා.අනිත් උදවියට කොහොමද මන්දා අනේ මටත් සුදුම සුදු පාටට බෝල බබෙක් වගේ ඉන්න මනමේ කුමාරයාට වඩා හිත ගියේම වැදි රජ්ජුරුවොන්ටම තමා.

මනමේ බලන්න ගිහින් පැය ගානක් වලේ වල බැහැගෙන ඉඳිද්දි බැචෙක් අපූරු කතාවක් කිව්වා.මනමේ චිත්තරපටියකට ගන්න ගියාලු (මට මතක හැටියට ජැක්සන් ඇන්තනි).වැද්දට තෝරගත්ත නලුවට උන්දෑ කිව්වලු හැම පිරිමියෙක්ම ඇඟේ වැද්දෙක් ඉන්නවා,හැම ගෑනු පරානෙකගෙම හිතේ වැද්දෙකුත් ඉන්නවා, වැද්දගේ චරිතේ තාත්විකව කරන්න නම් ඕන්න ඔය වැද්දව හොයා ගෙන ඉන්න ය කියලා.

කල්පනා කරලා බැලුවම කතාව ඇත්ත.ගෙවල්වල දෙන්නා දෙමාල්ලොම රස්සා කරන හම්බ කරන මේ කාලේ හරි නම් පිරිමි පරාණයක් මත යැපෙන්න ගෑනු පරාණෙකට උවමනාවක් ඇත්තෙ නෑ.ඒත් මට හිතෙන්නෙ තාමත් බවලත් හිත් අස්සෙ හැංගිච්ච මනමේ කුමාරිලා ගෙදර උන්දැලා ගේ ඇවතුම් පැවතුම් අස්සේ වැදි රජ්ජුරුවොන් ව හොයනවා.ඒත් බවලත්තුන්ගේ කැමැත්ත වැද්දට කියලා නොදන්න ගෙවල්වල ඇත්තෝ ගොඩ දෙනෙක් වැදි රජ්ජුරුවන්ව හිතේ අඩියටම තල්ලු කරලා දාලා ස්වීට් මනමේ කුමාරවරු වෙන්න දත කනවා.

මේ නූතන මනමේ කතාවද මන්දා

Tuesday, September 5, 2017

මම කඳුළු බින්දුවක්-හීතලට දැනෙන හිත රිදවන බින්දුවක්

හිනාවට අකමැති කෙනෙක් හොයාගන්නට අමාරු ය.ඒත් ඒ තරමටම කඳුළට කැමති මිනිස්සු හොයන එකත් උගහටය. හිනාවට සතුටු වෙන හුඟ දෙනෙක්ට වැටෙන කඳුළ දරා ගන්නට අමාරුය.

පොඩි කාලේ හිටම අම්මලා අපට පුරුදු කරන්නේ හිනා වෙන්නටය.
හිනා නොවුනත් නාඬා ඉන්නට ය.
බහ තෝරන්නට බැරි කාලේ වුනත් ඇඬිල්ල බොහෝම බලවත් සන්නිවේදන මාද්‍යයකි.
හිනාවට අම්මාගේ මූණේ හිනා පිපුණත් ඇඬිල්ලට තරම් අම්මා කළඹන්නට හිනාවට හයියක් නැත.
කරන වැඩ ඔක්කෝම අත ඇර දමා දුවගෙන විත් තුරුලු කරගෙන සනසන්නට අම්මා පොළඹවන්නේ ඇඬිල්ලය.කොහොමටත් පොඩි ඈයෝ තමන්ට වෙන අකරතැබ්බ බොහොමයක්ම අම්මලාට රපෝර්තු කරන්නේ ඇඬිල්ලෙනි.අම්මලා අප්පලා දත කන්නේ ඇඬුමට ඉඩ නොතබා පොඩි එවුන් සතුටෙන් තියන්ටය.

අඬන්නේ නැතිව හිතට දැනෙන දේ වචනවලට පෙරළන්නට පුළුවන් කාලේ වුණත් කඳුළ අපි අත අරින්නේ නැත. සතුටටත් ඇඬුනත් වැඩිමනත් ඇඬුම් එන්නේ දරා ගන්නා මට්ටමෙන් එහාට ම හිත රිදුන වෙලාවටය.කොහොමටත් වචනවලට වඩා දුක අකුරු කරන්න කඳුළු බින්දුව උපන් හපනෙක් ය.

ඇඬිල්ල හොඳ පුරුද්දක් විදිහට සමාජය දකින්නේ නැත. සමාජ සම්ප්‍රදායයට අනුව අඬන එක (විශේෂයෙන් ම පිරිමි පරාණ) අඬන එකාගේ දුර්වල කමක් ය.
ඉතින් ඉස්සර වාගේම (සමහර විට ඉස්සරටත් වඩා)හිත් වල දුක් ගින්දර ගොඩ ගැහුණත් දුක වැඩි වුණාම බෑගිරි ගගහා අඬන්නට ඉඩක් නැත.
හොර රහසේ මිසක කාටවත් පෙනෙන්නට අඬන්නට කොහොමත් ම බැරිය.වෙලාවකට ඇඬිල්ලේ අහවර ඇඬුවාට සමාව ඉල්ලන්න හිතෙන්නෙත් ඒක හින්දා වෙන්න පුලුවන.

ළඟ පාත ඉන්නා එකෙක්  හිටි හැටියේ අඬන්න ගත්තාම වටපිටාවේ ඉන්නා එවුන් වැටෙන්නේ ලොකුම අමාරුවක ය.කොහොමටත් අපි දුකට කැමති නැත.
"හා හා අඬන්න එපා.දැන් අඬලා ඔලුව කැක්කුමක් හදා ගන්නවා.හොඳ ළමයා වගේ අඬන්නේ නැතිව කඳුලු පිහිදා ගන්න"ඔන්නොයාකාර හිස අතගෑම් එක්ක ලේන්සු දික්කිරිලි මිසක අඬන එකාට හිතේ හැටියට අඬන්න දෙන සිරිතක් අපිට නැත.

හිනාව ලස්සන ය.කඳුළු ගැන අප්‍රමාන වර්ණනා තිබුනාට හිතේ දුකට අඬන ඇඬිල්ලේ මෙලෝක ලස්සනක් නැත.ගොරකා ගානට රතු වුණු ඉදිමුණු ඇස් ගෙඩි,හොටු පෙරෙන නහයවල්,තඩිස්සි මූණු අද්දර එක අතකට මෙලෝ මනුස්සයෙක්ට ඉන්න නොහිතෙන එකත් සාධාරණ ය.ඉතින් බොහෝ දෙනා කරන්නේ කඳුළ මග හරින එක ය.

කඳුළට හිත්වල ඇති අකමැත්තෙන් අයුතු ප්‍රයෝජන ගැනෙන වෙලාවන් ද නැත්තේ නැත.තමන්ගේ අවශයතාව ඉටු කර ගන්නට ළඟ පාත ඉන්නා උදවිය කඳුළ හරහා නම්මා ගන්නට සමහර ඇත්තන් උපන් හපන් ය.ඒ චෝදනාව වැඩි පුර එල්ලවෙන්නේ බවලත් පාර්ශවයට වුනත් දෙපැත්තේම  මම දන්නා තරමින් එහෙම කඳුල අවභාවිතා කරන ඇත්තෝ එමට ය. බවලතුන් එක්ක සසඳද්දී පිරිමි පරාණ අඬන්නේ කලාතුරකින් නිසා පිරිමි කඳුලුවලට හිත් හෙලවෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නටත් පුලුවන.

සමහර හිත්වලට ඉර නැගෙන්නේත් ඉර හැරෙන්නේත් කඳුළත් එක්කමය. බොහෝම පොඩි හිත් කුලකයකට කඳුළ කවදාකවත් මුණ ගැහී නැත.ඔය අන්ත දෙක අතරමැද හැම හිතක් ම අඩු වැඩි වශයෙන් කඳුළත් එක්ක ගනුදෙනු කරනවා ය.ඒ සමහරු කඳුළට පෙම් කරද්දී සමහරෙක් කඳුළට වයිර කරන්නටද හිතනවා ය.

ප:ලි
ඉතින් අහන්න එපා මම ඉන්නෙ කොතනද කියලා.මම දන්නෙ මෙච්චරයි.කඳුළු හීතලයි තමයි.ඒත් හීතලට දැනුණට හිත රිද්දන්නේ නම් කඳුලු නෙමෙයි.

Sunday, August 27, 2017

පොඩි මලයාගේ කතා වස්තුව

ඉන්නේ එක මලයාය.ඌ නිසා තරම් කට්ටක් මෙලෝ කොල්ලෙක් නිසා කා නැත.මට වඩා අවුරුදු පහක් බාල වුනාට ඇඟ පතේ ප්‍රමාණයෙන් ගත් විට සූර පප්පාද ඌට බාල ය.ඒ නිසා මේ හාදයා එක්ක වලි දමා ගැනීම මගේ සරීර සෞබ්‍යයට අතිශය අහිතකරය.

ගිය අවුරුද්ද අග්ගිස්සේ  මොටෝ බයිසිකලය හීනෙන් පදින්නට ගිය හාදයා නතර වුනේ මහරගම හරියේ කානුවකය.ඔෆිස් ෆෑන් එකක නඩයක් අපේ එකා කානුවෙන් ගොඩ අරගෙන තිබූ අතර ඉන් තුන්දෙනෙක් ම බැරි බර උස්සා කොන්ද ඇමැට්ටි වී අපේ එකා ඇඩ්මිට් කළ වාට්ටුවට ඇඩ්මිට් කළ බව ආරංචි ය .

මෙවන් සුවිසාල  සරීර කූඩුවකට හිමිකම් කියන්නට පුලුවන් වුනේ අපේ එකා පොඩිකාලේ හිටම කැප වීමෙන් කෑ බිව් නිසාය.

අපේ ඉස්කෝලේ ප්‍රයිමරියට ගිය කාලේ ඉඳන් ම ඌ කලේ පිලිවෙතින් කෑ බිව් එකය.ඒ නිසාම ස්පෝර්ට්මීට් එකේ කෙල්ලෙක් එක්ක බිස්කට් කා දුවන්නට අපේ එකා තෝරා ගත්තේය.(බිස්කට් කෑමත් කෙල්ලන් ගේ අතින් ඇල්ලීමත් ඒ කාලේ හිටම අපේ එකාට හුරු පුරුදුය).කරුමෙට ප්‍රැක්ටිස් දවසේ මාරි බිස්කට් යසට කෑ කෙල්ල ස්පෝට්මීට් දවසේ වේෆස් කෑම වර්ජනය කළාය.අනිත් ජෝඩු ඔක්කෝම දිනුම් කනුවත් පහු කළ පසුත් අපේ හාදයා නෙවෙයි කෙල්ලට වේෆස් කවන උත්සාහය අත ඇරියේ.

තුනේ හතරේ විතර ඉදිද්දී දවසක හවස අපේ එකාගේ ගෙදර වැඩ ලිස්ට් එකට ටිපිට්පි පැකට් දෙකක් ද ඇතුලත් වී තිබුණි.අම්මාගේ විමසීම් අංශයට කොල්ලා තොරතුරු ලබා දී තිබුනේ පන්තියේ ටීචර් ටිපිටිප් ගේන්නට කී බවයි .පහුවදා හවස ගෙදර ආ හාදයා කිව්වේ ටීචර් ළමුන් ගෙනා කෑම ඔක්කෝම පන්ති කබඩ් එකට දමා වැසූ බවක් ය.කෙසෙල් වැනි කල් තබා ගත නොහැකි කෑමවලට කබඩ් එක තුල අත් විය හැකි ඉරණම ගැන අපේ එකා නොසෑහෙන දුක් වුන බවත් මට මතක ය.හොඳ වෙලාවට ඒ සතියේ ඉස්කෝලේම එලකියුශන් පන්ති තිබුන නිසා අපේ එකාගේ පන්තියේ ගෑනු දරුවෙකුගෙන් ටිපිටිප් දෙකේ ඇත්ත කතාව එලිවුනේ ය.අපේ එකා හැර වෙන ළමයෙක් ගෙනා කෙසෙලක් නොවුනු අතට කාටවත් නොදී ටිපිටිප් කෑවා මදිවාට කෙල්ලන්ගේ ඇඟේ පිහින්නට පස්සෙන් එළවූ බවත්  ටිපිට්ප් නොලැබූමෙන් උරණ වූ ලලනාව අපේ අම්මාට ගතු කීම නිසා අපේ එකාට එදා ගෙදරදී හොඳ ටිපිට්පක් ලැබුණේ ය.

ඒලෙවල් විභාගය නිසා අවුරුදු නෑගම් යන්නට බැරි වුනු අහිංසක මට අල්ලපු ගෙදරකින් එවා තිබුනේ තඩි දොදොල් කුට්ටියකි.ෆිසික්ස් ක්ලාස් එකට ගෙනියන්නට තියා තිබුණු දොදොල් පට්ටය අතුරුදහන් වෙන්නේ විනාඩි කිහිපයක කාලයක් අතරේ ය.දොදොල් හොරා පසුව පාපොච්චාරණය කලේ  හදිසිය වැඩිකමට පිහියක් නොමැතිව තෙල්හැන්දෙන් කපා ගෙන දොදොල ගිල දැමූ බවයි.

අපේ එකාගේ මෙවන් සුන්දර ආහාර පුරුදු නිසා ගෙදරට ගේන ඕනෑම කෑමක් හතරට බෙදා අපේ පංගුව කොහොම හෝ අමාරුවෙන් ගිල දමා අහවර කරන්නට අපට සිදු විය.නැතිනම් මලයාට අහු නොවෙන්නට හංගපු තැන්වලම එක්කෝ කෑම නිදන් වෙනවාය.නැතිනම් හංගපු කෑම ගැන පොලිස් බල්ලන්ටත් වඩා හොඳ ඉවක් ඇති මල්ලීටම ඒවා අයිති වෙනවාය.ෆ්‍රිජ් එකේ දාන අයිස්ක්‍රීම් ,කිරි එහෙම නම් රෑට අනිවාර්‍යෙන්ම අතුරුදහන් වෙනවාය.මේ ආහාර රටාව නිසා අපේ එකා බලා ඉඳියදී තඩි වෙන්නට ගත් අතර අන්තිමේදී එකේ පන්තියේදී සීනි කුරක්කමක් වාගේ හිටි එකා දැන් පොර අල්ලන්නට හැදූ ගොන් නාම්බෙක් සයිස් ය.

මොකද්දෝ හේතුවකට දැන් දැන් අපේ එකා කෑම පාලනය කරනවා,ජිම් යනවා කියා ආරංචි ය.හැබැයි ඉතින් දවස් කීයක ව්‍යාපෘතියක්ද කියන එකනම් ශුවර් නැත.දිගු කාලීන වෙනවා නම් ඉතින් සරීර සෞබ්‍යයට හොඳය .

මේ ලියමන පබ්ලිශ් වුනාට පස්සෙන් පහු මගේ සරීර සෞබ්‍යයට අයත් විය හැකි ඉරණම නම් විශ්වාස නැත. දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙබ් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට වත් යාම නුවණට හුරු ය.

Thursday, August 24, 2017

ඔමරි කරන සාරි

කෑගලු රෝහලේ සම්මන්ත්‍රනේකට සහභාගී වෙන්ටය කියා ඉහලින් ඕඩරේ ආවේ ගිය සතියේය.පූරුවේ පවකට ඕපීඩී එකට ආ නිසා හතර දිබ්බාගේම තියෙන සම්මන්ත්‍රන වැඩමුලු බහුතරයකට සම්මාදම් වීමේ වාසනාව අපේ ඇත්තන්ට තියෙනවාය.

කෑගලු යාම ගැන ඇහුන ගමන් ඇඟ හිරිවැටෙන්නට හේතු බොහෝමය.දහ අට වංගුවට වඩා ඩිංගිත්තක් අඩුවෙන් වංගු තියෙනා පාරේ ගිහින් කෑගල්ලෙන් බහින වෙලාව වෙන විට තුන් ලෝකයම කැරකෙනා ලෙඩක් හැදෙන එක එකකි.බට්ටිව ගෙදර දමා ගොස් කීයට එන්න වේදැ යි නොදන්නා එක තවත් එකකි.ඔය ඔක්කෝටමත් වඩා බරපතල පුරස්නේ සාරියක් පටලාන යන්නට වෙන එක ය.

සාරි ඇඳිල්ල කවදත් මට වහ කදුරු වාගේ වෙන්නට ලොකුම හේතුව අම්මාගේ සාරි ඇඳිල්ල දිහා බලා ඉඳිල්ල වෙන්ට ඕනෑය.අම්මා සාරිය අඳින්නට හැට පැයක් ගන්නවාය.හැමදාම අම්මාට පරක්කු වෙන්නේ සාරි ඇඳිල්ලෙන් ය.කී සැරයක් ඇන්දත් අම්මාගේ හිතට හරි යන පාටක් ද නැත.සාරි ඇඳිල්ල මෙඩිකල් කොලීජියේ ෆයිනල් එකටත් වඩා බැරෑරුම් කටයුත්තක් බව මගේ ඔලුවේ තාමත් කැරකෙන්නේ අවුරුදු ගානක් අම්මාගේ සාරි හටනේ ඇසින් දුටු සාක්කි කරුවෙකු වීම හන්දා විය යුතුය.

මට නම් සාරිය අඳින්නට එච්චර වෙලාවක් යන්නේ නැත.කොහොමටත් අම්මාට වගේ වරු ගණන් සීරුවට පිලිවෙලට පොට හදා රැලි ගසා සාරි අඳින්නට ඉවසීමක් මට නැති බව සක්සුදක් සේ දත් නිසා එහෙව් පිලිවෙලක් මගෙන් බලා පොරොත්තු වෙන එක අසාධාරණ ය.සාරිය අඳිද්දී මට තියෙන එකම බලාපොරොත්තුව කකුල් අස්සෙන් වෙට්ටු නොදමා අතරමග බිමට පත නොබෑවී ගෙදර එනතුරු සාරිය ඇඟේ ඉතුරු වෙන එකය.සාරි කටු/හැට්ට කටු/ආය කටු/යතුරු කටු(ඔබට අදාල ප්‍රාදේශිය වහර තෝරා ගත හැක)දුසිමක් පමණ අඟලෙන් අඟලට තියා වෙලාවකට හමත් අහුවෙන්ටම ගැහුවත් මගේ කල්කිරියාව අනුව එසේ නිරුපද්‍රිතව ගෙදර එන්නට සාරියට සෑහෙන යුද්ධයක් කරන්නට වෙන එක් අනිවාර්‍ය ය.

විනාඩි පහෙන් සාරිය ඇඳ ගත්තත් වෙනදාට විනාඩි පහෙන් යන ගමනට සාරියේ එතුනාම පැය දෙකක් විතර ගත වෙනවාය.ඒ මදිවාට සාරියට අනිවාර්‍ය බොරු කකුල් ජෝඩුවත් දා ගත් විට හොම්බ බිම ඇනී ට්‍රොලියකින් රෝහලට නොයන්නට නම් ගොලුබෙල්ලෙක්ටත් වඩා හෙමින් ගමනක් තිබිය යුතුය.

සාමාන්‍යයෙන් මේ වගේ විපතක් මට වෙන්නේ කලාතුරකින් නිසා මට තිබෙන්නේ එකම එක සාරියකි.අවසානයට ජනේරුවේදී සාරි හැට්ටයට බැස්ස මට ආහාර පානාදියෙන් කිසිම අඩු පාඩුවක් වී නැති බව සාරි හැට්ටයට බහිනා පෙරහුරුවේදී පසක් විය.හැට්ටේ මැසූ නැන්දාට පින් සිදු වෙන්නට මැහුම් වාසි උදව්වට ගෙන මේ වරට විතරක් ම සාරි හැට්ටයට රිංගා ගත්තේ පොල් තෙල් බෝතලයකත් ආධාර උපකාරයෙනි.

සාරියත් හැට්ටයත් සොයා ගත්තාට සාරිය තරම් ම වැදගත් යට සාය ගෙදර දමා ඇවිත් බව මතක් වුනේ කෑගලු ගමනට කලින් දා රෑ ය.අල්ලපු ගෙදර ටීචර් නෝනා යට සායකින් ආධාර කලත් ඒ ඇත්තිය මගේ වැලමිට හරියට පමණක් උස  නිසා යට සායට ඇන්දාම සාරියට ගංවතුර ගලපු  පාට ය.

අම්මාගේ සාරි ඇඳිල්ලට තමාගේ දායකත්වයත් නොමසුරුව ලබා දුන් අපේ දෝනියන්දෑ මැදපු සාරිය දිය ඇල්ලක් ලෙස භාවිතා කිරීම,අම්මාගේ බොරු කකුල් ඇඳ යට හැංගීම වැනි ක්‍රියාකාරකම් හරහා ඇගේ සහයෝගය ලබා දුන්නාය.

කොහොමින් කොහොම හරි පටලාගත් සාරියට අටවාගත් බොරු කකුල් මාරු කරගෙන රෝහලට යද්දී හුඟ දෙනෙක්ට වාසනාවකට මා අඳුනා ගන්නට බැරිය.අඳුනාගත් දෙතුන්දෙනා  කේශාන්තයේ සිට පාදාන්තයට බැලූ බැල්මට මම හැරී බැලුවේ සාරිය මග හැලී යටසාය විතරක් ඉතිරි වී වත් දෝ කියා ය.

අලි මදිවාට හරක් කියා කෑගලු යන්නට ඇත්තේ ඔක්සිජන් ලොරියේ ය.සාරියත් බොරු කකුලුත් එකතුව ලොරියට නගින සෙල්ලමට වඩා එවරස්ට් නැගිල්ල ලේසි වෙන බව ඒකාන්තය.හොඳ වෙලාවට කෑගල්ලේ මම අඳුරන මොකෙක් වත් නැත.පෝරනු සාලාවක සාරියත් පොරවාගෙන පැය ගානක් තැම්බී ගෙදර එද්දී බොරු කකුල් වලට කකුල් වල තුවාල ඉස්ම බේරෙනවා ය.කොරවක් වන්නමෙන් ගෙදර විත් රෙදි උනා කොට කලිසමකට හා හැට්ටයකට බැස කකුල් දෙකේම ප්ලාස්ටර් අලවා ගත්තාම එහා ගෙදර නැන්දා හිතුවේ ඉන්තේරුවෙන්ම මම සාරිය පැටලී අඩව්වක් අල්ලා තුවාල කරගෙන බවය.

සාරිය හොයාගත් එකා හමු වුනොත් මම මුකුත් කරන්න යන්නේ නැත.මට කලින් උන්දෑ පරලොව යවන්නට දත කට මැදන් ඉන්නා බවලතුන් අනන්තය අප්‍රමාණය.ඉතින් ඔය යකා අහවරක් කර ඔය ඇත්තියන්ගේ උදහසට ලක්වෙන්නට මට ඕනෑම නැත.

ලබන ආත්මේ නම් සාරි නැති රටක ඉපදෙන්නට පින් රැස් කරගන්නට අපි හවස පන්සල් යන්න හිතන් ඉන්නවා ය.